Follow by Email

Sunday, March 27, 2016

නෙළුං සම්මාන හෙවත් Lotus Awords

දැනට මාස ගණනකට කලිං සිට දවසට ඊමේල් දෙක තුනෙං පටං ගෙන පැයට දහය දොලහ දක්වා  වේගයෙං වර්ධනය වුනු සමූහ ඊමේල් හුවමාරුවකිං මේ කතාව පටං ගැනේ. ඒ ඊමේල් හුවමාරුව සිද්ධවුනේ නෙළුම්යාය බ්ලොග් සංසදයේ බ්ලොග් සම්මාන උලෙල 2016 ගැනයි. මගේ නමත් ඒකට ඈඳිලා තිබුණත් මට ඒ වෙනුවෙන් කරන්න කරන්න දෙයක් තිබුනේ නැති තරං. ඒ වුනත් මගේ නමත් නිර්දේශ වෙලා තිබුන නිසා මාත් මේකට යන්නම ඕනෑ වුනා. ඒ නැතත් අපි හැමෝම එකතුවෙන තැනක් ආයෙ නොඑන හිංදා මං මේ වැඩේට යන්ටම ඕනෑ කියන මතයේ හිටියා.


මේ දවස්වල තියෙන අධික රස්නය හිංදත්, බදුල්ලේ ඉඳං කොළඹට යද්දි බස් නියමුවන් විසින් රිය පදවන ආකාරයත් හිංදා “මං එන්න ඕනි නෑනෙ. ඔයා නිදහසේ ඔය ගමන ගිහිං එන්න“ කියලා චූටි මැණිකේ අඩියක් පස්සට ගත්තා. ඒ හංදා මං තනියෙං මේ ගමන පිටත් වුනා.
 
බාගෙට සැප බසය

ඇහැට කඩා පනින විසාල ටීවී එකකුත් කං දෙපලු කරන ස්පීකර් පෙට්ටි හමුදාවකුත් අරක්ගත්තු බාගෙට සැප(semi luxury) බස්සෙකට මං නැගගත්තා. ගොනාට පැට්‍රෝල් ගැහුවා වගේ හිටි අඩියේ ගුවන්ගත වෙච්චි බස්සෙක වංගු දිගාරිමින් ඇඟේ ලේ වලින් ජලය නිපදවද්දී මං ටෙලිපෝන් එකේ Flight Mode එක දාගත්තා. උදේ පාන්දර මලක් වගේ බස්සෙකට නැගපු මම දවල් දොලහ වෙද්දි කිරුලපනින් බිමට බැස්සේ කෙල්ලන් එකසිය පහලොවකිං බූට් කාපු, කසාද දහ අටකිං දික්කසාද වෙච්චි, නව වතාවක් හිරේ ගිය තුං පාරක් එල්ලුං ගහට නියම වෙච්චි අසරණ ප්‍රේමවන්ත සුවාමිපුරුෂයෙක් විදිහට. ආං එහෙමයි අපේ රටේ බස්වල Entertainment. හිත හයිය නැති අයට නාඩා එව්වායේ තියෙන අඳෝනා අහගෙන යන්න අමාරුයි. ඒ වගේම අතපය හයිය තියෙන කෙනෙක් උනත් බස්එකට නගිද්දි ඉස්කුරුප්පු නියනක් අරං යන්න ඕනෑ සමහර වීදුරු අරින්න.


කිරුළපන ඉඳන් ජනමාධ්‍ය අමාත්‍යංශයට යන්න විනාඩි දහයක් යන්න ඇති. මාත්, තරුරසීත් දෙන්නම එකම වෙලාවට එතැනට ඇවිත් තිබුනා. ඒ වෙනකොටත් ටෙක් සයුර බ්ලොග් එකේ ටෙක් මලයා ඇවිල්ලා. ටෙක් මලයාගේ කෑම බීම, කිරි බෝතලේ ආදිය අරං ටෙක් මලයාගේ අම්මත් ඇවිත් තිබුනා. තව තවත් කීප දෙනෙක් එතැන්ට ඇවිත් හිටියා. මගේ ඇමතුමට උත්තර දෙමින් ‘දැතියා‘ කියුවේ “මේ එන ගමන්“ බවයි.


ඔය විදිහට විඩිං විඩේ රංචු වශයෙන්, ජෝඩු වශයෙන්, තනි වශයෙන් බාග වශයෙන් කට්ටිය ආවා. ඒ අතරේ කල්‍යාන මිත්‍ර, අජිත් ධර්ම, ඉවාන්, ප්‍රාජේ ඇතුළු නඩය සංවිධාන කටයුතුවල යෙදී හිටියා. අපිත් ‘නිකං ඉන්න හොඳ නැති‘ හිංදා හැම දේටම ඇඟිලි ගහමින් හැකි ආකාරයෙන් තියෙන වැඩක් ‘අල‘ කිරීමට දායකවුනා. එන අය අඳුනා ගැනීමත් හරිම සංතෝෂදායක වැඩක්. තරුවක් වගේ ඇතැයි සිතා සිටි කෙනෙක් වෙනුවට වල්ගා තරුවක් වගේ අක්කා කෙනෙක් කියුවේ එයා “තරු රසී“ බවයි. අඩි හතක් විතර උස වට අඩි හතරකට වඩා මහත කෙනෙක් වෙනුවට දොරක් විවෘත නොකර එය හරහා යා හැකි තරමේ හීං කෙනෙක් කියුවේ එයා “ප්‍රාජේ“ බවයි. ඩයිනෝසරයෙක් තරම් කෙනෙක් කියුවේ එයා ‘කටුස්සා‘ බවයි. හමුදාවේ අඳින විදිහේ බඩ මැදින් අඳින කලිසමක් ඇඳගත් ‘මහෝදර‘ පරම්පරාවේ ගාම්බීර නාදයක් තියෙන කෙනෙක් ‘මං විචාරක‘ කියා අතට අත දුන්නා. ඔලුවට සංග්ලාස් දාන, ජම්බෝලයක් වාගේ රතු අයියා කෙනෙක් අතට අත දී ‘මා... තලං‘ කිව්වත් ඒකට හරි හමං පොලු කෑල්ලක් නැති හිංදා එයාව තලා දැමීම පසුවට කල් තිබ්බා. කුරුටු ළමා හවුලේ ළමා කැළ තමුංගේ ඇඹේනිවරුන් එක්ක ඇවිත් තිබුනා. ‘සජ්ජා‘,‘ඉවාන්‘, ‘දැතියා‘ ආදී අයනම් මං හිතා හිටි තරමට කිට්ටුවෙං සමාන රූපකායෙන් දකින්න ලැබුනා.


දෙකයි හතලිහ විතර වෙද්දී වැඩසටහන ආරම්භ කෙරුනා. පිටිපස්සේ පේලියකට වෙලා ‘අව්ස්සාවේල්ල පැත්තේ ඉස්කෝලෙක ගුරුවරියක්‘ එක්ක කතාවක් දාගෙන හිටිය අපිට ඉවාන්ගේ නිවේදනය පරිදි ඉස්සරහ පේලියට එන්න සිද්දවුනා. ඒ අතරේ විචාරකතුමා හීං සීරුවට ළලනා සංගමයක් මැද්දෑවට පැනගෙන තිබුනා.


බ්ලොග් සංගීත කණ්ඩායමේ සජ්ජා, මනා ඇතුළු පිරිසගෙන් නෙළුම් යාය ගීතය වාදනය වෙද්දි සාම්ප්‍රදායික පොල්තෙල් පහන වෙනුවට වෙනිං පහනක් දැල්වීමට කටයුතු යොදා තිබුනා. ඒ දුටු ‘දැතියා‘ ඉකි ගහන්න පටංගත්තේ උට උගේ සුවාතා මතක්වෙන බව කියමින්. ඔය විදිහෙම සුවාතාත් හැංදෑවට හේනෙ පැලේ ගිනිමැලයක් ගහනවාලු. පාන පත්තු කිරීමෙන් පස්සේ තිබුනේ ‘අජිත් මහත්තැංගේ‘ කතාවයි. නෙලුංයාය කණ්ඩායමේ සමාජ සත්කාර ගැනත් මේ සම්මාන උලෙලේ අරමුණු ආදිය ගැනත් පැමිණ සිටි පිරිස දැනුවත් කරමින් Slide show එකකුත් ඉදිරිපත් කෙරුනා. දැනුම වාරණය යන උපද්‍රවය ඉදිරියේ සමාජ මාධ්‍යයේ ප්‍රබලතාවය ඉතැනදී ඉස්මතු කෙරුනා. ඉදිරියේදී පාසල්වල සමාජ මාධ්‍යය භාවිතා කිරීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ‘නෙලුම්යාය‘ මගින් සිදුකරවා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශය හිතාගෙන ඉන්නා බවත් එතැනදි කියවුනා.
දෙවැනි විභීෂණ සහ ප්‍රේක්ෂකාගාරය

පැමිණි පිරිසෙන් කොටසක්

කුරුටු ලමයි


සාකච්ඡාව

ඊළඟට තිබුනේ නාලක ගුණවර්ධන, අජිත් පැරකුම් සමග ඉවාන් මෙහෙයවූ සාකච්ඡාවයි. ‘සාරඝර්භ‘ කතාබහක් වෙනුවට ‘හරවත්, සරල‘ කතා බහක් නිසා කාගෙත් අවධානය ඒකට නිතැතින්ම යොමුවුනා. ඒ වාගේ නිර්ව්‍යාජ සාකච්ඡාවක් වෙනත් මාධ්‍යකින් දකින්නවත් අහන්නවත් නොලැබෙනවා සිකුරුයි.

දුරින් මාතේය මෑතින් ඉවාන්ය

එයින් පස්සේ සම්මාන දීම පටංගත්තා. ඉවාන් එක්ක නිවේදන කටයුතු වලට ආපු මේ දැරිවිගේ නම මට අමතකය. මුලින්ම සම්මාන දෙන්න වේදිකාවට ආවේ ‘මාතලන්‘. ඔලුවට ඉර එලිය වැටෙනවාට නලලට ‘සංගලාස් කුට්ටමක්‘ දාගෙන බස් නැවතුමේ ඉන්නා නංගී කෙනෙක්ට ‘ආ නංගී‘ කියා අමතන ආකාරයෙන් මේ ඉන්නේ උන්නැහැය. එයා සම්මාන බර ගානක් දුන්නේය. ඒ අතරේ සම්මාන ගන්න යන අයට ‘හූ‘ කීම නොහොඹිනා වැඩකැයි දැතියාට කියා දෙන්නට මට සිද්ධ විය.  සම්මාන ගත්තු අය ගැන වග විස්තර එක්කම කලාහිතේ ලියා තියෙන්නේය. ඒ නැතත් දැතියාගෙත් මගෙත් කයිවාරුව අස්සේ කවුරු සම්මාන ගත්තාදැයි නිච්චියක් අපිට නැත. ඒ අතරේ කැමරාවක් අපේ දිහාවට හැරවෙන විට බැරෑරුම් ලෙස ඉන්නා හැටිත්, සුවනියර් එක දිගෑරගෙන බරපතල සාකච්ඡාවක් ලෙස ඇඟවෙන ආකාරයට ඉන්නා හැටිත් දැතියාට පැක්ටිස් කරවන්න මට සිද්ධවිය. පවුලේ උදවිය මෙව්වා ටීවියෙකෙං දකිද්දි ටිකක් පිලිවෙලට ඉන්න ඕනා නෙවද? නැත්තං ‘දවසේ වැරැද්ද‘ට අහුවෙන්නත් පුලුවනි.

දනගසා පොටෝ ඇල්ලීම

මං, දැතියා, ටෙක් මලයා

ඔය අතරේ කතානායක කරු ජයසූරිය ආවේය. මාධ්‍ය කැමරා නඩේ වහාම ඉදිරියට පැන එයාව සම්පූර්ණයෙං ස්කෑන් කලේය. ඒ වුනත් වෙනත් තැනකට ගියාට වඩා නිදහසේ එයාට ඉන්න ඉඩ තියා තිබුනි. වෙනත් උත්සව වලදී අදාල තැන ප්‍රධානියා ප්‍රධාන ආරාධිත අමුත්තා ලඟිං වාඩිවී කනට කියා රහස් කීමත්, වතුර බෝතලේ මූඩිය ඇර දීමත්, ආදී සුළු සේවා කටයුතුවල යෙදීම ප්‍රධාන ලක්ෂණයකි. ඒ අතරේ සමහර අය ලියුං කවර ගෙනැත් දී දෙකට නැමී වඳී. ඒත් මෙතැන එහෙම දෙයක් තිබුනේ නැත. ප්‍රධාන ආරාධිත අමුත්තාට තමුන්ගේ කතාවේ අත් පිටපත සංශෝධනය කරගන්නටත්, ‘නමක් නැති‘ නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය හිනා වෙමින් රසවිඳින්නටත් ‘නිදහස‘ ප්‍රථම වතාවට ප්‍රසිද්ධ සභාවකදී ලැබී තිවුනා.


නාට්ටිය අහවර වෙලා, ප්‍රධාන ආරාධිත අමුත්තගේ කතාවෙන් පස්සේ ආයිමත් සම්මාන දීම පටන් ගැනුනා. මේ ගමන සම්මාන ලැබුනේ කරු ජයසූරියගේ අතිං. දැතියාටත් සම්මානයක් ලැබුනා. උගේ ටෙලිපෝන් එකෙං මං පොටෝ ගහන්න ඉගෙන ගනිද්දි ඌ සම්මානේ ඇරං ආපහු ඇහිල්ලාත් ඉවරය. මටත් බඩවැල් සහතිකයක් (බඩ=කුස, වැල්=ලතා) තරමවත් ලැබෙනු ඇති බවට දැතියාත්, දෙවැනි විභීෂණ උන්නාන්සෙත් කියා හිටියා.


වසරේ හොඳම බ්ලොග් අඩවිය තුංවැනි තැනට හිමි සම්මානය දෙනවාත්, හොඳම බ්ලොග් අඩවිය දෙවැනි තැනට හිමි හේතු පාඨය බාගයක් කියවනවාත් මට මතකය.

වටේ සේරම සද්ද නතර වී මාව පාවෙන්න විය.

“පලෙයං පලෙයං.“

දැතියා මාව ඉස්සරහට යැව්වා. මං හීනෙං වගේ ඉස්සරහට ගියා. අර සුදු සරමයි කමිසෙයි ඇඳපු වයසක මනුස්සයා ‘කොහාමද‘ කියා අසා හිනාවෙලා මට සම්මානෙත්, සහතිකෙත්, බෑක් මල්ලකුත් දුන්නා. මං යංතං ‘බොහොම ඉස්තූතියි‘ කියලා ආපහු ආවා. ඉවාන් තවත් මොනවද කිව්වා. මට එව්වා ඇහුනෙ නෑ. ඇහුනත් කියන්න වචන නෑ. මගෙ අතේ තිවුන සම්මානෙ පිත්තල තහඩුවේ

2015 වසරේ
හොඳම බ්ලොග් අඩවිය
දෙවන ස්ථානය

කියලා ලියා තිබුනා. මගේ ජීවිතේ පළවැනි වතාවට මට සම්මානයක් හම්බවුනා.  මෙතෙක් වෙලා මට එහාපැත්තේ ඉඳං හිටපු මහත්තැං කෙනෙක් මටකතා කලා. එයයි, එයාගෙ නෝනයි, දුවයි තුන්දෙනාම මගෙ බ්ලොග් එක කියවනවලු. මං දාන පෝස්ට් එකක් පැයක් යන්න මත්තෙන් ඒ තුන්නොම කියවලා ඉවරලු. ඒ සම්මානෙත් මං පරිස්සමට හිත ඇතුලෙ තියාගත්තා.


සම්මාන දීමෙන් පස්සෙත් තවත් නාට්ටියක් ඉදිරිපත් කෙරුනා. ඒකත් ‘නමක් නැති‘ කණ්ඩායමේ වැඩක්. රෑට රෑපවාහිනියෙ පෙන්නන ඉලාස්ටික් ටෙලිපටි වලට වඩා මේ වගේ දෙයක් පෙන්නුවනං මිනිස්සුංගෙ ඔලුව මීට වඩා සෑහෙන විචාරශීලී වෙනවා ඇති. ඒ නාට්‍ය කණ්ඩායමේ රඟපෑමත් අති විශිෂ්ඨයි.

අන්තිමට සභාව අවසන් වීමෙන් පස්සේ බ්ලොග් සංගීත කණ්ඩායමේ සිංදු පසුබිමෙන් ඇහෙද්දි, අපි එකිනෙකා අඳුරගන්නත්, සුභපතාගන්නත් පටං ගත්තා. විචාරක තැන ඉක්මනින්ම යන්න ගියේ “මස්සිනාගෙ මරණ ගෙදර යන්න ඕනෑ. එතැන වැඩවලට ගුරුහරුකං දෙන්ට කෙනෙක් නෑ“ කියාගෙනය.  ඒ අතරෙ තේ පැන් (ඇත්තටම නෙස්කැපේ) සංග්‍රහයත් බ්ලොග්කරුවන්ගෙ පොත් ප්‍රදර්ශනයත් පටං ගැනුනා. මාත් ‘පොල්කට්ටෙන් එලියට‘ ගත්තා. ඒකට වෙනම විචාරයක් ලියන්න ඕනෑය. තැනින් තැන ආගිය කතා එක්ක අපේ ඇහැට නුදුටු මිතුරෝ මුන ගැහුනා. රන්දිල් නෝනා මහත්තැං ඇතුළු පවුලේ නඩය, හුම් නොකියන බසු ඩබල, එයිං කීප දෙනෙක්. 

පොත් 

ඒ අතරේ මං එක සුවිශේෂී මනුස්සයෙක් හෙව්වා. ඒ අටං.

“මේ ඉන්නෙ අටං“

කවුදෝ මට අටමාව පෙන්නුවා.

“යකො තෝද මෙ #%^&“

අටමා මාව සාදරෙං පිලිගත්තා.

“මෙහෙව්වර තෝ #@$#^  @$%^“

ඊළඟ නිමේශයේදී ‘හු‘යන්නෙං එන ක්‍රියාපද, ‘ප‘යන්නෙං එන නාම පද කීපයකින් සහ සුෂුම්නාව කටිං එන්න පිටට වැදිච්චි පාරෙනුත් මට අටං ගැන නියම අවබෝධයක් ලැබුනා. IGI ගේම් එකේ Jones  වගේ හැඩහුරුකම ඇති ‘රසික‘, ‘ආකාස කසුන්‘,  ‘ඇනෝපිලිස්‘, බයානක පෙනුමක් ඇති ‘චෙෆාකි‘ ඇතුළු නඩේ ඇතුලට මාවත් නිකම්ම විසික් වෙලා ගියා.


මේකෙ දෙවෙනි ජවනිකාව පටං ගැනෙන්නේ දෙහිවල මුහුදු වෙරලේදි. අපේ නඩේට මුණගැහෙන්න ‘ජාති‘ පොට් එකක් හොයාගෙන තිබුනා. එතැන ඉන්දැද්දී ‘තිලක සිත‘ කතා කරලා අපි හැමෝටම සුභ පැතුවා. මුහුදු වෙරලේ දිග මේසයක්, ඒ වටේ පුටු තිහ හතලිහක්, මේස උඩ වීදුරු, මුහුදු සුළං, විසින් කල පෙළඹවීමෙන් අගය මත එකතුකල බද්ද 69ට අපිව අහුකරගෙන තිබුනා. සජ්ජාගේ ගිටාර් දෙකත් වැඩ පටං ගත්තා. බදුබර වැඩිවෙද්දි පුටුවලට සමුදීලා අපි ඇවිදින්න පටං ගත්තා. එක තැනක “ක්‍රිස්තියානි ආගමේ සම්භවය“ පිළිබඳ කටුසු දේශනයක් පැවැත්වෙද්දී තවත් තැනක ‘දේශීය පේර ශාක සහ එහි විකෘති‘ පිළිබඳ අටං දේශනය. තවත් තැනක ‘හමුදා විනය සහ එහි ප්‍රභේද‘ පිලිබඳ විද්වත් කතිකාවකි. ‘කූඥ්ඥ ගසා ගල් පැලීමේ‘ විද්‍යා ප්‍රබන්ධය තව තැනකය. මේ අතරේ කැමරාකරුවෙක් දනගහගෙන පොටෝ අල්ලයි. තව කෙනෙක් ගිටරෙකෙං වෙඩි තියනවාය. ඒ අතරේ ‘ප්‍රාජේ, අජිත් ධර්ම, අටං‘ ඇතුළු නඩයගෙන් බ්ලොග් ලිවිල්ල පිළිබඳව කතන්දරය.



අජිත්, කල්‍යාන

අජිත් පැරකුම්

ගිටාරයෙන් වෙඩි තැබීම

කෑමට ලුණු මදිවූ කෙනෙක් පිඟානත් අරං මුහුදට ගිය එකත්, මහා ධූමකේතු දන්සැල සහ එව්වා ආපහු එකතු කිරීමත්, ආදිය ගැන නොලියන්නේ ආත්මාරක්ෂාව තකාය. නිදහසේ සුහද හමුවකට අවකාශ ලැබීම ගැන සතුටු වෙන්නට එතැන ඕනෑ තරම් කාරනා තිබුනේය.


රෑ දොලහත් පහුවී විදානෙත්, මමත්, රසිකත්, සජ්ජාත් හැමෝගෙංම සමුගෙන හැමෝටම උම්මා දීලා එතැනිං පිටත්වුනා. මිනිට්ටු පහක් යන්නට පෙර සජ්ජා සිය ‘එලන්තරාවෙං‘ අපිව මහරගමට ගෙනැත් ඇරලුවා. එතැනින් බස්සෙකෙං පැය පහෙං මං බදුල්ලේය.


මේ වගේ හිතට බරක් නැතුව නිදහසේ ඇවිත් යන්න පුලුවන් උත්සවයක් සංවිධානය කරපු බවට පෙනෙන්ට හිටපු අජිත් ධර්මකීර්ති, කල්‍යාන මිත්‍ර, ඉවාන් ඇතුළු නඩයත් ඒ පිටිපස නොපෙනෙන්නට හිටිය සියලු දෙනාටත් පිංදෙමි. අපෙං තඹ දොයිතුවක්වත් නොගෙන මේ සියල්ල සංවිධානය වීම අගය කල යුතුය. සියලු පහසුකම් ඕනෑවටත් වඩා තිබුනි. සංවිධාන කටයුතු ඉතා අගනාය. එකම කරුණක් සඳහන් කළ යුතුය. එක කොමෙන්ට් එකට, එක පෝස්ට් එකට  අපිට වඩා දස ගුණයක් වෙහෙස වෙන එකෙක් අප අතරේ සිටී. ඒ ආකාස කසුන්ය. කසුන්ට කුසලතා සම්මානයක්වත් ඒ වෙනුවෙන් ඊළඟ වතාවේ හෝ දෙන්ට පුලුවන්නම් හොඳය. 


ඒ වගේම මෙතැනට ආ ගිය සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙමි. හිතේ සතුට වෙනුවෙන් වැඩකරන, අනුන්ට උපකාරී රටකට වටිනා මිනිසුන් රැසක් මට මුනගැහෙන්නට අවස්ථාව ලැබුනේ ඔබ සියලු දෙනාගේ පැමිණීම හේතුවෙනි.


එමෙන්ම මට දුන් සම්මානය ගැන ස්තූතිවන්ත වෙමි. මේ සම්මානය මට උපකාරී වුන ආකාරය ගැන අජිත් මහතාට මං එතැනදී කීවෙමි. එමෙන්ම රටින් පිට සිටියත් මට සුභ පැතූ ‘අම්බලංගොඩ කතා‘, ‘වෛද්‍ය කවිඳු‘, ‘තිලක සිත‘ ඇතුළු සියළු දෙනාට ස්තූතිවන්ත වෙමි. එමෙන්ම ඉදිරියටත් මේ ආකාරයෙන්ම ලියාගෙන යන බවට මගේ ලිපි කියවන, ඒවාට අදහස් දක්වන, අනෙක් අයටත් පෙන්වන සහ  මා දිරිමත් කරන සියළු දෙනාටත් නෙළුම් යායටත් පොරොන්දු වෙමි. එසේම අටං කියූ ආකාරයට ‘කැ‘යන්නෙං පටං ගන්නා නාමධාරියෙක් නොවෙමි.



සැ.යු:- මෙහි අඩංගු සමහර විස්තර ඉවත්කළ යුතු බව පසුව සිතුනු බැවින් (ඉස්කෝලෙදි කියා දී ඇති පරිදි) ඒවා තනි ඉරකින් කපාදමන ලදී. ඒවා කියවීමෙන් වලකින්න.

Sunday, March 20, 2016

කයිවාරු 2 හෙවත් පුරාජේරු

කයිවාරුවේ එක් වර්ගයක් වන කෙබර ගැන තමයි මං කලිං විඩේ කිව්වෙ. දැං කාලේ ඒ විදිහට කෙබර කෙලින්න ඉන්නේ අපේ හිතවත් යාත්‍රා මුල්ලගේ (මේක අනික් පැත්ත ගහන්ටඑපා යකෝ) දැතියා විතරක් බවත් ඒ හංදා උන්නැහැව රෙද්දට පොතට (Red Data Book) ඇතුළත් කරන්ට ඕනෑ බවත් මට හිතෙනවා. අපේ ආතත් පරලෝ ගිය නිසා ඒ යුගාසන කෙබර දේසනාවල යෙදුන ගුනොවද්දන මාමා විතරක් ඉතුරු වුනාට වැඩක් නැත. කොල්ලෑව නැති ඔරුව වගේ තමුන්ට හරියන සහයකයෙක් නැති කමිං මිනිහාගේ දක්ෂතාව නිකම්ම හේදිලා ගිහිං. ඒ උනාට කයිවාරු කලාව අභාවයට යවනවා බොරුය. ඒක නවීකරණය වෙමින්  දිගිං දිගටම පැවතීගෙන යන දෙයකි.




කයිවාරු ගැසීමේ ඉහල පැලැන්තියේ ක්‍රමයක් වන්නේ පුරාජේරුවයි. මේකට කප් ගහපු අය සාමාන්‍ය මහජනයා අතරේ ඉඳං ඉහල තානාන්තර අසල රස්නේ වදින මානේ සිටින අය අතර පවා හොයාගන්න පුලුවනි. කලිං කෙබර කතාවේ හිටිය ගුනොවද්දන මාමා මේ වැඩේටද කප් ගහපු කෙනෙකි. ඒ දවස්වල අපේ ගමේ මොටෝසයිකලෙයක් තිවුනෙත් එහෙමත් කෙනෙකුටයි. ටීවිල් (Three wheeler හෙවත් තෙසක් රිය) තිවුනේද දෙකක් විතරයි. ඒ උනාට ගුණවර්ධන මාමාගේ ලොකු දුව වන රත්නපුරේ මහ ඉස්පිරිතාලේ වැඩ කරපු මේ කියන්නාවූ “** මිසී“ ට කාර් එකක් තිවුනා. හැකි සෑම වෙලාවකම මේ කාර්රෙක කරලියට වඩම්මන්න ගුනවර්ධන මාමා කොහෙං හරි පොටක් පාදාගන්නවාමයි. තමුංගේ ගෙවල් පැත්තට යන ‘වත්ත පාරෙ‘ ගල් ගෙඩ්ඩක් හරි ගැලවිලා තිවුනොත් එදාට උන්නැහැට පොටවල් ගානක් පෑදෙනවා. විශේෂයෙංම මේ ගල් ගෙඩ්ඩ ගැලවුනේ අපේ පුංචම්මාගේ කඩේ සහ මහගේ තියෙන හරියෙදි වීම උන්නැහැගේ ඉසේ මල්පෝච්චියක් පුප්පන වැඩක්. ඒ වගේ වෙලාවට අතේ තියෙන කුඩේ කඩේ ලැල්ල උඩිං තියලා සරම දෙකට නවාගෙන පටං ගන්නව දේසනාව.



“අම්ප මේ දල්ලොරිකාරයින්ට හිමිං සැරේ යන්න බෑ නෙවැ. බුරුස් ගාල අද්දල යනව. පලකො හිමීට මං කියන්නෙ. අර ගල් ගෙඩ්ඩ ගලෝල ගියා හෝටංනෙකේ ලොරිය ගිය යෑමට. දැං වැස්ස ගමං ඕක අලි වලක් වෙනව.“



“ඕක ඔහොම තමා ගුනොවද්දන අයියෙ. මුං රේස් යන්නනෙ ඉපිදිලා තියෙන්නෙ“


එනපොට නොදැන කඩේ ගාව ඉන්න කෙනෙක් කියනව.


“උන්ට නං වගේ වගක් නෑ. ලොරි කටු නං ගස් ගල් උඩත් යෑහැකි. බයිසිකලයක් එහෙම නං වල මගෑරල වෙට්ටුවක් දැම්මැකි. කාර්නෙ බැරි“


ඔන්න ඔය ගමන හිමීට වංගුව හරෝල කතාව වෙනිං පැත්තකට යනව. තාමත් මේක නොතේරිච්චි එකෙක් හිටියොත්


“ඔය පාරෙ මොන කාර්දැ ගුනොවද්දන අයියෙ? හීම්මහත්තෙයෑ පුතත් යන්නෙ ජිප්පෙකේනෙ“


කියල කියනව. ආං එතකොට ගුනොවද්දන මාමා බය නැතුව මයික්කෙක අතට ගන්නව.


“මේ ගං ඔලනං ආයි කොයි කාලෙක කාර් ගන්න පුතයෙක් හිටීද දන්නෑ. ඒ උණාට අපේ ලමෙය එහෙම ආවං කාර්රෙක ගේ ළඟට ගෙනිය ගන්න එපෑ. ගිය පාරත් කඩේ අයියලෑ ගේ ගාවිං එහාට ගෙනියන්න බැරිඋනා. මඩ ගොඩ හිංද. ආපහු ගියගාං බර්ර ගානක් වියදං කල්ල සේවිස් කලානෙ.“


කඩේ ගාව හිටිය එවුං තමුංම සුක්කානම කරකෝල කතාව පුරාජේරු පටුමගට හැරෙව්වා කියල දැනගන්නකොට පරක්කු වැඩියි. ගුනවර්ධන මාමා පාරෙං ගැලවෙච්චි ගල් ගෙඩ්ඩ ආපහු තිවිච්චි තැනිංම තියල තද කරනව. සමහර වෙලාවට ඒ ගල් ගෙඩ්ඩ හරිනෑ කියල වෙනිං ගලක් හොයං ඇවිත් එතනිං තියලත් බලනව. වටේට සක්ක කෑලි තියල බලනව හෙලවෙයිද කියලත්. ඒ මදිවට එතනිං යන දලු ලොරිවල ඩැයිබරලට කනිපිංදං කියල අර ගල් ගෙඩ්ඩ පොලවට ගිලා බහින විදිහට ලොරිය ඒ උඩිං යවනව. අංතිමට තමුං සෑහීමකට පත් වුනාට පස්සෙ ආපහු කඩේ ගාව ඉන්න එවුන්ට තමුංගෙ දූගෙ කාරෙකේ වර්ණනාව රෝදෙං රෝදෙ ගිල්ලනව.


ඔය කොයි හැටි පාර හැදුවත් ගුනවද්දන මාමගෙ දුව කාරෙකත් ඇරං ගුනොවද්දන මාමාව බලන්න එන්නෙ සිංහල අවුරුද්දට විතරයි. එයා එයිට කලිං තැපැල් කන්තෝරුවට ටෙලිපෝන් කරල කියනව අහවල් දවසට ගෙදර එනව කියලත්. කන්තෝරුවෙ කාන්ති නැංදා තමයි පණිවිඩේ ගුණවර්ධන මාමාට කියන්නේ. ගුණවර්ධන මාමා ඒ දවසට සතියකට කලිං විතර ඉඳං පාර හදනව. පස් රැහැල මට්ටං කරනව. පාරෙ යන දලු ලොරිකාරයන්ට හිමිංසැරේ යන්න උපදෙස් දෙනව. අන්තිමට වත්ත පාරෙං මහපාරත් ගුනවද්දන මාමගෙ ගෙයත් අතර කොටස පස්ස හිල් නොවී කොලපත් පදින්න ගානට මට්ටං වෙනව. මේ විච්චූරන හිංදා ගුනොවද්දන මාමාගේ දෝනියැන්දා කාරෙකේ ගමට එන බව ගමෙං බාගයක්ම දැනගන්නවා දවස වෙලාව එක්කම. 



ඔය විදිහටම පුරාජේරු කියන්න සමතෙක් තමයි මගේ මාමණ්ඩිත්. තමුංගෙ දූ පොඩිත්ත කසාද බැංදෙ එසේ මෙසේ කෙනෙක් නොවන බව (මේ මං ගැන පුරාජේරුව තමා) කියන්න දවසෙං පැය හත අටක් උනත් වියදං කරන්න එයාට පුලුවං. පාරෙදි හම්බුවෙන ඕනැම කෙනෙක් එක්ක වචනයක් හරි කතා කරන හිතහොඳ මනුස්සයා හිංදා ගමේ ඉන්න සේරම එයාගෙ යාලුවො. එයාගෙ පුරාජේරුවත් මේ වගේමයි.



“ආ... *** අයියේ. කොහෙද මේ පාංදරම“



සයිලංසරේ කට කපාපු උණවෙඩිල්ලේ නැගලා පොලිස්කාරයෙක් වගේ පේන්න සුදු හෙල්මට්ටෙක දාගෙන, බුරුසු රැවුලත් කලුවට කලුවෙ ඩයි කරගෙන, තුංකාලෙ කලිසමයි, ටීසැට් එකයි ඇඳලා පාරේ යන අපේ මාමණ්ඩිව දකින කවුරුහරි අහනවා. අවුරුදු අටට වැඩි ඕනැම කෙනෙක් අපේ මාමන්ඩිගෙ මල්ලී හෝ නංගී තමයි.


“ආහ්.... මට අඳුරන්න බැරි උනා. මේ මං යනව පැට්ටල් ටිකක් ගහං එන්න. තෙල් ඇතිනේද සෙඩ්ඩෙකේ“


“සෙඩ්ඩෙකේ නං සුවර් නෑ. ඕන්නං ඔය සුගතෙගෙ කඩේ තියෙන්නෙ බෝතලෙයක් ගන්න බැරියැ“


“පෙට්ටල් බෝතලේ නං ගැවෙන්නවත් මදි. ලීටර් පහක්කත් ඕනැ“



“ඒ කොහෙ යන්නද බොලේ. ඒ“



මෙන්න මේ වෙලාවට අපේ මාමණ්ඩි ගියර් තුනක් ආපහු කඩල බයිසිකලේ නිවුටල් කරල හෙල්මට්ටෙක ගලෝල ගන්නව අතට. ඇඟිලිවලිං කොණ්ඩෙත් පීරනව උඩට.



“මේ අපේ දූලගෙ දිහාවෙ යන්න කියල. ළමයි දෙන්න බලන්න බැරි උනානෙ සෑහෙන කාලෙකිං. ඒ ගොල්ලන්ට එන්න හැටියක් නෑ ලේසියට අර බලලට තුංවේලට කන්න දෙන්න වෙනම කෙනෙක් ගෙදර නවත්තන්න එපායැ. අනික වැඩත් වැඩී ළමයට. මෙහෙ ආවත් දවසට දහදොලොස් වතාවෙ ටෙලිපෝන් කෝල් එනව. ඉතිං මං කල්පනා කලේ පොල් ටිකක් එහෙමත් ඇරං යන්න ඕන කියල ගිහිං එන්න. ඒකයි“


“ආ... ඒක මිසක්. හැබෑට ළමයි කොහෙද ඉන්නෙ.“


“ඇයි දන්නැද්ද? බදුල්ලෙනෙ ඉන්නෙ. පුතාට හම්බෙච්චි කෝටස්සෙකේනෙ“


“පුතා කිව්වෙ?“


“අපෙ මේ දූ කසාද බැඳපු ළමය. ***** දෙපාර්තමේන්තුවෙනෙ වැඩ. එයාගෙ කෝටස්සෙකේනෙ ඉන්නෙ“


“හැබෑට“


“ඔව්. හොඳ බංගලා වගේ ගෙවල්. මට වෙනමම කාමරයක් තියෙනවා ගියං ඉන්න. ඒක මටමම වෙංකරල තියෙන්නෙ“


මේ කියන වෙනමම කාමරේ අපේ ටිකිරිගේ කාමරේ බවත් මාමණ්ඩී ආ දවසට ටිකිරි අපේ කාමරේට ස්ථාන මාරු ලබන බවත් ගමේ එවුං තියා මාමණ්ඩිවත් දැනගතයුතු නැත.



“එච්චර විසාලෙට?“



“ළමයගෙ තනතුරේ හැටියටනෙ ඉතිං සුද්දගෙ කාලෙ ඉඳං නියම කරල තියෙන ඒවනෙ“



මේ වනවිට අහං ඉන්න කෙනාගෙ ඔලුවේ මැවෙන්නේ ටීවියෙකේ පෙන්නන ජාතියෙ විසාල බංගලාවක් මිස කාමර දෙක තුනක පරණ තාලේ ගේ පොඩ්ඩක් නොවෙයි.


“දර ඩිංගක්කුත් ඇරං යන්න තිවුන නේද? ඔව්වයෙ දර නෑනෙ. ටවුංබද හිංද “



“දරෙං උයන්නෑ. ගෑෂ් තියෙනවනෙ. නැත්තං දරනං ඇති ඒ වත්තෙ.“



සමහර විට ඔය කියන වෙලාව වන විටත් මම වැටේ තියෙන ලාඩප්පා අතු කපා හතරට පලා දරට වේලමින් ඉන්නවා වෙන්නට පුලුවන.



මේ පුරාජේරුවල අගය අපි දැනගන්නේ ගමට යන විටය. අපේ පවුලේ අය විතරක් දන්නා දේවල් ගැන ගමේ අය බලං හිටියා වගේ මගදි විස්තර අහනවා.



“ආ... අද බලලට සාත්තු කරන කෙනා කෝටස්සෙකේ නවත්තලද ආවෙ?“


“*** අයිය කිව්ව තමා අද දෙන්න එක්ක ගෙදර එනව කියල“


“දුවට ගිය සුමානෙ හෙම්බිරිස්සාව හැදිල තිවුන කිව්ව නේද? දැං සනීපද?“


“එහෙ ගම්බිරිස් ඉවරයිලු නේද? ආං අපේ ගෙදර ඇති වේලපුව ඕන්නං ඇරං යන්න“


වෙන එකක් තබා අපේ ඔපිස් එකේ එවුං මං ගැන නොදන්නා දේ චූටි මැණිකෙගේ ගමේ මොන්ටිසෝරි ළමයි පවා දනී. මෙව්වායේ සුලමුල හොයං යනවිට අපේ මාමණ්ඩී මුදුන් මුලේ ඉන්නා බව හොයාගන්න පුලුවන.



මේ විදිහටම අපට බලෙංම පුරාජේරුවලට සෙට් වෙන්නට වන්නේ මගුල් හා මරණ ගෙවල් වලදීය. මගුල් ගෙවල්වල ගියහම වෙල්කම් ඩ්‍රින්ක් එක බී දවල්ට කන්න දෙනකං බඩ පනුවන් මරන ලේඩිස්ලාත්, ඒ අතරෙම කුඩ මේස වටේ ඉඳං බයිට් තලු මරා සරුවත් බොන මහත්තුරුත්, මල ගෙවල්වල මඩුවල පැය දෙක ගෙවන අයත් කට පියාගෙන ඉන්න බැරිකමට කයිවාරුව මැදට ඇදගනී.



මෙතැංදී නොදන්න කීප දෙනෙක් වටේට එකතු වූ විට මේවැඩේ තවත් ලෙහෙසිය.



“ඔයාව මං දැකල තියෙනව. මේ කොහෙදිද කියල මතක නෑ. ම්..... කොහොද වැඩ කරන්නෙ“


කතාව පටංගන්න එක එක්කෙනා ඇදගන්නේ ඕං ඔය විදිහටය.



“මංද ආ... මං ***** කාර්යාලෙ ඉන්නෙ“



මෙතැනදී තමුං එතන කරන දේ මොකද්දැයි කියන්නේ නැත. අසන්නාට ඕනෑනම් මේ අදාල කන්තෝරුවේ ලොක්කා හැටියටම හිතන්නත් පුලුවනි. ඇත්තටම මේ ඉන්නේ ඒ කන්තෝරුවෙ කෙනෙක් නොවෙන්නත් පුලුවනි.



“ආ...... හරි හරි. එතෙන්දි වෙන්නැති. මං එතනිං යනවනෙ නිතරම.“



“ආ... එහෙමද. ඔයා මොකද කරන්නෙ?“



“මං බිස්නස් කරන්නෙ.“



මේ බිස්නස් එක කඩයක් පවත්වාගෙන යාමේ සිට කඩයප්පන්, බුලත්විට, ටොපි, ලොසිංජර, කඩල පැකැට්, දොදොල්, තලකැරලි ආදිය හදා කඩවල් වලට දැමීම දක්වා ඕනෑම වපසරියක වෙන්න පුලුවන. ඒ උනාට බිස්නස් කී විට ලොකු හාඩ්වෙයාර් එකක්, ඒජන්සියක් වුව හිතේ මවාගන්නට අසන්නාට පුලුවන. මීලඟට එන්නේ ඒ තැංවල ඉන්නා තමුං අඳුරන එවුං ගැන කීමයි.



“ඔයාලගෙ ඔෆිස් එකේ නේද ***** මහත්තය ඉන්නෙ“


“ආ... එයා ට්‍රාන්සර් ගියානෙ“


එසේ කියා සැනසුම් සුසුම් හෙලන්නේ නැත්තං තමුංගේ පැටිකිරිය උගෙං මූ දැනගන්නා බැවිනි.


“මගෙ හොඳ යාලුවෙක්. ඒකයි ඇහුවෙ.“



ඔය විදිහට තමුං දන්නා ලොකු ලොකු තනතුරු දරන, ප්‍රසිද්ධ අය ගැන කියමින් තමනුත් ඒ අයගේ සමානව පිහිටමින් පුරාජේරු කියවන මහත්වරුන් මෙන්ම තමුංගේ පවුලේ අයගේ පැටිකිරිය කියවමින් ඒ අය ඉන්නා රටවල් ගැන කියන නෝනලාද බහුල වෙති. එසේ කියන ඒවා පසුව ඇත්තදැයි සොයා බැලීමට ශ්‍රාවක නෝනලා තරයේ මතක තබාගනිති.



මේ විදිහට කරන පුරාජේරුවක් සුනු විසුනු කර දැම්මේ අපේ ජම්බල ආතාය. ජම්බල ආතා කිව්වේ අර වන්දනා ගමං ගැන කතාවේ කියවුනු රංඔල ආච්චම්මාගේ ‘මිනිහා‘ ය. නැති තැන ජම්බලයා කියතත් ඇති තැන ‘කරුනෙ මාමා‘, ‘කරුනාතා‘ හෝ ‘කරුනා‘ නමින් එයාව අදුන්වන්ට ඕනෑය.



අපෙ අම්මාගේ එකම මල්ලී හෙවත් අපේ මාමාගේ කසාදෙ දවසේ මනමාලියගේ ගෙදර දී මේ ආකාරයටම පුරාජේරු කමිටු කීපයක් දවල් කෑම ලැබෙන තෙක් අමුවෙන් බේගල් අදිමින් ඉන්නා වෙලාවේ මේක සිද්ධ වී ඇත. එතන උන්නු අය එකිනෙකා තමුං අසුවල් අය දන්නා බවත්, තමුංගේ හොඳම යාළු මිත්‍රයින් බවත් කියමින් එකිනෙකාගේ කර උඩ නගිමින්  ඉන්නා අතරේ අපේ කරුනා ආතාත් මෙතැනට කඩාපාත් වී ඇත.



“පොඩ්ඩක් එහෙට්ට වෙයල්ල මටක් මේ පුටුව තියාගන්න“



කටේ ගාගන්න අරක්කු පොදක් නොලැබීමේ අසීමාන්තික පිපාසාවෙන් බාගෙට මල අතේ තියන් හිටි නිසාදෝ ගැමි කතා විලාශය ඒ වෙලාවේ ආතාගේ කටේ තිබෙන්නට ඇත.



“මොකද්ද ඔය කාණ්ඩෙ කතා වෙවී හිටියෙ. කියහල්ලකො මටත් අහං ඉන්න.“



මේ මිනිහාගෙං අනතුරක් නැතැයි දැනගත් පුරාජේරු කමිටුව ආයිමත් තමුංගේ පුරාජේරුව කියමින් මේ ගොඩයාටත් පේන්න හොඳ ලොකුකං ටිකක් පෑමේ අධිෂ්ඨානයෙන් දිසාපතිවරු, ලේකම්වරු, සභාපතිවරු ආදී රෑනක්ම තමුංගේ හොඳම යාලුවන්ය, බාප්පගෙ පුංචම්මගෙ පුත්තුය, කිරිඅම්මගෙ මල්ලිගෙ නගාගෙ එක්කුස උපං සහෝදරයාය, ආදී වශයෙං කියමින් කියවන්නට පටං ගත්තාලු. මෙයිං කතා දෙක තුනක් යනකං අහං හිටිය කරුනා ආතා ඈනුමක් ඇර මේ කතාව මැදට ගොඩවුනාලු.



“ඔය ළමයි දන්නවද මෙහෙ ඉන්නව මගෙත් ළඟම නෑයෙක්.“



“කවුද මාමා ඒ“



“ඔය...... බදුරලියෙ පොලීසියෙ ලොකු මහත්තෙය ඉන්නව නේද“



“ආ.... ඔව්වොව්. මේ ***** ඕඅයිසී මහත්තෙයා නෙ. “


“අපේ මල්ලි එක්ක එක පංතියෙලු හිටියෙ“


“මගෙත් හොඳ හිතවතා“


“එයාගෙ බාල ළමය ඉගෙනගන්නෙ අපේ පවුලගෙ පංතියෙ“



එක එක්කෙනා ලහි ලහියේ තම තමුංගේ ඇඳුනුම්කම කියන්න පටං ගත්තාලු. මේ ගොඩයාට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්නම දෙන්න ඒ අය හිතාගන්න ඇති. ඒ සේරම මැඩලමින් කරුනා ආතා තමුංගේ කට ඇරියාලු.



“දැන්නවද ඒ මගේ කවුද කියල? ඈ?“



“නෑ කියන්නකො බලන්න“



“ඒ අපෙ අම්මගෙ මිනිහනෙ“



මේ අතුල් පහරින් කට වැසීගිය සභාතොමෝ 



“ටොයිලට්ටෙක කොහෙද දන්නෑ“



“ළමයි දෙන්න කොහෙද බලල එන්නං“



“මෙතනට අව්ව වැඩියි“


ආදී වසයෙං කියමින් මිනිත්තුවක් යන්නට මත්තෙං විසිරගිය බව ජාතුංගම බාප්පා ඇසින් දුටු සාක්කි වසයෙං මගෙත් එක්ක කිව්වේ. අදටත් අපේ මාමාට ඔය අවස්ථාවට මුහුනදුන් කීපදෙනා එක්ක රෙද්දක් ඇඳගෙන කතා කරන්න බැරිබව කියනවා මං අහගෙනය.







Saturday, March 12, 2016

කයිවාරු හෙවත් කෙබර - 1

දැනට සති කීපයකට පෙර මෙලොව උපන්, කල්‍යාන මිත්‍රගේ පුත්‍ර රත්නයටත්, කල්‍යාන මිත්‍රගේ සමාජ සේවා කටයුතුවලට උරදුන් කල්‍යාන මිත්‍ර මැතිනියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරමු.


අපි කොතැනකට වුනත් ගිය පයිං එන සිරිතක් නැත. වෙනිං රටවල්වල ඇතත් අපේ රටේ නැත. අපේ රටේ ඇතත් අපේ ගමේ නං ඇත්තේම නැත. ඒ හංදා එහෙම නොඑන හේතු හොයාබලන්න වටී.


ගිය පයිංම ආපහු ඒම කියන්නේ මොකද්දැයි කවුරුත් දන්නවා ඇත. බැරිවෙලාවත් ගෙදරකට ගිය සැනිං ආපහු ආවොත්


“හුහ් උං උඩ ගිය තරං. ගෙට ගොඩවෙන්නෙවත් නැතුව ආපහු ගියහැටි බලහල්ලකො“


ආදී වසයෙං අසාගන්න පුලුවන. ඒ හංදා අපේ ගෙදර හොද්ද කරවී වලං ගිනිගත්තත්, ගෙට හොරු පැන්නත්, ළමයි බිල්ලො අල්ලං ගියත්, ගිය පයිං ආපහු ඒම හිතන්නවත් හොඳ නැත. මේ ආකාරයට කොතැනක හෝ ගිහිං ටික වෙලාවක් රැඳී සිටින්න වීම කැමැත්තෙං හෝ අකමැත්තෙං වන්නේය. මගුල් ගෙදරක ගියොත් මගුල් ජෝඩුව එනකං ඉන්න ඕනෑය. ආයි කන්න දෙනකං ඉන්න ඕනෑය. ආයි පොටෝ ගහනකං ඉන්න ඕනෑය. මළ ගෙදරකත් පැයක්කත් ඉඳලා එන්න ඕනෑය. ගෙදරකට ගියත් ‘කහට ඩිංගක් බීලයන්න‘ ඉන්න ඕනෑය. ඉතිං මේ ඉඳිල්ල එපාවෙන හිංදා කරන්න වෙන වැඩක් තිබේ.


ඒ වනාහි සංවාදයයි. කතාබස් කිරීමයි. අපේ ආච්චම්ම කියන හැටියටනං ‘කෙබර කියවිල්ලයි‘. නැත්තං ඇත්තෙංම කියතොත් කයිවාරු ගැහිල්ලයි. කයිවාරු කෙලීම කියන්නේ ලේසිපාසු වැඩක් නොවුණත් ඒකටත් කෙලපැමිනියෝ අපේ ගමේ එමටයි. අපේ පවුලේ කයිවාරු කෙලින්න උපන් හපන් අපෙ ආතා ඒ කියන්නේ අර සුපර් ඉස්ටාර් ආච්චම්මගෙ සාමිපුරුසයාය. ආතගෙ කයිවාරු කියවිල්ලට "කෙබර කෙලිනවා" කියලා ආච්චම්මා පිප්පුවට මං හරිම ආසයි ඒ කයිවාරු අහන්න. "ඩීයැස් හාමු", "දඩ්ඩි හාමු", "බණ්ඩාරනායක උන්නැහේ" ආදී දේශපාලනඥයින් ගැන ආතා කියන කතාවල යාංතං වගේ බොරු අඩංගු උනත් ඒවායේ තියෙන පරණ විස්තර වලට මං හරිම ආසයි. ඉස්සර සුද්දගෙ කාලෙ අහස් බෝක්කුව බඳින්න ගෙනාපු කාබේරිංගෙ වැඩ ගැනත්, සත පහේ කොලේ දෙකට ඉරලා සත දෙකක් හා සත තුනක් විදිහට වියදං කරන්න හදල තිවුන හැටි, ජපනා කොළඹට බෝම්බ දාපු හැටි, ඒ වෙලාවෙ කාලතුවක්කු වගේ පේන්න ලී කොටවල කලුතෙල් ගාලා අහසට උරුක්කරලා තිබුන හැටි ආදිය ගැන මං ඇසින් දුටු සාක්කි ඇහුවෙ ආතගෙං තමයි. ඔය කොයිහැටි වෙතත් ආතා ආච්චම්මව කසාද බැඳලා ගෙනාපු මගුල ගැන කියනව ඇහෙද්දි නං ආච්චම්මා මාව ගෙන්නල කෑගහනව.


"ඔය මිනිහා කියන කෙබර අහන්නැතුව පොතක් පත්තරෙයක් බලහං"


ආතා ආච්චම්මව බලන්න ගිය ‘මුල් වංගියේ ‘ ඇරං ගියපු ‘පවුඩර බෙලෙක්කෙ‘  පුංචි එකක්ය කියලා ආච්චම්මා ආතගෙ මූනවත් නොබලා දොර රෙද්ද පිටිපස්සෙ හැංගුන බව කියනකොට ආච්චම්මට කොයි තුංලෝකෙ හිටියත් යස්සයා ආරූඪ වෙනවා. ආතා පස්දුං කෝරලේ හිට කුකුලු කෝරලේට ආච්චම්මව කැංදං ආපු පෙරහැර ගැන කියද්දි මගුල් සූට්ටෙක හැටියට ඇඳපු කිතුල්ගොඩ මුදලාලිගෙං ඉල්ලා ගත්තු කෝට්ටෙක ගැන කියන්න වෙනම වෙලාවක් ගන්නවා. ඒ කෝට්ටෙකේ බොත්තං විදිහට තිවිල තියෙන්නෙ රැජිනගෙ රූපෙ තියෙන “රංපවුං“. තාර පාරක් නොතිබිච්චි හංද ආච්චම්මලෑ ගමේ ඉඳං අපේ ගමට එනකං මගුල් පෙරහැර පයිං එද්දි ඉස්සර වෙලාම රබංකාරයො දෙන්නෙක් රබං ගගහ ආපු විත්තියත් ඔය විස්තරේට අඩංගුයි. කාගෙං බැනුං ඇහුවත් හැන්දෑවට ආතගෙ නිංදට බාදා කරමින් ආතගෙ ඇඳ ගාව බිම ඉඳගෙන ඔය කයිවාරු අහන එක පොත් පත්තර කියවන තරමටම මට රහ වැටිලා තිවුනෙ.


ආතගෙ කයිවාරුවට තවත් එකතුවෙන කීප දෙනෙක් තමයි ආතගෙ මස්සිනාල දෙන්නා ඒ කියන්නෙ ආතගෙ බාල දුව බැංද කෙනාගෙ තාත්තයි  එකම පුත්‍රයා බැඳපු කෙනාගෙ තාත්තයි. මේ දෙන්නා ආතට අහුවෙන්නේ කලාතුරකිං උනත් ඒ අහල පහලම හිටපු ගුණවර්ධන මාමා නිතරම ආතගෙ කයිවාරුවට එක්කහු උනා. ආතට වඩා අවුරුදු පහලොවක් තරම බාල උනාට ගුණවර්ධන මාමා අපේ ආතට සෑහෙන දුරිං නෑ කමට පුතා. හවස තුන හතර වෙද්දි ගුණවර්ධන මාමා කුඩේකුත් ඇරං මහගෙදර ඉස්තෝප්පුවට ගොඩවදින්නේ කෙබර බර ඔලුව දෙකට නමාගෙන.  ඒ වෙලාවට හංදි කැක්කුං, අතපය කැක්කුං, ඉන්න හිටින්න බැරි කොංදෙ අමාරු, ආදී ලෙඩ දාහක් තිවුනත් අපේ ආතත් සාලෙට ඉබේම එවෙනවා. ඒ වෙලාවට මාත් එතෙන්ට ඇදී එන එක වලක්කන්න අමාරුයි.


“මං මේ ඩිංගක් නිදාගන්න කියල බැලුවෙ ගුනොවද්දන. මේ බතල කරිටි ඩිංගක් හිටොවන්න කියල ගියා අව්කූටකේ ඉන්න අමාරුවෙ දමල ගහල ආව එන්න“


“මාටත් මේ ගෙදර ඉන්න කම්මැලි කමට පාට්ට ආ ගමං මාමෙ. මාම කොහෙංද බතල කරිටි ගෙනාවෙ“


“ආං අර එබෝවිටේ ආඩතාඩෙ දුවාපු වැල් දෙකතුනක්  තිවුන. මං එන ගමං ඇදං ආව. නිකං ඇන තියන්න.“


“මාමට කියන්න මාමෙ..“


මේං මේ වෙලාවෙ ගුණවර්දන මාමා කුඩෙත් පැත්තකිං තියලා පුටුවකිං ඉඳගෙන හේතුතවකුත් දාගන්නව.


“ඔන්නොය එක ගමනක් මං ගමනක් ගිහිං එද්දි කොහෙද මංද දිහාවකිං ගෙනාව නිකමට බතල කරිටි දෙකතුනක්“


මේ කොහෙද මංදා දිහාව යනු එකෝමත් එක රටක් වැනි එකකි. මේ කයිවාරුවල ‘කොහෙද මංදා දිහාවක්‘, ‘කවුද මංද මිනිහෙක්‘, ‘මොනවද මංද ජාතියක්‘ ආදිය බහුලය.


“ඉත්තීඊඊං“


ආතාත් වැඩේ ඇදගෙන යන්න ඇලපිල්ලක් දානව.


“ඉතිං කියන්නෙ මාමෙ මං ඒ ටික එහෙම්ම ගෙනාවට හිටොවන්න බැරි උනා. එහෙම්ම දොරකොඩ තීල මේ අපේ ගෙදර එක්කෙනා අතුගාද්දි  කොලසුඩු එක්ක ගල්වැටියෙං පල්ලට අතුගාල දාල.“


“හීංමැණිකෙ ලමෙය දකින්නැතුව වෙන්නැති“


“අනෙමංදන්නෑ මාමෙ. ඉං පස්සෙ මාස දෙහෙකිං ඉතර පස්සෙ ගල්වැටියෙ ගල් දෙක තුනක් යංතං ඉස්සිල තිවුන. මං ඉතිං එච්චර ගනං ගත්තෙ නෑ ඕක“


“ඔය ඌරු මීයො හාරනවනෙ ගුනොවද්දන ලමෙයො. උංට පුදුමාකාර හයියත්තියෙන්නෙ“


“මාත් හිතුවෙ එහෙම තමා මාමෙ. ඒ උනාට ටික දවසක් යද්දි ආයි අර ගල්ගෙඩි ටික තවත් ඉස්සිල. ඒ ගමං මං කඩේ අයියලෑ ජෑසූරියටත් අඬගැහුව. පස්සෙ ඌත්තාව. මට තනියෙං අර ගල්ගෙඩි පෙල්ලන්න බෑනෙ. ඒ ගමන අපි දෙන්නත් එක්ක යංතං ගල්ගෙඩි දෙකතුන ඉස්සුව බලන්න මොකද මේ කියල. මාමාට කිව්වට විස්සාස කොන්නෙකක් නෑ මහ විසාල බතල ගෙඩි හතාටක්ම තිවුන. අර මං ගෙනාපු බතල කරිට්ටක් පැලවෙලා ගල්වැටිය අස්සට මුල්ලැදල. බතල බහින්න ඉඩ නැතුවං යටිං තියෙන ගල් පුපුරන්න බැරි හිංද අල බහින්න බහින්න උඩිං තිවිච්චි ගල්ගෙඩි උඩ ගිහිල්ල. එයිං බතලෙයක් රාත්තල් හතරකට වැඩී මාහිතේ. ඒ ගමන මං අපික්කොටහක් තියාගෙන, කඩේ අයියලටක් කොටහද්දීල මෙහෙටත් එව්වද කොහෙද.“


“ආ වෙන්නැති වෙන්නැති ගුනොවද්දන. ඔව්වගෙ සිද්දි අනංත සිද්ද වෙනව. ඉන්නකො මට වෙච්චි යස වැඩක් කියන්න.“


මෙයිට හපං එකක් කීමේ ආසාවෙං ආතා ගෙට ගිහිං බුලත්විට වට්ටියත් ගේනව.


“ඔයිං කන්නකො ගුනොවද්දන විටක්. මං තව පුවක් ගෙඩියක් කපන්නං. ආ... ඉතිං මට වෙච්චි වැඩේ කියන්නංකො.“


ආතා පුවක් කපන පිහියයි පුවක් ගෙඩියකුයි ඇරං ආයිත් පුටුවෙං වාඩි වෙනව.


“ගුනොවද්දනට මතකද අපේ ඔය මැරිච්චි තෝමස් සිංඥෝ. මේ අපේ මේ ගොල්ලංගෙ ලොකු අයිය. අර පහුගිය කාලෙ මලේ“


“මොකෝ මට මතක නැත්තෙ. මාග්ගියානෙ මරනෙට“


“ආං හරි. මිනිහ ඉස්සර මෙහෙ එද්දි හිස්සතිං  එන්නෑ. දොහක් මිනිහා මෙහෙ එද්දි මහ විසාල ගෝනිමල්ලක් බැඳං ආව.“


මේ වෙලාවට ආතා අත්දෙක දෙපැත්තට විහිදුවලා ගෝනි මල්ලෙ විසාලෙ පෙන්නනව.


“මේං මෙච්චර හිටී ගෝනි මල්ල. ඕකෙ මිනිහ ගේනව නොයෙක් ජාති. අපිට මෙහෙ හාල්, පොල් ඕනහැටියෙ තිවුනට මිනිහත් ගේනව අපිට හාල්පොල්. මාත් ඉතිං මිනිහට යනකොට එව්වයෙංම මල්ලක් හරිගස්සල දෙනව. අතටත් කීයක්හරි එක්ක. ආ.... ඉතිං කියන්න බැරි උනානෙ. මිනිහ ඔය ගෙනා මල්ල ගැට ගහල තිවුන වැල් පොටකිං. එකම කොලෙයක්කක් නෑ. මං හිතුව මදුවැලක් කියල. ඕක ලිහල දාල වැල් කෑල්ල විසික් කොරල තිවුන මිදුලෙ ආං අර බුලත් වැල කිට්ටුව. මාං ඉතිං ඕක ඒ හැටි ගනං ගත්තෙ නෑ. පස්සෙං පහු කාලෙක මං බුලත් කොලෙයක් කඩන්න යද්දි මේං බොලේ අර වැල් කෑල්ලෙ හීං කොල ඇහිල්ල. බැලුවං බතල කොල“


“ආ.....“

“එහ්හෙනං.. හෙහ් හෙහ් හෙහ්. අරයකා මල්ල ගැටගහං ඇහිල්ල තියෙන්නෙ බතල වැලකිං. පස්සෙ මං නිකා ඉන්න ගමං ඒ වැල් කෑල්ල කිරිමුල් නොකැඩෙන්න ඇරං ගිහිං හිටෙව්ව පිල්ලෑවෙ පාවරේ අයිනක. විස්සාස කොරන්න ගුනොවද්දන. වැඩි කාලෙයක් ගියෙනෑ මා හිතේ බෑස්ස අල බෑ...හිල්ලක් හොඳේ  පුදුමාකාර ඉදිහට. පස්සෙ මං එව්ව ගැලෙව්වෙ යකඩෙ ගිනිහිල්ල. කොලපතෙං එකයි අලේ. රාත්තල් අට හිටී එක අලෙයක්. උස්සං ඇහිල්ල උරපත ඇදුං දෙනව. එයිං ටිකක් මං මැනිකෙගෙ කඩේ තියල වික්කත් එක්ක. ගිය සුමානෙ ඕං ඒකෙ අංතිම අලේ ගලොවං ආවෙ. වේල් දෙකක් කෑව ඒකත්. දැන්නං වැලත් මැරිල. තිවිච්චි තැනක්කත් නෑ.“


ආතා අංතිම සාක්කියත් විනාස කරල දානව.


“හැබෑට මාමෙ. මට දෙන්නකො පුවක් කෑල්ලක්“


ඔය අතරෙ තමයි පුංචම්මා ඔතනිං ගෙට යන්නෙ.


“ආ ගුනවද්දන අයිය දැංද ආවෙ.“


“නෑ දැං ඩිංගක් වෙලයි මැනිකෙ. අපි මේ බතල ගැන කතා වෙයි වෙයි හිටියෙ“


“මාස ගානකිං බතල නං කෑවෙනෑ ගුනොවද්දන අයියෙ. මං මේ ගමන පොලෙංවත් ගේන්න ඉන්නෙ“


පුංචම්ම ගෙට යන ගමං කියාගෙන යද්දි ආත බිම බලාගෙන විටකට පුවක් ලියනව. ගුණවර්ධන මාමා ආයිමත් කයිවාරුව පටං ගන්නව. ඒ ගමන ගඟේ මාලු ගැන කතාව. ගුනවර්ධන මාමා රියනක් දිග ආඳෙක් බාද්දි අපේ ආතා තංගුස් දෙපොට දාලා බඹයක් දිග එකෙක් බානව. එයිට පස්සෙ ගුණවර්ධන මාමා බිලී පිත්ත නැතුව උන පඳුරක යොත ගැටගහලා නැගි අතක් දිග එකෙක් බානව. ඔය විදිහට රෑ වෙනකං කයිවාරුව ඇදිල යද්දි තව තව කතංදර ඇදෙනව. මාව එතනිං පලවාහරින්න ආච්චම්මයි, පුංචම්මයි දැඟලුවත් මං එතනිං හෙල්ලෙන්නෑ.


ඒ උනාට ආතගෙ මස්සිනාල දෙන්න ආපු දවසට ආත නිතරඟෙංම කයිවාරුවෙං දිනනව.


“හැඩිගල්ලෙ මල්ලියෙ ඒ ආඳා මං හිතන්නෙ බඹේකට වඩා දිගයි. මං හිතුවෙ පිඹුරෙක් කියල“


“මංනං දැකල නෑ අයියෙ ඒ තරං එවුං. අඩි දෙකහමාර තරං දිග ඈයොනං ඉන්නව ගංවතුර කාලෙට අපේ ලියදිඔල“


සත්‍යවාදී මිනිහෙක් වන හැඩිගල්ලෙ ආතා ඒ කයිවාරුවෙදි නිතරඟෙං පරදිනවා. මේ කතාවට ආතගෙ අනික් මස්සිනා වන මීගම ආතා අහුවුනොත් කියන්නෙ වෙනම කතාවක්.


“ෂීඊඊඊඊ.. ඔය පරාන ගාත අකුසල කර්මෙ කියන්නෙ ලේසි පාසු එකක් නෙමෙයි. ඒ කාලෙ බුදුහාංදුරුවොං ඉපදින්නත් ඉපිටහ කාලෙක ගෑනියෙක් එලුවෙක් මරල ඒ එලුවගෙ ඇඟේ ලොං ගාන්ට ආත්ම ගානක් ඉපිදි ඉපිදි ඉසගැසුං කෑවලු. මං නං ගැටෙය සංදියෙවත් සතෙක් මරල නෑ. දැං ඔය අපේ බාල මලෙය එහෙමනං දඩයං කරල ගෙනැත් තියෙනව. මං කවම කවර දාකවත් ඒ කිසියංම එකක් කන්නෑනේ.“


මෙයිං අපෙ ආතගෙ ලොකුකං බැහැල ලැජ්ජාව නගිනව.


“මං මේ නිකමට කිව්වෙ. දැංනං මං මාලුබාන්න ගිය කාලෙයක්කත් මතක නෑ.“


එයිං පස්සෙ ආතගෙ කයිවාරුව ආයිමත් නැගල යන්නෙ ඩීයැස් හාමු අඩි හයකට වඩා උස බවත් උන්නැහැගෙ අත් දෙක දනිස් දෙක ගාවට දිග බවත් මේයැස් දෙකෙංම  ඒ බව දැකල තියෙන බවත් කියමිනි. සිය මස්සිනාලා දෙන්නගෙං එක්කෙනෙක්වත් ඩී.එස්.සේනානායක පන පිටිං දැකල නැති බව ආතා හොඳහැටි දන්න හිංදා ආතට මේ ගමන බයක් නැත.