Follow by Email

Monday, January 30, 2017

පෙරහැර

"දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ටුකුරු"

"පෙදේසවාසී පෙංවතුනි පෙංවතියනි. ***ගම සී කුසුමකුක්කාරාමයේ කටින පිංකමේ කටින චීවරය පෙරටුකොටගත් පෙරෑර මේවනවිට වියාරස්තානයෙන් පිටත්වෙනවා. මෙම්පෙරෑර **ගොඩ හංදියේ පේමදාස මහත්මාගේ නිවස බලා පිටත්වෙනවා ඇති."

සුගත් ආතගෙ කටහඬ පන්සලේ මිදුලේ මහෝගනී ගහ මුදුනෙ ගැටගහල තියෙන පීකරෙන් පිටවෙලා අපේ ගෙවල් පහුකරගෙන යන ගමං අපේ ගෙවල් තියෙන කඳු බොකලම අස්සටත් පනිනවා.

"දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ටුකුරු"

පන්සල පැත්තෙන් ඇහෙන දවුල් සද්දෙ ටිකෙන්ටික අඩු වෙනවා. පෙරහැර පන්සලේ පල්ලම බහිනවා ඇති. මං මිදුලට බැහැලා බෙරිහං දෙනවා.

"චූඌඩී... චූඌඩී... පෙරෑරක්කෙනෝ"

චූටිත් අනික් ගෙවල්වල සන්නිවේදන ජාලයත් සක්‍රීය වෙනවා.

"නෝනක්කේ... පෙරෑරක්කෙනෝ...."

"බට්ටියක්කේ පෙරෑරක්කෙනෝ"

"හා....ආ... අපි කරුම්මාමලෑ ගේගාට එනෝ."

වටපිටාවෙ ළමා ලපටි ටික විනාඩියෙං පණිවිඩේ අල්ලගනිද්දි වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එක වගේ සුනංගු වෙන අපේ තාත්තගෙ අම්මා තමුංගෙ මිනිබිරීට කෑ ගහනවා.

"චූටී... චූචී.... ඉනඩුවයියාවයි මුංගෙ කංඇහෙන්නෑනෙයම්ප. චූචී... ආං ලොකුමාමලෑයිය කතා කොන්නොව මොකද බලාං"

"පෙරෑරක්කෙනවලු ආච්චම්මෙ. පෙරෑරක්."

"කොයියන පෙරෑරැද්ද?"


ආච්චම්මට පෙරහැරේ වර්ගෙත් ඕනි. ඒ ගැන චූටි දන්නෙත් නෑ. අපිට කොයි පෙරහැරත් එකයි. ඒ හංදා ආච්චම්මා චූටි ලවා ආයිමත් මට කතාකරවනවා.


"අයියේ"

"ඕ"

"ආච්චම්මහනව මොන පෙරෑරද්ද කියලාආ..."

"පංසලේ පෙරෑර. පේමදාස මාමලෑ ගෙදෙට්ට යනේක."

චූටි ඒ කාරණාව ආච්චම්මට පැහැදිලි කරනවා.

"ආච්චම්මෙ ඒක පංසලේ ඉඳං පේමදාස මාමලෑ ගෙදෙට්ට යනේකලු"

ආච්චම්මට ඒ කාරණේ විස්සාස නෑ.

"පංසලේ ඉඳං ගෙවල්ලොල්ට යනවෑ පෙරෑරවල්. බොන්නොකිය හිටාං"

ඒ එක්කම පන්සලේ පීකරේ ආයිමත් බලියනවා.

"කටින චීවරය පෙර්ටුකරගත් මෙම් පෙරෑර මේවනවිට අතුල මහත්මාගේ කඩය පසුකරන බව අපට වාර්තාවෙනවා."


"ඒ කටින චීවරේ කියන එක ඇරං යන පෙරැහැරලූඌ"

මං ආයිමත් විස්තරේ කියනවා.

"ආ. ඒකමිසක්ක. ලැහැත්තිවැනිං විගහට යමං."

ආච්චම්මා චූටිව දක්කන සද්දෙ ඇහෙනවා. මං මේසෙ උඩ තියෙ ගුරුලේත්තුව අස්සට අත දාල ඒක ඇතුලෙ තියෙන දුංකොල දෙක එලියට ඇදල දානව. ඊළඟට ආයිමත් අතදාල අතට අහුවෙන කාසි දෙකතුන කලිසමේ සාක්කුවට දානව.

"ටිලි ටිලිං රව රව රව ටිං"

ඒ සාක්කුව ඉරිල. එක කාසියක් මේසෙ යට්ට රෝල්වෙනව. මං මේසෙ යටට රිංගලා ඒ කාසියත් අහුලගෙන අනික් සාක්කුවට දාගන්නවා. ඉස්කෝලෙ අඳින කමිසෙත් ඇඳගන්නවා. කුස්සියෙ දොරට වට්ටිය හේත්තු කරලා හරහට කොස්ස තියනවා. දැං බල්ලො පනින්නෑ. ඉස්සරහ දොරපියන වහලා දොරේ තියෙන නූල උලුවස්සෙ ඇනේ පටලවනවා. ඒකෙ එලියෙං අගුලක් නෑ. එතකොටම බිංදුවා අපේ මිදුලෙ. ඒ කියන්නෙ චූටිත් ඒ ළඟම එනවා.

බිංදුයි මායි

"කෝ බං චූටි?"

මං බිංදුවගෙං අහනවා. බිංදුවා ඔලුවයි නගුටයි වනන වේගෙට උගෙ පෙට්ටියක් වගේ බඩ ගෙඩියත් වැනෙනවා. එතකොටම චූටිත් දනිස්දෙකට අත තියාගෙන හති දාගෙන අපේ මිදුලට ගොඩවෙනවා.


"හම්මෙහ්"


"කෝ ආච්චම්ම?"


"ආච්චම්ම හැට්ටකටු හොයනොව. කෝ දෝනියන්නැද්ද?"



"ඒකියම්මත්තෙක්ක පල්ලෙහ ගියා. අපි යමං"


අපි බිංදුවත් අරගෙන කන්ද නගිනව. බිංදුවා අපි දෙන්නගෙ ඇඟේ හැප්පීගෙන ඉස්සරවෙලා දුවනව. චූටිව ඉස්සර කරගෙන මං පහුවෙනව. චන්දරේ මාමගෙ කුඹුර මැද්දෙං තවත් පෝලිමක් එනව. ඒ ගොල්ලො කියන ඒව අපිට ඇහෙන්නෙ නෑ. පුංචම්මගෙ කඩේ කිට්ටුව පෙරහැර එනව ඇත්තෙ ඒ හරියෙං දවුල් සද්දෙ ඇහෙනව.


"දංකුඩ පූ..සට දංකුඩ පූ...සට"


බෙර තාලෙ මාරු කරල. ආච්චම්ම තාම නෑ, බිංදුවා පාරෙ යන වාහනවලට පයින්න යනව. මං බිංදුවව ආපහු එලවන්න ලාඩප්ප කෝට්ටක් කඩාගන්නව. නෝනක්කයි අයියයි, හංසනියි බට්ටියි කරුනෙ මාමලෑ කඩේ ගාව ඉඳං අපිට කතා කරනව.


"ඔතන්ට වඩා හොඳට මෙතන පේනව වැඩිපුර"


අපිත් අපි ඉන්න තැන එයිට වඩා හොඳ බව කියනව.


"ඔයිට කලිං මෙතෙන්ට පේනව අර වංගුවෙං එනකොටම බැලියැහැකි"


අන්තිමට අපි කියන දේ ඇත්ත විදිහට අරගෙන ඒගොල්ලොත් අපි ඉන්න තැනට එනව. එතකොටම වංගුවෙං මනුස්සයෙක් මතුවෙනවා.


"ආං නැට්ටුවෙක්. මං තමා මුලිම්ම දැක්කෙ."


බට්ටි උඩ පයිනව.


"ඒ අපෙයම්මනෙ."


චූටි කියනව. නැංදයි මාමයි දෙන්නම දළු කඩල ඉවරවෙලා ගෙදර එනව.


"තව පුරාම පල්ලෙහා පෙරෑර තියෙන්නෙ. වත්තට හැරෙන තැන සෙල්ලං පෙන්නනව."


නැංද කියනවා. අපි ඉවසං ඉන්න බැරුව එහාට මෙහාට ඇවිදිනවා. බිංදුවටත් එක විදිහට ඉන්න බැරුව අපේ ඇඟේ හැපෙනව. චන්දරෙ මාමලෑ අයියා පාරෙං එහා පැත්තෙ පරගස්වලට ගල් ගහනව. නෝනක්කයි බට්ටියි චූටියි ගල් කිරන්න පටං අරගෙන ගෝරියක් දාගන්නව. හංසනී විතරක් සැරිං සැරේ දෙපැත්තට හැරිහැරි නියපොතු විකනවා. හංසනී සුරුස් ගාලා එක පැත්තකට හැරෙනකොට ඇඳං ඉන්න ගවුම රැලිටික විහිදලා කැරකෙන හැටි මං බලං ඉන්නවා.


පෙරහැර දැන්නං හොඳටම ළඟ බව බෙර සද්දෙං තේරෙනවා. මහතුම්මාමලෑ නැංදයි, ගුන්තිලක මාමලෑ නැංදයි පාරට එබිකං කරනවා.


පුබ්බයිසිකලෙත් තල්ලු කරගෙන කන්ද නැගගෙන අයිස්කිරීං කාරයා වංගුවෙං මතුවෙනවා. එයාගෙ අතේ තියෙන නලාවෙ බෝලෙ මිරිකනකොට "කෝපී කෝපි කොපි කෝපී" කියල සද්දෙයක් එනව. හංසනී ගවුමෙ පටිය අස්සෙං කොලපාට සල්ලි කොලයක් අරගන්නව. අයිස්කිරිංකාරයා අපි ඉන්න තැන නවතිනවා.


"එකද්දෙකයි පනහයි"


"හතරද්දෙන්න."


හංසනීගෙ අතේ තියෙන රුපියල් දහය සරමෙ ඔලොගුවට දාගන්න අයිස්කිරිංකාරයා හැඬල්ලෙකේ තියෙන පෙට්ටියෙං ගොටු අරගෙන ලැකිජ්ජෙකේ තියෙන පෙට්ටියට හැන්ද දාල අයිස්කිරිං අරං පුරෝනව. හංසනියි, බට්ටියි, නෝනක්කයි සුමිත්තයියයි වටවෙලා බලං ඉන්නව. මාත් සාක්කුවට අතදාල සල්ලි ගන්නව. සල්ලි ඔක්කොම රුපියල් තුනයි පනහක් තියෙනව.


"මේකෙං අයිස් කිරිං එකක් ගනිං. මං ගෙදෙට්ට දුවල සල්ලි ඇරං එන්නං"


සල්ලි ටික චූටිගෙ අතට දීල මං ගෙදර දුවනව. දොර ඇරගෙන ගෙට පැනල ගුරුලේත්තුවෙං දුංකල දෙක ඇදල දාල සල්ලි තියෙද බලනව. තව සත හැත්තපහක් තියෙනව. ඒක මදි. පෙරහැර එනව ඇති. මං ආපහු දොර වහගෙන කන්ද උඩට දුවනව. අයිස්කිරීං කාරය ගිහිං අනික් අය අයිස්කිරිං කනව. චූටි එක අයිස්කිරිං ගොට්ටක් අතේ තියං ඉන්නව. මාව දැක්ක ගමං එක් මට දෙනව.


"ආයියෙ. එකක් ගත්ත. අයිස්කිරිංකාරය ගියා."


"මට එපා. මං පොලේ ගියහං කන්නං. මං හැමදාම පොලේ යනවනෙ. උඹ කාහං ඕක."


අපි දෙන්නට ඒක බෙදාගෙන කන්න දෙයක් නැති හිංදා මං කියනව. මං පර ගහකිං කොලයක් කඩාගන්නව.


"මේං මේකට ඔය අයිස්කිරිං ඇඹිංදක් දාහං"


චූටි අයිස්කිරිං ගොට්ටෙං අයිස්කිරිං ටිකක් පරකොලේට හලනවා.


"ඇති ඇති ඔයෑති."


"ඉඳහ්. බිංදු කාහං මේක"


මං පරකොලේ බිම තියනව. බිංදුවා නගුට වනවනා පරකොලේ තියෙන අයිස්කිරිං ටික ලෙවකනවා.


"මං මේ ගොටුව කන්නෑ."


හංසනී එයාගෙ අතේ තියෙන අයිස්කිරිංගොටුවෙ අයිස්කිරිං ටික කාල ගොටුව විසිකරන්න හදනව.


"කෝ දෙන්නකො මට ඕක."


හංසනී පුදුම වෙලා මාදිහා බලල අයිස්කිරිං ගොටුව මට දෙනව. මං ඒකත් බිංදුවට කවනවා. චූටිත් අයිස්කිරිං ගොට්ටෙ කෑල්ලක් ඉතුරු කරල බිංදුවට දෙනව. බිංදුවගෙ නගුට තව හයියෙං වැනෙනව.


පරගස්


සරමක් කැහැපොටගහගෙන කමිසෙ උඩ බොත්තං දෙකත් ඇරගෙන විටක් කාගත්තු මනුස්සයෙක් වංගුවෙං මතුවෙනව. එයාගෙ අතේ වට දෙකතුනක් ඔතපු කඹෙයක් තියෙනවා. එයා එන්නෙ ගැරඬියා යනව වගේ දෙපැත්තට වැනි වැනී. අපි ඉන්න තැනට ඇවිත් නැවතිලා කඹපොට දිගාරින ගමං වැනි වැනී එයා අපිට මෙහෙම කියනවා.


"ළමයි එහෙට්ටලො ඉන්න... ඕං ඇඟේ වැදුනොත්තෙහෙම මන්දන්නෑ. හර්ද"


"ඕක කසෙයක්. සත්තපුරේ පෙරැහැරේ ඔයිං කීපයක්ම ගහනව හරි සද්දයි."


මං චූටිට ඒ ගැන කියා දෙනව. කසකාරයා පාර මැද්දෙ හිටගෙන කඹේ වනන්න ගන්නව.


"හුස් පුස් හුස් පුස්"


කඹේ හුළඟ කපාගෙන දෙපැත්තට වැනෙන සද්දෙ විතරයි. පුපුරන සද්දෙ ඇහෙන්නෑ. බිංදුවා බුරන්න පටංගන්නවා. මං ඌව කංකෙටියෙං අල්ලගෙන හොස්ස මිරිකගන්නව.


"මේ ලබ්බ අම්මගෙ රෙද්ද. යකෝ දැං අතන පහල වංගුවෙ ගහද්දි හොඳට සද්දි තිවුන දැං නෑනෙ."


කසේ නවත්තල තව දෙපාරක් විතර වැනිලා කෙලිං හිටගන්න කසකාරයා කසේට බැනල ඒක අකුලගන්නව. ආයිමත් වැනිවැනී කරුණෙ මාමලෑ ගේ ගාවට යනව. එතනත් සෙනග ඉන්නව. කසකාරයා කඹේ දිගෑරල වනනව. එතනදිවත් සද්දෙ එයිද කියල අපි බලං ඉන්නව. එතැනදිත් හුලං සද්දෙ විතරයි. කසකාරයා ආයිමත් කසේට බනිනව.


"යකෝ අතෙන්දි තිවිච්චි සද්දෙ මෙතෙන්ට එද්දි නෑනෙ. මොන බඩ කැවුත්තද්ද මංද"


 ඊළඟට එන්නෙ දවුල් ගහන ජයවර්දන මාමයි දවුල් ගහන අදාසේනෙ මාමයි. ජයවර්දන මාම සරම කැහැපොට ගහල මේස් බැනියමක් ඇඳගෙන ඔලුවෙ ජටාවකුත් බැඳගෙන දවුල ගහද්දි අදාසේනෙ මාමා ඔලුව බිමට නමාගෙන පාරෙ හැමපැත්තටම හැරිහැරි තම්මැට්ටමට වකුටු කෝටු දෙකකිං ගහනව.


"අර නැටුං කොරන ලමයින්ට එන්න කියන්නකො විජහට. මට මේක ගගහ ඉන්න බෑ මෙතන."


ජයවර්දන මාමා බෙරේ ගහන ගමං කෑගහනව.


ඊළඟට එන්නෙ අද්දිග සුදු කමිසෙකුයි සුදු සරමකුයි ඇඳගෙන දිග ලාඩප්ප කෝට්ටක අමුනපු බෞද්ධ කොඩියක් කෙලිං අල්ලගෙන එන වඩු ඉස්කෝලෙ මහත්තයෑ පුතා. එයා තමයි දහම්පාසලේ හොඳම ළමයා. එයා කොඩිය හරි කෙලිං අල්ලගෙන අපි දිහාවත් නොබල යනව. අපි එයාට ඔරෝනවා. හුඟක් ගෙවල්වල ළමයින්ට ගෙදරිං ගුටි වදිනකොට දෙමව්පියො තාලෙ අල්ලන්නෙ එයාගෙ නම කියල.


"බලහල්ල අර වඩුයිස්කෝලෙ මහත්තෑ ළමෙය. කිසියම්ම කිසිවදයක් නෑ."


ඔය හිංදා අපිට වැඩිමල් ලොකු අයියලා එයාව දුටුතැන ගහල පන්නනවා.


පෙරහැරේ එයාට පිටිපස්සෙං ඩොලැක්කියක් ගගහ එන්නෙ එගොඩහගොඩේ පාලමගාව බීඩි බිබී ඉන්න මිනිහා.


"තක් බුං බුං තක් බුං බුං"


කියලා ඩොලැක්කෙ ගහද්දි බිස්ටල් බෝඩ්වලිං හදාගත්තු කොලපත් වගේ කුලු කීපයක් අරගෙන කුලු නැටුං කණ්ඩායමේ ළමයි ටික එනවා. ඒ කණ්ඩායමේ ඉන්නෙ හැමදාම දහම්පාසල් යන, වැරදි වැඩ කරන අය ගැන හාමුදුරුවන්ට කියන දහම්පාසලේ හොඳම ළමයි ටිකක්.  නට නටා කන්ද නැගල හති වැටිච්චි ඒ කට්ටිය කාඩ්බෝඩ් කුලුවලිං පවං ගගහ දිව දොට්ට දාගෙන හති අරිද්දි ඩොලැක්කෙ ගහන කෙනා කෑ ගහනව.


"මේ මෙතන කට්ටිය බලා ඉන්නව නටන්නෝනැ"


කුළු නැටුං කණ්ඩායමේ ලමයි ටික අපි දිහා දත්කූරු කාගෙන බලල එක කකුලක් නමල ඩොලැක්කියෙ තාලෙට කිසිසේත්ම ගැලපෙන්නැති තාලෙකට අනික් කකුලෙං උඩ පැනල කුල්ලෙං අති ඉන්න පැත්තට පොලනව. ඒ කුල්ලෙ හාල් තිබුනනනං ඒව අපේ ඉහටත් උඩිං යන්න තිබුනා. ආයිමත් නමං ඉන්න කකුල දිගෑරල අනික් කකුල නමල පාරෙ අනික් පැත්තෙ පරගස් ගාල දිහාවට හැරිල කුල්ල උඩට ගස්සනව. නැටුම පරක්කුවෙලා පටං ගත්ත කෙනෙක් අපේ පැත්තට කුල්ල ගස්සන්න ගිහිං එයා ළඟ ඉන්න කෙනා පරගස් ගාල පැත්තට ගස්සන කුල්ලත් එක්ක හැප්පිලා කුල්ලෙ එක කොනක් ඉරිල යනව. කීප විටක් එහෙට මෙහෙට ගැස්සුවට පස්සෙ කුලු නැටුං කන්ඩායම ආයිමත් හැල්මෙ යනව. ඒ කට්ටිය පස්සෙං දහම්පාසලේ උගන්නන මල්ලිකා නැංදයි ශ්‍රියානි නැංදයි අත් අල්ලගෙන යනව.


ඒ පිටිපස්සෙං රබං ගහන මනුස්සයෙක් තවත් නැටුං කණ්ඩායමක් දක්කගෙන එනව.


"බුං ටට්ටක් බුං ටට්ටක්"


දෙපැත්තෙ ඉටිකොල රැලි අල්ලපු අතක් විතර දිග ලාඩප්ප කෝටු දෙක දෙක අතේ තියාගෙන එන ලීකෙලි නැටුං කණ්ඩායමත් හැමදාම දහම්පාසල් ගිහිං අහුවෙච්ච කාණ්ඩයක්. ඒ ගොල්ලත් අපිව දැකපු ගමං හති ඇරිල්ල නවත්තල අපිට ඔරෝල වං කකුල නමල අනික් කකුලෙං උඩ පැනල අත්දෙක උඩට කරල කෝටුකෑලිදෙක එකට හප්පනව.

"ත්‍රක්"


ආයිමත් ඒ කකුල දිගෑරල අනික් කකුල නමල පරගස් ගාල දිහාවට හැරිල කෝටු කෑලි දෙක හප්පනව. රැලි දෙකතුනකුත් බිම වැටෙනව. ආයිපාරක් උඩ පැනල ළඟ ඉන්න කෙනාගෙ අතේ තියෙන පොල්ලට ගහනව. කීප විටක් කෝටුකෑලි හප්පල පෙන්නල ඒගොල්ලොත් හති ඇරඇර කන්දෙ ඉතුරුටික නගිනව. දලු ලොරියක් හෝන්ගහගෙන කන්ද නගිනව. පෙරහැර  පාරෙං අයිනට වෙලා ඉඩදෙනව. ලොරිය ගිහිං දුං ටිකත් පාවෙලා ගියාට පස්සෙ පෙරහැර ආයිමත් පාරට එනව. මොටෝ සයිකල් එහෙම පාරෙං අයිං වෙලා යනව.


පුස්ප නැංදගෙ නංගිත් සීනි පිට්ටු කටු දෙකක් වගේ නූළකිං අමුනපු පිත්තල පියං දෙකක් එකට ගගහා එනවා.


"ටිං ටික්. ටික් ටික්"


එයා දක්කගෙන එන්නෙ කලගෙඩි නැටුං කණ්ඩායම. ඒ කට්ටිය පිටිපස්සෙං දහම්පාසලේ ගෑල්ලමයි ටිකක් කවි කියකියා එනව.


"අහකට පිඹිනා...
එරං කලේයා...

කලගෙඩි කණ්ඩායමත් අපිට ඔරෝල කකුලක් නමල උඩ පැනල කලේ බිම අනින්න වගේ පහලට දික්කරනව.


පොලඟට පිඹිනා
කූඹි කලේයා..."


ඒගමන අනික් කකුල නමල උඩ පැනල පරගස් ගාලෙං උඩ සිරිපාල මාමගෙ තේ කෑල්ල දිහාවට කලේ දික්කරනව.


ගුන්තිලක මාමලගෙ ගෙදර සුදුවා පෙරහැර බලන්න පාරට එද්දි උංගෙ ගෙදර ඉන්න අන්ඩක් කැඩිච්චි බල්ලා අඬු තුනෙං තුම්පිම්ම පැනගෙන පාරට එනවා.


"ව්...රැව් රැහ්"


මගෙ කකුල්දෙක මුල ඉන්න බිංදුවා එකපාරටම බුරන්න පටං ගන්නවා.


බිංදුවගෙ බිරුං දෙකට සුදුවෑ බල්ලා නගුටෙං අමුඩෙ ගහගනිද්දි බිංදුවා උගෙ ඇඟට පනිනවා. බලු පොදිය පෙරහැර මැදට පනිද්දි නැටුං කණ්ඩායම අහකට පිඹපු එරං කලෙයක් බිම වැටෙනවා. ගායනා කණ්ඩායම ගිරියටිං කෑගහගෙන පොලු නැටුං කණ්ඩායමත් පහුකරගෙන දුවනවා. ඒ බලු ගාලගෝට්ටිය පාර අයිනෙ කැකිල්ල ගාලක් තලාගෙන කාවැටිල ආපහු නැටුං කණ්ඩායම සීසිකඩ විසිකරගෙන අපේ පැත්තට පනිද්දි මං බිංදුවගෙ පටියෙං අල්ලගෙන උගෙ එක කනක් කරකෝනව. සුදුවලෑ අන්ඩ කැඩිච්ච බල්ලා "කැව්කැවුක් කැව් කැවුක් කැව් කැවුක්" කිය කියා ආපහු ගෙදර දුවනවා. ගායක කණ්ඩායමේ එක්කෙනෙක් බිඳිච්ච එරං කලේ කෑලි ටික එක්කහු කරගන්නව. බිංදුවා මගෙ කකුල් දෙකට හිරවෙලා කන අතාරින්න කියලා බෙරිහං දෙනවා.


ඊළඟට එන්නෙ කොල්ලයි කෙල්ලයි ජෝඩුවක්. අපේ ලොකු නැංදගෙ පුතා බඩ මැදිං බෙල්ටෙක හිටින්න දිග කලිසමක් ඇඳලා කමිසෙත් කලිසමට යටකරලා හොඳ සෙරෙප්පු කුට්ටමක් දාගෙන කොල්ලා විදිහට යද්දි නන්ද නැංදගෙ මල්ලි ගවුමක් ඇඳලා කොණ්ඩෙ වගේ හිටින්න හවරියකුත් දාගෙන එයාගෙ අතේ එල්ලිලා කෙල්ල වගේ යනවා. අපි හිකි හිකි ගාල හිනාවෙනවා.


වෙස්මූණු දාගෙන, බඩේ දැලි ගාගෙන, ඉස්කෝලෙ අඳින නිල්පාට කොටකලිසමට උඩිං කොල අතු එල්ලගෙන උණ කෝටුවලට බැඳපු නූල්වලිං හදාපු දුනුයි බටලී පතුරු ඊතලයි අරගෙන යක්කුද වැද්දොද නොදන්නා නැටුං කණ්ඩායමක් ඊළඟට එනවා. ඒ ගොල්ලංව දක්කන්න කෙනෙක් නෑ. විටිං විටේ හූ කියන ගමං ඒගොල්ලො පාර අයිනෙ ඉන්න ළමයින්ගෙ ඇඟට පැනලා බය කරනවා. ආයිමත් දුන්නට බට පතුරක් තියල අපි දිහාවට කුරුමානං අල්ලනවා. අපිවත් බයකරන්න අපේ ඇඟට පනින එක වැදි යකෙක් බිංදුවගෙ ගෙරවිල්ලට බයේ ආපහු දුවනවා.


"හූ.... කලු පූසෝ.... හූ...."


එක වැද්යකෙක් අඳුරගත්තු සුදුවා හූ කියනවා.


"අඩෝ ගෑනු ටොක්කා.. තෝ අහුවෙයංකො."


සුදුවගෙ හූවට ලක්වෙච්ච වැදියකා දුන්න උරුක්කරලා සුදුවට තර්ජනේ කරනව.


ඊළඟට එන්නෙ බයිසිකල්කාරයො ටිකක්. කෝටුවක අගිස්සෙ සිදලං ගෙඩ්ඩක් හරි ජම්බල පලුවක් හරි උලගහලා ඒක වටේට වෙසක්කොල වලිං හදපු මල් අලෝපු ඉරට කූරු උලගහලා හදාගත්තු ඉත්තෑවෙක් වගේ එකක් බයිසිකලේ බැඳගෙන කීප දෙනෙක් එනවා.


"ආ...නේ.. අර.... නෝනක්කෙ අර මල්ගස් හරීඊඊඊ ලස්සනයි"


හංසනී ඒ බයිසිකල්වල තියෙන කෝටුවල උලගහපු ඉත්තෑවො වගේ ඒව දිහා බලාගෙන කියනව. ඒවා මල්ගස්ද ඉදල්ද කියල හිතාගන්න බැරුව මාත් ඒ දිහා බලං ඉන්නව. අනික් අය බයිසිකලේ තල්ලු කරගෙන එද්දි පීටර ආතලගෙ ගෙදර වසන්ත විතරක් හිටගෙන බයිසිකලේ පැදගෙන එනවා. ඒ අතරෙ වැදියකෙක් ආපස්සට හැරිලා දුනු බටපතුරු එල්ල කරලා වසන්තට බනිනවා.


"වසන්තයියෙ තෝ ආයි බයිසිකලේ ගෙනැත් මගෙ ඇඟේ ඇන්නොත් හිල්කොන්නොව ටෑර්රෙක. දැනගනිං."


ඒ අතරෙ විමලසේනයි, පියරත්න බාසුන්නැහැයි බයිසිකල් දෙක එක කිට්ටුවෙං තල්ලුකරගෙන යන ගමං කයිවාරු ගහනව.


"අපේ කුඹරෙ නං දැං ඒ තරං එරෙන්නෑ"

"දිය හබොල්ල ගාලක් හැදිල තිවුනනෙ"


ඒ දෙන්නගේ බයිසිකල්වල බැඳපු මල්ගස් දෙකේ උඩ ඉරට කූරු එකට පැටලිලා කීපයක් කැඩිල බිමටත් වැටෙනවා. අපි කෑගහනව.


"විමලසේන මාමේ ඔන්න ඉට්ට කූරු පැටලිලා. ඔය ඔය උඩ උඩ"


ඒ දෙන්නා උඩ බලලා බයිසිකල් දෙක ඇලකරලා පැටලුං බේරගන්නවා.

පේමදාස මාමා රෙද්දකිං වහපු මොකද්ද එකක් ඔලුව උඩ තියාගෙන යනවා. වත්ත පාරෙ නිමල් අයියා පංසලේ හාමුදුරුවො ගාව තියෙන ජාතියෙ කහපාට කුඩයක් එයිට උඩිං ඉහලලා අල්ලගෙන යනවා. ඒ එක්කම නෙස්ටමෝල් බෙලෙක්කෙකිං හදාපු කැටයක් අරගත්තු හීං ආතා එනවා. එයා ගේන බෙලෙක්කෙ වටේට සුදුපාට හාප්සීට් කොල අලෝලා. පියනෙ විතරක් පිංකැටේ තියෙන ජාතියෙ හරහට කපාපු කට්ටයක් තියෙනවා. ඒකෙං සල්ලි දාතහැකි. හීං ආතා පාරෙ දෙපැත්තෙ ඉන්න සෙනග පොදිය මැද්දට කඩා වදිනවා.


"හාහාහැමෝම මේ කැටේට පඩුල්ලන්න පඩුල්ලන්න. සද්දහයෙ එව්ව එහෙම දාන්නෙපා. සල්ලි කොල උනක්කමහ්නෑ. ඔය සුනිම්මල්ලිලෑ දූ ගාවෙහෙම සල්ලියැති පඩුල්ලන්න මේකට. පිංසිද්දවෙනව"


හංසනී ඇඹරෙනවා. එයාගාව තිවුන සල්ලි අයිස්කිරිං කාල ඉවර උනානෙ. නෝනක්කයි සුමිත්තයියයි ගාවත් සල්ලි නෑ. ඒ දෙන්නත් හංසනී එක්ක ඉන්නෙ ඒකනෙ.


"සල්ලි ඉවරවුනා...."


හංසනී ඇඹරි ඇඹරි ගවුමෙ පටියත් අඹරෝන ගමං කියනවා.


"ඈ..පෝ... තාත්ත මුදලාලි නේද? ෂැහ්.. කමහ්නෑ"


හීං ආතා ආපහු හැරෙනව. එයා අපෙං අහන්නෙ නෑ. අපිගාව සල්ලි නෑ කියල හිතෙන හිංද වෙන්නැති.


"ආහ් මේ සුපියල දාන්න"


අයිස් කිරිං කන්න මදිවුන සල්ලි එකයි හැත්තපහෙං රුපියලක් මං හංසනීගෙ අතට දෙනව. හංසනී ගවුමෙ පටිය අතෑරල ඒක අරං හීං ආත ඉස්සරහට පැනල කැටේට සල්ලිය දානව.


"දැං එහෙනං නෑ කිව්වෙ"

හීං ආත අහනව. හංසනී ආයිමත් ගවුමෙ පටිය අඹරෝනව.


"මේටික උඹද්දාහං"

අනික් සත හැත්තපහ මං චූටිට දෙනව. චූටිත් හීං ආත පස්සෙ එලවගෙන ගිහිං කැටේට සල්ලි දානව.

"ටලස්"


පේමදාස මාමා රෙද්දකිං වහං ඔලුවෙ තියාගෙන යන එක දිහාවට වැඳගෙන පංසලේ උපාසකම්මල නඩේම යනව. සෙනග ඉන්න තැං ළං වෙද්දි ඒගොල්ලං අත්දෙක නලලෙ තියල හයියෙං සාදු කියනව.


"සාහ්    සාහ්    සාහ්    සාහ්    සාආආආහ්ක්     සාහ්     සාහ්     සාහ්     සාහ්     සාආආආහ්ක්"


ඒ නඩේ ඉන්න සුබරත් මැණිකෙ ආච්චම්මා සාදු කියන ගමං පාර අයිනෙ ඉන්න අපිටත් සැර කරනව.


"ළමයි සාදු කියනවලකො. පවුසිද්දකොරගන්නැතුව. පෙරහැර බැලුවං සාදු කියන්නෝන. නැත්තං පිං සිද්ද වෙන්නෑ"


අපිත් දෑත නලලෙ තියාගෙන සාදු කියනව. ඊළඟට යන්නෙ මහතුං මාමලෑ ගෙදර නැංදා. එයා ගෝනිලනුවකිං බැඳපු බෝතලේකුත් අතේ එල්ලගෙන ලාම්පුතෙල් ගේන්න හන්දියෙ ගුණසේකර මාමගෙ බාරෙකට යනව. එයිට පිටිපස්සෙං දලු කඩන්න ගෙනිච්ච කවර මලු, පෝච්චි, ගෝනි එහෙම අරගෙන මඩුගෙයි සුදුමාමයි නැංදයි යනව. එයිටත් පිටිපස්සෙං යක් වැද්දෙක්ට ඇඳපු ළමයෙක් කනෙං ඇදගෙන කෙලිංකන්දෙ අනුරගෙ පවුල යනවා.


"තෝ යම.. යමකො. තොට මං දෙවන්න දෙකක්. ඩිංගක් නටපියකො පෙරහැරේ. තව ටිකයි දුර නටහං ගිහිං."


යක් පැටියට ඇඳං ඉන්න අනුරගෙ ළමය උඩ පැනලා බෙරිහං දෙනව


"බෑ යකෝ... මට ඉන්න දීපාං."


අනුරගෙ පවුල ළමයගෙ ඉනේ තියෙන කොල අත්තක් ඇදල ඇරං ළමයගෙ පිට හරහට දෙකක් දෙනවා. ළමය තවත් හයියෙං අඬනව. ඒ දිහා බල බලා හිනවෙවී තව ගෑනු අය දෙන්නෙක් යනව.


"යං පෙරෑර ඉවරයි"


අපි ආපහු පෙරහැරේ වග විස්තර කියෝ කියෝ ගෙදර යනව. හංසනියි බට්ටියි එහෙමත් අපේ ගෙවල් පාරෙන්ම යනව. බිංදුවත් කිසිම වැරැද්දක් නොකරපු ගාන්ට අපේ ඇඟේ හැපි හැපි යනවා. පෙරහැර බලන්න කන්ද නගින ආච්චම්මා


"පෙරැහැර ගියාද"


කියල අපෙං අහනව.


"දැං හන්දියෙ ඇති."


මං කියනව. ආච්චම්මා චූටිට බැන බැන ආපහු හැරෙනව.


"මේං මේකි මගෙ හැට්ටෙ කටුටික නැතිකොල්ලනෙ. මෙච්චෙල්ල ඒක හෙව්ව. අපසාදෙ. පඬුරද්දාගන්න බැරිඋනානෙ."


චූටිට ඒවයේ වගක් නෑ.


"අයියෙ පෙරෑර බැලුවහං පිංසිද්ද වෙනවද?"


චූටි මගෙං අහනව.


"වෙන්නැති බං"


මාත් උත්තර දෙනව. පන්සලේ කොයි වැඩේට අතගැහුවත් පිං සිද්ද වෙනවනෙ.


"ඒකනෙ බිංදුවෝ උඹ වැරදි නොකර පෙරෑර බැලුවනං පිංසිද්ද වෙනව."


චූටි බිංදුවට කරුණු පැහැදිලි කරනව. බිංදුවා නගුට වනලා ඒ කාරණාව පිළිගන්නවා.


අපි ගෙදර එද්දි වට්ටිය පෙරලගෙන බල්ලෙක් කුස්සියට පැනල පොල් බෑය අරං ගිහිල්ල. ඒකට අම්මගෙං බැනුං අහන්න වෙනව. ගුරුලේත්තුව ඇදල දුංකලේ ලිහාදාපුවට තාත්තගෙනුත් බැනුං අහන්න වෙනව.



***********************************************************


පහුවදා ඉස්කෝලෙදි ඉන්ටෝල්ලෙකේදි හංසනී මං ඉන්න තැනට එනව.


"ආ... ඊයෙ දුන්නු රුපියල"


දිලිසෙන රුපියලේ සල්ලියක් මගෙ අතට දීල හංසනී ආපහු හැරෙනව. සුදු ගවුමෙ රැලි ටිකත් වට බාගයක් කැරකිල ආපහු යනව.


























Saturday, January 21, 2017

ප්‍රජනන සෞඛ්‍යය




පහුගිය කාලයේ අපේ රට වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුනේ සෙක්ස් හෙවිල්ලට බව ගූගල් සමාගම අපිට කෝචොක් දැම්මේය. "හොඳා එහෙනං "porn" හොයාපු එවුං වැඩියම ඉන්න රටවල් එලියට දාහං" කියා ගූගල් එකෙන් ගේම ඉල්ලන්න එකෙක්වත් හිටියේ නැත. දැං ආයෙමත් සමලිංගිකත්වයට අනුමැතිය දෙන්නට යන බව කියා බුකියේ ජෝගියක් පටංගෙන ඇත්තේය. මං මේවා ගැන එතරං තැකීමක් නොකලේ 'සූටිං මාටිං බැලීම', 'පේස්බුක් එකේ උඩ පහල යාම', 'අන්තර්ජාලයේ ඇඩ් බැලීම', වැනි අටෝරාසියක් වැදගත් වැඩ මට තියෙනා බැවිනි. නමුත් මේ තරං උඩ දමන සෙක්ස් ගැන නොලියා බැරිය. එබැවින් වයස අවුරුදු දහතුනට අඩු එවුං මේවා කියවා නොබැලුවාට කම් නැත.


මං පොඩිකාලේ පටං කියෙව්වේ තරමට නොගැලපෙන ඒවාය. මං ලංකාදීප පත්තරේ කියවන්නට පටංගත්තේ අවුරුදු හත අටේ කාලයේදීය. එබැවින් අපේ වයසේ එවුන්ට වඩා සමාජයට හොස්ස පොවන්නට මට හැකිවිය. එබැවින් රටේ ලෝකේ සිද්ධවෙන දේවල් කිසිවකට මගෙන් බේරී හැංගෙන්නට බැරිවිය. 


ඒ කාලයේ 'ගැට්ටක් අයිනේ සිටින ආරච්චි' වැනි නමක් ඇති නලුවා තරුණියක්ව දූෂණය කර හිරේ ගිය වග පත්තරේ තිබුණි. මට තේරුං ගිය ආකාරයට දූෂණය යනු දූවිලි ගාලා ඇඳුං පැලඳුං සවුත්තු කිරීම වැනි දෙයකි. ඒ අනුව කොලපත් පැදීම, පෝරකවරයක නැග හෙලපල්ලමට ලිස්සීම, ගුටි ඇනගැනීම, ඔට්ටු තැබීම, කන්තෝරු පැනීම වැනි සෙල්ලං නිසා අපිත් ඉසේ කෙස් ගානට දූෂණය වී ඇත. නමුත් ඒක හිරේ දාන්නට තරං වැරැද්දක් වන්නේ කොහොමදැයි මට හිතාගන්නට නොහැකිය. මේ ගැන මාමාගෙන් ඇසූ නමුත් මාමා එය ඇහුන්නෑ වගේ හිටියේය. උත්තර දෙන්න බැරි ප්‍රශ්න වලට ඇහුන්නෑ වගේ සිටීම මාමාගේ සිරිතයි. ඒ ගමන අහන්නට ඉතුරු උනේ තාත්තා විතරය. මහගෙදරදී දලු ගෝනියට දලු දාන්නට උදව්වෙන ගමං මං තාත්තාගෙන්


"තාත්තේ දූෂණය කියන්නේ මොකද්ද?"


යැයි ඇසුවේ පුංචම්මා ඇතුළු හත් අට දෙනෙක්ගේ ජනතාවක් මැදය. උත්තරේ ලැබුනේ ලෝකයට යොමා සිටි මගේ හොස්සකට සමතලා වෙන්නටය.


"යස... යසම යස කුණුහරුප අහන්න යනවට. තවේකක් දෙන්න තිවුනේ සෝම්පාලයියෙ දතක් හැලෙන්නම"


පුංචම්මාත් ඒකට පෝර පස් දැම්මේය. පත්තර කියවිල්ලෙන් මාව 'යංකිසි දවසක' අන්තිම නරක මිනිහෙක් වන බව ආච්චම්මා අනාවැකියක්ද කිව්වේය.


ඒ විදිහට මගේ උත්තර නැති ප්‍රශ්න ගොඩට තවත් එක ප්‍රශ්නයක් ඉතුරු විය. තාත්තාගෙන් ලැබුණු උත්තරය අනුව හිතාගන්නට පුළුවන් උනේ ඒක 'උඹ' 'තෝ' 'බල්ලා' අාදියටත් වඩා ඉතාමත් තදබල කුනුහරපයක් බවයි. එයින් පස්සේ ඉස්කෝලේදී දරුණු වලියක් ඇදුනු අවස්ථාවක දෙකකදී මම මේ 'දූෂණය' නැමති ප්‍රබල කුණුහරපය කියා කීප දෙනෙක්ටම බැන වැදුනා මතකය. මේ ගැන පැමිණිල්ල චන්ද්‍රා මිස්ගේ කනට ගිය අවස්ථාවේදී මුළු හෝල් එකේම සිටි ගුරුවරු හතර දෙනාම එකතුවී මගේ මේ නවතම කුණුහරපයට හිනාවුන හැටිද මතකය. 


අතට අහුවන සේරම කියවීම එකම පරමාර්ථය කරගත් මට ඒ කාලයේදි කියවන්නට ලැබුණු තවත් පත්තර කීපයකි. ඒවා ගෙනාවේ පුංචම්මාය.

සුවඳ
මගේ හදවතේ සුවඳ ඔබට දැනේවා

කියා නම තැබූ පත්තරය එයින් එකකි. මේවා පොඩි ළමයින් කියවන පත්තර නොවන බැවින්ද, මං එව්වා කියවනු ඇතැයි හිතන්නට බැරි නිසාද, මේ පත්තර මහගෙදර අතන මෙතන දමා තිබුණි. ඒවායේ තිබුනේ සතිපතා පලවන කතන්දරය. මමත් කතන්දර කියවන්නට හරිම ආසාය. මට ගේනා ළමා පත්තරවල තිබුනේ කතන්දර එක දෙකකි. අනෙක්වා ඉරි අඳින්න, යාකරන්න, හිස්තැං පුරවන්න, ආදී මට මිනිත්තු පහකින් ඉවර කළහැකි මොන්ටිසෝරි වැඩය. ඒ වුනාට මේ පුංචම්මා ගෙනෙනා පත්තරවල ඇත්තේ කතන්දර විතරමය. ඉතිං මට ළමා පත්තර වලට වඩා පුංචම්මාගේ පත්තර හිතට අල්ලලා යාම අරුමයක්යැ. ඒ මදිවාට 'සඳරේණු' නම් පත්තරේ තිබුණු 'කොමිටෙල් විජිතය' කියන කතාවත් සුවඳ පත්තරේ තිබුණු 'දමින්ද සමරක්කොඩි' කියා පොලිස්කාරයෙක් ලියන 'බැරැක්කයේ ජීවිතය'ද මොකද්ද කියන එකෙත් තියෙන ඉළ ඇදෙන කතා කියවන්නැතුව ඉන්නට පුළුවනෑ.


පුංචම්මාගේ පත්තරවල තිබුණු කතාවල හිටිය අයට තිබුණු ලොකුම ගැටළුව ඒ ගොල්ලන්ට කසාද බඳින්න හැටියක් නැතිකමය. ගෙවල්වලිං විරුද්ධවීමය. ඒ හිංදා ඒ ගොල්ලෝ අතන මෙතන හම්බුවෙවී අඬමින් සහ මූනු ඉඹිමින් කාලය ගතකලෝය. ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මූනු ඉඹිනවා හැබැහිං දැක නොතිබූ මට ඒ වගේ ඉඹිලිවල පොටෝ බලන්නට පුළුවං උනේ ඒ පත්තරවලිනි. ඊට අමතරව පෝර කොම්පැනියකින් අැවිත් හන්දියේ ඉස්කෝලෙ ඉස්සරහ එල්ලපු රෙද්දක පෙන්වූ චිත්‍රපටියේද මූනු ඉඹිල්ලක් තිබුන නමුත් මිනිස්සු හූ කියන්නට පටංගත් නිසා අම්මා මාවත් ඇදගෙන ගෙදර ඒමෙන් ඒක බලන්නට බැරිවිය.


පුංචම්මා ගෙනෙනා පත්තර ජාතිය මාරු වුනේ වසර ගණනක පෙම් සටනකින් පසු 'වහ බොනවා' යැයි තර්ජනය කර ආතාගෙන් බලහත්කාරෙන් ලබාගත් කැමැත්තෙන් පසුව පුංචම්මාත් බාප්පාත් කසාද බැඳීමෙනි. ඒ විවාහයත් සමගම පුංචම්මාත් බාප්පාත් මහගෙදර කාමරයක පදිංචි වූ අතර 'ප්‍රියාදරී' නම් පත්තරයක් පුංචම්මාගේ ජාතික පුවත්පත බවට පත්විය. මේ පත්තරේ කලාප කීපයක් ඒ දෙන්නාගේ කාමරේ සීසීකඩ තිබූ අතර කොට්ටයක් අනික් පැත්ත ගැසීමෙන්, බෙඩ් සීට්ටෙකක් යට බැලීමෙන් හෝ මෙට්ටය ඔසවා බැලිමෙන් එයින් පත්තරයක් හොයාගැනීමට හැකියාව තිබුණි. 


අලුත බැඳපු කාන්තාවන්ගේ කතන්දර ඒ පත්තරවල තිබුණි. ඒ කතන්දර පටංගැනුනේ


"එයා S ලෙසත් මම M ලෙසත් හඳුන්වන්නම්. මම S අයියාව අඳුරගත්තේ අපේ කඩේදියි. එයා අපේ ගෙවල් ළඟ පාලමක් හදන තැනක වැඩ කලේ. එයා එයාගෙ යාලුවා P අයියාත් එක්ක මගේ යාලුවා W අක්කාගෙ පස්සෙන් යන ගමන්...."


ආදී වසයෙනි. කතාව මැදට යනවිට ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හයෙන් වැඩි ගානක් කතාවට පැටලිලා හමාරය. මේ කතාවල හැටියට මේ ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙකේ 'සම්බන්ධයට' ගෙදරින් 'ගොඩාක්' අකමැති වී ඒ දෙන්නා පැනයන්නේය. ගිහිං නවතින්නේ තවත් ඉංග්‍රීසි කැපිටල් අකුරකගේ ගෙදරය. ඒ ගෙදර මේ ඉංග්‍රීසි අකුරු දෙක නවතින්නේය. එදා රෑ මේ ඉංග්‍රීසි අකුරු දෙක ඒගොල්ලංගේම ලෝකයක තනිවී "ගොඩාක් සතුටු" වන්නේය. මෙන්න මෙතැනදී මේ ගොඩාක් සතුටු වීම මොකක්දැයි මට තේරුං ගැනීමට අමාරුය. සමහර විට හොඳට කන්න බොන්නට ලැබීම නිසා වන්නට පුළුවන. නැතිනං දැං ගෙදර අය සහ අනෙක් ඉංග්‍රීසි කැපිටල් අකුරු වලට මේ ජෝඩුවගේ සම්බන්ධයට තවදුරටත් 'අකමැති' වන්නට බැරි නිසා වන්නට පුළුවන. මේ ප්‍රශ්ණය ඔඩුදුවන්නට පෙර පත්තරේ ඒ පිටුව පහුවදා මගෙත් එක්ක ඉස්කෝලෙ යන්නේ ඒ නිසාය. ඒ පිටුව කියවූ හුඟක් දෙනෙක්ගේ මතය වන්නේ බදාගෙන ඉන්නට, ඉඹින්නට ලැබෙන හිංදා සංතෝසයක් ඇතිවන්නට ඇති බවය. නමුත් එක්කෙනෙක් කිව්වේ දෙන්නා එක්ක 'හෙලිමෙං' ඉඳීම මේ සන්තෝසයට හේතුවන්නට ඇති බවය.


නමුත් මේ පත්තරය දිගින් දිගටම කියවීමෙන් මේ කියනා වැඩේ මොකද්දැයි අහුලා ගන්නට පුළුවන් විය. මේ පත්තරේ 'ඔබගේ සැමියා/බිරිඳ තෘප්තිමත් කරන ආකාරය' කියා වෙනමම පාඩං රැසක් තිබුනා නොවැ. ඒවායේ තිබූ කරුණු කාරනා තේරුං ගන්නට මට උවමනා උනේ 'යෝ' යන්නෙන් පටං ගන්නා වචනයකත් 'ලි' යන්නෙන් පටං ගන්නා වචනයකත් තේරුම දැනගැනීමට පමණයි. එතැන් පටං මේ කියනා සන්තෝෂදායක කටයුත්ත මොකක්දැයි කාටත් කියාදෙන්නට මටත් හැකි විය. මේ ගැන මගේ දේශනා ඇසීමට පන්තියේ කොල්ලන් ඉතාමත් ලැදිකමක් දැක්වූ අතර අතරින් පතර සමහර ශ්‍රාවකයන් කියා සිටියේ මේ වැනි දර්ශන තමුන් අල්ලපු ගෙදර ජනෙල් රෙදි අතරින් අංශුමාත්‍ර වශයෙන් දැක ඇති බවයි. 



මේ කාලයේදී සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂයට අදාල වැඩමුළුවකට අපේ මාමාද සහභාගී විය. ඒ කාලයේ ඉඳහිට එවැනි වැඩමුළු ගුරුවරුන් වෙනුවෙන් පවත්වන ලදී. වෙනදා ඒ වැඩමුළුවලදී කියාදෙන දේවල් ගෙදර ඇවිත් අනික් අයටද කියන මාමා මේ වැඩමුළුවෙන් පසු ගෙදර ඇවිත් ඒ ගැන මොකවත් කිව්වේ නැත. වෙනදා මෙන් නොව මේ වතාවේ මාමාට බෑග් එකක්ද, සුදු ටී ෂර්ට් එකක්ද, තොප්පියක්ද, පොතක්, පෑන් ආදී තෑගි ගොඩක්ද ලැබී තිබුණි. ඒ හැම එකකම අතු දෙකක් වටකුරු කර තැනූ ලාංඡනයක් වටේට කහපාටින් ලොකු අකුරින්

යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන

 කියා ලියා තිබුණි. මේ වනවිට අපේ මාමා සිටියේ කසාද බැඳලා නමුත් කැන්දන් එන්නට තව මාස කීපයක් තිබෙන සමයකය. ඉතින් හැම සිකුරාදාම හවසට "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා ලියූ බෑග් එකේ රෙදි කඩමාලු කීපයක් දමාගෙන බයිසිකලේට පැට්ටල් බෝතලයකුත් පොවාගෙන අපේ මාමා සිය අනාගත බිරිඳගේ ගෙදර යන්නේ සති අන්තය ගත කිරීමටය. මහ වැසි ඇති සීතල දවස්වලට අපේ ආතා ගෙදර ඉස්තෝප්පුවට වී ඉන්නේ "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" කියා හංවඩු ගසා ඇති ටී ෂර්ට් එක ඇඳගෙනය. ඒ මදිවාට අපේ ආච්චිඅම්මා දලු කඩන්න යනවිට අව්ව සැර වැඩි නිසා "යොවුන් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන" නමැති තොප්පිය දාගෙන ඉන්නේ


"මේ අපේ පුතාට වැඩසටානකට ගිහිං හම්බුවෙච්චෙකක්"


කියා අනෙක් අයටද කියන ගමන්ය. 


මේවාට හිනාවෙවී සිටි මට ඊළඟ අවුරුද්දේ නවය වසරේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය අච්චු පොතට 'ප්‍රජනනය' නමින් පාඩමක්ම ලැබුනා නොවැ. නවය වසර පන්ති හතරටම සෞඛ්‍ය සහ අනිත්තෙක ඉගැන්වූ ගුරුතුමියට මේ විලිලැජ්ජා සහගත පාඩම උගන්නන්නට හිත හදාගන්නට බැරිවූ බැවින් එය භාරවූයේ 'ශිෂ්‍ය උපදේශනය' කියා බෝඩ් ලෑල්ලක් ගැසූ කාමරය අස්සේ හිටි ගුරුතුමාටය. එතුමා එක දවසක පන්ති හතරම එකට එක්කාසු කර ඒ පාඩම කදිමට ඉගැන්වූයේ නොදන්නා එවුන් රැසකට සම්පූර්ණ දැනුමක් ලබා දෙමිනි. ඒ වැඩසටහනින් කීප දොහක් යනතෙක් සමහර කෙල්ලන්ට කොල්ලන්ගේ මූන බලන්නට බැරි ලෙඩක් මතුවිය. අපි එදා පොතේ ඇඳගත් පින්තූර මූ අැත්තටම එල්ලාගෙන ඉන්නවා නොවැයි ඔවුන්ට සිතෙන්නට ඇත. නමුත් ආපසු හැරී බලනවිට අකාලයේ කාලකන්නි වන්නට ගිය ජීවිත කීයක් නම් එදා ඒ පාඩමෙන් උගත් දේවල් නිසා රැකෙන්නට ඇතිදැයි සිතේ. ඒ පාඩම පෙළ පොතට ඇතුළත් කළ කෙනාට මගේ ගෞරවය හිමිවිය යුතුය.


මේ කාලයේදී නොසන්ඩාල වැඩවලට ප්‍රසිද්ධියක් ලබා සිටි අපේ පන්තියේ අයෙක් රුපියල් තිහක් වටිනා පත්තරයක් ගෙනාවේය. ඒ පත්තරය තමුංගේ ලොකු අම්මාගේ පුතාගේ යාළුවෙක්ට වෙනිං යාළුවෙක්ගෙං ලැබී පිළිවෙලින් තමුං අතට ආ බවත් පත්තරේ ඇත්තටම අයිතිකරු හරියටම කවුරුන්දැයි නොදන්නා බවත් අපේ මිත්‍රයා කීවේය. ඒ පත්තරයේ තිබූ කතන්දර සහ නිරිවස්තර පින්තූර අපේ සිත තදින් බැඳගත් අතර පාඨකයෝ බහුල වීම නිසා පත්තරයේ පිටු වෙන වෙනම බෙදාහැර එකවර වැඩි ගණනකට කියවීමට ලබාදීමට සිදුවිය. General English අච්චු පොතද මේ පත්තරයේ දිග පළලටම මුද්‍රණය කර තිබීම පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අනේක වාරයක් පින් දෙමින් ඉංග්‍රීසි හල්කඳුරු තිත්ත වූ අය පවා මැදට තිහේ පත්තරෙන් පිටු ඩබලක් දමාගෙන ඉතා උනන්දුවෙන් General English පෙළ පොත කියවූහ. මේ ආරංචිය අනෙක් පන්තිවලටද පැතිර යාම නිසා කාලච්ඡේදයක් අවසානයේ ගුරුවරයා පන්තියෙන් පිටවන විටම 


"අනේ පිටුවක් දියල්ලා බං. ඊළඟ පීරියඩ්ඩෙකේ ගෙනත් දෙනව."


කියමින් පින්සෙන්ඩුවන කොල්ලන්ගෙන් අපේ පන්තියේ කොට බිත්තිය පිරී යයි. දවස අවසන් වනවිට පත්තරේ ගෙදර ගෙනියන එකා තේරීමට තුණ්ඩු දැමීමට හෝ 'හෝ දහය විස්ස' කියන්නට පවා සිදුවිය. කොල්ලන් මේ තරම් රහ කරමින් බලන්නේ මොකක්දැයි දැනගැනීමේ ආසාවක් කෙල්ලන් තුලද තිබූ නමුත්


"මේවයෙ තියෙන්නේ බොලගෙ ග** අ** තියෙන එකම තමයි"


කියා සැක දුරු කිරීමට පාලිතයා ක්‍රියා කලෙන් නැවතත් ඒ ගැන විමසීමට එඩිතර සිසුවියක් අපේ පන්තියේ ඉතිරි නොවීය.


 අන්තිමට දහය එකොළහ වසරවල සහ උසස්පෙළ හාර පන්සියයක් වූ සිසු කැලගේ අතින් අත යමින් සිත් සතන් නිවා සැනහූ පත්තරය ඊළඟ සතියේ රට එක්සේසත් කළ රජතුමෙකුගේ නමින් නම් කළ වෙනත් පාසලකට ගියේ එවැනිම සේවාවකටය.


මීලඟට අපට නිල් චිත්තර පටියක් හෙවත් 'බ්ලූ' එකක් බලන්නට අවස්ථාව ලැබුනේ හදිසියේ රටයන කෙනෙක්ගෙන් අපේ පාසල් සගයෙකුගේ ගෙදරකට ඩෙක්කෙක් ලැබීමෙනි. ඊළඟ සතියේම පත්තරේ ගෙනා නොසන්ඩාලයා බ්ලූ පීස් එකක් ගෙනාවේය. ඩෙක්කෙක ඇති ගෙදර වැඩිහිටියන්ගෙන් නිදහස් වන දවසක් උදාවෙන තෙක් අඟල් දහයේ තල පරිගණකයක් තරම් විසාල පීස්සෙක රැක ගැනීමේ කොන්ත්‍රාත්තුවට කර ගැසුවේ මමය. මේක අස්සේ තියෙන්නේ මොකද්දැයි බලාගන්න ඩෙක්කෙක් ගමේ වෙන කාටවත් නැති නිසා බයවෙන්නට දෙයක් නැත. මං ඩෙක් පීස්සෙක ගෙදර ගෙනගොස් අල්මාරියේ දමා


"මේක මං පාරෙ තිවිල අහුලගත්තෙ. මට පස්සෙ වෙලාවක ගලෝලා බලන්න. පරිස්සං වෙන්න අල්මාරියෙ දාතිව්වා"


කියා අම්මාට කීවෙමි. ඕනෑ දහිරවාට්ටුවක් ගෙදර ගෙනැත් ගලවා බැලීමේ මැකෑනික් කමක් මගේ ඉහේ තිබූ ඒ කාලයේ මේකත් සිය පුත්‍රයාගේ එවැනි දහිරවාට්ටුවක්ම බවට විස්වාස කිරීමට අම්මා පසුබට නොවූවාය.


නියමිත දවස උදාවිය. ඩෙක්කෙක අැති නිවසේ  දෙමව්පියන් දුරක පිහිටි තමුන්ගේ ඉඩමේ දළු කඩන්නට යන දවස උදාවිය. එදා දවසේ අපේ පන්තිවල සිසුන් රැසකටම බඩේ අමාරු, දතේ අමාරු ආදී නොයෙක් ලෙඩ ඇතිවිය. සිය රෝගී දරුවන් ගෙදර දමා දෙමව්පියෝ දවසේ වැඩවලට ගියහ. අපිද ලෙඩේ පසෙක දමා පුබ්බයිසිකල්වල නැගී අදාල නිවසට ගියෙමු. ඩෙක් පීස්සෙක භාරකරු බැවින් මා යන තෙක් වැඩේ පටන්ගන්නේ නැත. 


මම යනවිටත් ගේ ඉදිරිපස තිබූ සෙරෙප්පු කුට්ටං ගණන පෝය දවසක රජමහා විහාරයක් ඉදිරිපිටවත් දකින්නට බැරිය. හන්ටර් සමාගමේවත් එදා ඒ ගෙදර පිලිකන්නේ තිබූ තරං බයිසිකල් ගොඩක් තියෙන්නට විදිහක් නැත. ගෙයි සාලයේ බිම පවා සෙනගය. සමහරු මේස උඩය. කීප පොලකින් කාන්දු වී ඇති රහස නිසා අපේ අහල ගංවල පවා කොල්ලන් එදා ලෙඩවී ඇත. මේ තරම් කොළු රැලක් සිටින තැනක හුස්ම ගන්නා සද්දයවත් නො  ඇසෙන තරං නිෂ්ශබ්දතාවයක් 'විනාඩියක නිෂ්ශබ්දතාවයක්' පවත්වන විටකවත් දකින්නට බැරිය. ජනෙල්වල සියළු තිරරෙදි දමා ඇතුළ නොපෙනෙන ලෙස වසා ඇත. ටීවියෙකේ ශබ්දය බින්දුවටම අඩුකර ඇත. එක ජනේලයකට එකා බැගින් වටපිට බැලීමට ඔත්තුකරුවන් යොදා ඇත. කවුරුන් හෝ ආවොත්  වහාම ඩෙක් පීස්සෙක එළියට ගැනීමට සූදානමින් රිමෝට්ටෙක අතේ තබාගත් එකෙක් ඉදිරියෙන්ම සිටී. ඒ වහාම ඩෙක් පීස්සෙක ඩැහැගෙන හංගා ගැනීමට සූදානමින් ලොකු ටීෂර්ට් එකක් ඇඳි එකෙක් බිම ඉඳගෙන සිටී. තවත් එකෙක් අත වෙනත් දෙමළ චිත්‍රපටියක ඩෙක් පීස් එකක් ඇත්තේ නිල් චිත්‍රපටිය වෙනුවට ඩෙක්කෙක ඇතුළට පැනීමටය.


එදා ඒ ඩෙක්පීස්සෙක බැලූ සෙනග කන්දරාව දුටුවානං එහි රඟපෑ නළු නිලියන්ටද ලැජ්ජා හිතෙනවා ඇත. දර්ශනය දෙවරක් බලා අවසානයේ අහල පහල අයට නොදැනෙන්නට සද්ද නැතිව, ගෙදර වත්තේ විවිධ දිශාවලින් දෙන්නා බැගින් ප්‍රේක්ෂකයන් පිටවී ගිය ආකාරයට සද්ද නැතුව ගමනක් යන්නට දිගුදුර මෙහෙයුම්වල යෙදෙන සීල් භටයන්ටවත් බැරිය.


පසු කාලීනව සීඩී ධාවන යන්ත්‍ර සහ කැමරා පෝන් කලඑළි බැසිමත්, ළමයින්ට කොම්පියුටර් ලැබීමත් නිසා මෙවැනි සාමූහික ත්‍රාසජනක කටයුතු පුද්ගලික මට්ටමට පත්විය. බොහෝ නිවෙස්වල අධිවේගී අන්තර්ජාල පහසුකම් වලින් කෙරෙන්නේද එවැනි ජවනිකා අතළඟට ගෙන ඒම බවද නොරහසකි. 


නමුත් මේ සියල්ලෙන්ම කෙරෙන්නේ දැනුමක් ලබාදීම නොව තවතවත් හැඟීම් උසිගැන්වීම පමණි. නවය වසරේ පෙළ පොතේ ප්‍රජනනය පාඩමෙන් කළ සේවාවෙන් කොටසක් හෝ කළ හැකි උපදේශන සේවාවක් තවමත් සමාජගතවී නැත. එදා එම පාඩම පාසල්වල ඉගැන්වීමට පටන්ගැනීමෙන් පසු අපේ ගම් ප්‍රදේශයේ අවුරුදු දාහතරේ පහලොවේ ගැහැණු ළමයින් ගැබ් ගැනීම් සහ හොරෙන් පැනයාම් ගණන විශාල ලෙස අඩුවී ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් ROOMS කියා බෝඩ් ගැසූ තැන්වල ආදායමේ අඩුවක් නැත. එයින් කියවෙන්නේ දැන් තරුණ තරුණියෝ 'පාවිච්චි වෙන්නට' හෙවත් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගන්නට දන්නා බවය. විවාහ වනතෙක් ගැටළු ඇති නොවී ජීවත් වන්නට ඒ දැනුම ප්‍රමාණවත්ය.


නමුත් විවාහයෙන් පසු ජීවිතය ගැන හරිහමං උපදෙස් ලැබෙන්නේ අල්ප වශයෙනි. මංගල සබාවලදී තලත්තෑනි අයගෙන් නව යුවලට උපදෙස් ලැබෙන්නේද රට වෙනුවෙන් හැකි ඉක්මනින් ළමයි හදන්න කියාය. නමුත් තමුන්ටත් දරුවාටත් කරදරයක් නොවන ලෙස දරුවෙක් හදාගන්නා ආකාරය කියාදෙන කෙනෙක් නැත. උපත්පාලන ක්‍රම ඇතත් ඒවායේ අතුරු ආබාධ ගැන කියාදෙන කෙනෙක් නැත. මගුල් පින්තූරයේ කෙට්ටුවට ඉන්නා මනමාලිය වසර දෙක තුනකින් 'අලි බාගයක්' වන්නේ උපත් පාලන පෙති නිසා බව කියා දෙන්නට කෙනෙක් නැත. 


එබැවින් විවාහ ජීවිතයේ ගැටළුවලට උපදෙස් දෙන්නේද ඉරිදා පත්තරේ අග පිටුවේ සිටිනා ජාවාරම්කාරයෝය. ඒවා වෙත ඇදෙන ජීවිතවල අවසානය කෙලවර වන්නේ කොතැනින්නදැයි කිසිවෙක් දන්නේ නැත. නොයෙක් දික්කසාද නඩුවලින් අඩකට වඩා හේතුවී ඇති සැඟවුනු හේතුවද දෙන්නා දෙපොලේ සිටීම සහ ලිංගිකමය වශයෙන් ඇති ගැටළු බව දැක ඇත්තෙමි. 


ඉතින් මේ සමාජයීය ගැටළු වෙනුවෙන් මෙම ලිපිය කියවන ඔබට කළහැකි යමක් තිබේ. ඔබ අතරින් මේ විෂය සම්බන්ධව පුළුල් දැනුමක් ඇති බොහෝ දෙනෙක් සිටිනු ඇත. ඔබ දන්නා දේ ලියා ප්‍රසිද්ධ කරන්න. ඔබ සහභාගී වන මංගල උත්සව වලදී විවාපත් යුවලට සිය ඉදිරි ජීවිතයට අවශ්‍ය වියහැකි දැනුම ලබාදෙන්න. එහෙමත් නැතිනම් මෙහි පහත කොමෙන්ට් වශයෙන් හෝ පලකරන්න. එය සමාජයට කරන උදව්වකි. මක්නිසාද යත් ලිංගික ගැටළු මානසික සහ සමාජයීය යන අංශ දෙකෙන්ම බලපාන බැවින් ලිංගික ගැටළු ඇති පුද්ගලයා අසමත් පුද්ගලයෙක් වන්නේ ඔහු අවට සිටින සමාජයත් අසමත් කරමින්ම වන බැවිනි.

Tuesday, January 17, 2017

වාහ ණයක්

කඩවසම් දුරකථනයක් ඇරුණු විට මීලඟට ජන ජීවිතයේ අත්‍යවශ්‍යම අංගය වන ‘වාහන කට්ටක්‘ ගැනයි මේ කතාව.


මට අවුරුදු නවයක් පමණ වන කාලයේ දවසකට පැය කාලක් පමණ තිස්සේ අපේ ආච්චම්මා වැලි බෝතලයෙන් ‘සබර රොටී‘ තැලුවේද තාර පාරේ දමාගෙනය. අද ඒ පාරේ ඇති වාහන කන්දරාව අනුව කල්පනාවක් නැතුව පාරට බහින ඕනෑම කෙනෙක් තප්පර කාලෙන් රොටියක් වනවා ඇත. දැන් සෑම ගෙදරකම මොටෝ සයිකලයක් හෝ වීල්ලෙකක් හෝ ඒ දෙකම තිබේ. මෙතැන වීල්ලෙක යනු ත්‍රී රෝද රථය - ත්‍රීවිලරය - ටීවිල්ලෙක - වීල්ලෙක ආදී වශයෙන් පරිණාමය වූ තෙසක් රියම බව දැනගත යුතුය.


මඩ්ගාඩ් නැති, පොල්ලෙලි සීට්ටෙකක් ඇති පුබ්බයිසිකල් වල නැගී ගමේ තැන් තැන්වල රස්තියාදු ගැසූ කොල්ලන්ගේ කකුල්දෙක අස්සෙන් මොටෝ සයිකල් මතුවන්නට පටං ගත්තේ ඉන්දියානු බයිසිකල් ආනයනය සමගය. ජපං බයිසිකල් වල මිලට වඩා සෑහෙන අඩු මිළකට ඉටිකිරිස් බයිසිකල් ලබාදී රතගාය සනීප කිරීමට දායක වූ ‘ජම්නාලාල් බජාජ් නානාජී‘ සහ ‘ටී.වී. සුන්දරම් ලිංගම් නානාජී‘ලාගේ සමාගම් වලට අපි අපේ උත්තමාචාරය පුදකළ යුත්තෙමු. එකල හොන්ඩා සීඩී නයින්ටි, තැපැල් නයින්ටි ආදිය අතහැර බජාජ් බොක්සර්, කැලිබර් ආදියට වහවැටී අපේ ගමේ සිටි ළමිස්සියෝ විවාහ ජීවිතයට සැපත්වූවෝය. නමුත් පසු කාලෙක කුණු කොල්ලයට විකුණුන අලුත්ම අලුත් චයිනීස් මෝට සයිකල් වලට ඒ තැන ගන්නට නොහැකි විය. ඒ චීන මෝටර් සයිකල් නාකි පාට ජපං බයිසිකල් වල කොපි වූ නිසාය. ඒවා මිලට ගත් නහරකාරයෝ කීපදෙනාද වැඩිකල් නොගොස් සිය බයිසිකල් අටපට්ටං කර යකඩවල විකුණා චීන බයිසිකල්වල හෙඩ් ලයිට් එකේ දැලිගෑවෝය. 



තෙසක් රිය අපේ ගම් රටවල් ආක්‍රමණය කළ ආකාරය මා විසින් කලින් ලියා ඇති නිසා දැන් ඒ ගැන නොලියමි. දැනට ලංකාවේ සාමාන්‍ය ගෙදරක රස්සාවල් කරන පිරිමි අය ගණනට මෝටර් බයිසිකල්ද, රැකියා කරන හෝ ළමයින් පාසල් යවන කාන්තාවන් ගණනට ස්කූටර්ද, පවුලේ අයට ගමනක් බිමනක් යන්නට තෙසක් රියක්ද ඇත. මෙයට අමතරව පවුලේ නම්බුව පෙන්වීමේ ආභරණයක් වශයෙන් ගෙදර දොරකඩ හරස්වන පරිදි ප්‍රධාන පාරට මුහුණලා නැවැත්වූ අලුත්ම අලුත් කාර් රථයක් ඇති නිවෙස්ද නැතුවාම නොවේ. මා දන්නා එවැනි කාර් රථයක් භාවිතා කෙරෙන්නේ මිදුලේ බිම දමා හෝ වැලක වනා වේලීමට නොහැකි කොට්ට, මෙට්ට ආදිය එහි වහලය සහ බොනට් එක උඩ වනා වේලිමටය. කලාතුරකින් මිරිස්, ගම්මිරිස්, පොල් කුඩු ආදියද කුල්ලක දමා ඒ මත තබා වියලන්නේ සත්තුන්ගෙන් බේරා ගැනීමටය. මෙයට අමතරව සමහර පොහොසත් අයගේ නිවෙස්වල පමණක් පාපැදියක්ද ඇත්තේ තමුන් ව්‍යායාම කරන බව පෙන්වීමට ඉඳහිට අහල පහල අතුරු මාර්ගවල රවුමක් දෙකක් යාමටත් තමුන් "බොහොම හොඳට කන බොන නිසා ඇඟ මහත්වී ඇති බැවින් ව්‍යායාම කරන බව" ගෙදරට එන අයට පෙන්වීමටත් පමණි.


මොටෝ සයිකලය යනු බොහෝ ප්‍රයෝජනවත් වාහනයක් නමුත් එය හරියට පාවිච්චි නොකලොත් මේක ගත්තෙ මොටෝ කියා හිතෙන්නට පුළුවන.  ගමනක් යන්න ලෙහෙසිම සහ ලාබම වාහනය මොටෝ සයිකලය වන්නේය. අබලන් මාර්ග මෙන්ම පටු මාර්ග වලද යා හැකි වීමත්, ගමනට දෙදෙනෙක් සහභාගි වන්නේ නම් බස් වියදමට සමාන හෝ එයටත් අඩු ගාස්තුවක් වැයවීමත් මෙයින් ප්‍රධානය. නමුත් මරදන්කඩවල වෙදමහත්තයාගේ කිර්තිය දසත පැතිරවීමටද මෙයින් ලැබෙන අනුග්‍රහය සුළුපටු නොවේ.


ඔබට බයිසිකලයක් ගන්නට ඕනෑ නං මුලින්ම කළ යුත්තේ


"මචංලා. මට බයික්කෙක් ගන්න ඕනෑ. මගෙ යාළුවෙක් ළඟ තියෙනවා **** 180 එකක්. ඒක හොඳයිද? පාට්ස් තියෙනවද?"


කියා බුකියේ තත්වයක් උඩුගත කිරීම (Status update) කිරීම පමණි. ඔබ මෙය බුකියේ කියා පෑවත්, රස්සාව කරන තැන අයගෙන් ඇසුවත්, ලොතරැයි කූඩුවකින් ඇහුවත්, සාමාන්‍ය පෙලට පන්ති යන ළමයෙක්ගෙන් ඇහුවත්, සිස්සත්වෙ පාස් වෙච්චි ළමයෙක්ගෙන් ඇහුවත් ලැබෙන්නේ මේ වගේ උත්තර පමණි.


"අපෝ ඔව්ව ගන්නෙපා. සේෆ්ටි පේල්"

"මගෙ ළඟත් තිබුනා. ඒකෙ සීඩීයයි යුනිට්ටෙකෙං පෙට්‍රල් ලීක්වෙනවා. ජරාවක්. ලොවෙත් ගන්නෙපා"

"ඔව්ව හදන්නෙ නාඩාර්ල එක්කහු කරන ටකරං, සැමැන්ටිං උණුකරල"

"ඔව්වයෙ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පදින කෙනාගෙ උරිස්සට උඩිං. වංගුවක් එහෙම ගනිද්දි ගම්‍යතාවය අවස්ථිතියට සමානුපාතික නොවීමෙන් ඇතිවන අඛණ්ඩ වාතය නිසා බල ඝූර්ණයට වියුක්ත ඝර්ෂණයක් ප්‍රේරණය වීමෙන් ...................... වෙලා පෙරලෙනවා. මේ වීඩියෝ එක බලන්න"


සියලු දෙනාගෙම නිර්දේශය වන්නේ


"ජපන් බයික්කෙකක් ගන්න. පරණ එකක් වුනත් ඔයිට වඩා හොඳයි. කවදාවත් කැඩෙන්නෙ නෑ. එන්ජින් පාට්ස් ගෙවෙන්නෙ නෑ. කොටිම්ම ටයර් එකත් පරම්පරා දෙකකටවත් ගෙවෙන්නෙ නෑ. ඔය ඉන්දියන් ප්ලාස්ටික් පපඩං වලට වඩා පරණ ජපන් බයික්කෙක් අරං හදාගන්න එක හොඳයි."


"ජපන් බයික් එකේ බර අදින්න පුලුවං. බලන්නකො තැපැල් නයින්ටියෙ පිටි මුට්ට දෙකක් දාගෙන ඕන කන්දක් යනව."


මේ විදිහට ලැබෙන උපදෙස් වලින් ඔබේ මොලය කුරුවල් වී හිස කරකැවෙන ගතියක් එනවා ඇත. ජපන් නොවන සේරම බයිසිකල් යමපල්ලන් මෙන් පෙනෙන්නට පටන් ගන්නවා නම් ඔබට සාර්ථක උපදෙස් ලැබී ඇත. දැන් ඉතිං ඔබ ජපං බයිසිකල් සොයාගෙන යනවා ඇත. ඉරිදා පත්තරවල ලුහුඬු දැන්වීම් පීරමින්, අන්තර්ජාලයේ අහුකොන් අතර රිංගමින් ජපං බයිසිකල් සොයන ඔබට කොළඹට නුදුරින් තෙකලා විදුලිය, නළ ජලය, පිරිසිදු ඔප්පු, ජනප්‍රිය පාසල් අතළඟ ඇති පර්චස් දහයක ඉඩමක් ගන්නා මිලට ලැබෙන්නේ ඔබගේ ලොකුතාත්තාගේ වයසේ බෙන්ලි, රෝඩ් මාස්ටර්, තැපැල් නයින්ටි ආදියයි. කලාතුරකින් හෝ අඩු මිලට ලැබුනොත් ඒවා පොත නැති, ශතවර්ෂයක් පුරා ලයිසන් නොකළ, පිළිකන්නක දිරා යමින් පවතින හෝ මකබාස් මහත්මයෙක් විසින් අවසන් කටයුතු සිදුකළ එකක් පමණි.


මෙවැනි අවස්ථාවක ඔබ නැවතත් පිළිසරණක් පතා ඔබගේ උපදේශකයන් සොයා යතොත් ඔබ දිරිමත් කිරීමට ඔවුන් මෙසේ කියනු ඇත.


"හොඳ බඩු ගණං තමයි ඉතිං."

"ආයි ඉතිං ගත්තා පැද්දා ඉතරනෙ."

මෙන්න මෙතැනදීවත් ඔබගේ මොලේ පෑදුනොත් හොඳාය. නැත්තං ඔබ පරම්පරාවෙන් හම්බවෙන දේපලක් විකුණා හෝ අම්මා අප්පාගේ අර්ථසාධකය පැහැරගෙන හෝ රෑට හොරෙං තැඹිලි, පොල්, පුවක් ආදිය බෑමෙන් හෝ මුදල් උපයාගෙන මෙවැනි මිළ අධික එකක් ගන්නවා ඇත. එහෙමත් නැත්තං කුමක් හෝ ජපානයේ නිපදවන ලද ලංකාවට ආපසු දරහැවක් වූ යමක් අඩු මිලට ගන්නවා ඇත.


අපිට අට ඉස්බක් පමණ දුරින් නෑයෙක් වන මාමෙක් මේ ආකාරයේ දහමංමුලාවක වැටුනු අන්දරය මේ ගැන පංකාදු නිදසුනකි. ඔහුට දිගං මාමායි කියමු. දිගං මාමා මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල්ය. අම්මා අප්පා දෙන්නා මිය පරලොව යෑමත් අනෙක් සහෝදර සහෝදරියෝ විසින් පිටිවහල් කරනු ලැබීමත් නිසා දිගං මාමා තමුන්ගේ වැඩිමහල් සහෝදරිය සමග කුලී නිවසක ජීවත් වේ. දිගං මාමා කියවීමේ ප්‍රවීනයෙකි. බඩු තුණ්ඩුවේ, දං සීට්ටුවේ, පොතේ, පත්තරයේ පටං ඕනෑම දෙයක් ඔහු කියවයි. අහක දමන පොතක් පත්තරයක් වුවත් ගෙදර ගෙනෙයි. ඔහුගෙන් බේරී නිදැල්ලේ තියෙන්නට හැක්කේ සෙල්ලිපියක් හෝ ටැම් ලිපියක් පමණි.


දිගං මාමා කියවා ඇති පතපොතේ සමහර කරුණු අපිටද කියයි. වොක්ස්වාගන් කාර් රථයේ චැසිය පදං කිරීමට ගංජා පුච්චා දුං අල්ලන කතාවත් මට කිව්වේ දිගං මාමාය. ඔය විදිහෙං පුදුමාකාර කාර්මික ඥානයක් ඇති දිගං මාමාට සිය අක්කණ්ඩියද සමග දළු කඩන්නට යන්නටත්, පෝර මිටි අදින්නටත්, තවත් නොයෙක් දේවල් කරන්නටත් බයිසිකලයක් ගන්නට ඕනෑ විය. දිගං මාමාගේ දැනුමැති මොලය ඉල්ලා සිටියේ ජපං බයිසිකලයකි. සාක්කුව කියාපෑවේ දහපාලොස්දාහකට වඩා දෙන්නට බැරි බවකි. ඒ අනුව දිගං මාමාගේ අතිජාත මිත්‍රයෙක් තැපැල් නයින්ටියක් සාක්කුවට සරිලන මිලකට හොයා දුන්නේ ඒ තත්වේ බයිසිකලයක් ලේසිවට හොයාගන්න අමාරු බව කියමිනි.


ඒ බව පසක් කරමින් ගෙදර ගෙනා බයිසිකලයේ ලයිසන් ඉන්ෂුවරන්ස් තියා ලියාපදිංචි පොතවත් නැති බව දැනගන්නට ලැබුණි. ලෑලි කෑලිවල ලැකර් වලින් ලියා එල්ලා තිබූ අංක තහඩු දෙක ඇත්තද බොරුද කියා දන්නා කෙනෙක් නැත. බයිසිකලේ පොඩි අඩුවකට තියෙන්නේ එක කෑල්ලක් නැතිකම විතරය. ඒ කෑල්ල වනාහි ගියර් එකට යටින් තියෙනා එන්ජිමේ වම් පැත්ත වහන කෑල්ලය. බයිසිකලේ ඉස්ටාට් කළ විට ඒක ඇතුලේ තිබෙනා සියළු ආයිත්තම් කැරකෙන හැටි හොඳහැටි පෙනෙන්නේය. මේ කෑල්ල නැති හංදා ඒ බයිසිකලය පදින්න පුළුවන් වන්නේ රික්තකයක් තුළ පමණි. දැනටත් සතියකට වතාවක් දිගං මාමා සිය සහෝදරිය සමග ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර බයිසිකල් වැඩපොලවල් වල යන්නේ ඒ කෑල්ල හොයන්නටය. මේ කෑලි හෙවීමේ වන්දනා ගමනට දැං අවුරුදු දෙකකට වඩා වැඩිය. ඒ කෑල්ල සොයාගත් දවසක වුනත් බයිසිකලය පදින්නට වන්නේ කැලෑ පාරවල්වලය. මහපාරේ යනවා නම් පොලීසිය ඉන්නවාදැයි බැලීමට පෙරගමන් රථයකුත් උවමනාය. මේ කෑල්ල පංචිකාවත්තෙන් දවසින් හොයාගන්නට පුළුවං වනු ඇතැයි අපි කී විට දිගං මාමා කියන්නේ පංචිකාවත්තේ ඉන්නේ කාක්කන් බවත් උං දෙන්නේ ඔරිජිනල් කෑලි නොවන බවත්ය. නමුත් සැබෑ හේතුව දිගං මාමාගේ ලෝබකම බව දිගං මාමාද ඇතුළුව අපි හැම කෙනාම දන්නෙමු. තව කල්පයක් යනතුරුත් දිගං මාමා අසුවල් කෑල්ල හොයමින් ගරාජ් වන්දනාවේ යෙදෙනු ඇත්තේ


"ජපං බයිසිකලේ ඇනෙයක් තරං ඉංදියම්බයිසිකල් වටින්නෑ"


යන සටන්පාඨය කියමිනි.


මේ විදිහටම අනෙක් තවත් දුක් විඳිනා බයිසිකලයක් අපේ ගමේ තිබුණි. ඒ හේමිචන්දර මාමාගේ බයිසිකලයයි.


හේමිචන්දර මාමා පෙජෙට්ටෙකේ වැඩට ගියේ අමතරව කීයක්හරි හොයාගැනීමටය. මේසන් බාසුන්නැහැ කෙනෙකුටවත් ග්නනට බැරි තරම් පඩියක් ඒ කාලේ පෙජෙට්ටෙකේ වැඩට යාමෙන් හොයාගන්නට පුළුවන. මේ විදිහට ගොඩගහගත් සල්ලි වලින් තමුන්ගේ එකම පුත්‍රයාගේ අනාගතයට ඕනෑවන භාණ්ඩයක් හේමිචන්දර මාමා එකපාරම ගෙවා ගෙදර ගෙනාවේය. ඒ චීනෙන් ලංකාවට ගෙනැත් ලංකාවේදී නමක් හංවඩුව ගසා විකුණන මොටෝ සයිකලයකි. ඒ කාලයේදී ලංකාවට මේ විදිහට ගෙන්වූ චීන බයිසිකලයක් ඒ වර්ගයේ ජපං බයිසිකලේක මිලෙන් තුනෙන් පංගුවටත් අඩු ගණනකට විකිණුනි. මොටෝ සයිකලයක් ගෙනාවාට හේමිචන්දර මාමාට බයිසිකලයක් තබා ලාඩප්පා කෝට්ටකින් ටයර් එකක්වත් පදින්නට බැරිය. ඒ වුනාට ඒක ගෙනාවේ පුතාට බවත් පුතා ලොකු උනහම බයිසිකලේ පදිනු ඇති බවත්, දැං ඉතිං අපේ කාලෙ ඉවරවේගන යන්නෙ බවත් හේමිචන්දර මාමාගේ තීරණය විය. එතෙක් සාලේ කොනක බයිසිකලය ගාල්කර ඒ වටේට පුටුසැට්ටෙක අහුරා මාගලකින් වසා දැම්මේ ආරක්සාවටය. 


මාසෙකට හමාරකට දවසක් මේ ආරක්ෂක විධිවිධාන පැත්තකිං තියා බයිසිකලය එළියට ගනු ලැබේ. ඒ හෝදන්නටය. මිදුලේ හෙවන ඇති ගහක් යට වතුර පිරවූ බාල්දි, කොරස්, හට්ටි, ලබුකැට, ආදිය වටකරගෙන සුවඳ සබන් ගාගෙන නෑමේ අවස්ථාව එදාට බයිසිකලයට ලැබේ. බයිසිකලේ අහුමුලු අස්සේ රිංගා සිටින කරදලින්ට එදාට කොට්ට පැදුරු අකුලාගෙන බයිසිකලෙන් බැස යන්නට සිද්ද වන්නේය. බයිසිකලේ හෝදන තෙක් 'කොළු පැටියා' බලාගැනීමේ වගකීම කොල්ලාගේ අක්කලා තිදෙනාටය. දූවිලි බිංදුවක් නැතිවෙන්න නාවන ලද බයිසිකලය දොරකොඩ හුඩ්ඩෙක යට සිමෙන්ති පොලවට ගෙනත් ටයර්වල ඇති මඩ යන්නට නැවතත් හෝදනු ලැබේ. ඊළඟට හේමිචන්දර මාමා බයිසිකලය ඉස්ටාට් කරන්නේ කකුලේ යටිපල්ලත් සබන් ගා හෝදාගෙනය. යතුර නොයෙක් අතට කරකවමින් පැය ගානක් ගතවනතෙක් "හුටස් ටස්" ශබ්දය හැර වෙන යමක් නොලැබෙන බයිසිකලේ ඉස්ටාට් කිරීමේ යෙදෙන හේමිචන්දර මාමා ඒ අතරතුර තේ බීම සහ දවල්ට කෑමද සිදුකරයි. අන්තිමට බයිසිකලය ඉස්ටාට් කරගන්නා විට අහල පහල අයද වටවී හමාරය. ඉස්ටාට් වූ පසුව බයිසිකලය අවුරුද්දකට හරියන්න බිරුසන් දෙන්නේ 'කොළු පැටියා'ද බය කරවමිනි. පැය බාගයක් පමණ හොඳහැටි කෑ ගසන තෙක් බයිසිකලේ බොටුව මිරිකාගෙන අල්ලාගෙන සිටින හේමිචන්දර මාමා තවත් පැයක් පමණ බයිසිකලේ 'නිමෙන්නට' හැර නැවතත් එය පරණ පුරුදු වාසභවනටම දමා පුටු සැට්ටෙක ඒ වටේ අහුරා ආරක්ෂාව තර කරන්නේය.


දිගං මාමාගේ බයිසිකලය පිලිකන්නේ දිරායන්නාක් මෙන්ම හේමිචන්දර මාමාගේ බයිසිකලයද අකාලයේ වයසට යන්නේය.


නාහෙට නාහන දඩබ්බරයෙක් වන පීටර ආතලාගේ ගෙදර වසන්තද පෙජෙට්ටෙකේ ගොස් සාක්කුව සරුකර ගත්තෙකි. වසන්තටද ටේලක් ගන්න උවමනා වෙලාවේ අහල ගං හතකටම විකුණන්නට තිබුනේ එකම ටේලකි. නෑ බෑ නොකියා වසන්ත ඒ ටේලට ලංසුව තියා බයිසිකලය ගත්තේය. වසන්ත බයිසිකලය ගත්ත ගමංම සයිඩ් කන්නාඩි දෙක ගලවා අකුලකට විසිකල බව කිව්වේ එගොඩහ සෝමෙ මාමාය. ඒ දෙක අහලපහල හිටිය පිරිමි අය අහුලාගත්තේ රැවුල කපන්නට මූණ බැලීමට ගන්න හොඳ නිසාය.


වසන්තට බයිසිකලේ උවමනා වුනේ ගමං යන්නට නොව යකා නටන්නටය. ගමේ මිනිස්සු පුබ්බයිසිකලයකින්වත් නොගිය නියරවල් දිගේ පවා වසන්ත තමුංගේ ටේලෙන් ගියේය. දොම්පෙ නැන්දා දොලේ නානවිට වසන්තයා ටේලෙන් දොලදිගේ උඩහට ආ බවත් දොම්පෙ නැන්දා දිය රෙද්ද පිටිං ගෙදර දිවූ බවත් දවසක් ආරංචි විය. අපේ පුංචම්මාගේ කඩේ ළඟ සිට පන්සලට හැරෙන තැන දක්වා පාර කෙලින් තිබෙන කොටස වසන්තගේ කෙලිබිම වූ අතර ගමේ මිනිස්සුන්ගේ මරුකට විය. විදිලි වේගෙන් යන ගමන් බයිසිකලේ මිනිස්සුන්ගේ කණ ළඟින් ඇල්ලීම වසන්තයාගේ වීරක්‍රියාවක් වූ අතර වසන්තයා බයිසිකලෙන් එනවිට පාර අයිනේ ගහකට මුවාවීම ගමේ අයගේ පුරුද්ද විය. සමහර දවස්වලට උදයංගයා, චතුරයා ඇතුළු රෑනක්ම වසන්තයාගේ ටේලට නැගී වීර චාරිකාවල නියැලුනහ. එක් දවසක් බයිසිකලේ ටැංකිය උඩ චතුරයාද, පිටිපස්සේ උදයංගයා සහ බයෙන් වෙවුලන උදයංගගේ මල්ලීද දමාගෙන කොස්සක නැගී යන බටකොල ආච්චිගේ කාර්ය මණ්ඩලය මෙන් පුංචම්මාගේ කඩේ අසලින් නික්මුණු වසන්තයාගේ ටේල නිර්භීත බලුකුක්කෙකුගේ පාර පැනීම හමුවේ ලාම්පුතෙල් පහර කෑ ගැරඬියෙක් මෙන් දෙපැත්තට වැනී ගුවංගතවී පිචොක් ගාලක් කඩාගෙන දොලට වැටුනු අතර අල්ලාගන්න තැනක් නොමැති නිසා උදයංගගේ මල්ලී එයිටත් බඹ දෙක තුනක් එහා බටගාලට ඇදවැටී තිබුණි. ඒ මාරක ගමනින් බයිසිකලය දෙකට කැඩුනු අතර ගමේ මිනිස්සුන්ට අවුරුද්ද ලැබුවාක් මෙන් විය.


වාහන ඇත්තේ ලොකුකම් කියන්නටවත්, වත්කමක් විදිහට ගෙදර තියාගන්නටවත්, පණ නහගන්නටවත් නොවේ. වාහනයක් ගත යුත්තේ ගමන් යන්නටය. ඔබ අලුතින්ම වාහනයක් ගත්තත්, පරණ වූ වාහනයක් ගත්තත් වාහනයට උවමනා නඩත්තු නියම පිළිවෙලට කරන්නේ නම්, එයින් කරන්නට පුළුවන් සහ බැරි දේ ගැන දැනුමක් තිබේනම් වාහනය ඔබට යාදෙනවා ඇත. එවැනි වාහන වලට ආදරය කරන මිනිස්සු අත්තා මුත්තා කාලේ වාහනවලිනුත් හයිවේ එකේ යනවා දකින්නට පුළුවන.







Sunday, January 1, 2017

මැසේජ්, කැලැන්ඩර්, ලිත් සහ පොත්

“කුදටික්”

“චුහුක්”

“චුහුක්”

“චුහුක්”

“ඥිමුක්”

“කුදටික්”

“මොකද්දනේ ඔය පෝන්නෙක සයිලන් දාන්නකො. හොඳටම නිංදයාගෙන එන වෙලාවෙ.”

අපේ ගෙදර 2017 නව වසර පටං ගත්තේ ආං එහෙමයි. ඔය උඩිං තියෙන සද්ද ටික සේරම ආවේ ටෙලිපෝන් එකෙන්. අන්තිම වාක්‍ය දෙක නිකුත් උනේ අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනාගෙ කටිං.

අලුත් අවුරුද්දට තමුන් දන්න කියන කාටත් එස්සෙම්මෙස්සෙකක් යවන්න ඕනි. එහෙම යැව්වෙ නැත්තං තරහ වෙන්න පුලුවං. ඉස්සර නං ඒ වගේ මැසේජ් එක එක්කෙනාට වෙන වෙනමම යවන්න වෙන හිංදා ටිකක් පැයක් විතර ගතවෙනවා. ටෙලිපෝන් එකේ අංක ලැයිස්තුවේ මුල ඉඳං අගට වෙනකං එක එක නොම්බරේට වෙන වෙනම මැසේජ් යවන එක බොහොම කරදරකාරී, වෙලා ගතවෙන වැඩක්. ඔය අතරේ කිරිබත් හදන්න පොල් ගාන්න, ලිපට පිඹින්න, කෙහෙල් කොල කපන්න වගේ වැඩවල යෙදෙන්නත් වෙනවා. ඇයි ඉතිං තමුන්ට එන මැසේජ් ගෙදර හැමෝටම ඇහෙන්න කියවලා ඒවට “Esema wewa” කියලා උත්තර යවන්නත් එපෑ. එතකොට සමහරුංගේ අංක මග ඇරෙන්න පුලුවං. එහෙම උනොත් ඒ අය තරහ වෙන්නත් පුලුවං. ඒ බව තේරුං ගත්ත ටෙලිපෝන් හදන සමාගම් තමුංගේ ටෙලිපෝන් වලින් එකම මැසේජ් එක ගොඩක් දෙනෙක්ට යවන්න ක්‍රමයක් හැදුවා. 

ඒ හංදා දැං එස්සෙම්මෙස් සුබ පැතුම් ඇරිල්ල හරිම ලේසියි. මුලින්ම කරන්න ඕනි කාගෙ ළඟවත් වැඩිය නැති අවුරුදු සුබපැතුම් එස්සෙම්මෙස්සෙකක් හොයාගන්න එක. ඉංග්‍රීසියෙන් තියෙන එකක් තමයි වැඩිය හොඳ. බරසාර ඉංග්‍රීසි වචන තියෙනවනං තවත් හොඳයි. ඊළඟට ඒකේ අන්තිමට තමුන්ගේ නමත් & Family කියන කොටසත් ටයිප් කරගන්න. බැඳපු අලුත ළමා ලපටි නැති අයට නං තමුං දෙන්නගෙ නං දෙකම දාන්න පුළුවං. හරියට, අර විදානෙගේ ෆේස්බුක් ගිණුම වගේ. ඊළඟට වැඩිපුර රුපියල් සීයක හමාරක කාඩ්ඩෙකක් පෝන් එකට දාගන්න.  ඉං පස්සේ මැසේජ් යවන්න ඕනි කට්ටිය තෝරන්න. මේ වැඩේට බිරිඳවත් සහභාගී කරගන්න.

“අපේ සුදුවක්කට මැසෙජ්ජෙකක් දාන්න එපා. මං එයාට කෝල් කරනව. මැසේජ් දැම්මොත් තරහ වෙයි.”

නෑදෑයන්ට කෝල් එකක් මිස මැසේජ් හරියන්නේ නෑ.

“පියන්තිලට යවන්නෙපා. ගියපාරත් අපි යවපු මැසෙජ්ජෙකට රිප්ලයි කලේ නෑ.”

“අර සක්කරවට්ටමට එහෙම යවනව නෙමෙයි. නැත්තං ආයි පටං ගනී දෙන්නගෙ කිචිබිචිය. මං දන්නැතුවේ තමුංගෙ තරම”

“වීල්ලෙකේ අයියට එකක යවමු නේ. ඒ මනුස්සය ඉතරයි හදිස්සියකට ඉන්නෙ.”

ඔය විදිහට මැසේජ් ලබන්න ඕනෑ අයගේ අංක ටිකට හරි ලකුණ දාලා ‘ඇරපිය(send)’ ඔබන්න. මැසේජ් ටික අදාල තැන් වලට යන අතරේ ටෙලිපෝන් සමාගම පෝන් එකේ තියෙන සල්ලි ටිකට අරිනවා බලාගන්න පුලුවං.

සමහරු වෙලාව ඉතුරු කරගන්න මේ විදිහට තෝරා බැලිල්ලකිං තොරව තමුන්ගේ ටෙලිපෝන් එකේ අංක ලැයිස්තුවේ තියෙන සේරම අංක වලට මැසේජ් යවනවා. ඒ වැඩේට ගතවෙන්නේ බොහොම පොඩි වෙලාවයි. ‘සේරටම ඇරපිය (Send to all)’ ඔබපු ගමං අංක ලැයිස්තුවේ ඉන්නා සේරටෝම එක බැගින් මැසේජ් ලැබෙනවා. දැං තියෙන කඩවසම් දුරකථන වල අංක පන්සීයක් විතර තියාගන්න පුලුවං. සමහර නම්වලට අංක දෙකතුනක් තියෙන්නත් පුලුවං. එතකොට දුරකතන සමාගමට එක කඩවසම් දුරකතනෙකිං රුපියල් හාර පන්සීයක්ම ලාබයි. ඒ වගේම තමයි. අපේ ඇමතුම් ලැයිස්තුවේ තියෙන්නේ අපේ හිතවත් අයගෙ නොම්බර විතරක් නෙවෙයි. ගිය අවුරුද්දේ ගන්න බලපු කාර් එකේ අයිතිකාරයා, ට්‍රිප් එකක් ගිය වෙලාවේ නැවතුන ගෙස්ට් හවුස් එකේ එක්කෙනාගෙ නොම්බරේ, දානෙට බඩු ගත්ත කඩේ මුදලාලිගෙ නොම්බරේ, ගිය සිංහල අවුරුද්දට බඩු මදිවෙලා වැඩි ගානට බෝතල් දෙකක් ගත්ත හොර පොට් එකේ එකාගෙ නොම්බරේ, යාළුවොංගෙ පරණ නම්බර් (මේවා සමහර එව්වා කැන්සල් වෙලා ගිහිං දුරකථන සමාගමෙන් ඒ අංක වෙනත් අයට දීලා වෙන්න පුළුවං) ආදී අංක සේරටමත් මේ විදිහටම මැසේජ් එක බැගින් යනවා. දැනටමත් ඒ වගේ මැසේජ් ලැබුණු අය “මේ මොකාද මේ” කියලා කල්පනා කරනවා ඇති. ඒ වගේ මැසේජ් හත අටක් මටත් ලැබිලා තියෙනවා. 


ඒ වගේම ඔබේ පෙර වැරදි තියේනං කාගෙන් ආවාදැයි බිරිඳට සනාථ කර පෙන්වන්නට බැරි ඒ වගේ මැසේජ් හිංදා ඔබව නාන කාමරේ ලිස්සා වැටෙන්නට, කොන්දට ලීයක් පෙරලීමට, කකුල ඇමැට්ටි වීමට, පුටුව පල්ලේ වැටීමට පවා ලක්වන්න පුළුවං.


ජනාධිපතිතුමාත්, ඩිජිටල් ඇමතිතුමාත් ඒ විදිහටම මැසේජ් පොදි පිටිං එවා තිබුනා. එතුමන්ලා නම් ඩුවල් සිම් පෝන්වලට මැසේජ් දෙකක්ම එවනවා. එව්වාට ආපසු සුභ පැතුං යැව්වාට බාරගන්නෙත් නෑ. එව්වාත් අපිටම තියාගන්න පුලුවං.


බුකිය පුරා බැලූ බැලූ අත සුභ පැතුං විතරමය. බුකියෙන් එන මැසේජ්වලත් ඇත්තේ සුභපැතුම් විතරමය. ඊමේල්වලත් නොයෙක් විදිහේ ආලවට්ටං දැමූ මෙගාබයිට් බර ගණංවල පින්තූර, ඇනිමේෂන් දකින්න පුලුවංය. ටෙලිපෝන් එකේ ස්කයිප්, වයිබර්, පේස්බුක්, ජීමේල්, වට්සැප්, ඉමෝ, අම්මෝ ආදී සේරමත් දමාගෙන නොටිෆිකේෂන් සක්‍රීය කරගෙන ඩේටා කනෙක්ෂන් එකත් සක්‍රීය කරගෙන හිටියා නං ඊයේ රෑ දොලහේ පටං ඔබට නින්ද යන්න විදිහක් නැතිය. ඇටිකිච්චංගේ නාද, ගෙඹි නාද, සාස්පාංවල පියන් බිමට වැටෙන සද්ද, කාටුන් සද්ද, ආදී නොයෙක් සද්ද ඇති කරමින්, “අහවලා ඔබට මැසේජ් එකක් එව්වාය”, “අහවලා ඔබේ කාල රේඛාවට පින්තූරයක් දැම්මාය”, “ආං ඒකට අහවල්ලු ලයික් කොලාය”, “එව්වාට අහවල්ලු කොමෙන්ට් දැම්මාය”, ආදී නොයෙක් කේලං කියමින් ටෙලිපෝන් එක ඔබේ නිංද කඩන්නට ඇති.

සති දෙකක් විතර කාලයක ඉඳං “වී කරේ ඕල්වේස්” සමාගමෙං “ඔබ අපේ සමාගමට රුපියල් අච්චරයි සත මෙච්චරක් හිඟපාඩු තියා ඇති නිසා තවත් ණයට දොඩන්න දෙන්නේ නැත”යි තර්ජනය කර ඇති හිංදත්, එයිටත් වඩා නිකම්ම මෝඩ වැඩක් බව දැනෙන නිසාත් මං අද කාටවත් මැසේජ් යැව්වේ නෑ. ඒ වුනාට මට ලැබෙන සුබ පැතුම් ගානේ අඩුවකුත් නෑ. එයිනුත් ඉංග්‍රීසියෙන් තියෙන සමහර එව්වායේ තේරුම ලිහාගන්න බැරි තැන මං මැසේජ් කියවිල්ල අත්තැර දාලා පොලේ ගියා. 


පොලේ හත් අට තැනකම ලිතයි පොතයි දෙකම රුපියල් පනහයිය. ලිත එක්ක දෙන පොතේ ඇත්තේ 2017 එලාඑලද කියන එකයි. ඉස්සරනං ඒ පොතේ නම ටිකක් බයානක වැඩිය. මං පොඩි කාලේ ලිතත් සමග දුන්නේ 

1996
ඉරණම
විසඳෙන හැටි

වගේ බයානක නමක් තියෙන පොතක්. කොච්චර බයානක දැයි කියතොත් අපේ අම්මා ඒක බලාගෙන එක එක ලග්නය අයිතිකාරයින්ගේ ඉරණම කියවනවිට සමහරුන්ට තමුංගේ ලග්නෙත් අමතක වෙනවා. ඒ පොතේ වුෂ්චික, දනු, මකර, කුම්බ ආදී එක එක ලග්නේ නමත් ඒකට අයිති සතා හෝ බඩු මුට්ටුවේ රූපෙත් ඇඳලා එයිට යටින් ටිකක් තද කලු අකුරෙන් ඒ ලග්න හිමියාට ඒ අවුරුද්දේ වෙන්න පුලුවං ලොකුම නස්පැත්තිය ලියා තියෙනවා. 

වෘශ්චික
දේපල හානි

කියලා. එයිටත් යටිං ඡේදෙන් ඡේදෙට ඒ ලග්නහිමියාට අදාල අවුරුද්දේ හැදෙන ලෙඩ රෝග, වෙන්න පුළුවං නස්පැත්ති, සේරම විස්තර කරලා තියෙනවා. ඉගෙනීම, රස්සාව, කසාද, ළමා ලපටි ආදී සේරම ගැන විස්තර ඇතුව වාර්තාවකුත් වෙන්න පුලුවං විපත්ති වලට පිළියමුත් ඒවටම එකතු වෙනවා. අන්තිමට 

අය- * වැය-**
ජය වර්ණය - කොළ පාට

ආදී වසයෙන් ලියා තියෙනවා. සමහර ලග්න වලට විතරක් හදිසි ධනලාභ, විභාග ජය ආදී හොඳ දේවලුත් තියෙනවා. අපේ ආච්චම්මගෙ ලග්නෙටත් එක පිට අවුරුදු කීපයක්ම විවාහ යෝග සහ දරු සම්පත් තිබුණා. 

අන්තිම පිටු දෙකේ තියෙන්නේ ඒ අවුරුද්දේ රටේ වෙන්න පුළුවං නස්පැත්ති සේරම. ඒවත් කවියෙං

වාහන අනතුරු වැඩිවී සැම තැන ජීවිත දහසින් බිලිවෙනවා
ගංවතුරද, කඳු නාය යාමකින් රටට විපත් තව ඇතිවෙනවා
පියා දුවව හඳුනන්නැති තරමට සදාචාරයෙන් පිරිහෙනවා
කැරලි කෝලහල දසතින් ඇතිවී මහජන දේපොල වැනසෙනවා

ඉරණම පොත කියන්නේ ඒ විදිහට අවුරුද්දක් පුරාවට මිනිස්සුං බයකරගෙන ඉන්නා බලගතු පොතක්.


ලිත කියන්නේ ගෙදරකට ලුණු වගේම නැතුවම බැරි දෙයක්, ලංකාවෙ ප්‍රසිද්ධම “ඈපා ලිත”. අපි එකොලහේ පන්තියෙ හිටිද්දී ගනං සර් පාලිතයගෙන් ප්‍රශ්ණ ඇහුවෙත් 

“ඈ පාලිත, කියනවකො බලන්න මේකට උථ්ථරේ” 

කියලයි. සමහර පත්තර වලිනුත් තමුංගේ නමිං ලිත් බෙදාහැරියට කවුරුත් ගන්නේ “ඈපා ලිත”. ලිත කියන්නේ වැදගත් දෙයක් හිංදා අවුරුද්ද මාරු වෙද්දි පරණ ලිත ගලෝලා විසි කරන්නේ නැතුව අලුත් ලිත ඒක උඩිං අලවන එක තමයි සිරිත. සමහර ගෙවල්වල බිත්තියේ තියෙන ලිත් තට්ටුව දශක ගානක් පරණයි. 


ලිතේ උඩිම්ම කහපාට බිත්තරයක් ඇතුලේ සැරසිලි ඇතුව “ඈපා ලිත” කියලා තියෙනවා. දැන් තියෙන්නේ “ඈපා පංචාඬඟ ලිත” කියල එකක්නෙ. ඒකට යටිං මොකක් හරි සිද්ධස්ථානෙක පොටෝ එකක් තියෙනවා. ඒකට යටිං ලොකු වගුවක තියෙන්නේ “පොහෝ පවුරුනු පිළිවෙල සහ පෙහෙවස් සමාදං විය යුතු දවස්” කියන ලැයිස්තුව. පෝය ලබන ගෙවෙන වෙලාවල් ගැන සිල් සමාදං වෙන අය, මාලු බාන අය දැනගන්නෙ ඒකෙං. පෝයට කලිං හෝ පස්සෙ දවසේ ගෙදර බිත්තර තම්බන්න හිතං ඉන්නව නං, නැතිනං ඔලුවෙ උකුණො බලන්න හිතං ඉන්නවනං ඊට කලිං පෝය ගෙවිලද බලන්නත් ඕනෑ. එව්වා බලන්නේ ඔය වගුවෙන් තමයි. 


දුරුතු මස ජන 15 සිකු පුභා 03.08 න් අමාවක ලබා එමදා අභා 11.21 න් ගෙවේ සෙන සිල් 


කියා අපි ඒ වගුවෙ තියෙනා නොදන්නා හරුපෙ කියවුවම දන්නා අය පෝය ලබන ගෙවෙන වෙලාවල් දන්නවා. එතකොට

“එහෙනං අද රෑට බිත්තර තැම්බුවට කමහ්නෑ. හෙට පාන්දරට පෝය ලබන්නෙ. පාන්දර තුනකුග්ගානට”

කියා කියන්නට අපේ වැඩිහිටියෝ දන්නවා. 

එයිට අමතරව රිට්ටා කියා ජාතියක් ඇතත් එයිං ඇති වැඩේ මම දන්නෙ නෑ. අලුත් අවුරුදු චාරිත්‍ර සේරම තියෙන්නෙත් ඔය ලිතේම තමයි. ඉරණම පොතේ තියෙන අය වැය විස්තරෙත් ලිතේ තියෙනවා. සත් දිනට මරු සිටින දිශාව, රාහු කාලය, රජයේ සහ ප්‍රසිද්ධ බැංකු නිවාඩු, සුභ දවස්,  ආදී සේරම දේවල් දන්නෙත් ඔය ලිතම තමයි. බැරිවෙලාවත් හූනෙක් ඇඟට වැටුනත් ඒකෙ තේරුම දන්නෙත් ලිතම තමයි. ඒ හංදා ලිත කියන්නේ ලිප වගේම ගෙදරකට නැතුවම බැරි දෙයක්.

අවුරුද්දෙ මුල කඩ, බැංකු, ආයතන වලින් තමුංගේ ගනුදෙනුකාරයන්ට කැලැන්ඩර් දෙනවා. සමහරු කැලැන්ඩර් ඉල්ලලා මුදලාලිලා එක්ක වලිදාගෙන

“අපිට කැලැන්ඩරෙයක් නොදුන්නොත් අපි ආයි මේ කඩෙං ලුණු ඇටේක දෙයක් ගන්නෑ”

කියල තර්ජනය කරනවා. ඒ හංදා සමහර මුදලාලිලා තමුංගේ වැදගත් පාරිභෝගිකයන්ට කොල දොලහේ ලොකු දින කැලැන්ඩර් දෙන්නේ අනික් කැලැන්ඩර කොල්ලකාරයින්ට හොරෙන්. සමහරු කඩවල්වලට ගිහිං

“අපි හැමදාම ගනුදෙනුකරනෑයො. අපිටද්දෙන්න කැලැන්ඩ්‍රෙයක්”

කියලා තර්ජනය කරනවා. ඒ වගේ කරදර කරන අයට දෙන්නේ තනි කොලේ පහලිං පොඩියට මාස දොලහම ලකුණු කරපු පොඩි කැලැන්ඩර්. ඒවයේ පහල

නව වසරට ආසිරි
ප්‍රසන්න ප්‍රින්ටර්ස්

මරන දැන්වීම්, පන්ති කාඩ්, පෝස්ටර්, පැකැට් ලේබල්, කොටු කපන කාඩ්, ඇඩ්රෙස් කාඩ් ආදිය අච්චු ගසන්නෝ

බොක්කේ බැද්ද, අලියාවැටුන වැව.     දු.ක 074-*******

කියලා ලියල තියෙනවා. ඉස්සර නං සමහර මල් පත්තර එක්කත් කැලැන්ඩරයක් ලැබෙනවා. දෙසැම්බර් මාසෙ අන්තිම සති දෙකේ පත්තරේ ඒ ගැන කලින්ම දැන්වීමක් වැටෙනවා.

“සංගීතා වීරරත්නගේ වෛවර්ණ ඡායාරූපයක් සහිත ඔප කඩදාසියේ මුද්‍රිත කැලැන්ඩරයක් සහිතව ලබන ජනවාරි ** වැනිදා සුවඳ පත්‍රය අදම වෙන්කරවා ගන්න”

ඒ පත්තරේ මුලයි අගයි පිටු දෙක වදින කොලේ ඇතුල් පැත්ත තමයි කැලැන්ඩරේ. ඒවගේ කැලැන්ඩර එල්ලන්න බෑ. ඒවා බිත්තියේ අලවන්න ඕනි. 


ඔය කොයි කැලැන්ඩරේත් දෙන්නේ රෝල් කරලා. ගෙදර ගෙනැත් එල්ලන්න කලිං කැලැන්ඩරේ දිගෑරලා අනෙක් පැත්තට රෝල් කරන්න ඕනි. ඒ වැඩේ කීප විටක්ම කරලා කැලැන්ඩරේ සම්පූර්ණ සමතලා තත්වෙට ගන්න ඕනෑ. නැතිනං කැලැන්ඩරේ යට කොටස බටකොල ආච්චිගේ කටේ යටි තල්ල වගේ ඉස්සරහට දික්වෙලා එනවා. නැත්තං මාගල වගේ රෝල් වෙනවා. මේ හිංදා සමහරු කැලැන්ඩරේ බලහත්කාරෙන් දිගාරින්න ගිහිං අන්තිමට කැලැන්ඩරේ ටකරම වගේ රැලි හිටින තත්වෙට පත්වෙනවා.


 අද අපි හාල්මැස්සො දෙසියපනහක් ගත්ත කඩෙනුත් අපිට කැලැන්ඩරෙයක් දුන්නා. මේං බලන්නකො ඒකත් එහෙමයි. මාස හයක් රෝල්වෙලා.


අපේ ගෙවල්වල පරිස්සං කරලා තියාගන්න අමාරුම දෙයක් තමයි ඉඳිකට්ට. කොතනක තිබුණත් නොපෙනෙන හිංදත්, අත පයේ ඇනෙන්න පුළුවං හිංදත්, හොයා ගන්න ලේසි වෙන්න ගෙදර තියෙන ඉඳිකටු ගහල තියන්නෙත් ලිතේ හරි කැලැන්ඩරේක හරි තමයි. කාටවත් ඒ ගැන වගක් නැතිවුනාට ඉඳිකට්ට පරිස්සම් කරගැනීම වගේම ඉඳිකට්ටෙන් ගෙදර අයව පරිස්සම් කිරීමත් ලිතෙන් සහ කැලැන්ඩරෙන් සිද්දවෙන වැදගත් සේවයක්.

බ්ලොග් ලියන, කියවන, බෙදන සැමටත් අනෙක් සියළු දෙනාටත් ලැබුවාවූ 2017 නව වසර ඵලදායී වසරක් කරමු!