Follow by Email

Saturday, December 7, 2019

beauty of a wire thread


වෑර් පොටවල් හිංදා මං බොහෝ දේවල් කා ඇත්තෙමි. මුලින්ම කෑවේ ගුටි වෙන්න ඕනාය.

“තොගෙ මේ කැවුතු කැටි වෑර් කෑලි ගිහිං ඕන බිබික්කමක් අස්සෙ ගහගනිං. ආයි අතන මෙතන දා තිබ්බොත් කඩනොව තොගෙ අඬු“

අකුරු කියවන්න පටං ගත් දා ඉඳලාම වෑර් කෑලි, බලුප්, බැට්ටි කෑලි මගේ අතට කාන්දං වගේ ඇලුනේය. පාරේ වැටී තියෙන වෑර් පොටක් ගෙදර ගෙනැත් දිප්පිහියෙං පලා ඒක අස්සේ තියෙන කම්බි පොටවල් එකට පුරුද්දා එව්වායින් එක එක සුකුරුත්තං අටවා ටොච්චෙකේ බැට්ටි කෑලිටිකත් බැස්සූ විට තාත්තාට බෙල්ල මුලින් අසුවන මගේ අත පය ආපහු කෙලිං වන්නට සතියකට වඩා ගතවේ.

ඉං පහු කාලෙක කලවං ඉස්කෝලේ යන්න පටං ගත්විට මට වෑර් පොටවල්වල ආඩම්බරේ පෙන්නුවේ අපේ පන්තියේ බණ්ඩාය. එක එක ආකාරයේ බෙහෙත්පෙති, පනුවන්, බැරල් කෑලි එකට අමුණා එව්වායින් බලුප් පත්තු කිරීම, සද්ද ගැනීම ආදිය කරන්නට එක එක ජාතියේ සර්කිට් අමුණත්දී

“මෙතන බලංඤින්නැතුව පලයංකො“

කියා දුං දමන බහුත්තෙක උරුක් කිරීමට බණ්ඩා කටයුතු "කළාය".

ඊටත් පහු කාලෙක පන්සලේ හිටි හීරලුවෙක් වූ චන්දරේ අයියාගේ ඇබිත්තයා විදිහට ගෙවල් වයරිං කරන්නට යත්දී මට පළවෙනි වතාවට වයර් පොටවල්වල සෞන්දර්ය හම්බවිය. වයර් පොටවල් හැට හුටාමාරක් කොන්ඩියුට් බටේ අස්සෙන් රිංගවා ඇදගෙන ගොස් උවමනා තැනකදී බටේ බඩ හිල් කර බඩවැල් එලියට අදින්නා වගේ අමු අමුවේ අපරාධ කරනවාට වඩා අල්ලෙන් පිරිමැද කෙලින් කළ වෑර් මිටිය වෑරින් ක්ලිප් වලින් හික්මවා පරාල යටලී දිගේ පිළිවෙලකට කැන්දාගෙන යාමේ අලංකාරය කියා දුන්නේ චන්දරේ අයියාය. ඒ දැනුමෙන් මේ රට ඇතුලේ එකට එකක් වෙනස් කලාප හතරක ගෙවල් හතරක් වයර් පොටවල් වලින් හැඩ කරන්නට මට පුළුවන් කම ලැබුණි. ඒ වැඩවලින් හම්බුකරගෙන කන්නට මට පුළුවන් විය.

අන්තිමට අවුරුදු තුන හතරකට පස්සේ වොක්ස්වාගන් එකකුත් අමුණාගත් වයර් පොටක් මගේ අතට ආවේ මීට මාස දෙකකටත් උඩදීය.

අතට ඇවිත් පැය හතරක් යන්න කලින් රියදුරු ගලගෙදරත් සමග බදුල්ලට ගිහින් එනවිට වොක්ස්වාගන් පොත කියවා ඒ ගැන අගනා විවරණයකුත් ලබාගන්නට පුළුවන් විය.

“ජරමං වාහන කියන්නෙ මහාත්තයා බොහොම කල්පනා කරල හදපු වාහන. සමහර ඉංග්‍රීස් වාහනවලටත් වඩා ජරමං වාහන කල් අල්ල හිටිනව. ඔය පොක්සගන් එක හදල තියෙන්නෙ කොයි තරං කොන්ඩරි ගානක් පෙරලිල ගියත් අන්තිමට කෙලිං අතට හිටින්න. කාංතාරෙ යන්න හදාපු වාහනන‍ෙ. වතු මහත්තුරු ගාවත් තිවුන ඉස්සර.“

ඒ වුනත් වයර් පොට නැගලා ආ කවරෙටම වී අල්මාරියට රිංගා ගත්තා මිස කාටවත් ඒ ගැන නිනව්වක් උනේ නැත. ළඟදිම දවසක සති අන්තෙට විවේක පාඩුවේ ඉස්තෝප්පුවෙන් පුටුවකුත් තියාගෙන “බාසනේ“ වත් ඔඩොක්කුවේ තියාගෙන ඕක කියෝන ගමං පොටෝ එකකුත් ගහලා බුකියට දාන්න ඕනා කියා හිතාගෙන උන්නත් ඒ දවස බාලගිරියා එක්ක සෙට් වෙලා පහල ගෙදර දොර ලඟට ඇවිත්

“බාල ගිරි අද නෙවේ හෙට“

කියා තියෙනා නෝටිස් එක කියවා ගියා මිසක අපේ ටකරං බිත්තියෙන් ඇතුළට ආවේ නැත.

තවත් කාලෙකට පස්සේ කෝස් කැලැන්ඩර්, කෝස් ෂෑඩුල්, එකොමඩේෂන්, හොට් වෝට නැතුව වොෂ් දාන්න බෑ වීම්, වැස්ස පටංගෙන දොට්ට බහින්න බැරිවීම්, ජනාධිපතිවරනෙත් එක්ක බුකිය මඩවීම්, ආදී හැට හුටාමාරක් අලකලංචි මැද්දේ ගෙවෙන කාලය පූස් ලොනක් නොවටින මුස්පේන්තු දවසකදී මට වෑර් පොට මතක් විය.

“අර තරිඳු එවාපු පොත දෙන්නකො මට බලන්න“

“කොයිකද? අර ඉබ්බ කාර් එකක් තියෙන එකද“

“නෑ අනික“

“ආ අර කෝටුවක කපුටෙක් නැගල ඉන්න එක“

“ඒක තමා“

“ඒක කියෙවුවං ඔලුව විකාර වෙනව අනේ. ඔන්න බලන්නකො කියෝල“

ෆස්ටෙකේ දමාගෙන පලවෙනි පිටු පහ ලොකු RPM එකක ඇත්දත් එතනින් එහාට පහෙන් මෙහාට දාගන්නට වුනේ එහෙමත් වෙලාවකය. පොතේ පිටු පෙරලෙන අතරේ බත් පිඟන් දෙකක්, තේ කෝප්ප දෙකක් අහවර වීම, බළල් හොඹු කීපයක් පොලිෂ් කිරීමක් සිද්ද වන්නට ඇත. මහ රෑ දෙගොඩ හරියේ කියවා ඉවර වුනු පොත ටීවී එක ලඟින් තියා මං නිදාගත්තෙමි.

එදා පටං වයර් පොටෙන් ඔලුව වටේ ගෙතුනු ගෙත්තම ලිහාගන්නට මට තවත් සති එකහමාරක් ගතවිය. අන්තිමට මට අපිට සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරු ගැන මහා අනුකම්පාවක් ඇතිවිය.

“ආන්න බලන්න එතනින් මතුවන අනුප්‍රාස රසය“

“ආන්න එතනින් කතුවරයා සංකේතවලින් ඉස්මතු කරන දෙය අපට බොහොම හොඳින් වැටහෙනවා... නේද“

ආදී වසයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නියම කළ ඕනාවට වඩා සිල් ගත් කෙටි කතා, නවකතා කෑලිවලින් එව්වයෙ කොහෙත්ම නැති ගුණාංග කොහොමින් හරි තියෙන බව පෙන්නන්නට හැදූ ඒ ගුරුවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්බානක පවුය. ඒ වෙච්චි මහන්සියෙං ගඟේ ඉවුර බිඳලා ගැරුවා නං කුඹුරු කෑල්ලක් ගොඩකරගෙන තට්ටු දෙකේ ගෙයක් හදාගන්නට තිබුණි.

ඒ ගුරුවරුන්ට තරිඳුගේ වයර් පොට හම්බවුනානං ජෙසියාගේ කරේ පටිය වගේ පැහැදිලිව තියෙන ඔය කියන්නා වූ සියලුම රසාස්වාද එක මිටට අරං පෙන්වා ළමයින්ගේ කේන්තිය අවුස්සන්නේ නැතිව ඉන්නට තිබුණි. ළමයිනුත් ඒවා අතේ ගෑවුණු ඇඹුල ජාතියක් මෙන් දිවගා බලා

“......................................... යනුවෙන් කතුවරයා වැගන් ආර් වර්ගයේ මෝටර් රථවලට එවකට රට තුළ ලැබී තිබූ තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි“

යනුවෙන් උත්තර ලියන්නට තිබුණි.

වයර් පොටේ සෞන්දර්යය කියවන අයට පොතේ මැදක් වෙන්නට කියවා නවත්තා දවසක් ඒ ගැන හිතන්නට යැයි කියමි. මේ පොත ලියූ තරිඳුවා කොයි තරම් භයානක මිනිහෙක්ද, මේකා මේ ලියා තියෙන එව්වා කියවා කී දෙනෙක් නං මහ උළු ගෙදර තපීද, 119 ට කතා කරලා කියලා මේකා පොලීසියට අල්ලා දෙන්න ඕනෑ නේද, ඊට කලින් බුකියෙනුත් මේකාව අන්ෆ්‍රෙන්ඩ් කොට චැට් හිස්ට්‍රියත් මැකුවා නං නිරපරාදෙ සාක්කි දෙන්න ඕන්නැතිවෙයි නේද, යනාදී වශයෙන් කතුවරයා ගැන මැවෙන සිතුවිලි විඳින්නට යැයි කියමි. ඒක වෙනමම ආතල් එකකි.

ඉං පස්සේ ඉතුරු කොටස කියවන්නට යැයි කියමි. කියවා අවසන් වනවිට තමුන් ගැනම නොදකින් කියා හිතෙන අවුල් සහගත බව විඳගන්නට යැයි කියමි. ඒ එක්කම ලෝකයෙන් ආදරයක් කරුණාවක් නොලැබ බ්ලැක් ලිස්ට් වෙලා යන “මම“ලා වෙනුවෙනුත්, උන් වෙනුවෙන් හතරගාතෙන් හයියක් වෙන්නට වෙර දරන බව්වලා වෙනුවෙනුත් හිතේ ඇතිවන සෙනෙහස තවත් "මම" කෙනෙක් නූපද්දනු පිනිසත් තව තවත් බවුවලා සුරකිනු පිනිසත් යොදවන ලෙස ඉල්ලමි.

ලයිසන් තියෙන ඕන එකෙකුට වීල් එකේ හයර් දුවන්නට පුළුවන. නමුත් ලෙඩෙක් ඇරන් මරදන්කඩවල යන්න හැම එකාටම බැරිය.

පොත් ලියන්න මටත් පුළුවන. නමුත් වචනවලට පන්නරය දෙන්න නම් තරිඳුලා ඉන්නට ඕනාය.

මේ සටහනත් මික්කාටය.




   

Saturday, July 20, 2019

හිච්චි මැන්ඩිස් පුතා වෙත ආදරයෙන් ලියමි

පුතේ,
මේ ලියමන පුතාගෙ දෑහිම්ම කියවාගන්නටත් තේරුං ගන්නටත් තව අවුරුදු පහලොවක් විතර යන බව මං දන්නවාය. ඒ උනත් ඒ කාලෙට පුතාට මෙව්වා කියා දෙන්නට මේ සුරං මාමා පන පිටිං නොයින්නත් පුළුවන. ඒ හංදා අදම මේක ලියා දාන්නේ මේ අකුරු ටික ලෝකේ කොතැනක හරි තැනක Google සේවාදායකයක් අස්සේ කරකැවෙන තැටියක ලියැවී පුතාගෙ ඇහැ ගැටෙන දවස වෙනකං ආරස්සා වෙන බව සුරං මාමා දන්න හන්දාය.

පුතේ,
මේ ගෙවී යන්නේ බ්ලොග් එකේ අකුරක් ලියන්නට ඉඩක් නැති මහ සවුත්තු කාලයක්ය. කොටිම්ම ලස්සයක් දෙන්නං කියා කිව්වත් මේකේ අකුරක් ලියන්න නොහිතෙන කාලයක්ය. ඒ උනත් පුතා මේ ලෝකෙට උපං එක සුරං මාමාට කෝටියටත් වඩා වටින්නේය. ඒ හංදා නිදිමරාගෙන මේ අකුරු ටික මෙහෙම ලියා දමන්නේය.

පහුගිය දවස් ටිකේ පුතාගේ තාත්තා උන්නේ එලෝ විකාරෙං මෙලෝ අතගාගෙනය. මොන යං ක්‍රමේකින් හරි පුතාව මෙලොවට ගෙන්නා දෙන්න කියා උන්දෑ දොස්තරු ඉදිරියෙත් පිංසෙන්ඩු වී තිබුණ බවත් සුරං මාමාට ආරංචි වුනාය. කොයියම්ම විදිහකින් නමුත් පුතා මේ ලෝකෙට ගොඩ බැහැපු බවත් පුතාගෙ අම්මාත් පුතාත් දෙන්නාම සනීපෙන් ඉන්නා බව දැනගත්ත එක බොහොම සතුටක්ය.

ඒ වුනත් පුතේ වෙල්කං ටු ශ්‍රී ලංකා කියා හිතට එකඟව කියා පුතාව පිළිගන්නට බැරි එක දුකක්ය. සුරං මාමාට වගේම මේ රටටමත් ලබා ඇත්තේ මහ සවුත්තු කාලයක්ය. එහෙම වෙලා ඇත්තේ පුතා වගේ අලුත ඉපදෙන කුඩා පුරවැසියාගේ ඉඳං හැරමිට්ටෙං යන කෙනා දක්වා බොහොම ගොඩක් ඕනෑ කරන ආදරේ මේ ලංකාවේ බොහොම හිඟවීම හිංදාය.

පුතා දිවියලෝකෙං එත්දී එයින් ඩිංගක් හෝ මිට මොලවාගෙන එන්න ඇතැයි සුරං මාමා කල්පනා කරනවාය. පුතාලාගේ ගෙදර නං ආදරේ ඕනෑ පදං ඇති හන්දා අමුතුවෙං අඩුවක් නැතුව ඇතැයි හිතනවාය. ඒ උනත් පුතාව කුසේ තියාගෙන මේ ලෝකෙට බිහිකරාපු අම්මාට පුතාගෙ කිරි සුවඳ ආදරෙං යහමින් ටිකක් දුන්නා නං හොඳ බව මං හිතනවාය. ඒ වගේම කෙසඟ සරීරෙ අස්සේ මහා ලොකු හදවතක් හංගං ඉන්න පුතාගෙ තාත්තාටත් එයිං පංගුවක් නොදී අරින්න හොඳ නැති බව පුතාට මතක් කරන්න ඕනෑය. ඒත් එක්කම පුතාගෙ අයියාගේ කම්මුල් දෙක රෝසපාට වෙන්නට මූන දෙපැත්තෙම ආදරේ තවරන්න පුතාට පුළුවංය.

පුතාගෙ සිඟිති කකුල් දෙකිං පංචස්කන්දේ හිටවාගන්න පුළුවං වෙච්චි දවසට පුතාට ගේ දොරකඩ වැටේ එල්ලී ලෝකෙ දිහා කෙලිං බලන්න පුළුවං වෙනවාය. ආං එදාට මේ ලෝකෙ ඉන්නා මිනිස්සුත් සත්තුත් කොයි තරං ආදර සාගතේකිං පෙලෙනවාදැයි පුතාගෙ සිඟිති දෑහැම්ම බලාගන්නට පුළුවං වෙනවා ඇත. හිරිකඩට තෙමෙන මැටි ගෙවල් ඇතුලේ, අගුපිල්වල වගේම වීඳුරු අඳුරු කරපු වාහන, තට්ටු ගනං උස මන්දිර ඇතුලෙත් ආදරේ නොලබන මනුස්ස කූඩු ඉකිබිඳිනවා අපට නොපෙනුනාට පුතාගේ සිඟිති හදවතට පෙනෙනවා ඇත. ආං ඒ හදවත් වලටත් බෙදා දෙන්නට පුතා ගෙනා ආදරේ පරිස්සං කරගන්න කියා පුතාගෙන් ඉල්ලනවාය.

ඒ වගේම පුතේ පුතා ලොකු මහත් වෙද්දී පුතාට තෙල් ගෑවිච්ච හදවත් ඇති මනුස්ස කූඩු ගොඩක් මුණ ගැහෙන්නට පුළුවන. ඒ වගේ තෙල් ගෑවිච්ච හදවත් වලට ආදරේ අල්ලන්නේ නැත. ඒත් ඒ වගේ මනුස්ස පරාණ වලටත් ආදරේ එක ලෙසම බෙදන්න කියා පුතාගෙං ඉල්ලනවාය. ඒ එක්කම ඒ වගේ උංගෙං පරිස්සං වෙන්න කියාත් පුතාගෙං ඉල්ලනවාය.

පුතාටත් තව අවුරුදු හතර පහකින් මේ ලෝකේ හැල්මේ දුවන තරඟෙට එක්කහු වෙන්න වෙනවාය. එදාට පුතා පරිස්සං කරගත් ආදරේ මග හැලෙන්න නොදී පුතාට හම්බවෙන හැම කෙනාටම බෝ කරන්න කියා පුතාගෙං ඉල්ලනවාය. වැඩිය නැතත් පුතා වගේම තව දහයකට ආදරේ බෙදීම බෝ කලොත් පුතා රට වෙනුවෙං යුතුකම ඉටු කළා කියා සතුටු වෙන්නට පුළුවන.

සුරං මාමා ඒ තරං බණ දහමක් දන්න මිනිහෙක් නොවන හංදා ඒ අංසෙන් පුතාට දැනමුතුකමක් දෙන්නට පුළුවං කමක් නැත. පුතා බහ තෝරන කාලෙ වෙත්දී දැතියා මාමා ඒ වගේ දැනමුතුකං පුතාට කියා දෙනවා ඇත. ඒ වුනත් පස්සෙ දවසක මතක් කරත්දී දුක හිතෙන ජාතියෙ වැඩ කරන්න එපා කියන ඉල්ලීම පුතාගෙං ඉල්ලන්නට නං සුරං මාමාට පුළුවන. මීට බොහොම කාලෙකට ඉස්සර සැප සම්පත් සේරම අතෑරලා මහපාරට බැහැලා අනුංගෙන් ලැබෙන දෙයකිං පණ රැකගෙන සතා සිව්පාවාගේ පටං දිවියලෝකෙ දෙවියන් දක්වා හැමෝටම එක විදිහට ආදරේ බෙදා දීපු ගෞතම බුදුන් කියා කෙනෙකුත් ඔය කතාවම වෙනිං විදිහකින් කියා තියෙන බව පුතා පස්සෙ කාලෙක තේරුං ගන්නවා ඇත.

ඉතිං පුතේ මේ බොහොම කෙටි ලියමන අවසං කරන්නට ඕනෑය. මේ ටිකවත් ලිව්වේ පුතා වගේ අවංක, සිල්වත්, ගුණවත් කෙනෙක්ට කෙරෙන ගරු කිරීමක් හැටියටය. අද හෙට බැරිවුනත් තව අවුරුද්දකින් හමාරකින් පුතාව බලන්න එන්නට සුරං මාමාත් චූටි මැණිකෙ නැන්දාත් හිතා ඉන්නවාය. සමහර විට ළඟදී යහපත් වාහනයක් ගන්න සුරං මාමාට පුළුවං උනොත් ඊට කලිං අපි පුතාව බලන්න එන්න හිතා ඉන්නවාය.

එදාට අපිටත් දෙන්නට ආදරේ බිඳක් පුතාගේ ළපටි අතේ ගුලි කරගෙන ඉන්න කියා පුතාගෙන් ආදරයෙන් ඉල්ලනවාය.

පුතාටත්, පුතාගේ අම්මාටත්, පුතාගේ තාත්තාට සහ අයියාටත් සුමන සමන් දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි!

මීට
සුරං මාමා, චූටි මැණිකෙ නැන්දා සහ ටිකිරී සඳමාලි අක්කා,


පසුව ලියමි:- පුතාගේ තාත්තා මේක එයාගේ සඳූට ඇහෙන්න කියවනකොට පුතාටත් අහං ඉන්න පුළුවං වෙනවා ඇති. එතකොට ඊට යටින් ලියා තියෙන කොමෙන්ට් ටිකත් කියවන්න කියා පුතාගෙ තාත්තාට මතක් කරන්න.