Follow by Email

Sunday, June 26, 2016

තුන් සක් රිය 2


මං ඔය පෞරාණික ත්‍රීවිල් ගැන කිව්වට ත්‍රීවිල් වල වර්තමානය ගැනත් කියන්න එපෑ. නේද? ඔය කලිං කියපු කොලපත්ගොටු කීපෙ ඇරෙන්න වෙනිං කුලී වාහනයක් තිබුනෙ නෑ අපේ ගංවල. ඔය ගංවල ත්‍රීවිල් එකක් තියෙන කීපදෙනෙක් එක්කහු වෙලා මානාන ටවුමෙ මුලින්ම හයර් යන ත්‍රීවිල් පොලක් දැම්මා. බස් නවත්තන පොල බස්පොල වගේ ත්‍රීවිල් නවත්තන පොල ටීවිල් පොල උනා. ඔය විදිහට පෙරහැර පොල, තොවිල් පොල, ආදී පොලවල් බර ගානක් තියෙනවනෙ. ඉතිං ඔය තීව්ල් පොලේ ටීවිල් දෙක නැත්තං තුන නැවැත්තුවෙ කඩ පේලියක් ඉස්සරහ. උදේ හිටං රෑ වෙනකං ඔහේ තීවිල්ලෙකට වෙලා දත නියවාගෙන ඉන්න කීප දෙනාට දත නියවාගෙන හිටියත් කමක් නෑ වගේ. සමහරුන්ට දවසකට හයර් එකක්වත් නෑ. එන හයර් එකවත් තමුං කියන ගානට අඩුවෙං යන්නෙත් නෑ. 


ඉතිං ඔය කාලෙදි හයර් එකක් කියලා එන්නෙ අලුත උපං ළමෙක් ගෙදරට එක්කං යාම, ගෙදරකට අලුතිං කැසට්ටෙකක්, ටීවියෙකක් ගෙනියෑම (ටීවියෙකේ පෙට්ටිය, ඒ කියන්නෙ හිස් පෙට්ටිය ගිනියන්නෙ වහලෙ උඩ ගැටගහල. එතකොටනෙ ගමම දැනගන්නෙ ටීවියෙකක් ගේනව කියල), මගුලක් බලන්න යාම, ලයිස්පීකර් සැට්ටෙකක් බැඳං එලවුන්ස් කිරිමට යාම, දාන වලට හාමුදුරුවරු වැඩැම්මවීම, වගේ විශේෂ අවස්ථාවක් ඉතරයි. ඔය වගේ ගමනක් ගියහම ඒ ගෙදරිං කන්න බොන්න හිට හම්බුවෙනව. ඒ තරං ඉහළ තත්වයක් ඒ කාලෙ තීවිල් එලෝන අයට තිබුනා. ඒ දවස්වල ටවුමෙ මැණික්කාරයො, කඩ මුදලාලිල ගානටම ඉහළ පැලැන්තිය තමයි තීවිල් එලෝන අය. ඒ කවුරුත් අතේ ඔරලෝසුවක්, චේන්නෙකක් බැඳල, කරෙත් චේන්නෙකක් දාලා, නිල්පාට පෝසත් සරොං ඇඳලා එහෙමත් නැත්තං දික්කලිසං ඇඳලා එක පිලිවෙලකට තමයි උන්නෙ. ඒ ගොල්ලං තීවිල්ලෙකේ ඉස්සරහ සීට්ටෙකේ එක පැත්තකට හැරිල ඉඳගෙන, උරිස්ස තීවිල්ලෙකේ බටේකට හේත්තු කරගෙන, යතුරු අටක් දහයක් තියෙන, මල්, මාලු, ධර්මචක්කර, දිග ඉස්ප්‍රිං වගේ රබර් වැල්, අස්සට වතුර පුරෝල සෙල්ලං මාලු දාපු බෝකොල, ආදී හැටහුටාමාරක් අරුමෝසං එල්ලපු යතුරු කැරලි කරකෝ කරකෝ තමයි උන්නෙ. එක පැත්තකට වට තුනයි. අනික් පැත්තට වට තුනයි. ආයිත් ආපස්සට වට තුනයි.



ඔය විදිහට ත්‍රීවිල් තුනකිං පටං ගන්න මානානෙ තීවිල් පොල තව ටික කාලයක් ගිහිං, ඒ කියන්නෙ මං සිස්සත්වෙ එහෙම පාස්වෙලා ඒ ලොකුකම පිට ජාතික පාසලට ගිය කාලෙ වෙනකොට තීවිල් පහලොවක් විස්සක් ඉතර තියෙන තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ වගේම ටිකක් මැදි වයසෙ "තීවිල් එලෝන අය" වෙනුවට සාමාන්‍ය පෙලින් ඉහලට ඉගෙනීම අමාරු වෙච්චි, ඒ වුනාට සල්ලි තියෙන, වයස විසිගනංවල "තීවිල් කාරයො" බිහිවෙලා ඉවරයි. මේ එක්කම තිවිල්ලෙකත් මැදි වයසෙන් තරුණ වයසට අඩිය තියනව.


ඉස්සර තීවිල්ලෙකේ නම විතරක් ගැහුවට මේ තීවිල්කාරයො තීවිල්ලෙකට නොයෙක් ආලවට්ටං දානව. නිකම්ම තට්ටෙ වගේ තියෙන තීවිල්ලෙකේ නලලට පොඩි තොප්පි කෑල්ලක් වගේ එකක් හයිවෙනව. ඒක හයිකරන්නෙ මූනට ඉර එලිය වැටීම වලක්කන්න උනත් තීවිල්ලෙකේ නාකි පෙනුම ටිකක් ඒකෙං මග ඇරෙනව. ඒත් එක්කම නිකම්ම නිකං කලුපාට ඉපල් කෑල්ලක් වගේ තියෙන තීවිල්ලෙකේ මූන පිහින "බාරියාව"ට උඩිං ටිකක් මහත පාට පාට පටිකෑලි ඇලවෙනව. ආයිත් ඉස්සරහ මූනෙ උඩිං අඟල් තුන හතරක පටියක් කලුපාට වෙනව. ඒත් එක්කම තීවිල්ලෙකේ නමටත් නොයෙක් වෙනස්කම් වෙනවා. ඉස්සර නිකම්ම "සමන්" කියලා ගහපු නම දෙකට බෙදිලා

සමන්                                             මල්ලි

කියලා තීවිල්ලෙකේ කම්මුල දෙපැත්තෙ වදිනවා. ඔය විදිහට "සුදු පුතා", "චූටි මල්ලි", "චන්ඩි මල්ලි", "පාල අයියා" වගේ නං තීවිල් වලට වැටෙනවා. ඔය අතරේ තමුංගෙ බිරිඳට, පෙම්වතියට තියෙන ආදරේට සමහරු තිවිල්ලෙකේ නම ගහන්නෙ "සුදු               මැණිකේ", "රේණු", "සේපාලි" ආදී වශයෙන්. සමහරු තමුංගෙ ළමයින්ට තියෙන ආදරේ වැඩිකමට "හැඩකාරී දුව සඳමාලී" වගේ නං ගහගන්නවා. ඒක දැකලා ඒ ගෙවල් පැත්තෙ රවුං ගහන කොල්ලො ගානත් වැඩිවෙනව. අපේ පවුලෙං මුලිම්ම තිවිල්ලෙක ගෙනාවෙ ලොකු පුංචම්මගෙ පුතා. උගෙ තීවිල්ලෙකේ පිටිපස්සෙ මැද වීදුරුවෙ ලොකු ජම්බු පොකුරක් ඇඳල ඊට උඩිං ලොකුවට "ජම්බු" කියලා ලියල තිබ්බා. ඌ ඒ දවස්සල යාළු කරං හිටියෙ අපේ පන්තිවල හිටපු ඉහත කී පලතුරේ නමිං හැඳින්වෙන, පස්ස ලොකු කෙල්ලෙක්ව.



ඔය විදිහට නං විතරක් වෙනස් කරලා මදි හින්දාද කොහෙද පොඩි පොඩි වාක්‍ය වදින්න පටං ගන්නව තිවිල් එකේ පිටිපස්සෙ. ඒකට ඉඩ තියෙන්නෙ පිටිපස්සෙ වීදුරුවට යටිං. රුපියල් දහයෙ කොලේ පලල තරං උසට. කළු පාටට හුරු දුඹුරු පාට රෙද්දේ සුදු පාට අකුරිං වැකි ලියවෙනවා. මුලින්ම ලියවුනේ "අතහිත - මහජන බැංකුව" වගේ වැකියක්. නමුත් සමහරුන්ට අතහිත ලැබුනෙ අම්මගෙං තාත්තගෙං, නෑදෑයංගෙ. එතකොට මේ වැකිය වෙනස් වුනා.


"අතහිත අම්මාගෙන් හොඳ හිත තාත්තාගෙන්"

"අතහිත නැන්දම්මාගෙන්"

සමහර තීවිල් අරං තිවුනෙ පිටරට ගිය බිරිඳ, අක්කා, නංගී එවාපු සල්ලි වලිං. ඒවායෙ ලියල තිවුනෙ


"අතහිත බිරිඳගෙනි"

"අතහිත අක්කාගෙනි"


ඔය වැඩේ බිල්ඩිංවල සමරුඵලක හයිකෙරිල්ල වගේ ටික කලක් කෙරුනත් පස්සෙං පහු ලීසිං සමාගම් එහෙම ආවත් එක්කම කාගෙවත් "අතහිත" නැතුවට ඕනැ කෙනෙක්ට තීවිල් ගන්න පුලුවං උනා. ඉතිං ඔය 'අතහිත'ට වෙං වුන තැන සිංදුපද අරක් ගත්තා. ඒත් මුලින්ම ආවෙ මව්ගුණ.


"කලාවැවේ නිල් දියවර අපෙ අම්මා......"

"අම්මා පෙව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩවුනේ"


ආදී වශයෙං පටං ගත්ත සිංදු කෑලි කලිං කලට ජනප්‍රිය වෙන සිංදුත් එක්ක වෙනස් වුනා


"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගනී"


"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"


"කලු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී"


හැබැයි සිංදු වලටත් වැඩි කල් ඔය පස්ස කෑල්ලෙ එල්ලිලා ඉන්න බැරිවුනා. සමහර සින්දු පද වෙනස් වුනා.


"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්"


"අයිසැක් නිවුටන් අපිත් දකින්නැති ගනන් හදන්නැති ඒ කාලේ
කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත් මහපාරේ"


ඒ අතරෙ ජීවන අත්දැකීම්, ආප්තෝපදේශ, අවවාද ආදී නොයෙක් වැකි මෙතැන අරක්ගත්තා. දැං ත්‍රීවිල්වල පිටකොන්දෙ තියෙන්නෙ ඉංග්‍රීසි රුවන් වැකි.



මේ වගේම එක එක ස්ටිකර් වැඩ කරන තැන් දෙක තුනක්ම ටවුම අවට බිහිවෙන්නෙ ඔය එක්කමයි. බංකු කොටයක් උඩ ඉඳගෙන. නැත්තං ඒක උඩ නැගගෙන තීවිල්වල අකුරු අලවන "ප්‍රීති කුමාර" ඒ දවස්වල සෑහෙන පෝසතෙක්.


ඔය වගේම තමයි තීවිල් එහෙකට නැතුවම බැරි "සෙට්ටෙක". ඕකට මුලින්ම කිව්වෙ කැසට්ටෙක කියලා. තීවිල්ලෙකට එන පොඩි බැට්ටිය මාරු කරලා ඒ වෙනුවට ටිකක් ලොකු බැට්ටියක් දාලා කැසට්ටෙකක් හයි කලාම ඒකට ලැබෙන හයර් වැඩිවෙනවා. කවුරුත් කැමතියිනෙ සල්ලි ගෙවල යන එකේ සිංදුවකුත් අහන්න. කැසට්ටෙකක් හයි කලා කියලා මිනිස්සුන්ට පෙන්නන්න ඕනැ හිංදා තීවිල්ලෙකේ ඉස්සරහ නලලෙ කොනකිං හයිකරනවා ඒරියල් කූරක්. ඒකෙ මුල තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ ලියල තියෙනවා KOSHI කියලා. ඉස්සරම ආපු කැසට්වල කැසට් පීස් දැමිල්ලත්, රේඩියෝ දැමිල්ලත් ඇරුනුකොට වෙනිං මොනවත් දාන්න බෑ. ඔය කැසට්ටෙකත් එක්කම කැසට් පීස් ගබඩාවකුත් තියෙන්න ඕනෑ. සමහරු තීවිල්වලට හයිකලේ ජපන් වාහනවලිං අයින් කරපු විසාල කැසට්. ඒ වගේ එකක් මලලසේකර ශබ්දකෝෂය වගේ දෙකක් විතර ඝණකමයි. බරත් ඒ වගේම ඇති. එව්වා තීවිල්ලෙකේ වෙනම පෙට්ටියක් ඇතුලෙ හයිකරලා අල්මාරි යතුරු තහඩුවකුත් අල්ලලා තියෙන්නෙ. දැං නං රිවස් කැමරා, අඟල් හතේ තිර තියෙන සිනමා ශාලා වගේ එව්වත් තියෙනවා. ඉස්සර වගේ කැසට් දාන්නෙ නැති හංදා දැං තීවිල්වල තියෙන සිංදු අහන එව්වට කියන්නෙ නිකම්ම "සෙට්ටෙක" කියලා.

මෙන්න මෙව්ව තමයි සෙට්


ඔය තිවිල්ලෙක කොහොම හදලා ආවත් ඒකෙ සමහර තාක්ෂණික අඩුපාඩුත් තියෙනවා. ආං එව්වා හදලා මිසක් අපේ අයියලා "වන්ඩිය" පාරට දාන්නෙ නෑ. මුලිම්ම රෙද්ද. රෙද්ද කිව්වෙ තීවිල්ලෙකේ වහලෙ සහ පිටකොන්ද වහල තියෙන ඝනකම රෙද්ද. තීවිල්ලෙකක් අලුතින්ම එනකොට තියෙන ඔය රෙද්ද වචනයේ අර්ථයෙන්ම රෙද්දක්. ඒක වැස්සකට ඔරොත්තු දෙන්නෙ නෑ. අනික ඒක හයිකරලා තියෙන්නෙත් රැලි හිටින්න. නිකම්ම නිකං පැලක් හෙවිල්ලුවා වගෙයි. ඒ හංදා මුලින්ම ඔය රෙද්ද ගලෝලා දාලා අලුතිං රෙද්දක් ගහන්න ඕනැ. ඒ කරද්දි වහලෙ මැදට එන බට ටික මැදිං කපලා අඟල් කීපයක් උස්සලා හදාගන්නත් ඕන. ඉං පස්සෙ රෙද්ද හොඳට ඇදලා හයිකරගන්න ඕන. ආං එතකොට රෙද්ද නිකම් මැද්දා වගේ තියෙනවා. තව ලෙඩක් තමයි ඔය රෙද්ද දෙපැත්තෙං වතුර බේරිලා ඇතුලටත් හැලෙන එක. ඒකට වෙනම පීලි දාන්න ඕන. අන්තිමට ඒ වතුර ටික ඉස්සරහිං දුරට විසිවෙන්න පොඩි පුනීල වගෙ ගැජමැටික් එහෙකුත් හයිකරන්න ඕන. තිවිල්ලෙකේ සයිඩ් කන්නාඩි (හරිම සිංහල වචනෙ හොඳේ) කොහේ හරි වැදුනොත් ගැලවිලා වැටිලා බිඳෙනවා. ඒ හංදා ඒකට වෙනම වයර් කෑල්ලක් දාගන්න ඕන ගැලවුනත් බිම නොවැටෙන්න. ඔය තීවිල් එක කැපෙන ප්‍රමාණය සිමා කරපු කට්ට දෙකක් තියෙනවා. එයිට වඩා කැපෙන්නෙ නෑ. ආං ඒවා කපලා අයිංකරලා දාන්න ඕන. අපේ රටේ ප්‍රවාහන අවශ්‍යතා අනුව සීමා මායිම් රහිත ධාවනයක් තියෙන්න ඕනෑ. ඉස්සරනං තහඩුවෙ යටි පැත්තට මල නොකන තීන්ත ගාන්නත් ඕන. ඒ වගේම තමයි බිමට කාපට් දාන්නත් ඕන. හුලං කපාගෙන ඉස්සරහට යද්දි කැපෙන හුලං ටිකක් රියදුරුගෙ මූනටත් එන්න ගැජට් වගයකුත් තියෙනවා. මට අහුනොවිච්ච මේ වගේ දෝෂ නිරාකරණය කිරීම් තියෙනවනං තව කියන්න ඕනෑ.

උපරිම වැඩ දැමූ රථයක්


මේ විදිහට එකම අච්චුවෙං එක බඩවැල කඩාගෙන එන තීවිල් සේරම අන්තිමට විවිධාකාරයෙන් වෙස් මාරු කරගෙන වෙනස් අය බවට පත්වෙනවා. "මුහුණ හදවතේ කැඩපතයි" කියලා කියනව වගේ මේ එක එක ත්‍රීවිල් එකෙන් ඒකෙ හිමිකාරයාගේ හදවත, සිතුම් පැතුම් කියවෙනවා. තීවිල්කරුගෙ හිත ත්‍රීවිල්ලෙකේ පිටෙනුත්, හැසිරීම වටෙනුත්, පිළිවෙල ඇතුලෙනුත්, ආගම භක්තිය ඉදිරියෙනුත්, ආදී වශයෙන් එක් එක් ස්ථාන වලින් පෙන්නනවා. 


මං කලිං කිව්ව වගේ තීවිල් තුනක් විතර තියෙන, "තීවිල් එලෝන අය" නැත්තං "තීවිල් ඩැයිබරල" හිටපු මානාන ටවුමෙ තීවිල් පොල ටික කලක් යනකොට "තීවිල් කාරයො" ඉන්න "පාක්කෙක" බවට පත්වෙනව. අවට ඉස්කෝල වලින් සාමාන්‍ය පෙළ යංතං පහුකරලා උසස් පෙළ පැනගන්න බැරිවෙන, අයියලා රැසක් සල්ලි හොයන ලේසි ක්‍රමයක් බවට ප්‍රසිද්ධ තීවිල් රස්සාවට බහිනවා. පරණ කීපදෙනා හැලිල යද්දි මේ අලුත් පිරිස තමුංගෙම උප සංස්කෘතියක් හදාගන්නවා. 


මේ පිරිසගෙන් බහුතරයටත් සල්ලි එතරම් වැදගත් නෑ. වාහනේ "පීනෑස්සෙක" ගෙදරින් ගෙවනවා. කන්න බොන්නත් ගෙදරින් හම්බුවෙනවා. හයර්රෙකක් දුවල කීයක් හරි ගත්තම ඇති. ඒ සල්ලි වලින් තමුන්ට කැමති ස්ටයිල් එකක් කරගෙන, තීවිල්ලෙකටත් කැමති ආට්ටෙකක් දාගන්නයි තියෙන්නෙ. මේං මේ කාලෙ තමයි තීවිල්ලෙකට "වන්ඩිය" කියන නම ආදේශ වෙන්නෙ. හැබැයි ඒක පාවිච්චි කරන්නෙ ඒ අය සහ ඔවුන්ගෙ යාළු මිත්‍රයො විතරයි.



මේ විදිහට පාක්කෙකට එකතු වෙන තීවිල් ගාන වැඩිවෙනවත් එක්කම ඒක ලොතරැයි කූඩුව ගාවට වෙනකම් දික් වෙනවා. එතනිං එහාට පාක්කෙකට "වන්ඩියක්" දාගන්න එක දැං ඉස්කෝලෙකට ළමයෙක් දානවටත් අමාරු වැඩක් වෙනවා. ආං එතකොට විකල්ප බිහිවෙනවා. ගංවල ඉඳලා නගරෙට එන්නෙ නැතුව තමුංගෙ ගමේම හන්දියක් අල්ලගෙන, තමුංගෙම පාක්කෙකක් හදා ගන්නවා. ඔය විදිහට දැං ගමක් ගානෙ, හන්දියක් ගානෙ "වීල් පාක්" තියෙනවා. ඒවගෙං හැදිච්ච "එක්සත් ත්‍රීරෝද රථ සංගම්" ගණනාවක් තියෙනවා.



ඔය විදිහට වෙනස් වෙච්චි තීවිල් පාක්වල අයියලාගෙ ස්ටයිල් සහ වන්ඩියෙ නම්බර් එක අලුත්වීම මත ඉස්කෝලවල සාමාන්‍ය පෙල සහ ඉන් ඉහලට හිටිය නංගිලාගෙ හිතේ කිරුළ ඔවුන්ට ලැබුනා. සමහරු හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට පාසල ගාව කැරකිලා "එකම මලක්" පතාගෙන පස්සෙන් ගියා. ඒ අතරෙ සමහරු "දවස් හතට වර්ග හතක්" තියාගෙන හිටියා. මෑතක් වන තුරුම අපේ ගම්වල ගෑල්ලමයින්ගෙ කුළුඳුල් ප්‍රේම කතා හත අටකම හිමිකාරයෝ මේ "වීල් අයියලා" තමයි. 


හැබැයි සමහර "පුදුම ලොකු එකක්" දෙන නංගිලාට ට්‍රයි කරලා කෙලවෙච්ච අයියලා අදාල නංගි පාක් එක ගාවිං යනකොට එක පෙලට හෝන්නෙක ගැසීම, විසිල් ගැසීම වගේ ක්‍රම වලිං "මිදි තිත්තයි" කිව්වා. 


ත්‍රීවිල් එක්කම බැඳිච්ච තවත් දෙයක් තමයි Room for rent. ඉස්සර මේ වගේ කාමර කුලියට දෙන තැන් හිඟ කාලෙ පෙම්වතුන්ට ප්‍රේමයෙන් එහා ගිය දේකට උදව් වුනෙත් පාලු පාරවල්වල නවත්තල දෙපැත්තෙ කැන්වස් දෙකම වහපු ඉඳහිට මදක් පැද්දෙන ත්‍රීවිල්ම තමයි. පස්සෙ කාලෙක ටියුෂන් පන්ති ආශ්‍රිතව බිහිවුන "කාමර කුලියට" ස්ථානවල ප්‍රධාන සැපයුම්කරු වුනෙත් ත්‍රීවිල්ම තමයි. කට්ට පෑවිල්ල තියෙන දවස්වලටත් දෙපැත්තෙ වැහි ආවරණ දාගෙන එන ත්‍රීරෝද රථ ටියුෂන් පන්ති ඉවරවෙලා යන ළමයි රංචුව අතරින් අදාල කෙනාට කිට්ටු කරනවා. සැනෙකින් වැහි ආවරණය ඇතුලින් තීවිල්ලෙක ඇතුලට පැනගන්න අදාල තැනැත්තිය කවුදැයි හරියටම දන්නෙ කීප දෙනෙක් විතරයි. අදටත් මේ ව්‍යාපාරය ඒ විදිහටම කෙරෙනවා ඇති.


මං දන්න කියන එක්තරා "ත්‍රීවිල් අයියෙක්"ට වුන සිදුවීමක් මෙයට සම්බන්ධයි. මේක ඔහුම මට කියපු දෙයක්. ඔහු මගේ මිතුරෙක්ද, ඥාතියෙක්ද කියලාවත් කියන්නෙ නෑ. ඔහුට මේ සටහන ජීවිතේට කියවන්න නොලැබුනත් මීට අදාල ඇයගෙ ජීවිතේට සම්බන්ධ අය දැනගන්න පුලුවන් නිසයි චරිත හංගන්නේ. මේ අයියා එක හිතින්ම ආල වඩන්නේ අපේ ගමේ නංගියෙක්ට. ඒ නංගිලගේ ගෙදරට නොයෙක් හේතු මවමින් ඇගේ දර්ශනය ලබන්න ඔහුව අරං යන්නේ මම. ඇගේ තාත්තා අපේ පවුලෙ අයත් එක්ක ලොකු හිතවත් කමක් තියෙන හිංදා මට ඒක ලේසියි. නමුත් ඇගේ කැමැත්ත මේ අයියට ලැබෙන්නේ නෑ. හැබැයි "අයියා" සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ප්‍රේම කතාවල ඉන්න දර්ශීය ප්‍රේමවන්තයෙක් තරමටම ඇයට ලව්. ඈ යන එන තැන දුරිං ඉඳං ඇගේ පරෙස්සම බලනවා. ඇය පන්ති ගිහිං එනකං, ඇය බස්සෙකට නගිනකං, ඊට මීටර් ගානක් දුරින් තීවිල්ලෙක නවත්තගෙන මේ "අයියා" ඇය දිහා බලං ඉන්නවා. ඇයට දූවිල්ලෙංවත් අනතුරක් නොවෙන්න ඇයව පරිස්සං කරන්න. මේ කියන "අයියාගේ" ප්‍රේමය ඒ තරං නිර්මල, සුනිමල, අවංක, එකක්.


ඔය අතරෙ "අයියා"ට හදිසි හයර් එකක් සෙට් වෙන්නෙ තවත් තීවිල් යාලුවෙක්ගෙං. 


"මචං මං හදිසි හයර්රෙකක් යනව රත්නපුරට. මං *හිරු එකට ගිහිංදාපු කපල් එකක් ඉන්නව. තව පැය කාලෙං ගිහිං උං දෙන්නව ගෙනැත් **** සර්ගෙ ක්ලාස් එක ඇරිල එන සෙට්ටෙක ඇතුලට ගානට කෙල්ලව බස්සපං. මං උඹේ ගාන හවසට දෙන්නං"



අතිජාත මිත්‍රයගෙ ඉල්ලීම පරිදි නියමිත වෙලාවට වැහි ආවරණවලිං වටේ ආවරණය කරපු තමුංගෙ තිවිල්ලෙකත් අරං "අයියා" ලැගුම්හලේ දොරකඩටම යනවා. දෙරකඩ ඉන්න සේවකයාට තමුං ආවෙ අසුවලාගෙ වාහනේ වෙනුවට බව කියනවා. සැනෙකිං සේවකයා ලැගුම්හල ඇතුලට යනවා. ටිකකිං වාහනේ පිටිපස්සෙ සීට්ටෙකට දෙන්නෙක් නගින බව "අයියා"ට දැනෙනවා. ඔහු "හරිද" කියල අහන්න මැද කණ්ණාඩියෙන් පිටිපස්ස බලනවා. ඒ මොහොතෙ ඔහු දකිනවා පිටිපස්සෙ ආසනේ ඉන්න ඇයව. "අයියා" දූවිල්ලෙනුත් පරිස්සං කරන්න හදන, එක හිතිම්ම ආල වඩන ඇය වෙනිං කොල්ලෙක් එක්ක "අයිය"ගෙ තීවිල්ලෙකේම පිටිපස්සෙ සීට්ටෙකේ. 


මෙහි දැක්වෙන ඡායාරූප ත්රීවිල් සහ බයික් ආර්ට්ස් Treevel And Bike Arts ෆේස්බුක් පිටුවෙන් පිටපත් කරගතිමි.










Monday, June 20, 2016

තුං සක් රිය (Three Wheeler) හෙවත් முச்சக்கர வண்டி - 1




මේ බ්ලොග් එකේ ඇස්වහ, කටවහ, හෝ වහ දුරුවේවා. ලියන පෝස්ට් කලට වෙලාවට අහවර වේවා.




“ඕං ඔයා පහුගිය දවස්සල උඩපැන්නට අපෙ අම්ම ජාති ණය ගෙවනව පිනෑස් කොම්පැනියට කියල, අපෙ අම්ම දින්න. දැං ටීවිල්ලෙකක් ලස්ස දහයක් වෙනකං ගනං ගිහිල්ලලු“


දවල්ට බත් කන්න ආපු ඩිංගට මේං චූටි මැණිකෙ බෙරිහං දෙනව. දවල්ට හිටිගමං කියන කැඩෙන ප්‍රවෘත්තියකට (Breaking News) කිව්වලු තීවිල් එකක් ලක්ස දහයක් වෙනකං ගනං යනව කියල. බජාජ් කොම්පැනියට පිස්සුද, ටී.වී.සුන්දරලිංගම්ට පිස්සුද, නැත්තං මටම  පිස්සුද?


“ගිය සතියෙ පියුම්මහත්තය ඇරං තිවුනෙත් ලස්ස හයාමාරකටනෙ. ඒ මනුස්සයගෙ වාසනාව. දැං ගත්තු ගාන්ට ලස්සයක් වැඩිපුර කියල සුටුස් ගාල විකුණන්න පුලුවං“


උඩ පැනිල්ලෙ ඉවරයක් නැති තැන වැඩේ ඇත්ත නැත්ත හොයන්නත් එක්ක මං එදාම කතා කලා දාවිස් පීරිස්ගෙ කොම්පැනියට.


“සර් දැං සර් මිල සර් ලක්ෂ හයයි පනස් දාහයි සර්. තව සර් සතියකිං සර් දහදාහක් සර් ගනං සර් යනව සර්“


ආං එහෙම කිව්ව ඒකෙ හිටපු දාවිස් පීරිස්ගෙ මිනිබිරියක්. ඒ කියන්නෙ ලස්ස දහයක් වෙනකං ගනං යන්නෑ. එව්වෑං වැඩක් නෑ මං කියන්න  යන්නෙ ත්‍රීවීල් ගැන.


ඉස්සර අපේ ගම් පලාතෙ තිවුනෙ ත්‍රීවිල් එකයි දෙකයි. එව්ව සේරම වගේ කිරි පාටයි. කිරි පාටයි කියන්නෙ ඒ දවස්වල තිවුන පනුබෙහෙත් පෙත්තෙ පාට. ඒ අතරෙ සුදුවැලිපොත වීමෝලෙ විල්බොට් ගාව තිවුනා කහපාට තීවිල් එකක්. රැලි ගැහිච්ච කලුපාට රෙද්දත් එක්ක ඒක පෙනුනෙ කුදු ගැහිච්ච වයසක මිනිහෙක් කුඩ රොඩ්ඩකුත් ඉහිලගෙන වැස්සෙ යනව වගේ. ඒක කඳු අදින්න බොහොම හොරයි. ඒකෙං හයර් එකක් ගියොත් යන මිනිස්සුන්ට වෙනම කුලිය දෙන්න ඕන වාහනෙං බැහැලා කඳු තල්ල කරනවට. 

මේ තියෙන්නෙ ඒ ජාතියෙ කුදු ගැහිච්ච එකක්


අපේ ගමේ තිවුන තීවිල් වලින් එකක් තමයි අපේ පන්තියෙ හිටපු රුවන්ලෑ තාත්ත ගාව තිවුනෙ. ඒකෙ ඉස්සරහ වම් පැත්තෙ කම්මුලේ ලොකුවට ලියල තිවුනා “හිතවතා“ කියලා. ඒකෙ වහලෙ උඩ හුඩ්ඩෙහෙකුත් තිවුනා.  ඒ ගෙදර හැමෝම ඉන්න වෙලාවක තමයි තීවිල්ලෙක පාරට ගන්න පුලුවං. නැත්තං ගෙදර ඉඳං මහපාරට එන්න තියෙන කන්ද තමුංගෙ වීරියෙං එන්න ඒකට අමාරුයි. රුවනයි, උංගෙ අයියයි තීවිල්ලෙකේ දෙපැත්තෙ බට දෙකෙං අල්ලල තල්ලු කරද්දි තීවිල් එකේ කොන්දටත් වඩා මහත රුවන්ලෑ අම්මත් තීවිල් එකේ කොන්දට දෑත බදල අතගහල තල්ලු කරනවා. රුවන්ලෑ තාත්තා හැඩල්ලෙකේ එල්ලිලා ඉස්සරහ බලාගෙන බන්දු සමරසිංහ වගේ බලං ඉන්නවා. ආපහු එනකොට රුවන්ලෑ අම්මට හොඳටම කැස්ස. නහයෙ, කටේ දුං පිරිලා.



ඒ දවස්වල ඔය කොයි තීවිල් එකෙත් නමක් තියෙන්න ඕනැ. ඒකත් එක්තරා ක්‍රමයක්. කසාද බැඳල නැති පන්සලේ සරත් අයියගෙ ත්‍රීවිල් එකේ පිටිපස්සෙ කොටු අකුරිං සරත් කියලා ලියල තිවුනා. සමහර අය තීවිල් ගත්තෙ ගෙදර කට්ටිය හවුලෙ සල්ලි දාලා. ඉතිං හැමෝගෙම නං ගහන්න ඕනෑ. ඉස්සරහ කම්මුල් දෙකේ නං දෙකයි. ‘කමනී‘, ‘ජයන්ති‘ පිටිපස්සෙ වීදුරුවට උඩිං තව නමක් ‘සමන්‘. ගෙදර අම්මල තාත්තල ඉතිං සල්ලි දුන්නට නං ගහන්න කියන්නෙ නැති නිසා හොඳයි. හැබැයි එහෙම තව හවුල් කාරයො හිටියොත් පස්සෙ වීදුරුව දෙපැත්තෙං රෙද්ද දිගේ පහලටත් නං දෙකක් ගහනව.
න්

කියල එක පැත්තක. අනික් පැත්තෙ
ප්‍රි
න්

කියලා. ඔය කොයි තීවිල් එකත් ගමේ අය හැඳින්නුවෙ ඒකෙ ලියල තියෙන නමින්. දැං ඔය මං කියාපු තීවිල් එක ගැන කිව්වොත් ඒ ගෙදර බාල ගෑල්ලමයගෙ හිතවත් අය ඒකට කියන්නෙ “කමනි තීවිල්ලෙක“ කියලා. එතකොට වැඩිමල් ගෑල්ලමයගෙ යාලුවො කියන්නෙ “ජයන්ති තීවිල්ලෙක කියල. ලොකු කොලුවගෙ යාලුවන්ට ඒක “සමන් තීවිල්ලෙක“ බාල කොල්ලො දෙන්නගෙ යාලුවන්ට ඒක “සමන්ත තීවිල්ලෙක“ නැත්තං “පියංත තීවිල්ලෙක“. ඔය විදිහට එකම තීවිල්ලෙකට නං පහක්. තීවිල් ගොඩක් නැති හංදා ඒ නං පහම වුනත් මතක තියා ගන්න පුලුවන්.


ඒ දවස්වල ත්‍රීවිල්වල පිටිපස්සෙ කවි, ආප්තෝපදේශ ගැහුවෙත් නෑ. හැබැයි සමහර එව්වයෙ පිටිපස්සෙ ඉන හරියෙං සුදු පාටිං ලියල තියෙනව  අතහිත මහජන බැංකුව කියලා. ඈ පේන්නැද්ද? සුදු පාට හිංද වෙන්නැති. ඕක වෙනිං පාට තැනක ගැහුවං පේනව. හැබැයි සමහරු ඔය ඉස්සරහ කම්මුල් දෙපැත්තෙං එක පැත්තක ලොකු රෝස මල් එහෙම ඇඳලා තිවුනා.


එව්වෑ ලයිට්ටෙක තිවුනෙ රෝදෙ උඩ. ලයිට්ටෙක කියන්නෙ ඔය රෑට එළිය කොරගෙන යන එක. ඔව් එක ලයිට්ටෙකයි තමා. ඊළඟට තිවිච්ච වැදගත්ම කොටහ තමයි ඉස්සරහ වීදුරුව පිහින බාර්යාව. ඒක කරකවන්න වෙනම කලුපාට ටිං බෙලෙක්කයක් වීදුරුවෙං අනික් පැත්තෙ තිවුනා. මොටෝ සයිකලේ වගේ නෙමෙයි තීවිල් ඉස්ටාට් කරන්න වෙනම කැති මිටක් වගේ පොල්ලක් තියෙනව. ඒක උඩට ඇද්දහම තමයි ඉස්ටාට් වෙන්නෙ. දැං කාලෙ වගේ සුවිච්චෙකෙං ඉස්ටාට් වෙන එව්වා තිවුනෙ නෑ. අනිත් එක තමයි සද්දෙ. ඒ තීවිල්වල සද්දෙ පර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් පට් පට් පර්ර්ර්ර්ර්ර්ර්රර්්රර්ර්ර්ර් කියලයි ඇහෙන්නෙ. පල්ලංවල යද්දි පර් නැතුව අතරිං පතර පට් පට් විතරක් ඇහෙනවා.


ඒ දවස්වල තීවිල් එකක් ගත්තෙ බොහොම ලොකු සල්ලිකාර උදවිය. තේ අක්කර හත අටක් තියෙන ගෙවල් දොරවල් විසාලෙට හදාගත්තු, ළමයින්ටත් ගෙවල් දොරවල් ඉඩ කඩං ඇරංදීලා ඒත් අතේ තියෙන ගාන ඉවර කරගන්න බැරි අය තමයි තීවිල් ගත්තෙ. දැං ඔය නුසුදුස්සො කාර් අරගත්ත වගේ නෙමෙයි ඒ කාලෙ සුදුස්සංව විතරයි තීවිල්වලට නග්ගගත්තෙත්.


ලෙඩක් හැදිච්ච වෙලාවට, එහෙමත් නැත්තං මගුලක් බලන්න යන වෙලාවට වගේ විශේෂ අවස්ථාවකට විතරයි තීවිල් එකක් හයර්රෙකට ඇරං ගියේ. ඒත් සුදුස්සන්ට විතරයි අවසර තිවුනෙ. දෙමල්ලු, රදා මිනිස්සු, පදු මිනිස්සු එහෙම තීවිල් වල නග්ගගත්තෙ නෑ. ඒ වගේම තමයි ඉල්ලන ගාන ගෙවන්න පුලුවං වෙයි කියල හිතෙන අයගෙ හයර් විතරයි යන්නෙත්. එහෙම නුසුදුස්සෙක් ආවොත්.


“පැස්ටෝල් නෑ“


“හුලං නෑ ටෑර් එහෙකවත්“


“තීවිල්ලෙක කැල්ල තියෙන්නෙ.“


“බේක් කඳුලක්කත් නෑ“


කියල එලව ගන්නව. කොහොමත් ගෑනු අය බයයි බේක් නැති වාහනවල යන්න. දැං වගේ එච්චර ගමං බිමං යන්න නැති හංදා ඔය තීවිල් එකක් හිරිබිරි අරින්නෙ මාසෙකට හමාරකට දවසයි. ඒ හංදා ලෙඩක් දුකක් වෙලා හදිස්සියකට ලෙඩෙක් ඉස්පිතාලෙ එක්ක යන්න ආවත් මුලිංම තීවිලලෙකේ ලෙඩ හදන්න ඕන.


ගොඩක් වෙලාවට තීවිල්ලෙකක් ඕන වෙන්නෙ රෑ පාලොස් පැයට ලෙඩක් දුකක් හැදුනහම. නැත්තං ළමෙක් හම්බුවෙන්න අමාරු උනාම. ඒ වගෙ වෙලාවට ලෙඩාව වත්තං කරගෙන, ලෙඩාගෙ අඩුම කුඩුම දාපු බෑක් තඩිය කරේ දාගෙන බැරි අමාරුවෙං ගාටනන්න ඕන තීවිල්ලෙකක් තියෙන ගෙදරකට. ඒ ගිහිං ගෙදර බල්ලො කුලප්පු කරලා, දොරට තට්ටු කරලා හැට වරුවක් කෑගැහුවම ඕං ගෙදර ගෑනු මනුස්සය ඇහිල්ලා දොර අරිනව. එතකොටම පටං ගන්න ඕනෑ අදෝනාව.


“හනේ නංගියේ මේ අපේ කෙල්ලට ළමෙය හම්බුවෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙ ඇරං යන්න. **පාල මල්ලි ඉන්නවෑ ගෙදර?“


ඇවිල්ල ඉන්න කෙනයි වග විස්තරෙයි බලාගන්න ගෙහිමි කාන්තාව දොර වහනව. ඉං පස්සෙ විනාඩි දහයක් පහලවක් යනකං ගේ ඇතුලෙ කසුකුසුව විතරයි. ඒ අතරෙ බබා හම්බුවෙන්න ඉන්න ගෑනු කෙනා දොරකඩ ඉඳගෙන කෙඳිරිගානව. ඇඹරෙනවා. ඒත් ගේ ඇතුලෙ සාකච්ඡාව ඉවරෙයක් නෑ. ආයිමත් දොරට ගහන්න වෙනවා.

“**පාල මල්ලියේ... **පාල මල්ලියේ“

ඕං එතකොට ආයිමත් දොර ඇරෙනව. ඒ ගමන එන්නෙත් ගෙහිමි කාන්තාව.


“එයා ගමනක් ගිහිං හුඟක් රෑ වෙලා ආවෙ.“


ඒ කියලා කට අහකට ගන්න කලින් ආයිමත් අදෝනාව කියන්න ඕනි.


“අනේ නංගියෙ යංතං මෙන්න මේ කෙල්ලව ඉස්පිතාලෙට ගෙනියන්න එන්න කියන්නකෝ. මේකිට හොඳටම අමාරුයි.“


“කලිං එක්ක ගිහිං නවත්තන්නනෙ තිබුනෙ. ඉන්නකො මං කියල බලන්නං“


ආයිමත් දොර වැහෙනකොටම අදෝනාවෙ අවශ්‍ය කොටස කියවෙනව.


“ඉල්ලන ගානක් දෙන්නං නංගියෙ. හනේ මයෙ කෙල්ලව ඉස්පිතාලෙට ගිහිං දෙන්න කියන්නකෝ“


ඕං ඒ ගමන තවත් විනාඩි ගානක් ගිහිං තීවිල් එකේ අයිතිකාරය එනව.


“මගෙ ඇඟටත් හරි මදි. මේ බෑ කියන්න බැරි කමටයි එන්නෙ“


කියාගෙන. එතකොට බබ්බු හම්බෙන්න ඉන්න කෙනා ලතෝනි තියනව. තීවිල් එක අයිති කෙනා ගානක්වත් නැතුව තීවිල් එක දාල තියෙන මඩුවට යනව. ගිහිං ඒක වහල තියෙන ඉටිකොල ටික අයිං කරල නවල පැත්තකිං තියනව. එතකං ලෙඩා එක්ක ආපු අය ටෝච්චෙක අල්ලන්නත් ඕනි. ඊළඟට ටෑර් ටිකට තට්ටු කරල බලනව.


“හුලනුත් මදි වගේ“


“අනේ මල්ලියෙ හුලං නැතත් කමහ්නෑ. මං ටෑර් එක්කොම හරි දාල දෙන්නං මොකක්කත් උනොත්.“

ඔන්න ඒ ගමන ගමනට ඉන්සුරන්ස් එකත් හම්බුවෙනව. වාහනේ අයිතිකාරය ඒ ගමන රෝද වලට තියල තියෙන අඩ ටික අයිං කරල වාහනේට නගිනව. ඊළඟට යතුර දාල කරකවල අර වම්පැත්තෙං තියෙන කැති මිටෙං අදිනව.

“හුටස්ඩස්.....        හුටස්ඩස්               හුටස්ඩස්            හුටස්ඩස්          හුටස්ඩස්“

ඉස්ටාට් වෙන්නෑ. ආයිමත් ලමෙය හම්බෙන්න ඉන්න කෙනා විලාප තියනව. ඕං ඒ ගමන උන්දැගෙ අම්ම ආයිමත් දුව ගාවට යනව.


“අනේ වියසල හිටාං දුවේ.. ඩිංගක්“


ආයිමත් තීවිල්ලෙක ගාවට එනව.


“අනේ මල්ලියෙ ඉහ්මන්ට ඉස්ටාක්කොරගන්න විදිහක් නැද්ද ඕක“


“පෙෂ්ටල් නැතුවද මන්ද.“

ඒ ගමන ආයිමත් බැහැල ගිහිං පිටිපස්සෙ දොර ඇරල බලනව. බටයක් ගලෝල පිඹිනව. ජරමර ගොඩයි.


“පෙෂ්ටල් තමයි පශ්නෙ. ටැංකියෙ පෙශ්ටල් බිංදුවක්වත් නෑ. ඒකයි වැඩේ“


“අනේ මල්ලියෙ ගෙදර ගෙනාපුවවත් නැද්ද?“


“හ්ම් පෙෂ්ටල් බෝතල් දෙකක් ගේන්න වෙයි කඩේකිං. ගෙදර නෑ මං හිත්නෙ“


“අනේ මල්ලියෙ බලන්නකො. ගෙදර තියේනං ටිකක් දැනට ගම්මු. දැං කොහෙංද කඩවල් අරෝල පැස්ටෝල් ගේන්න තියෙන්නෙ. සේරම කඩ වහලනෙ. මං හෙට උදෙංම පැට්ටල් ගැලුමක් ගෙනැත් දෙන්නං“


ඒ වචනෙං පෙට්‍රල් ටිකටත් ආවරණයක් ලැබෙනව. කලිං ආණ්ඩුව කාලෙ ගෙනැත් ගෙයි මුල්ලක හංගල තියාගත්තු පෙට්‍රල් ගැලුමක් ගෙනැත් ත්‍රීවිල් එකට හලාගන්නව. ආයිමත් කැති මිටෙං අදිනව.


“හුටස්ඩස්.....        හුටස්ඩස්               හුටස්ඩස්            හුටස්ඩස්ඩස්ඩස්          හුටස් පරං පරං පරපරං පරපරපරපරපරපරපර“


යංතං තීවිල්ලෙක ඉස්ටාට් වෙනව. ඒ ගමන ළමෙය හම්බෙන්න ඉන්න කෙනයි, එයාගෙ අම්මයි මනුස්සයයි විගහට තීවිල්ලෙකට නගින්න හදනව.


“හාහා ඉන්න ඩිංගක් සීට්ටෙකට ඉටිකොලයක් දාන්න ඕන. නැත්තං ජරාව ගෑවෙන්න පුලුවං.“


ඒ ගමන ගේ පුරා හොයල ඉටිකොලයක් තීවිල් එකේ පස්සෙ සීට් එකට එළනව. ඉස්පිරිතාලෙට ගෙනියන්න ගෙනා බෑක්කෙක ඇදල එයිට උඩිං බෙස්සීට් එකකුත් එලනව. ඉං පස්සෙ තමයි ගමන පිටත්වෙන්නෙ. ඉටිපන්දමක් පත්තු කරල පොල්කට්ටක ගැහුව වගේ පත්තුවෙන තනි ලයිට් එලියෙං තීවිල්ලෙක යන ගමන කොතන නවතීද විස්සාසෙයක් නෑ. ලොකු කඳුවල බැහැගෙන තල්ලු කරලා ළමය හම්බුවෙන්න ඉන්න කෙනත්, ඒ තරංම අසාධ්‍ය තීවිල් එකත් ඉස්පිරිතාලෙට සේන්දුවෙනවා.

පහුවදා ගමේ මිනිස්සු මෙහෙම කතාවෙනවා.


“නිමල්ගෙ ගෑනිටත් ළමෙය හම්බුවෙලා කියන්නෙ. ඊයෙ රෑ ඇරං ගිහිං තියෙන්නෙ **පාලගෙ තීවිල් එකේ. ළමෙය හම්බුවෙලා තියෙන්නෙ මගදිලු“


සතියකට විතර පස්සෙ ඒ තීවිල් එකේ අයිතිකාරය කඩමණ්ඩියෙදි මෙහෙම කියනව.


“එදා රෑ එක්ක ගියෙනං ඉල්ලන ගානක් දෙන්නං, ටෑර් දාල දෙන්නං, පෙෂ්ටල් ගැලුමක්ම ගෙනත් දෙන්නං කියල. හුහ් අන්තිමට හෑර්රෙක ගියාට සල්ලි ගෙනැත් දුන්නෙත් ඊයෙ හවස.“


අළුත හම්බුවෙච්චි ළමයගෙ අම්මට, එයාගෙ අම්ම මෙහෙම කියනව.


“**පාලෙයගෙ දුස්ටකම බලහංකො එදා රෑ අස්පගානක් ඉල්ලුව. ඒ මදිවට ළමෙය ඉස්පිතාලෙං එක්කං එන්න හෑරෙකත් යන්න බෑ කිව්ව. ඒකයි මං කිව්වෙ සල්ලි පස්සෙම ගිහිං දෙමු කියල. ආයිනං සම්මෙට ඕකෑ කොලපත් ගොට්ටෙ ගමනක් යන්න නාකයි.“