Follow by Email

Wednesday, May 25, 2016

කාහං පොලොස්

මේක ලියන්න හිතුනෙ අහම්බෙන්. අපේ වත්තෙ පාරෙ අයිනේ තියෙන කොස් ගහේ ගෙඩි පිරිලා කඳ වහගෙනම. ඉතිං මං ඕකෙ පිංතූරයක් බුකියෙත් දැම්මා. අන්තිමට මට හිතුණා කොස් ගැන ලියන්න ඕනෑ කියලා.



කොස් මාමා කියන්නේ ආතර් වී දියෙස් කියන මහත්තයාට කියලා මට කියලා දුන්නේ පහ වසරේදී අපෙ පංතිය භාරව හිටපු නිලන්ති මිස්. ඒ කාලෙ සිස්සත්වෙට ඒව අහනවා. දැං කාලෙනං ලමයින්ට එයිටත් වඩා දැනුමක් ඕන. කොටිම්ම දිවියක්ඥානෙත් ටිකක් ඕන. 


පාංකාරයාට පාං මාමා, මාළුකාරයාට මාළු මාමා ආදී වශයෙන් කියා පුරුදු අපි හිතුවෙ මේ කියන කොස් මාමාත් කොස් විකුණන මනුස්සයෙක් හෙවත් කොස්කාරයෙක් කියලා. හැබැයි මගේ ජීවිතේට අපේ ගමේ කොස් විකුණන කෙනෙක් හිටියේ නෑ. කොස් විකුණන්න පුලුවන්නං ඇල්වතුරයි, හුලනුයිත් විකුණන්න පුලුවං කියන මතයෙ තමයි අපි හිටියේ. පස්සෙං පහු දැනගත් විදිහට ඔය ආතර් වී දියෙස් කියන මහත්තයා කොස් විකුණන්නෙක් නෙවෙයි කොස් වගාව ජනප්‍රිය කරපු කෙනෙක්. එතුමා කාගෙද කසාදයක් දවසක තෑග්ගට දුන්නෙත් කොස්සැට පාර්සලයක්ලුනෙ. අතේ තියෙන දොයිත්තටම හින්දල මගුල් කෑවං ඉතිං කන්න වෙන්නෙ කොස්සැට තමයි. මොකද ඉතිං පිඟං බඩු, අරුමෝසං බඩු, ඔල්ලෝසු, මේස ලාම්පු, වගේ තෑගි හම්බුනෙච්ච කන්න බෑනෙ. හැබැයි එතුමා නං දීල තියෙන්නෙ කොස් ඇට ටික හිටෝගන්න කියල.



අපේ ගමේ කොස් වගාව කලේ වවුලන් සහ කපුටං. ඔව් උං තමයි. උං වැල මදුලක් එහෙම ගෙනිහිං කාලා ඇටේ හලාපු තැන ඒක පැළවෙනවා. පැළවුනාට පස්සෙ තමයි ඉඩමේ අයිතිකාරයට ගහ අයිති. ඔය කොස්ගස් වලින් සත්තු, ගමේ මිනිස්සු ආදිය වේල පිරිමහගන්නව. ඒත් එක්කම වැට මායිංවල තියෙන කොස්ගස් වලින් පෙරකදෝරුවො තමුංගෙ වේල පිරිමහ ගන්නව. එහෙම අපෙ ආතගෙ ඇවෑමෙන් අපේ මාමට උරුම වෙච්ච කොස් ගහක නඩුවක් තියෙනව. දැං කොස් ගහ දිරල, වේයො කාල ගහ තිවිච්ච තැනක්වත් නෑ. හැබැයි තාම නඩුව තියෙනව. 



අපේ ගමේ කොස් ගස්වලට අයිතිකාරයෝ සිටියත් කොස් ගෙඩිවලට අයිතිකාරයෝ නෑ. ඕනම කෙනෙක්ට කාගෙ උනත් කොස් ගහකිං ගෙඩ්ඩක්  කඩාගන්න පුලුවං. ගමේ හැම කොස් ගහක් ගැනම හොඳ අවබෝධයක් තියෙන අය ඉන්නෙ කීපදෙනයි. අපේ අම්මත් එයින් එක්කෙනෙක්. කොස් හොඳ කොයි ගහේද, ගැටපොලොස් හොඳ කොයිගහේද, වැල සහ වරකා හොඳ කොයි ගහේද කියලා වෙන වෙනම කියන්න පුලුවන් ඩේටාබෙස් එකක් වෙනමම එයා ගාව තිබුනා .



ඕං ඉතිං අපේ පුංචම්මා දවල් දෙක තුන වෙද්දි අපෙ අම්මට කතා කරනවා.


"ලොකු අක්කෙ අර ගල්ලවිටේ කුරු කොස් ගහේ ගෙඩ්ඩක් පැහිල තිවුනා. කඩං වරෙංකො. යමං මාත්තෙන්නං"


"ඒඒක පැහිලම්මදිමැනිකෙ මංඑනගමංබලංආවෙ"


"නැ බං ඒක පැහිල ඇති"


"අනෙක්කුඹ කට වහං හිටහං මැණිකේ. ඔය ගහේ ගෙඩි පැහෙද්දි කට්ටම කලුපාට වෙන්නෝනා."


ආං එහෙමයි ගහේ ගෙඩි පැහෙන විදිය පවා දැනගෙන ඉන්න ඕනා.  සමහර ගස්වල ගෙඩි කට්ට කලු වෙනකොට පැහෙද්දි සමහර ගස්වල කටුව යංතං ලා පාට වෙද්දිම පැහෙනවා. 


කොස් ගෙඩ්ඩෙ ළදරු අවස්ථාව ගැටපොලොස්. ගැටපොලොස් උයන හැටි එයාකාරවම මං දන්නේ නැතත් වැඩේ වෙන්නේ මේං මෙහෙමයි.  නොදන්න අයට කියා දෙන්නෙ. හවස් වෙද්දි ගැටපොලොස් ගෙඩි අවශ්‍ය ගාන කඩාගෙන එන්න ඕනෑ. ගෙඩි තුන හතරක් කඩාගෙන එන්න. මෙව්වා අස්ප බිත්තරයකට වඩා පොඩි වෙන්න ඕනැ. ඒ කිව්වෙ මැන්ඩිස් බෝතලේ, බෝතලයක් විතර මහතට, ඒකෙ අඩියෙ ඉඳං කර ගාවට විතර දිගට. පිළිකන්නට ගිහිං පරණ බෝතලයක් ගෙනැත් බලාගන්නකො. රෑට කාලා බීලා ඉවරවෙනකං ඒවා පරිස්සං ඇති තැනක තියන්න ඕනෑ. පරිස්සං ඇති තැනක් කිව්වෙ කොහෙවත් කොහොල්ලෑ නොගෑවෙන, ඒ වගේම කොහොල්ලෑ හැලුනත් පයට පෑගෙන්නෙ නැති තැනක්. නැත්තං කකුලට පෑගෙන කොහොල්ලෑ තලිය අපේ කකුලට හීනි ගල්කැට, වේලිච්ච කොල, පරඬැල් ආදී නොයෙක් වර්ග අලෝලා අලංකාර කරනවා.


රෑට කාලා ඉවර උනාට පස්සෙ ගැටපොලොස් ගෙඩි ටික එකක් කෑලි හතරකට වෙන විදියට පලන්න. ඉං පස්සෙ රෑට බත් උයපු මුට්ටිය හෝදල ඇරගෙන (ඉතුරු බට්ටික විසික් කරාට මක්වෙනවද) ඒකට අර පොලොස් පලු ටික දාලා ඒවා වැහෙන තරමට වතුරත් දාලා ලිපේ තියන්න ඕනැ. ලිපේ තියලා විතරක් මදි ලිපේ ගින්දර දාන්නත් ඕන. මේ වෙලාවට ලිපට දාන්නෙ මහත දර. මහත කිව්වෙ සෑයවල් වලට දාන කඳං නෙමෙයි, උදලු මිටක් විතර මහත දර. දැං ඉතිං ගිහිං පැදුර එලාගෙන නිදාගන්න එකයි තියෙන්නේ. වලඳ වහන්න බැරිවුණා නේද? ආපහු ගිහිං මැටිකෝප්පෙං හරි නෑඹිලියෙං හරි ඒක වහලා ආයිත් ලිපට දර ටිකකුත් දාලා එන්න. ආයිත් රැ මැදියමේ දොට්ට පිලට යන්න ඇහැරුනොත් තව පාරක් දර  ටිකක් දාලා ලිප පත්තු කරන්න ඕනෑ.


පාන්දර වෙද්දි වැඩේ හරි. උදේට කහට පෝච්චිය ලිපේ තියන්න යද්දි ගැටපොලොස් හැලිය බිමිං තිව්වහම කිරිකැඳ හැළිය වගේ ඇති. ඉතිං කහට ඩිංගක් එහෙම බීලා හීං සැරේ අර තැම්බුනු ගැටපොලොස් පලු ටික වළඳෙං ඇරගෙන කොරහකට දාගන්න ඕන. ඊළඟට තියෙන්නෙ ගැටපොලොස්වල පිට කටුව අරින එක. ගැටපොලොස් පලුවක් ඇරං ඒකෙ පොත්තෙ කටු ටික ඇඟිල්ලෙං එක පැත්තකට තල්ලු කරපු ගමං තැම්බිච්ච කටු ගැලවෙලා හැලෙනව. අන්තිමට ගැටපොලොස්වල කටු ගිහිල්ලා “කටුවා කාපු බල්ලෙක්ගෙ ලොං හැලිච්ච කොන්ද“ වගේ වෙනවා.


දැං මේසෙ යටිං ඇදල ගන්න දිප්පිහිය. ආං දැක්කද, ඒකෙත් කොහොල්ලැ. දැං සේරම තියෙද්දි ලාම්පුතෙල් කුප්පියෙං ටිකක් පිහියට හලලා පොල් මුඩ්ඩකිං උලලා පිහියෙ කොහොල්ලැ අරින්න. බලාගෙන මුඩ්ඩ ලිස්සුවොත් අත කැපෙයි. ආං හරි. දැං ඔය පිහිය වලං අල්ලන දැලි පාංකඩෙං හොඳට පිහින්න. දැං නාහෙට කිට්ටු කරල බලන්න තාමත් ලාම්පුතෙල් ගඳද කියලා. තාමත් ගඳනං වතුර කොරහෙ ඔබල ඇරං ඇඳං ඉන්න ඇඳුමෙ දෙපැත්ත පිහල බලන්න. ආ දැං ගඳ නෑනෙ.


දැං අර කටුව කාපු බල්ලගෙ කොන්දෙ පැහැයෙන් තියෙන පොලොස් කෑල්ලක් ගන්න. ඒකෙ බඩ පැත්තෙ නාරටිය රැහැල දාන්න. ඉං පස්සෙ කොන්ද පැත්ත හරෝල කොන්ද දිගේ පිහියෙං ඉරි ඇඳෙන විදිහට දිග අතටයි හරස් අතටයි කොටාගෙන යන්න. ආං හරි දැං කපන්න ඕක කෑලි හයකට. දිග අතට පැලුවා හරස් අතට තුනට කැපුවා. දාන්න මුට්ටියට. දෙන්න බලලගෙ හොස්සට එකක් හැම රෙද්දටම හොස්ස ඔබනවට. ගන්න අනික් බලු කොන්ද, ආ.. නෑ මේ ගැට පොලොස් කෑල්ල. කොටාගෙන යන්න දිගට හරහට, කපන්න හයට දාන්න ඇතිලියට. ගන්න ඇතිලියෙං කෑල්ලක් ඇරං කාල බලන්න. කන ගමං ඕන්නැං


"අම්බප බොලේ සෝක්කෙකට තැබ්බිලා" 


කියලා කියන්න ගිහිං පොලොස් කෑල්ල ඉස්පොල්ලෙ ඇරගෙන කහින්න.


"බල් බල් බල්... ඈහ් අම්මෙහ්... බල් බල් බල්"


ඇතිලිය එහාට තල්ලු කොරන්න. බොන්න වතර ටිකක් කලෙං නමාගෙන.


ඊළඟට ගන්න හිරමනේ. පොල් බිඳපුව නෑ නේද? ගන්න මේසෙ යටිං පොල් ගෙඩ්ඩක්. දොරකඩට ගිනිහිං මන්නෙං ගහල බිඳින්න. බිඳිච්ච ගමං කෙලිං අතට අල්ලල බෑ දෙක වෙංකරගන්න එතකොට එක බෑයක වතුර ඉතුරු වෙනව. ඒ ටික බොන්න පොල් බෑයෙංම. ඕන්නැං වතුර කටේ තියෙද්දිම ආයිත් කියන්න.


"ඥියම පෝවතූ චික"


ගියා නේද පොල්වතුර ඉස්පොල්ලෙ. බලං ඉන්නෙ කහින්න කහින්න.


"බල් බල් බල් ....... නමෙයෝ මේ වලේං බල් බල් බල්... මයි කොන්දඩිංගක් අතගහං"


ඒ අතරෙ මදිපාඩුවට උඩ බලාගෙන යන්න ගිහිං හිරමනේ ඇනගන්න කකුලෙ. 


"හඥීඊඊඊඊ මේ කෙහෙම්මල ඇන්න කකුලෙ සෙද්ද"


කියලා දෙස් දෙවොල් තියලා කොහොමිං හරි දොරකඩිං හිරමනේ තියාගෙන පොල්ටික ගාන්න. ඒ ගමංම දෙන්න බලලට හොස්සට එකක්. උටත් ඕන්නැති සෙද්දක් නෑ. ආයිත් ඥාං ගාගෙන ආවොත්


"ඉඳහ් කාහං සෙද්ද"


කියලා පොල් ටිකක් දෙන්න. ඕන්නැං පොල් කෑල්ලක් හිරමන තලෙං උලුප්පගෙන කන්න. පොල් බෑයකුත් තව අඩලයක් තරම ගාගන්න. පොල් ඕන්නං රාලහාමිගෙ ඉඩමෙං අහුලං එන්න බැරියැ හවස්අතේ ගියහම.


දැං තියෙන්නෙ මිරිස් බැදිල්ල. ඊයෙ රෑ බැදුං හදාපු තාච්චිය අරං යංතං හෝදල ගන්න. මොකෝ වෙන්නෙ බැදුං තෙල් කියන්නෙ වහයැ. තියන්න තාච්චිය ලිපෙං. දාන්න මිරිස් හැඳි හතරක් පහක් තාච්චියට. තුනපහ කුඩුත් දාන්න. ඔව්, හැඳි තැනක්කත් එපෑ. දැං හරි. කෝ ලිප නිමිලනෙ. දරකෑලි දෙකක් දාල පිඹින්න ලිපට. බට කුඹල ඇරං පිඹින්න. ආං එහෙම ලිබ්බොක්කට බෝම්බ ගැහුව වගේ අලු දුම්මැස්සට උඩිං යන්න. ආපහු ටික වෙලාවකිං ඒ අලු ටික බිමට එයි. ඔය පත්තු වෙන්නෙ ලිප සෑය වගේ. දැං ගන්න හැන්ද. ඒක හෝදල නෑනෙ. ගන්න හැඳි අලුවෙ තියන හැංදක්. ඩිංගක් ගසල ගන්න කරදලි ටික බිමට හැලෙන්න. දැං මිරිස් ටික බැදීගෙන එන්නෙ. පුලුවං තරං හයියෙං කලවං කරන්න. නහය තද කරගෙන හුස්ම හිරකරගන්න. හුස්ම හිර කරගෙන හැඳිගාන්න. අතාරින්න එපා දිගටම හැඳිගාන්න. හුස්ම හිරවෙලා කලන්තෙ වගේ හැදෙන්න එනකොට  මිරිස් ටික බැදිල. ගන්න වලං බාන පාංකඩේ. ඒකෙං අල්ලල ගන්න තාච්චිය හුස්ම හිරකරගෙනම. පාංකඩෙං පොටක් තාච්චියට වැහ්නට කමහ්නෑ. ඕක ඔය දැං හොද්දෙත් එබුනෙ. හලන්න මිරිස් ටික පොලොස් ඇතිලියට. දැං ගන්න හුස්මක් නැත්තං මැරෙයි. ගියා නේද මිරිස් සැර ඉස්පොල්ලෙ. පනින්න කුස්සියෙං දොට්ට. කහින්න කහින්න.

භල් භල් භල්.... අනෙ අම්මෙහ් ක්රෑහ් කුහ් තුප්... භල් භල් භල්...


දැං කැහැල ඉවරනං එන්න කුස්සියට. ගන්න පොල් ටික. මිරිකන්න වතුර දාලා. පුලුවං තරං මිරිකන්න. වතුර මදිනං බෙලෙක් කෝප්පෙට කලෙන් නමාගෙන වතුර ඇරං දාන්න එයිං බාගයක් තරම.


"භල් භල් භල්.... හම්මෙහ්"


තාම කැස්ස නේද? බොන්න බෙලෙක් කෝප්පෙ තියෙන ඉතුරු වතුර බාගෙ. ආං... දැං හරි. දැං ඔය කිරි ඇති. ඇති කියන්නෙ පොලොස් කෑලි වැහෙන ගාන්ට කිරි ඕන. එයිට වැඩිය එපා. නැත්තං බෙදාගන්න ගියහම අමුඩෙයක් ගහගෙන හොද්දට බහින්න වෙනව කෑලි හොයන්න. දැං හොද්දට දාන්න ලුණු අහුරක්. අර දුමේ තියෙන කලු ගැහිච්ච සොපිං කවරෙ ඇරං ඒකෙං ගොරකතු දෙකතුනං අරං කොරහෙ ඔබල අරගෙන දාන්න හොද්දට. කුරුඳු කෑල්ලකුත් ඕනැ නේද? කොහෙද දන්නෑ. අදින්න මේසෙ උඩ තියෙන පරණ හෝරලිස් බෝතල්, මලකඩ අල්ලපු නැස්ටමෝල් ටිං, ඉටි කවර, සේරම. එව්ව ඇතුලෙ තිවිල එලියට පනින පරණ ඉඟුරු කෑලි, කහ කෑලි, පුස්කාච්චි ගම්මිරිස් මුල්, වේලිච්ච මිරිස්, පරිප්පු ඇට, මුං ඇට අතරෙ හොයන්න කුරුඳු පොත්තක්. එලියට ඇදිල ආපු එකේ ඕන්නං උම්බලකඩෙං කෑල්ලකුත් කටිම්ම කඩල කටේ දාගන්න. අන්න වැටුන මේසෙ පල්ලෙ මොකද්ද බීඩි මිටියක් වගේ එකක්. ආං ඒක තමයි කුරුඳු මිටිය. ඇරං ඒකෙං පොතු හතරක් පහක් කොරහෙ ඔබල අරං දාන්න හොද්දට. දැං ඔය ඇදලපු සේරම අහුවෙච්ච බාජනේකට දාල වහන්න. පස්සෙ බැරියැ අස්කරන්න. තව රතුළූණු, කරපිංච ආදී ජාති එහෙමත් ඕකට දාන්න. ඒව ඉතිං කියන්න දෙයක්යැ. නිකං ඇඟ හෝදගන්න වතුර ඩිංගක් ලිපෙං තිබ්බත් ගෑනු අය පුරුද්දට වගේ ඒකටත් ලුණුයි, මිරිසුයි, කරපිංචයි දානවනෙ. 



දැං හොද්ද තියන්න ලිපේ. අර පැණිවලලු ලියන ගංගානාත් දිසානායක මහත්තයගෙ ආච්චම්මනං ඕකට "විකට හුණු" නෑ නෑ මේ "විටකන හුණු" ටිකක් දානවලු. එතකොට කෑලි රෝසපාට වෙනවලුනෙ. අනේ මංද. ඕන්නැං ඉතිං හුණු, සමර, ඩිස්ටෙම්පර් බැයිනං පිලර්, රබර් පේන්ට් ඩිංගක් හරි දාලා බලන්නකො. තමුං පලමුවෙං නොකා හිටියහං ඉවරනෙ.


දැං ඉතිං ලිපට ගින්දර දාලා අළු උඩයන්න පිඹින්න. බට කුඹලෙං පිඹින්න. හොද්ද නටාගෙන එනකොට. හැන්දෙං හිමීට කලවං කරන්න. හිමීට හිමීට. බදාම අනන්න වගේ කලවං කලොත් කන්න වෙන්නෙ පොලොස් මැල්ලුම තමයි. ආං බලල මැටි කෝප්පෙ තියෙන පොල් රොඩු ටික කනව. හා හා යන්නෙපා හොද්ද කැටි ගැහෙයි. ලිප ගාව ඉඳං හැන්ද උරුක් කරල එලවන්න. නැත්තං දර කෑල්ලක් විසි කරන්න.


"ෂෙප් ෂිප් දුප් නරක්කාදි බලල. ධීපිය කිව්වෙ මයෙං දරපොලු පාරක නොකා"


ඔය ගමංම හැංදට හොදි ඩිංගක් අරං ඒකට කබරය පිඹිනව වගේ පිඹල අරං එයිං බිංදුවක් වං අල්ලට හලල ලෙවකාල බලන්න. ලුණු ඇතිද? දැං අල්ලටත් පිඹින්න. ලුණු මදිනං ටිකක් දාන්න. ආයි කලවං කරල ආයිත් රස පරීක්ෂාව කරන්න. හොද්ද විතරක් බලල මදි. කෑලිත් තැම්බිලද බලන්න. නෑ නෑ කාල බලල නෙවෙයි. කෑල්ලක් හැංදට අරං ඒකටත් මයින හම වාගෙ පිඹල පිඹල නිවල අරං වං අතේ ඇඟිලි දෙකෙං මිරිකල බලන්න. මදිද? දාන්න ආපහු හොද්දට. ආයි හැඳිගාන්න. හොද්ද හිදීගෙන යනවද බලන්න ගන්න ලිපේ තියෙන හොඳට පත්තුවෙන දර කෑල්ලක්. අල්ලන්න හොද්දට උඩිං පන්දම වගේ. පේනව නේද? තවම හිඳෙන්න අරං නෑ.


"චොස් ආාාවු"


බය වෙන්න එපා. ඒ අර ගිනිපෙනෙල්ලෙ අග හරියෙ ගිනි අඟුර වැටුන. හොද්දට. ඒක හැංදෙං ඇරං දාන්න පුලුවං. මොකෝ වහ යැ. අඟුරු දත මදින්නත් ගන්නෙ. 


ඔය විදිහට හැඳිගාලා හදාගන්න හොද්ද බාගත්තහම ලිබ්බොක්කෙං තියල වහගන්න. තව ටිකකිං එහා ගෙදර සුගතෙය එයි ඉටි පිඟානක් ඇරං 


"ඥැංදෙ මොනවෑ උදේට ඉව්වෙ."


කියල අහගෙන. මිරිස් බදින සුවඳ දැනිච්ච ගමං මිනිහ පිඟානක් අරං එනවමයි. මිනිහෑ පවුල උයන එව්ව බිංදුවවත් කන්නෙ නෑනෙ. ඉටි පිඟානට බෙදල දෙන්න පිරෙන්න එකක්. ඔව් පත්තර කොලේකිං වහල දෙන්න. නැත්තං ගස්සොල තියෙන පිණි වැටෙයි. උදේටයි දවල්ටයි දෙකටම කාල ඉතුරු උනොත් රෑට පාං ගෙනැත් කන්න බැරියැ?


දැං මොකද්ද ප්‍රශ්නෙ?


පොලොස් නැද්ද? 


ආ මේං තියෙනව කඩාගන්න.

Saturday, May 14, 2016

නවක වදය nuisance for novice



මෙන්න මේක තමයි මට හම්බුවෙච්චි නෙලුං තෑග්ගෙං ගනිපු කොම්පිවුටර් පෙට්ටිය. කලිං පෙන්නන්න බැරිවුනා.


මේ දවස්වල  රටේ බයිට්ටෙක නවක වදයයි. ඔන්නොහෙ ඕන කෙහෙම් මලක් වෙද්දෙං කියලා මාත් දන්න නවක වදය ගැන ටිකක් ලියා දමන්න මං කල්පනා කලා.


මං කැම්පස් ගිහිං ඇත්තේ දෙපාරයි. එක පාරක් කැළණියේ වෛද්‍ය පීඨයට ගියේ උසස් පෙළ කාලෙ ඉස්කෝලේ ප්‍රදර්ශනයකට ගෙනා නයි, පොලොං, කුනකටු, හාල්දණ්ඩො, දෙපත් නයි, පලාබරි ආදීන් අඩංගු බෝතල් ටිකක් ගිහිං දෙන්න ගියා. එදා කථිකාචාර්ය මහත්තැං කෙනෙක් අපිට කැන්ටිමෙං වඩේ එක්ක පේන්ටි ඇරං දීලා “ඔයාලත් මෙහෙට එන්න මහංසි ගන්ට” කිව්වා මතකයි. එදා "හා" කියලා ඔලුව වනපු පහලවත්තෙ ප්‍රදීපයටවත් මටවත් ආයි ඒ පැත්ත පලාතෙ පස් පාගන්නවත් බැරි වුනා. ආයිත් පාරක් ඌව වෙල්ලස්ස කැම්පස් එකට ගියේ මගේ යාලුවෙක්ව ඉන්ටවු එහෙකට ගෙනිහිං ඇරලවන්න. එයිට අමතරව මං කැම්පස් ගිහිං නෑ. හැබැයි එහෙම කියලා නවක වදේට අහුනොවී ඉන්න වුනෙත් නෑ.


මං සා.පෙ වෙනකං ඉස්කෝලෙ ගියේ ජාතික පාසලට. සා.පෙ පාස් උනාට පස්සෙ මට ඕනැ උනේ දොස්තර කෙනෙක් වෙන්න. ඒ කාලෙ අපි දැනං හිටිය ලොකුම සල්ලිකාරයො ජාතිය දොස්තරලා. මානාන ටවුමෙ අලුත් කාර් තිවුනෙ දොස්තරලට වෙච්චි නානායක්කාර මහත්තය සහ අපේ ගෙදර අයට ඇඳීමට බෙහෙත් දීමෙන්ම හොඳ ගානක් හොයාගත් කුමුදු මැඩංට විතරයි. ඒ හංදා දොස්තර කෙනෙක් වෙන්න නං සයන්ස් කරන්න ඕනැ බවත් සයන්ස් හොඳටම උගන්නන්නෙ මධ්‍ය මහා විද්‍යාලෙ බවත් පාර තොටේ හම්බුවෙන හැම කෙනාම කියන්න පටං ගත්තා. සල්ලි වලට තියෙන අධික තණ්හාව හින්දත්, හුඟක් දෙනා කියන දේ හරියි කියන මතය හිංදත් මාත් මධ්‍ය මහා විද්‍යාලෙට යන්න තීරණය කලා.


ඔය මධ්‍ය මහා විද්‍යාලෙ තියෙන්නෙ ජාතික පාසලේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර ටවුමෙං අනික් පැත්තට වෙන්න. අපේ ගමේ ළමයි සමාන වශයෙං ඔය ඉස්කෝල දෙකේම හිටියා. අපි දෙගොල්ලංම දෙපැත්තකිං ටවුමට ඇවිත් එක බස්සෙකේ තමයි ගෙදර ආවෙ. කොටින්ම කියතොත් ඉස්කෝල දෙකේම එවුං එකාට එකා හොඳ යාලුවො.


ඕං ඉතිං මාත් මගේ රස්සාව එහෙම හමාර කරලා ජාතික පාසල ඇතෑරලා මධ්‍යමහා විද්‍යාලෙට ගියා. පළමුවෙනි දවසෙ මධ්‍ය මහා විද්‍යාලෙම උපන්න උසස් පෙළ ළමයින් හෙවත් ඒකෙ උරුමක්කාරයොත්, පිටිං ගිය අපිත් එක හෝල් එහෙකට දාලා පින්සිබල් සෑහෙන දරුණු කතාවක් කලා. ‘පිට පාසල් වලින් ආපු දරුවන්ට රැග් කරන්න යන එවුං හම්ම ගහන’ බවට එතුමා දිවුරා කියා සිටියා. ඉන් පස්සෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් කතා කරමින් ‘නවක සහෝදර සහෝදරියන් ලෙංගතු කමින් පිළිගන්නා’ බවත් ‘අපි සියළු දෙනාම විදුහල් මාතාවගේ නම බබුලුවමින් රටේ දීප්තිමත් සිසු කැලක් මෙන් පෙරටම යායුතු’ බවත් කියා හිටියා. එයාගෙ කතාවෙං උතුරා ගිය සෙනෙහස නිසා මගෙ  උගුරත් හිරවුනා. ඒ හිරවීම මගඇරුනෙ දහතුනේ ළමයි එකතු වෙලා අපිට කෝඩියල් එක්ක කේක් කෑල්ල ගානෙත් දුන්නට පස්සෙයි. මෙවන් සහෝදර කැලතක් අපිට මේ කපේදි හම්බු නොවෙනවා ඇති කියලා මට හිතුනා. මාත් ඒ කියාපු විදිහට විද්‍යාලෙ නම මොන ඉටිගෙඩියක් කරලා හරි බබුලුවනවා කියලා මං හිතාගත්තා.



එයිං දවස් දෙකකට විතර පස්සෙ අපේ ඉස්කෝලෙ‍ යාම පටං ගත්තා. තට්ටු තුනේ විද්‍යාගාර ගොඩනැගිල්ලෙ පහලම තට්ටුවෙ දෙපැත්තෙ පන්ති කාමර දෙකයි. එයිං එකක දහතුන වසර ගණිත, විද්‍යා පංතිය. අනිකෙ දොළහ වසර ගණිත, විද්‍යා පංතිය හෙවත් අපි. පලවෙනි දවසෙ උදේ වරුවෙ සේරම පීරියඩ් උගන්නපු (උගන්නනවට වඩා කලේ පාසලේ කීර්ති නාමය රැකගන්න හැටි කියාදීමත්, පිටිං එන එවුං තමා මේක කන්නේ කියා නොකියා කීමත් තමයි.) නිසා ගැටළුවක් උනේ නෑ. නමුත් අනතුරක් වෙනවා ඇතැයි සේයාවක් නිකං හොල්මං කලා. ඒ හොල්මන වැඩ කරන්න පටං ගත්තෙ ඉන්ටෝල් වෙලාවෙ.


දහතුන කලා පන්තිවල කොලු රෑනක් ඇවිත් අපේ පන්තියෙ දොරෙං එබිකං කරලා බලලා 


“එයි ෂ් ෂ්... මේ උඹ උඹ වරෙං”


කියලා පන්තියෙ ඉස්සරහම පේලියෙ හිටපු අලුතින් ආපු එකෙක්ට ඇඟිල්ල දික් කරා. 


“උලම වගේ වටපිට බලන්න නෙවෙයි. වරෙං “


එයාව නිකම්ම නැගිට්ටුනා.


“ඉක්මනට වරෙං”


එයාව පඩිපෙලේ උඩට අරගෙන ගියා. ඉතුරු අපි ටික බිරන්තට්ටු වෙලා හිටියා. එදා මගෙ වෙලාව හොඳයි. මං ගෙදරිං ගෙනා බත්මුල දිගෑරගත්තා. බත් කන වෙලාවට සතෙක් සර්පයෙක්ටවත් කරදර කරන්නෙ නෑනෙ. මං ඉන්ටවල් එක ඉවර වෙනකං බත්මුල ලෙවකෑවා. විටින් විටේ අපේ පන්තියෙ කෙල්ලන්ව දහතුනේ පන්තියො කෙල්ලො විසිනුත් කොල්ලන්ව ඒ පන්තිවලම කොල්ලො විසිනුත් ඔය විදිහට අරගෙන ගියා. සමහර කෙල්ලො ආපහු ඇවිල්ලා මේසෙ මූන ඔබාගෙන ඇඬුවත් එක්ක.


එහෙම ගිහිං ආව එවුංගෙං මොකද වුනේ කියල ඇහුවම උං නොයෙක් කතා කිවුවා.


“ගෙදර විස්තර අහලා, ඉං පස්සෙ සිංදුවක් කියන්න නිව්වා”

“කෙල්ලෙක් ඉන්නවද ඇහුවා. මෙහෙ කෑලිවලට බැස්සොත් ** ** කරකෝනව කිව්වා”

“කංදෙක අල්ලගෙන විසි එකක් උඩ පනින්න කිව්වා”

“කට වැඩියි කියලා කට මිරිකුව බං”

“උජාලා ගෑව බං. මේ බලහං කමිසෙ නිල්”

“රුපියල් විස්සක් ගත්ත බං”

“හෙට එනකොට චොකලට් බිස්කට් පෙට්ටියක් ගේන්න කිව්ව”


කෙල්ලන්ට වෙලා තිවුනෙ ඊට වෙනස් වැඩ. මං ඒව අහගත්තෙ අනික් කෙල්ලංගෙං


“දැං තියෙන ලව් එක නවත්තන්න කිව්වලු. අර කෙට්ටු උස එකාට කැමති වෙන්න කිව්වලු”

“ගවුම දනිස්සෙං පහලට වැටෙන්න දිගට මහන්න කිව්වලු”

“කොන්ඩෙ වවන්න කියල කොන්ඩ ගස් ගැලවෙන්නම කොණ්ඩෙං ඇද්දලු”

“සිරික්කිය වැඩියි කියල බැන්නලු”

“පේමන්ටෙක දිගේ හාවො පයින්න කිව්වලු”

“සිංදු කියන්න කියල, ඒක කිව්වට පස්සෙ ලව් සිංදු කියන්නෙ මගුල් විසේද ඇහුවලු”

“හෙට එනකොට පනහෙ චොකලට්ටෙකක් ගේන්න කිව්වලු”

ඔය විදිහට කියපු දේ කිරීමෙන් සහ සල්ලි බාගෙ තියෙන බවට එලිවෙච්ච එවුං විසින් චොකලට්, විස්කෝතු ආදී අල්ලස් ලබාදීමෙන් රැග් එක සමත් වෙන්න සෑහෙන පිරිසකට පුලුවන් උනා. එකපාරක් දෙකකට වඩා එකෙක්ව ඔය වැඩේට ගත්තෙ නෑ. සමහරුංව එහෙම ගනිද්දි අනික් රැග්කරුවො කෑගැහුවා.


“ඒයි ඒයි. උට ඉන්න ඇරහං. අපි උගෙං ඊයෙ චොකලට් ගෙන්නුව”


හැබැයි ‘මේ ලෝකේ ඉන්නා සුන්දරම කෙල්ල මං තමයි. සියළුම කොල්ලෝ මාගේ එක බැල්මට වසඟ වේ’ කියල හිතාගෙන ලලනෝපචාරී මොනවද එව්වා දාගෙන, ලේන්සුව ගවුමෙ පටියෙ ගහගෙන, කෝල බැලුම්, නෙතඟ කැලුම්, ඩබල් බැලුම් දාගෙන ඉන්න හදපු කෙල්ලො එකෙක් දෙන්නෙකුටත්, කලිං මේ ඉස්කෝලෙ කොල්ලෙක් එක්ක වලියක් දාගෙන හිටිය අලුතින් ආපු කොල්ලෙකුටත්  සෑහෙන කාලයක් වදවෙන්න වුනා.


මේ ආදී වසයෙං රැග් එකට ලක්වෙච්ච සෙනග අතරේ මං මගේ සුපුරුදු උපාය දැම්මා. හැමදාම මං බත්මුලෙං බේරුනා. ඒත් කල පවු තියේනං වලක්වා ගන්න බෑ. එක දවසක් මට ගෙදරිං බත්මුල ලැබුනෙ නෑ. එතකොට මං එම්.බි.බි.එස් කරලා එකතු කරගෙන තිවුන සල්ලි වලිං ගෙදරට සල්ලි දෙන එක නවත්තල සතියයි. එදා ඉන්ටවල් එකට මොකවත් නොකා හිටිය මාව අහු උනේ දහතුන විද්‍යා පංතියෙ අක්කල රෑනට. ඒ නඩේ හිටපු කැත්තට පොල්ල වගේ කට සැර, කොණ්ඩෙත් කපල කොල්ලෙක් වගේ ඉන්න අක්කට මාව ඇහැ ගැටුනා.


“ආ.... මේ ඉන්නෙ. මූ හැමදාම දවල්ට බත්මුල දිගෑරගෙන කට්ටි පනිනව. වරෙං යන්න”


තවත් මරුමුස් අක්කල රෑනක් මාව උංගෙ පංතියට දක්කගෙන ගියා.


ගුරුමේසෙ ගාව හිටෝල තියල මගෙං ප්‍රශ්ණ කරන්න පටං ගත්තා.


“මේසෙට හේත්තු වෙන්නැතුව කෙලිං හිටපිය”


මං සිරුවෙං හිටගත්තා. මෙතැන සිට ප්‍රශ්න රතුයි, උත්තර නිලුයි, පසුබිමෙන් ඇහෙන කතා දම්පාටයි.


උඹ කපටි කමට බත්මුල දිගෑරගෙන කනව නේද ඉන්ටෝල්ලෙක ඉවර වෙනකම්ම. කෝ අද උඹේ බත්මුල.”


හම්බුන්නෑ


“ඒ මොකද? උඹෙ ගෑනි ගමේ ගියාද”


“හිහිහී...හිචි හිචි”


“ගෙදරිං බත් හම්බුන්නෑ”


“ඇයි උඹලෑ ගේ බිමට කඩං වැටුනද?”


“ඥෑ... ගෙදෙට්ට දෙන්න සල්ලි තිවුන්නෑ”


“ංආආආආා....”


“ඇයි උඹ ඉන්නෙ අම්මයි තාත්තයි එක්ක නෙවෙයිද”


“ඥෑ”


“බෝඩිමේද?”


“ඥෑ”


“මොකද උඹ ගෙදර යන්නැත්තෙ?”


“මාව ගෙදරිං පැන්නුවා”


“තෝ ගෙදරිං හොරකං කලාද. අල්ලගනිං කං දෙකෙං. ගහපං දන. “


තප්පර දෙකෙං මං දනගහගෙන කං දෙකත් අල්ලගෙන. වටවෙලා ඉන්න රංචුවත් වැඩි වුනා. නයි නටෝනව බලන්න වගේ. කදමලු බැඳගෙන නැන්ද මාම බලන්න යන රිලව දිහා බලනව වගේ හැමෝම මා දිහා බලනව.


“හා.. දැං කියපං මොකද්ද උඹ කරපු වැරැද්ද ගෙදරිං එලවන්න”


“මං මුකුක් කොලේ නෑ. තාත්ත හැමදාම බීල ඇහිල්ල රණ්ඩු කරනව. ඉං පස්සෙ දවසක් මට ගහල ගෙදරිං පැන්නුව”


“අනේ... පවූඌඌඌඌඋ”


අක්කගෙ පරිවාර සේනාව "ඌ" යන්නෙං පංතිය ඒක නින්නාද කරා.


“මේ.. උඹල කට වහපල්ලා. මං මුගෙං අහන්නෙ”


අක්කා මීටරේ රූල වනලා තමුංගෙ රෑනෙ කටවල් වැහුවා.


“එහෙනං උඹ කොහෙද ඉන්නෙ”


“කලිං හිටියෙ අම්මලෑ මහගෙදර, එහෙං යන්න කිව්වට පස්සෙ දැං ඉන්නෙ මාමගෙ ගෙදර”


“බොරු නේද කියන්නෙ”


“නෑ.. ඇත්ත අපේ පංතියෙ ආනංදගෙං අහන්නකො.”


“ඒකත් මං අහගන්නංකො. උඹ බොරු කියල තිබ්බොත් බලාගමු. නැගිටාං”


ආයිත් තප්පරෙං මං නැගිටලා.


“උඹ ක්ලාස් යන්නෙ කොහෙද?”


“තාම යන්නෑ”


“එතකොට උඹ සාමාන්‍ය පෙල ලියල නිවාඩු කාලෙ මොකද කලේ”


ඒ දවස්වලත් සා.පෙ අහවර වෙච්ච ගමන් ප්‍රතිපල එන්න කලින් හැමෝම පන්ති යනව.


“මං රස්සාවක් කලා”


“තෝ බොරු නේද කියන්නෙ ආයිත්. සුමාලියෝ ගෙනහං අර මගෙ කාකටු පෙට්ටියෙං පෑනක් මුගෙ ෂර්ට් එකේ ඉරි අඳින්න”


“අනේ නෑ. මේ ඇත්ත කියන්නෙ. ඒකත් ආනන්දගෙං අහන්න බොරුද කියල. අනේ මගෙ කමිසෙ නං ඉරි අඳින්න එපා. මෙච්චරයි තියෙන්නෙ”


“ඒ... පවූඌඌඌ බං... ඔන්නොහෙ යන්න ඇරහං. ඔයා යන්න මල්ලි.”


මේ වනවිට මගෙ කතාවෙං වටේ හිටපු රෑනගෙ බොක්ක උනුවෙලා තිවුනෙ. ඒ විරෝධය එක්කම තවත් ප්‍රශ්ණ ඇසීමෙන් පලක් නොවන බව දැනගත්ත හිංදා ප්‍රශ්ණ කරපු අක්කා මං ලවා යංතං පැල්කවියක් වගේ සිංදුවක පද හතරක් කියවලා මගේ කමිස සාක්කුවෙ පෑන් ඉරකුත් ඇඳලා එයාගෙ බොරු දරදඬුභාවය පෙන්නලා මාව ආපහු යැවුවා. එදාම එයාලා මං කියාපු දේවල් ඇත්ත බව ආනන්දයගෙං අහල තහවුරු කරගෙන තිවුනා. මාත් දවස් ගානක් පෑන් ඉර තියෙන කමිසෙ ඇඳලා ඒ බව තවත් තහවුරු කලා. එදා ඉඳං කවුරුහරි මාව මඩවන්න ලැහැත්ති වුනොත් අර අක්කල රෑන මාව බේරගන්න එකාවන්ව මීටරේ රූල්, කොසු ආදිය ඇරගෙන පෙරට එනව.


“ඒයි ඔය මල්ලිට ඉන්න දීපං හරිද. තොපේ ඔලු පලනව උට අත තිබ්බොත්”


ඒ වගේම සමහර වෙලාවට කැන්ටිම පැත්තෙ ගියොත් ඒ අයගෙ වියදමෙන්  මාලු පාං එකක්, රෝල්ස් එකක් ආදියත් ලැබෙන අවස්ථාවනුත් තිවුනා වෙන්ට පුලුවන්.


ඔය විදිහටම ආයිත් පාරක රැග් එක කෑවෙ මං පලවෙනි වතාවට සුපවයිසර් කෙනෙක් හැටියට තේ පැට්ටේරියෙ රස්සාවට ගිය කාලෙ. සතියක් විතර දවල් වැඩ පුහුණු වුනාට පස්සෙ එක දවසක් මාව රෑ වැඩට යෙදෙවුවා දළු මැලවීමෙ අංශයට. රෑ වෙනකොට ඇතිවෙන සීතල හිංදා දළු මලවන්න රස්නෙ ගන්නෙ  තේ වියලනයෙන්. 

තේ වියලනයේ දර දාන කොටස


එදා රෑ දොලහ වෙද්දි ඒ ලිපට දාන දර කොට එකක්වත් පත්තු වෙන්නෙ නෑ. මට ඒකෙ ලෙඩේ හොයාගන්න බැරිවුනා. පහුවදා උදේ වෙද්දි දළු මැලවීම කෙසේ වෙතත් හීතල සුලඟ වැදිලා ගහේ තිබුනට වැඩිය හොඳට තේ දළු ටික පන ගහලා ඇවිත්. ආයිත් ඕනිනං ගහේ හයිකරන්නත් පුලුවං. කොළම කොල පාටයි. ඒ දර්ශනයෙන් අමන්දානන්දයට පත්වෙච්චි ටී මේකර් හෙවත් කර්මාන්ත ශාලා නිලධාරීතුමා මට ඇමතුවෙ මෙන්න මෙහෙම.


“ඕයි තමුසෙ රෑ තිස්සෙ මෙතන @$වැද්දද? ගෑනුංගෙ &*වල් බැලුවද? බලනව ලක්ෂ ගානක දලු. මං මේක කන්නද? @$#^#$#*&&^#%^%. දැං ඉතිං තමුසෙ මේකට ගෙවනව.”


එදා වැඩකරපු කම්කරුවොත්, අනෙක් අංශෙ වැඩ කරපු සුපවයිසරුත් ලිපට හුලං එන පංකාවෙ මෝටරේ නවත්තලා මට අන්නපු බව පස්සෙං පහු හොයාගන්න පුලුවං වුනා. වෙච්ච දේට හිත කලකිරුන මං දවස් ගානක් වැඩට ගියෙත් නෑ. මං නිසා ලක්ස ගානක් පාඩුවක් උනා කියලා හිතං හිටියත් පස්සෙ කාලෙක දැනගත් විදිහට දවල් දවසේ ඒ දළු ටික මලවලා අඹරලා අරගෙන තිබුනා. කිසිම පාඩුවක් වෙලා තිබුනෙ නෑ.


ටික කාලයක් ඔය විදිහට මට නොයෙක් කෙනෙහිලිකම් උනා. ඒත් එක්කම මට කචල් ඇදපු සුපවයිසර්වරයාව හොඳ යාළුවෙක් කරගන්න මට පුළුවන් උනා. මට ඒකට වියදම් උනේ සිගරට් දහයක් පහලොවක් සහ ඩේල්කානගී ලියාපු “හිත් ගැනීම” කියන පොතේ එක පරිච්ඡේදයකුත් විතරයි.


තේ වියලන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මං දන්නා විද්‍යාව එක්ක කලවං කරලා ඒක වඩාත් කාර්යක්ෂම වෙන්න සීරුමාරු කරන්න පසු කාලීනව මට පුලුවන් උනා. අදටත් ඒ ක්‍රමය පාවිච්චි වෙනවානං පැක්ටේරියට දවසට රුපියල් තුන්දාහක විතර දර ඉතුරු වෙනවා ඇති.


අන්තිමට කියන්න තියෙන්නෙ නවක වදය කියන එක අධ්‍යාපන ආයතනවල විතරක් නෙවෙයි අපි අලුතින් යන හැම තැනකම තියෙන දෙයක්. යම් කෙනෙක් අලුතින් එක කෙනෙකුට තාඩන පීඩන කරනවානං ඒක ඒ යම් කෙනාගේ ඉරිසියාව, හීනමානය හෝ මානසික රෝගයක්. නමුත් ඒ හිරිහැරවලට ලක්වෙන කෙනාට පුළුවන් තමුන්ට හිරිහැර කරන්න හදන කෙනාව පක්ෂපාත කරගන්න. ඒ වගේම එයාට තමුංගෙ නරක ගතිගුණයෙන් ගැලවෙන්න උදව් කරන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ එකම දෙයයි.

ඒ මනුස්සයාගෙ හිතේ වැරද්ද තියෙන තැනට නිවැරදි හැඟීම එන්නත් කරන්න.