Follow by Email

Sunday, February 26, 2017

පොජෙට්ටෙක 3 - පිටගංකාරයෝ





හැමදාම මහරෑට කවදාවත් ඇහිච්ච නැති තරං මහා සද්ද තියෙන වාහන පාරෙ යද්දි ඇල්ල බැඳිල්ල ජයටම කෙරෙන බව අපේ ඔලුවලට වැටුනා. ඒ එක්කම පෙජෙට්ටෙකේ වැඩ කරන්න පිටගංකාරයො රංචු පිටිං ගමට සේන්දු වුනා. ඒ අයට නවාතැං දීලා අමතර ගානක් හොයාගන්න පුළුවං කම තිබුණත් අපේ ආච්චම්මයි ආතයි තමුංගෙ මාන්නෙ ඉස්සරහට දාගත්තා.

"මන්නං ඔය එකේක ජාතියෙ පිටගංකාරෙයො ගෙවල්ලස්සෙ දාගන්නෑ ගුනොවද්දන ළමෙයො. කොයි දීපංකරේකිං එනවද, මොක්කුද, කායෙකවුද නෙදැන මේ කාලෙ රෑට රැයක්කෙලිවෙන්න ගේක නවත්ත ගත්තැක්ද මංහාන්නෙ."

අපෙ ආත ඉස්තෝප්පුවෙ සාකච්ඡා මණ්ඩපේදි ප්‍රකාශ කෙරුවා.


"ඔය ටීවියෙකේ පෙන්නන නාට්ටිඔලත් බෝඩිංකාරයො අන්තිමට ගෙදර මිනිස්සුන්ට මොකක් නමුත් ආසනාසියක් සිද්ද කොල්ලනෙ යන්නෙ. අනික හිටිගමං අපේ ගෙවල්ලොල්ට ගෑල්ලමිස්සියෝ එනව. අනිග්ගාන මොකක් නමුත් වැරැද්දක් සිද්ද උනායිං පස්සෙ වැඩහ්නෑ."


ආච්චම්මත් රූපවාහිනියෙන් ලබාපු දැනුමෙන් ඒ කතාවට පෝර දැම්මා.


"ආං හරි නැංදම්මෙ, දැම්මේයපේ ගෙදර ඉන්නෙත් මායියපේ හීම්මැනිකෙයි ඉතරයිනෙ. ඔය තව ඕන්තරං ඉඩ තීන්නෙ. ඒ උනාට අපිටාපේ නිදහසේ ඕනැ වෙලාවක දොරජනෙල් පියංටික වහදාල ඕන්දිහාවක යන්න තීන්නෝනැ. මාද්දෙන්නෑ කුලියටනං කිසියම්ම කිසි කෙනෙට්ටම්මප."


ගුනවර්දන මාමත් ඒ කතාවට වතුර ඩිංගක් දාල වටේට වැටකුත් බැන්දා. ඒ වුනාට ගුනවර්දන මාමගෙ වැට ගැලවෙන්න වැඩි දවස් ගියේ නෑ.


"අම්මයි තාත්තයි ඉතරක් තනියෙං මහගෙදර ගෙදර ඉන්නෙපා. අපේ ගෙදෙට්ට වෙලා ඉන්න. අපියපේ දෙමාපියන්ට යුතුකං සලකන්නෝනැ."


කියලා හදිසියෙම ගුනවද්දන මාමවයි, හීම්මැනිකෙ නැන්දවයි තමුංගෙ ගෙදරට ගෙන්නගෙන නවත්තා ගත්තු ගුනවද්දන මාමගෙ දූ වෙච්චි **න්ති අක්කා හිස්වෙච්චි මහගෙදර ඩෝසර්කාරයෙක්ට කුලියට දුන්නා. ඩෝසර්කාරයා තමුංගෙ බිරිඳත් එක්ක ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා.


මේ කාලේ මහතුං මාමගෙ ලොකුදුවත් කසාද බැඳලා පවුල පිටිං ඇවිත් මහගෙදරම පදිංචි වෙලා හිටියෙ. අවස්ථානුකූලව වලියක් ඇදගෙන තමුංගෙ ලොකු දූව ළමා ළපටිත් එක්කම ගෙදරිං එළවපු මහතුං මාමා  ගෙට උඩහිං ගෙපලක් කපලා කනු හිටෝලා කාමරෙයි කුස්සියයි තියෙන ලෑලි ගෙයක් හැදුවා. කසාද බඳින්නැතුව ගෙදරම හිටපු බාල දූව කොළඹ ගාමන්ටෙහෙක රස්සාවට යැව්වා. මහතුං මාමා තමුංගේ පුතාවයි බිරින්දෑවයි අරගෙන ලෑලි ගෙදර පදිංචියට ගියා. හිස් වෙච්චි ගෙදර කුලියට දුන්නා. පහුවෙලා රස්සාවට ඇවිත් බෝඩිමක් නැතුව හිටපු ඩ්‍රැයිවර් කෙනෙකුටත් ඒ ගෙටම අල්ලලා ලෑලිවලින්ම කාමරයක් අටවලා කුලියට දුන්නා. ඔය විදිහට මහපාර අයිනෙ ගෙවල්වල පිටගංකාරයො රංචු පිටිං පදිංචි වෙනකොට ඒ ගෙවල්වල හිටපු අය තමුංගෙ ගම ඇතුලෙම සරණාගතයො විදිහට පැල්කොටවලට ගාල් උනා.


පොජෙට්ටෙකේ වැඩට යන අය තමුංගෙ රස්සාවෙ වගතුග ගම වටේට බෙදාහැරියා.

"බර වැඩක් ඇත්තෙම නෑ"

"කාලෙ කම්බියත් තනියෙං උස්සන්න දෙන්නෑ"

"බදාම එක්කොම අනන්නෙ මැසිං ඔලිං"

"අර ඩෝසරේ හැන්ද පොවන්න බැරි හරියෙ පස් ඩිංගක් තිවුනොත් උදැල්ලෙං හූරල දාන්න ඉතරයි මට තියෙන්නෙ."

"නිකම්මයි ඉන්න තියෙන්නෙ"

"කොන්කිරිට් දාද්දි හෝස්සෙක අල්ලං ඉන්න ඉතරයි ඩිංගක් අමාරු"

ඒ විස්තරවල හැටියට හැම වැඩක්ම කරන්න මැසින් තියෙනවා. වැඩට යන අයට තියෙන්නෙ ඒවයෙ සුයිච් ඔබන්න ඉතරයි. ඒ හිංදා ජෙජෙට්ටෙකේ වැඩ කරන කවුරුවත් කරන්නෙ කුලී වැඩ නෙමෙයි. හැමෝම එතන වැඩ කරන ලොකුම එක්කෙනාට ඩිංගක් පහල මට්ටමේ අය. මේ කතන්දර හිංදා වටපිටාවෙ ගම්වල ඉන්න කම්මැලි කමට රස්සාවලට නොයන අය, හොරෙං කෙහෙකං කපන පොල් කඩන අය, ගෑනිගෙං හම්බුකොරං කාලා නිකං ඉන්න අය, රස්තියාදුකාරයො, ආදී යංතං හුස්ම ඩිංග වැටෙන පිරිමි සේරම එකා දෙන්නා පෙජෙට්ටෙකේ රස්සාවට ගියා. කිලුටු ඇඳං අනුංගෙ කුලියට යනවට වඩා දිග කලිසමයි කමිසෙයි ඇඳලා හමුදා සපත්තු දෙකක් දාලා කහපාට ඉටි තොප්පියක් දාගෙන මේ රස්සාවට යන්න කවුරුත් කැමති වුනා. ඒ හංදා උපන්දා ඉඳං සරමෙන්ම හිටපු අයත් කකුල්දෙක දෙපැත්තට දාලා දික්කලිසම ඇන්දා.

"ආම්බලහල්ලකො විජේසේනත් දික්කලිසමක් ගහං යනොව කවදාක්කත් නැතුව"

"තවටික කාලෙකිං දෙමලුත් අඳියි දික්කලිසං"

"වෙන්දට නං මේ හරියටම දික්කලිසං අඳිනෑයට හිටියෙ අපේ පුතා ඉතරයි"

"දැං හැමේකාම මහත්තුරු වෙලා"

කිය කියා අපේ ආච්චම්මා දොරකොඩ ඉඳං ඒ අයට ඇද ඇල්ලුවා.

වෙනදට උසස්පෙල ඉවරවෙච්චි ගමං හමුදාවට බැඳෙන්න ඉලංදාරි රංචුවක්ම හිටියත් මේ කාලෙදි ඒ ඉලන්දාරි ටිකත් සේරම පෙජෙට්ටෙකටම බැඳුනා.

"ඔබ අපට අවශ්‍යයි"

"රට රකින්න පෙරට එන්න" 

"වීර පුතුනි මේ ඔබ මව්බිමට අවැසි කාලයයි"


කියලා ලොකු බැනර් පාර පුරා ඇදලා. පෝස්ටර් අලෝලා, පීකර බැඳං ගමක් ගානෙ කෑ ගගහ ඇවිදලා ආණ්ඩුවෙන් දන්න සේරම දහංගැට දැම්මත් ඒ අවුරුදු දෙක තුනේම අපේ ගම් පලාතෙං හමුදාවට බැඳුනෙ තමුං යාලුවෙච්චි ගෑල්ලමයව බැඳගන්න බැරිවෙච්චි කොල්ලො කීප දෙනෙක් විතරයි. ඒ අයට ඕනි වුනේ ප්‍රේමයෙන් පැරදිලා හමුදාවට ගිහිං හැකි ඉක්මනින් මැරිලා පෙට්ටියක බැහැලා එන්න. එතකොට තමුංව දාලා ගිය ගෑල්ලමයා ඇවිත් සඳරේණු පත්තරේ කතාවල ආකාරයට තමුංගෙ පෙට්ටිය බදාගෙන අඬනවා ඇති කියලා ඒ අය හිතං හිටියා.


ඒ කාලෙ ඉහළම වැටුප ලබපු හමුදාවෙ අයට තිබුණු තැන පෙජෙට්ටෙකේ වැඩකරන අයගෙ පඩියට යටවීමත්, පෙජෙට්ටෙකේ වැඩට ගියාට පරානෙට හානි වෙන්නෙ නැති කමත් නිසා අපේ ගමේ වීර පුතුන් ගාන බිංදුවටම බැස්සා. අපේ තාත්තගෙ පලවැලේ අයගෙනුත් බහුතරයක් පෙජෙට්ටෙකේ රස්සාවට යද්දි අපේ තාත්තත්, තව කසිප්පු වලින් දුවන කීප දෙනෙකුත්, අපෙ ආතගෙ වයසෙ පිරිමි ටිකකුත් විතරක් ගමේ පිරිමි පුලුටු විදිහට ඉතුරු වුනා.


මුල්ම කාලේ උදේ හවස පෙජෙට්ටෙකේ වැඩට යන අයව අරංගියේ ලොරිවලිං. හුඟක් අය ඉඳගෙන ගියෙ ලොරියෙ තට්ටුව වටේ තියෙන ඇන්දෙ. ලොරියෙ ඇන්දෙ ඉඳගෙන කිසිම දෙයක් අල්ලන්නැතුව යාමේ ත්‍රාසජනක වැඩේට පරාණ බය ඇති කීපදෙනෙක් විතරක් තට්ටුවෙ ඉස්සරහ ඇන්ද අල්ලගෙන හිටගෙන, ලොරියෙ වේගෙට කටට රිංගන හුලං කකා හිටියෙ ඇන්දෙ ඉඳං යන අයගෙ ඇනුම්පදත් අහගෙනයි. වැඩිකල් නොගිහිං ලොරියෙ ඇන්ද උඩ ඉඳං ගිය එක්කෙනෙක් පාරට වැටුනට පස්සෙ ලොරි ඇන්දෙ බංකු හයිකරලා නොතෙමෙන්න ඉටිකොල හෙවිල්ලපු කූඩුවකුත් හයිකලා. සේවකයො වැඩිවෙලා අපේ ගම හරහා යන ලොරි ගාන තුනක් දක්වා වැඩිවෙද්දි වැඩට යන මිනිස්සු ගෙනියන්න එක ළඟ නොම්බර තියෙන අලුත්ම බස් දෙකකුත් පෙජෙට්ටෙක ගානෙ පාරට වැටුනා. ඒ බස් දෙකේ වෙන වෙනම MOTOR POOL, DAM SITE කියලා බෝඩ් දෙකක් ගහලා තිබුනා. ටවුමෙ ඉඳං අපේ ගම කිට්ටුවට එනකොට බස් දෙකෙං එකකවත් පුඩ්බෝඩ්වල ඉඩ නෑ. ඒ හංදා අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට යන අයට යන්න වුනේ හිටගෙන. නැතිනං සීට්වල වාඩිවෙලා. ඒ හංදා හවසට වැඩ ඉවරවෙලා එද්දි අපේ ගමේ අයට පුඩ්බෝඩ්ඩෙකේ එන්න ඉඩ දෙන්න අනික් අයට සිද්දවුනා.

ග්‍රැෆික් නිර්මාණය කළේ - මං තමයි


එයිං එක බස් එකක ගුවන් නියමු තනතුර දැරුවෙ බ්‍රේක් එකට අඩු වටිනාකමකුත්, හෝන් එකටත් ඇක්සලේටරයටත් අපමණ අගයකුත් දුන්නු ***** බාස්ගෙ දෙවැනි පුතා. හන්දියෙ ඉන්න වැඩට යන කීප දෙනාව නග්ගගෙන පුඩ්බෝඩ් දෙකම පිරෙන්න මිනිස්සු පොදි දෙකකුත් එල්ලගෙන ගුවනට නගින බස්සෙක වංගුවලදී විතරක් යංතං පොලවට ගෑවීගෙන පාලමට උඩිං පාවීගෙන පුංචම්මලගෙ ගෙවල්ගාවට පාත්වෙනකොට අජිත් මුතුකුමාරණට "සුදු අරලියා මලඅඅඅඅඅඅ.." කියාගන්නත් වෙලාව මදි. පියාඹන සත්තුන්ට ඇරෙන්න පයිං යන සතෙකුටවත්, මිනිස්සුන්ටවත් ඒ බස්සෙකෙං කරදරයක් වෙලා තිබුනෙ නෑ.


අපේ ගෙවල්ගාව *** මාමත් පෙජෙට්ටෙකේ වැඩ කරන අයට බත් පාර්සල් සැපයීමේ ඕඩරයක් බාරගත්තා. දවල් කෑමට උදේ පාන්දර හතරෙ ඉඳං උයලා බත් පාර්සල් බැඳලා ඒවා ගිලෙන බඩේ අයිතිකාරයගෙ නම බත් පාර්සලේ ඔතපු කොලේ උඩ කාබන් පෑනෙං ලියලා එකොලහ විතර වෙද්දි එන බත් එක්කහු කරන ලොරියට දෙනවා. ඒ ආදායමෙන් *** මාමා අලුතිං හදාගෙන යන ගෙයි කාමර දෙකේ වැඩ ඉවර කරලා පෙජෙට්ටෙකේ වැඩ කරන මිනිස්සුන්ටම කුලියට දුන්නා. පහුකාලීනව *** නැන්දාගෙ තට්ටම උඩට කුප්පි ලාම්පුව පෙරලීමෙන් කෑම වෙළඳාමට බාදාවක් ඇතිවුනත් *** මාමගෙ පවුල ඔලුව ඉස්සුවෙ පෙජෙට්ටෙකෙන්.


පෙජෙට්ටෙකේ වැඩ කරන අය අපේ ගමට එක එක ජාති ගෙනාවා. එයින් වටිනා කියන සම්පතක් තමයි "බෝරවෑර්". පෙජෙට්ටෙකේ වැඩට ගිහිං ගෙදර එන ඕනිම කෙනෙක්ගෙ ළඟ බෝරවෑර් තිබුනා. 


"මෙව්ව එක පාරිං අයිං කොන්නොව. ආයි ගන්නෑ. සුද්දංගෙ වැඩ එහෙම තමා."


පෙජෙට්ටෙකේ වැඩ කරන අය කිව්වෙ එහෙමයි. ඉඳිවැල් කම්බියට වැඩිය ඩිංගක් ඝනකම තනි කම්බි පොටක් තියෙන බෝරවෑර් අපේ ගමේ අයට නැතුවම බැරි වස්තුවක් වෙන්න වැඩිකලක් ගියෙ නෑ. ඒ දවස්වල මදුවැලක්, පෝටවැලක් හොයාගන්නවට වඩා ලේසියෙං බෝර වෑර් දෙපොටක් හොයාගන්න පුළුවංකම තිබුනා. සෑහෙන ප්‍රයෝජනයක් තියෙන පොල් ගහට කප්රුක කියන්නා වගේ බෝර වෑර් වලටත් "කප්වෑර්" කියන්න පුළුවං තරං ප්‍රයෝජන ගොඩක් අපේ ගමට ලැබුනා.


රෙදිවැල් බඳින්න, වැටවල් බඳින්න, බැට්ටිකෑලිවල එළිය බලන්න, පනිට්ටු කොක්ක කැඩුනම පොටවල් හත අටක් දාල එල්ලං යන්න හදාගන්න,  මලගෙවල්වල ඡන්ද රැස්වීංවල එහෙම රැලි එල්ලන්න, තෙල්දිය මුට්ටිය වටේ හයිය හිටින්න වෙලන්න, ගෙයිං පිටට තාවකාලිකව බලුප්පෙකක් ඇදගන්න, රේඩිවේකෙ සේවා අහුවෙනව හොරයිනං ඒරියල්ලෙකට අමුණන්න, බල්ලගෙ දංවැල කොටයි නං ඒක ටිකක් දිග හිටින්න හත් අට පොටක් දාල අමුණන්න, යංතං ඇවිදගන්න පුළුවං වයසෙ අච්චාරු කුක්කො බැඳ තියන්න, කවරවල කටවල් ගැටගහන්න, රිටි බඳින්න, කුඩ නන කැඩුනහම තව නනෙයක් තියල ගැටගහන්න, සබන් කපන්න, පුපුරපු පිහිය මිටි කැති මිටි වගේ ඒවා වෙලන්න, කුල්ලෙ ගැටිය වටේ හයිය හිටින්න වෙලන්න, පන්දලං බඳින්න, රඹුටං ගස්වල ටකේට ඈඳන්න, පුබ්බයිසිකලේ ප්‍රේම් පොල්ල වටේ ලස්සනට හිටින්න ඔතන්න, ආදී සියළුම විදුලි සහ බැඳිලි කටයුතු කරගන්න උදව්වුනේ බෝරවෑර් තමයි.


ඒ ඇරුණම මේසන් හැඳි, ඇණ ගලවන යතුරු, ඉස්පැන්ටර්, ඉස්කුරුප්පුනියං, අඬු, කියත් තල, මිටි, මට්ටං ලීී, වගේම තලේ මැදිං මිට හයිකරාපු ජපං මේසන් හැඳි, බූරු කුට්ටමේ තියෙන තනි කොලේ ගහේ හැඩේ තියෙන ජපං සවල් ආදී අමුතු ආවුදත් සමහරු ගෙනාවා. එව්වත් එකපාරක් පාවිච්චියට අරං අහක විසිකරන්න සුද්දෝ කොයිතරං පෝසත් ඇද්ද කියල අපි හිතුවා. පෙජෙට්ටෙකේ වඩු මඩුවෙ පෝමන් කමක් කරපු මනුස්සයත් අමුතුම ලැලි ජාතියකින් හැඩතල කපලා ලොරියක කාපට් යට දාගෙන ඇවිත් ඒ ලී කෑලි ටික පුරුද්දලා අපේ පුංචම්මගෙ ළමයට සෙල්ලං අස්සයෙක් හදල දුන්නා. ඒ අස්සයට ලොකු අඩුවක් වෙලා තිබුණු ඇස්දෙක මං කාබන් පෑනකිං ඇන්දා.


මේ අතරෙ හානියට පත්වෙන ඉඩංවලට වන්දි දෙන්න ආණ්ඩුවෙන් නිලධාරින් එව්වා. ගෙපලෙ අජිත්, හන්දියෙ ජගත්සිරි, ආදී ගමේ ඉන්න ගොඩ පෙරකදෝරු නඩේ ඒ මහත්තුරුන්ට ගමේ ඉඩකඩංවල විස්තර දුන්නා. 


"මේ ටික මේ පොඩිමහත්තය මාමගෙ ලොකු දූගෙ. අක්කර කාලට වඩා නෑ"


අපෙ අම්මගෙ තේ අක්කර බාගෙ කාලට ලියපු නිලධාරීන් ඉතුරු අක්කර කාල ගෙපලෙ අජිත්ටත්, ජගත්සිරිටත් බෙදල දෙන්න ඇති. ඒ විදිහටම ගමේ මිනිස්සුංගෙ ඉඩං ඇහෙං මැනල වන්දි දීපු හංදා අන්තිමට වන්දි දෙත්දි ගමේ ඉඩම්හිමි අයට සොච්චම් මුදලකුත් ගොඩ පෙරකදෝරු නඩේ අයට ඒ වගේ හත්අට ගුණයකුත් ලැබුනා. ජීවිතේට කුණුහරුප නොකියපු අපේ මාමත් එදා ගෙදරදි කුණුහරපයක් කිව්වා. අපේ පන්තියෙ හිටපු ***ගෙ තාත්තත් හිටියෙ එයිට සම්බන්ධ කාර්යාලෙ ඉඩං සම්බන්ධ තනතුරක. වන්දි ගෙවීම අහවර වෙනවත් එක්කම ***ගෙ ලොකු අක්කව දෑවැද්දට කාර් එකකුත් එක්ක ගැලපෙන තැනකට බන්දලා දෙන්න ***ගෙ තාත්තට පුළුවං උනා. අපේ අම්මට වන්දි විදිහට ලැබුණු රුපියල් අනූ දෙදහත් කල්යල් බලලා පුංචම්මා ඩැහැගත්තා.


ජපන්නුංගෙ කොම්පැනියෙ ඔපිස්සෙක තිවුනෙ මානානෙ ටවුමෙ. එතන ඉස්සරහ අලුත්ම ජීප් දෙකක් හැමවෙලේම තිබුණා. ඒ කිට්ටුවම වැසියෙක් වෙලා හිටිය අපේ පන්තියෙ දිලන්තයා සුද්දංගෙ ඔපිස්සෙකෙං අහකදාන කොලකෑලි අහුලං මට ගෙනැත් දුන්නා.


"රංජොහ්, උඹට තේරෙනවනං මේං මෙව්ව කියෝල බලහං. මටක්කියාදියං."


ඒවයෙ අගක් මුලක් නොතේරුණත්


Kajima Kumagai Hazama joint venture

කියන කොටසිං යමක් කමක් අහුලගන්න මට පුළුවං උනා. පෙජෙට්ටෙකේ වැඩකරන අය "කේකේච්චෙක" කියල කියපු සමාගමේ මූලෝප්පත්තිය මං පුංචම්මගෙ කඩේ ඉස්සරහ ඇදබෑවා.


"ඕක ඔය සමාගං තුනක්නෙ. මට හම්බවුනා අර ටවුමෙ තියෙන සුද්දංගෙ ඔපිස්සෙකෙං උස්සපු කොලයක්. ඒකෙ තිවුන විස්තරේ හැටියට කජිමා කුමගායි හසමා කියල සමාගං තුනක් එක්කහුවෙලා ඔය වැඩ කරන්නෙ."


"වෙන්නැති වෙන්නැති. ඔය සුද්දො හරි එකමුතුයි. වැඩක් කොරන්න ගියහං පංගු පේරු බලන්නෑ. හොරකං නැති හංදා එකමුතුවෙං වැඩ කොන්නොව ඇති"


ගුනොවද්දන මාමත් දුංකල මිටිය තෝරන ගමං මගෙ කතාවට ලුණු ගොරක දැම්මා. ඒකෙං ඩිංගක් උඩගිය මං තවත් මගෙ පණ්ඩිතකම පෙන්නුවා.


"කොටිම්ම අර බස් දෙකේ බෝඩ් දෙකත් වැරදියි. අර Motor Pool කියල බෝඩ්ඩෙක ගැහුවට ඒක හරිනං waterfall වෙන්න ඕනි. එතකොට තමා දිය ඇල්ල වෙන්නෙ. දැං තියෙන බෝඩ්ඩෙකේ තේරුම "මෝටර් මෝඩයා" කියන එකනෙ. අර අනික්කෙකේ Dam site කියනෙකත් Dam side වෙන්න ඕනි."


ඊළඟ වාරවිභාගෙං මං අඩුවෙං ලකුණු ගත්තෙ එදා "ලොකුකං" කියෝල ඇස්වහට අහුවෙච්චි හිංද කියල අපේ අම්මා අවුරුදු ගානක් මට බැන්නා.




Sunday, February 19, 2017

පොජෙට්ටෙක 2 - පාර කැපිල්ල බැලිල්ල




ඒ අතරේ අපේ ගෙවල්ගාව පිස්සු මඩමක් හදන්න පාරක් කපලා ගෙපල ඇදලා තිබුණු කන්දෙ අනික් පැත්තෙ දං ගස් ලවලෙ විසාල ගෙපලක් කපලා "බිල්ඩිං" හදන්න පටං ගන්නවා. ඒවා සුද්දන්ට ඉන්න හදන ඒවා බව කටකතා පැතිරෙනවා. ඇල්ල බඳින වැඩේ ලොක්කො ටිකට ඉන්න හදන තැන හිංදා කාටවත් ඒ පැත්ත පලාතකවත් බලන්න යන්න දෙන්නෙ නෑ. ඇල්ල බැඳිල්ලෙං තමුංගෙ ඉඩං යටවෙන මිනිස්සු  සුද්දන්ට ගහයි කියල සැක හිතලා වෙන්න ඇති. ඒ හංදා තවත් කුපිත වෙච්චි දරුමෙ මාමා හැන්දෑවක හොඳටම බීගෙන තමුංගෙ සරමෙත් පැත්තක් 'හරියක්' වගේ උඩට උස්සගෙන පාර දිගේ බැනබැන යනවා.

චිත්‍රය ඇන්දේ මං


"ඔය *ක හෝදන්නැති සුද්දොන්ට මං බයනෑ යකෝ. ඕකුං උඩිං එන්නෑනෙ. මංජුලෙයෑ කඩේ ගාවිං එපෑ යන්න. ඕකුං සේට්ටොම මං දෙන්නෙ ලාඩප්ප පොල්ලකිං. මං උපං ගම මම්ම බේරගන්නොව යකෝ.... මේ දරුමෙ ඒ ජාතියෙයායි කුව්වොක් කූව"



ඇල්ල බඳින තැනට පාර කැපෙන්න පටංගන්නෙ ඔය අතරෙ. ගඟට කිට්ටුවෙං මහ කැලේ මැදිං පාරක් කැපෙන බව මිනිස්සු කියනවා. අපේ ගමේ සමහර අය ***** මැඩංගෙං ලියුං අරගෙන ඇහිල්ලා එතන වැඩට යනව. ඒගොල්ල තමුං වැඩට යන්නෙ "ප්‍රජට්ටෙකේ" බව කියනව. "ඇල්ල බැඳිල්ල" කියන එක තවදුරටත් වයසක අයගෙ වචනයක් බවට පත්වෙනව. අපිත් ඇල්ල බැඳීම පැත්තක දාල ප්‍රජට්ටෙක පාවිච්චියට ගන්නව.


අල්ලපු ගමේ ගෙදරක ලිපේ තියෙන හොද්දට දාපු ලුණු කැට ගානත් දැනගන්න තරං තොරතුරු තාක්ෂණයෙන් දියුණු අපේ ගමේ අයට තමුංගෙ ගම මැද්දෙං ගමේ අයට නොදැනි පාරක් කැපෙන එක උහුලන්නෙ නැතුව යනව. ඒ හංදා ගමේ එකා දෙන්නා "ප්‍රජට්ටෙකට යන පාර" කැපෙන හැටි බලන්න යනව. ඒ අය ගිහිං ඇවිත් තමුං දුටු දේ පුංචම්මගෙ කඩේ එලිපත්තෙ දිගාරිනව.


"ඩෝසර තියෙනව හොඳේ. අම්මප එකක් හිටී මේ ගේ වගෙ දෙකක් ඉතර. මහපත ඇංජිං තඩි තියෙන්නෙ එව්වයෙ."


එක්කෙනෙක් අපේ පුංචම්මලගෙ මහගෙදර පෙන්නල කියනව.


"හැබ්බෑඈ...ට"

අපේ ආතා කට උඩු අතට හරෝල ඇස් නලලට අරං අහනව.

"එහෙනං මාමෙ. පොලොව බිඳලගෙන බිඳළගෙන යනව අසුරු සැනේට."

"අනිච්චං අප්පෙයි"

ආතගෙ ඇහිබැම ඉහට උඩිං යනව.

"මහ තඩි පතංගර ගල් කඩනොව නිකං කරුංක තලන්න වගේ"

තව කෙනෙක් කියනව.

"වටාඩි හතාටේ ගස් ගලෝනොව නිකං පංගස් උදුරන්නැහේ."

"මාහිතේ ඒ තියෙන ඩෝසර කංදරාවෙ හැටියට මාසෙං හදයි එක්කොම"

තව කෙනෙක් ඒකට කෑළි එක්කහු කරනව.

"අර සිරිපාලයියෑ බෑනෑ ලොරිය සයිස්සෙහෙකට ඒ ඩෝසරේ කුල්ලෙං පුරෝල එහෙකට වඩා දාන්න බෑ"

"පාරක් කිව්වට ඒක ගාලුපාර වගේ. මහ විසාලයි. ආසියාත්තරාවක් උනබ්බෑවැහැකි"

"පුංචි පහේ ලොරි, වාහන එහෙමනං කොච්චරද ගානහ් මිම්මක් නෑ."

"සද්දෙට කම්බීරිවෙනව"

"ආයි මිනිහෙක් යටවුනක් කෑගැහුවට ඇහෙන්නෑ"

තමුංගෙ ශ්‍රාවකයො දෙන්නවත් පැහැරගත්තු මේ වර්ණනා ටික තවත් අහං ඉන්න බැරි තැන ගුනොවද්දන මාම මැද්දට පයිනව.

"ඔයිට හපං ඒදාස්සොල දඩ්ඩිහාමුගෙ කාලෙ මහපාලම හදද්දි. කැනේඩියංකාරයො ගෙනාව මහ අමුතුම සැම්පලේ වාහන. සමහරක්කෙව්ව දිගයි මේ හරියෙ පංසල හරියෙ ඉතර"

කවුරුවත් ඒකට උත්තර දෙන්න උනන්දුවක් නෑ. හැමෝටම ඕනි දැං මේ කෙරෙන වැඩේ දෑහිං දැකගන්න.

මහ පාලම


*************************************************************

අල්ලපු ගංවල කට්ටියත් එකා දෙන්නා ඔය විදිහට "පෙජෙට්ටෙක" බලන්න යනවා. ඒ යන ගමං

"අපිනං මේ ප්‍රජෙට්ටෙක බලන්න යන ගමං"

කියලා අපේ ගමේ අයටත් කියාගෙන යද්දි අපේ ගෙවල් මණ්ඩියෙ අයටත් තමුංගෙ නම්බුව බේරගන්න 'පෙජෙට්ටෙක බලන්න' යන්නම වෙනව. එක්කෙනෙක්ගෙ කටෙං යෝජනාව පනින කොටම ගමනට නඩේ ලැහැත්තිවෙලා ඉවරයි. ගෙවල්වල ගෑනු අයයි ළමා ලපටි ටිකයි ඇරුනම පිරිමි අය දෙන්නෙක් විතර අපිත් එක්ක එනවා. බිංදුවාව නාන්න ගෙනියන්න බැරුවා වගේ අපේ තාත්තවත් මේ වගේ ගමං ගෙනියන්න බෑ. හැබැයි බිංදුවා මේ ගමන යන්න එනව.


ගමනක් යද්දි හැමෝම මහ හයියෙං කියෝ කියෝ යනවට අමතරව මගදිගට හම්බවෙන අය එක්ක වචනයක් කතා කරන එක අපේ ගමේ සිරිතක්. ඒ හිංදා මගදි හම්බෙන අයයි පාර අයිනෙ ඉඩංවල ඉන්න අයයි අපේ කාණ්ඩෙ ඉස්සරහටම ඉන්න කෙනාගෙං විස්තර අහනව.‍

"කොහෙද නංගියෙ මේ රොත්ත බුරුත්ත පිටිං"

"අපියනව පෙජෙට්ටෙක බලන්න"

"බලන්න දෙනවෑ?"

"ඔව්වොය හැමෝම යන්නෙ"

"කලිං දැනගත්තනං අපිටච්චන්න තිබුනනෙ"

සමහරු එහෙම කියලා පසුතැවිලි වෙලා තමුං යන ගමන යන්න යනව. තවත් සමහරු

"පොඩ්ඩක්කින්න මාත්තෙනව"

කියල අපිත් එක්ක එනව. පාර අයිනෙ ගෙදරක මිදුල අතුගාන ගෑනු කෙනෙකුත් අපෙ අම්මගෙං විස්තර අහනව.

"කොහෙදක්කෙ යන්නෙ"

අපෙ අම්මත් උත්තර දෙනව

"අපි මේ අර මොකද්දෙක බලන්න යනව"

"මොකද්දක්කෙ?"

"අර පාරක් කපන්නෙ. ඇල්ල බඳිනෙකට. ඒක බලන්න යනව"

"අනේ ඩිංගක් ඉන්නක්කෙ මං විජානියට එන්නං බොඩියක්කැඳං."

ඒ නැන්දා ඇඳුං ආයිත්තං හැට්ටකටු හොයාගෙන ඇඳගෙන එනකං අපි පාර අයිනට වෙලා කියො කියෝ ඉන්නව. ඔය විදිහට මගින් මගට විස්තර අහන අය මිදුල් බාගෙට අතුගාලා ඉදල් එතනම දාලා තියලා, යන්න හදන ගමං නවත්තලා, කඩ කඩා හිිටය දළුටික කවරෙ පිටිම්ම දමාගහලා, අපි එක්ක එකතු වෙනවා. එතන සැලකිය යුතු ගෑල්ලමයි කණ්ඩායමක් ඉන්න හිංදා අපි පහුකරන හැම හංදියකම ඉන්න කොලු රංචු ටිකත් වෙනිං ගමනක් යන මුවාවෙං අපේ කණ්ඩායම පිටපස්සෙං වැටෙනවා. ඒ බව ඉවෙං වගේ තේරුං ගන්න අපේ නඩේ නැංදලා ටික තමුංගේ දූවරුංගේ සාය කොටං අන්දපු පශ්චාත් භාග කොල්ලන්ට නොපෙනෙන්න දූලව ඉස්සර කරලා තමුං එයිට පිටිපස්සෙං යනව. අන්තිමට එක සාය කොටේකට කොල්ලො හතර පස්දෙනා ගානෙ වෙන්න අපේ පෙරහැර දික්වෙනව. අතරමගදි හම්බවෙන අයට අපි යන ගමන ගැන කියන්නත් එක් එක් බලු වැයික්කි පහුකරද්දි බිංදුවාට ඇදෙන වලිවලිං ඌව බේරගන්නත් ඇරුනුකොට අපේ නඩේ නොනැවතී ඉදිරියටම ඇදෙනව.


පාර කපන්න පටං ගත්තු තැනට ලංවෙනකොට අපේ රංචුව ඉස්සරවෙලා යන තොරතුරු සැපයුම බාර නැංදලා දෙතුන් දෙනෙක්, එයිට පිටිපස්සෙං යන කෙලි රංචුව, තමුංගෙ දූලගෙ පශ්චාත් දර්ශනය අවහිර කරන අම්මලා පේලිය, උඩබලාගෙන වටේ පිටේ ගස්කොලං වලට දිෂ්ටිලාගෙන යන මං ඇතුළු කොලු කුරුටු රැල, මේ සේරම ආවරණය කරන ගමං එහාට මෙහාට දුවන බිංදුවා, බිංදුවා අහුවුන තැනදි බැටේ දෙන්න බලාගෙන පස්සෙං එන අපි අන්තිමට පහුකරගෙන ආ සුනඛ වසමේ බලු රැල, අන්තිමට කෙල්ලංගෙ පෙම පතා පුබ්බයිසිකල්වල නැගී එකතැන බයිසිකල් පදිමින් එන තරුණ කැල ආදී එක එක වර්ගයේ කණ්ඩායම් ගනනාවක් ඉන්න හැතැප්ම බාගයක් විතර දිග නඩයක්.


අලුතින් කපාපු පාර මැද වතුර වලවල්. වටේට මඩ. ඒ හංදා වතුරවලවල් මග ඇරගෙන මඩ ගොඩවල්වල නොවැටී යන්න ගිහිං අපේ කණ්ඩායමේ පේලිය බිඳෙනව. මඩ වලවල් වලිං එගොඩ වෙච්චි ගෑනු අය තමුං පිටිපස්සෙං එන අනිත් අය කිසිම දෙයක් නොපේන කන්නු ගානට දාල උපදෙස් දෙනව.

"ඕං ඔය ඔතන මඩවලක්. මේං මෙහෙං එන්න. ඔයායිනෙං එන්න. ආං එහෙමාංඑහෙම"

ඒ උපදෙස් අනුව යන සමහරු මඩවලවල් වලිං බේරෙන්න ලාම්පුතෙල් පාර කාපු ගැරඬි වගේ පාර පුරා යනව. කෙලි නඩේට තවදුරටත් පාරෙ හරහට බාන බැන්ද වගේ ඉඟටි අල්ලං යන්න බැරිවෙනව. ඒ හංදා වැලක් වගේ පාරෙ දිග් අතට යන්න පුළුවං වෙන විදිහට ඉස්සරහ එකාගෙ වං අත පස්සෙං ඉන්න එකාගෙ දකුණතිං අල්ලන ක්‍රමේට පෝලිමක් හදාගන්නව. ඒ ගොල්ලො මඩවලක් පනින හැම වතාවෙම 

"ඊක්"

කියල මහ හයියෙං කෑ ගහනව. ඒ අතරට මඩ වලවල්වලිං පැනගෙන කොලු රෑනෙ එකා දෙන්නා රිංගනව. සමහරු අපිව පහුකරගෙන "සුරුස්" ගාලා බයිසිකලේ පැදගෙන යමිං සුරුවිරුකං දක්වනවා. කෙලි නඩේ "හිචි හිචි" ගාල හිනා වෙනව. නැන්දල නඩේ ඔරෝනව. වතුරට අකමැති හිංදා බිංදුවා ආපිට හැරෙනව. 


තේ පැට්ටේරිවල තේ කොල ගෙනියන ලොරිවල යකඩ පෙට්ටිය වගේ යකඩ පෙට්ටි පාර අයිනෙ තැනිං තැන තියල තියෙනව. එ්වයෙ ඇතුලෙ මිනිස්සු පදිංචිවෙලා ඉන්න බවට ලකුණු වසයෙං එලියෙං බැඳපු රෙදි වනන වැල්වල්වල රෙදි පාංකඩ වනල තියෙනව. අපිට ඒවයෙ ඇතුල බලන්න ඕනි වෙනව. මායි සුදුවයි ඒ එක පෙට්ටියක දොරගාවට කිට්ටු කරනව.

"මේ වරෙල්ල. දෙන්නම මෙහෙ."

අපෙ අම්ම කෑගහනව. අපි දෙන්න තව ඩිංගක් කිට්ටු වෙනව. අපෙ අම්ම මගෙ පිටිපස්සෙං ඇවිල්ල කෑගහනව


"යම ඕකස්සෙ රිංගන්නැතුව"


අපි ආපහු පාරට එනව.


"ඒවස්සෙ දහයක් දොලහක් ඉන්නව ඇති. අර තිවුනෙ රෙදි පෙරෙදි පුරාම ගොඩවල්"


අපේ අම්ම අනික් නැංදල එක්ක කියනව.



විඩිං විඩේ අපිව පහුකරගෙන ලොරි, ඩබොල් කැබ්, ජීප් එහෙම යනව. අපි පාරෙං අයිංවෙලා ඉඩ දෙනව. 


"අර වාහන ඔල ඕනහැටි ඉඩ තීනව. මේ පොඩියෙවුං ටිකයි ගෑනු කීපදෙනයි හරි දාං ගියානං මක්කෙනවද ඕකුන්ට"


අපිව බලෙං ගෙන්න ගත්තා වගේ හිතල නැන්දල ටික කතාවෙනව. ඒ කියන විදිහට වාහනවලට පටවගත්ත නං ඉතුරුවෙන්නෙ ළමයින්ටත් පිරිමින්ටත් අතර මැද ඉන්න අපි කීප දෙනා විතරයි. 


"අනෙයම්මෙ කකුල් රිදෙනෝ"


"බඩිගිනියියම්මෙ"


එක එක්කෙනා බැරි අමාරුකං කියනව. මේ වගේ වෙලාවට ළමයිංගෙන් ගැලවෙන විජ්ජාව අපේ ගමේ අම්මල දන්නව.


"තව ඩිංගයිලු දුර. යං ඒ ටිකත්"


තමුං ජීවිතේට නොගිය පාරක උනත් හරියටම දිග කියන්න උන්දැලා දන්නව.


"ඉස්සරා කඩේකිං මොනොව හරි අරං දෙන්නං"


විජ්ජාවකිං පහලවුනොත් මිසක මේ වගේ කැලයක කඩෙයක් තියෙන්න බැරි බව දැනගෙනම පොරොන්දු වෙනව.


"බැයිනං මොටද ආවෙ. ගෙදර ඉන්න තිවුනනෙ."


බැරිම තැන තමුංගෙ ගැලවිල්ල හදාගන්න එහෙමත් කියනව. මේ අතරෙ සඳමාලි අක්කගෙ සෙරෙප්පුව මඩ වලක එරෙනව. තමුංගෙ කකුල කිඹුලෙක් කෑව වගේ එයා ගිරියටිං නාදයක් නිකුත් කරනව. 

"zග්‍රීඊඊඊඊ"

අනික් කෙල්ලො ටිකත් හේතුවක් නොදැනම ඒ සද්දෙංම කෑ ගහනව.

"මොකද මයෙ පුතේ"

සඳමාලි අක්කගෙ අම්මා තමුංගෙ දුවව ඩයිනෝසරයෙක්ට අහුවුනා වගේ කෑ ගහනව.


"අනෙයම්මෙ මගෙ කකුල...අහියෝ."


පොලේ හිඟා කන කකුල නැති මිනිහ වගේ අසරණ මූනක් හදාගෙන සඳමාලි අක්කා බෙරිහං දෙනව.

"මොකද්ද ඔයාගෙ කකුලට උනේ"

සඳමාලි අක්කගෙ ගිරියටිං කෑගැහිල්ලට අත්වැල් අල්ලපු අනික් කෙල්ලො ටික අහනව.


"මඩේ එරුනා"


"ඇදල ගන්නකො"


"අනෙයනේ... බෑ..... සිදෙනා....."


කොලු නඩෙත් බයිසිකල් ටික බිම පෙරලල දාලා සිද්දිය වටේ එක්කහු වෙනව.


"ඉන්නමං ගන්නං"


එගොඩහ ගොඩේ පාලම ගාව ඉන්න කොලු රංචුවෙං එකෙක් සඳමාලි අක්කගෙ අම්ම හිතන්නත් කලිං ඉස්සරහට පැනලා සඳමාලි අක්කගෙ අතිං අල්ලල එයාව මඩගොඩෙං අදිනව. සඳමාලි අක්කත් ළමෙක් හම්බුවෙන්න තරං අමාරුවෙං කෑ ගහල අන්තිමට මඩෙං වැහිච්ච තමුංගෙ සෙරෙප්පුවත් කකුලෙ දාගෙනම මඩවලෙං ගොඩ එනව. සඳමාලි අක්කලගෙ අම්මා පැනපු ගමං තමුංගෙ දුව අල්ලගන්නව. කොලු රංචුවෙ හතර දෙනෙක් බයිසිකල් හරවගෙන ආපහු යද්දි සඳමාලි අක්කව ගොඩ ඇදපු අයියා අපේ නඩේටම ඈඳෙනව. කෙල්ලො ටික තමුං ගාව තියෙන වතුර බෝතල් ටිකෙං සඳමාලි අක්කගෙ කකුලත් සෙරෙප්පුවත් හෝදල දෙනව.



තව ටිකක් දුර යද්දි පාර අයිනෙ එක තැනක සෙල්ලං ගෙයක් වගේ කණු හතරක් හිටෝලා ඉටි කොලයක් හෙවිල්ලපු තැනක් තියෙනව. එතන කෝටු වලිං හදපු මැස්සක් උඩ බුලත් විට, සිකරට්, කඩල වැල් වගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක් තියෙන හිංදා ඒක කඩයක් කියල දැනගන්න පුලුවං. 

"අන්න කඩයක්"


අපේ රංචුවම එතනට කඩා වදිනව. විනාඩියක් යද්දි අයියලා හතර දෙනාට අහුවුනු බටහිර පලාතේ බැංකුවක් වගේ කඩේ ඉතුරු වෙන්නෙ බුලත්විට දෙක තුනයි සිකරට් ටින්නෙකයි විතරයි. 


තවත් ඉලාස්ටික් හැතැක්ම දෙක තුනක් ගියායිං පස්සෙ පාරෙ අග හරියට යන්න පුළුවං වෙනව. ගෙවල් තරං විසාල ඩෝසර් නැතත් යුද ටැංකිවගේ තහඩු උඩ දුවන ඩෝසර් ඉවුරු උඩ නැගලා කඳු කපල පාත් කරනව. ටැට්ටර් ටයර් දාපු ඩෝසර් පාරෙ ඉඳලා ඉවුරු පහුරුගානවා. ඒ ජාතියෙ තව එකක් තමුංගෙ පස්ස පැත්තෙ නැට්ටෙං කාණුවක් හාරනව. ඒවා ඩෝසර් නෙවෙයි බවත් එව්වයෙ නම ජේසීබී බවත් දැනුමැත්තෙක් කියනව. මග දිගට ඉවුරුවල තිබුණු පහුරුගාපු ලකුණු හැදුනු හේතුව මට පැහැදිලි වෙනව. ඒ අතරෙ තවත් තහඩු පටි උඩ දුවන ඩෝසරයක් සෙක්කුව කැරකෙනව වගේ හතර වටේටම කැරකෙන ගමං ලොකු හැන්දකිං අතන මෙතන තියෙන සුන්බුං එක්කහු කරනව. ඒකෙ නම HITACHI කියල ඉංගිරිසියෙං ලියල තියෙනව. ඒ ඩෝසරේ හැන්දෑවට ගෙදර යද්දි ඉස්සරහ පස්ස හොයාගන්න සෑහෙන අමාරු වෙනව ඇති. ඒ ඩෝසර කිට්ටුවෙං බිම ඉන්න කෙනෙක් අත්දෙක එක එක දිහාවලට වනවනා ඇඟිලි උරුක් කරලා ඩෝසරේ ඉන්න කෙනාට ගොලු බාසාවෙං උපදෙස් දෙනව. ඩෝසරේ ඉන්න එක්කෙනා ඒව දිහාවත් නොබල තමුන්ට ඕනි හැටියට වැඩ කරනව. තව ඒ වගේ ඩෝසරයක් තමුංගෙ හැන්දෙ අගට උලක් අමුනගෙන කොට්ටෝරුවෙක් කඳකට කොටන්නා වගේ "ටර ටර ටර ටර" කියල ගල්ගෙඩි වලට අනිනව. මේ සේරම අලකලංචි මැද්දෙං එකට ඇතිල්ලෙන තරං කිට්ටුවෙං විසාල ටයර් හතරක් හයිකරපු අගිස්සෙං කුල්ලක් හයිකරගත්ත වාහනයක් අහුමුලු අතරෙං රිංග රිංගා අනික් ඒවට ආවතේව කරනව. ඒකෙ පැත්තක BOBCAT කියල ලියල තියෙනව. තව තැනක තඩි ගල් පරුවතයක් උඩ නැගපු මිනිහෙක් මැසිං තුවක්කුවක් වගේ එකකිං ගල් ගෙඩියට ඇනගෙන ඒක උඩ කකුලකුත් තියාගෙන ඉන්නව. එ් තුවක්කුවට හයිකරපු බටෙයක අනික් කොන රෝද දෙකක් තියෙන ගොරෝන පෙට්ටියකට හයිකරල තියෙනව. ඒ පෙට්ටියෙ නම AIRMAN බව ලියල තියෙනව. තව තැනක යකඩ අට්ටාලෙක අමුනපු වෙද පප්පගෙ අරිශ්ට කල්දේරම වගේ එකක් පතල් ඇන්ජිමකිං කරකවනව. එතන ඉන්න කහපාට ඉටි තොප්පි දාපු මිනිස්සු සිමෙන්ති මිටි ගනං, වැලි බාල්දි ගනං අර කල්දේරමට දානව. ටික කිං ඒකෙ තියෙන සුක්කානම කරකෝල මුට්ටිය ඇල කරල බදාම ටික විල්බැරැක්කවලට හලාගන්නව. එතන ඉන්න නිල් පාට තොප්පි දාපු එක්කෙනා වැඩ කරන්නෑ. තවත් තැනක ගල්රෝලකිං පාර තලනව. එතන අයිනෙ තව පොඩි මැසිමක් තමුංව අල්ලං ඉන්න මනුස්සයත් වෙවුලන තරං හයියෙං උඩ පැන පැන පස් තලනව. තව විසාල වාහනයක අපෙ අම්මා කොස් කඩන්න බඳින උසම රිට තරං උසට අතක් උඩට උස්සලා තියෙනව. ඒකෙ අගිස්සෙං කම්බියක එල්ලපු විසාල කොණ්ඩ කැවුමක් වගේ යකඩ කුට්ටියක් තියෙනව. එකපාරටම ඒ කොණ්ඩ කැවුම කම්බියත් ඇදගෙනම බිම තියෙන ගල් ගෙඩිය උඩට වැටෙනව. ආයිමත් කම්බියෙං ඇදිල උඩට යනව. අපේ ගමේ කාටවත් නැති තරං විසාල ලොරි පස් පුරවගෙන ගිහිං පස්ස පැත්ත උස්සල පස්ටික හලාදාල පස්ස පාත් කරගෙන ආපහු එනව. බඩ මැද්දෙං තලයක් හයිකරපු වන්දෙක් වගේ දිග ඩෝසරයක් ඒ පස් ගොඩවල් තුනී කරනව.


එතනටත් ටිකක් එහායින් දිය පාරක් ගාව නැවතිලා සමහරු තමුං ගෙනිච්ච බත්මුල් ලිහාගෙන කනව. තව සමහරු ගස්වලිං කඩාගත්තු කොල වලට ඒ අයගෙං බඩ්ඩිංගක් ඉල්ලගෙන කනව. අන්තිමට එයිටත් ඩිංගක් එහාට ගිහිං ගස්වලට වතුර දාල ආපිට හැරෙනව. 


"අනේ මේ රෙද්ද බලන්නද ආවෙ?"

"මං හිතුව මෙයිට වඩා විසාලෙට ඇති කියල"

"අර විමලෙය එහෙම කිව්ව අරුම පුදුම වාහන නෑනෙ."

"මීට පස්සෙ ළමයියරං මේවෑ එන්න නාකයි. පේන්නැද්ද මුංගෙං තියෙන වදේ"

"මිං පස්සෙ එක එකා කිව්වට බලන්න යන්න නාකයි කිසි දෙයක්."


ආපහු මඩවලවල් මගෑරගෙන වාහනවලිං බේරිලා පාරට ඇවිල්ලා ඉතුරු ටික දුර බස්සෙකේ එන්නෙ කකුල් අමාරුව හිංදයි. එදා රෑ අපේ අම්මා තාත්ත එක්ක තමුං දැක්ක දේවල් විස්තර කරල කියනව.

"මහ විසාල හල්ගහක් ගලෝදාල තිවුන බොලේ. ගෙඩිතියෙන්නැති කෝඕටියක්කිතර"

"අම්ප ෂෝක් කැලෑදෙල් ගහක් ගලෝල තිවුන මුලිම්ම. ගෙඩිනං එක්කොම තරු. පැහිච්ච නෑ"

තාත්තා රැවුල අතගගා "හුං" කියල කරබාගෙන අහං ඉන්නව.

Sunday, February 5, 2017

පොජෙට්ටෙක 1 - ඇල්ල බැඳිල්ල


දවසක් පහලවත්තෙ කුඹුරෙ පිල්ලෑවට හෙලිකොප්පරයක් කියන ජාතියෙ එකක් එන බව කියා අපේ ගමෙං බාගයක් විතර තමුංගේ වැඩපොල සේරම පැත්තක දමා පිල්ලෑවට එක්කහු වුනේ ඒක බලන්න. ඒ කාලේ කාටවත් හදිස්සි වැඩ තිවුනෙ නෑ. වෙනදට පාවර හදන තැන පිදුරු තුනී කර තිබුනේ අපිට ඒ උඩ පිනුං ගහන්නට ආස හිතෙන විදිහට. පොලේ ලොතරැයි වෑන්නෙක වටේ සෙනග එක්කහු වෙනව වගේ සෑහෙන සෙනගක් පිල්ලෑව වටේ එක්කහු වෙලා හිටියා. තඩි ග්‍රාමසේවක රාලහමි එතන පොලවට පයිං ඇන ඇන බල බලා


“මෙතන්ට තව පිදුරු ටිකක් දාන්න”

“මෙතන මේ යට උලක්ද කොහෙද. බලන්න”

කිය කියා මිනිස්සුන්ට වැඩ පැවරුවා. මාව වඩාගෙන අම්මත් එතනට වෙලා හිටියා. තාත්තත් හිටියා. රාජාලි, කපුටො, කොක්කු ආදී කුරුල්ලො සැරිං සැරේ ඇහිල්ලා මිනිස්සුංව රවට්ටල ගියා. හැමෝම බෙලි උලුක් වෙනකං උඩ බලං ඉඳලා එපා වෙලා "කවුද කියාපු බේගලෙයද්ද කොහෙද" කියලා ආපහු යන්න හදද්දි “ගොජ ගොජ” ගාගෙන අයිස්කිරිං වෑන්නෙහෙක සද්දෙ අහසිං ඇහුනා. කෝට්ටක උලගහපු ගැටපොලහක් වගේ මොකද්දෝ එකක් ගුනදාස මාමගෙ තේ කෑල්ලෙ පොල් ගහේ කරිට්ට ගාවිං මරහඬ දීගෙන එක පාරටම මතුවුනා. ගැටපොලහෙ වගේ නෙමෙයි ඒකෙ ඔලුවෙයි නැට්ටෙයි හුලංපෙති කැරකුනා. ගුණදාස මාමගෙ කොට්ට ගහේ පුලුං ගෙඩිවල පුලුං හුළඟෙ ගියා.  ගැටපොලහ තවත් විසාල වෙලා ගොරවගෙන පිල්ලෑවට කඩා පැන්නා. මේ නං ළමයි බයකරන 'හග්ගුඩු බිල්ල තමයි' මට හිතුනා.







මං බයවෙලා අම්මගෙ උරිස්ස විකාගෙන යටිගිරියෙං කෑගැහුවා.

“ගෙදර යමාං”

පිල්ලෑවෙ හිටපු අය ලියදිවලට පැනලා ලියදිවල හිටපු අයත් එක්කම සරොං කැහැපොට ගහගෙන දුවන්න ලැහැත්ති උනා. ගැටපොලහ පිල්ලෑව උඩිං වටයක් කැරකුනා. පිදුරුගස් උඩ ගියා. අම්මා මාව කරේ තියාගෙනම ආපහු හැරිල බැලුව.

“ඔන්න ඌ මාව ගිලින්න හදන්නෙ....ඒඒඒ”

මං ආයිමත් අම්මගෙ උරිස්සට දෑතිම්ම තල තලා බිරුසන් දුන්නා.

“අර රාලාමිත්තින්නෙ. කටවහපං.”

අම්ම මගෙ කොන්මෙැද්දට එකක් තැලුවා. ගැටපොලොස් තඩියෙ සද්දෙට ඒ සද්දෙ යටඋනා. තඩි ග්‍රාමසේවක රාලහමි පිල්ලෑවෙ අයිනෙ ලියැද්දට වෙලා හිටියා. ගැටපොලහ හිමීට පාත්වෙලා අඬුදෙක බිමට තිව්වා. සෙනග ආපහු කිට්ටු උනා.  ගැටපොලහෙ පෙති කැරකෙන වේගෙ අඩු උනා. සුද්දො දෙතුං දෙනෙක් ඒකෙං බිමට බැස්සා. තව එක්කෙනෙක් කොක්කක් තියෙන පොල්ලක් ඒකෙ කොනක් ගැටපොලහෙ උඩ කැරකෙන පෙත්තෙ කොනක අමුනලා ඒකෙ අනික් කොන නැට්ටට ඇමිනුවා.

“ඇල්ල බඳිනේක බලන්නනෙ සුද්දො ඇහිල්ල තියෙන්නෙ.”

එදා හවස තාත්ත ගෙදර ඇහිල්ල කිව්වා.

************************


“අපිට විදුලිය එපා. අපේ පාඩුවේ ඉන්න දෙන්න”

කියලා මාතෘකාව දාපු එයිට යටිං පින්තූරයක් දාලා විස්තරයක් ලියපු ලිපියක් තියෙන පත්තර පිටුවක් මහ ගංවතුර කාලෙ වෙනකම්ම අපේ අම්මගෙ මහගෙදර තිබුණා. ඒ ලිපියේ පිංතූරෙ තිබුණෙ මහගෙදර වත්තෙ කොණක බෙන කොස්ගහයට අපේ ආච්චම්මයි, ආතයි, මාමයි, පුංචම්මයි, බෙහෙත් තෙල් රාජ මාමයි සීරුවෙං හිටගෙන ඉන්න හැටියි. ඒගොල්ලංට පිටිපස්සෙං කොස් ගහේ ගැටපොලොස් බුරුතු පිටිං එල්ලිලා තිබුණා. ඒ පිංතුරේ ගහගෙන ගියේ ඒ දවස්වල ආණ්ඩු පක්ෂේ මංතිරි  කෙනෙක් වෙලා හිටිය සංජීව අප්පොගෙ යාලු සුද්දො කාණ්ඩයක් බව අපේ මාමා කිව්වා.  සුද්දො ගෙනත්දීපු ටොපි වගයක් එහෙමත් මට හම්බවුනා.  ඒ පින්තූරෙ යටිං තිවුන විස්තරේ තිවුනෙත් මේ ගමේ අසරණල අහිංසක ගම්වාසීන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගමේ පාඩුවේ ඉන්න හිටින්න මිසක අයට කොයියම්ම හැටියකටවත් කරන්ටෙක ඩිංගක්වත් ඕනෑ නැති බවයි. ඒ කාලෙත් මං ඉස්කෝලෙ යන්න පටං ගත්තු කාලෙම වෙන්නට පුළුවනි.

************************

“ඔන්න මාමෙ ආයි වංගියක් ඇල්ල බඳින්න යනවයි කියන්නෙ”

ගුනොවද්දන මාමා කිහිල්ලෙ තිබුණ කපු කුඩේ අතට අරං ඒකෙ වකුටු මිටෙං අල්ලගෙන කුඩේ අගිස්ස ඉස්තෝප්පුවෙ පඩියකට තියලා “හම්මෙහ්” කියලා ඉස්තෝප්පුවට ගොඩවෙද්දි “කුඹුරු තඩිගහල හරිම හානියි” කියාගෙන නැගිටගන්නවත් පණ නැතුව තමුංගෙ කාමරේ ඇඳ උඩට වෙලා කෙඳිරිගගා හිටිය ආතවත්, මිදුලට වෙලා දිග කොල තියෙන ක්‍රෝටන් අතු රවුං කොළ තියෙන ක්‍රෝටන් ගස්වලට ‘බත්’ කරන්න උත්සාහ කරමින් හිටිය මාවත් ඉබේම ඉස්තෝප්පුවට ඇදෙනවා.

“ආ ගුනොවද්දන ලමෙයනෙ මේ. මං මේ කුඹුරු ගිහිං ඇහිල්ල නාකියාගෙන ඩිංගක් ඇලඋනා. ඉස්සර වගේ නෙමී දැං දවසක් කුඹුරු තඩිගැව්වං හරිම හානියි මටනං. අම්ප”

“මේ ගිනිකූටකේ කාටවුනත් අමාරුයි මාමෙ.”

ගුනොවද්දන මාම ආතගෙ හිත හදනව.

“ඉඳගන්නකො ගුනොවද්දන ළමෙයො ඔය ඉටිපුටුවක්කැරං. මහ්නං ඔව්වෑ ඉඳගන්න බෑ. ඉඳගද්දි පුටුව පස්සට යනව. අනිග්ගාන තුන්ටිය කැල්ල යනොව බිමෑනිල”

ගුනොවද්දන මාමත් පුටුවක් ඇදල අරං ඉඳගෙන කුඩේ බිත්තියට හේත්තු කරල තියනව.

“මං කිව්වෙ මාමෙ ඕංආයි වංගියක් ඇල්ල බඳිනොව කියන්නෙ”

“හැබෑඈ....ට”

“එහ්හෙනං.. අන්නාර ගුන්සේකර කඩේගාවා කතාඋනේ. ආපහු පාරක් මැනං ගියා කියල. මේ සැරේ යටවෙනවලු නීතිගල දිහාටම.”

“හැබ්බෑඈ...ට”

“ඔව්. අර එගොඩහ කබර පේමෙය කිව්වෙ. බදුවත්තෙ මහත්තෙය එක්ක ඔය මයින්නාපු කාණ්ඩෙ මිනිහෙක් කියල තියෙන්නෙ. බදුවත්තෙ මහත්තෙය ගුණෙයත්තෙක්ක කියල. ගුණෙය හොඳයිනෙ අර ඒබරං කලුවෑ ගෑනි එක්ක. ආං ඒ ගෑනි තමා කබර පේමෙගෙ ගෑනි එක්ක දලුකඩද්දි කියල තියෙන්නෙ. මං අර පහුගිය දාක මැණිකෙගෙ කඩේ තුනයියටේ බලුප් නැතිපාර ගියානෙ ගුංසේකර කඩේට. එතන තමා ඔය පේමෙය එහෙම කිව්වෙ ඔය කතාව.”

ගුනොවද්දන මාමා කතාව මග වැනුමත් එක්කම කියනව. අපේ ගමේ මොන කතාව උනත් එන්නේ ඔය විදිහට සංස්කාරකවරු දහ දොලොස් දෙනෙක් අතිං අත මාරුවෙලා තමයි.

“අනිච්චං අප්පෙයි”

ආතත් කම්මුලේ අත තියාගෙන කියනව.

“ඔව් මාමෙ. කොයියාණ්ඩුවට ඡන්දෙ දුන්නත් වැඩහ්නෑ. හැවෝම කියන්නෙ උං දිනුවොත් ඇල්ල බැඳිල්ල නතර කොන්නොව කියල. ඒ උනාට ඔය අපූරුවට පටංගන්නයන්නෙ.”

“ඒකනෙයැ ගුනොවද්දන. මුන්ට ඔය ඇල්ල බැඳල අහවල්ලෙහෙකට මංහාන්නෙ.”

“කරන්ටෙක හදන්නලුනෙ මාමෙ.”

"කරන්ටෙක හැදියකෑ ගුනොවද්දන ලමෙයො ඇල්ලතුරෙං."

"ඒකනං මංද මාමෙ. ඔන්නොය මොකද්ද විපිරියාසෙයක් කොල්ල පුලුවං කියන්නෙ"

“අනෙයම්මප. අපිට මොන කරන්ටෙකදැ. ලාම්පුතෙල් කුප්පියක් තිමිනි ලාම්පුවප් පත්තු කොරගත්තං මදෑ. එලියට පහලියට යනොවනං හනසු දෙකබ්බැඳල හරි පොල්ලතු අගිස්සක්කරි බැඳගන්නොවනෙ. ආයි ඉතිං මොටදැ කරන්ටෙක. ඕං රේඩිවේක අහන්නබ්බැරියැ බැට්ටි කෑලි හතරත් තිවුනං.”

“ඒකනෙයැ මාමෙ”

“අම්ප මහ්නං කරන්ටෙක නාමෙයක්කත් නැතියුනාට කමහ්නෑ. ඔය ඇල්ල බැඳිල්ල නතර කොන්නොවනං. කුඹුරු ලියැදි ටිකයි තේ ගස්ටිකයි යටකොල්ල දාල ගෙවල් දොරොවල් ටිකත් යටකොල්ල දැම්මහං මිනිස්සු කොහෙද ඉන්නෙයම්මප?”

“කොහෙද මංද ඉපිටහකිං ඉඩං දෙනොව කියන්නෙ.”

ගුනොවද්දන මාමා විසඳුං දෙනව

“ඔය බිංඅගල් හතරද්දෙයි. ගහක්කොලක් කපාගන්න, වී කුන්නියක දෙහෙක ගොයිතැං බතක් කොරගන්න තියා මෙලෝ දෙයක් වවාගන්න ඇතෑ එහෙම.”

වෙනදට ආතගෙයි ගුනොවද්දන මාමගෙයි කටපල්ලෙං හැලෙන වචනයක් ගානෙ අහුලන මම එදා මගෑරල දාල යන්න යනව. එදා රෑට මට නිංද යන්නෙත් නෑ. ඇල්ල බැඳිල්ල කියන්නෙ මොකද්දැයි නොදන්නව උනත් ඒකෙං අපේ ගෙවල්දොරවල් සේරම නැතිවෙන බව මට තේරුං යනව.

“අම්මෙ ඇත්තදම්මෙ ඇල්ල බඳිනොව කියල එකක් කොල්ල මේ එක්කොම යටකොල්ල දානොව කියන්නෙ.”

බැරිම තැන මං අම්මගෙං අහනව.

“අනෙමංදන්නෙකහ්නෑ. පලෙයංයන්න”

අම්මට ඒවයෙ වගක්වත් නෑ. තාත්තගෙං අහන්න තමයි වෙන්නෙ. ඒකටත් එයා නොබී හිටපු වෙලාවක් වෙන්ට එපෑ. දවස් ගානකට පස්සෙ කලු මාමාව ගෝඩ හැලියක් පිටිං පොලිස්සියෙං අල්ලං ගිහිං ගමේ කසිප්පු හිඟයක් ඇතිවෙලා ඒ දවස උදාවෙනව. එතකං ඒ ගැන හිතලා මට ඉස්කෝලෙදි ගණං වලට ලැබෙන්න තියෙන දහයෙං දහය එව්වා දහයෙං හය වෙනකං පල්ලෙහා බැහැල මාව කොල තරුවෙනුත් පල්ලෙහට වැටෙනව.

“තවුසෙ දන්නවද බොලේ මේ ඇල්ල බඳිනොව කියල කියනවැයි කියන්නෙ?”

අම්මා මං වෙනුවට තාත්තට ප්‍රශ්ණෙ යොමු කරනව.

“කවුදෝයි කියන්නෙ”

“ගුනොවර්දනයිය කිව්ව කියන්නෙ”

“කාඑක්කද?”

“අපෙ තාත්ත එක්ක. මේ මූ අහං හිටිය කියන්නෙ”

තාත්තා කට උල්කරලා දොරකොඩිං එලියට “පුතුහ්ප්” කියල බුලත්කෙළ පාරක් ගහනව.

“අනෙ ඔය්යකා දන්න කෙහෙම්මල. තමිසෙලෑ තාත්තයි ඔය්යකයි දෙන්නම අමු බේගල්නෙ කියොවන්නෙ”

ආතයි ගුනොවද්දන මාමයි කියන්නෙ ඇත්ත බව තහවුරු කෙරුවෙ නැත්තං මේක මගෑරෙන බව දන්න හිංද මං ඉදිරිපත් වෙනව.

“රුවල්ලෑ සීය එක්ක කියල තියෙන්නෙ මයින්නාපු කාණ්ඩෙ. රුවල්ලෑ සීය කියල තියෙනොව ගුනේමාම එක්ක. ගුනේ මාම කියල තියෙනොව ඒබරං ආතලෑ ගෙදර කලුමාමෑ නැංද එක්ක. ඒ නැංද කබර පේමෙ මාමෑ නැංදට කියල. කබර පේමෙ මාම ගුනොවද්දන මාම එක්ක කියල.”

අම්මයි තාත්තයි දෙන්නම මා දිහා බලං ඉන්නව.

“ඒක කපුටො හද්දෙනාගෙ කැඳ හැලිය වගේනෙ. කොයික බොරු කියනවද කවුද දන්නෙ.”

තාත්තා ඒ කතාව පිලිගන්න බවක් පේන්නෑ. ඒ වෙනුවට වෙනිං කතාවක් අහන්න ලැබෙනව.

“එහෙම මුල්ලෝකෙම යටවෙන්නෙ කල්ප විනාසෙ ආවහං. ආං එතකොට මහ විසාල වැස්සක් වහිනොව. එයිං එක වැහි පොදෙයක් මේං මෙච්චර ඉතර හිටී...”

තාත්තා මෝල් ගහක් ඉතර මහතක් අත් දෙකෙං පෙන්නනව.

“ඒ විදිහට වැහැලා වැහැලා වැහැලා කුඹුරු, ඇලදොලොවල්, ගඟවල් මුහුදු එක්කොම පිරිල පිරිල පිරිල පිරිල අංතිමට කොහෙවක්ම නැතිවෙන්න පිරෙනව. එතකොට මිනිස්සුංගෙ ගෙවල් යටවෙලා යනව. ආං එතෝට දෙයියො නැවක් හදල හොඳ මිනිස්සුං ඉතරක්කේකට නග්ගෝගන්නොව. නරක මිනිස්සු ගන්නෑ. මැරිල යන්න වතුරටම දානව”

“බල්ලො, පූසො එහෙම”

බිංදුවට යන කලදසාවක් ගැන හිත හිතා මාත් අහනව.

“බල්ලො පූසොත් ගනී මා හිතේ.”

එහෙනං බිංදුවත් ඇරංම නගිනව ඒකට.

“අන්තිමට වැහැලා වැහැලා වැහැලා වැහැලා ගංවතුර ගලනොව අකනිට්ටක් බ්‍රහ්මලෝකෙට යනකං. එයිට පස්සෙ වැස්ස නැවතිලා ගංවතුර බහිනව. එතකොට ඉතුරු නැවේ හිටිය හොඳ මිනිස්සු ටික ඉතරයි. ඒ මිනිස්සු ආපහු ඇහිල්ල ගේ දොර හදාගෙන ජීවත්තෙනව. ආන්නෙහෙමයි.”

“එතෝට තාත්තෙ ඔය ලෝක විනාසෙ කවද්ද වෙන්නෙ?”

“කල්පෙ ඉවර උනහං”

“ඒක කොච්චරද්ද”

“අවුරුදු තව කෝටියෙ එයිනුක් කෝටියක්”

අන්තිමට තාත්ත කියපු කතාවත් ගුනොවද්දන මාම කියපු කතාවත් දෙකෙංම කොයික හරිද කියල හිතාගන්න බැරුව ඉඳල මට ඒක එහෙම්මම අමතක වෙනව.

ආයිමත් ඔය කතාව ඇදෙන්නෙ මං ඉස්කෝලෙට දිග කලිසං අඳින්න ඔන්න මෙන්න තියලයි. ඩෝසර දෙක තුනක් ඇවිත් මතුගම දිහාවෙනුත් රත්නපුර පැත්තෙනුත් අපේ ගමට එන්න තියෙන පාර දෙපැත්ත උලාකන්න පටං ගන්නවා.

“පාර පලල් කොන්නොවලු. වංගු සේරම කෙලිං කොන්නොව කියන්නෙ. මහ විසාල වාහන එනවලු ඇල්ල බැඳිල්ලට බඩුමුට්ටු ඇරං.”

ගම පුරා පැතිරෙනවා. පාර අයිනෙ ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු බයවෙනවා. පාරෙං දුරට වෙන්න ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු සතුටු වෙනවා.

“ඕක තමයි අපි කිව්වෙ. පාරයිනෙ ගෙවල් හදාගත්ත එවුන්ට යස මට්ටුව.”

පාර අයිනෙ ගෙවල්වල අයත් ලේසියෙං අරින්නෙ නෑ. ඒ ගෙවල්වල පිරිමි අය හැන්දෑවට බීගෙන ඇවිත් පාරට බැහැල කෑ ගහනව.


“ඕකුංගෙ ඩෝසර කටු කුලුගෙඩ්ඩෙං ගහල තල්ල දාන්නෙ. හුහ්... මට ඩෝසර ලොකුනෑ ප* (පුරුෂ ලිංගයෝ). අපි නියම ෂිංගලෙයො. පපුව ඔඳ කොල්ලො”


“ආයි දෙන්නෑ එකාණ්ඩුවකටවච්චංදෙයක්. ආණ්ඩුවට %^$*@ (සංසර්ග කරනව) මගෙ ඉඩමෙං ගල්ගැටෙයක් හරි ගැලෙව්වොත්තෙහෙම”


ටිකෙං ටික ඩෝසර් හමුදාව අපේ ගම හරහත් යනව. ගෙවල් කැඩුනෙ නැතත් පාරෙ රිසිවේසමට අහුවෙන සමහරුංගෙ තේ පඳුරු හත අටක්, ගල් වැටියක් එහෙම ගැලවෙනව. ඩෝසරේ අපේ ගම පහු කරගෙන ගියාට පස්සෙත් ග්‍රාමීය වීරයෝ පාරට බහිනව.


“පර්ර හැත්ත. මං ගෙදර නැතිවෙනකං බලාඉඳල මයෙ ගල්වැටිය ගලෝදාල. මයියනොව පොලීසි ඕකලට විරුද්දොව. මං මෙතන හිටියනං ඕකලෑ මලකඩ කැටි ටික හතර්ට නමල ගහනොව ඕකලෑ %&* (අධෝ මාර්ගයේ).”


“ඕකුන්ට හොඳස්සිද්දවෙන්නෑ. මං සීනිගම ගීං අඹරනොව ගම්බිරිස්. හැතිකරේ හැඳිගෑවිල යන්න.”


සමහරු තමුංගෙ තරහකාරයො එක්ක පැටලෙනව.


“තොපි තමයි ඩෝසරකාරයො ලව්ව අපේ ගල්වැටිය කැඩෙව්වෙ. තෝයි තොගෙ %&*&* කෙල්ලො දෙන්නයි ගවුං කොටං ඇඳං උං එක්ක හිචිබිචි ගානොව කීපදෙනහ්ම දැකල තීනව. අනේ හෙන ගහං තොපිට. තොගෙ මිනිහත් ලැජ්ජාවක් නැතුව උංට තැඹිලි කල්ල ගිහිං දුන්නයි කියන්නෙ.”


පාරවල් පලල් වුනාට බෝක්කු පාලං ආදිය පලල් නොවුන හිංදා රෑට එන වාහන කීපයක්ම පාලං බෝක්කු පල්ලෙ වැටුනට පස්සෙ


“ආන්ත්‍රාවයි. ඉදිරියෙන් මාර්ගය පටුය.”


කියලා බෝඩ් කීපයක් පාරෙ හිටවෙනවා. ගමේ හතුරෙක් වන “ඇල්ල බැඳිල්ල”ට උදව්වට ආපු මේ බෝඩ් කෑලි ටිකත් හතුරෙක් හැටියටම පිලිගන්නා ගමේ අය එකමුතුව ඒවා කඩලා, තලලා, කුඩුපට්ටං කරලා අකුල්වලට විසිකරන්නෙ “ආණ්ඩුවට” හොඳ පාඩමක් උගන්නන්න හිතාගෙනයි. ඒ පිහිටෙං අපේ ගමේම කොල්ලෙක් බයිසිකලේ එක්කම බෝක්කුවෙ මෙහා ඉවුරෙං පැනලා එහා ඉවුරෙ ඇනෙන්නේ උගත් පාඩමේ ප්‍රයෝජනය ඊළඟ ආත්මෙට ඉතුරු කරගෙනයි.