Follow by Email

Sunday, December 25, 2016

සා.පෙ

සාමාන්‍ය පෙළ විභාගය ලියා ඉවරය. මේ ගමන අපේ මස්සිනාද සියළු බාධක ජයගෙන විබාගේ ලිව්වා. කවුද බෝයිට නිකං ඉන්න නොදෙන අයියලා කණ්ඩායම වගේ අපේ මලයාටත් විභාගෙට කචල් අදින්නට මාර දූතිකාවෝ සහ දූතයෝ රංචුවක්ම හිටියා. පළමුවෙන්ම විභාගෙට සති දෙකක් තියා ගෙදරට කඩා වැදුනු සාමාන්‍ය පෙළත් අසමත් දූතිකාවක් 

“පුතේ මේ සටහන් පොත්වල අසුවල් අසුවල් ජාති අඩුයි. අපේ ජූචඥං උගංඥලා චිබුඥා”

කියා අපේ මලයාගේ ඔලුවට හැට්ටකට්ටෙන් ඇනලා තිබුණා. ඉං අනතුරුව උන්දෑගේ දියණියද නේවාසිකවම කඩා පත්වී 

“මල්ලිලට මැත්ස් වලට සිලබස් කව කරල නෑනේ”

කියා සටහන් පොත් පෙරලන විටම අපේ මලයා තමුංගේ අක්කාට මිස්කෝල් එකක් ගසා ඇමතුමක් ගෙන්නා ගත්තා. පවුලේ විභාග කොමසාරිස්වරු ඇවිල්ලා විෂය නිර්දේශයේ අවුල් නිරවුල් කරන්න හදන බවත් කාරුණිකව දැනුං දුන්නා. නත්තලට කලිං රතිඥ්ඥා පත්තු වුනා. පැයකට අධික අඛණ්ඩ දුරකතන සංවාදෙකින් පස්සේ සියලුම පවුලේ විභාග උපදේශකවරුන්ට අපේ මලයා වසන නිවස අතහැර යාමට නියෝග කෙරුනා. ඒ වගේම විභාගය අවසන් වනතෙක් මලයා සමග කිසිම සෘජු හෝ වක්‍ර සන්නිවේදනයක්  පැවැත්වීමත් තහනම් කෙරුනා. 


"හුහ්, උන්දලාට මං කිව්ව ඕනි හරිය."


චූටි මැණිකේ කනෙං අයිං කරපු පෝන් එකෙන් මං කමිසයක් මැදගත්තා.


විභාගෙට විනාඩි දහයක් තරම තියා විභාග සාලාවට ගියහම ඇති බවත්, එයිට කලිං ගිහිං එක එකා කියන විකාර අහලා ඔලුව අවුල් කරගන්න ඕනා නැති බවත්, විභාගේ ලියලා ඉවර උනගමන් ගෙදර එන ගමන්ම ප්‍රශ්ණ පත්තරේ අටට නමලා ගඟටම විසිකරලා ආවත් කමක් නැති බවත් මගෙනුත් අවවාදයක් විදිහට මලයාට දුන්නේ යුතුකමක් හැටියටය. කී හැටියටම ඒ අවවාද අකුරටම පිලිපැද්දත් විභාගේ අතර මැද දවසකදී එදා තිබූ ගනං ප්‍රශ්ණ පත්තරේ හෙනටම අමාරු බවත්, එහෙම ගනං ජාති දැක්කෙම එදා බවත් කියා මලයා නාහෙන් අඬන්න පටං ගත්විට නම් පවුලේ කාටවත් ඒකට උත්තර නැතිවිය. 

හැමෝම එකතු වී, විභාගෙ ආයි පාරක් කරන්න පුලුවං බවත්, පුතා පාස්සුනත් නැතත් අපි නොබනින බවත්, ඔය දැං අසුවල් අසුවල් අය සාමාන්‍ය පෙල පාස් නැතත් ලස්සෙට කොඩිය දමා, කෝටිය රිටේ අමුණගෙන ඉන්නා හැටි බලා පුතාට හිත හදාගන්න පුලුවන් බවත්, මේ ගේදොර වතුපිටි, ඉඩ කඩං හරකබාන (මේ බාන මාත් දැක නැත) පුතාට තියෙන බවත්, කියා නලවා ගන්න බැරිවුනා. ඒ හිංදා මං පැනලා මයික්කෙක අරගත්තා.

“මොකද යකෝ කෙල්ලෙක් වගේ නාහෙං අඬන්නේ. හනේ මංදා මෙහෙමත් පිරිමි. මං දැක්කමයි කොල්ලෙක් අඬනව විබාගෙ අමාරුයි කියල.”

කියා කී විට ඇඬිල්ල එතකින්ම නතර වූ අතර පහුවදා පටන්ම 

“මේ විභාගෙ පේල් වුනත් මිනිහෙක්ට ගොඩ යන්න තව ඕනෑ තරං ක්‍රම තියෙනවා. බලහං මටත් බෑ තමයි. ඒ වුනාට මං මේ පුල්ලාතල් එකේ ඉන්නේ. හිටාල්ලකො කොල්ලො වගේ”

කියමින් මලයා තමුංගේ යාළුවන්ගේ දුක් ගැනවිලිද විසඳූ බව විස්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා. ඒ වනවිටත් විභාග භීතිකාව නිසා රින්සෝ, දීවා, ආදී රෙදි සෝදන ද්‍රව්‍යද, හාපික් ආදී වැසිකිලි පවිත්‍රකාරකද පානය කොට සිය ආහාර මාර්ගය සහ මූත්තරා බොක්කද සුද්ද කරගත් විභාග අපේක්ෂකයන් හත් අට දෙනෙක්ම ඊළඟ ප්‍රශ්ණ පත්‍ර දෙක තුනකටත් සුද්ද ලෙසම "ඒ බී" අරගෙන තිබුනා. 

දෙදාස් දෙක අවුරුද්දේ අන්තිම කාලය වනවිට මාත් ප්‍රශ්ණ පෙළ විබාගේ ලියා අහවරයි. එතෙක් කල් “ඉගෙන ගනිං”, “පාඩං කොරහං, කියා මාමාගෙන් තිබූ තර්ජනද නැතිවී යාමත් සමගම මට අවලංගු කාසියක් තත්වයට වැටෙන්නට සිද්ධ වුනා. අපේ මාමා හිතාගෙන හිටිය හැටියට පාඩං කරන ලමයි පැය විසි හතරම ඇහැරගෙන සිටිය යුතුය. මාමා රෑ දොලහට හෝ ඇහැරුනොත් මං ඇහැරිලා පාඩං කරමින් ඉන්න ඕනෑ. 

ඒ විදිහේ හිරේ වැටිලා ඉඳලා එක පාරටම මං යන එන තැනක් කවුරුවත් හොයන්නේ නැති වීමත්, හොරෙන් නොව එලිපිටම දවල් දවසම නිදන්න පුලුවන් වීමත්, ටීවියෙකේ චිත්තරපටි කොයි තරම් බැලුවත් කවුරුවත් එපා නොකීමත් නිසා ඇතිවූ මානසික කලකිරීමෙන් ඉන්න හිටින්න බැරිවිය. 

මේ වනවිටත් මම ලොකු පුංචම්මාගේ ඉඩමේ දලු කඩා දීම අතිරේක ආදායමක් ලෙස කරගෙන ගියත් අතට ලැබෙන ගාන මදිවීම නිසා වෙනත් ආදායමක් ලැබෙන වැඩක් කරන්නට ඕනෑ විය. ඒ කාලයේ අපේ තාත්තාගේ දුරින් නෑදෑයෙක් වන මල්ලී කෙනෙක් කොළඹ පැත්තේ ලොකු බිල්ඩිමක් හදන බව මගේ කනට වැටුනා. සතිගානක් බලා හිටීමෙන් පස්සේ ඒ බාප්පා ගෙදර එන වෙලාවක් බලා උන්දෑට පින්සෙන්ඩු වීමෙන් මටත් 

“එතන රස්සාවක් දෙන්න පුළුවංද බලන්නං” 

බවට පොරොන්දුවක් ලැබුණා. සතියකට විතර පස්සේ මට රස්සාවට එන්න කියා පණිවිඩය ලැබුණා. අතේ එක්කහු කරගෙන තිවුන ගානත් සාක්කුවට දාගෙන, තියෙන රෙදි පාංකඩ ටිකත් බෑග් එහෙකට දාගෙන බස් එකට නැග්ගේ පාර කියන්න හිටපු තුණ්ඩු කෑල්ලකුත් එක්ක. ගෙදර ගාවින් බස් එකට නැගලා මතුගමිං බැහැලා කොළඹ යන බස් එකක නැග්ගා. දෙහිවල කියන්නේ කොතන තියෙන එකක්දැයි නොදැන පාර දිගේ කඩවල්වල බෝඩ් එකක් ගානේ කියව කියවා, කොයි වෙලේ බහින්න වෙයිද දන්නැති හිංදා පණ බයේ බාගෙට ඉඳගෙනයි හිටියේ. පළවෙනියටම “ගාලු පාර, දෙහිවල” කියලා කඩේක බෝඩ් එකක් දැකපු තැනින් බැහැලා ලොතරැයි කූඩුවල ඉන්න අයගෙං පාර අහගෙන මහරගමට යන බස් එකට නැග්ගා. එතැනිං මහරගමට ඇවිත් ආපහු හත් අට දෙනෙක්ගෙන් පාර අහගෙන මාළඹේ යන බස් එකට නැංගා. අන්තිමට අදාල හංදියෙන් බැහැලා අලුතිං හදන බිල්ඩිම අයිති කෙනාගේ පොටෝ සාප්පුවෙන් ඇහුවම මාව **සිරි බාප්ප වැඩ කරන තැනට ගෙනැවිත් දැම්මා.

එදා පටං මමත් අත්වැඩකාරයෙක් විදිහට රස්සාව පටංගත්තා. ගිනියං වුන කොළඹ අව්වේ කරකුට්ටං වෙච්ච පොලවේ යකඩෙන් ඇනලා බවුන්ඩේසම් කැපිල්ලත්, ගල් වැලි, සිමෙන්ති, වතුර, බදාම ඇදිල්ලත්, කොන්ක්‍රී සහ බදාම ඇනිල්ලත්, ඒ ඔක්කොටම වඩා බැනුං ඇහිල්ලත් පුරුදු වෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. කොන්ත්‍රාත්කාරයා වුන **සිරි බාප්පත්, මමත්, අපේ ගම් පලාතෙංම එතන වැඩට ගිහිං හිටපු චූටිඅයියත් යන අපි තුන්දෙනා බාගෙට හදපු බිල්ඩිමේම නතර වෙලා උයාපිහාගෙන කාලා හිටියා. හැමදාම රෑට නිදාගන්න යද්දී “හෙට නං යනව යන්න.” කියලා හිතාගෙන නිංදට වැටුනත් පහුවදාට ආයිමත් නැගිටලා වැඩ කරන්න හිතෙනවා.  වෙන මොනවත් නිසා නෙමෙයි දවසට රුපියල් තුන්සීයක් ලැබෙන හිංදා. අපේ ගෙදර කාටත් වඩා සල්ලියක් මට ලැබෙන හිංදා මට උජාරුවෙන් ඉන්න පුලුවං. 


ඒ විතරක් නෙමෙයි “කෝපි කඩේ” පොඩ්ඩෙ විදිහට රඟපාන නලුවා අපි වැඩකරන තැන කිට්ටුවෙන්ම කඩෙයක් දාගෙන ඉන්න නිසා මට කඩෙං බඩු ගන්න ගියහම නලුවෙක් එක්ක කතා කරන්නත් පුලුවං. ඒ විතරක් නෙවෙයි, “කෝපි කඩේ” ඩිංගි මහත්තයගේ පැල තවාන තිවුනෙත් එතන නොවැ. මට ගමේ ගිහිං කියන්න පුරාජේරු සෑහෙන තියෙනවා.
මේ අතරේ තමුංගේ ලොකු දුව කොටහලු වෙච්චි ආරංචිය ලැබුණු දවසෙ හවසම **සිරි  බාප්පා මටත්, චූටි අයියටත් තුණ්ඩුවක් දුන්නා.

“මේං බොල දෙන්නගෙ පඩි ගණං. හෙට හවසට මහත්තයට මේ තුණ්ඩුව දීලා ඒ සල්ලි ඉල්ලගෙන වරෙල්ල ගමේ”

පහුවදා බිල්ඩිම අයිති මහත්තයා ආවෙ නැති හංදා අපි දෙන්නට ඉං පහුවදා වෙනකං ඉන්න සිද්දවුනා. එදා හවස එතුමා ආවා. අපි දෙන්නව පැත්තකට අඬගහලා අපි හීනෙකිං අහන්නවත් නොහිතපු කතාවක් කිව්වා.

“මල්ලිලා **සිරි අයියා මට ලොකු පොල්ලක් තියල පැනලනෙ. හාඩ්වෙයාර් එකෙං මං කිව්වා කියල සෑහෙන බඩු ප්‍රමාණයක් අරං. මගෙන් වැඩ කරපුවට වැඩිපුර සල්ලිත් අරං. දැං එයා ආපහු වැඩට එන්නෙත් නැතිලු.”

අපි දෙන්නා අපිට බාප්පගෙන් ලැබුණු තුණ්ඩුව ඉදිරිපත් කළා.

“මං ඔයාලගෙ පඩි ගෙවන්නං. ඔයාලට පුළුවංද දිගටම වැඩ කරලා මේ වැඩටික ඉවර කරන්න?”

මහත්තයා අපේ ඊළඟට හිටපු හෙඩ් බාස් වන පියරත්න අයියගෙනුත්, අපෙනුත් ඇහුවා. අන්තිමට අපි දිගටම එතන වැඩ කරන්න පොරොන්දු වුනා. 

ඒ අතරේ **සිරි  බාප්පගේ ලොකු දුවගේ කොටහළු මගුල් ගෙදර ගිය අපේ අම්මව

“ඒ හරියෙ කුඩ්ඩො ඉන්නව, උං රුපියල් දහයටත් මිනී මරණවා. රෑට ඇහිල්ලා දැලි පිහියෙං බෙල්ල කපල කරේ තියෙන චේන් උස්සනවා. ඒකයි මං කිව්වෙ එන්න කියලා. ඔන්න මං එහෙම දන්නෑ ආවෙ නැතුව මොකක් හරි උනාට.”

ආදී වශයෙන් කියා බය කරන්නත් බාප්පා කටයුතු කරල තිබුණා. ඒ හංදා මට සාමාන්‍ය පෙල වෙනකං ජපන් සිස්සත්වෙ දීපු ජපන්නු මාව බලන්න එනවාලු යැයි පණිවිඩයක් එවලා අපේ අම්මා මාව ගෙදර ගෙන්නුවා. ජපන්නු බලන්න ගෙදර ආපු මට තමුං කිව්වේ බොරුවක් බවත් එහෙම කරන්න සිද්දවුනේ බාප්පා මේ මේ ආදී වසයෙන් එව්වා කියා බය කරපු හිංදා බවත් අම්මා කියා හිටියා. ඒ හංදා බාප්පා කරලා තිබුණු හොරකම් වංචා ආදියත් අම්මගෙ කනේ තියලා පහුවදාම මං ආපහු වැඩට ගියා. කට්ටිය මදි වෙනකොට චූටි අයියා උගේ මල්ලිලා පවා වැඩට ගෙන්න ගත්තා. 

අපි හදාපු බිල්ඩිම. අද

අන්තිම දවස් කීපයේ රෑ දවල් නැතුව වැඩ කරලා නියමිත දවසට බිල්ඩිම අංගසම්පූර්ණ කරලා බාර දෙන්න අපිට පුලුවං උනා. කහවත්තේ ගුරුගේ මුදලාලි ඇතුළු සම්භාවනීය අමුත්තෝ නැකතට පීත්ත පටිය කපලා බිල්ඩිම විවෘත කරද්දි චූටි අයියයි, උගේ මල්ලිලා ටිකයි, මමයි බිල්ඩිම පිටිපස්සේ බිම කාඩ්බෝඩ් ටිකක් එලාගෙන දවස් ගානක් නැතිවෙච්ච නින්ද පොලියත් එක්ක අරගත්තා. කන්න බොන්න අඩු නැතුව දීලා අපිට සංග්‍රහ කරන්න බිල්ඩිම අයිති මහත්තයා කටයුතු කලා. ඒ අතරෙම මට විතරක් මෙහෙම කිව්වා.


“සුරංග කැමති නං මෙතන වැඩ කරන්න. ස්ටුඩියෝ එකේ පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න පුලුවං. ලොකු පඩියක් නම් දෙන්න බැරි වෙයි. වෙඩින් තියෙන කාලෙට නම් හොඳ ගානක් හොයාගන්න පුලුවන්”


ආපසු ස්ටුඩියෝ එකේ වැඩට එන පොරොන්දුව පිට මාසක් තුනක් තිස්සේ හම්බ කරපු සල්ලිත් අරං මං ගෙදර ආවා. රුපියල් විසි හතර දාහක් විතර මගෙ අතේ තිබුණා. මං මහරගම ටවුමෙ හැමතැනම ඇවිදලා කමිස දුසිමක්ම ගත්තා. දෙහිවල ටවුමෙත් ඇවිදලා තවත් ඇඳුං ගත්තා. ජීවිත කාලෙට හම්බ කරපු ලොකුම සල්ලියෙන් හරි හමං අඳින්න ඇඳුං ටිකක් අරගෙන, හොටලේකින් බඩ පිරෙන්න කාලා වේටර්ටත් රුපියල් විස්සක්ම දුන්නා. ගෙවල්වලටත් ඇපල්, දොඩං, මිදි, නාරං, පුහුල්දෝසි ආදිය අරගෙන ගමේ ආවා. දවස් දෙක තුනක් ආඩම්බරකමෙන් කොළඹ විස්තර කිය කියා ඇවිද්දා. කෝපි කඩේ ටෙලිනාට්ටියෙ පොඩ්ඩෙයි, ඩිංගි මහත්තයයි දෙන්නම මං අඳුරන අය බව කියද්දි ආතයි, ගුනොවද්දන මාමයි දෙන්නම

“හැබෑඈඈට...”

කියලා බොහොම ලොකු විස්සාසෙකිං මයෙ දිහා බැලුවා.

ඒ අතරේ පුංචම්මා මං නොදන්නා රහසක් කිව්වා.

“උඹලෑ අම්මා තාත්තට හොරෙං නංගිගෙ චේන්නෙක උගස් තියලා. දැං සින්න වෙන්න යන්නෙ. ඒක නැතිවුනොත් නං උඹලෑ තාත්තා අම්මව මරයි.”

අන්තිමට අම්මගෙත් එක්ක කීප විටක් රණ්ඩු කරලා ඒක ඇත්ත බව මං තහවුරු කරගත්තා. අපෙ අම්මා ඒක උගස් කරලා කහන්තැන්නේ දානෙ ගෙදරට ලොකු ඉස්කෝතු පෙට්ටියක් ගිනිච්චලු. ඉතුරු සල්ලි වියදං උනාලු. උගස් තියපු රිසිට් එකත් නැතිවෙලාලු.

“මං ඒක බේරලා දෙන්නං. උඹ ගාව තියෙන සල්ලි දීහං. උකස් කඩේ මනුස්සයා මං අඳුරනව. රිසිට්ටෙක නැතුව මට ගත්තැකි”

අන්තිමට පුංචම්මා මගෙ අතේ ඉතුරුවෙලා තිබුණු රුපියල් විසිදාස් ගානම ඉල්ලගත්තා. පන්තියකට රුපියල් තුන්සීය ගානේ උසස් පෙළ විෂය තුනට අවුරුදු දෙකකට පන්ති යන්න ඒ ගාන තිබුණ නං හොඳටම ඇති. අම්මව මරණෙන් බේරගන්න මාස තුනක දාඩිය මහන්සිය පුංචම්මගෙ අතේ ගුලිකලත් අන්තිමට මාසෙකින් විතර අහද්දි චේන් එකවත්, සල්ලිවත් මට ලැබුනෙ නෑ. 

“චේන්නෙක සින්න වෙලා. දැං දෙන්නැහ්ලු. උඹේ සල්ලි මං පස්සෙ දෙන්නං”

මං කට වහගත්තා. මට වෙන ඉන්න හිටින්න තැනක් තිබුනෙ නෑ. මට ඉන්න හිටින්න තැනක් හදාගන්නකං පුංචම්මා හිටපු අම්මගේ මහ ගෙදරත්, මාමගෙ ගෙදරත් විතරයි මට ඉතුරු වුනේ. පුංචම්මගේ කටේ බලය පාවිච්චි කරලා මේ තැං වලින් මාව දොට්ට දාන්න පුළුවං කියලා මං දැනගෙන හිටියා. පුංචම්මා මගේ අසරණ කමෙන් මාව ගැටගැහුවා, කටත් වැහෙන්නම.


මං ආපහු කොළඹ ආවා. උසස් පෙළට ඉස්කෝලෙ පටං ගන්නකං මං ස්ටුඩියෝ එකේ වැඩ කලා. මාසෙට රුපියල් දෙතුං දාහක් හම්බ කරගත්තා. උසස් පෙළ පටං ගත්තට පස්සෙත් මගුල් ගෙවල් වැඩි කාලෙට මට පණිවිඩයක් ලැබෙනවා. එතකොට ඉස්කෝලෙ යාම බල්ලට දාලා මං කොළඹ යනවා. එක මගුල් ගෙදරක වීඩියෝ කරන්න ලයිට් ඇල්ලුවම රුපියල් පන්සීයක් ලැබෙනවා. 


ඒ අතරේ මං අපේ ගෙදර අය වැටකට නොගෙන අතෑරලා දාලා තිබුණු අක්කර කාලක විතර තේ ඉඩමක් සුද්ද කරලා ඒකේ කනාටු ගැහිලා තිබුණු ගස් ටිකේ දලු කඩන්නත් පටං ගත්ත හින්දා මගෙ ඉස්කෝලෙ යාම කෙරුනේ සතියට දවස් දෙක තුනක් වගෙයි. ඒ ඉඩමෙත් ආදායම මට කලිං අම්මා මග රැකගෙන ඉඳලා දලු ලොරියෙ මහත්තයගෙං ඉල්ලගත්ත මාස බොහොමයි. අන්තිමටම තේ ඉඩමත් අම්මටම දීලා මං නිකං හිටියා. අම්මා ආයෙමත් ඒ ඉඩම කැලේටම යන්න ඇරියා.

පළවෙනි පාර මං උසස්පෙළ පේල්. මට ඉගෙනීමත්, සල්ලිත් දෙකම නැතිව ගියා. පලවෙනි පාර වගේ නෙවෙයි, දෙවෙනි පාර ඉස්කෝලෙ යන්න ඕනි නැති නිසා විෂයන් තුනටම පන්ති ගියා. ඒ නිසා මං උසස් පෙල පාස්. හැබැයි ප්‍රතිඵල එද්දි මං තේ පැට්ටේරියේ රස්සාව පටං අරගෙන ඉවරයි. මං පැට්ටේරි යද්දි මගෙ යාලුවො තුංවෙනි පාර උසස්පෙල ලියල කැම්පස් ගියා. මට ආයිමත් තුන්වෙනි පාරක් ඉගෙනගන්න ඕනකමක් තිබුනෙ නෑ. සල්ලි අතේ ගැවසෙන්න පටං අරං ඒක නැතිවුනොත් ජීවත් වෙන්න අමාරු බව මං දැනගෙන හිටියා.

පුංචම්මා ඒ වෙනකොට තමුංගෙ සේසතම නාස්ති කරගෙන ඉවරයි. පවුලෙ අයගෙ රත්තරං බඩු පවා හොරකං කරලා උගස් තියලා රටට ණයවෙලා තිබුණා. අන්තිමට එයා බාප්පයි, ළමයි දෙන්නයි එක්ක මහගෙදරින් අයින් වෙලා ටිකක් දුරකින් වෙනම ගෙයක් අටවගෙන පදිංචි වුනා. ගේ ඉස්සරහම කඩ කෑල්ලක් අටවගෙන අහල පහල වතුවල දෙමල මිනිස්සුන්ට වෙළඳාමකුත් කරගත්තා. 

ඒ කාලෙ වෙනකොට තමයි මට මොටෝ බයිසිකලයක් ඕනි වෙලා තිබුණේ. රෑට වැඩ ඉවරවෙලා එන්න බස් නැති හංදත්, අනික් අය හැමෝම බයිසිකල් අරගෙන තිබුණ හංදත්, ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් යාලු කරගන්න බයිසිකලයක් ඕනි හිංදත් රුපියල් අසූ දාහකට බයිසිකලයක් හොයාගත්තා. ඒ වෙනකොට මගෙ අතේ තිබුණු සල්ලි ටිකට තව විසිදාහක් එකතු වුනානං මදි පාඩුව පොලියට ගන්න ක්රනමයක් මට තිබුණා. ඒ හංදා මං අවුරුදු පහක් පරණ මගේ ණය මුදල වන රුපියල් විසිදාහ පුංචම්මගෙං ඉල්ලුවා. උන්දෑ මට බැනලා එලෙව්වා. නමුත් මං හිටියෙ බැනුං අහලා කට වහගන්න වයසක නෙමෙයි. 


ඒ වෙනකොට පුංචම්මා කලක් තිස්සේ මුලු පවුලෙම සල්ලි මකර කටේ ගිල්ලලා කරපු විජ්ජාව මොකද්ද කියන්න කවුරුත් දැනං හිටියෙ නෑ. මමත් ඒ ගැන දැනං හිටියෙ නෑ. හැබැයි “මුන්දෑ ඔය සල්ලි වලට කලේ මෙන්න මේකයි” කියලා කවුරු හරි බොරුවක් උනත් ගොතලා කිව්වනං මුළු පවුලම එකහෙලාම පිළිගන්න තත්වයක් තිබුණා.

මං ඒ සැකේ ප්‍රයෝජනයට ගත්තා. වස්තු බීජය විදිහට පුංචම්මගේ දිනපොතක තිවුනාය කියලා බාප්පම සනාථ කරපු පුංචම්මගේ පරණ ප්‍රේම සම්බන්ධයක් අරගෙන කතාවක් ගෙතුවා. ගොතලා අපේ අම්මගෙ කනේ තිව්වා.

“ඔන්න අම්මේ අම්මගෙ නංගිට ගිහිං කියන්න. මගෙ සල්ලි නුදුන්නොත් පුංචම්මා හැමෝගෙම සල්ලි හොරකං කරලා ***දසිරි මහත්තයට දුන්නයි කියලා මං බාප්පට කියනවා. මට ***දසිරි මහත්තයා පහුගිය දවසක් හම්බවුනා. මිනිහා මාව අඳුරන්නෑ. හැබැයි මිනිහා පුංචිගෙං සල්ලි අරං වාහනේකුත් ඇරං. මට සාක්කි ඇතුව පෙන්නන්න පුලුවං. පිහි ඇනුමක් යන වැඩක් වෙන්න යන්නෙ. අම්මගෙ නංගි බේරගන්න ඕනි නං මගෙ සල්ලි තව සතියෙං ඕනි”

අම්මා මට බල්ලෝ, හරකෝ කියා බැන්නත් මං මගේ තීරණේ වෙනස් කලේ නෑ. 

“තොට සහගහයි. ඒකිට දැං මේ වෙලාවෙ සල්ලි නැතුව ඉන්නෙ. ඇට විකුල්ලා සල්ලි දෙන්නද? රට වටේටම නයයි. තොට ඉස්සර ඒකි ඇඳුං කැඩුං හිට අරන්දීල තියෙනව. තොට ඒ ගුණේවත් නෑ”

අම්මා මට දහ අතේ බැන්නත් මගේ තීරණේ වෙනස් උනේ නෑ. අන්තිමට සතියෙං සතිය පුංචම්මා අපේ අම්ම අතේ රුපියල් දහදාහ, පන්දාහ ආදී කොටස් වලිං රුපියල් විසිදාහ එව්වා. අන්තිම පන්දාහෙ වැඩිපුරම තිබුනෙ දහයෙ, විස්සෙ කොල, කිලෝ එකක විතර කාසි ගොඩකුත් තිබුණා. දාහෙ කොලේ පටං සත පනහ වෙනකං ලංකාවෙ පාවිච්චි වුන සේරම සල්ලි ඒ පන්දාහ ඇතුලෙ තිබුණා. පුංචම්මා ඒ සල්ලි ටික දෙන්න ළමයිංගෙ කැට පවා කඩන්න ඇති. මට දුකක් හිතුනෙ නෑ. මගෙ හිත ඇතුලෙ හිටපු අවුරුදු දාසයේ කොල්ලා හිනාවුනා. ඌ අවුරුදු පහක් ඉවසලා දිනුවා. පහුවදාම පැළෑඳ ලොරියෙ සුමින්දයා මට තව තිස්දාහක් පොලියට දුන්නා. ඒ සල්ලි සේරම එකතු කරලා මං බයිසිකලේ ගත්තා. 



Sunday, December 4, 2016

Tea and Tamils හෙවත් තේ සහ දෙමළු




සිංහලුන් ගාවට අපේ රටේ වැඩිම ජනවර්ගය දෙමළුය. මේක ඕනිනං ‘සිංහල ජනවර්ගය හැර අපගේ රටෙහි මීළඟට වැඩිම ජන වර්ගය ද්‍රවිඩ ජනතාවයි‘ කියා ලියන්නත් පුළුවන. ඒ වුනාට අපි ඇත්තටම භාවිතා කරන්නේ දෙමළු කියා නොවේද? මං අද ලියන්නේ තේ ගහට ආත්මය බද්ධ කරගත් දෙමළු ගැනයි.


ලංකාවේ දෙමළ ජනතාව කොටස් කීපයකට බෙදේ. උතුරු නැගෙනහිර පලාත්වල ඉන්නේ ගොවිතැනක් බතක් කරගෙන, රස්සාවක් කරගෙන, සමාජයේ ඔලුව කෙලින් තියාගෙන ඉන්නා නම්බුකාර දෙමළ මිනිස්සුය. කොළඹ සහ තදාසන්න නගරවල ජීවත්වන දෙමළ මිනිස්සුද බහුතරයක් ව්‍යාපාර හිමි පෝසතුන්ය. ඊළඟට සමාජ තත්වය මදක් අඩු කොටස ජීවත්වන්නේ උඩරට වතුකරයේය. ඔවුන්ගේ බහුතරය තේ වතුවල ජීවත් වුවද, වත්තේ වැඩ කරන්නේ පවුලේ දෙමව්පියන් පමණි. දරුවන් වෙනත් රැකියා කරති. ඒ අතරින් උගත් අය රජයේ රැකියාද, පෞද්ගලික අංශයේ මධ්‍යම මට්ටමේ රැකියාද, ව්‍යාපාරද කරති. ඔවුන්ගේ පවුල්වලට වත්තේම ඉඩම් කොටසක සාදාගත් ගෙයක්ද හිමිය. ඔවුන්ට ඒ නිවසට හිමිකාරීත්වය ඇත. ඒ සියල්ලටම වඩා වටිනා ඡන්ද බලය ඇත.


මේ කොටස් එකකටවත් අසු නොවුනු දෙමළ ප්‍රජාවක් ලංකාවේ වෙසෙන බව ඔබ සමහර විට අසා නැතිවන්නට පුළුවන. ලන්ඩනයේ තේ වෙන්දේසිවල විකිණෙන තේ වර්ගවලින් අඩක් පමණ නිපදවීමට අවශ්‍ය දළු නෙලන්නේ ඔවුන් බව ඒ අවට උද්‍යානවල ‘ලාංකීය ද්‍රවිඩයින්ගේ විමුක්තිය වෙනුවෙන් උද්ඝෝෂණය කරන උගත් ද්‍රවිඩයින්‘ දන්නේද නැත. නමුත් පහතරට තෙත් කලාපයේ එවැනි දෙමළ ජනතාවක් වෙසෙති. ඔවුන් අපේ ගමේ හැඳින්වෙන්නේ දෙමළු නමිනි. සිංහල මිනිස්සු 'සිංහලුන්' ලෙස හඳුන්වන ලෙසම මෙතැන් පටන් මොවුන්ව හැඳින්වීමට මං 'දෙමළු' යන වදන යොදාගන්නේ ඔවුන්ව හැඳින්වුනේ එලෙස බැවිනි. 



දෙමළු ඉන්නේ ලැයිං වලය. ලැයිං යනු අපේ රටේ ඉස්කෝල හෝල් එකක් තරං දිග එයිං බාගයක පමණ පළලින් යුත් ටකරං සෙවිලි කල ගොඩනැගිලිය. මේවා අඩි දොලහක පමණ පළලැතිව කාමරවලට බෙදා ඇත. එවැනි කාමරයක පවුලේ අට දෙනෙක් පමණ සිටීම සුළභය. ගොම මැටි ගෑ පොලවේ එක පැත්තක බිම බැඳි ලිපක උයාගෙන කෑමත් එම කාමරයේම බිම එලූ පෝරකවර කීපයක් මත එක පොදියට නිදාගැනීමත් ඔවුන්ට උරුමය. සිය එකම සේසත වන ඇඳුං කඩමාලු ටික කාඩ්බෝඩ් පෙට්ටියකත්, හැලිවලං ටික ගෙබිම මතත්, තබාගන්නා ඔවුන්ගෙන් කලාතුරකින් අයෙක් සතුව ඉඳහිට රේඩියෝ කැසට් යන්ත්‍රයක් තිබෙනු මා දැක ඇත. රාත්‍රී කාලයේ එක කුප්පි ලාම්පුවෙන් මුළු ලැයිං කාමරයම එළිය කෙරේ. බොහෝවිට ඔවුන්ගේ පොඩි ළමයි රෑ නින්දෙන් ඇහැරී ගොස් කුප්පි ලාම්පුව පෙරලාගෙන ගිනි ඇවිලී අබ්බගාත වූවෝය. නැත්නම් මිය ගියෝය.



ඔවුන්ගේ එකම ජීවනෝපාය තමුන් සිටිනා වත්තේ වැඩ කිරීමය. සමහරුන් සුළුවෙන් කුකුළන්, එළුවන් ඇති කළහ. නමුත් දෙමලුන්ගේ කුකුල් බිත්තරද අපට හිරිකිත විය. ඉඳහිට ගමේ අය ඔවුන්ගෙන් කුකුලෙක් මරවා ගත්හ. සිංහල අවුරුද්දට ඔවුන්ගෙන් එළුමස් මිලදී ගත්හ. ඔවුහු ඉඳහිට වත්තේ වැඩ නැති විට ගමේ සිංහළුන්ගේ කුලීවැඩද කළහ. සමහරු වත්තේ වැඩ මගහැර පිටස්තර තැන්වල වැඩට ගොස් හවසට වත්තෙ මහත්තයාගෙන් පිටපුරා ලාඩප්පා පොළු පාර කෑවෝය. උදේට 'මහ ජෝඩුව' වැඩට යාමත් අවුරුදු අටේ දහයේ ලොකු ළමයි සහ වැඩ කළ නොහැකි මහළු අය ගෙදරට වී අත දරුවන් බලාගැනීමත් කළහ. ඔවුන්ගේ නිසි වයස සපිරූ ළමයි පාසල් නොගියහ. සමහරු යන්තම් එක දෙක වසරවල් වලට පමණක් ගියහ. ඔවුන්ට දෙමළ භාෂාවෙන් පාසල් අපේ අහල ගං හතකවත් නොතිබිණි. මට මතක ඇති පරිදි මා පාසල් යන විට 1 වසරේ සිිටයේ එක දෙමළ කෙල්ලක පමණි. කරුණාවතී මිස් විමසූ විට සිය නම 'මාරි කූරි' යැයි ඇය කීවාය. 


"මේ ලමයගෙ නම මාලු කූරිලු"


කියා ඇයත් අනෙක් ගුරුවරියෝත් අපිත් සිනාසුනෙමු. මාරි වැඩිකලක් පාසල් නොආවාය. නමුත් 'කරුපයියා නන්දකුමාර්' නම් තවත් සිසුවෙක් නම් හතර වසර වනතෙක් පාසල් පැමිණියේය. අපි සැමවිටම දෙමළුන් සමග එක ඩෙස් එකේ වාඩිවීමට නොකැමති වීමු. බස් එකේදිවත් අප සමග එක අසුනේ ඉඳ ගැනීමට දෙමළුන්ට ඉඩ නැත. එනිසා 'කරුපයියා' පිටුපස මේසයක තනිවම සිටියේය. කුණුහරුප ගැන හසල දැනුමැත්තෝ ඔහුගේ නමෙහි ඇති 'කරුව' ඉවත් කලෝය. අනෙක් දෙමළ ළමයි මෙන්ම කරුපයියාද අවුරුදු දොලහෙන් පමණ ඉස්කෝලේ අතහැර කුලී වැඩට යන්නට පටන්ගෙන, කසිප්පු බීමටද හුරුවී රැවුල වැඩෙන විටම ලැයිමේ කෙල්ලෙක් සමග වෙනත් වත්තකට පැන යන්නට ඇත.


මේ අතරින් සමහර දෙමළු ජංගම ජීවිතයක් ගතකළහ. තේ අක්කර තුන හතරක් පමණ ඇති ගම්වැසි සිංහලයෝ සිය ඉඩමේ කොනක පෙට්ටියක් වැනි කුඩා ගෙවල් ඉදිකර එහි දෙමල පවුල් නවත්තා ගත්හ. එවැනි දෙමල පවුල් ඉඩම් හිමියාගේ තේ ඉඩමේ වැඩද, ගෙදර වැඩද කරමින් ජීවත් වූහ. මෙවැනි දෙමළ පවුලක් වැඩට තියාගන්නා තැනැත්තා කලක් යාමේදී ඔවුන්ව එළවා දමා වෙනත් පවුලක් ගෙන්වා ගනී. බොහෝවිට එල්ල වන චෝදනා වන්නේ 'තේ ගස් නාස්ති කිරීම', 'හොරකම් කිරීම', බීගෙන කුණුහරුප කියාගෙන ගෑනියි මිනිහයි මරාගැනීම ආදියයි. නමුත් බොහෝවිට එසේ එළවන්නේ ඔවුන්ගෙන් වැඩ කරවාගෙන මාසයක් එකහමාරක පමණ පඩිය නොදී තබාගෙන එය ඉල්ලූවිට බව තතු දත්තෝ දනිති. ඒ සියල්ලේ පාඩුව විඳගන්නට වන්නේ ඒ පවුලට ණයට බඩු දුන් කඩේ මුදලාලිටය. හිටිගමන් පළවාහැරෙන මෙවැනි දෙමළ පවුල් නවතින්නේ වෙනත් ගමක එවැනිම ඉඩම් හිමියෙක් ළඟය. මෙම දෙමළ පවුල්වල කාන්තාවන්ට ඉඩම් හිමියාගෙන් අතවර නොවන්නේ දෙමළු යනු හිරිකිත ජාතියක් බව කුඩාකළ පටන් කාවද්දා ඇති නිසාය. නමුත් මා දන්නා එක්තරා ඉඩම්හිමියකු සිය ඉඩමේ වැඩ කරන දෙමළ කාන්තාවකට සිය හැඩ රුවේම දරු සම්පතක් ලබාදී ඇත. එය තමුන්ට වූ අසාධාරණයක් බව ඒ දෙමළ කාන්තාව නොසිතීමම ඔවුන්ගේ ජීවිත කතාවේ එක් පාර්ශවයක් පෙන්නුම් කරයි. 


ඉහත දැක්වූ පරිදිම 'දෙමළු' උපතින්ම ණය වන්නෝය. ඔවුන් කෑමට අවශ්‍ය පිටි, සීනි, හාල් ආදිය මිලදී ගන්නේ අවට ඇති කඩවලින්ය. ණය පොතක ලියවෙන ඒ ණය ගෙවෙන්නේ වත්තේ පඩි දෙන දවසටය. මුලින්ම මුදලටත් ඉන්පසු රුපියල් දාහක ණය සීමාවකට යටත්වත්, ඉන් පසුව ඊට වැඩි ණය සීමාවකටත් කඩෙන් ණයට ගන්නා ඔවුන් සමහර විටෙක ලැබෙන පඩියෙන් ණය නොගෙවා වෙනත් කඩයකින් බඩු ගනිති. මේ ආකාරයට වංචා කිරීම ඔවුන්ගේ සිරිතකි.


ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටීය. දෙමළුන් කළු වන්නේ රොටි කෑම නිසා යැයි අපේ ආච්චම්මා කියයි. අපේ ගෙවල්වලට පාං පිටි ගෙනියන්නේ එහෙමත් වෙලාවක වුවත් දෙමළු එකවර පිටි කිලෝ දෙකක් තුනක් ගෙනියති.


අපේ ගමේ සිටින කවුරුත් එකිනෙකාට අමතන්නේ අයියෙ, අක්කේ, නංගියෙ, මල්ලියෙ, මාමෙ නැන්දේ, ආතෙ ආච්චම්මේ වශයෙනි. සමහර විට නම සමගම ඉහත ඇමතුම යෙදේ. නමුත් ගොවිගම කුලයට වඩා පහත් කුළවල අයටත්, දෙමළුන්ටත් නෑකම කීමක් නැත. රත්නෙ බාප්පාට 'රත්නෙ බාප්පේ' කියතත් ඒ වයසේම සිටින දෙමළ මිනිහෙක් වන 'සංකර'ට අපි 'සංකරයෝ' කියා අමතමු. වැඩිහිටියෝද අප වැනි පොඩි අයට 'පුතේ' කියතත් අපේ වයසේම සිටින සංකරගේ පුත්‍රයාට 'රාමුවෝ' කියා අමතති. අපව හැඳින්වීමේදී 'පංසල ගාවා සොම්පාලගෙ ලමයා' ආදී වශයෙන් කියතත් දෙමළ ළමයෙක් දුටුවිට 'කාගෙද මංද දෙමළ පැටියෙක්' කියා කියති. වයසක දෙමළ මිනිසුන් 'කංකානම' නමින්ද, දෙමළ ගෑනු කවුරුත් 'ආච්චි' නමින්ද හැඳින්වේ. එබැවින් අපේ ආච්චම්මා තමුන්ට 'ආච්චි' යනුවෙන් අමතනු ලැබීමට නොකැමතිය. අපි කෙසේ ඇමතුවත් දෙමළුන් වැඩිහිටි සිංහල අයට 'මාතියා', 'නෝනා' යනුවෙන්ද, අපේ ආච්චම්මාට 'ලොකු මෙනිකේ' ලෙසද, කුඩා ළමුන්ට 'චූටි මාතියා', 'චූටි මැණිකේ' යනුවෙන්ද ඇමතිය යුතුය. අපි පාරේ යනවිට දෙමළුන් ඉඩ දිය යුතුය. 


ලැයිං කාමරවල ඉන්නා පවුල් හිටි ගමන් රණ්ඩු වී කපා කොටා ගනිති. ඒවා බේරන්නේ වත්තේ මහත්තයාය. බොහෝවිට අඩුවෙන් තුවාල ලැබූ එකාට කොන්ද හරහට ලාඩප්පා පොල්ලකින් තැලීමෙන් දඬුවම් දෙනු ලැබේ. වරක් අපේ පුංචම්මාගේ කඩෙන් ණයට ගෙන ණය නොගෙවූ දෙමළෙක්ව පුංචම්මා විසින් රඹුටං ගහේ බැඳ ලාඩප්පා පොල්ලෙන් තලන ලදී. කඩේ ළඟ වටවූ සෑහෙන පිරිසක් ඉදිරියේ තැලුම් කෑ ඔහුව හදිසියේ කඩාවැදුනු අපේ මාමා විසින් නිදහස් කර යවන ලද්දේ පුංචම්මාව පොලීසි ගෙනියන බවට තර්ජනය කිරීමෙන් පසුවය. නිදහස ලැබූ මිනිහා තමුන් ලැබූ පොලු පාරවල්වල වාඩුව ගත්තේ තමුන් ගුටිකන තෙක් පැත්තකට වී බලාසිටි සිය බිරිඳ සහ ළමයින්ට තැලීමෙනි. නමුත් මේ කිසිවිටකත් දෙමළුන් පොලීසියට ගොස් 'ඇන්ටරියක්' දැමීමට තරම් නිර්භය නොවීය.


ඔවුන්ගේ ආගමික උත්සවයක් කියා ඇත්තේ එකකි. ඒ කුඩා දේව රූපයක් ඔවුන් විසින් සාදාගත් කුඩා දෝලාවක තබා ගෙනයන උත්සවයයි. එය දෙමළ පෙරහැර නම් වේ. මහ රෑ නවයට පමණ වත්ත පාරදිගේ ප්‍රධාන පාරට පැමිණ මහපාරේත් ටික දුරක් යන මේ පෙරහැරේ කාවඩි නටන්නෝ කීප දෙනෙක් සිටිති. දේව පිලිමයට ඉහලින් වත්තේ සිටින එකම ධනවතා වන 'රාජා'ගේ ගෙදර තිබෙන ඩියුබ් ලයිට් එක එල්ලා ඇත. එයට කරන්ටෙක දෙන බැට්ටිය ඔහු විසින් සිය පාපැදියේ තබාගෙන තල්ලු කරගෙන යයි. ඔවුන්ගේ පෙරහැරේ ගෙනයන ටිං බෙලෙක් කැටයට අපි කවුරුත් සත පනහක් රුපියලක් දමමු. එයට වැඩි ගානක් නොදමන්නේ 'දෙමළ දෙයියන්ට' පඬුරු දැම්මාට පිං නොලැබෙන නිසාය.


පසුගිය යුද්ධ කාලයේදී දෙමළුන්ට නිතර ගුටි කන්නට සිදුවිය. සමහර ප්‍රදේශවල ග්‍රාමීය දේශප්‍රේමියෝ සිය ගමට හමුදාවේ කෙනෙකුගේ මෘත දේහයක් ගෙනෙන සැම විටම අසල පිහිටි වතුවලට කඩාපැන දෙමළුන්ගේ හට්ටි මුට්ටි පොලවේ ගසා දෙමළුන්ට ගුටි ඇන්නෝය. ඔවුන්ගේ කුකුළු කූඩුවල සිටි කුකුළන් මරාගෙන කෑවෝය.


දෙමළ පවුල්වල වැඩියෙන් දුක් විඳින්නේ ගැහැණුය. යන්තම් අවුරුදු දොළහ දහතුන වනවිටම කුවුරන් හෝ 'දෙමල' මිනිහෙක් සමග පැනගොස් වෙනත් වත්තක ලැයිමක නවතින ඔවුන් වැඩි කල් නොයාම ළමයින් පෝලිමක් හදාගන්නේ උපත් පාලන ක්‍රම ගැන නොදන්නා නිසා විය යුතුය. මෙයින් ළමයින් කීප දෙනෙක්ම කුප්පි ලාම්පුවට පිලිස්සීම, ඇලක දොලක වැටීම, ලෙඩ හැදීම ආදිය නිසා අඩු වයසින්ම මියයති. ඉතුරු ළමයින්ද අතපය හතර හයිවනවිටම කුලීවැඩට ගොස් ඇටෙං පොත්තෙන් එලියට එන කාලයේදීම කා සමග හෝ පැනයති. ඔවුන්ගේ කසාද ජීවිතද මාස දෙකතුනක්, අවුරුද්දක් දෙකකට වඩා වැඩි කාලයක් රඳන්නේ නැත. එවැනි විටක ළමයින්ද සැමියාද දමා අලුත් 'මිනිහා' සමග පැනයාම 'දෙමළ' ගෑහැණුන්ට අරුමයක් නොවේ. 


'ඉංගනේසන්ගේ ගෑනි' වන 'රානි' හැමදාම වත්තේ හෝ ගමේ අයගේ කුලී වැඩ කරද්දී ඉංගනේසන් කිසි වැඩක් නොකර සිය බිරිඳගේ අතේ ඇති මුදල පැහැර ගනිමින් එයින් කසිප්පු බී ඇයටම තඩිගැසුවේය. මේ නිසා 'රානි' අලුත් සැමියෙක් හොයාගෙන ඔහුත් සමග පැන ගියාය. 'ඉංගනේසන්' තවත් ගෑනියෙක් ගෙනාවේය. දවල් දවසේ වැඩ කිරීමත්, නොකඩවා ළමයින් වැදීමත්, රාත්‍රියට ගුටිකෑමත් නිසා මට මතක ඇති කිසිඳු 'දෙමළ' ගැහැනියක් මෝල් ගහක් තරංවත් මහත නැත.


දෙමළුන්ගේ ගෙවල්වල කොටහළුවක්, මගුලක් හෝ අවමගුලක් වූ විට උත්සවයක් ගත් බවක් මා දැක නැත. සමහර අවස්ථාවල කලක් තිස්සේ අපි දන්නා දෙමළ මිනිහෙක් දකින්නට නොමැති විට කවුරුන් හෝ ඔහු ගැන විමසයි.


"කෝ රාජො අර උඹලෑ ලැයිමෙ හිටිය බීඩි බොන වයසක කංකානම?"

"යේ එපේ මමානේ මෙනෙිකේ. ගිය ෂුමානෙ මෙරුනා. වත්තෙම් වල්දැම්ම"


වයසට ගොස් මැරුණද, කුඩා කාලයේදී මැරුණද, ළමයි හම්බුවෙන්නට ගොස් මැරුණද, ඔවුන්ව රෙදි කඩමාල්ලක ඔතා වත්තේ පහල කොටසේ තේ ගස් නැති මූකලානක වල දමනු ලැබේ. ඒ තේ ගස් ඇති තැනක හෝ වතු ඉඩමේ ඉහලක වල දැමුවහොත් මළ මිනිය දිරායන සාරය තේ ගහට උරාගැනීමට ඉඩ ඇති නිසාදැයි මම නොදනිමි. 


ඔවුන් ගැන යන්තම් හෝ කියවෙන සිංදුවක් ඇත්තේ මෙපමණය. අවාසනාවකට ඒ සිංදුවටද දෙමළුන්ගේ ජීවිතවලට වුනු දේම සිදුවී ඇත.