Follow by Email

Thursday, January 28, 2016

සංගීතේ The music 3

ඔන්න ඒ ගමන සංගීත කණ්ඩායමේ නායකයා ආයිමත් නිවේදකයට මයික්කෙක දෙනව.


ඔඳයි ඳයි ඳයි ඳයි ඒ නම් නම් නම් නම් ඔභඝේ ඝේයි ඝේයි ඝේයි බ්‍රිය නිව්වේධක ............ට නැවදද් මයික්‍රභෝනය නය නය නය නය .


එයිං පස්සෙ සංගීත කණ්ඩායමට තියෙන්නෙ සංගීතෙ දෙන්න විතරයි.


“ඔඳයි ඳයි ඳයි ඳයි ඒ නම් නම් නම් නම් බෙන්ඩ න්ඩ න්ඩ න්ඩ න්ඩ අද ධවසේ සේ සේ සේ සේ මේ බහා හා හා හා හා සංඝීද රාද්‍රීයේ යේ යේ යේ යේ බලබු ගායඩ දරුව ව ව ව ව එධා බෙධා දුර ර ර ර ර ගායඩ ගෙදේ දේ දේ දේ දේ ජයගෙහෙලි ඩැංගූ ගූ ගූ ගූ ගුවග්ගිදුලියේ, රූබවාගිනියේ යේ යේ යේ ඩිග් විජය ගල ගල ගල බ්‍රසංඝ වේදිඝාව ආඝ්‍රබනය ගල ගල ගල ඒ අස්සගාය ගාය ගාය ගාය ගායඩ දරුව ව ව ව .................................. 

(විසිල් සමග අප්පුඩි උඩ පැනිලි, සමහරු සෙල්ලං නලා හිට පිඹිනව)  

එඩ්ඩඩ්.... එඩ්ඩඩ් ජය..ගොඩී..ඊ ඊ ඊ ඊ“

සරමක් ඇඳල එයිට උඩිං පොලවෙ ගෑවෙන්න අඩි බාගෙයක් තරං දිගිං අඩු කමිසෙයක් ඇඳපු, අපේ තුන වසරෙ ඉංග්‍රීසි පොතේ හිටිය‘අයිම් ටාරෝ අයිං පොං නයිජීරියා‘ ගෙ වගේ ගෙඩි ගෙඩි කොණ්ඩයක් තියෙන මනුස්සයෙක් ඉනිමග දිගේ ඉස්ටේජ්ජෙකට නගිනව. එතකොටම වාදක කණ්ඩායම වාදනේ පටං ගන්නව. පාට ලයිට්, ගැහෙන ලයිට්, එලිය බෝලෙ සේරම වැඩ පටං ගන්නව.


ඩ්‍රක ඩංඩං ඩ්‍රක ඩංඩං ඥාක ඥකඥ ඥාක ඥකඥ ඥකඥාඥේ ඥාක ඥකඥ ඥාක ඥකඥ ඥකඥාඥේ


ගායකයා මයික්කෙක අතට ඇරං පිලිමෙ වගේ හිටගෙන සිංදුව කියනව.  ඒ ගමං එක අතක් විතරක් පොඩ්ඩක් එහෙට මෙහෙට කරනව. ආයි ඩිංගක් නැමෙනව. හැම සිංදුවක්ම කියල ඉවර වෙනවත් එක්කම එයා කොන්ඩරියක් ගහන්න තරං ඉස්සරහට නැමෙනව. එයා කියන සිංදු ටිකක් වේගෙ මදි හිංද හුඟක් අය නටන්නෙ මල් නැටුම වගේ එකක්. ඒ උනාට සිහි නැතිවෙන තරං බීපු කෙනෙක් ගිනිපාගනව වගේ අමුතු නැටුමක් නටනව. එයා නටන්නෙ සිංදුවට නෙමෙයි.


ඔය විදිහට සිංදු ගානක් කිව්වට පස්සෙ ඒ ගායකයා ඉස්ටේජ්ජෙකෙං බැහැල යනව. ආයිමත් නිවේදකයා හාප්සීට් කොල ටිකත් ඇරං මයික්කෙකට අත තියනව. එයා කතාකරන අතරෙ නිකා ඉන්න බැරුව සංගීත කණ්ඩායමේ අය සංගීත භාණ්ඩ නිල් පාටිං සද්ද කරනව.


“ඔඳයි ඳයි ඳයි ඳයි ඒ නම් නම් නම් නම් බ්‍රියාදර දර දර දර ඥිවුක්..... රසිග ඉතවදුනි නි නි නි අබි අබගේ ඩ්‍රබ් දුබ් අඩුග්‍රාඅක බවදුඩ් ඥඥක් ඥඥක් බදග් සිගිබද් ගරමු ගරමු ගරමු ගරමු. ටිනික් ටිනික් බ්‍රසිද්ද ද ද ද ව්‍යාබාරිග රිග රිග රිග............................


මේ නං ලැයිස්තුවට මැණික් මුදලාලිලගෙ පටං බෙන්තර බෙහෙත් බඩු කඩේ මුදලාලි, පත්තර කඩේ මුදලාලි, ආදී සියලු දෙනාගෙ නංගං වගේම ඒ ගොල්ලංගෙ කඩවල්වල විකුණන්න තියෙන බඩු මුට්ටු හිට කියවෙනවා. නටපු අය ඊළඟ නැටිල්ල පටං ගන්න හති අරිනවා. මාත් අයිස්කිරිමක් කෑවනං හොඳා. පුංචිටත් ඒකම හිතිල තිවුනොත් හරි. 

..... ඈ බොලේ කෝ මේ පුංචි? මුංදැ නෑනෙ. මං වටපිට බලනව. මෙයා අයිස්කිරිං ගේන්නවත් ගිහිංද දන්නෑ. මට කියන්නැතුව ගියෙ? කියන්නැති මට මේ සද්දෙට ඇහෙන්න නෑ. හැබැයි වෙනදටනං මට ඇහුන්නැතොත් කනෙං අල්ලල හොල්ලල අහනව “ඈ බොල බීරො තොගෙ කං ඇහෙන්නැද්ද“ කියල. කොහොමටත් තව ඩිංගෙං එයිනෙ. ඊළඟ සිංදුව බලන්න එන්නෙපායැ. මං සාක්කුවට අතදාල බලනව. රුපියල් පහලොහම තියෙනව. ඒ අතරෙ පොලිසියෙ අයත් දෙතුං දෙනෙක් බැටං පොලු ඇරං වටේ පිටේ කැරකෙනව. බීපු අය අල්ලනවනං ඔය ඕන හැටියෙ ඉන්නෙ.



ඊළඟට සිංදු කියන්න එන්නෙ “භිග්ඩර් රද්ඩායග“ බව කියවෙනවත් එක්කම වදින විසිල් පාරට මං ඉස්ටේජ්ජෙකට හැරෙනව. ඒ පාරත් අරවගේම සරමට උඩිං දිග ගවුමක් වගේ කමිසයක් ඇඳපු ටිකක් උස මිනිහෙක් සිංදු කියන්න එනව. එයාගෙ කොන්ඩෙ කපල නෑ. දිගට වැවිල. ගෑනියෙක් වගේ. පුංචිඅප්පු ආතටත් ඔයවගේ කොන්ඩෙයක් තිවුනට එයානං ඒක ගැටෙයක් ගහල බඳිනව. සමහර විට ගායකයින්ට කොන්ඩෙ කපන්න තහනං ඇති. එයත් හිටි පිලිමෙ වගේ හිටං සිංදු කියනව. මයික්කෙක තියෙන අත නෙවෙයි අනික් අතිං ඉස්ටේජ්ජෙකේ දෙපැත්ත පෙන්නනව හිටපු ගමං. අපේ ආතත් කුඹුරට ගියහං ඔය විදිහට නියර උඩ හිටං ලියැද්දට අත දික්කොරල“මේං බලහං මේ ලියැද්දම ගන්න දෙයක් නෑ මැස්සො බීල“ කියල මට පෙන්නනව.



එයත් සිංදු කියල යනව. දැන්නං පුංචම්ම අයිස්කිරිං ඇරං එන්න වෙලා. මං වටපිට බලනව. දැන්නං මුංදැ හොයන්න වෙනව. පොලයි ඉස්ටෑන්ඩෙකයි වෙංවෙන මායිමට තැනිං තැන හිටෝපු කනුවක් ගාව කරුවලේ යංතං වදින ලැයිට් එලියට පුංචම්මගෙ සායෙ පාට පේනව. මං එතෙන්ට යනව. අඩුම ගානෙ මට හරි අයිස් කිරිමක් ගේන්න යන්න කලිං කියල යන්නෙපායැ. නැත්තං මට බැනුං අහන්න වෙනව “තෝ කොහෙද ගියෙ බොල“ කියල.


පුංචම්ම තමා... ඈ ... මෙන්න බොලේ එතන පුංචම්ම ඉතරක් නෙමෙයි කනුවට හේත්තුවෙලා හිටං ඉන්නෙ හොඳ සරමක් කමිසෙයක් ඇඳල කැප්පෙකක් දාගෙන ටෝච්චෙහෙකුත් අතේ තියං ඉන්න සුදුපාට මිනිහෙක්. පුංචම්ම ඒ මිනිහගෙ ඇඟට හේත්තුවෙලා හිටගෙන උඩට හැරිල ඒ මිනිහගෙ මූණ දිහා බලං ඉන්නව. ඒ මනුස්සයත් අත් දෙකෙම්ම පුංචම්මව දෙපැත්තෙං වට කරල අල්ලගෙන පහලට හැරිල පුංචම්මගෙ මූණ බලං ඉන්නව. කැරකෙන ලයිට් එලියක් ඒ දෙන්න පහුකරං යද්දි ඒ මනුස්සයගෙ දත් වහල්ල සුදට පේනව. ඒ දෙන්න හිනාවෙවී ඉන්නෙ. ආච්චම්ම කියන විදිහට පුංචම්ම මෙයාගෙ ‘කට කල්ල විසික් වෙන්න‘ ගහනෙකක් නෑ වගේ. මේ වගේ ඉන්න පිංතූර පුංචම්මගෙ ඇඳේ පැදුර යට තියෙන සුවඳ පත්තරෙයි, සඳරේනු පත්තරෙයි තියෙනව. එව්වයෙ තියෙන කතාවල ඉන්න අය වගේ මේ දෙන්නත් ‘ලව්‘ කොරනවද කොහෙද? ආං ඒගමං පුංචිගෙ නහයත් ඒ මිනිහා මිරිකනව. මං පුංචම්ම ගාවට යනව. 


“පුංචියේ මං අයිස්කීං එකක් ඇරං එන්නං“


පුංචම්ම මගෙ දිහා බලනව. හිනා මූණ මොහොතිං පරන රකුසු මූනට හැරෙනව. අර මිනිහට පුංචම්මව අතෑරෙනව. අදනං විසුං හමාරයි.


“...............................................“

ඊළඟ සිංදුවෙ සද්දෙට එයා කියන මෙලෝ දෙයක් මට ඇහෙන්නෑ. මං ආයිමත් කියන ගමං අයිස්කිරිං වෑන්නෙක දිහාට ඇඟිල්ල දික්කරල එයාට පෙන්නනව.

“...............................................“

කියල එයා මට රුපියල් විස්සක් දෙනව.


“කීයක් ගේන්නද?“

මං යටිගිරියෙං කෑගහල අහනව.


“උඹ කාහං. අපිට එපා“


බැරිම තැන පුංචම්ම මගෙ කනෙං ඇදල ලඟට ඇරං මගෙ කණ ඇතුල්ටම කට ඔබල කියනව. කනෙං ඇද්දට මොකද රුපියල් විස්සක්නෙ. මං අයිස් කිරීමක් ගෙනැත් කනව. අර දෙන්න  තවමත් කනුවෙ ඉන්න බව මට පේනව. තව ටිකකිං මට ආයිත් අයිස් කිරිමක් කන්න හිතෙනව. ආයි යන්න කලිං අහන්නෝන. මං කනුව ගාවට යනව. ඒ දෙන්න මූනිං මූන බලාගෙන තාමත් ඒ විදිහටම ඉන්නව.


“පුංචියේ මං ආයිත් අයිස්කීං එකක් ඇරං එන්නං“


පුංචම්ම ආයිමත් මගෙ දිහා කන්න වගේ බලල කනෙං ඇදල ඇරං කන ඇතුලටම කට දාල මෙහෙම බෙරිහං දෙනව.


“ඕනැ එකක් කාහං එතෙන්ටම වරෙං. මං එතෙන්ට එනකං හිටාං ඉඳා“


තව රුපියල් විස්සක්? නරකම නෑ, කලිං විස්සෙනුත් පාලොහක්  ඉතුරුයි. මං ආයිමත් යනව අයිස් කිරිමක් කනව. ආයි රටකජු ගොට්ටක් කනව. ආයි බොම්බයි මොටයි කනව. ආයි වඩේ කනව. ආයිමත් අයිස් පලමක් කනව. විටිං විටේ කනුව දිහාත් බලනව. එකපාරක් පුංචම්ම ඒ කනුව ගාව නෑ. ආයි ටිකකිං බලද්දි ඉන්නව. ඒ ගොල්ල සමහර විට අයිස්කිරිං වෙනම ගෙනැත් කන්නැති.


ලයිට් එලි බැලීමත්, දුං ගහනව බැලීමත්, මිනිස්සු නටනව බැලීමත් ඇරුනකොට සිංදු ඇහිල්ල මට අල්ලල නොගිය හිංද මං දිගටම කෑම ගැනම අවධානෙ යොදාගෙන ඉන්නව. එකපාරටම මට ඉස්සරහිං හිටපු කාණ්ඩෙ සීසීකඩ දුවන්න ගන්නව. එතන කට්ටිය කෑ ගැහුවට සිංදුව හිංද ඇහෙන්නෑ. නට නටා හිටපු එකෙක්ව බිම දාගෙන තව දෙතුං දෙනෙක් පයිං ගහනව. ඒ අතරෙ තව කට්ටියක් සෙනග අස්සෙං දුවං ඇහිල්ල ඒ කට්ටියට ගහනව. අන්තිමට සේරම එක පොදියට ගුටි ඇනගන්නව. සමහරුංගෙ සරොං කැඩිල ලංකට්ටෙක පේනව. ගෑනු කීප දෙනෙක් කෑ ගහනව. ඒ ගොල්ලංගෙ කට ඇරුනට සද්දෙ ඇහෙන්නෑ. පොලිසියෙං කීප දෙනෙක් එතෙන්ට කඩාවදිනව. රණ්ඩු වෙච්චි කට්ටියගෙ පොදියෙං උඩිං හිටපු ටික පැනගන්නව. අනික් කාණ්ඩෙ පොලිසියට අහුවෙනව. මං විගහට කනුව ගාවට දුවනව.


“පුංචියේ වලියක් වලියක්... පුරාම කට්ටියක් ගහගන්නව“


මං අත දික්කර කර ඒ පැත්ත පෙන්න පෙන්න කියනව. පුංචම්ම ආයිමත් පෝස්සෙක දිගාරින්නෙ මට කීයක්හරි දෙන්න. එයා හිතන්නෙ මං අයිස්කිරිං කන්න සල්ලි ඉල්ලනව කියල.


“නෑ නෑ පුංචියේ අතන වලියාක්. මිනිස්සු ගහගන්නව“


මං පුලුවං තරං හයියෙං බෙරිහංදීල කියල පුංචිගෙ අතේ තියෙන රුපියල් විස්සත් ගන්නව. ඒක ඇහිච්චි ගමං පුංචිව අල්ලං හිටපු මිනිහත් සෙනගට උඩිං කොකෙක් වගේ බලනව. ඉං පස්සෙ එයා පුංචිට මොනවද කියනව.  පුංචිත් මොනවද කියනව. මේ කතාවෙන්නෙ යන්න කියල තමා. යං කියල පුංචම්ම මට අතිං කියනව. අර මනුස්සයත් අපේ පස්සෙං එනව. අපි තුංදෙනාම ඔල්ලෝසු කනුව ගාවට එනව. බස් නවත්තන්නෙ එතන. මගෙ කනටත් ටිකක් සහනෙයි. දැං සද්දෙ ටිකක් අඩුවෙං ඇහෙන්නෙ.


“යං තේ ටිකක් බොන්න“


අර මනුස්සය පුංචිට කතා කරනව.


“බෑ එපා“


පුංචම්ම කියනව. අපරාදෙ. හා කිව්වනං රෝස්සෙකක් කන්න තිවුන.


“එහෙනං ඉන්නකො පොඩ්ඩක්“


ඒ මනුස්සය ටිකකිං කඩදාසි කවරෙක දාපු මොනවද ජාති ටිකක් දාගෙන ඇවිත් පුංචිට දෙනව. අපි බස්සෙකට නගිනව. පුංචම්මනං අකමැත්තෙං වගේ බස්සෙකට නගින්නෙ. අර මනුස්සයත් බස්සෙක පිටත්වෙනකං බස්සෙක ගාව ඉන්නව. හිටපු ගමං බස්සෙකේ වීදුරුව ගාවට ඇහිල්ල රහසිං පුංචිට විතරක් ඇහෙන්න මොනවද කියනව. බස්සෙකේ සෙනග පිරිල. හෙල්මට් අතේ තියාගත්තු පිරිමි රංචුවක් පුට්බෝට්ටෙකේ ඉඳං මහ හයියෙං හිනාවෙනව. බස්සෙක අද්දල එද්දි අර මනුස්සයයි පුංචම්මයි මූනු දිහාම බලං ඉන්නව.


නිකෝඩ හංදියෙං බැහැල ඉතුරුටික පයිං එමිං ගමං පුංචම්මයි මායි අර කවරෙ තියෙන ජාති කනව. ඒකෙ තියෙන්නෙ රෝස්.

“කවුද පුංචියෙ මේ රෝස් ඇරං දුන්න මනුස්සය“

“උඹට වැඩහ් නෑ ඒවෑං. උඹ ඒ ගැන කට හොල්ලනව නෙමෙයි හොංද“

“හා.. මං කියන්නෑ“

“කියල තිවුනොත් ආයි කිසියම්ම කිසි දිහාවක ගෙනියන්නෑ උඹොව“

“හා“

එදා රෑට මං නිදාගන්නෙ මහගෙදර. පහුවදා ඉස්කෝලෙ යන්න බෑ. පිනිබාල මට කැස්සයි හෙම්බිරිස්සාවයි.

“මොනොව කාලද බොල හෙම්බිරිස්සාව හදාගත්තෙ? දැං බලහං ඕකටත් බැනුං අහන්න වෙන්නෙ මැණිකෙට.“

ආච්චම්ම මට සැර කරනව.

“මං කෑවෙ අයිස්කිරිනුයි, සටකජුයි, බොම්මයි මොටයිනුයි, වඩෙයි, අයිස්පලනුයි ඉතරයි. වෙන මොකවක් කෑවෙ නෑ.“

“ඔය කාල තියෙන්නෙ. බඩජාරි කමට. තෝ පුංචිට දුන්නැද්ද?“

“එපා කිව්වෙ“

“බඩජාරි කමට කෑවහං ලෙඩ හැදෙනව. බලහංකො බොලෑ ජෝකපාල බාප්පලෑ ගෙදර අයියයි අක්කයි දෙන්න. උංට ඉස්කෝත්තක් හම්බ උනත් හැමෝටම බෙදනව. දැං මෙතන හිටියනං මටක්කෑල්ලද්දීල, ආතටක්කෑල්ලද්දීල, ගුනොවරදනටත් කෑල්ලද්දීල, මුටනං දුන්නට මූ කන්නෑ.  තියෙන ආනාදිකමට. නැත්තං ඒ ළමයි හැවෝටම දෙනව. එහෙමයි ඒ ළමයි. කවම කවර දාකවත් නොදීකන්නෑ. ඉතිං ලෙඩ හැදෙන්නෑ“

ආච්චම්ම මගෙ වැරැද්ද කියල තමුංගෙ දුව බේරගන්න කටයුතු කරනව.

“ඔය සංගීතෙ කියනඑක මොකද්ද සුරංග. උඹ දැක්ක හැටි කියහංකො“

ආතත් මගෙං අහනව.

“ඒක පුරාම විසාල ඉස්ටේජ්ජෙකක් ආතෙ. සංගීත බාන්ඩ හැමේකක්ම තියෙනව. මයික් එහෙම පුරාම තියෙනව. සද්දෙ එන්නෙ ලයිස්පීකර ඔලිං නෙමෙයි. විසාල බපල් පෙට්ටි ඔලිං. .................................................“

මං විස්තරේ ආතට කියනව.

“ඉතිං මිනිස්සු ඔහෙ බලං ඉන්නව ඉතරද?“

“ආ.. නෑ ආතෙ එතන කොටහක් මිනිස්සු නටනව. අප්පුඩි ගහනව. ආයි සිංදු කියන්න ගායකයො ආවහං විසිල් පිඹිනව. අර මං පිඹින්න වගේ  උරුලෑ නෙමෙයි. අර ගනේවිටේ මද්ද එහෙම වසන්තෙලෑ ගෙදෙට්ට ඇහෙන්න පිඹින්නෙ. ආං ඒව පිඹිනව.“

“ඉතිං උඹයි පුංචියි නැටුවද?“

“ආ.. නෑ ආතෙ අපි බලාහිටිය ඉතරයි. මං නං උරුලෑ පිම්බ. ඒව සද්දෙ නෑ.“

“බෝ ඉන්න තැනමද පුංචිත් හිටියෙ“

“ආ..මේ ඔව් ආතෙ. ඔය අනික් ගෑනුනං හුඟක් ඈය පිරිමිංගෙ ඇඟට හේත්තුවෙලා හිටං හිටිය. ඒ ගොල්ලොනං තමුං එක්ක ආපු ලමයි වෙනමම තියල තනියෙං ගිහිං ඒව මේව ඇරං කන්න සල්ලි දීල තිවුන. අපේ පුංචිනං එහෙම කොලේ නෑ.“

“මොනොවද බොල තෝ ඔය ආතත්තෙක්ක කියන විල්ලැජ්ජ නැති කතා. දුහුප්“

පුංචම්ම මට දෙකක් දීල එලෝනව. මං ඉතිං පුංචම්මව බේරල අනික් ඇයනෙ ඇල්ලුවෙ. ඒත් බැනුං.

පහුවදා ඉඳං සතියක් තරං කාලයක් සංගීතෙ ගැන මිනිස්සු කතා වෙනව. කඩේ ගාව ඉඳං මාත් එව්ව අහං ඉන්නව.

“අර පියංතෙය මගෙං හෙල්මට්ටෙක ඉල්ලං ගියා සංගීතෙ බලන්න. තාම ගෙනැත් දුන්නෑ.“

“උට මොකටේ බං හෙල්මට්? ඌට තියෙනවෑ මෝටසයිකලෙයක් තියා පුබ්බයිසිකල් කට්ටක්කත්“

“ගෑනුංට පේන්නනෙ බං. හෙල්මට්ටෙකක් අතේ තියං හිටියහං මොටෝසයිකලෙයක් තියෙන එකෙක් කියල හිතල පැල්ලයන්න එනවනෙ.“

“හෙල්මට්ටෙකද්දනං මංද. අබේපාලගෙ බාල කෙල්ලත් එදා රෑ පැල්ල ගිහිල්ලලු“

“ඒ කා එක්කද බං“

“අර ලැහැත්තියෑ ගෙදර හිටිය කොල්ල එක්ක වෙන්නැති. උං දෙන්නනෙ කාලෙයත්තිස්සෙ යාලුවෙලා හිටියෙ“

“ගල්කැටියෙ චූටියෑ කඩෙත් කල්ල කියන්නෙ එදා රෑ“

“ඒ මොකාද බං“

“මොකාද දන්නෙ. ඔය සංගීතෙ බලපු එවුවො වෙන්නැති. සිකරැට්ටිං එකයි, බීඩි මිටි වගේකුයි ඇරංලු. සල්ලිනං තිවිල නෑ“

“මැණිකෙග්ගියා නේද නැංදම්මෙ“

එක්කෙනෙක් ආච්චම්මගෙනුත් අහනව.

“අප්පේ මැණිකෙ ගියාට ඒකි ඔය කිසියාම්ම කිසිදේකට නෑනෙ. මුගෙත්තෙක්ක එකතැනකට වෙලා ඉඳං බලාහිල්ල ආවලු එන්න. ඔය අනික් ගෑනුනං ඕන හැටියෙ මිනිස්සු බදාගෙන හිටිය කියන්නෙ කනුවක් කනුවක් ගානෙ.“

“ඇත්තද නැංදම්මෙ“

“ඔව් මේ මූ කිව්වෙ.“

ආච්චම්ම මගෙ කට උත්තරේ ගම පුරාම පතුරනව.


තමුංගෙ පේමවන්තයා හම්බුවෙන්න ඒ සංගීතෙ යොදාගෙන ඒ වෙනුවෙං මාවත් අතකොලුවක් බවට පත්කරගත්තු පුංචම්මා පස්සෙං පහු කාලෙක ආතගෙ විරුද්දත්වෙං සහ වහබොනවයි කියල පවුලෙඅනික් අයගෙං බලෙං ලබාගත්ත කැමැත්තෙං ඒ මනුස්සයවම කසාද බැංදා. කරුමෙ වලක්කන්න බෑ.

Monday, January 25, 2016

සංගීතේ The music 2

සංගීතෙ පැවැත්වෙන දවස වෙනකං ඔය විදිහට අහුවෙන හැම එකා එක්කම ‘ඔව්වට යන එවුං නැහැදිච්ච හැත්ත‘ බවට කියෝන එක ආච්චම්මගෙ දින චරියාවෙන් කොටසක්. ඒ එක්කම මේක බලන්න යන එවුං කවුරු කවුරුද කියන එකත් උන්දැ සංගණනය කරනවා.


මේ අතරේ ගමේ ඉලංදාරි, අල්ලපු ගංවල ඉලංදාරි හැමෝම සංගීතෙ ගැන කතාවෙන්න පටං ගත්තා. මඩ්ගාඩ් නැති පුබ්බයිසිකල් උඩ නැගගෙන බැලන්සෙකට එක කකුලක් බෝක්කු කනුවක් උඩිං තියාගෙන බෝක්කු පාලං  ඇඳි අද්දර රැස්වෙච්චි ඒ අය හිමීට කතාවෙන දේවලුත් මහ හයියෙං හිනැහෙන එව්වත් අපේ ආච්චම්මට දිරෙව්වෙ නෑ. හැබැයි අතුලගෙ කඩේට අල්ලපු අනික් කඩකාමරේ කොන්ඩෙ කපන සිරිල්ට ඒ දවස් ටිකේ හරියට වැඩ. රැවුල කට්ටෙකට කැපීම, කොන්ඩ කට් ගැහිලි ආදී එක එක ආකාරෙට කොන්ඩ රැවුල් කපාපු තරුන අය අනික් අයට වැඩිය මූණ නොදී හිටියෙ විහිළු වලිං බේරෙන්න. හැබැයි අපේ පුංචම්මගෙං සංගීතෙ ගැන හාවක් හූවක් නෑ. මුංදැට මේක අමතක උනාද? අහන්නත් බෑ. සයන්න කියනකොටම ‘කටවහප්‘ කියනව.


 සංගීතෙ දවසෙ දවල් පුංචම්ම හිටිහැටියෙම ආච්චම්මගෙ ඔලුව උඩට ගිනිගෙඩියක් අතාරිනව. 



“අම්මෙ මාත් යනව සංගීතෙ බලන්න“



“කොහෙ නංගියෙබ් බලන්නදැ“


“ඥැංගියෙක් නෙමෙයි අම්මෙ සංගීතෙ බලන්න“


“උඹට විකාරද? අයියත් කිව්වෙ ඔව්වෑ යන්න හොඳනෑ කියල“


“අම්ම මොටද මං යන විත්තියක් අයියට කියන්න ගියෙ. මං කිව්වනෙ කියන්නෙපා කියල“


“මං කියාපු එකහ් නෑ. ඌ තමයි කිව්වෙ“


“අම්ම නොකිය කෝමද අයිය ඒක දන්නෙ“


“මං දන්නෙ කොහොමද බං ඒක. ඒක උගෙං අහගං.“


ආච්චම්ම කරපු වැඩෙත් දාල මාරුවෙනව. පුංචම්ම මගෙ පැත්තට හැරෙනවා.


“සු*** උඹ වරෙං යන්න මගෙත්තෙක්ක“


“හොඳා පුංචියෙ“


එදා හැංදෑවෙ ඇඳිරි වැටෙන්න කලිං පුංචියි මායි සංගීතෙ බලන්න යන්න ලකලැහැත්ති වෙනව. මං කලිං අවුරුද්දට ගත්තු කොට කලිසමයි ඉස්කෝලෙ අඳින සුදු කමිසෙයි ඇඳගන්නව. කමිසෙට අල්ලපු බැජ්ජෙක නූල් පොටවල් හතර කපල බැජ්ජෙක ගලෝල තියනව. එතකොට ඒක ඉස්කෝලෙ ඇඳුම නෙමෙයි. පුංචම්ම රැලි තියෙන දිග සායක් ඇඳල ඒකෙ ඉස්සරහ තියෙන ලොකු යකඩ රවුම දාපු බැජ්ජෙක පේන විදිහට හැට්ටෙ සායට යට කරනව. කොන්ඩෙ ගොතල ලා කොලපාට පවුඩර් බෙලෙක්කෙං පවුඩරුත් දාගෙන කබට්ටෙකේ තියෙන අස්ස ඔලුව ඇඳපු සැං කුප්පියෙන් ටිහිකුත් ගහගන්නව. කුඩෙයි ලේංසුවයි ඇරං කැරපොත්තං පාට සෙරෙප්පු දෙකත් දාගන්නව. ඒ අතරෙ පාර අයිනෙ ඉන්න මිනිස්සුං එක්ක කිය කිය ආච්චම්ම ගිය නුවන ඇතුන් ලවා අද්දවනව.




“ඔය සමහරක් එව්වොනං ඔව්වට ගියහම සවුත්තු වෙනව. ඒ උනාට අපේ මැනිකෙනං එව්වට අල්ලන්න හම්බුවෙන්නෑ. මොකෙක්හරි මොකවක් කිව්වොග් ගහයි කුඩෙං කට කල්ල විසික් වෙන්න. ඔය වෙනිං කෙල්ලො වගේ කටවහගෙන ඉන්නෙකක් නෑ.“



උංදැගෙ කතාව නෑහුනා වගේ අනික් මිනිස්සු වෙනිං දේවල් කතාවෙනව.


“යමං නිකෝඩ හංදියට“



ආච්චම්මගේ හත්පොලේ නාගැනීමෙං ගැලවෙන්න පුංචම්ම මාවත් ඇදගෙන නිකගොඩ හංදියට යන්න පිටත්වෙනව. එතනිං සෙනග පිරිච්ච ටකරං  බස් එහෙක නැගිල අපි දෙන්නා ඇඳිරිවැටීගෙන එන වෙලාවට ටවුමට යනව. නිව්ටං පෙරේරගෙ බාර්රෙක ගාව සෙනග පිරිල. මිනිහෙක් කානුවෙ ඉඳං කානු ගැට්ටට ඔලුව තියං බුදි. සමහරු වැනි වැනී පාරට එනව. බැලුං බෝල කාරයො, සෙල්ලංබඩු කාරයො, එලිය වලලු කාරයො ආදීන් ඇවිද ඇවිද එව්ව විකුණනව. ඒ අතරෙ තැනින් තැන පංදං පත්තුකරගත්තු කඩල කාරයො, වඩේ කාරයො ටවුමට එලිය දෙනගමං තමුංගෙ සාක්කුව එලිය කරගන්නව. 



සැං පවුඩර් සුවඳ හමන, මාලුදැල් කමිස ඇඳල එව්වටම ගැලපෙන මැණික් මුදලාලිල අඳින නිල් සරොං ඇඳපු තරුණ අය, ළමයි බමයි අතිං කටිං එල්ලගත්තු ගෑනු, දිග සායවල් හැට්ටවල් ඇඳං හය හත්දෙනා එකාට එකා ඈඳිච්චි තරුණ ගෑනු ලමයි යායවල් ඇතුළුව සෙනගිං මුළු පාරම වැහිල හිංද බස්සෙක ඉස්ටෑන්ඩෙක ගාවට යන්නෙත් නෑ. පුංචම්ම මාවත් ඇදගෙන පයිංම බස් ඉස්ටෑන්ඩෙක ගාවටම යනව. 





 වෙනදට වෙලාව එනකං බස් නවත්තල තියන ඉඩ ටිකේ බස් සේරම අයිං කරල. උස ඉස්ටේජ් එකක් ගහල. ඒක පිටිපස්සෙ, දෙපැත්තෙ, ඉස්සරහ උඩට හැම තැනකම රැලි දාපු රෙදි එල්ලල. ඒකයැ බලන්න වටින වැඩේ බපල් පෙට්ටි එක උඩ එක ගොඩගහපු තට්ටු දෙකක් ඉස්ටේජ්ජෙක දෙපැත්තෙ. එයිං එක බපල් පෙට්ටියක් අපේ ගෙදර තියෙන අල්මාරිය ඉතර ඇති. පෙලක් එව්වගෙ පීකරේ හාල් පොලන වට්ටියක් ඉතර ඇති. ගනේවිටේ ගෙදර තියෙන බපල් පෙට්ටි මොනවද කියල හිතෙනව. උංගෙ ගෙදර බපල් පෙට්ටි රෙද්දකිං වහලත් තියෙන්නෙ. මේවනං එහෙමත් නෑ. තව ඩිංගක් උස තිවුනනං මට අල්ලන්නත් පුලුවං. එයිට හපං ඉස්ටේජ්ජෙක. අපේ පංතියෙ බණ්ඩාරෙය ගාව තියෙන ඕගන්නෙක වගේ දෙකක් ඉතර විසාල ඕගන් හතරක් ඉතර පඩිපෙල වගේ අහුරල තියෙනව. ඒක ගහන කෙනාට එයිං කැමති එකක් ගහන්න පුලුවං. කනුවල හයිකරපු මයික් හය හතක්ම තියෙනව. ඕනැ කෙනෙට්ට සිංදු කියන්න පුලුවං. අනික් එක්කෙනා කියල ඉවර වෙනකං ඉන්න ඕන්නෑ. ඒ ඔක්කොමත් හරි අර තියෙන්නෙ බොලේ ඩංසැට්ටෙක. යටිංම තියෙන්නෙ පයිං ගහන එක. ඉහලට වෙන්න ‘සල් බල්‘ ගාල ගහන රත්තරං පාට පිඟං ටික කූරුවල උලගහල තියෙන්නෙ. වටේටත් ඕන හැටියෙ ඩංසැට් කෑලි. එස්රේ කාඩ් කෑලිවලිං හදන එව්ව වගේ නිල්පාට නෑ. 






ඒ විසිතුරු වැඩිවෙලා බලන්න නෑ. පුංචම්ම මාවත් ඇදගෙන එහාට මෙහාට යනව. එයා මොනවද හොයනව. හොඳට පේන තැනක් වෙන්නැති.




“පුංචියෙ තවටිකක් ඉස්සරහට ගියොත් පෙනෙයි“




“කටවහං හිටහං.“




එයාට නං මොකද එයා උසයිනෙ. අංතිමට පුංචම්ම මාව පොල පැත්තට තියෙන බපල් පෙට්ටි ටික ඉස්සරහ නවත්තනව. එයිං ඩිංගක් එහායිං තියෙන්නෙ එක යාවට හදාපු පොලේ මඩු ටික.




“ඔතන හිටහං“




“පුංචියෙ මෙතෙන්ට හරියට පේන්නෑනෙ.“





“එහෙනං බලහංකො පේන තැනක්“





මං තව ඩිංගක් එහාට මෙහාට වෙලා බලනව. ගල් ගැලවිල වතුර වලක් හැදිච්චි තැන සෙනග නෑ. ඒ හිංද වතුර වල පිටිපස්සෙ මගෙ තිප්පොල විදිහට මං තෝරගන්නව.පුංචම්ම මට පිටිපස්සෙං ඉන්නව.




සංගීතෙ පටං ගන්න පාටක් පේන්න නැතත් වෙලෙංදොනං වැඩ. අයිස් කිරිං කන මීයෙක් ඇඳපු අයිස් කිරීං වෑන් දෙක තුනක්ම තියෙනව. එව්වයෙ ලැයිට් ඇංජිං ‘පට පට‘ සද්දෙං වැඩ. ඒ හංදා බයිසිකලේ අයිස්කිරිං විකුණන එක්කෙනාට වගේ කෑ ගැහිල්ලටත්, නලාව මිරිකිල්ලටත් මහංසි වෙන්න ඕනනෑ. අයිස් කිරිං වෑං වටේටම දොරවල් ඇරල. ඒවයෙ කොලපාට, නිල්පාට, රෝස පාට දිග ටියුබ් බලුප් හයිකල්ල. දිත්වෙන අත්වල තියෙන කාසි ඩැහැගන්න අයිස්කිරීං කාරය අයිස් කිරිං ගොටුවලට ලොකු පෙට්ටියක තියෙන අයිස් පුරෝනව. ඒ පෙට්ටියෙං මීදුං යනව. ඒ එක්කම රටකජු බදින මිනිහා සවලෙං සිමෙන්ති බදාම අනනව වගේ මහ සද්දෙට රටකජු තාච්චිය කාල්ගානව, වඩේ කාරයත් පනිට්ටුවක වඩේ දාගෙන තැන තැන ඇවිදිනව ‘වඩ වඩ වඩ වඩ වඩේස්‘ කිය කියා. සෙල්ලං බඩු තියෙන තැං මට හරියට පේන්නෑ. යනගමං බලන්නෝනැ.



පැයක් විතර හිටිපිලිම වගේ බලා ඉඳීමෙං පස්සෙ ඔන්න බපල් පෙට්ටි වලිං එක පාරටම සද්ද වගයක් එනව.



“ඩිබ් ඩිබ් ඩිබ් ඩිබ්. ජස්ටිං වං ඩූ වං ඩූ වං වං චූ ටී වංචූටී“



කවුදෝ මනුස්සයෙක් මයික්කෙකක් ඇරං ඉස්ටේජ්ජෙකේ පැත්තක ඉඳං ජැස්ටිං කෙනෙකුත්, වංඩු ගැනත්, චූටියෙක් ගැනත් කියනව. කරුනෙ මාමලගෙ කඩේ ඉඳං වංඩුවක් කකා කහට බොන ජැස්ටිං මාම ගැන වෙන්ටැ මේ කියන්නෙ. මිනිහ හැමදාම පොලේ ගිහිං ඇහිල්ල වංඩු කාල කහට බොනවනෙ.




ඔය විදිහට එපා වෙනකං කිය කිය ඉඳල ඒ මනුස්සය යන්න යනව. එයිනුත් එපාවෙන තරං වෙලාවක් ගියාට පස්සෙ එක වගේ දිලිසෙන ඇඳුං ඇඳපු හය හත්දෙනෙක් ඉස්ටේජ්ජෙකට එනව. දිලිසෙන කලිසං ඇඳල රතු කමිස ඇඳල ඊට උඩිං දිලිසෙන කලු කමිස ඇඳල. හැබැයි බොත්තං දාල නෑ. ඒ තමයි සංගීත කණ්ඩායම. ඒගොල්ල කම්මැලි කමිං ඇහිල්ල සංගීත භාණ්ඩ සේරම ඔබල, තට්ටු කරල බලනව.



“ඥඥක් ඥඥක් ඥක් ඥක්“



“ද්‍රබ් ද්‍රිබ් ද්‍රෘබ් ද්‍රොබ් ද්‍රබ් ද්‍රිබ් ද්‍රෘබ් ද්‍රොබ් ෂල් බල් බල් බල්“





මාව උඩිං විසිවෙනව. මයෙ අම්මෝ මෙව්වයෙ සද්දෙ. පොලව පෙරලගෙන එන සද්දෙ මගෙ බඩ ඇතුලෙත් දෙදරනව. මං කං දෙකේ ඇඟිලි ගහගන බලනව. ඒත් අපේ ගෙදර රේඩිවේකට වැඩිය සද්දෙයි. පුංචම්මට ඒක දැනිලද කොහෙද උංදැ මාවත් ඇදගෙන ටිකක් දුරට යනව. ඒත් පොල මායිමෙං ඈතට යන්නෑ.




ඔය විදිහට සංගීතකාරයිං ටිකත් එපාවෙනකල් තට්ටු දම දම ඉන්නව. ඉං පස්සෙ කාන්ඩෙත් එක්ක අපිට පස්සහ හරවල ඉස්ටේජ්ජෙකේ පිටිපස්ස බලාගෙන වාදනයක් පටං ගන්නව. එක සිංදුවක් ඉවර වෙනකංම වාදනේ කරල ඉස්සරහ පැත්තට හැරෙනව.



ඕං එතකොට කලු කලිසමක් කමිසයක් ඇඳපු, සපත්තු දාපු ටිකක් මහත උස මිනිහෙක් හාප්සීට් කොල ටිකකුත් අතේ අරං ඉස්ටේජ්ජෙකට එනව. ඇහිල්ල කනුවක ගහල තියෙන මයික්කෙකක් ගලෝල ගන්නව අතට. ආං එයා තමයි නිවේදකයා.



ෂුභ්හ ෂැංඩ්ඩෑවග් බේබාබාබා බ්‍රිය ෂංඝීථ ලෝලී බිදුර බිදුරියනි.





එයා කියන එව්වයෙ අංතිම අකුර ආයි දෙතුං පාරක් සද්දෙ අඩුවෙන පිලිවෙලට කියන්න සෑහෙන මහංසියක් වෙනව. එයා කියන ‘බ‘යනු සේරම පොල්ලෙං ගැහුව වගේ පොලව දෙදරවනව.





“බුලින්බ බොල්දෙල් බහන ධැල්වීබ ෂඳආආආආ අභගේ ආර්රාධනය ඛලවාන ............................... බහතාතාතා, එවඝේබ...........................“





ඔය විදිහට නිවේදකය නං කියන කොට පහනෙ තිර ගානටත් වැඩියෙං මහා රංචුවක් ඉස්ටේජ්ජෙකට නැගල පාන පත්තු කරනව. ඒ හැමෝම අපේ ගමේ ග්‍රාමසේවකට වැඩිය මහතයි. සමහර අය බිම දිගේ තියෙන වෑර් පොටවල් කකුල්වල පටලෝගෙන වැටෙන්නත් යනව. ඒ අතරෙ සංගීත කන්ඩායම පොල්තෙල් පාන දැල්වීමට තාලයක් වාදනේ කරනව.





“ටන්නා ට නන්නා ටන ටන්නන් ටන ටන නා. ටන්නේ ටනනි නන ටන ටන ටන ටන නන නා“



අන්තිම එක්කෙනා පහන පත්තු කරල අහවර වෙනවත් එක්කම දෙන්නෙක් ඇවිල්ල පහන ඇරං යනව. අන්තිමට පාන පත්තු කරපු කෙනා ඉටිපන්දමත් ඒ ගොල්ලන්ටම දෙනව. පාන පත්තු කරන්න ඉස්ටේජ්ජෙකට නැගපු අය ‘දැං ඉතිං අපි මොකද කරන්නේ‘ කියල හිත හිතා ඉන්නකොට නිවේදකයා ඒ අය බේරගන්නවා.






“භොහෝභත්බ ඉස්දූදියි ඔභථුබල්ලාඩ..ඩ..ඩ..ඩ. අඵ ආර්රාධනා ගර්නවා ඔභථුබල්ලාඩ ඉධිරිබෙල අසුන්බලින් අසුන්ඝන්ඩා ලෙෂ..අ...අ...අ“




ආරාධිත අමුත්තො රංචුව සංගීත කණ්ඩායම අස්සෙං වෑර් පොටවල් අස්සෙං රිංගල ගිහිං පැත්තක තියෙන ඉනිමගක් දිගේ බිමට බැහැල යනව. ඉං පස්සේ නිවේදකයා සංගීත කණ්ඩායමේ වරුනාව කියෝනවා. ඒ කියන විස්තරේ හැටියට ආයි ලංකාවෙ තප්පුවකට තලාගන්න තරංවත් සංගීතෙ දන්න කිසිම සංගීත කණ්ඩායමක් නැත. ඉන්නා එකම කණ්ඩායම මේකය. මේ ඇවිත් තියෙන්නෙත් පිට රටවල් ගනනාවක ගිහිං ඇවිල්ලාය. එහෙම කියලා කියලා අංතිමට සංගීත කණ්ඩායමට මයික්කෙක බාරදෙන්නෙ මේං මෙහෙම.



“ඒනබ් එධා මෙධා දුර..ර...ර..  ලාංඝීය සංඝීදයේ ජ්ජය ගෙහෙලි නැංබූ..ඌ...ඌ...ඌ.. එ අස්සහාය සංඝීද ගන්ඩායබ...බ...බ...බ බිලිගන්ඩ වේදිගාවේ සබං ඇංදග් ගෑන්ෂ්“




ආං ඒ ගමන විසිල්, අප්පුඩි මහා ගෝසාවක් නගිනව. සංගීත කණ්ඩායමේ ඉස්සරහම හිටපු කරේ ගිටාරෙකක් දමං හිටිය කෙනා නිවේදකයගෙං මයික්කෙක ගන්නව.




“ගොධයි..ඉ...ඉ...ඉ...ඉ නංඝිලා, බල්ලිලා, දෙඩ්ඩ බලඩ්ඩ හොධ අබ්බුඩියාක්..යාක්..යාක්..යාක්...යාක්“




සෙනග එක පිම්මට අප්පුඩි ගහනව. මාත් ගහනව. මට විසිල් බෑ. උරුලෑ පිඹින්න විතරයි පුලුවං. ඒක සද්දෙ මදි. 



“ගොධයි..ඉ...ඉ...ඉ...ඉ බෝබත්බ ඉස්දූදියි..ඉ...ඉ...ඉ අබි බලබුවෙංබ ගායඩා ඝරඩ්ඩේ ඒ..එ්...ඒ... උබහාර ගීදයග්.


ඔන්න සංගීත කන්ඩායම පලවෙනි සිංදුවට කියන්නෙ හමුදාවෙ අයට කියන සිංදුවක්. ඩංසැට්ටෙක ගහන කෙනා හමුදා වාදක කන්ඩායමේ වාදනේ වගේ එකක් ගහද්දි තව එක්කෙනෙක් අපේ ආතගෙ පඩික්කමේ කට විතර විසාල කටක් තියෙන දඟර ගැහිච්ච පිත්තල පාට නලාවක් පිඹිනව. එයාගෙ බඩ ටිකක් මහත හිංද ඒ නලාවට ඇතිවෙන්න එයාගෙ බඩේ හුලං ඇති. ගිටාර් ගහන අයත් දෙතුං දෙනෙක්ම කණ්ඩායමේ ඉස්සරහම ඉඳං එව්ව එක එක අතට උරුක් කරගෙන කකුල් නටෝන ගමං සිංදුවත් කියනව. ගිටාර් ඔල සද්දෙයක් මට නොතේරුනත් සංගීත කණ්ඩායමේ නිකම්ම ඉන්න අයට එයිං එකක් දීල ඉස්සරහට දාල තියන්නෙ ඒගොල්ලංගෙ හිත නරක් වෙනවට වෙන්නැති. නිකම්ම ඉන්නවට වඩා තමනුත් මොකක් හරි වැඩක් කරනව කියල ඒ ගොල්ලන්ට හිතන්න පුලුවන්නෙ. 



ඒ අහුඅස්සෙ ටිකක් පිටිපස්සෙ ඉන්න කෙනෙක් හිටගෙනම ටිකක් ගනකං සුදුපාට ලෑල්ලක් වගේ එකකට ගහනව. අච්චර අපූරු ඩංසැට්ටෙකක් ගහද්දි තව මොකට ලැලි ඔලට තලනවද මංද. ඒකත් ඔය ඩංසැට් ගහන්නම ඕනැ කියල ඉල්ලනකොට එයාට දීපු එකද්ද කොහෙද. සංගීත කණ්ඩායංවල ඩංසැට් ගහන්න හැමෝම කැමතිනෙ. ඔය වගේ මොන්ටිසෝරියෙ උස්සවෙත් නිකං නිකරුනේ මල්වගේ අංදපු ලමයි දහය පහලොව බොරුවට ඉස්ටේජ්ජෙකේ තියනවනෙ. 



ඒ අතරෙ ඉස්ටේජ්කෙ ඉස්සරහ උඩ එල්ලල තිවිච්චි ඊයං පාට බෝලෙ කරකැවෙනව. ඒකෙං එන දිස්නෙ ඉස්ටේජ්ජෙක පුරාම එලිය කොටු විදිහට යනව. බෙලෙක්කෝප්පෙයක් ඉර එලියට ඇල්ලුව වගේ. ඒ මදිවට ඔන්න තව පාට පාට ටෝච් එලි වගේ එලි වගේකුත් ඉස්ටේජ්ජෙකට වදිනව. අපේ ගෙදර ආත ගහට මාකඹයි ආවද බලන්න ටෝච් එලි ගහන්නෙත් ඔන්න ඔහොම. ඒ මදිවට පාට පාට එළිය මල් ඉස්ටේජ්ජෙක පුරා, සංගීත බාන්ඩ, මිනිස්සු හැමෝගෙම ඇඟේ හිටං කැරකෙනව, එහෙ මෙහෙ යනව. ඒ එක්කම ඩංසැට්ටෙක ගාවිං බාගෙට ගැහිච්ච ටියුබ් ලයිට්ටෙකක් වගේ එකක් වෙවුල වෙවුලා පත්තු වෙනව. මගුල් ගෙවල්වලට ලැයිට් ඇංජිං ගෙනාවං පත්තු කරන සමහර ඩියුබ් ලයිට් ඔය විදිහට ගැහෙනව තමා. ඒ එලියට ඩංසැට් ගහන කෝටු දෙක වෙවුලනව වගේ පේන්නෙ. 



සිංදුවෙ මැද හරියෙදි එක පාරටම ඉස්ටේජ්ජෙක මැදිං දුමක් නගිනව. ගිනි ගන්නව වෙන්නනං බෑ. එහෙනං ගින්දරත් එන්නෙපෑ. කොටි බෝම්බ ගැහුව වෙන්නත් බෑ. එහෙනං සද්දෙයක් හරි එන්නෙපායැ. සංගීත තණ්ඩායමේ අය දුම මැද ඉදං සිංදු කියනව. මේකත් මොකක් හරි ලස්සනකට කරන වැඩක් වෙන්නැති. මේ විදිහට අපේ ගෙදරත් පරණ ඇතිලි කබලකට පොල්ලෙලි, කජුලෙලි, ලාඩප්ප කොල එහෙම දාල මහා දුං කබලක් හදාගෙන ගේ පුරාම අල්ලනව මදුරුවො වැඩි දවසට. හැබැයි එතකොට අපිටත් කැස්ස හැදෙනව. මේ දුං පාරටනං කැස්ස හැදෙන්නැද්ද කොහෙද?



අන්තිමේ දී ඒ සිංදුව ඉවර වෙද්දි ඒක රණවිරු උපහාරයක් බව සංගීත කණ්ඩායමේ නායකයා කියනව. 



“ගොධයි නංඝිලා, බල්ලිලා, දෙඩ්ඩ බලඩ්ඩ හොධ අබ්බුඩියාක්..යාක්...යාක්...යාක් ...යාක්. ව්රායිඩ් ඊළඝඨ අබි ඝායලා ඝරන්ඩේ නවදව බඩහිර ඝීදයග්. “




මෙතෙනදි සංගීතෙ නිල් පාටයි ගායනාව රතු පාටයි




“යායියායියේ කූකූ ජම්බු යායියායියේ
යායියායියේ කූකූ ජම්බු යායියායියේ

ඩිෂ් ඩිෂ්


“ගුබ්බීයා ගුහ්මිටා ගුහ්මාපීපේ හෑමිටා
ගුහ්මී්‍යා ගුහ්මිටාන් නැන් ගුන්නිහැබ්බේ“


ටක ටක ටන්නං





       



 
මොකද්දැයි මෙලෝ හසරක් නොදැනුන බාසාවක් උනත් ඒකෙ සංගීතෙ හරිම ජොලි එකක් වීම නිසාදෝ ඉස්ටේජ්ජෙක ඉස්සරහ ඉන්න පිරිස එකා දෙන්නා අත් ඉහලට උස්සගෙන කාවඩි නටන්නා වගේ නටන්න පටං ගන්නවා. සමහර අය මොන්ටිසෝරි ලමයිංගෙ මල් නැටුම වගේ තාලෙට දෙපැත්තට පැද්දෙද්දි තවත් සමහරු කඩිගුලක් පෑගුනහම උඩ පැන පැන කඩි ගසන්නා වගේ නටනවා. මේ නැටිල්ලට තමුංගෙ අත පය පෑගෙයිද සැකෙං වටේ ඉන්න අය දුරට වෙලා ඉඩ දෙනවා. සංගීත කණ්ඩායමේ අයත් ගිටාර් එක එක අතට දික් කර කර නටනව. ඩංසැට්ටෙක ගහන කෙනා රත්තරං පාට පිඟං ගැලවෙන තරං හයියෙං ගහනව. එව්ව ගැලවෙලා බිම වැටෙන්න තරං පැත්තකට ඇලවෙලා ආයිත් කෙලිං වෙනව. ඒ සිංදුවෙ මැද හරියෙදි කණ්ඩායමෙං එක්කෙනෙක් අපේ ගෙවල්ගාව පීටර ආත තෙල් මතුරනව වගේ අපිට නොතේරෙන්න මොනව හරි කියාගෙන කියාගෙන යනව. සිංදුව ඉවර වෙද්දි අප්පුඩි ගැහිල්ල නවත්තගන්න බැරි තරං. ඩංසැට් ගහන කෙනත් පුලුවං තරං අර රත්තරං පාට පිඟං ටිකට තලල තමයි සිංදුව නවත්තන්නෙ.

  

ඊළඟට ඒගොල්ලං කියන්නෙ එයිට වඩා හිමිං සිංදුවක්. මට හිතෙන විදිහට වයසක කෙනෙක් ගැන කියන දුක හිතෙන සිංදුවක්. ඒකත් වෙනිං රටක එකක්. සංගීතෙ නිල්පාටයි, ගායනේ රතුපාටයි.




“මුත්තප්පා මුත්තප්පා තෝම්මදි මුත්තප්පා
නාවුන්නං තෝනේ මුත්තප්පා
මුත්තප්පා මුත්තප්පා තෝම්මදි මුත්තප්පා
නාවුන්නං තෝනේ මුත්තප්පා“


ඩං ඩං ඩඩන්නඩ්‍රං








ඔය විදිහට සංගීත කණ්ඩායමට ඇති තරං සිංදු කිව්වට පස්සෙ තමයි අනික් ගායක ගායිකාවන්ට සිංදු කියන්න හම්බෙන්නෙ.

Friday, January 22, 2016

අද ඇගේ දවසයි Today belongs to her



2008 අවුරුද්දේ දවසක අගලවත්ත බස් නැවතුම්පලේ දී



“ඔයා ගැන මොනවත් මං දන්නෑනෙ“


“ඉන්නකො. ආ මෙන්න මගෙ අයිඩිං කාඩ්ඩෙක.“


ඇය මගේ අයිඩෙන්ටිය දෙපැත්තම හරවා බලා  ආපසු මට දුන්නාය.


“මොන ප්‍රශ්නෙ ආවත් මේක නවත්තන්නෙ නැත්නම්, මාව රවට්ටන්නෙත් නැත්තම් මේක පටංගමු“


“හා“


“එහෙනං හරි. මං යනව. අම්ම බලාගෙන ඇති. ඔයා පරිස්සමින් යන්න“   






2009 වසරේ දවසක කලුවාමෝදර වෙරලේදී


“ඔයා කොච්චර කාලයක් දියතලාවෙ ඉන්නවද?“


“අවුරුද්දක් ඉතර ඉන්න වෙයි“


“එහෙනං සතියක් ගානෙ එන්න බැරිවෙයි නේද?“


“ඔව් නිිමාඩු නෑනෙ. ඉගෙනගන්න කාලෙනෙ“


“ඒකට කමහ්නෑ. පුලුවන්නං මාසෙකට සැරයක් ඇහිල්ල එක විනාඩියකට පෙනිල යන්න. මට ඒ ඇති“






ඊට මසකට පමන පසු දුරකථන සංවාදයක්       


“ඔයාට කන්නවත් සල්ලි නෑ නේද?“


“නෑ තියෙනව“


“බොරු කියන්නෙපා“


“බොරු නෙමෙයි. තියෙනව“



“ආ එහෙනං ඉන්නවකො බඩගින්නෙ“     ඇය දුරකථනය විසන්ධි කලාය






එයින් දින හතරකට පමන පසු දුරකථන සංවාදයක් 


“ඔයාට ලිවුමක්  ලැබෙයි අද. බලං ඉඳල ගන්න“


“බලං ඉන්න දෙයක් නෑ හම්බුනා.“



“ආ එහෙනං ඒක කඩල බලන්න“


“බැලුව බැලුව. කවුද ඔයාට ලිවුං කවරෙ දාල සල්ලි එවන්න කිව්වෙ?“ 



“කවුරුවත් කිව්වෙ නෑ. මට හිතුන ඔයා බඩකින්නෙ ඇති කියල. ඔයාට තාම පඩි හම්බුනේ නෑනෙ. වෙනිං සල්ලි එවන විදිහක් මං දන්නෑ. ඉතිං මං රුපියල් හස්සිය පනහක් ලියුං කවරෙදාල එව්ව. කවුරුවත් ඒක කඩල බලල සල්ලිටික එහෙම අරං නෑ නේද?“



“නෑ. නෑ. කවුරුත් අරං නෑ. ඒක නෙමෙයි ඔයාට කොහෙංද සල්ලි“



“බයවෙන්නෙපා අපේ ගෙදරින් නෙමේ. අපේ ගෙදර ඔයහැටි සල්ලි නෑනෙ.“  



“එහෙනං“


“මං **** නැංදගෙන් නයට ඉල්ල ගත්ත.“


 “දැං ඕක ගෙවන්නෙ කොහොමද?“


“මං ඒකට හරියන්න එයාගෙ දලු කඩන්න යනව. ඉස්සරත් මං අම්මත් එක්ක ****ලගෙ දලු කඩන්න යනව“


වැදූ මවට නොදැනුන මගේ බඩගින්න ඇගේ හදවතට වැටහී තිබිනි. ඒ වනවිටත් මගේ ආහාරය දවසට දෙවේලට බැස තිබුනි.





2010 වසරේ දෙසැම්බර් මස අගදී දිනක කොළඹ-බදුල්ල පාරේදී


ඔයාට ඔය බෑග්ගෙකයි බේසං තඩියයි දෙකම තියාගෙන පිටිපස්සෙ සීට්ටෙකේ හිටියැද්ද“


“ඕක මොකද්ද අනේ අපි වගේ වාර්තාගත දෙන්නෙකුට“


“මොකද්ද වාර්තාව“


“ඇයි අනේ ඊයෙ අපේ වෙඩින්නෙක. අද අපි දෙන්න මොටෝසයිකලේ නැගල බඩුමුට්ටු පොදි බැඳගෙන හෝම්කමිං යනව කිලෝමීටර සියගානක්. ඉතිං ඒක වාර්තාවක්නෙ“


“ඉතිං මේක හෝම් කමින් නෙමෙයිනෙ. මගෙ කෝටස් එකටනෙ යන්නෙ. අනික එහෙ අපේ කවුරුත් නෑනෙ“


“ඒක තමා වාර්තාගත කියන්නෙ“ 


ඇය ලද දෙයින් ඉහටත් උඩින් සතුටට පත්ව සිටියාය.






2016 ජනවාරි මස දවසක



“ඒ ගොල්ලොංගෙ කාරෙකේ වාරිකේ කීයක්ලුද?“


“විසි හත්දාහක් කියන්නෙ“


“එච්චර වෙනවද අනේ. එතකොට ඒගොල්ලං ජීවත් වෙන්නෙ“


“උගෙ නෝනත් මාසෙට පනහට එහා හම්බු කරනවනෙ. සෑහෙන ගානක් ඒත් ඉතුරුලු“



“එහෙනං හොඳා නෙ“


“ආ. ඔව් ඉතිං උට හොඳා“


“මං ඔයාට දෙයක් කියන්න ඔයා මං වෙනුවෙං ඒක අහනවද“


“කියන්නකො බලන්න“



“ඔයාට දැං රස්සාවකුත් තියෙනව. කාරෙහෙකුත් තියෙනව.“



“ඔව් තියෙනව නේන්නං“



“මං මේ ඇත්තටමයි කියන්නෙ. ඔයා මාව ඇතෑරල රස්සාවක් තියෙන කෙනෙක්ව බඳින්නකො. එතකොට ඔයාට මේ තරං නහින්නැතුව සැපට හිටියැකි. මං ඔයා ඉන්න පලාතකවත් නෑවිත් ඉන්නං“



“එතකොට ඔයා මොකද කරන්නෙ“



“මං දුරක තියෙන ආරාමෙකට යනව. එතන තියෙන වැඩක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න පුලුවන්නෙ. මෙහෙනින් වහන්සෙලට ලැබෙන දානෙං කන්න බොන්න ටික කොහොමහරි ලැබෙයිනෙ. මොකද කියන්නෙ ඔයා කැමතියි නේද? මං ටිකියවත් අරං යන්නං“



ආදරය වෙනුවෙන් පරිත්‍යාගය ඇය උපතින්ම රැගෙනවිත් සිටියාය.  





දිනය : 2016 ජනවාරි 20 වැනිදා


“ඔයාගෙ උපංදිනේ සෙනසුරාද නේද? මොනවද ඔයාට අරං ඕනෙ?“


“මට මොනවත් එපා. අතේ සල්ලි තියේනං රුපියල් පංසීයක් වියදං කෙරියැක්ද“


“ඒ මොකටද?“


“ගෙදර හාලුත් තියෙනව, පොල් ගෙනාපුවත් තියෙනව. තව මොනවහරි ජාති දෙකතුනක් ගෙනැල්ල උයල බත් පාර්සල් හදල යාචක මිනිස්සුන්ට බෙදමු. සල්ලි නැති හිංද වෙනද වගේ වතුර බෝතල් නොදුන්නට කමක්නෑ. මට තෑගි එපා. අපි ඒ මිනිස්සුංගෙ එක වේලක හරි බඩගිංදර නිමමු. ඉස්සර මායි මල්ලියිත් පොඩි කාලෙ අපි අර කඩාවැටිච්චි ගෙයි ඉඳිද්දි කොයි තරං බඩකින්නෙ හිටියද? මට තාම මතකයි ඒ ඉඩමෙ තියෙන කොස්ගස් නිවං දකින්නෝන අපේ පන රැකල දුන්නට. අනික් අයටත් ඒ වගේම බඩගිනි ඇතිනෙ.    



ස්මාට් ෆෝන්, ඉන්ටනෙට් සමග හාදවුවද ඇයට අදටත් බඩගින්න, දුක, වේදනාව හොඳට දැනේ.



ඇය දුක්වන්නේ එකම දෙයක් ගැන පමනි.



“මං හැමදාමත් සතියට සැරෙයක් පංසල් ගියහමත් දෙයියන්ටත් පිංදීල ඉල්ලන්නෙ මට දවසකට රුපියල් දෙසීයක් තරං හොයාගන්න විදිහක් හදල දෙන්න කියල. අඩුම ගානෙ මගෙ වියදං ටිකවත් ඉතුරු කරල දෙන්න පුලුවන්නෙ. ඔයාගෙ තත්වෙට හරි නැතුව මිසක් නැත්තං මං කඩේක හරි ගාමන්ටෙහෙක හරි වැඩට යනව.“



මේ අවුරුද්දටත් ඇගේ ඒ දුක මකාලන්නට මට බැරිවීම මට කනගාටුවකි. ලබන අවුරුද්දේවත් ඇයට ඇගේම කියා දෙයක් උපයා ගන්නට මගක් හොයා දෙන්ට ඕනෑය.



අද ඇගේ දවසයි. ආදරය වෙනුවෙන් පරිත්‍යාගය උපතින්ම ගෙනා, ලද දෙයින් සතුටුවීම ජීවිතය කොටගත්, මුල අමතක නැති වාසනාවන්ත ඇගේ දවසයි. 



DSC01571 (2).JPG




අද මගේ චූටි මැනිකේගේ උපන්දිනයයි.
          


 සයිබර් යායේ මගේ හිත මිතුරනි. ඔබට අයත් ‘යාංහෑල්ලේ‘ එක පිටුවක් ඇය වෙනුවෙන් වෙන්කලාට ඔබ මා සමග අමනාප නොවන බව මම දනිමි. ‘යාංහෑල්ලේ‘ ඉස්පිල්ලක් පාපිල්ලක් ගානේ අඳුරන ඇයට ඔබේ සුභපැතුම කොමෙන්ට් අතරේ හමුවනු ඇත.

 
   චූටි මැණිකේ ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා.