Saturday, July 20, 2019

හිච්චි මැන්ඩිස් පුතා වෙත ආදරයෙන් ලියමි

පුතේ,
මේ ලියමන පුතාගෙ දෑහිම්ම කියවාගන්නටත් තේරුං ගන්නටත් තව අවුරුදු පහලොවක් විතර යන බව මං දන්නවාය. ඒ උනත් ඒ කාලෙට පුතාට මෙව්වා කියා දෙන්නට මේ සුරං මාමා පන පිටිං නොයින්නත් පුළුවන. ඒ හංදා අදම මේක ලියා දාන්නේ මේ අකුරු ටික ලෝකේ කොතැනක හරි තැනක Google සේවාදායකයක් අස්සේ කරකැවෙන තැටියක ලියැවී පුතාගෙ ඇහැ ගැටෙන දවස වෙනකං ආරස්සා වෙන බව සුරං මාමා දන්න හන්දාය.

පුතේ,
මේ ගෙවී යන්නේ බ්ලොග් එකේ අකුරක් ලියන්නට ඉඩක් නැති මහ සවුත්තු කාලයක්ය. කොටිම්ම ලස්සයක් දෙන්නං කියා කිව්වත් මේකේ අකුරක් ලියන්න නොහිතෙන කාලයක්ය. ඒ උනත් පුතා මේ ලෝකෙට උපං එක සුරං මාමාට කෝටියටත් වඩා වටින්නේය. ඒ හංදා නිදිමරාගෙන මේ අකුරු ටික මෙහෙම ලියා දමන්නේය.

පහුගිය දවස් ටිකේ පුතාගේ තාත්තා උන්නේ එලෝ විකාරෙං මෙලෝ අතගාගෙනය. මොන යං ක්‍රමේකින් හරි පුතාව මෙලොවට ගෙන්නා දෙන්න කියා උන්දෑ දොස්තරු ඉදිරියෙත් පිංසෙන්ඩු වී තිබුණ බවත් සුරං මාමාට ආරංචි වුනාය. කොයියම්ම විදිහකින් නමුත් පුතා මේ ලෝකෙට ගොඩ බැහැපු බවත් පුතාගෙ අම්මාත් පුතාත් දෙන්නාම සනීපෙන් ඉන්නා බව දැනගත්ත එක බොහොම සතුටක්ය.

ඒ වුනත් පුතේ වෙල්කං ටු ශ්‍රී ලංකා කියා හිතට එකඟව කියා පුතාව පිළිගන්නට බැරි එක දුකක්ය. සුරං මාමාට වගේම මේ රටටමත් ලබා ඇත්තේ මහ සවුත්තු කාලයක්ය. එහෙම වෙලා ඇත්තේ පුතා වගේ අලුත ඉපදෙන කුඩා පුරවැසියාගේ ඉඳං හැරමිට්ටෙං යන කෙනා දක්වා බොහොම ගොඩක් ඕනෑ කරන ආදරේ මේ ලංකාවේ බොහොම හිඟවීම හිංදාය.

පුතා දිවියලෝකෙං එත්දී එයින් ඩිංගක් හෝ මිට මොලවාගෙන එන්න ඇතැයි සුරං මාමා කල්පනා කරනවාය. පුතාලාගේ ගෙදර නං ආදරේ ඕනෑ පදං ඇති හන්දා අමුතුවෙං අඩුවක් නැතුව ඇතැයි හිතනවාය. ඒ උනත් පුතාව කුසේ තියාගෙන මේ ලෝකෙට බිහිකරාපු අම්මාට පුතාගෙ කිරි සුවඳ ආදරෙං යහමින් ටිකක් දුන්නා නං හොඳ බව මං හිතනවාය. ඒ වගේම කෙසඟ සරීරෙ අස්සේ මහා ලොකු හදවතක් හංගං ඉන්න පුතාගෙ තාත්තාටත් එයිං පංගුවක් නොදී අරින්න හොඳ නැති බව පුතාට මතක් කරන්න ඕනෑය. ඒත් එක්කම පුතාගෙ අයියාගේ කම්මුල් දෙක රෝසපාට වෙන්නට මූන දෙපැත්තෙම ආදරේ තවරන්න පුතාට පුළුවංය.

පුතාගෙ සිඟිති කකුල් දෙකිං පංචස්කන්දේ හිටවාගන්න පුළුවං වෙච්චි දවසට පුතාට ගේ දොරකඩ වැටේ එල්ලී ලෝකෙ දිහා කෙලිං බලන්න පුළුවං වෙනවාය. ආං එදාට මේ ලෝකෙ ඉන්නා මිනිස්සුත් සත්තුත් කොයි තරං ආදර සාගතේකිං පෙලෙනවාදැයි පුතාගෙ සිඟිති දෑහැම්ම බලාගන්නට පුළුවං වෙනවා ඇත. හිරිකඩට තෙමෙන මැටි ගෙවල් ඇතුලේ, අගුපිල්වල වගේම වීඳුරු අඳුරු කරපු වාහන, තට්ටු ගනං උස මන්දිර ඇතුලෙත් ආදරේ නොලබන මනුස්ස කූඩු ඉකිබිඳිනවා අපට නොපෙනුනාට පුතාගේ සිඟිති හදවතට පෙනෙනවා ඇත. ආං ඒ හදවත් වලටත් බෙදා දෙන්නට පුතා ගෙනා ආදරේ පරිස්සං කරගන්න කියා පුතාගෙන් ඉල්ලනවාය.

ඒ වගේම පුතේ පුතා ලොකු මහත් වෙද්දී පුතාට තෙල් ගෑවිච්ච හදවත් ඇති මනුස්ස කූඩු ගොඩක් මුණ ගැහෙන්නට පුළුවන. ඒ වගේ තෙල් ගෑවිච්ච හදවත් වලට ආදරේ අල්ලන්නේ නැත. ඒත් ඒ වගේ මනුස්ස පරාණ වලටත් ආදරේ එක ලෙසම බෙදන්න කියා පුතාගෙං ඉල්ලනවාය. ඒ එක්කම ඒ වගේ උංගෙං පරිස්සං වෙන්න කියාත් පුතාගෙං ඉල්ලනවාය.

පුතාටත් තව අවුරුදු හතර පහකින් මේ ලෝකේ හැල්මේ දුවන තරඟෙට එක්කහු වෙන්න වෙනවාය. එදාට පුතා පරිස්සං කරගත් ආදරේ මග හැලෙන්න නොදී පුතාට හම්බවෙන හැම කෙනාටම බෝ කරන්න කියා පුතාගෙං ඉල්ලනවාය. වැඩිය නැතත් පුතා වගේම තව දහයකට ආදරේ බෙදීම බෝ කලොත් පුතා රට වෙනුවෙං යුතුකම ඉටු කළා කියා සතුටු වෙන්නට පුළුවන.

සුරං මාමා ඒ තරං බණ දහමක් දන්න මිනිහෙක් නොවන හංදා ඒ අංසෙන් පුතාට දැනමුතුකමක් දෙන්නට පුළුවං කමක් නැත. පුතා බහ තෝරන කාලෙ වෙත්දී දැතියා මාමා ඒ වගේ දැනමුතුකං පුතාට කියා දෙනවා ඇත. ඒ වුනත් පස්සෙ දවසක මතක් කරත්දී දුක හිතෙන ජාතියෙ වැඩ කරන්න එපා කියන ඉල්ලීම පුතාගෙං ඉල්ලන්නට නං සුරං මාමාට පුළුවන. මීට බොහොම කාලෙකට ඉස්සර සැප සම්පත් සේරම අතෑරලා මහපාරට බැහැලා අනුංගෙන් ලැබෙන දෙයකිං පණ රැකගෙන සතා සිව්පාවාගේ පටං දිවියලෝකෙ දෙවියන් දක්වා හැමෝටම එක විදිහට ආදරේ බෙදා දීපු ගෞතම බුදුන් කියා කෙනෙකුත් ඔය කතාවම වෙනිං විදිහකින් කියා තියෙන බව පුතා පස්සෙ කාලෙක තේරුං ගන්නවා ඇත.

ඉතිං පුතේ මේ බොහොම කෙටි ලියමන අවසං කරන්නට ඕනෑය. මේ ටිකවත් ලිව්වේ පුතා වගේ අවංක, සිල්වත්, ගුණවත් කෙනෙක්ට කෙරෙන ගරු කිරීමක් හැටියටය. අද හෙට බැරිවුනත් තව අවුරුද්දකින් හමාරකින් පුතාව බලන්න එන්නට සුරං මාමාත් චූටි මැණිකෙ නැන්දාත් හිතා ඉන්නවාය. සමහර විට ළඟදී යහපත් වාහනයක් ගන්න සුරං මාමාට පුළුවං උනොත් ඊට කලිං අපි පුතාව බලන්න එන්න හිතා ඉන්නවාය.

එදාට අපිටත් දෙන්නට ආදරේ බිඳක් පුතාගේ ළපටි අතේ ගුලි කරගෙන ඉන්න කියා පුතාගෙන් ආදරයෙන් ඉල්ලනවාය.

පුතාටත්, පුතාගේ අම්මාටත්, පුතාගේ තාත්තාට සහ අයියාටත් සුමන සමන් දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි!

මීට
සුරං මාමා, චූටි මැණිකෙ නැන්දා සහ ටිකිරී සඳමාලි අක්කා,


පසුව ලියමි:- පුතාගේ තාත්තා මේක එයාගේ සඳූට ඇහෙන්න කියවනකොට පුතාටත් අහං ඉන්න පුළුවං වෙනවා ඇති. එතකොට ඊට යටින් ලියා තියෙන කොමෙන්ට් ටිකත් කියවන්න කියා පුතාගෙ තාත්තාට මතක් කරන්න.

37 comments:

  1. මේ ලියවිල්ල ගැන මගේ හදවතින්ම උපන් ගෞරවය පිළිගන්ඩ සුරංග මල්ලි

    ReplyDelete
    Replies
    1. මෙව්ව අපේ යුතුකංනෙ විජේවර්ධන සර්

      Delete
  2. වෙල්කම් ටු සී ලන්කා.ම්

    ReplyDelete
  3. රාගම රෝහල කොයිතරම් හොඳද කියතොත් එතන අපේ පුතා උපන්නට පස්සෙ තවත් දරුවො ලබන්න අදහස අපි අත්ඇරියා. එතන ඉඳලත් දවස් දෙකෙන් විතර ගෙදර යන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්. මගෙ බැච්මේට් ඒඕ කෙනෙක් එතන ඉන්නවා. උන්දැට මං බලන්න කිව්ව. ඒත් මගෙ මේ දවස්‌වල දින චරියාව නිසා සියැසින් දැක බලාගෙන කතාකරන්න ලැබුනු අවස්ථාව අපතේ ගියා. මම පොඩි මෙන්ඩලා දෙන්නම බලන්න එනවා.

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ......

    ReplyDelete
  5. මම එක. කියවනවා කියවනවා කියවනවා..

    ReplyDelete
  6. චන්ද්‍රමඬල යට සුරංගනාවන්
    පුතු සනහන්නට ගීත ගයනවලු
    පුතේ එපා ඒ කතා අහන්නට
    මේ නැළවිලි ගී මවයි කියන්නේ ....

    ReplyDelete
  7. යාංහෑල්ලෙ මගඇරිච්ච පරන කතා දෙකතුනක් කියවන්ඩ හිතාන මේ පැත්තට ගොඩඋනේ..... කාලෙකට පස්සෙ අකුරක් ලියල තියෙනව දැක්කම දෙයියෙක් දැක්ක වගේ සංතෝසයි සුරං මාමෙ......
    මාමට සියලු දෙයියන්ගෙ පිහිටයි

    ReplyDelete
  8. මොකද්ද බං මේක? උඹට බෑන කෙනෙක් ආවද?

    ReplyDelete
    Replies
    1. හරියට කියතොත් අපි සේරෝටම බෑනෙකි. මේ සටහන එළ ද බ්‍රා මෙන්ඩාගේ සහ සඳූගෙ හිච්චි පුතා වෙනුවෙනි.

      Delete
  9. Chamara DasanayakaJuly 20, 2019 at 12:48 PM

    පුරා මාස හතක් තිස්සෙ සිදුකල දෛනික කර්තව්‍යන් අතර යාන් හෑල්ලට එබීමද එකදු දිනයක්වත් නෑර සිදු කලෙමි. අද හෙට වස විස නැති කාබනික අත්දැකීමක් රසවිදින්නට හැකිවෙයැයි සිතුවෙමි. අදත් සුපුරැදු ලෙස පැමිනි විට හදවත පිරැනෙ අලුත් සටහනක් දුටු නිසාය. බලාපොරොත්තු වූ දෙයක් ොව ලෙයින් මසින් දයාවෙන් පිරැනු හදවතක සටහනක් දුටුවෙමි. කම් නැත. නැවත පරන මිතුරෙකු දුටු සතුටක් ඇති විය. දරැවෙකු වෙත තැබූ සටහනක පලමු ොමෙන්ටුවෙහි හිමිකරැ වීමෙහි සතුටද සමග ඔබට සුබ පතමි.

    ReplyDelete
  10. පුරා මාස හතක් තිස්සෙ සිදුකල දෛනික කර්තව්‍යන් අතර යාන් හෑල්ලට එබීමද එකදු දිනයක්වත් නෑර සිදු කලෙමි. අද හෙට වස විස නැති කාබනික අත්දැකීමක් රසවිදින්නට හැකිවෙයැයි සිතුවෙමි. අදත් සුපුරැදු ලෙස පැමිනි විට හදවත පිරැනෙ අලුත් සටහනක් දුටු නිසාය. බලාපොරොත්තු වූ දෙයක් ොව ලෙයින් මසින් දයාවෙන් පිරැනු හදවතක සටහනක් දුටුවෙමි. කම් නැත. නැවත පරන මිතුරෙකු දුටු සතුටක් ඇති විය. දරැවෙකු වෙත තැබූ සටහනක පලමු ොමෙන්ටුවෙහි හිමිකරැ වීමෙහි සතුටද සමග ඔබට සුබ පතමි.

    ReplyDelete
  11. Replies
    1. මේ සටහන එළ ද බ්‍රා මෙන්ඩාගේ සහ සඳූගෙ හිච්චි පුතා වෙනුවෙනි.

      Delete
    2. අ දැනුයි මගේ ටියුබ් ලයිට් එක පත්තු වුණේ.මෙන්ඩලා පවුලට සුබපැතුම්.

      Delete
  12. යහපත් වාහනයක් ගන්න එක සෑහෙන්න දත කෑ යුතු වැඩක්ය. ඒ හින්දා නිවී හැනහිල්ලේ පොඩි මෙන්ඩා බලන්න ගොස් එන ලෙසා තරයේ අවවාද කරනවාය. යහපත් වාහනයක් ගෙන පොඩි මෙන්ඩා බැලීමට යාමට සිතා සිටියහොත් පොඩි මෙන්ඩා එක වසරට ඇතුලු කරනතාක්වත් ඔය කර්තව්‍යය ඉටුකරගැනීමට ලැබේදැයි සැක සහිතය. පොඩි මෙන්ඩලාගේ රැකියාවක් සොයා එලිබහිනා දිනය වෙද්දීවත් මේ මජර දේසපාලුවන්ගෙන් රට නිදහස් වී තිබේවායයි අම්බලන්ගොඩයා මාමා ඉතසිතින් ප්‍රාර්තනා කරනවාය.

    ReplyDelete
  13. අනේ මංදා, හෙනම අවුල් අනේ, ඇත්තට මේ ලෝකෙට ආදරේ හිගයි තමයි....
    මෙන්ඩයියගේ බබාටත්, අපි හුගක් ආදරේ දෙන්න ඕනේ...

    ReplyDelete
  14. සුරං මාමාට මතක අමතක වෙලා තිබ්බ බ්ලොග් කියන මේ අටමගලෙ වචනයක් ලියාගන්න හිතක් පහල කරන්න ලැබීමම හිච්චි මෙන්ඩිස් පුතාගේ වාසනාවක් යැයි னයා මාමා හිතනවාය. සුරං මාමා කියා තියෙනවා වගේම බොලාගේ අප්පොච්චා ඇඟට වැඩිය ලොකු හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් වන වග බ්ලොග් කාර මාමලා නැන්දලා දන්නවාය. පොඩි මෙන්ඩාට වගේම හිච්චි මෙන්ඩාටත් ඒ හොඳ හදවතෙන් කොටසක් ඇවිත් තියෙන්නට අනිවාර්යෙන් ඕනාය. ඒ නිසා සුරං මාමාගේ බලාපොරොත්තු සුං වේවි කියා හිතන්නට කොහොමත්ම බැරිය. පුතා ලොකු උනාට පසුව අප්පොච්චා, අම්මා, අයියා වගේ මනුස්සයට, සතා සීපාවට වාගේම පරිසරයටද, බ්ලොග් ලෝකයටද ආදරය කරන යහපත් මෙන්ඩෙකු වනු ඇතැයි னයා මාමද හිතනවාය. ඉඩක් ලැබුනු සැනෙකින් හිච්චි මෙන්ඩා බලන්නට එන්නට னයා මාමාද හිතා සිටිනවාය. එතෙක් තෙරුවන් සරණින් මෙන්ඩිස් පවුලට වාසනාව උදාවේවායි னයා මාමා ප්‍රාර්ථනා කරනවාය.

    ReplyDelete
  15. අඩෝ සුරංචියො උඹ යනකොට මාවත් එක්ක පලයාාාාාාාාාාාාාාාාං.

    මීට
    னයා.

    (සැ.යු. මෙම කොමෙන්ටුව හිච්චි මෙන්ඩා වෙනුවෙන් නොකියවියයුතු බව මෙන්ඩාට අවධාරනය කරමි.)

    ReplyDelete
  16. අඩෝ මං හිතුවා අපේ කුසල් මෙන්ඩිස් හිච්චි පුතාට මඩ ගහපු හෑල්ලක් කියලා. පස්සයෙි මීටර් උනේ හිච්චි මැන්දිස් පුතා කව්ද කියලා. ඒකයි දුවං ආවේ. එළ ද බ්‍රා. බ්‍රෑන්ක් එක ගල්

    ReplyDelete
  17. ෙකායි දරුවටත් වටිනා උපන්දින තෑග්ගක් මල්ලී

    ReplyDelete
  18. උඹ මැරිල නෑ කියල හරි, අතක් පයක් කැඩිල නෑ කියල හරි, හොඳ සිහියෙන් ඉන්නෙ කියල හරි දැනගත්ත එක ලොකු සතිටක් අයියේ...

    ReplyDelete
  19. පලමු ව හිචිචි මෙන්ඩාට සුබ උපන් දිනක් වගෙම වාසනාවන්ත අනාගතේකට ආසිරි පතනවාය...

    සුරංචියාට මෙසේ හෝ මෙි හෑල්ල කුටුගෑම වෙනුවෙන් ස්තුතිය පුදනවාය..පුලුවන් විදියට ලියපන් අයියේ...

    ReplyDelete
  20. මටනම් හිතෙන්නේ උබ කොහේ හරි ඉදලා පහුගිය දවස් ටිකේ මම දිහා බලාගෙන හිටියා කියලා....
    ඉරිදා උදේ ඉස්පිරිතාලේට ඇතුල් කරපු මගේ සද බ්‍රහස්පතින්දා හවස 6.15 ට වාට්‍ටුවට දානකන් මම හැම තප්පරෙකම මැරි මැරි ඉපදුනා...
    බ්‍රහස්පතින්දා උදේ මම වොර්ඩ් එකෙන් එලියට එන්න ඉස්සර සද ලේබර් රුම් එකට ගත්තේ දවල් යනකොටත් නැහැ හව්ස 6 වෙනකුනුත් නැහැ...මම ගෙදර ගියේ නැහැ බන් උදේ ඉදලා ඉස්පිරිතලේ ඉස්සරහා ඉදගෙන හිටියා....
    මගේ සදට මොනවා හරි උනානම් මේ ලොකේ බ්‍රා මෙන්ඩා නැහැ...
    ඇත්ත ...මම වි ඕ ජි ප්‍රදිප් ද සිල්වා ඉස්සරහ අත් දෙක එකෙතු කරලා වැදලා කිව්වා මගේ ගැනියි ලමයයි බේරලා දෙන්න...කියන ඔනම ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට ඇතුල් කරන්නම් කියන ඔන ගානක් සල්ලි බදින්න්ම් සිසර් කරලා ලමයා අර්ගේන් දෙන්න කියලා...ඌ කියනවා මම සිස්ර් කර්න්නේ නැහැ ඔයා වෙන කාට හරි කියලා කරගන්න කියලා...එක සැරයකට 3600/= ගානේ 16 සැරය්ක් පෙන්නලා 3600/= මාසෙකට කලින් බැදලා නොම්බරේ අර්ගෙන වෙන දොස්තර කෙනෙක් සිස්ර් කරයිද? මට සල්ලි තියනවට නෙමෙයි ඒත් මාව හරි විකුනලා මම සල්ලි බදිනව ඌ හා කිව්වනම්...මොකද මම ඉපදුනේ සදුගෙන් මේ ජිවිතේ සදු ගේ....

    ReplyDelete
    Replies
    1. සීසර් කරන එක ප්‍රතික්ෂේප කරන්න හේතුව මොකද්ද මෙන්ඩො ? :O

      Delete
  21. පුදුමාකාර ආදරණීය ලියමනක් සුරංග
    අම්මපා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කියෙව්වෙ

    ReplyDelete
  22. සුරං ආපහු ඇවිල්ලා,එල ,අදයි මේක දැක්කෙ දවස් ගානක් බොගට හොම්බ දාන්න බැරි වුනා රට වටේ මඟුල් ගෙවල් වල ගිහින් ඇවිත් අදයිි වාඩි වුනේ.එනි වේ මෙන්ඩිස් පවුලට සුබ පතමි.(සුරං මහත්තයෝ මාත් ඉන්නේ දියතලාවෙ හමුවෙලා කතා කරන්න කැමතියි කරදරයක් නොවේ නම් ග්රින් ලයිට එකක් දාන්න)

    ReplyDelete
    Replies
    1. වයි නොට් එවන්න ටෙලපනුවෙ නොම්බරේ ඇමතුම් පෝරමය හරහා

      Delete
  23. මේක කියවන කාලෙට මෙහෙම රටක් ඉතුරුවී තිබුණෝතින් ඒකම ඇතිය...

    ReplyDelete
  24. ඇමතුම් පෝරමය???????😬😬😬😬

    ReplyDelete
  25. මේ පහලින් තියෙන්නෙ මගෙ සුන්දර ඡායාරූපයට පහලින් “අමතන්න“ කියල එකක්. ඊට යටින් තියෙන පෝරමයට දාන්න.

    ReplyDelete
  26. වෙල්කම් හිච්චි මෙන්ඩා.. සුරන් මාම කියුව වගේ ආදරේ තමයි අඩු අපි හැමෝටම.. පුළුවන් තරමින් උස මිටි කම් නොබලා ආදරේ බෙදපන් පුළුවන් දවසට.. මෙන්ඩිස් පවුලට ජයවේවා! සුරන් පවුලටත් ජයවේවා!!!

    ReplyDelete
  27. පොඩි මෙන්ඩාට සුභ පැතුම් !
    පොඩි මෙන්ඩා සමගම සුරංගත් නැවත ඉපදී ඇත.
    ස්තූතියි.

    ReplyDelete
  28. පොඩිම මෙන්ඩා නිසා ලියන්න කටා ගොඩයි..ඒත් වෙලාව තමයි....පට්ට කතා ගොඩක් හිතේ එකතු වෙලා ඉකමනටම උබලාගේ බ්ලොග් වල ඒවා ලියනවා

    ReplyDelete
  29. මෙන්ඩෝ පවුලටම ජය සහ සතුට !!! අලුත් කොලූට එළ ද බ්‍රා මැන්ඩිස් ජුනියර් කියනවද ? එළ ද බ්‍රා මැන්ඩිස් -II කියල කියනවද කියල බැලුවෙ ... කොහොම වෙතත් බොට ආපහු ලියන්න නිමිත්තක් දුන්න එකට මෙන්ඩට පිං :-D

    ReplyDelete