Follow by Email

Tuesday, August 30, 2016

Under the tea tree හෙවත් තේ ගස යට

මගෙ ජීවිතේ මට මතක පරණම සිද්ධිය එක්තරා ගහක කොල අතරින් ඉර එළිය මගේ මූණට එබිකං කරන විදිහයි. මං හිටියෙ ඒ ගහ යට. මං හැදුනෙත් ඒ ගහ යට. මට උගන්නපු ගුරුවරුන්ගෙන් බාගයක්ම හිටියෙ ඒ ගහ යට. හැබැයි විකිපීඩියාව කියන්නේ Camellia sinensis, an evergreen shrub native to Asia කියලයි. විකිපීඩියාව වැරදියි. ඒක පඳුරක් නෙමෙයි ගහක්. මනුස්ස ජීවිත ලක්ෂ ගානක දුක් කඳුළු උරාගෙන හැදිලා තවත් ජීවිත ගණනාවක දිවග රසවත් කරන ඒක මහ පුදුමාකාර ගහක්. කියවන්න මිතුරනි, මට මතක්වුනු මගේ ජීවිතේ ගස ගැන.

තේ වගාව කියපු ගමන් මතක්වෙන පින්තූරෙ නුවරඑළිය නේද? එක යායට තේ වැවුනු කඳුවල අලුත්ම අලුත් රතු, කහ, තැඹිලි පාටින් දිලිසෙන සාරි ඇඳගෙන බොහොම හොඳට හිනාවීගෙන, තමුන්ගෙ ඉඩමක දළු කඩන්නා වගේ අලුත්ම අලුත් වේවැල් කූඩ වලට දළු කඩන කාන්තාවො සමූහයක් නේද? ඒගොල්ලන්ගෙ මූණු පූජා උමාශංකර්ගෙ වගේ සුදුයි නේද?  දත් මුතු ඇට වගේ නේද? ඇඟිලි ලා රෝස පාටයි නේද? ආ.. එහෙනම් ඒ පින්තූර එකක් උඩ මනසින් ක්ලික් කරලා සිත් යතුරු පුවරුවේ CTRL+A ඔබලා Shift+Del ගහන්න. ඔව් ඒ පින්තූර සේරම වැරදියි. ඇත්ත පින්තූරෙ තේ වගේ නෙවෙයි කසාය වගේ. තිත්තයි.



උඩරට, පහතරට ආදී වසයෙන් ලංකාවෙ තේ වගා කරන ප්‍රදේශ දෙකයි. ඒ අතරින් උඩරට තියෙන්නෙ සුද්දො වවපු වවෝපු තේ ගස්. එතකොට පහතරට තියෙන්නෙ? එව්වා වවලා තියෙන්නෙ ඒ ඉඩම් අයිති සිංහල මිනිස්සු. ඔව් සිංහල අය තමයි. මං කියන්න යන්නෙ පහතරට තේ වගාව ගැන විතරයි. මං හරියටම දන්නෙ ඒ ගැනනෙ.

මේ තියෙන්නෙ සමරනායක මුදලාලිගෙ තේ වත්තක් (කන්දවිටේ වත්ත)

 පහතරට තේ වගාවත් කොටස් දෙකයි. එකක් තමයි අක්කර පනහ හැටේ මහ වතු. ඔය පින්තූරෙ තියෙන්නෙ එහෙම මහ වත්තක්. තරුණ කාලෙ ඔට්ටපාලු, කරුංක, කෝපි එකතු කරලා මහන්සියෙන් දියුණු වෙච්ච, අද කෝටිපතියෙක් විදිහට සැලකෙන සමරනායක මුදලාලිගෙ තේ වතුවලින් එකක් තමයි මේ. මේ වත්ත ඇරුනහම දෙසිය පනැහැ වත්ත , මයිත්තිරිගෙ වත්ත, හීම්මහත්තෙයෑ වත්ත, උපසේන මුදලාලිගෙ වත්ත ආදී වතු කීපයක්ම අපේ ගමේ තියෙනවා. 

අනික් ඒවා තමයි කුඩා තේ වතු. කුඩා කියන්නෙ තේ ගස් විස්සක් විසිපහක්, අක්කර කාලක්, බාගයක්, අක්කරෙයක්, අක්කර තුන හතරක් දක්වා තේ ඉඩම්. අපේ ගම් පලාතෙ ගොඩක්ම තියෙන්නෙ මේ කුඩා තේ වතු. අද අපේ ගමට ගොඩ බහින කෙනෙක්ට හිතෙන්නේ

“තේ ගහ නොතිබ්බනං මේ මිනිස්සු කාල හමාරයි.“

 කියලයි.
 
ඔය පේනවනෙ පසුබිමේ තියෙන්නෙ තේ ගහම තමයි



පහතරට තේ ගහේ ඉතිහාසය අවුරුදු සීයකට එහා පරණය. අපේ ගම් පලාතේ තියෙන “සිසිලියං පැට්ටේරිය“ අවුරුදු අසූවකට එහා පරණ බව එහි වෙබ් අඩවියේ කියා ඇත. ඒක ඇත්තක් බව හිතන්නට පුලුවන් වන්නේ අපේ ආතාගේ සහ ගුනොවරදන මාමාගේ “කයිවාරු“වලද ඔය පැට්ටේරිය ගැන විස්තර අඩංගු නිසාය. ඒ වුනාට අපේ ගම්වල කුඩා තේ වතු වැවිල්ල ආරම්භ වුනේ මගේ ‘මතක පතේ‘ (Memory card) පලවැනි මහා හැපුම (mega bite) ට ඩිංගක් එහා කාලෙකදීය. අපේ ආතා කියන හැටියට නං ‘පේමදාස මහත්තයෑ‘ ආණ්ඩුව කාලෙදීය. ගනං හදා බැලුවාම අසූව දශකයේ අග හරියේදීය. 

තේ ගහ වැවෙන්නේ කඳුවලය. ඒ වුනාට ඒක බොරුවක් විදිහට අතේ පැළකර පෙන්වූයේ අපේ ගමේ අයයි. අපේ ගමේ හද්දා තැනිතලාවලත් තේ වැවෙන්නේය. කුකුලේගඟ දෙපැත්තේ දිගටම තිබුණ තණකොළ පිට්ටනි අද තේ වගාවන්ය. ඉස්සර ඒ පිට්ටනිවල තිබුනේ තණකොළ, දං ගස්, වැරනියා, වෙරළු, බෝවිටියා, පිචොක් ආදිය වැවුන ලඳුය. අපේ ආතා කුඩා කාලයේ ඒ අවට ගෙවල් කීපයේ අය වැසිකිලි වශයෙන් පාවිච්චි කලේද, මලමිනී ගෙනැත් දැමීමට පාවිච්චි කලේද, ඒ මලමිනී වලින් පැලවූ හොල්මන් සහ අවතාර ආදිය සිය ජීවනෝපාය වන මිනිසුන් බය කිරීම ආදිය මගින් කට්ටඩින්ට බ්‍රෝකර් වැඩ සිදුකලේද මේ ලඳු කැලේය. 

මෙතැන ‘මලමිනී ගෙනැත් දැමීම‘ කියන දේ අපේ ආතා උන්දැගෙ ඇඳ ගාව පාපිස්ස උඩ ඉඳගෙන ඉන්න මට හරි අපූරුවට පැහැදිලි කරන්නේ මෙහෙමයි.


“ඉස්සර ඔය නාරගල්පිටියෙ පිට්ටනිය මැද්දෙං මිනිහෙක් යන්න බයයි ඇඳිරි වැටීගෙන එද්දි.“

“අර මද්දුම්මහතතෙආතගෙ අයින කොටිය හිටියද ආතෙ එතෝටත්“


“කෙහෙම්මලක් නෙමෙයි බං. හොල්මං පුරාම ඔය ටිකේ පඳුරප්පදුරග් ගානෙ.“

“එයාකාර හොල්මං කොයින්ද ආතෙ.“

“ඇයි බං ඔය හරියෙ සුවල්ප මිනී කන්දරාවද්ද දාල ඇත්තෙ.“

“අර මඩුගෙයි පුංචිමහත්තෙයාතගෙ සෝන ඉතරයිනෙ තියෙන්නෙ ගල්ලවිටේ හරියෙ“

“ඒ උඹ දන්න හරියනෙ. එයිට කලිං මිනී වලදැම්මෙ නෑ. නිකං ගිහං විසික්කොරල එනව එපිටහට.“

 “ඒ කොහොමද ආතෙ ඒ“

“හා.. එහෙනං අහගනිංකො මං කියන්නං උඹට දැනගැනීමට“

ආතා ඇඳේ ඉඳගෙන ජනේලෙං එලියට බුලත් කෙළ පාරක් ගහනවා. කහපාට ක්‍රෝටන් අතු රතු පාට වෙන්න.

“පෘතුප්...පෘෘප් පුප් තුප්“

“ඒ කාලෙ මං ඉපිදින්නත් කලිං හුඟාක්ම ඉස්සර රජ්ජුරුවංනෙ කාලෙ මිනිස්සු පුරාම බයයි හොල්මං ඔලට.“

“රජ්ජුරුවොත් බයද ආතෙ?“

“රජ්ජුරුවො බයවෙන්නෙ මොකෑ. රජ්ජුරුවො එනවෑ මිනී වලලන්න. කටවහං හිටහං කියනකං“

“හා ආතෙ“

“ඉතිං මිනිහෙක් මැරුනහං කවුරුවත් යන්නෑ ඒ ගෙදෙට්ට. හොල්මන එයි කියල පස්සෙං. ඉතිං මිනිය කොහෙට හරි ගිනිහිං දාන්නවත් කෙනෙක් නෑ උදව්වට. එතකොට ගෙදර පිරිමියා කරන්නෙ උණ ගහක් කපං එනව ගඟ අද්දරිං. එයිට පස්සෙ ඒකෙ මැද හරියට මිනිය තියල වැල් ඔලිං ගැටගහනව. කවුරුවත් උදවුවට එන්නැති හංදා තනියෙංම උණ ලීයෙ එක කොනක් කරේ තියාගෙන අනික් කොන බිම දිගේ ඇදි ඇදී යනව ඔය ලන්දෙ පුලුවං තරං දුරට. ඔය මිනිස්සු නිතරෝම යන්නැති හරියට. ගිහිං ඒක දා තියල පුලුවං හයියෙං දුවනව ගෙදෙට්ට. සමහරු ඊට පස්සෙ ගේත් අත්තැරල යනව. ඉතිං ඔය මිනිය දිරලා ඇටරැකිල්ල ඉතරක් ඉතුරුවෙනව. ඔය ලීයක් කපාගන්න, *** බර හැදිල එහෙම බැරිවෙලාවත් ඒ පැත්තෙ යන එකෙක් ඒක දැක්කොත් ඉතිං ගෙදෙට්ට එන්නෙම පිස්සිය හැදිල, නැත්තං නාහෙං කටිං ලේ දාගෙනම තමා“


මේ තියෙන්නේ නාරගල්පිටිය පිට්ටනිය මැදිං යන අඩිපාර

ඔය විදිහට හොල්මං තිප්පලක් වෙලා තිබුන නාරගල්පිටියෙ කොටසක ‘සබර ගහ‘ සිය පරම්පරාව බෝ කරගෙන තිබුනේ තේ ගහ එන්නට කලියෙන්ය. රබර් ගහ හිටවා එයිං කිරි කපන්නට අවුරුදු දහයක්වත් ඉන්න ඕනෑ නිසා අපේ ගම්මු ‘සබර ගහ‘ ඒ තරං ගනං ගත්තේ නැත. ඒ වුනාට තේ ගහ අවුරුදු තුනෙං විතර ඵලදාව දෙන හන්දා තේ ගහ අපේ ගමට වැද්දගන්න කවුරුත් අකමැති උනේ නෑ. 



උප්පත්ති කම්මැලිකම හිංදා අපේ ගමේ අය මුලිම්ම තේ ගහ හිටෙව්වෙ ඒ තරං මහන්සි වෙන්න උවමනා නැති තැනිතලාවේ. ඒ කියන්නේ ඔය කියන කුකුලේගග දෙපැත්තෙ තියෙන ලන්දෙ. කවුරුවත් ගානකට නොගෙන අතෑරල තිබුන ඒ ලඳු කැලේ සුද්ද කරලා එකා දෙන්නා තේ පැල හිටවද්දි “අපිත් මේ වැඩේ කොරන්න ඕනෑ. උන්ට ඉතරක් දියුණුවෙන්න දෙන්න හොඳ නෑ“ කියලා හිතපු ගමේ අනික් අයත් තේ වැවිල්ල පටං ගත්තා. දංගස්, පිචොක් ගස්, වැරනියා ගස්, වෙරලු ගස් පෙරලාගෙන, තණකොළ යට කරගෙන තේ ගහ නැගීගෙන එද්දි ඒවාට බයේ හාවො, මුකටි, ඉත්තෑවො, වලි කුකුල්ලු, නයි, ගැරඬි, හාල් ගැරඬි, කහ ගැරඬි, ඇහැටගුල්ලෝ, වෙනිං ලඳු හොයාගෙන ගියා. තලගොයි ඉතරක් ඉතුරු උනා. තේ ඉඩං එකට යා වෙලා ඒ අතර වැටවල් බැඳුනා. සමහර වැටවල් එහෙට මෙහෙට ඇවිද්දා, එහෙම නොසන්ඩාලකමට ඇවිද්ද වැටවල් හින්දා අහිංසක මිනිස්සු නඩු හබ පටලවාගත්තා. (තවමත් ඒ නඩුවල දෙවෙනි පරම්පරාව මාස දෙක තුනකට සැරයක් ‘රත්තපුරා‘ යනවා නඩුවට.)  


කැකිල්ල පඳුර

තැනිතලාවෙ ඉඩ මදිවෙනකොට කඳුගැට වලටත් තේ වගාව බෝ වුනා. කඳුවල එක සීරුවට පොලව බදාගෙන වැවෙන කැකිල්ල ගාලක් පායන කාලෙට එක ගිනිකූරෙන් වනසන්න පුලුවං. අමු කැකිල්ලට යටින් තියෙන වේලිච්ච කැකිල්ල වලට ගිනි තිව්වම අමු කොල එක්කම ගිනි ගන්නවා. පොලව බදාගෙන ඉන්න කැකිල්ල මුල් ටික ගලවන එක ටිකක් අමාරු වුනත් ඒවත් සුද්ද කරලා ගල්වැටි බැඳලා, කානු කපලා තේ ගහක් ඉන්දවාගත්තම අවුරුදු පහලොවක් විතර යනකම් ආදායම ඉස්තිරයි.

තැනිතලාවත්, කන්දත් දෙකම යටත් කරගත්තත් තේ ගහට ඉඩ මදියි. තව තවත් අහුමුලු, ඉඩ ඇති තැං හොයාගෙන තේ ගහ ඉදිරියට ඇදුනා. කුඹුරුවල මැද්දෑවෙ පාවරක් හදාගන්න ඉතුරු කරපු පිල්ලෑවල්, ගෙවතු, මිදුල්, රිසිවේසන් ආදියත් ඊළඟට තේ ගහට යටවුනා. පාවරක් හදාගන්න පිල්ලෑවෙ ඉඩක් නැති තැන ගොවියෝ ගොයම් පාගන්න පාවර හදාගත්තේ වතුර අඩු ලියද්දක ඉපනැල්ලට උඩිං ඉටිකොල දාලයි.



මේ වෙනකොට තත්වෙ හොඳටම දරුණුයි. තේ ගස් දෙකක් අතර ඉඩ අඩි දෙකහමාරට බැහැලා, කාණු, ගල්වැටි ආදී පස සංරක්ෂණ ක්‍රම සියල්ලම අතහැරිලා. සීලිං සීට් එකක් තියන ඉඩක් කොතනක හරි ඉතුරු වුනොත් එතන තේ ගහක් හිටවන තැනට වැඩේ ඔඩුදුවලා. පාරවල් අද්දර තියෙන අඩි දෙකහමාරෙ තුනේ ඉඩටත් තේ පේලියක් රිංගවලා. කුඹුරු ඉඩං කන්න දෙකෙන් තුනෙං ගොඩ ඉඩම් බවට පත් කරලා තේ හිටවනවා. 


තේ වැවීම කලාවක් නම් චූටි මැනීකෙගේ අම්මා එහි පිකාසෝය. උපන්දා පටං වගාවට හිතැති උන්දෑ තේ ගහටත්, රබර් ගහටත් ඇරුණු ජිවිතයක් ගත කරන්නේය. දළු ඩිංගක් අහුලගෙන රබර් ගහක් දෙකක් හූරගත්තම අපිට ජීවත්වෙන්ට හොඳටම ඇති යන ආදර්ශ පාඨය අනුව ජීවත්වන ඇය ගෙදර වත්තේ බෑවුම අඩු කොටසේ රබර් හිටුවා බෑවුම වැඩි කොටසේ තේ හිටෙවුවාය. කාණු, ගල්වැටි ආදී යල්පැනගිය වගා මූලාවයව ‘ලකියාට‘ දැමූ ඇය කොන්දොස්තර කෙනෙක් බසයට මගින් පටවන්නාක් මෙන් ඉඩම පුරා තේ ගස් ‘අහුරා' දැමුවාය. විශාල ලොරියක් යාමට තරම් ඉඩ තිබූ නිවසට යන පාර තෙසක් රියට අමාරුවෙන් රිංගා යාමට හැකි තරම් පුනීල කරක් මෙන් සිහින් කලේද, පාපන්දු පිටියක් තරම් වූ මිදුල කැරම් බෝඩ් එකක් මෙන් සිහින් කලේද, ඇගේ මනා වගා පරිචයයි. ඒ ඉඩමේ තේ ගස්වල දලු කැඩීමට කඳු නැගීමේ සහ පුවක් ගස් නැගීමේ හපන්කම ඇති අය උවමනාය. ඉහල පේලියේ ගහේ දලු කඩන්නාට එකම පිහිට පහල පේලියේ තේ ගහේ මුලට පය තබාගැනීම පමණකි. නැත්තං දලු කඩන්නාව ඉඩම පහල පාරෙන් සොයාගැනීමට පුළුවන. මේ නිසා දළු කඩන මිනිසුන් නැති තැන නේපාලයේ ෂරපා ජාතිකයින් කීප දෙනෙක් ගෙන්නා ගැනීමට මා යෝජනා කළද ‘එවරස්ට් කන්ද නැගපු ටෙන්සින් නෝර්ගායි‘ වුවද කඹ රෝල් දෙකක් සහ කෙටේරියක් නැතිව ඒ ඉඩමට පා නොතබනු  නිසැකය. දැන් අපේ ගම්වල තේ ගහ වැවෙන්නේ නැත්තේ ලිබ්බොක්කේ පමණි.



පහතරට තේ ගහ පිළිබඳ තවත් විස්තර ලිවීමට ඇත. එයට පෝස්ට් ගණනාවක් ගත වන්නටද පුළුවන. මෙම ලිපියේ අවසන් ඡේදයේ අතුරු ප්‍රතිඵලයක් ඇති නොවුවහොත් ඊළඟ කොටස බලාපොරොත්තු විය හැකිය.

Wednesday, August 17, 2016

රට යෑම හෙවත් The country going

“ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය“ කියා කවුදෝ කියා ඇත. ඉන්දියන් සාගරයේ ප්‍රමාණයත් මුතු ඇටයක ප්‍රමාණයත් සැසඳු කල අපේ රටට ඒ කියමනෙන් දී ඇති සොච්චම් තත්වය බලා හරිනං ඒ කියමන කියූ කෙනාට විරුද්ධව නඩු දාන්ට ඕනෑය. එහෙව් නොයෙක් ආකාරයෙන් නම්බු නාම දෙමින් පවත්වාගෙන යන මේ රට අස්සේ කෝටි ගණනක් ඉපදී මැරී යන්නේය. ඒ අතරින් කීප දෙනෙක් පමණක් ‘කරිජ්ජ වලල්ලෙං‘ එලියට යන්නේය.


මං පුංචිම කාලේ හිතාගෙන හිටි හැටියට ‘අපේ රට‘ මුහුදේ එක ඉවුරක තියෙන අතර මුහුදෙං එගොඩහ ගොඩේ තියෙන්නේ ‘පිටරට‘ය. ඒ රටේ ඉන්නේ සුද්දෝය. අපේ ගමේ තියෙන ගඟට වඩා මුහුද ‘හුඟාරියක්‘ විසාල හිංදා පිටරට ඉන්න සුද්දෝ ලංකාවට එන්නේ ‘නැවේ‘ නැත්තං ‘ආස්යාන්තරාවේ‘ය. මේ භූගෝල විද්‍යා දැනුම ලබාගැනීමටත් මට සෑහෙන වතාවක් පවුලේ අයගෙන් ලද “පන්ඩිතකං කියොවන්නැතුව වහක්කට“ යනාදී දිරිගැන්වීම් මහෝපකාරී විය.


පස්සෙං පහු කාලෙක රට යාම ගැන මං දැනගත්තේ ‘රේඩිවේකෙන්‘ ය.


“ඩුබායි යබුඩාබි සවුදියාරාබි දෝහාකටාර් ලෙබනන් මැදපෙරදිග යන රටවල්වලට විදේස රැකියා ඇබෑර්තු රැසක්. වහාම පැමිනෙන්න. දනාමෑන්පවර් විදේස රැකියායතනය අංක..................“


ඔන්න ඔහොම ඉරිදා දවල්ට රේඩිවේකේ යන දැන්නීමක් මට හොඳට මතකයි. ඒ කියන වෙලඳ දැන්වීම ඇහෙන කාලෙ වෙනකොටම අපේ ගමෙත් එක කාන්තාවක් කොහොමටවත් දකින්න නැතුව අතුරුදහන් වුනා. අපේ ආච්චම්මගෙ තීක්‍ෂණ නුවනට මේ අඩුව අහුවෙන්න වැඩි දවසක් ගියේ නෑ.


“කෝ මේ බුලත්හප උන්දැගෙ ලොකු එකී කාලෙකිං දැක්කෙ නෑනෙ. ආයි පාරක් මිනිහෙක් එක්ක පැල්ල ගිහිල්ලවත්ද“


“මොනප් පිස්සුද නැංදම්මෙ.... දැං සුමාන දෙකක් වෙනව රට ගිහිල්ලා.“


“අනෙප් පලෙයං පොඩිමැණිකෙ කෙබර කියොවන්නැතුව. ඒකිට පුලුවං රටයෑම. උංට කොයිංද ඒ තරං සල්ලියක්“



“ඒකනං මංද. බුලත්හප ගෑනි දැං කුලියට යන්නෙත් නෑ. කෙල්ල රට ඉඳං සල්ලි එවනව කියන්නෙ“


ඒ කතාව ඇත්තක්ම බවට තහවුරු වෙමින් බොහොම ටික දවසකින් ඒ ගෙදර අය බොහොම ලකේට ජීවත් වෙන්න පටංගත්තා. කඩෙන් නයට බඩු ගැනීම වෙනුවට හාල් මිටි ගනං ටවුමෙං ගෙනාවා. පුංචම්මගෙ කඩේ තියෙන සැමැන් ටිං, බීම බෝතල් සේරම වගේ ඒ ගෙදර අය සැරිං සැරේ අරං ගියා. රුපියල් දහය පහලොව වගේ නයට දීපු 'සුළු සුළු ගනං' ආපහු ගත්තෙ නෑ. කල දුටු වලවල් ඉසින්නෝ බාල්දි, පනිට්ටු, පොල්කටු, ටොනික් පියං ආදියද රැගෙන ඇවිත් වල ඉසින්න පටං ගත්තා. ඒ ගෙදර ළමයිනුත් වයිවාරන බඩුමුට්ටු ඉස්කෝලෙ ගෙනාවා. සුවඳ ගහන මකන, වතුර පුරෝපු අඩිරූල්, අකුරු අඳින අච්චු, සුවඳ පැන්සල්, පැණි රහ කෑම සුවඳක් එන මකන කෑලි, කටර්, පාට පාට පෑන්, පාට ජාති බරගානක් තියෙන පාට පෙට්ටි, ඒ අරුමෝසම් සේරම දාන්න පුලුවන් කවකටු පෙට්ටි (මේ කවකටු පෙට්ටියෙ පියන වැහෙන්නෙ කාන්දමකිං. ඒ අතරෙ එක එක සුයිච් ඔබලා කටර් එක, මකන කෑල්ල එහෙම එලියට ගන්නත් පුලුවං), තට්ටු දෙකේ බත් පෙට්ටි, සුයිච්චෙකෙං අරින වතුර බෝතල් එයිං සමහරක්. හාමුදුරුගොල්ලං ගැන කියද්දි 'අතිපූජ්‍ය' කියලා කොටසක් මුලට එක්කහු කරන්නා වගේ මේ සුකුරුත්තං ගැන කියද්දි මුලට 'රට' කියලා කොටසක් එක්කහු කරන්න ඕනෑ. එතකොට 'රට පැන්සල', 'රට මකනෙ' ආදී විදිහටයි කියවෙන්නේ.


ළමයින්ට දෙවෙනි නෑ ගෙදර අයත්. කවුරුවත් රස්සාවල් වලට ගියේ නෑ. කරපු රස්සාවල් නැවැත්තුවා. කලිං කාගෙ ගාව හරි වැඩ කලා නං "ඕකුංගෙ වාල් වැඩට ආයියන්නෑ" කියලා ඒ අයටත් ලොකුකං කියෝලා තරහ වුනා. රට ඉන්න කෙනා එවන සල්ලිවලිංම ජීවත් වුනා. ඒ ගොල්ලන්ගෙ නෑදෑයො වෙන දුප්පත් පවුලකුත් ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා. ගෙදර අයත් ඒ ගොල්ලන්ට කන්න බොන්න ටික දීලා වැඩකාරකමට තියා ගත්තා. හැමෝම ඇන්දෙ අලුත් ඇඳුං. ගෑනු අය දිලිසෙන 'ඇස් කඩාගෙන යන තරං දිස්නෙ පාටවල් තියෙන, ලොකු ලොකු පාට බෝල ඇඳපු' සිලික් ඇඳුං ඇන්දා. ඒ අය මාස දෙක තුනකට සැරයක්වත් "රටිං බඩු පෙට්ටියක් එවලා තිවුනා" කියලා කොහෙදෝ මන්දා ගිහිං විසාල පෙට්ටියක් අරං එනවා. ඒ ගමන ආයිත් අරුමෝසං ඇඳුං, බඩු මුට්ටු කල එළි බහිනවා. ගමේ අනික් ගෙවල් වලට "ජම්බල ගෙදර", "හාමිලවත්තෙ ගෙදර", "තෝර ගෙදර" ආදී නම් දැම්මා වගේ මේ ගෙදරට ගමේ මිනිස්සු දාපු නම තමයි "ඩුබායි ගෙදර". ඒ නම තමුන්ට දීපු නම්බුවක් හැටියටයි "ඩුබයි ගෙදර" අය සැලකුවේ.


තවත් කාලයක් යද්දි අර රටගිය කාන්තාව ආපහු ආවා. සති ගානක් යනතෙක් ඒ අවට ගෙවල්වල ලමයින්ට ටොපි, චොකලට් හිඟපාඩු උනේ නෑ. ඒ ගෙදරට ගිය අය කිව්වේ මහ විසාල බපල් සැට්ටෙකක් එහෙමත් ගෙනැත් තියෙන බවයි. විස්තර හෙවීමේ උවමනාවෙන් "ඩුබායි ගෙදර" පැත්තේ 'නිකං ආපු' උදවියට උත්තර දුන්නේ ඒ ගෙදර අය. 'රට ගිය' කෙනා ගෙදර තියෙන හොඳම කාමරේට වෙලා 'මහන්සි අරින' බවට ප්‍රකාශයක් නිකුත් කරන ගෙදර අය 'ආස්යන්තරාවේ එද්දි කන්න බොන්න හිටං හම්බුවෙන බවත්, කාපු බීපුවත්, ආදී සම්පූර්ණ ගමං විස්තර ඇතුලත් වාර්තාවක් දුන්නා. තමුංගේ දුව ගිහිං හිටියේ ඒ රටේ 'පුරාම පෝසත්' ගෙදරක වැඩට බවත්, ඒ මිනිස්සු තමුංගෙ කෙනෙට්ට වගේ සලකා ඇති බවත්, එව්වෑ සේරම වැඩ කෙරෙන්නේ මැසිං වලිං බවත්, දුවට කරන්න තිවුනේ මැසිමේ සුයිච්චෙක දමා බලං හිටීම පමණක් බවත්, තව තව ඒවා බවත් ඇතුලත් විස්තරයක් ගමේ සෑම මාධ්‍ය ඒජන්සියකටම පොදුවේ දැනුං දුන්නා. අන්තිමට ගමේ මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය එකක් බවට පත්වුනා.

බලහල්ලකො ඒකිගෙ උද්දච්ඡ කම

එයා ගමං බිමං ගියේ සෙනග අඩු බස්වල විතරයි. අත්වල, කංවල අරුමෝසං පිරිලා. 

"ඔය ඩුබයි සත්තරං බාලයි."

ගමේ ගෑනු අය කිව්වා. 

ඇන්දෙත් ඇස් කඩං යන තරං පාට ඇඳුං

"ඒ රටවල්ලොල ගෑනු ඇඳපුවා ඔය."

තව කොටසක් කිව්වා.

ගහගෙන ගියේ අහලගං හතකට දැනෙන සැං ජාති.

"නාහෙ කඩං යන ගඳක්. මට නං ඔක්කාරෙට එනව"

සුවඳ අල්ලපු අය කිව්වා.

ගමේ කා එක්කවත් කතා කලේ නෑ.

"හිතං ඉන්නව ඇත්තෙ මහ රජ්ජුරුවංගෙ බිසවුන්නාංසෙ කියලා"

කීප වතාවක් කතාවට පැටලෙන්න උත්සාහ කරපු අය කිව්වා.

ඔය විදිහට මාසයක් විතර යද්දි කනිං කොනිං ඇහෙන්න ගත්තේ කණු වේයො කන කතන්දර

"ඩුබයි ගෙදර උංගෙං රුපියල් දහයක් ගන්න බෑනෙ නයට."

කියලා කෙනෙක් කිව්වා.

"මං කාලෙකට ඉස්සර ගනිපු සල්ලි වගේකුත් ඉල්ලුව"

තව කෙනෙක් කිව්වා.


එයිටත් මාසයක් විතර යද්දී "ඩුබයි ගෙදර" නැවතිලා හිටපු වැඩකාර දුප්පත් නෑයොත් 'උං එක්ක ඉන්න බෑ' කියලා රණ්ඩු කරගෙන යන්න ගියා. එයිනුත් සති දෙක තුනක් ගියාට පස්සෙ ආච්චම්මගෙ සහාය වාර්තාකාරිනියක් දුංදාන ප්‍රවෘත්තියක් කොලේකින් වහලා අරගෙනාවා ආච්චම්මට දෙන්න.


"ආං නැංදම්මෙ අර රටගිය එකී උංගෙ අම්මත් එක්ක ආයිත් කුලියට දලු කඩනවලු. නරින්දරලෑ ඉඩමෙ විතරයිලු හැබැයි යන්නෙ. අපි කිව්වෙ නැද්ද නැංදම්මෙ ඔය සෙතේ වෙයි කියලා ඕකිගෙ උද්දච්ච කමට"


රට ගිහිං හම්බුකරපු සල්ලි නියමාකාරයෙං වැඩකට ගත්තෙ නැති හංදා අන්තිමට ‘ඩුබයි ගෙදර අය‘ හිටපු තැනටම වැටුනා. පුලුවං කාලෙ ප්‍රයෝජන ගත්ත අය "උංගෙ උද්දච්චකමට වෙච්චි දේ. යසම යස" කියලා වගකීමෙන් නිදහස් වුනා.


මේ විදිහට රට ගිහිං වලේ වැටිච්ච අය අපේ ගමේ හිටියත් රට ගිහිං දියුණු වෙච්චි අයගෙ කතන්දරත් මම අහලා තිබුනා. ඒ හංදා මගේ ඔලුවෙත් 'රට යන්න ඕනෑ' කියන කල්පනාව තදිංම කාවැදිලා තිබුනා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දළු කඩද්දී, කරේ තියාගෙන දළු ගෝනි ගෙනෙද්දි, වෙනයම් මොකක් හෝ අමාරු වැඩක් කරද්දි මගේ ඔලුවට ආවෙ 'රට ගිිහිංම ගොඩ යනවා' කියන එකයි. මගෙ වයසෙ අනික් අය උසස් පෙළට පන්ති යද්දි, මගෙ දැනුම මදි හිංදා විභාගෙ ඇනෙන බව දැනෙද්දි මං හිත හදාගත්තෙ “ඕවට වැඩිය ලේසියි රට ගිහිං අවුරුදු පහක් දහයක් ඉන්න එක“ කියලයි.

ඊශ්‍රායලේ ගිහිං 'වයසක මිනිස්සු බලාගෙන' සල්ලි හම්බුකරගෙන ආපු කෙනෙක් බොහොම ජයට ඉන්නවා දැකීමෙං මටත් ඒ රටට යන්න හිතුනා. බොහොම වටකුරු දියණියන් දෙන්නෙක් සහ එයිටත් වඩා ගෝලාකාර බිරිඳක්, අලුත්ම වෑන්නෙකක්, විසාල ගෙයක්, දවසට සිකරට් පැකැට්ටෙකක් දෙකක් පුච්චා දැමීමක් නිසා එයාගේ 'සල්ලිකාරකම' බොහොම ලේසියෙං දකින්න පුලුවං. මං මගේ පලවැනි 'පඩි කොලයක්' ලැබෙන රස්සාවට ගියේ ඊශ්‍රායල් යන්න සල්ලි හොයාගන්න. නමුත් ඒ අතරේ මේ රස්සාවට පාර කැපුන නිසාත්, රට ගියා වගේ නෙමෙයි ආංඩුවෙ රස්සාව, කියන නම්බුව ලැබුන නිසා මගේ රට හීනේ යට ගියා.


ඒ වුනාට දැනට මට ලැබෙන පඩියෙන් ජීවත්වෙනවා ඇරෙන්න වෙනිං දෙයක් කරන්න බැරි බව මට කාලයක් තිස්සේ දැනෙන්න ගත්තා. මගෙ පඩියෙ හැටියට ගන්න පුළුවන් උපරිම ණය මුදල ගත්තත් ගෙයක් හදාගන්න ඉඩමක්වත් ගන්න බැරි බවත්, එහෙම ගත්තොත් ජීවිතේටම වෙනිං දෙයක් කරන්න බැරිවෙන බවත් මගේ සාමාන්‍ය පෙළ ගණිතය දැනුම මට අවබෝධ කරලා දුන්නා. දවල්ට කන්තෝරුවේ වැඩ කරලා හවසට ත්‍රීවිල් හයර් දුවලා, වඩේ බැදලා, කඩල විකුණලා මුදලක් හොයන්න මහන්සි වුනොත් මට රෙද්දක් ඇඳගෙන පාරෙ යන්න ලාංකික සමාජයෙ ඉඩක් නෑ. එතකොට ඉතුරු පගාව සහ හොරා කෑම විතරයි. නමුත් මගෙ කලින් රස්සාවෙදි 'යටි මඩි ගැසීමේ' කුළුඳුල් මෙහෙයුම සාර්ථක කරගෙන ගත්ත රුපියල් අටදාහම එයිට සතියක් යන්න මත්තෙන් බයිසිකලේ ෂොක්ඇබ්සෝබර් දෙක වෙනුවෙන් යට කරන්න වීමෙන්ම මගේ 'හොරාකෑම' අත්හැරුනා. ලොකු සමාගමකින් වුනත්, දුප්පත් මනුස්සයෙක්ගෙන් වුනත් වංචා කලොත්, පගාව ගත්තොත් එව්වා යන්නේ පොලියත් අරගෙනයි කියන ධර්මය මං අත්දැකීමෙන්ම දැනගත්තා. ඒ හංදා මේ රස්සාවෙං මං අයුතු විදිහට එක රුපියලක්වත් උපයන්න ගියේ නෑ. පඩිය විතරයි. නමුත් මේ ඉන්න තැනින් වෙනින් තැනකට මාරුවක් ලැබිලා නිල නිවසක් නැතුව කුලී ගෙයක ඉන්න වුනොත් ළඟම තියෙන සිද්ධස්ථානය ඉස්සරහා ඉටිකොලයක් එලාගෙන හවසට පාට් ටයිම් කරන්න වෙන අවදානමක් මගේ ඉස්සරහ තියෙනවා.


මගේ රට යන හීනේ ආයිමත් පෑදුනේ සොඳුරු අතීතයෙන් බිඳක් ලියන කවිඳු දොස්තර මහත්තයගේ ලිපි කීපයක් හිංදයි. ඒ ලිපිවල තියෙන කරුණු හොයා බැලුවහං ලංකාවෙ මනුස්සයෙක්ගෙ දවසෙ පඩිය ඕස්ට්‍රේලියාවෙ එක පැයට හොයන්න පුලුවන් බව පෙනෙන්න තිබුනා. අපි දෙන්නා අවුරුදු ගානක් තිස්සේ හීන මවපු ‘ඉන්දියාවෙ  මං කවිඳු මහත්තයා ලියපු පාරවල් දිගේ යන්න පටං ගත්තා. මුලින්ම මගේ විස්තරේ දාලා අයදුම්පත්‍රයක් දැම්මා ඕස්ට්‍රේලියාවෙ රජයේ හැකියාවන් තක්සේරු කරන වෙබ් අඩවියට.


"ඔබට ඔබගේ රැකියාව සඳහා උපාධියක් තිබිය යුතුයි. ඩිප්ලෝමාව මදි."


කියලා උත්තරය ලැබුනා. ඒ ගමන මගෙ රස්සාවට අදාල උපාධියක් කරන්න තැනක් හෙව්වා. හම්බවුනේ නෑ. ලංකාවෙ එහෙම උපාධියක් බාහිරව හදාරන්න දෙන්නෑ කියලයි හුඟක් අය කිව්වේ. ඒ හංදා කැන්ගරු රටේ යන්න හිතන අය මේ රැකියා සඳහා අදාල උපාධිය හරි වැඩ කරපු බවට සුදුසුකම් හරි හදාගන්න ඕනෑ.


ඒ ගමන දෙවැනි ක්‍රමයට පය තිබ්බා. ඒ තමයි කවිඳු මහත්තයා තමුන්ගෙ නෑයොන්ට උගන්නපු 'මේසන් පාඨමාලාව' හැදෑරීම. නමුත් ඒකටත් බාධාවක් තිබ්බා. රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් මං වැඩකලා කියලා සහතිකයත්, පඩිකොලත් ඕනෑ වෙනවා සුදුසුකම් ඔප්පු කරන්න. ඒ පාරත් උපන්ගෙයිම මියැදුනා. මට මේ රස්සාව අතෑරලා මේසන් වැඩ අවුරුදු දෙකක් කරන්න හිතත්, ආර්ථිකයත් හදාගන්න බෑ.


ඒ ගමන මට තවත් පාරක් අහුවුනා. ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කෙනෙක් මට එයාගෙ සේවා ආයතනයෙ රස්සාව දෙන්න කැමති වුනා. එතනටත් හරහට හිටියේ සුදුසුකම් ඔප්පු කරන්න රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් සේවා සහතිකය සහ පඩි කොළ. අකමැත්තෙන් වුනත් එතනිං ආපහු හැරෙන්න මට සිද්ධවුනා. ඒ හංදා ඕස්ට්‍රේලියාවට යන්න හිතං ඉන්න අනික් අයත් තමුන්ගෙ රස්සාව අවුරුදු දෙකක්වත් ලංකාවෙ තියෙන පිළිගත් ආයතනයක කරන්න ඕනෑ.


එතකොටම තමයි මට ආරංචිය ලැබුනේ මගේ රස්සාවට අදාල උපාධිය පේරාදෙනියෙ සරසවියේ බාහිර උපාධියක් හැටියට දෙනවා කියලා. මං අවුරුදු තුනෙන් කැන්ගරු දේශයට යන හීනෙ හිතේ තියාගෙන එතැනට කතා කලා.


"ඔව් ඔයාට කාටොග්‍රෆි වලට අමතරව තව සබ්ජෙක්ට්ස් දෙකක් කරන්න වෙනවා. නෝමල් බී.ඒ ඩිග්‍රී එකක් තමයි දෙන්නේ. ක්ලාසස් අපි කරන්නෙ නෑ. අපි ඒ ක්ලාසස් තියෙන තැන් සෙමිනා එකේදි ඉන්ට්‍රඩියුස් කරනවා. බුක්ස් ඔක්කොම ඔයලා ගන්න ඕනි"


පන්තිවලටයි, ගමන් ගාස්තුවලටයි යන වියදමත්, වැයවන කාලෙත් එක්ක මට කොහොමටවත් ඒ උපාධිය කරන්න බැරි නිසාත්, ඒකට අදාල පිළිගැනීම ලැබේ යැයි විශ්වාස නැති හිංදත් මං ඒ වැඩේ අතහැරලා දැම්මා. 


අන්තිමට මං මගේ ගැටළුව ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට වීසා හදලා දෙන 'ඇත්තම' ඒජන්සිකරුවෙක්ට යොමුකලා. එයා මට හරියටම හරියන මාර්ගයක් තෝරලා දුන්නා.


"ඔයාට පුළුවන් ස්ටුඩන්ට් හැටියට යන්න. IELTS අදාල ලකුණු ගාන ගත්තනම් හරි. එහෙ ගිහින් ඩිග්‍රිය කරලා ජොබ් එක පුරුදු වෙන්න ආපහු වර්කින් වීසා ඉල්ලන්නත් පුලුවනි."


අන්තිමට මට හරිපාර අහුවුනා. සෑහෙන සතුටක් හිතට දැනුනා. අනික් අයටත් දැනගන්න බ්ලොග් එකේ ලියන්න ඕනෑ කියලාත් මට හිතුනා. එයා අන්තිමට පුංචි කොටස් එකතු කලා.


"හැබැයි ඉතිං ඔයාට ලක්ෂ තිහක් විතර වත්කම් පෙන්වන්න වෙනවා."


ගුරුත්වාකර්ශණය සිතුවිලිවලටත් අදාලයි. ලක්ෂ තිහ විසින් මගේ හීනේ මහ පොලවට ඇද දැම්මා. ලක්ෂ හතරක් පහක් නං හොයන්න පුළුවන් කියමුකෝ. තුනයි බිංදු හයක් හොයන්නෙ කොහොමද? මං වැඩේ අතෑරියා කියලද හිතන්නෙ? නෑ. මං ඒ ගමන ඒ සල්ලි පස්සෙ එළවන්න ගත්තා. පත්තරේ, ඉන්ටනෙට් එකේ, අතන මෙතන තියෙන හැම මූල්‍ය සේවා ඇඩ් එකකටම කතා කළා. 


“ලක්ෂ තිහට වැඩි වටිනාකමක් තියෙන දේපලක් ඇප තියන්න ඕන“


“මන්ත්ලි ****** ලැක්ස් විතර සැලරි එකක් තියෙන දෙන්නෙක් ඕන“


මනුස්සයෙක්ට ලක්ෂ තිහක් ණයට ගන්න ලක්ෂ හැටකවත් දේපල තියෙන්න ඕනෑ. ඒ වැඩෙත් අතෑරියා. අපිට කවුද ලක්ෂ තිහකට ඇප තියන්න ඉන්නේ. බැංකුවෙනුත් මට හම්බවුනේ බඩගින්නට මාරියක් වගේ උත්තරයක්. මගේ මාසික පඩිය එහෙම්මම ඉතුරු කරත් ලක්ෂ තිහක් හොයන්න අවුරුදු අටක් යනවා. අවුරුදු අටක් යද්දි මං නාකි වෙලා ඉවරයි. එහෙනම් දැන් කරන්න තියෙන්නෙ මාසෙට ලක්ෂයක් හමාරක් හොයන්න පුළුවන් රටකට යන එක. අවුරුදු දෙකෙං ගාන හොයාගන්න පුළුවන්.


මං ලක්ෂ එකහමාරෙ පඩියක් දෙන රස්සා හෙව්වා. ඒකටත් රට යන්නම වෙනවා. පළමුවෙන්ම මතකෙට ආවෙ මැලේසියාව. එහෙ ඉන්න හිතවතෙක්ට බුකිය හරහා මගේ අවශ්‍යතාව කිව්වා.


"Ha ha haaa.baha mehe baha ...ekahamarak hoyanna baha.ITkenekutath,ganna baha accounter kenekuta ekahamaarak gatahaki.nattam amaruyi"


ඉතුරුවුනේ මගේ පොඩිකාලෙ ඉඳන් හීනෙ විතරයි. 


“ඊශ්‍රායලය සඳහා සාත්තු සේවක සේවිකාවන් අවශ්‍යයි“


අන්තර්ජාලය හරහා දැකපු දැන්වීමෙ තිවුන ආයතනයට කතා කළා. 


“අවුරුද්දකවත් කෙයා ගිවින් කෝස් එකක් ෆලෝ කරලා තියෙන්න ඕනි. එඩල්ට්ස් හෝම් එකකවත් ටූ ඉයර්ස් වර්ක් කරල තියෙන්න ඕන. ඒක චෙක් කරලා බලනවා. ෆෝටි ෆයිව් මිනිට්ස් අපේ ක්ලයන්ට් එක්ක ඉංග්ලිෂ් වලින් ස්පීක් කරන්න ඕන.“


ඉංග්‍රීසි නං බැරියැ. කෝස් එකක් කරලා වැඩිහිටි නිවාසෙක අවුරුදු දෙකක් වැඩ කරන්න ගියොත් මට ඉන්න වෙන්නෙ මහ පාරෙනෙ. ඒ අතරෙ මේ නීතිය වෙනස් වුනොත් මට අතු දෙකම නෑ. මං ඒ වැඩෙත් අතෑරියා. 


කොරියාවට, ඉතාලියට යවන  රස්සා ගැන දැන්වීම් තිබුනත් එව්වයෙ රස්සාවට යන්න වීසා එන්නත් කලිං ලක්ෂ පහක්, හයක් ඉල්ලනවා. ඒ හංදා ඒ පාර අතෑරලම දැම්මා. අන්තිමට මං මුලටම වැටුනා. මුලටම වැටිලා මුල ඉඳං උඩ බලාගෙන කල්පනා කලා. අන්න එතකොට මට මතක් වුනා බ්ලොග් එක. ලියන්න දෙයක් නැතුව උඩ බලාගෙන හිටපු මං මගේ ප්‍රශ්නෙ ගෙඩිය පිටිං ගෙනැත් මෙතන අතෑරියා.


ඉතිං නෝනාවරුනේ, මහත්තුරුනේ තමුන්නැහැලා දන්න ක්‍රමයක් තියෙනං මට පාරක් හදලා දෙන්න. මේ වෑයම ගෙයක් දොරක් හදාගන්න, වයසට ගියහම පණ කෙන්ද ගැටගහ ගන්න ක්‍රමයක් හදාගන්න, පිනක් දහමක් කරගෙන කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන්නයි. සතෙක්ටවත් මනුස්සයෙක්ටවත් හානියක් කරදරයක් නැතුව කරන්න තියෙන ඕනිම රස්සාවක් මට කරන්න පුළුවනි. 


හැබැයි, මට ඔබට දෙන්න පුලුවන් වෙන්නෙ ඔබේ නම්බුව කාබාසිනියා නොකරන පොරොන්දුවත්, පිං අනුමෝදනා කිරීමත් විතරයි. ඉස්තූතියි.










Sunday, August 7, 2016

මොටෝ සයිකල් හෙවත් for what cycles

මහන්සියක් නැතුව ගමනක් යන්න නං ගන්න තියෙන මිල අඩුම වාහනේ මෝටර් සයිකල් එක. ඕක ලියන කොට ලියන්නෙ යතුරු පැදිය කියලා. ඒ වුනාට එතැන සිංහලේ වැරදියි වගේ නේද? පයින් පදින එක පාපැදිය නං එන්ජිමෙන් පදින එක එන්ජින් පැදිය මිස යතුරු පැදිය වුනේ කොහොමද? අනේ මංදා නේද? 

ඕකට මෝටර් සයිකලය, මෝට සයිකලය,  මොටෝ සයිකලය, කියලා කිව්වට අපේ ආච්චම්මා කියන්නේ "හුටු හුටුව"කියලා. 


"ආං අර බෙහෙත්තෙල් පියදාසලෑ ලොකු එකත් හුටු හුටුවක් කකුල් දෙක අස්සෙ ගහං ගියෙ  පල්ලැහැ  පැත්තෙ. ආණ්ඩුව පෙල්ලුනත් හරි ඌනං සස්සාවකුත් හදං හුටු හුටුවකුත් ගත්තා "


අපේ ආච්චම්මා කියන්නෙ අහස් කූරක් උඩ ගියා වගේ පුපුරා හැලෙමින් (පුපුරා හැලෙන්න නං උඩදි පුපුරන්න ඕනෑ). ඒ වුනාට අපේ ගමේ මෝට සයිකල් තිවුනෙ කිපයයි. එකක් තිවුනා වසන්ත බාප්පා ගාව. එයා මැණික්කාරයෙක්. එයා ගාව තමයි අපේ ගමේ තිවිච්චි විසාලම බයිසිකලේ තිවුනෙ. ඒකෙ දුං පිටවෙන්න සයිලන්සර දෙකයි. බයිසිකලේ කලුම කලුයි. දෙපැත්තෙ රත්තරං පාට අකුරු ලියල තියෙනවා. 125 කියල ඉලක්කමකුත් ලියලා තියෙනවා.  ඒක ඉස්ටාක් කරන්න කකුලෙං අනින්න ඕන්නෑ. එයාට යන්න ඕනැ කියලා හිතිලා "එහෙනං මං යනව" කියල අනික් අයට කියලා හෝන්නෙක ගහන මොට්ටුව ඔබපු ගමංම බයිසිකලේ ඉස්ටාක් වෙනව. හරියට චංදරෙ මාමලෑ නැන්ද අඬන්න පටං ගන්නවා වගේ "හුරු හුරු හුරු හුරු හුටුස්" කියලා. ඒකෙ සද්දෙත් ගෑනු කෙනෙක් තමුං මිනිහගෙං ගුටි කන හැටි තවත් ගෑනියෙක් එක්ක කිය කියා අඬනවා වගේ. ලොකු පෙනුමක් තිවිච්චි ඒ බයිසිකලේ හදපු ඈයො ඒකට ගෑනු සද්දයක් හයි කෙරුවෙ මොකද කියන එක මට හරිම ගැටළුවක්.




එ් වගේම සුදු සරං කමිස ඇඳල ඔලුව නැති ටෝච්චෙක ඉනේ ගහගෙන ඉන්න මැණික්කාරයෙක් වෙච්චි නාවලවත්තෙ රාජ මාමා ගාව තිවුනෙ බංකුවක් ඉතර උස හිරමනේකට වඩා ඩිංගක් දිග බයිසිකලෙයක්. ඒකෙ රෝද මං පොඩි කාලෙ පැදපු රෝද තුනේ බයිසිකලේ රෝදෙයක් ඉතර පොඩියි. ඒකෙ සයිලන්සරේ අග බොහොම පුංචියි. ලිපට පිඹින බටේටත් වැඩිය පුංචියි. ඒකෙ පිටිපස්සෙ තිවිච්ච ලැගිජ් කෑල්ලෙ කොස් කොලයක් ඉතර පොඩි සීට්ටෙකක් තිවුනට කවුරුවත් ඒකෙ නැගිලා ගියේ නෑ.



අනික් බයිසිකල් ටික තිවුනේ කනත්තෙ ගෙදර අය ගාව. එයාලා ඔක්කොම ඉස්කෝලෙ මහත්තුරු. ඒ ගොල්ලං කසාද බැඳල හිටියෙත් ඉස්කෝලෙ නෝනලා. කනත්තෙ වැඩිමල්ම ඉස්කෝලේ මහත්තයා ගාව තිවුනෙ මජ්ගාඩ් දෙක අලුත් සැමන් ටිං එකේ කොලේ ගැලේව්වහං තියෙන පාටට දිස්නෙ ගහන පාටක් තියෙන බයිසිකලයක්. ඒකෙ ඉස්සරහ නොම්මරේ ගහල තිවුනෙ කුකුලගෙ ඔලුවට උඩිං කරමලේ හයිකලා වගේ මජ්ගාඩ් එකේ දිග අතට. ඒ බයිසිකලේටත් හයිකරල තිවුනෙ වැරදි සද්දයක්. කුරුමිනියෙක්ගෙ සද්දෙ වගේ එකක්. හැබැයි මට නං ඒ සද්දෙට මතක්වෙන්නේ අපේ ආච්චම්මගෙ ආහාර මාර්ගෙ පහල කෙලවරිං පිඹින නලා හඬ. එයිටම ගැලපෙන නිල්පාට දුං පාර සයිලන්සරෙං කට පුරෝලා විදිනවා. ඒ කියන්නෙ වසන්ත බාප්පගෙ සයිලංසර දෙකේ බයිසිකලේට වඩා මේ බයිසිකලේ හයිය ගාය වැඩියි. ඒකනෙ හොඳට දුං දාන්නෙ. ඒ බයිසිකලේ යන වේගෙට පස්සෙං එලවලා අල්ලන්න මටත් පුලුවං.



ඒ මහත්තයගෙ මල්ලි ගාව තිවුනේ ඒ වගේම සද්දෙ වෙනස් බයිසිකලයක්. ඒකෙ දුං අඩුයි. සද්දෙ වැඩියි. ඒකෙ සද්දෙ එන්නෙ "කිරි පිටි පිටි පිටි පිටි" කියලයි. ඒ වගේම තමයි හුඟක් දුර තියා සද්දෙ ඇහෙනවා.



වත්ත පාරෙ එහා කොනේ කොරියං කන්දෙ ඉන්න ඩැයිබර මාමා ගාව තිවුනේ රතුපාට බයිසිකලයක්. ඒකෙ ඉස්සරහ කූඩයක් තියෙනවා. පදින එක්කෙනාට ඉස්සරහිනුත් ලැකිජ්ජෙකක්. පිටිපස්සෙනුත් ලැකිජ් එකක්. ඒක පාං බයිසිකලයක්. එයා ගෙදර ඉඳං පුංචම්මලගෙ ගේ ගාවට වෙනකං බයිසිකලේ ඇහිල්ලා එතනිං බයිසිකලේ දා තියලා බස්සෙකට ගොඩවෙනවා. ඒ කාලෙ හැටියට අනුංගෙ බයිසිකලෙයක් උනත් තමුංගෙ ගෙදර තියෙන එක නම්බුවක්. ඉතිං අපේ ආච්චම්මයි ආතයි දෙන්නා ඒකට අව්ව වැටෙන්න නොදී හෙවන කරනවා. ලොකු පං පැදුරක් ගෙනත් බයිසිකලේ සම්පූර්ණෙංම වහනවා. සමහර වෙලාවට ඉටි කොල වලිනුත් වහනවා. ඉර දෙයියොත් ලේසියෙං අරින්නෑ. ටිකෙන් ටික ඉර එලිය එවන දිහාව වෙනස් කරනවා.  ආතයි ආච්චම්මයි දෙන්නත් ලේසියෙං අරින්නෙ නෑ. පැදුරු, ඉටිකොල, කොලපත් ආදිය ගෙනැත්, ලයිට්, අංක තහඩු, සයිලන්සර්, සීට් ඇන්ජිං ආදී සේරම අවයව වැහෙන්න ඒ ඒ අතට බයිසිකලේ වහනවා. ඔන්න එතකොට ඉර දෙයියට සපෝට් එකට හුලං කුමාරයත් එනවා. එයා අර සේරම වැහුං එක හුලං පාරෙං වට්ටලා දානවා. ඒත් අඹුසැමි ශක්තියට සොබාව දර්මෙ යටයි. ආතා පැදුරට උඩිං කොටයක් තියනවා, ආච්චම්මා පොල් පිති දෙක තුනක් ගෙනැත් පැත්තෙන් තියෙන ඉටිකොලේට රුකුල්ලනවා. ආතා ඉස්සරහ ලැයිට් එක වැහෙන්න දෙකට නමල දාපු කොලපතට බර හිටින්න වේග මීටරේ උඩිං බොලොක්ගල් බාගයක් තියනවා. මජ්ගාඩ්ඩෙක වහපු ඉටිකොලේ සොකට් දෙකට තියලා කොහු ලනුවකින් බඳිනවා. අන්තිමට ඉරත් හුළඟත් පරදිනවා. පැටියා ඇහිල්ලා එතන ඉව කරලා මේ අරුම පුදුම පරුවතේ මොකද්දැයි බලනකොට ආතා උටත් කෝටුව උරුක් කරනවා.


"දාබ්බල්ලා දාබ්.... ජිප් කිව්වං අහල"


එතැං පටං කඩේ ගාවට එන හැමෝටම ආතගෙං හරි ආච්චම්මගෙං හරි අහන්න ප්‍රශ්ණයක් තියෙනව. ඒ වගේම ඒකට ලැබෙන උත්තරත් තියෙනව.


"මොකද්ද මාමෙ මේ කවර කෑලි ඔලිං වහල තියෙන්නෙ. දල්ලොරියෙං පෝර ගෙනබ්බෑවද?"



සමහරු ඒ අරුම පුදුම පොදියට ඇනලත් බලනවා.


"යූරියද, ඩොලමයිද්ද?"


"මෙච්චර ගොඩත්තියෙන්නෙ නාරගල්පිටියෙ ඇයගෙව්වත් එක්කද?"


තමුන්නෙ ආරස්සාව යටතෙ තියෙන වාහනේට එක එකා කියන කයි කතන්දර ඒ දෙන්නට අල්ලන්නෑ.


"කෙහ්හෙම්මල් පෝරෙයක් නෙමෙයි. ඔය ඩැයිබර ලමයෑ මොටෝ සයිකලේ"


මේ තරං විසාලෙට වහල තියෙන පොදිය බයිසිකලයක් බව පිලිගන්න ඒ ගොල්ලො කොහෙත්ම කැමති නෑ.


"මෙයාකාරෙට වහල තියෙන්නෙ එහෙනං"


"වහ තියන්නැතුව කොහොමෙයි. අව්ව සැර වැදුනහං ඉහ්මන්ට සවුත්තු වෙනවනෙ. අනික ඩැයිබර ලමය විස්සාසවන්තකමට මෙතන දාල යන දේ පරිස්සං කරන්න එපෑ. අපේ ගෙදර මිසක්ක වෙන තැංඔල දාල යන්නෙත් නැත්තෙ ඒකනෙ."


අන්තිමට හවස් වෙලා ඩැයිබර මාමා එනකොට එයාගෙ බයිසිකලේ පැදුරු, ඉටිකොළ, කොලපත් පෙරෝගෙන බුදි. කොහුලනු කපලා, කවර ලිහලා, පොල්පිති අහක් කරලා බයිසිකලේ බේරගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ අතරෙ කොලපතට උඩිං තියපු ගල් ගෙඩිය මැද ලැගිජ්ජෙක උඩට වැටෙනවා. ඒ වගේ බර තියාපු කොට කෑලි, ගල් ගෙඩි කකුල උඩට වැටෙන එකත් සාමාන්‍ය දෙයක්. 


ඔය බයිසිකලෙන් තමයි අපේ මාමත් බයිසිකල් පැදිල්ල පුරුදු වුනේ. අපේ තාත්තත් සමහර වෙලාවට කවුරුවත් නැතුවං සතපහේ කාසියක් හරි හැට්ට කට්ටක් හරි ඔය බයිසිකලේ යතුරු සිදුරට දාලා කරකෝලා ඒක ඉස්ටාක් කරගෙන කෙටි දුර ධාවනයේ යෙදෙනවා. හැඩල්ලෙක කරකෝපු ගමං ලාම්පුතෙල් පාර කාපු ගැරඬියා වගේ සුරුස් ගාලා ඇදෙන බයිසිකලේ හැඬල් එකේ එල්ලීගෙන අපේ තාත්තත් ඇදිලා යනවා. ඔය සූත්තරේ දැනං හිටිය මම දවසක් සත පහක් දාලා බයිසිකලේ කොලපාට බලුප් එක පත්තු කරාට නිවාගන්න බැරිවෙලා ඒ හොර වැඩේට කන කොකා ඇඬුවා.


ඉං පස්සෙ අපේ මාමත් රතුපාට බයිසිකලයක් ගෙනාවා. ඒක ගෙනාවෙත් ඩැයිබර මාමත් එක්ක ගිහිල්ලා. බයිසිකලේ ඉස්සරහයි පිටිපස්සෙයි ලොකු කාඩ්බෝඩ් කෑලි දෙහෙක රතු පාටිං 


චන්දිම ට්‍රේඩි සෙන්ටර්
ඇඹිලිපිටිය


කියලා ලියලා තිවුනා. ඒක ගෙනා පලවෙනි දවසෙම මහ සෙනගක් කඩේ ඉස්සරහ හිටියා. මාමාගෙ බයිසිකලේ බලන්න. ඒ සෙනගට පෙන්නන්න හංදා මාමා අලුත් බයිසිකලේ ගෙයිං එලියට ගත්තා.


"ඉස්කෝලෙ මහත්තයට ඕක පදින්න බැරියැ."


"ඔව්වයියෙ ජිංගක් ඉස්ටාක්කොල්ල වටෙයක් ගිහිං එන්නකො"


"එහෙනං. හැමදාම ඩැයිබර උන්නැහැට කරදර කලහැක්කැ"


ඉතිං අපේ මාමත් මහ සෙනග ඉස්සරහ අලුත ගෙනා මනමාලිගෙ අතිං අල්ලනවා හා සමාන විලි බියකිං බයිසිකලේට නැගලා යතුර කරකෝලා කොලපාට බලුප්පෙක පත්තු කරලා දකුණු කකුල ඉස්සුවා. බයිසිකලේ ඉස්ටාක් කරන අණ්ඩට ඒ කකුල තියලා උඩ පැන්නා. මාමා පහලට එනකොට ඉස්ටාක් කරන අණ්ඩත් පහලට ආවා මාමව ඥක් ගාලා සීට්ටෙකේ ඇනුනා. කකුල් දෙකම උඩ හිංදා පෙල්ලෙන්න ගියා. වටේ හිටපු දුසිමක් විතර පැනලා මාමගේ ඇඟෙයි බයිසිකලෙයි අහුවෙන හැම කෑල්ලෙමයි එල්ලිලා එයාව බේරගත්තා. 


"ඩැයිබර ලමෙයත් කිව්වා මුට මුලිම්ම බයිසිකලේ ඉස්ටාක් කොරන්න දැනගන හිට කියලා. මූ ඇහුවෙ නෑනෙ."


ආතා මාමව වරදකරු කෙරුවා.


"අනෙයන්තාත්තෙයන්න. මට බැරුව නෙමෙයි. මේක අලුත් පිට හංදා ඩිංගක් අමාරුයි"


මාමත් ආතට එක වචනෙං කාරනේ පැහැදිලි කලා. ඔය විදිහට වටේ හිටපු පනහක් විතර කට්ටිය මාමවත් බයිසිකලෙත් අල්ලං හිටිද්දි දහ දොලොස් වතාවක් උඩ පැන පැන ඒ සමාන වාර ගනනක් පස්සත් සීට් එකේ ඇනගෙන අන්තිමේදි බයිසිකලේ ඉස්ටාක් කරගත්තා. මාම අතිං හැඩල්ලෙක කැරකිලා වැඩිවෙලා බයිසිකලේ 'රේසිං බයිසිකලයක්' වගේ මරහඬ දුන්නා. වටේ හිටිය අය ඔලුව හැරිච්ච අතේ දිව්වා. ලැකිජ්ජෙකෙං අල්ලං හිටිය අපේ තාත්තා විතරක් ඉතුරු උනා. එයාට හොඳට හරක් ආංබාං කරන්න පුලුවං.


මාමා හැඩල්ලෙක ආපස්සට කැරකෙව්වා. ඒ ගමන සද්දෙ අඩුවුනා. 


"බබබබබය වෙන්නෙපා. එහෙම යන්නෑ. ඉස්ටාක් කොලාට. ජියර් දාන්නැතුව යන්නෑ"


මාමා වෙව්ල වෙවුලා කරුණු පැහැදිලි කරා. ජනතාව ආපහු ඒකරාශී වුනා.


"දැං පොඩ්ඩක් රවුමක් ගියානං හරි. මල්ලියෙ"


"ඔව්වොව් "


කීප දෙනෙක් මාමව උසිගැන්නුවා.


"කොහෙ කියලා යන්නද. දැං යන්න ගමනක් නෑනෙ."


මාමා වැඩෙං මගාරින්න හැදුවා.


"නිකං පාරෙ ඩිංගක් දුර ගියානං හරි"


ජනතාව එක හඬිං කියා හිටියා.


"වත්ත පාරෙ යන්න. වාහන ඇත්තෙම නෑනෙ"

කොටසක් අය කිව්වා.


"මහ පාර දිගේ අතුලගෙ කඩේ ගාවට ගියානං හරි"


තව කොටසක් කිව්වා. මාමා සෑහෙන වෙලාවක් හිතලා ජියර් එකට කකුල තිබ්බා. අම්මලා ලමයි වඩාගත්තා. 


"චකස්"


මාමා ජියර්රෙක දැම්මා. බයිසිකලේ ගැස්සුනා. මාමා හැඩල්ලෙක මිරිකලා අල්ගත්තා. හැඩල්ලෙක කරකැවුනා. පැටියා නාටු බල්ලන්ට පනිනව වගේ බයිසිකලෙත් මිනිස්සු ඉස්සරහට පැන්නා. මාම තව හයියෙං හැඩල්ලෙකේ එල්ලුනා. බයිසිකලේ සීට්ටෙකේ අග මොල්ලිය වගේ කෑල්ල මාමගෙ සරමෙ මැදට ඇන්නා. ඒ ගමන මාමව සීට්ටෙක උඩට වැටුනා. ගෑනු ලතෝනි තියාගෙන දිව්වා, පිරිමි සරොං කැහැපොට ගහගෙන දිව්වා. අපේ තාත්තා ලැගිජ්ජෙකේ එල්ලුනා. බයිසිකලේ කෝපි පඳුර දිහාවට පැන්නා.


"මල්ලියේ හරෝපාාාාාාං"


ලොකු පුංචම්මා ලතෝනි දුන්නා. 


"බේක්කල්ලහං යකෝ"


ගුණපාල බාප්පා බත් පංගුව අතේ තියාගෙන සාලෙ ඉඳං බෙරිහං දුන්නා. කවදත් වැඩිහිටි උපදෙස් ගරුකරන අපෙ මාමා ඒ උපදෙස් අනුගමනය කලා. බයිසිකලේ හැඩල්ලෙකේ ඉස්සරහ උඩ ගියා. මාමව ආපස්සට වැටුනා. අපේ තාත්තා මාමව ඔඩොක්කුවෙ තියාගෙන බිම වැහ්නා. බයිසිකලේ පැත්තකට පෙරලිලා පස්සෙ රෝදෙ කැරකුනා. මං ආච්චම්මගෙ කාමරේ ඇඳ උඩට නැගලා ඉඳං ජනේලෙං බලං හිටියා. තමුංගෙ මස්සිනා නැගිට්ටං පස්සෙ නැගිටලා ගිය අපේ තාත්තා බයිසිකලේ යතුර ආපස්සට කරකෝලා ඒකෙ ඉස්ටාක් එක නැවැත්තුවා. මාමා ගෙට වැදුනා. රැස්ව සිටි පිරිස



"ඉස්කෝලෙ මහත්තයා අලුතිං බයිසිකලෙයක් ගෙනැත් පාර මැද්දෙ දෙරි ගැහුවා"


කියන පණිවිඩේ ප්‍රචාරය කිරීමේ අරමුණින් විසිර ගියා. අසරණ බයිසිකලේ පාර මැද ඉතුරු උනා. මේ තරං හපංකමක් කරපු බයිසිකලෙයාට කිට්ටු කරන්න කවුරුත් කැමති උනේ නෑ. මාමා ඒක ගෙට ඇරං දානු ඇතැයි හිතලා අනික් අය තම තමංගෙ ගෙවල්වලට ගියා. අනික් අය ඒ වැඩේ කරනු ඇතැයි කියලා හිතලා මාමා ලැජ්ජාව වහගන්න එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. අන්තිමට බයිසිකලේ රැයක් එලිවෙනකං ගෙදර මිදුලේ වැටිලා තිවුනා. අන්තිමට පහුවදා උදේ අපේ තාත්තා දලු කඩන්න යන ගමං දැකලා බයිසිකලේ ඇරං ගෙට දාලා තිවුනා.


අදටත් අපේ මාමට හරි හමං විදිහට මොනම වාහනයක්වත් එළවගන්න බෑ කියලා මට හිතෙනවා. මීට අවුරුදු දෙක තුනකට කලිනුත් දෙවෙනි ජියර් එකේ අදින්නෙ නැති කඳුවලදි අපේ මාමා තුංවැනි ජියර්රෙක දාලා පයිං පොලවට ඇන ඇන යනවා මං දැකලා තියෙනවා. ඒවගෙ වෙලාවට


"ඕක පස්ටෙකට දැම්මනං අදිනවනෙ"


කියලා කවුරුහරි කිව්වොත්


"ඕන්නෑ මේ ඩිංග යන්න මොකටෙයි ආයි ජියර් මාරු කොල්ලා."


අපේ මාමා උත්තර දෙනවා.