Follow by Email

Saturday, April 9, 2016

උංචිල්ලාව

අද අප්ප්‍රේල් නව වැනිදා. හරිනං මේ කාලෙට හැමදාම හවසට වහින්න ඕනාය. දැං වහින්නේ මං ඔපීසියට යද්දී කුඩේ ගෙනිච්චේ නැතොත් විතරය. ඒ වගේම අප්‍රේල් මාසේ මේ වනවිට කොහා කෑ ගහන්න ඕනාය. කොහාට ගිය අවුරුද්දෙ කෑ ගැහූ එකටවත් තාම වවුචරේ ගෙවා නැතුවාද කොහෙද ඌ කෑ ගහන්නේත් නැතිය. සමහර විට මේ ගමන නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව ගානේ පීකර් බැඳපු වාහන කීපයක් ගම්වලට යවා කොහෝ නද පතුරවන්න වෙනවා ඇත. සතිඤ්ඤා නං පත්තු වෙනවා ඇසේ. ඒත් ඇහෙන්නේ මුස්ලිම් මිනිස්සුංගෙ ගෙවල් පැත්තෙංය. ටවුමේ හරි හමං සේල් තට්ටු ටිකක්වත් නැතුවා වගේය.


ඔය විදිහට මේ දවස් වෙනකොට වෙන්න ඕනෑ තවත් දෙයක් වන්නේ උංචිල්ලා බැඳීමය. ටීවියෙකේ, රේඩිවේකේ, පත්තරවල ආදියේ මේකට ඔන්චිල්ලාකියා ගාම්භීර ලෙස කියතත් සඤ්ඤක නැති මයියොක්කා වගේ අපේ ගමට නම් මේක උංචිල්ලාවය.


ඔංචිල්ලා වර්ග ගනනාවක් තියෙනවාලු. වැල් ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා ආදී ලෙස මේවා වර්ග කරන බව එක දවසක් අවුරුද්දට ටීවියෙකේ තිවිච්චි සාකච්චාවක කිව්වා මට මතකයි. උංචිල්ලාවල හැටි සොබාවත්, ඒවාට ආවේනික ලක්ෂණත් තවත් ඕනෑ පදං ඒ ගැන විස්තරත් මුලින්ම ඔන්චිල්ලාවක් බැන්ද කෙනාටත් වැඩිය හොඳට සාර සුබාවට විස්තර කරන්නට ඔය අවුරුදු දාට ටීවියෙකේ අවුරුදු උත්සව වල විධ්වථ් ඛථිඛාවලට එන ආචාර්ය, මහාචාර්යවරු දනී. ඒ අය දැනටමත් ඕවාට අවශ්‍ය බේගල් ගොතමින්, එව්වා එකිනෙකට හගිස්සවන්න බැරි විදිහට ආටෝපවත් කරමින් ඉන්නවා ඇත. නැත්තං මේ නිවේදකයන්ට ඇසිය යුතු ප්‍රශ්ණ පාඩං කරවමින් ඉන්නවා ඇත.


වැල් ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා ආදිය දැක නැති අය එව්වා පෙන්නන්න කියා තමුංගේ ළමයිං වහනවල පටවාගෙන ගංවලට යන්න හිතං ඉන්නවනං අපේ ගමටනං යන්න එපාය. ඇත්තම කියතොත් මගේ ජීවිතේටමත් හැබැහිං දැක ඇත්තේත් කතුරු ඔංචිල්ලා දෙකකි. එව්වාත් මට යංතං අවුරුදු හතරෙ පහේ කාලෙදිය. ඒ හංදා ඔය වයිවාරන්න උංචිල්ලා බලනවනං හොදම තැන ටීවියෙක තමයි. වැල් ඔංචිල්ලා ගැන බැලුවොත් කැලේ තියෙන මදුවැල්, පෝටවැල්, වේවැල්, පුස්වැල් ආදී මොකකිං හෝ වැලකිං බැදපු මොකක්ම හෝ වැල් ඔංචිල්ලාවක් කියා එකක් තිවුනොත් ඒක වැඩි වෙලා යන්න කලිං ලීයටම මැදිලා ගෙවිලා පදින එකාව හොස්ස කට තලාගෙන පස්සත් බිම ඇනගන්නා විදිහට කැඩී යනවා සිකුරුය. .


ඉස්කෝලෙ යන ලමයින්ට අප්‍රේල් නිවාඩුව ලැබෙන්නේ දෙමව්පියන්ට හෝ වෙනයම් කෙනෙක්ට කියා උංචිල්ලාවක් බන්දවා ගන්නටය. අපේ ගමේ ළමයින් ඉන්නා ගෙවල් කොයිකෙත් උංචිල්ලාවක් නොබැඳ ඒ ගෙදර වසනවා බොරුය. දවස් ගානක් හොරනෑව පිඹීමෙංද, අම්මලා එක්ක ගුස්ති ඇල්ලීමෙං හා උන්දැලාව කොනිත්තීමෙන්ද, කනිපින්දං කීමෙන්ද, බත් නොකා ඉඳීමෙන්ද, අම්මලාගේ ලය උණුකරවාගෙන ඒ අය ලවා තාත්තලාට කියවලා උංචිල්ලාවක් බන්දවා ගන්නට වෙනමම කුසලතාවක් අපේ ගම්වල දරුවෝ උප්පැත්තියෙංම ගෙනැත් ඇත. ගුටිදීමෙන්, බැනිල්ලෙන්, කං අනික් පැත්තට කරකැවීමෙන් හෝ උංගේ කටවල් වහනවා බොරුය.


ටීවියෙකේ පෙන්වන ඔංචිල්ලාවන් බැදලා තියෙන්නේ විසාල ගහක නැගියත් දෙකක් විතර උසිං හැදිලා පොලවට සමාන්තරව සෑහෙන දුරක් ගිය අත්තකය. ඒ ගහ අහලක වෙනයම් කිසිම ගහක් කොලක් නැත. ඒ වුනාට ඒ වගේ ගස් තමුංගේ ගෙදර වත්තේ තියෙන වාසනාවන්ත ළමයිං ඉන්නේ බොහොම අඩුවෙංය. අපේ ගෙවතුවල පෙලක් ගස්වල අතු තිබුනත් එව්වා පොලවට සමාන්තර නැත. ඒ අතු ගහෙං පිටට ඇවිල්ලා තියෙන්නේ උඩ බලා යන්නය. ඒවායේ උංචිල්ලා බැංදොත් වෙන්නේ ගහ වටේ කැරකෙන්න හෝ ගහේ හැපෙන්නය. හරි හමං අත්තක් තියෙන ගහක් හොයාගත්තත් එව්වා වටේටම බාදාවල්ය. අපේ ගෙදර ආතගහේ උංචිල්ලාව බැංදොත් වේගෙ වැඩිවෙච්චි ගමං කොන්ද වදින්නේ පොල් ගහේය. මායිමේ කොස් ගහේ උංචිල්ලාව බැන්දොත් ගුන්තිලක මාමාගේ කම්බි වැටේ ඇමිනිලා ඉන්න පුලුවන. ඔය විදිහට මොනයම්ම හෝ බාදාවක් තියෙන්නේය. ඒ හංදා ඉඩ ඇති තැනක උංචිල්ලාව බදින්න ඕනෑය. අපේ ගෙදර ඒකට ගැලපෙන පලවැනි තැන කරාබු ගස් දෙකය. කරාබු ගස් දෙකේ එක සමාන උසිං හරහට බැඳ ගන්නා උණලීයක මගේ උංචිල්ලාව ගැට ගැසේකාලයක් ගිහිං එක කරාබු ගහක් මැරුනාට පස්සේ උංචිල්ලාව එතැනිං  තැඹිලි ගස් දෙකට මාරු වුනි. අඩි දොලහකට වඩා උස නැති එක ළඟ තියෙන තැඹිලි ගස් දෙක මේ වැඩේට අපූරුය. ගඟ අද්දරින් කපාගෙන එන අලුත් උණ ලීය ගස් දෙකේම පොල් අත්තක් කඳට හයිවෙන තැන කරුවට තියලා ලනුවකිං තදට ගැටගැහුවාම හරස් අතට තියෙන අත්ත වෙනුවට ගන්න පුලුවන. 
අපේ ගෙදර සහ මගේ උංචිල්ලාව


අපේ ගෙදර ඔය විදිහට උංචිල්ලා බඳින්න තැඹිලි ගස් තිවුනත් අනික් ගෙවල්වල එහෙමටවත් තැනක් නැත. ඒ වගේ ගෙවල්වල පුවක් කොටං වලින් කතිර දෙකක් හිටෝලා ඒවායේ හරහට උණලීයක් දමා හදාගන්න ඕනෑය. අපේ දැතිහුලහ නැංදගේ ගෙදර ළමයින්ට හදාදෙන්නේ ඒ වගේ ඒවාය. පොඩි එවුං දෙන්නාට උංචිල්ලාවේ උස අඩි අටක් විතර වෙන්න ඕනෑ හිංදා කතිර දෙකටත් මාමා අඩි අටක් උසට පුවක් කොට හතරක් කපාගෙන එන්නේය. එව්වා පොලවේ අඩියකට වඩා යටට හිටවන්න ඕනෑය. එතකොට ඉතුරු අඩි හතකටත් අඩුවෙනි. කතිරේ හැදෙන්න කණු දෙක ඇලේට හිටෝන හිංදා තවත් ටිකක් උස අඩු වෙන්නේය. පුවක් කොට දෙක කතිර වැටෙන තැන තියෙන්නේ මුදුනට තවත් අඩි බාගයක්වත් පහලින්ය. අන්තිමට හරස් උණලීය එන්නේ පොලවෙ ඉඳං යංතං අඩි හයටත් අඩු උසින්ය. උංචිල්ලාව පැදලා නැගිටිනකොට ඔලුව හරස් උණගහේ වදින ඒ උංචිල්ලාව පැදිල්ලට වඩා ඔරලෝසු බට්ටෙක් පැදිල්ල ලෙහෙසි වන්නට පුළුවන.

දැතිහුලස් නිවසේ උංචිල්ලාව


ඔය හරස් ලීය බැන්දායිං පස්සේ තියෙන්නේ ලණුවක් දමා උංචිල්ලාව බැඳීමය. ඒකත් ලේසිවට කරන්න පුලුවං වැඩක් නෙවෙයි. ලණුව උණලීය වටේ තොණ්ඩුවක් විදිහට බුරුලට ගැටගැහුවොත් උංචිල්ලාව පදිද්දී උණ ලීය වටේ ලණුව ඇතිල්ලිලා ගෙවිලා ගිහිං කැඩෙන්න පුලුවන. ඒ හංදා උණලීයට පරන පුබ්බයිසිකල් ටෑර් දෙකක් වලලු විදිහට දාලා ඒකට ලනුව ගැටගහන්න ඕනෑය. ඒත් එහෙම ටෑර් හැමෝටම නැති හංදා ලේසිම ක්‍රමේ ලණුවේ දෙකොන උණලීය වටේ ලිස්සන්නෙ නැති වෙන්නම තදට ගැට ගැහිල්ලය.



උංචිල්ලා බඳින්න ගන්නේ කොහු කඹයක්ය. අපේ ගෙදර උංචිල්ලා බඳින්නේ දුමේ තියෙන පරණ කඹයකිනි. සමහර ගෙවල්වල නයිලෝං ලණුවලිංද උංචිල්ලා බඳී. වසන්තලෑ ගෙදර විමලසේන මාමා ගස් කපන හිංදා එයා ගාව ඕනැ හැටියේ කඹ තිබේ. එයාගෙං පරණ කඹෙයක් ඉල්ලා ගන්නත් පුලුවන. නැත්තං හොඳ කඹෙයක් “පස්සෙ ගෙනැත් දෙන්නං” කියා ඉල්ලා ගන්නත් පුලුවන. හැබැයි මේ ඔක්කෝටම වඩා අපූරු ජාතියක් එක කාලෙකදී අපේ ගමට කඩා පාත් විය. ඒ ‘ගාමන්ට් පටි’ කියන රෙදි පටි ජාතියයි. අපේ ගමේ ‘පෙජෙට්ටෙක’ හිංදා ‘බෝරවෑර්’ වසංගතේ පටං ගත්තා වගේම මේ කියන ‘ගාමන්ට් පටි’ කියන යකාටවත් කඩන්න බැරි තරං හයිය රෙදි පටි වර්ගෙත් රෙදි වැල් බඳින්න, වරිච්චි බිත්තිවලට මැටිපා බඳින්න, ගෝනි ගැට ගහන්න, වැටවල් බඳින්න වගේම උංචිල්ලා බඳින්නත් යොදාගත්තා.



ගෙවල්වල ළමයින්ට වගේම ගමේ රැකියා විරහිත අතපයධාරී (ආච්චම්මා කියන විදිහට අතපය හතර තියං වැඩප්පලක් නොකරන) තරුණ පරම්පරාවත් පොදු තැනක විසාල උංචිල්ලාවක් බැඳගනී. පහලවත්තේ කලුමහත්තෙයාගෙ වත්ත කොනක මේ ආකාරයේ හත් අට දෙනෙක්ගෙ උසට උංචිල්ලාවක් බැඳේ. කරේ කඹයක් නැතිව හිටි ගමන් අනුංගේ කුඹුරුවලට කඩා පනින උංකුං මහත්තයාගේ හරක් නඩය ගමට දැනුං දෙන්නේ ඒ ආකාරයේ විසාල උංචිල්ලාවක් ගමේ කොහේ හෝ බැඳ ඇති බවයි. ඔය විසාල උංචිල්ලාව පදින්නේ ලොකු කොල්ලන් හා වැඩිහිටි පිරිමි අය විතරකි.


උංචිල්ලාව බැන්දාට ඒකේ ඉඳගන්න ආසනයකුත් හරිහමං තියෙන්න ඕනෑය. නැත්තං කඹේට පස්ස කැපෙන්න පුලුවන. ඒ හංදා අඩියක් ඉතර දිග පොල් පිති කෑල්ලක් ගෙන, කඹේ දෙපොට හිරවෙන්න දෙකොනේ කට්ට දෙකක් කපා උංචිල්ලාවේ ඉඳගන්නා කොටසට තියා ගන්න ඕනෑය. සමහරු ලේසිවට නිදාගන්නා කොට්ටය ගෙනත් ලණුවට තියා ඉඳගත්තත් උංචිල්ලාව පාත් උනොත් කොට්ටේ දෙකොන බිම ගැවෙන්ට පුලුවන. ලණු දෙපොට දාපු උංචිල්ලා වලට දෙකොනේ කට්ට දෙක ගානෙ කපාපු පලල ලැල්ලක්ද තියන්ට පුලුවනි.


ටීවියෙකේ පෙන්නන ආකාරයට නං උංචිල්ලාව පදින්නේ රෙද්ද හැට්ටෙ ඇඳ, පෙති පහේ මලක් කනේ ගසාගත් හිකි හිකි ගා හිනැහෙන ගෑනු ලමයි ඉතරය. ඒවායේ එක්කෙනෙක් ඉඳගත් විට තව දෙන්නෙක් තල්ලු කරන්නටත් තවත් රෑනක් උංචිලි වාරං කවි කියන්නටත් ඉඳී. ඉතිං උංචිල්ලාවේ ඉඳගත් ගෑනු ලමයාට ඇත්තේ හීල් හුලං වැදි වැදී පැද්දෙන්නට පමනි.


නමුත් අපේ උංචිල්ලා පැදිල්ල මෙයිට වඩා අසරණ, පණයන සහ අම්මලාට ත්‍රාසජනක ක්‍රමයකි. දෙතුන් දෙනෙක් හිටියොත් එක්කෙනාට වාර දහයක් හෝ පහලොවක් ලැබේ. ඊළඟට අනික් කෙනාටය. අපිට උංචිලි වාරං කියන්නට තබා තල්ලුවක් දම්මවා ගන්ටවත් එකෙක් හොයාගන්න අමාරුය. හැබැයි උංචිල්ලාව දෙපැත්තට පැද්දෙන වාර ගනන ගනං කර පදින එකාගේ වාර ගනන අවසන් වෙනවත් එක්කම උංචිල්ලාවේ එල්ලීගෙන හෝ නවත්තා ඌව බිමට ඇද දමන්නට නම් සෑහෙන පොදියක් අහල පහල හිඳී. ඒ හංදා උංචිල්ලාව තමුං විසින්ම පැදගන්නට දැනගත යුතුය. ඒ ක්‍රමය ‘පැදුං ගැනීම’ කියා හැඳින්වේ. බයිසිකල් පදින්න පුරුදු වෙන හැටි ලියන්න බැරුවා වගේම ‘පැදුං ගැනිල්ලත්’ ලියා පැහැදිලි කරන්න අමාරුය. හිටගෙන පැදීමෙන් ඉක්මනින්ම උංචිල්ලාව උපරිම වේගයට සහ උපරිම උසට ගන්න පුලුවන. ඒ එක්කම උංචිල්ලාගේ ඉඳගෙන පැදුං ගැනීමෙන් ඒ වේගය රඳවා ගන්නට පුලුවන.  ඒ හංදා උංචිල්ලා පැදිල්ල සැප පහසු වැඩක් නොවන අතර ඉහිං කනිං දාඩිය පෙරන වැඩකි. උංචිලි පදින වෙලාවට කියන්න ‘උංචිලි වාරම්’ කියා කවි තිබෙන බවට කියතත් කවි කියන්නට ගියොත් උංචිලි පදින එකාට හුස්ම හිරවෙනවා ඇත. ඉස්කෝලේ රැස්වීමෙදිවත් කවියක් කියන්න ඉදිරිපත් නොවන අපි උංචිලි පැදීමෙන් මිසක කවි කීමෙන් සතුටක් ලබන විදිහ නොදනිමු. කවි කියා සතුටුවන පොඩි ලමයින් කලාතුරකින් ටෙලිනාට්ටිවල දකින්න පුලුවන. ඒ උනත් අපේ ආච්චම්මා පුංචම්මාගේ ළමයාට කියා දුන් පද දෙකේ උංචිලි වාරමක් මට මතක ඇත.


“උංචිල්ලාවට දෙන්න නැගිච්චෝ
දෙන්නගෙ කෝලම කඩා හැලිච්චෝ”


එකෙක් උංචිල්ලා ලැල්ලේ ඉඳගෙන හිටිද්දී අනික් කෙනා ලැල්ලේ දෙකොනිං කකුල් දෙක තියා හිටගෙන පැදිල්ල ත්‍රාසජනක ‘ඩබොල් දමා පැදිල්ල’යි. මෙතැනදී ඉඳගෙන ඉන්නා කෙනාට මහන්සියක් නැත. හිටං ඉන්න කෙනාට හොඳ ගනංය. ඒ වගේම වැඩිහිටියෙක් දුටුවොත් “තොපි බෙල්ල කඩාගන්න දඟලනවද“ යනුවෙන් දිරිගන්වන වදන්ද ලැබේ.


වැඩිමහල් ගෑනු ලමයි උංචිල්ලාවක් පදින්නට එන්නේ කලාතුරකිනි. එන්නේම නැති තරම්ය. ආවත් තමුංගේ කකුල් දෙක දික්වෙන දිහාව කෙලිං කිසිම මනුස්ස පුලුටක් ඉන්න දෙන්නේ නැත. ඒ හංදා පොඩි ළමයින්ට උංචිල්ලාවේ අයිතිය නිතැතින්ම අයිතිවේ. සමහර වෙලාවට ඇට්ටර ලමයි අපේ ගෙවල් වලට ආ විට උංචිල්ලාව නිසා අපට කරදරද ඇතිවේ. ඒ ළමයි පලමුව තමුංගේ මවගේ මූණ කොනහමින් “කුහුක් කුහුක්” ගා බොරුවට අඬන්නටත් රහසිං මොනවද කියන්නත් පටං ගනී. එවිට උංගේ අම්මා


“කට වහං ඉදහං පිට තැංඔල ආවං ඉන්න හැටි කියල තියෙනව නේද”


කියා තමුංගේ ළමයාගේ කට මිරිකයි. ආං එතකොට ළමයා මරහඩ දී අඬයි. මේ වෙලාවට අපෙ අම්මා එතැන්ට ඇවිත්


“මොකද නංගියෙ ළමය අඬන්නෙ”


කියා අසයි.


“මුට මේ උංචිල්ලා පද්දන්නලු අක්කෙ. කියන්දේ අහන්නෑනෙ ඇට්ටර කම”


එතකොට මට මහජන සම්පත  ඇදේ. අම්මා මට අණ දෙයි.


“ළමෙයො. මේ දරුවව ඩිංගක් පද්දහං උංචිල්ලාවෙ.”


“මච බෑ.”


මං විරෝධය පළකරමි.


“ඕන්නෑ අක්කෙ. කරදර කරන්නෙ මොටදැ. මේ අපේ එකාගෙ ඇට්ටර කමනෙ”


ඒ අම්මා තමුංගෙ ඇට්ටර ළමයා පිට වරද පටවයි. අපෙ අම්මා එව්වා අහන්නේ නැත


“බැයිද? හා හිටහං තාත්ත ආවහං මං ඕක ගලෝල දම්මන්න”


අම්මා මට කඩා පනී.


“නෑ නෑ පද්දනව. යං යං”


ඉතිං මට ඇට්ටරයාව උංචිල්ලාවේ පද්දන්නට සිද්ද වෙයි. තල්ලු කිරීම නැවැත්තුවොත් ඌ මරහඩ තලන්න හදන බැවිං නොනවත්වාම තල්ලු කරන්නට වෙයි. උණ ලීය ජරබර ගානා සද්දෙ උංචිල්ලාව කඩා වැටෙන්න යන සද්දය බවට කියා රවට්ටන්න හැදුවත්, හයියෙංම තල්ලු කරලා බයකරන්න හැදුවත්, ඇදේට තල්ලු කරලා කැරකැවෙන්න ඇරියත් උගෙං ගැලවෙන්න බැරිය. සිය ඇට්ටර ළමයාගෙං ගැලවුනු හිංදා උන්ගේ අම්මාද නිදහසේ වැල් වටාරං දොඩවනවා මිසක යන්නට වගේ වගක් නැත. අන්තිමට මගේ පණ බාගෙට හිඳෙන විට උං යන්නට යන්නේ ‘ආයිත් දවසක එන්නං’ කියාගෙනය.


මෙදා ගමනත් ටීවියෙකේ අවුරුද උස්සවේදී “විධ්වථුන්” මෙසේ කියා සිටිනු ඇත.


“ගසන්ත මහත්යෝ ඔය ඔංචිල්ලාව කියන්නෙ අපේ ශිෂ්ටාචාරයෙ මුදුං මුල. ඔංචිල්ලාවෙ කඹේ කියන්නෙ නිකංම කොහු කඹයක් නෙවෙයි. ඔය ලණු දෙපොටිං සංකේතවත් කරන්නෙ මව් පිය දෙන්නා. ඔංචිල්ලාවෙ ඉඳගන්න ලැල්ල කියන්නෙ ඒ දෙදෙනගෙ එකතු වීම. ආං එතනින් තමයි ඔංචිල්ලාව පදින දරුවා බිහිවන්නෙ. ඒකෙං මේ මුලුමහත් සමාජෙට දෙන ඒ උතුම් ආදර්ශෙ මොකද්ද ගසන්ත මහත්යෝ? ඒ... තමයි.. දෙ....මව්පිය දෙන්නා නැතුව.... දරුවෙක් නැත. ඒක හංදා උංචිල්ලාව කියන්නේ අපේ පවුල. පවුල කියන්නෙ අපේ රට. ඒ කියන්නෙ අපේ මේ උතුම් මාතෘබූමියම මේ ඔංචිල්ලාව ඇතුලෙ තියෙනව ගසන්ත මහත්තයෝ.”


මෙව්වා අහලා ඔලුව කුරුවල් කරගන්නේ නැතුව ඒ වෙලාවේ උංචිල්ලාවක් පදින්න කියා ඉල්ලා සිටිමි.



Saturday, April 2, 2016

කෝපි සහ සතිඤ්ඤා

ඉස්සර ඉඳං මං සමහර දේවල් වලට මාස ගානක් කලිං ඉඳං ලැහැත්ති වෙනවා. ඒක අදටත් මගෙ හැටියක්. හැබැයි ඒ මං කැමතිම දේවල් වලට විතරයි. විභාග වගේ ඒවට ලැහැත්තිවීම ඒකෙ අනික් පැත්ත. හරියටම කිසි අඩුවක් පාඩුවක් නොවෙන්න ඒ අවස්ථාව උපරිමෙන් පාවිච්චි කරන්නත්, කලිං ඔය විදිහට කෙලවෙච්චි අවස්ථා නැති කරගන්නත් තමයි මං ඔය වැඩේ කරන්නෙ.



සිංහල අවුරුද්ද, වෙසක් උත්සවේ, ඇසල උත්සවේ, සමං දේවාලෙ පෙරහැර ආදී අවුරුද්දකට සැරෙයක් එන ඒවට එයිට මාස තුන හතරක් ඉඳල ලැහැත්ති වෙනව වගේම මාසෙ සීසන් එක ගන්න එක ආදී මාස් පතා යෙදෙන ඒවට දවස් විස්සකට විතර කලිං ලැහැත්ති වෙනව. ඔය ලැහැත්ති වෙනව කියන්නෙ කොටිම්ම කියතොත් ගානක් අතේ එක්කහු කරගන්න එකයි. එයිට අමතර වසයෙං ඇඳුං පැළඳුං ඕන්නං ඒවත් එක්කහු කරගන්නව.



ඔයිං වැදගත්ම වැඩේ තමයි සිංහල අවුරුද්ද. තව අවුරුද්දක් තියෙනව තමයි. ඒ ජනවාරි පලවැනිදා. එදාට නිකං කිරිබත් ඩිංගක් හදනව ඉතරයි. නෑගං යන්නෙ නෑ. අනික එදා සතියෙ දවසක්නං නිමාඩු නෑ. ඉස්කෝලෙ යන්න වෙනව. අලුත් ඇඳුං මොනවත් ඇත්තෙත් නෑ. රතිඤ්ඤ නං එකක් දෙකක් පත්තු වෙනව. නිලා, බඹර චක්කර එහෙමත් නෑනෙ. ඒ හංදා කොයියංම හැටියකිංවත් ජනවාරි පලවැන්දා අපිට අවුරුද්දක් නෙමෙයි. හැබැයි ඒකෙං මතක් කරනවා ‘තව මාස තුනක් ඉවර උනහං සිංහල අවුරුද්ද එනවා‘ කියලා.

මේ කියන්න හදන්නෙ ඒ සිංහල අවුරුද්දට ලැහැත්ති වීම ගැන. සිංහල අවුරුද්දට ගෙදරිං ඇඳුං සූට්ටෙකක් හම්බු වෙනවා. එතකොට කෑම බීමත් ඕනැ තරං. මට හම්බු වෙන්නෙ නැත්තෙ සතිඤ්ඤ, නිලා කූරු, බඹර චක්කර ඉතරයි. අවුරුද්දට සතියකට කලිංවත් ගෙදරකට සතිඤ්ඤ ගේන්න ඕන. ඒ උනාට “නිකං පුච්චල විසික් කරන්න“ සල්ලි හම්බුවෙන්නෙ නෑ.



ඔය ඉස්සරහිං තියෙන්නෙ සතිඤ්ඤ රෝල්


මට අවුරුදු නමයක් තරම වෙනකොට සතිඤ්ඤ පත්තු කරන හැටි මං ඉගෙන ගත්තා. ඉතිං එදයිං පස්සෙ ආපු පලවෙනි සිංහල අවුරුද්දටම මට සතිඤ්ඤ ඕනැ උනා. ලොකු සතිඤ්ඤ රෝලක් රුපියල් හැත්ත පහක් විතර වෙන ඒ කාලෙ තේ දළු කඩන කෙනෙක්ට දවසෙ කුලිය රුපියල් හැට පහයි. ඉතිං සතිඤ්ඤ රෝලක් ගන්න සල්ලි කියන්නෙ දවසක කුලියටත් වැඩියි. ඔය හිංදම තාත්තගෙං කොහොමත් ගාන කපාගන්නව බොරු. ඕක ඇහුව ගමං

“මොකද්දෑ....“



කියල සද්දෙට අහනව. ඉං පස්සෙ


“ර්රතිංඤ?... හුහ්, බොට ර්රතිංඤම තමයි ගෙනැත් දෙන්න වටින්නෙ......“


ඕං ඔහොම යන පාලිය කෙලවර වෙන්නෙ සමහර වෙලාවට මගෙ කනිං අල්ලන්න පැනීමෙං. ඒ හංදා මං සල්ලි ඉල්ලුවෙ අම්මගෙං.

“අම්මෙයම්මෙ..“



“මොකදැහ්“



“මට සතිඤ්ඤ රෝලක් ඕනැ“



“අර උඹලෑ මහ එකා ඉන්නෙ ඉල්ල ගනිං“



“අනෙ ඉල්ල දෙන්නකො. මං ඉල්ලුවට දෙන්නෑ“



“කටවහං හිටහං. බොට සතිඤ්ඤ තමයි තව අඩු“



“අනෙයම්මෙ“



“පලයං යන්න. මං දර පොල්ලක් ගත්තොත් දෙනව බොට සතිඤ්ඤ“

මං එතනිං යන්න යනව. මේ ගොල්ලන්ට තමුංගෙ ලමෙය ලොකු නෑ. මට කවුරුවත් සලකන්නෑ. නැත්තං අනික් එවුං සතිඤ්ඤ පත්තු කරද්දි මං කොලපත් තඩි ගහන්නද. ඇහෙන් වැටෙන කඳුළු බිඳුව තුරුම්පුවක් ගහනව.

“ඉචාල්ලකො වං ලොගුවෙලා ජල්ලි අම්බුගොල්ල ගල්ලව සතිල්ල. වොලාඩ ඩෙල්ලෑෑෑෑ“

“තෝ ඒ ගමන ලැහැත්ති උණාද සංගුව පිඹින්න හිටහං දෙන්න මං තොට දෙකක්“

අම්ම එන පොට හොඳ නෑ. පොල්පිති පාරක් සුවර්. මං අම්මට අහු නොවෙන්න ටිකක් දුරට දුවනව. දැං වැඩේ හරියන්නෙම නැති පාටයි. ඒ හංද මං ගමටම ඇහෙන්න මරහඬ දීල අඬනව.

“ඉටාල්ල වං වොලා ලාකිඋලාං වතුල උගුලද්දෙල්ලෑ. උවල එතකොල ඉඟා ගාල්ල. තවුංගෙ ලවයිඩ්ඩ සතිල්ල සෝලග් ඇලං දෙල්ල වැලි අව්වල. හිග් හිග්.“

දෙමව්පියො ළමයි හදන්නෙ ලොකු උණහං සැලකුං ගන්න බව එතකොට මං දැනගෙන හිටියෙ. තමුන්ට වයසට ගියහං සලකන්නෙ නැතිවෙයි කියල හරි මට සතිඤ්ඤ රෝලක් ඇරං දෙයි කියල හිතං මං ගහපු අන්තිම තුරුම්පුව මට තව පොඩ්ඩෙං ඉලපත් පාරක් ඇරං දෙනව. 


ඕං ඔය වෙලාවෙ තමයි මට මතක් වෙන්නෙ පුංචම්මව. ඒ කියන්නෙ අම්මගෙ බාල නංගි. මං සැරිං සැරේ එක්කහු කරන සල්ලි තියන එක තැනක් තමයි පුංචම්ම ළඟ. මාමගෙ බයිසිකලේ හෝදන්න වතුර ඇදලා දීම, ඒ කාලෙ මගෙ අලුත්ම රස්සාව වන පුංචම්මගෙ බ්ලොක්ගල් ගහන විජේසේන මාමට බදාම ගෙනැත්දීම, ආදී වැඩවලින් උපයාගන්න සල්ලි මං තියාගන්න තැං ගානක් තිවුනා. එක තැනක් තමයි පොත් අස්සට දැමීම. පොත් අස්සෙ දාන වැඩේ අසාර්ථක උනේ දවසක් දෙකක් අම්මට අහුවුන එකෙං. ඒ විදිහට එයාට අහුවුනොත් ගන්නවා. රුපියල් ලස්සයක් උනත් දවසිං ඉවර කරන්න අපෙ අම්මා හරි දස්සයි. ඩිපෝ එකේ වැඩකරන ජෝකපාල බාප්පට වඩා වැඩියෙං ආදායං තියෙන අපේ ගෙදර අය දුප්පත් ඒකලු. පොත අස්සෙ හංගන වැඩේ හරි නොගියහම මං පොතේ පිටකවරෙ බවුම්පේපර් කොලේ අස්සෙං සල්ලි දාල තියන්න පටං ගත්තා. ඒකත් පිටකවරෙ පිම්බිලා තිවිල අම්මට අහුවුනා. එයිං පස්සෙ රෙදි දාන කාඩ්බෝඩ් පෙට්ටිය යට, බිත්ති ඔරලෝසුව පිටිපස්සෙ, අල්මාරිය උඩ ආදී තැංවලත් හැංගුවට අම්මට අහුවෙනව. ගත්ත බව කියන්නෙ කවදහරි ඇහුව දාට ඉතරයි. සල්ලි සැමැන්ටිං එහෙක දාල වල දාපු ගමං කාසි මලකඩ කනව. සල්ලි කොල තෙත අල්ලල වේයො කනව. බැංකු පොතේ දැම්මොත් ආපහු ගන්න අවුරුදු දහඅට වෙනකං ඉන්න වෙනවලු. ඒ හිංද මං අන්තිමට පුංචම්ම ගාව සල්ලි තියා තියන්න ගත්තා. ඒක කාටවත් ගන්න බෑනෙ. ඉතිං මං ඔය විදිහට එක්කහු කරපු රුපියල් තිහක්ද කොහෙද එයා ළඟ තිවුනා. මං ගිහිං එයාගෙං ඒ සල්ලි ඉල්ලුවා. සතිංඤ රෝලෙං බාගෙයක්වත් ගන්න පුලුවන්නෙ. 

“ඇයි දැං මාසෙකට ඉතර කලිං උඹලෑ අම්ම මගෙං ඒ සල්ලි ඉල්ලගත්තෙ උඹ ගන්න කිව්ව කියල“

“නෑ පුංචියෙ මං කිව්වෙ නෑ“

“එහෙනං උඹලගෙ අම්ම ඉල්ලගත්තෙ. මං දන්නෑ මං දුන්න“

 මට මිරිස් කාපු මිනිහගෙ වගේ ඔලුව දැවිල්ලත් එක්ක ඇහිං කඳුලු පැන්නා. යකා ආවේස උණා වගේ මං ගෙදර දිව්වා.

“අම්මෙ.. පුංචි ගාව තිවිච්ච මගෙ සල්ලි ගත්තද?“

කුස්සියට කඩා පැනල මං ඇහුව.

“අනෙ මං ගත්තෙකක් නෑ“

“අර පුංචි කිව්වෙ ඉල්ලගත්ත කියල“

“ආ ඔව් ගත්ත තමයි“


අපෙ අම්මා සාක්කි නැතුව යමක් පිළිගන්නේ නැත.


“ මට ඒ සල්ලි ඕන. දැං ඕන“

“දැං දෙන්න මා ගාව නෑ.“

“මට සතිඤ්ඤ පෙට්ටියක් ගන්න ඒ සල්ලි ටික දීහාං...“

“තොට දෙනව මං සතිඤ්ඤයක් ගිනිපෙල්ලක් ඇරං. දූපිය කිව්වෙ“

අම්ම ගිනි පෙනෙල්ලක් ඇරං ලිප ගාවින් නැගිිටිනකොට මං කුස්සියෙං එලියට පැනල ඉවරයි. 

එයිං පස්සෙ මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම සතිඤ්ඤ ගන්න විදිහක්. ඒ දවස්වල අප්‍රේල් මාසෙ පටං ගන්නකොටම සතිඤ්ඤ එක දෙක පත්තු වෙන්න පටං ගන්නවා. කොහොම කලත් විනාඩි දහයකට විතර සැරයක් සතිඤ්ඤ සද්දයක් ඇහෙනවමයි. එහෙම ඇහෙන වෙලාවක් ගානේ මට සතිඤ්ඤ මතක් වෙනවා. ඒත් එක්කම සල්ලි නැතිව මං පත්වෙලා තියෙන තත්වෙ මතක් වෙලා ඇඬෙනවා. ඔය විදිහට වරුවක් විතර ඇඬුවං පස්සෙ ඇඬිල්ල නතර වෙලා කේන්තිය ඉතරක් ඉතුරු වුනා. අවුරුද්ද ලබන්න දවස් තුනක් විතර තියෙනකං ගමේ පිපිරෙන හැම සතිඤ්ඤයක්ම මගේ ඔලුව ඇතුලෙත් පිපිරුවා.


දවස් ගානක් තිස්සෙ සල්ලි හොයන නොයෙක් විදි මං කල්පනා කෙරුවා. තේ ගහක දලු කඩන්නවත් උස නැති හංද කුලියට දලු කඩන්නත් යන්න බෑ. නැත්තං දවසට රුපියල් පහලොවක් දෙන්න කියලා රාලහාමි මාමගෙ දලු කඩාදෙන්න යන්න පුලුවනි. කුලී වැඩ හම්බුවෙන්නෙත් ලොකු මිනිස්සුන්ට ඉතරයි. පොඩි ළමයින්ට පුලුවං රස්සාවක් කියල තියෙන්නෙ හිඟාකෑම ඉතරයි. පොල දවසට පොලේ හිඟාකන ළමයි දෙතුං දෙනෙක්ම ඉන්නව. ඒකනං හොඳ වැඩක් තමයි. හැබැයි හිඟාකනවනං ටවුමටම යන්න ඕනි. ඒත් අපේ ගමේ අය ටවුමට යනවනෙ. එතකොට මට හිනාවෙයි. ඒ හංදා ඒ වැඩෙත් හරියන්නේ නැත. හොරකං කලොත් පව් සිද්ද වෙලා අපායෙ යන්න වෙනවා. නැත්තං මාමගෙ සල්ලි පෝස් එක තියෙන තැන මං දන්නවා. මං ගාව විකුණන්න වටිනා කියන දෙයකුත් නෑනෙ.


ඔය විදිහට කල්පනා කරගෙන කුස්සියට යද්දි තමයි මට මගෙ ඇස් දෙක නලලට එන වැඩක් උනේ. කුස්සියෙ ලිපට උඩිං තියෙන දුම් මැස්සෙ ලොකු ගෝනි දෙකකට අයිනට වෙන්න හේත්තුවෙලා තියෙන බාගෙට පිරිච්ච පරණ පොලේ ගෙනියන කවරෙ අස්සෙ තියෙන්නෙ මං ගිය ගමන එක්කහු කරාපු කෝපි ටික නෙ. අම්මට කියලා ඒක බිමට බාගන්න ඕන.


“අම්මෙ අම්මෙ“


“මොකදැ. “


අම්මගෙ කේන්තිය නිමිල වගේ


“අර කවරෙ ඇරං දෙන්නකො“


“දුම උඩ ඇදලන්නැතුව හිටහං හොද්දට දැලි වැටෙනව“


ලිපේ තියෙන හොද්ද බිමට බානකං ඉඳල අම්මට කනිපිංදං කියල මං ඒ කවරෙ බිමට බාගත්තා.


“ඉඳා තොගෙ සෙද්ද. වදේ“


ලිප ගාවිං පුටුවක් තියලා ඒකට නැගපු අම්මා මට මගෙ නිදානෙ බිමට බාලා දුන්නා. මං විගහට කවරෙ ඇරං මිදුලට ගියා. මාසගානක් තිස්සෙ කවරෙ පුරා බැඳිච්ච දැළි දුඹුලු සේරම මගෙ ඇඟේ ගැවෙද්දි කරකුට්ටං වෙන්න වේලිච්ච කෝපි ඇට අස්සෙ ඉඳල කරදලි හතර පස් දෙනෙක් පැනල ගියා. දැං තියෙන්නෙ මේක කොටාගන්න එකයි.

“අම්මෙ මට මේක කොටල පොලල දෙන්නකො“


“මට දැම්බෑ.“


“අනෙයම්මෙ“


ඔය විදිහට දවසම කනිපිංදං කියලා, අඩලා, බැනුං අහලා පහුවදා වෙනකොට අම්ම ලව්වා මගෙ කෝපි ටික කොටවාගෙන, කුල්ලෙං පොලලා පොතු අයිං කරවාගෙන එකලාසයක් කරගන්න පුලුවං උනා. පුංචි කුරුමිණියො වගේ කෝපි ඇට ටික සොපිං කවරෙකට දාලා ගැටගහලා වැඩි පරිස්සමට ඒ ටික පොලේ ගිනියන බෑක්කෙකට දාලා තිව්වා. ගොම මැටිගෑ පොලොවෙ එලාපු පැදුරෙ නිදාගෙන ඉන්දැද්දි  කෝපි කවරෙ මගෙ දකුණු පැත්තෙ අතදිග මානෙං හිටියා.


පහුවදා උදේ දහය වෙද්දි මං ඉස්කෝලෙ අඳින නිල්පාට කොට කලිසමයි, සුදු කමිසෙයි ඇඳගෙන ඉස්කෝලෙ යද්දි දාන සෙරෙප්පු දෙකත් දාගෙන මගෙ කෝපි මල්ලත් ඇරං නිකගොඩ හංදියට ගියා. එතැනිං බස්සෙකට නැගලා කොන්දොස්තරට එකයි සත විසිපහක් දුන්නා.


“මානාන්ට බාගෙයක්“


“බාගෙයක්?“


කොන්දොස්තරට සැකයි. 


“ඔය ලමයට වයස කී්‍යද?“


“අවුරුදු නමෙයයි“


කොන්දොස්තරට ඒකත් සැකයි. එයාගෙ හිතේ මං බොරු කියනව කියල.


“ඉස්කෝලෙ කීයෙද?“


පස්ස පැත්ත සීට්ටෙකේ පොල්ලට හේත්තු කරගෙන එයා මගෙං ඇහුවා.


“හතර ඒ පංතියෙ. නිලංති මිස්ගෙ පංතියෙ“


කොන්දොස්තර මට ටිකැට්ටෙක දුන්නා.


මානානෙ ඔරලෝසු කනුව ගාවිං බැහැලා බැලුවහම මුලිංම තියෙන්නෙ පැසං සුනිල්ගෙ කඩේ. ඒක ඉස්සරහ ලොකුවට ලියල තියෙනව.



කසුන් ට්‍රේඩර්ස්
කෝපි, කරුංකා, කුරුඳු, ගම්මිරිස්, පැෂන් ආදී දේශීය ද්‍රව්‍ය වැඩිම මිලට ගනු ලැබේ.


කොණ්ඩෙ කැරලි තියෙන මනුස්සයෙක් ඒ කඩේ ඉස්සරහ මේසෙ ගාවිං පුටුවක් තියාගෙන ඉඳං ඉන්නවා. මං මගෙ බෑක්කෙකත් ඇරං එයා ගාවට ගියා.


“කෝපි සල්ලිඔලට ගන්නවද?“


එයා මගෙ දිහා බැලුවා. 


“ඔව් ගන්නව. කෝ ගෙනාවද?“


“ඔව්. මේ“

මං මගෙ කවරෙ දෑතිංම එයාගෙ අතට දුන්නා. එයා මගෙ මූනත් කවරෙ දිහාත් දෙපාරක් ඉතර බැලුවා. 

“කොහෙංද මේ?“


“මගෙ. අපේ ගෙදර තීච්ච.“


එයා පොලේ ගිනියන කවරෙං සොපිං කවරෙ එලියට ඇරං ඒකත් ලිහලා කෝපි ඇට අහුරක් අතට අරං බැලුවා. මෙයාට සැකයි වගේ මාව හොරෙක් කියලා පොලිසියට අල්ලල දෙයිද දන්නෑ. එතකොට සතිඤ්ඤා ගන්න වෙන්නෑ. ඊට කලිං කට අරින්න ඕනැ.


“හොරකං කරපුව නෙමෙයි. මං කඩාපු ඒව. අපේ තේ කෑල්ලෙ ගස් අටක්ම තියෙනව“


එයා රැවුල දෙපැත්තට යන්න හිනාවෙලා කෝපි කවරෙ තරාදියෙ එල්ලුවා. මට හරියට මතක නැතත් කිලෝ එකක් හෝ දෙකකට වඩා ටිකක් වැඩියෙන් තියෙන්න ඇති.


“කිලෝ ***යි දෙසිය පනහක් විතර තියෙනව. ඇයි චුට්ටක් ගෙනාවෙ.“


“ඔච්චරයි තිවුනෙ.“

එයා සොපිං කවරෙ එක්කම කෝපි ටික ඇරං තියාගත්තා. ඊළඟට ලොකු කැල්කිවුලේටරයක් ඇරං ඒකෙං ගානක් හැදුවා. ලාච්චුවට අත දාලා සල්ලි ගත්තා.

“හැත්ත දෙකයි ගාන. මෙතන අසූවක්ම තියෙනවා. අවුරුද්දට මගෙ ගානෙ. පරිස්සං කරගන්න. සල්ලි හලාගන්නෙහෙම එපා.


මං අත් දෙකෙම්ම සල්ලි ගත්තා. 

“මොකටද මේ සල්ලි“

එයා මගෙං ඇහුවා.

“සතිඤ්ඤා රෝලක් ගන්න“


එයා ආයි පාරක් රැවුල දෙපැත්තට යන්න හිනා වෙලා මේසෙ උඩ තිවිච්චි සතිඤ්ඤ පෙට්ටි බන්ඩලෙං සතිඤ්ඤ පෙට්ටියක් ඇදල ගත්තා. එයිං එකක් ඒ කාලෙ රුපියල් දාහතරක් වෙනව. 

“ආ... පුතා මේක ඇරං යන්න මගෙ ගානෙ අවුරුද්දට පත්තු කරන්න. “



සතිඤ්ඤ පෙට්ටියක්

මං ඒක දෑතිම්ම ඇරං කෝපි ගෙනාපු කවරෙ අස්සට දාගත්තා. අවුරුද්දට තෑගි දුන්නම වඳින්න ඕනි. ඒ හංදා එයාට දනගහලා වැඳලා මං කඩෙං එලියට බැස්සා. සන්තෝසෙට පොරොන්දුවකුත් එක්ක.

“ඊළඟ පාර කෝපි කැඩුවහං ඇරං එන්නං මාමේ“

මං සතිඤ්ඤ රෝලකුයි, නිලාකූරු පෙට්ටියකුයි අරං මානානෙං බස්සෙකට නැග්ගෙ හිතපුරා සතුටෙං. ඒ අවුරුද්දෙ අන්තිමටම සතිඤ්ඤ ඉවර උනේ මගෙ. පැසං සුනිල් මාමා දීපු සතිඤ්ඤ පෙට්ටියම මං අවුරුදු නැකතට පත්තු කෙරුවා. එදා මං වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. සල්ලි එකතු කරන ලේසිම ක්‍රමය කෝපි, කරුංකා වගේ ජාති එකතු කරලා තියාගැනීම. නිතරම පේන හිංදා කාටවත් හොරෙං ගන්න බෑ. ඕන වෙලාවට විකුණලා සල්ලි ගන්න පුලුවං.


පොරොන්දු වෙච්ච විදිහටම හැම අවුරුද්දෙම මං එක්කහු කරපු කෝපි, කරුංකා සේරම මං දුන්නෙ පැසං සුනිල් මාමාට.



Google Street View එකෙන් පැසං සුනිල් මාමාගෙ කඩේ

අවුරුදු විස්සකට පස්සෙ මට මතක් වෙච්චි ගමං මං එයාගෙ කඩේ දිහා බැලුවා. Google Street View එකෙං. එදා පෝසත්ව හිටපු මනුස්සයා අද කෙහෙකනක්, පොල් ටිකක්, ගස්ලබු ගෙඩ්ඩක් විකුණ තත්වෙට වැටිලද? මේ ගමන ගමේ යමිං ගමං බලන්න ඕනැ.