Follow by Email

Sunday, December 27, 2015

කොටහළු හෙවත් Grind and sift 2





නාවන නැකතත් එක්කම ලමයාට අන්දන්න ඕනැ ඇඳුමේ පාටත් කියවෙනවා. ඒ මොනපාට උනත් අදාල පාටිං තට්ටු තට්ටු බරගානක් තියෙන සිලික් ගවුමක් තමයි අංදන්නෙ. ඒක ගන්නත් ලමයව එක්කං යන්න බැරි හංදා ඒ හා සමාන දිග පලල ඇති ඇට්ටරකං නැති ලමයෙක් අරගෙන ගිහිං ගැලපෙන ඇඳුමක් තෝරං එනවා. ආදර්ශනයට ගත්ත ලමයා ඇට්ටරයෙක් උනොත් ඒ ලමයටත් වෙනමම ඇඳුමක් අරං දෙනතෙක් සාප්පුවෙං දොට්ට ගන්නවා බොරුය. සමහර වෙලාවට ගෙනා ඇඳුම කොටහලු වෙච්චි ලමයාට දිග පලල මදි වුනොත් ආයිති ගිනිහිං මාරුකරං එන්න වෙනවා. ඔය විදිහට තුං හතර වලියක් සාප්පුවට ගාටලා යංතං ගැලපෙන ඇඳුමක් තෝරාගන්න පුලුවනි.


මගුල් මඩුව හැදීම වෙනමම වැඩක්. මගුල් මඩුව හදන්න ගන්නෙ පුවක් ගස්. අක්කරයක් විතර පුවක් අරඹක හිමිකරු වෙච්චි අපේ ආතව මිනිස්සුංට ඕනැ වෙන්නෙ මේ වෙලාවට.


“පොඩිමහත්තෙය මාමෙ. පුවක් පැලහැටි දෙක තුනක් කපාගන්න අහන්න ආවෙ.“


කියල ඉස්තෝප්පුවට ගොඩවෙන එකාලගෙ හොඳ වෙලාවට ආච්චම්මයි පුංචියි ගෙදර නොහිටියොත් පුවක්ගස් දෙකතුනක් අනිවාරයෙංම හම්බෙනව. හැබැයි ඉතිං අම්මල දූල දෙන්න හිටියොත්නං කොහොමිං හරි ඒ වැඩේ වලක්වනව.


පුවක් ගස් පෙරලල කරටිය කපල දාල පුවක් කොට ටික මගුල් ගෙදෙට්ට ගෙනාවයිං පස්සෙ වැඩේ ටිකක් අහවරයි. ඊළඟට ටකරං. ගෙදර අය මරනාදාර සමිතියෙ සාමාජිකනං ඒකෙං ටකරං ගත්තැකි. නැත්තං අහලපහල වටේ පිටේ ගෙවල්වලිං ටකරං හිඟාකන්න වෙනව. කොහොමිං හරි ඒකත් හොයාගන්න ඕනැ. ඒත් එක්කම ගඟ ඉවුරෙං උණ ලී දෙකකුත් කපං එන්න ඕනැ. ගඟ ඉවුරෙ තියෙන උණ පඳුරු එක එකට ඊට යාබද ඉඩංවල අය අයිතිවාසිකං කියතත්, උන්ට කුදගහගන්න කියා බලෙං හෝ උණ ගහක් කපාගන්න පුලුවන.


මඩුව හැදිල්ල වෙනම වැඩකි. බොහෝ විට මඩුව හැදෙන්නේ ගෙයි ඉස්සරහ පැත්තේ පලේටම අල්ලලා වහලෙං එන වතුර ටික මඩුවේ ටකරං උඩට වැටෙන විදිහට තනි පලේටයි. කනු විදිහට ගන්නේ පුවක් කොටංමය. ගෙයි වහලෙ මට්ටමට ටිකක් පාතිං හිටින විදිහට එක සමාන උස පුවක් කොට දෙකක් කපාගෙන ඒ දෙක ගෙයි ඉස්සරහ පැත්තේ බිත්තියට අඩියක් තරම දුරිං බිත්තියට සමාන්තරව මඩුවෙ දිග අතට හිටෝනව. හිටවන්න ගිය තැනදි තමයි තේරෙන්නෙ පොලව යටට බහින ප්‍රමානෙ මනින්නෙ නැතුව කනුව කපල හිංද හිටෙව්වම කනුව කොට වැඩියි කියල. ඉතිං ඒ කනු දෙක පාත පැත්තට දානව කියල ආයිමත් කනු දෙකක් උසට කපල හිටෝනව. ඒ කනු දෙක හිටෝල ඉවර උනාට පස්සෙ තමයි තේරෙන්නෙ කනුවල උඩිං තියන ලීය රඳවන්න කනුවෙ උඩ පැත්තෙ මැදිං හාරල කට්ටෙයක් නැපුවෙ නෑ කියල. ඉතිං මඩුව හදන නඩේ එක එකාට දොස් කියාගන්නව. ඒ ගමන තව කෙනෙක් කනුව ගාවිං මේසෙයක් ගෙනත් තියාගෙන ඒකෙ නැගල ලොකු මන්නෙකිං කනුවෙ කට්ටෙ හාරනව. ඒ අතරෙ අනිත් අය බුලත්විට කනව. තේ බොනව. ආයිමත් මඩුවෙ මිටි පැත්තට කලිං කපාපු කනු දෙක හිටෝනව. එතෙන්දිනං මතක ඇතුවම කට්ටෙ කපනව. ඉං පස්සෙ කනු උඩිං දිග පුවක් ලී දෙකක් තියල බඳිනව. ඒ ගමන බඳින්න ලනු නෑ. ආයි සල්ලි දීල පොඩි එකෙක්ව කඩේ යවනව. ලනුටික එනකං කට්ටිය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ලනු ගෙනාවං හරස් ලී ටික බඳිනව. ඊළඟට ටකරං හෙවිල්ලනව. ආං එතෙන්දි මඩුවෙ උස පැත්තෙං පහත පැත්තට ටකරං එකකට වඩා දිග තියෙන බව අහුවෙනව. ඒ හිංද මැදිං තව කනු දෙකක් හිටෙවන්න ඕනැ. ආයිමත් හත් අට දෙනෙක් ලී කපන්න යනව. අනික් අය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ආයිමත් ලීටික ආවම මැදට කනු දෙකක් හිටෝල හරස් ලීයක් දාල ටකරං හෙවිල්ලනව. ඒ අතරෙ ටකරං මදි වෙනව. ආයිමත් කට්ටියක් ටකරං හොයන්න යනව. ඉතුරු අය තේ බොනව. බුලත්විට කනව. කියෝ කියෝ ඉන්නව. ටකරං ටික ගෙනාවම ඒ ටිකත් හෙවිල්ලනව. ටකරං හුළගෙ යනවට ටකරං පේලිවලට උඩිං උණ ලී තියල ගැටගහනව. එතකොටම බතුත් හම්බුවෙනව. බත් කාල එහෙම ආපහු බුලත්විට කනව.  ටිකක් වෙලා කියෝල ආයිමත් ඉතුරු පුවක් කොට කෑලි හයකට වගේ පලල වෑයෙං රැහැල අරං ඒ පුවක් පටි මඩුවෙ කනු අතර කනුවල උසටම අඩි දෙකෙං දෙකට වගේ හිටෝනව. එව්වගෙ සව් ශක්තියට හරස් අතටත් දිග පුවක් පටි හෝ උණ ලී පටි බඳිනව. මේ වැටේ කරද්දි මඩුවට ඇතුල් වෙන්න දොරක් ඉතුරු කරනව. ඒක ඉතුරු වෙන්නෙ මඩුවෙ පලල් පැත්තෙං. මේ මඩුවෙ ඉතුරු වැඩටික ඉවර වෙන්නෙ මගුලට කලිංදා රෑට.


මගුලට එන අයට තේ බොන්න දෙන්නෙ ගෙදර කාමරේක. ඒ කාමරේ තියෙන බඩු සේරම එලියට දානව. ඒ වගේම කාමරේට සොල්දරයක් හෝ අටුවක් තිබීම අනිවාර්ය දෙයක්. මගුලට කලිං දවසෙ සේරම කැවිලි පෙවිලි ආදිය කාඩ්බෝඩ් පෙට්ටිවල දාල ගෙනැත් අහුරන්නෙ අර කියන අටුවෙ හෝ සොල්දරේ. එතනට නිතර යන්න එන්න ඉනිමගකුත් හේත්තු කරලම තියෙනව. තේ බොන්න දෙන මේසෙ පිරෙන්න කෑම ජාති තියන හිංද ලොකු මේසයක් ඕනැ. බොහෝ වෙලාවට ඒ මේසෙත් ඉල්ලං එන්න වෙන්නෙ පිට තැනකිං. අපෙ ආච්චම්ම ගාව තිවිච්ච පෝමිකා ලැල්ලක් දාපු යකඩ මේසෙ මේ වැඩේට ඉස්තරං උනත් ඒක දුන්නෙ ඩැයිබර මාමලෑ ගෙදර ගංගානි අක්කගෙ මගුලට විතරයි. කොයියම්ම හෝ තැනකිං ගේන මේසෙට උඩිං ඉටිරෙද්දක් දාන්න  ඕනැ. මේකට වෙනම ඉටිරෙදි ජාතියක් තියෙනව. ඒවගෙ පළතුරු, එලෝලු ආදියේ පිංතූර තියෙනව. ඒ මේසෙ වටේට පුලුවං තරං කිට්ටුවෙං පුටු තියනව. මේ වැඩේට ලී පුටු මදිනං මරණාධාර සිමිතියෙං ගේන ඇලමේනියං පුටු තියන්නත් පුලුවං.


මගුලට කලිං දවසෙ කෙහෙකං දාපු වල ගොඩදාල කෙහෙල් ඇවරි ටික ගන්නව. දුං වැදිච්ච නැති සමහර ඇවරි කොල පාටටත්, දුං වැදිල වැඩි සමහර එව්ව කලු පැල්ලං හිටින, ගෙඩි හැලෙන ගාන්ටත් තියෙද්දි නියම ගානට ඉදිච්චත් තියෙනව. ඒ ඇවරිවල පස් තිවුනොත් හෝදල එව්වත් සේරම ගිහිං තේ මේස කාමරේ අටුවෙම තියනව.


සමහර කෑම ජාතිවලිං කොටසකුත් කලිං හදල තියනව. අච්චාරු එහෙම සතියකටත් කලිං හදල තියන්න පුලුවං. මස් මාලු ආදිය උයන්නෙත් මගුලට කලිං දවසෙ. කුකුලුමස් උයන්නෙ පිරිමි කෙනෙක්. එයා පෝරකවරෙං අරගන්න කුකුලු පලු ලොකු කොටේයක් උඩ තියල කෑලි කපල කොරහට දාද්දි වටේ කැරකෙන බල්ලො, පූසො ආදිය එළවන මුවාවෙං එතෙන්ට එක්කහු වෙන ලමයි රැල වරිං වර අර කොරහෙ තියෙන කෑලි වලට ඇඟිල්ලෙං ඇනල අනික් එවුන්ට මෙහෙම කියනව.


“මේ තියෙන්නෙ කුකුලගෙ බිත්තල“


“මේ තීන්නෙ කුකුළගෙ හචුං කූල්ල“


එතකොට උයන මනුස්සය උන්ට කඩා පනිනව.


“එහාට වෙලා ඉන්න නේද කිව්වෙ. මේව කන්න හදන දේවල්. විසබීජ ගෑවෙන්න හොඳ නෑ.“


ළමයි ටික අඩියක් දෙකක් පස්සට විසික් වෙනව. බිම වැටිච්චි මස් කෑල්ලක් අහුලල කොරහට දාල උයන්නා නැවතත් වැඩ පටං ගන්නව.


මාලු හට්ටියත් ඒ විදිහටම උයනව. ඒ දෙකම කුස්සියෙ කොනක තියල වහල හංගනව. පහුවදා මගුලට මිසක් ඒව ගන්න තහනං. ඒ උනත් මගුලට කලිංදා රෑට බත් කද්දි කුස්සියෙ ගැවසෙන ගෑනු අය තම තමුංගෙ ලමයින්ගෙ පංගුවලට අනිත් ගෑනුන්ට හොරෙං මස් කෑලි දෙක තුන බෙදල දීල


“මේක බප්පිඟානෙ අඩියෙ හංගගෙන කාහං“


කියනව. කල්පනාවෙං හිටියෙ නැත්තං සමහර ළමයි කටු උගුරෙ හිරකරගෙන වැඩේ අහුවෙන තැනට කාරනා සිද්ද කරනව.


කුමනාකාරයේ මගුලකට උනත් නැතුවම බැරි දෙයක් තමයි සාරි. මගුලට ඇඳගෙන යන්න නෙවෙයි. වියං බඳින්න. කෑම මේසවලට උඩිං අදින්න මගුල් මඩුවෙ වටේට අදින්න එහෙම ගන්නෙ සාරි. අපේ ආච්චම්ම ගාවත් මේ වගේ වැඩවලට ගන්න ‘සාරි කබල්‘ ටිකක් වෙනමම තියෙනව. ඒ වගේ උස්සවේකට සාරි හොයන්න එන ඕනෑම කෙනෙක්ට ආච්චම්මගෙ පැයගානක සාරි සම්බන්ධ දේසනාව අවසානයේදී සාරිවලට ඇන නොගහන පොරොංදුව පිට සාරි දහයක් දොලහක් අරං යන්න පුලුවං. සාරියෙ මුල්ලට ගල් කැටයක් තියල ඒ ගල්කැටෙත් එක්ක අහුවෙන්න සාරි කොන වටේට ලනුවකිං ගැටයක් දාල වහලෙ ලීයකට තදින් ඇද බැඳීම සාරි ගැටගැසීමේ සම්මත ක්‍රමය උනත් ඒ විදිහෙං සාරි බඩවැල් වගේ එල්ලා හැලෙන හිංදත්, ලනුකොං පෙනීම කැත හිංදත් ලීයකට තබා ඇනගැසීමේ ක්‍රමය යොදා ගන්නව. ඒ හිංදා අපේ ආච්චම්ම වැඩිහරියක්ම ඔය මගුල් ගෙවල්වලට යන්නේ තමුංගෙ සාරි ටික ‘හිල් කොරල‘දැයි බලන්නමයි. මගුල් මඩුවෙත් කෑම මේසවලට උඩිනුත් සාරිවලිං වියන් බැඳීමෙං වහලෙ තියෙන කුනු රොඩු වැටීමේ අවදානම නැතිවෙනව.


මගුල් මඩුව සරසන වැඩේට ඉස්තරම් මනුස්සයා කලු මහතුං මාමා. එයා ගාව ඒවට වෙනම නියං සැට්ටෙකක් හිට තියෙනව. වෙසක් කොල හෝ ඉටිකොල වලිං කැටයං කපල මගුල් මඩුව සරසන වැඩේට අනාරාධනයෙන්ම එයා එනව. ගෙපලෙ අජිත්, ජගත්සිරි ඇතුළු ගමේ සමිතිවල තානාංතර හොබවන, ආණ්ඩුවෙ නිලදාරිං සහ ගමේ මිනිස්සු අතර පුරුක විදිහට ක්‍රියාකරන පිරිස ඇවිත් මහතුං මාමාව කුලප්පු කරවා මිනිහාගෙ ඉනේ තියෙන මල්පිහිය එලියට ඇද්දෙව්වෙ නැතොත් ඒ වැඩේ ලස්සනට කෙරෙනවා.


මඩුවට හිටෝපු කනු සේරම නොපෙනෙන්න ඒව වටේට සුදු හෝ වෙනයම් පාටක ඉටිකොල ඔතන්න ඕනැ. ඒ වැඩේට කීප දෙනෙක් පුහුණු කරල යොදවන මහතුං මාම එක සමාන කොටු විදිහට කපාපු ඉටි කොල හෝ සව්කොල එක උඩ එක දහයක් දොලහක් තියල චිංටස් ඇන වලිං ලැල්ලකට අමුනනව. ඉං පස්සේ උඩම කොලේ ඇඳගන්න රටාව බේඩ් තලෙං හෝ නියං තලෙං මතුකරනව. මහතුං මාමා කපල දෙන හැඩතල මගුල් මඩුවේ ඉහල සිට මැදක් වෙනකං කොටසේ වටේට අලවන්නත් වෙනම පිරිසක් ඉන්නව. ඉටි කොළ අලවන්න බැරි හිංදා චිංටස් ඇන වලිං පුවක් පටිවලට තියල ඇන ගහනව. ඒ අතරෙ පොලව මට්ටමේ ඉඳං මැදක් වෙනකං උස ප්‍රමානෙ ආවරණය වෙන්න එක පාටකිං ඉටිකොල අදිනව. මඩුවෙ ඉහලිං සාරිවලිං වියන් බැන්දට පස්සෙ බැලුං බෝල හය හතක් පුම්බල එක පොකුරක් වෙන්න හදල මඩුව මැදිං එල්ලනව. ඒ බැලුබෝල පොකුරෙ ඉඳං පිටට වෙසක් කොල වගේ ජාතියකිං හදපු පාට පාට පටි වගයක් දඟර වැටෙන්න අඹරල ඇදල තියනව. හුලං වදිනකොට ඒ පටි දෙපැත්තට ඇඹරෙනව. මේ බැලුං හා පටි සැරසිල්ල සාලෙත් තේ දෙන තැනත් හදල එල්ලනව.


 
ලැයිට්ටෙකක්

අපේ ගමට ලැයිට් නැති කාලෙ විසේස අවස්ථා වලට ගෙනාවෙ මරනාදාර සමිතියෙ ලැයිට් ඇංජිම. සමිතියෙ යාවජීව සාමාජිකයෙක් වීමත්, රැයකට ලාම්පුතෙල් ගැලුං හය හතක් වියදං කරන්න පුලුවං වීමත්, ඒකෙ වැඩකරන්න එන එකාට ගානක් අත මිටමොලවන්න හැකි වීමත් යන කාරනා සම්පූර්ණ කරන්න බැරිනං ඒක හීනයක්. ඒ හිංදා හොඳම වැඩේ ගමේ ගෙවල් කීපෙක තියෙන ‘ලැයිට්‘ එකතු කර ගැනීම. කුප්පි හෝ චිමිනි ලාම්පුවත් බැට්ටියෙං පත්තු කරන ටියුබ් ලැයිට්ටෙකත් පරද්දන එලියකින් යුතු දෙයක් වගේම බොහෝ ගෙවල්වලිං ඉල්ලගන්න අමාරු දෙයක් උනත් නාලවත්තෙ ජයකොඩි ඇරෙන්න කිසියාම්ම කිසි දෙනෙකුට අල්ලන්නවත් නොදෙන බවටත්, ඒව මේවගෙං ඇනල මැකෑනිස් වැඩේ නොකරන බවටත්, ලැයිට් එකේ පිඟාන හෙඩ්ඩෙක හරි පොම්පෙ හරි මාරු නොකරන බවටත් දහ අතේ පොරොන්දු වෙලා ලැයිට් කීපයක් එකතු කරගන්න පුලුවං. එහෙම ගේන ලැයිට් පත්තු කරන්න නාවලවත්තෙ ජයකොඩි ගෙන්නගෙන එන්නත් ඕනැ. එක ලැයිට් එකකට ලාම්පු තෙල් බෝතල් දෙක ගානෙවත් ගෙනත් තියාගන්නත් ඕනැ. මගුලට කලිං දවසෙ හවසට ලැයිට් ටික එක්කහු කරල ගෙනැහ්ල දුන්නම ජයකොඩි මාමා ඒව සේරම පරික්සා කරල බලනව. ඉං පස්සෙ ගෙදර අයිති කෙනා ගෙන්නල තමුන්ට ඕන බඩු කියනව.


“මේං මේකෙ නිපල්ලෙක කැල්ල. අලුතිං නිපල්ලෙකක් දාන්න ඕනි. මේ තුනේම මැංටල් කැඩිල. මැන්ටල් දෙක තුනකුත් ගේනව. හැබැයි ගොයියෝ ලාම්පු තෙල්නං ගැලුං දෙකක්කත් ඕනැ.“


ඒ බඩුටික ගෙනැත් දෙනකං ජයකොඩි මාමා ලැයිට්වල හෙඩ්ඩෙක ගලෝලා වීදුරුව අරං පිහදානව. ඒක ඇතුලෙ මැරිල ඉන්න ඉපියො, මැස්සො, මෙරු ආදීං අරං දානව. කැඩිච්ච මැන්ටල් කෑලි ‘වහ‘ හිංද ඒවත් එකතු කරල කඩදහියකට දාල අතිංවත් අල්ලන් නැතුව එපිටහකට ගිනිහිං හලනව. හුලං ගහන පොම්ප ගලෝල බලනව. ටැංකියට පිඹිනව. පොඩි ලමයිනුත් ඒ වටේට ඉඳං ඔලුගෙඩි එකට වැදිවැදි බලං ඉන්නව. ජයකොඩි මාමා විටිං විටේ ළමයිංව එලෝනව.


“මේ ලමයි එහාට වෙනවකො. මට වැඩක් කොරගන්න දීල. මේ ඇන එහෙම නැතිඋනොත් මට හොයන්නත් බෑ. කරුවලේ ඇහැකන පේන්නෙත් නෑ“


තමුං ඉල්ලපු බඩු ටික ලැබුනට පස්සෙ නිපල් අලුත් ඒව දාල, පිරිමිංගෙ *** වගේ තියෙන පරණ මැංටල් ගලෝල, තේ මඩි වගේ දිග ලාම්පුතෙල් පොඟවපු මැන්ටල් හයිකරල එකිං එක පත්තු කරන්න ගන්නව. ටැංකියට ලාම්පුතෙල් දාල ටැංකියෙම තියෙන පොම්පෙං ‘ජොහු ජොහු ජොහු ජොහු‘ කියල හුලං ගහනව. එතකොට ටැංකියෙ අනිත් කොනේ තියෙන මීටරේ කට්ට එකේ ඉලක්කම ගාවට එනව. ආං එතකොට බලං හිටපු ලමයි සේරම කෑ ගහනව.


“ආං එකට ආවෝ“


“බෙරිහං දෙන්නෙපා මගෙ කං බීරිවෙලා නෑ“


ඊළඟට රතුපාට රවුම කරකෝල තෙල් අරිනව. ඒ එන තෙල්පාරට හෙඩ්ඩෙකේ කට ගාවදි ගිනි තියනව. එතකොට ඒ ගිංදර සහිත ලාම්පුතෙල් ගිහිං මැන්ටලේ පත්තු කරනව. මැන්ටලේ ගිනි අරං මහා ගින්දර ජාලාවක් එනව. වටේ ඉන්න ලමයි බයේ දුරට යනව. ටික වෙලාවකිං තේ මඩිය වගේ තිවිච්ච මැන්ටලේ පත්තුවෙලා පුංචි වෙලා පිරිමිංගෙ *** වගේ වෙනව. ඒ එක්කම රතුපාට ගින්දර නැතිවෙලා සුදුපාට සැර එලියක් එනව. ජයකොඩි මාමා ආයිමත් ‘ජොහු ජොහු ජොහු ජොහු‘ කියන සද්දෙට හුලං ගහලා කටුව රතුපාට ඉර ගාවටම ගන්නව. ඉං පස්සෙ බොහොම ආඩම්බරෙං ලැයිට්ටෙක දිහා බලං ඉන්නව. ඒකෙ එලියට ඉර පෑව්ව වගේ. වටේ හිටිය ලමයි හරිම සන්තෝසෙං කලිං කලුවරට තිවිච්ච තැංවලටත් යනව. දැං ඒ තැංවල හොල්මං හිටින්න විදිහක් නැත. ගෙදර ගෘහ මූලිකය ඇවිත්


“හරිද ජෑකොඩි මල්ලියෙ වැඩේ“


කියල අහනව


“යංතං ගොඩගත්තා. මේක කාලෙකිං පත්තු කොල්ල නෑ. වීයැට හිට තිවුන ඇතුලෙ. මං හිතන්නෙ ගොයං පෑගිල්ලකට ගිනිහිං ගෙනා ගමං එහෙමම තිවිලද කොහෙද. මං හිංදම ගොඩදා ගත්ත“


එහෙනං අනේ මල්ලියෙ අර මඩුවෙ ටීපෝ එක උඩිංවත් තියහං ඕක. මහතුංට කැටයං කපන්න පේන්නැහ්ලු“


ටික වෙලාවකිං අනික් ලැයිටුත් එකිං එක පත්තු වෙනවා. කුස්සියෙ වහලෙ, සාලෙ කැබිනට්ටෙක උඩ ආදී තැංවල ලැගුම් ගන්න ඒවයිං ගෙදර අහුමුලුවල තියෙන කුණු රොඩු, මකුලු දැල් ආදිය පෙන්නල දෙනව. පොම්ප වැඩ කරන්නෙ ලැයිට් දෙහෙක විතරක් හිංද ඒ වැඩ කරන පොම්ප ගලෝල ඇරං එළිය අඩුවෙන සැරෙයක් ගානෙ අනික් ලැයිට් වලට හුලං ගහන්න ඕනැ. ඒ හිංදා ජයකොඩි මාමා මගුල ඉවර වෙනකං හැමදාම හැන්දෑවෙ ඉඳං එලිවෙනකං මගුල් ගෙදර.

Friday, December 18, 2015

කොටහළු හෙවත් Grind and sift




කොටහලු යන වචනය කොහොම හැදුනාද යන්න මං දන්නේ නැතිවුනත් හැම කොටහලුවකදීම පනයනකං පිටි කෙටීමත් හැලීමත් සිද්දවෙන හිංදා ඒක කොටන හලන උත්සවේ හෙවත් කොටහලු උත්සවේ වුනා වෙන්ටැති. මේකට සරල සිංහලෙං කියන්නේ ‘ජම්බු ගහෙං වැටීම‘ බව පරණ සංහල සාහිත්‍ය පොත්වල තියෙනවා.


“චංදරේලගෙ කෙල්ල ලොකු වෙලාලු“


ආදී වසයෙං අපේ ගංවල කොටහලුවට ‘ලොකු වීම‘ කියතත් දැං දැං බාගෙට ඉංගිරිසි පවුල්වල කියන්නෙ ‘බිග් ගල්‘ කෙනෙක් වෙනවා කියලයි. මෙතන ‘ග ල්‘ දෙක අතරට (ර්) එන්න ඕනෑදැයි දන්නේ නැත. ඒ කියන හැටියට අදාල ලමයා හිටි හැටියේ අලි සයිස් වෙන බවයි අදහස් වෙන්නෙ. සමහරු ඕකට ‘ඇස්ටෝං ගෙදර‘ කියලත් කියනව. ඉහලම පංතියෙ අයනං කියන්නෙ ‘ඇටෙන්‘ වෙනවා කියලයි. කොයික වෙතත් මම කියන්න යන්නේ කොටහලු උස්සව ගැනයි.


ඉස්සර අපේ ගමේ ගෑල්ලමයි බොහෝවිට කොටහලු වෙන්නේ ඉස්කෝලෙදියි. හිටපු ගමං එක ගෑල්ලමෙක් ගිහිං පංතිය බාර මිස්ගේ කනට රහසක් කීමත් ඒත් එක්කම ඒකිගෙ ලඟ හිටපු තවත් එකියක්ව මිස්ගෙ සාරි පොටිං හරි වහගෙන සැකකාරයං උසාවි ගිනියනව වගේ ගුරුකාමරේට ගෙනියාමත්, තවත් ටික වෙලාවකිං ඒ ලමයගෙ ගෙදර අය ‘ටීවිල්ලෙහෙකිං‘ ඇවිල්ලා තමුංගෙ ලමයව ඇරං යාමත් එක්ක ‘ඒකි ජම්බු ගහෙං වැටිලා‘ බව අපේ ගජයෙක් අපිට විස්තර කරල දෙනව.


ඔය විදිහට කොහොමිං හරි කොටහලු වෙච්චි ලමය ආයි පිරිමි පුලුටක් තරම නොපෙනෙන්න කාමරේක තියන්න ඕනැ. නැත්තං ඒ ළමයා මතු යම් දවසක හොරෙං පැනලා යනවලු. ඊළඟට ළමයගෙ අම්ම යනව නැකතක් බලවන්න. ළමය ‘ලොකුවෙච්චි‘ නැකත අනුව මේ ළමයගෙ තාත්තට, අම්මට, සහෝදර සහෝදරියන්ට බලපාන ආකාරය, ඉගෙනීම, කසාදෙ ආදී මහගොඩක් විස්තර කියවෙනව. ළමය කී දවසක් ගෙයි මුල්ලෙ ඉන්නවද කියල තීරණය වෙන්නෙත් මේ නැකැත් බැලිල්ලෙදියි. අපේ ගෙවල්ගාව නාවලවත්තෙ වස්සලා කොටහලු වෙලා මාසෙකට වැඩිය ගෙයි මුල්ලෙ හිටියා. ඒ කාලෙ ඇතුලත මසක් මාලුවක් තෙල් කෑමක් නැතුව එලෝලුයි බතුයි කන්න වෙනවා. උණු බත්මුලක් කෙහෙල් කොලේක බැඳලා ඒකෙං කොටහලු වෙච්චි ලමයාගේ ඇඟ තවලා, ඉං පස්සේ ඒ බත් මුල උටම කැවීමේ චාරිත්තරේකුත් තියෙනවාලු.


ළමයගෙ අම්ම නැකැත් බලල රෙදි නැන්දට පනිවිඩේ කියල, කෑම හදන අයට ආරාධනා කරල ඒ වැඩටික කරද්දි  ළමයගෙ තාත්තටත් වැඩ ගොඩයි. ගෙයි හුනු ගාන්න. ගේ කපරාදු කරල නැත්තං සාලෙවත් කපරාදුව ගහගන්න. ජනෙල් පියං නැත්තං ඉටිරෙදි ටිකක්වත් ගහගන්න. සිවිලිමක් නැත්තං අඟල් හතරට පලාපු පාට දෙහෙක ඉටිකොල වලිං පැදුර වගේ ඉටිකොල සිවිලිමක් ගස්සෝගන්න. ගෙදෙට්ට එන පාරෙ ගල් ගැලවෙච්ච, වලවල් හෑරිච්ච තැං හදල පාර දෙපැත්ත එළිකරන්න, කෙහෙල්කං හොයන්න, දර හොයන්න ඒ එක්කොටම වඩා සල්ලි හොයන්න මහන්සි වෙන්න වෙනව. අපේ ගමේ මිනිහෙක්ගෙං ණයක් ගැනිල්ල අමාරු උනත්  කොටහලු මගුලකදි එන අයගෙං සල්ලි එකතුවෙන බව දන්න හිංදා


“උඹල ඉල්ලපු හිංද නොදිබ්බෑ. මේ ඔය ගෙයි ඉස්සරහ කෑල්ල කපරාදු ගහන්න තිවිච්චි සල්ලි. මගුල ඉවරවෙච්චි ගමං මට දියං. මේ වැඩේ හිංද මිසක්ක නැත්තං මට පස්සෙ ගත්තත් ඇති“


ආදී වසයෙං ණය ලබන්නාගේ හිතට අල්ලලා පොරොංදු පත්තරයක් ගහලා සල්ලි ටික දෙනවා.


සාමාන්‍යෙයං අපේ ගමේ කොටහලු මගුල් කාටවත් කියන්නෙ නෑ. ආරංචිය දැනගෙන එනව. තමුංගෙ ගෙදර කොටහලු වෙන්න කෙල්ලෙක් දෙන්නෙක් ඉන්න අය ඉදිරි අනාගතයේ දී “අපේ ගෙදර කොටහලුවටත් මේ අයව ගෙන්නා ගැනීමේ“ අරමුණිනුත්,  තමුංගෙ ගෙදර කලිං කොටහලුවක් තිවිච්චි අය, “මේ ගෙදර අය අපේ කොටහලුවටත් ආව හිංදා අපිත් යනවා“ යන අදහසිනුත් කොටහලු ගෙදර යනවා.  හැබැයි නෑදෑයංට වෙනම කියන්න ඕනැ. දුර ඉන්න නෑයංට ‘ටැලිකරං‘  ගහන්න ඕනැ,

ළමයා ලොකුඋනා. නාවන්නේ 25.

කියලා. නැත්තං තරහ වෙනව.


“ඕකුං කෙල්ලගෙ කොටහලුවවත් අපිට කිව්වෙ නෑ“


කියල තරහ වෙනවනං ඒ ඉතිං නෑදෑයෙක්ම තමා. මගුලට දවස් තුන හතරකට කලිං ඉඳං විසාල බෑග් වල රෙදි දාගෙන උරිස්සෙ එල්ලං, පොඩි ළමයි කිහිල්ලෙ ගහගෙන, ලොකු ළමයි අතිං ඇදගෙන බස්සෙකෙං බැහැල එන නෑදෑයොත් කොටහලු ගෙදරම ලැගුම් ගන්නව.

කොටහලු මගුලක් කියල දැනගත්ත ගමං අහලපහල ගෙවල්වල ගෑනු පිරිමි සේරම මගුලට සති දෙකක තුනක වෙලේ ඉඳං ඒ ගෙදර පැලපදියං වෙනව. ඒ ගෙවල්වල ළමයිනුත් ඉස්කෝලෙ ඇරිල ඇවිත් මගුල තියෙන ගෙදරටම යනව. කොටහලු වෙච්ච ලමයගෙ තනියට ඉන්නෙ ඒ වගේ ලමයි තමයි. ඒ ගොල්ලං කොටහලු වෙච්චි ළමය ඉන්න කාමරේට වෙලා අතුරු මිතුරු, පංචි දැමිල්ල, හොරා පොලිස් ආදී සෙල්ලං කරනව. ඒ අතරෙ පිරිමි අය කොටසක් කෙහෙල්කං හොයනව. දරට සබර ගස් කපනව. තව කොටසක් දර පලනව. සමහරු කෙහෙල්කං දාන්න වලවල් කපනව. ගෙයි අඩුපාඩුකං හදනව. මගුල් මඩු හදනව.


මේ කොයි කාටත් තුංවේල කන්න, කහට ටික, බුලත්විට ආදිය දෙන්න ඕනැ. කොහොමත් එක වේලකට තිහක් විතර ඉන්න හිංද ඉවුං පිහුං වෙනුවෙංම දෙතුං දෙනෙක් ඉන්නවා. මේ හිංදම මගුල් දවසටත් කලිංම ගෙදර ගෘහ මූලිකයා කඩවල්වලට ණය වෙන්න පටං ගන්නව. රෑට නිදාගන්නත් පැදුරු, මාගල් ආදිය එක්කහු කරල සාලෙ බිම එලල දෙනව. එක පවුලෙ අය හිංදා සාලෙ එක පෝලිමට නිදාගන්න එක ගැටලුවක් නෑ.



කැවිලි හදන එක ගෑනු අයට බාර වැඩක්. ඒකෙත් එක එක කැවිල්ලට විශේෂ අය ඉන්නව. අපෙ ආච්චම්ම කියන හැටියට උංදැ තමා කැඋං හැදිල්ලට අපේ ගමේ ඉන්න ‘කප් ගහපු‘ කෙනා. ඒ බව කියන්න උදාන වාක්‍යක් ආච්චම්ම පාවිච්චි කරනව.


“හුහ්. මං පස්දුං කෝල්ලෙ හිටල මෙහෙ නොඑන්න මේ ගමේ කැඋමක් හදාගන්න ගෑනියෙක් නෑ.“


ඒ ඒ කෑමට විශේෂිත අය තම තමං එව්ව හදා දෙන බවට පොරොන්දු වෙනව. ඒත් ඉතිං ඒවට අවශ්‍ය සීනි, පිටි, තෙල් ආදිය සපයන්න ඕනැ. හැබැයි කොටහලු ගෙදරත් එක කෑමක්වත් හදන්න ඕනැ. තෙල් තාච්චිය ලිප තියන්න හොඳ දවස් තියෙනව. සතියෙ ඒ වගෙ හොඳ දවසක් බලල රාහුකාලෙ පන්නල තෙල් තාච්චිය ලිප තියන්නෙ. සමහරුංගේ ඇස්වහ කටවහ තියෙන හිංද ඒ වගෙ අය බලං උන්නොත් කැවුං හයිය වෙන්නත්, අලුව ගල්වෙන්නත් පුලුවං. එහෙම වෙච්චි අවස්ථා මගෙ ජීවිතේදි මගෙ දෑහිංම දැකලත් තියෙනව.


ඒ දවස්වල පිටි කෙටුවෙ වංගෙඩියෙ. වංගෙඩි ජාති කීපයක් තියෙනව. එකක් හදන්නෙ ලී වලිං. අනික ගල්වලිං. අපෙ ආච්චම්ම ගාවත් තියෙනව ඒ වගෙ ගල්වංගෙඩියක්. ඒක තැනකිං තවත් තැනකට ගෙනියන්න හතර දෙනෙක් හිටියත් මදි. පිටි කෙටීමට ගන්න මෝල් ගහ හදන්නෙ කිතුල් ලීයෙං. පොල් ලීයෙනුත් හදනවද මංද. පිටි කෙටීමත් ක්‍රම දෙකයි. තනි මෝලෙං කෙටීම. දෙමෝලෙං කෙටීම. තනියෙං කොටනවනං තනි මෝලෙං කෙටීම. දෙන්නෙක් මාරුවෙං මාරුවට මෝල්ගස් දෙහෙකිං කොටනවනං ඒක දෙමෝලෙං කෙටීම. එක්කෙනෙක් මොල්ගහ පාත් කරද්දි අනික් කෙනා මෝල්ගහ උඩට ගන්නව. දැංනං ගමේ වීමෝලෙංම පිටි කොටන්න පුලුවනි. එතකොට නං හොඳටෝම දිය බේරල ගෙනියන්න ඕනෙ. නැත්තං මෝලෙ එකා බනිනව.


පිටි හලන්නෙ පෙනේරෙං. ඒකනං ඉතිං තාමත් තියෙනවනෙ. ඒ උනාට පෙනේරෙ ගැට්ටට උඩිං කැට විසි නොවෙන්න පිටි හලන එක වෙනමම පුරුද්දෙං කරන්න ඕනැ දෙයක්.


මෙතැනිං කැඋං හැදීම ගත්තත් එතනත් තුං දෙනෙක්වත් ඉන්නව. එක්කෙනෙක් කැඋං උයනව. තව එක්කෙනෙක් ලිපට දර දැමීම, ලිපට පිඹීම ආදී ආවතේව, තව එක්කෙනෙක් එතන ඉඳං කයිවාරු කියෝනව. කැඋං බාන ඇතිලිය පිරෙනකොට ඒක ලොකු මුට්ටියට හිස් කරනව. කැඋං උයන අයට පැය බාගෙං බාගෙ කහට වක්කොල්ල දෙනව. අනික් කැවිලි පෙවිලි හැදීමටත් ඒ වගේම කට්ටිය.


අපේ ගමේ තියෙන්නෙ කාමර දෙකයි කුස්සියයි වගේ තියෙන පොඩි ගෙවල් හිංද මඩුවක් ඕනැමයි. මඩුවක් කිව්වට දෙකක් ඕනැ. එකක් හදන්නෙ කුස්සිය පැත්තෙ. මගුලක් වගේ සෑහෙන සෙනග එන උස්සවේකට උයන්න ගෙවල්වල හුණ්ඩු කුස්සි මදි හිංද වෙනම මඩුවක් ඕනි. කුස්සිය පැත්තෙං පිලිකන්නට වෙන්න ගෙයි බිත්තියටම අල්ලල හදන ඒ මඩුවට ටකරං හෙවිල්ලල වටේටත් බිම දිගේ හරස් අතට ටකරං හේත්තු කරල ආවරනය කරනව. ඒ බල්ලො පනිනවට. මේ මඩුව ඇතුලෙ තමයි මගුල් දවසට එන සෙනගට බත්, හොදි හදන්නෙ.


මේ වගේ උස්සව වලට කෙහෙල්කං තියෙන්නම ඕනෑ. ගමවටේ ඇවිදල උත්සවේ දාටම ඉදෝගන්න පුලුවං ගානට පැහිච්චි කෙහෙල්කැංවල අයිතිකාරයින්ට වෙනමම කියලා එව්වා වෙංකරගන්න ඕනැ. එව්වා කපාගෙන එන්නෙ උස්සවේට දවස් හය හතකට විතර උඩදියි. බොහෝ තැංවලිං නොමිලෙම කෙහෙල්කැං ලැබෙතත්


“එහෙම හරිනෑනෙ කීයක් හරි ගනිං“


කියා බොරුවට සාක්කුවෙං සල්ලි ඇදලා දෙන්න වගේ හැදීමත්.


“නෑ. නෑ ඕනැ නෑ. පිස්සුද? උඹලෑං සල්ලි ගත්තැහැක්ද? අපිට උඹලැං කොච්චර උදව් තියේද?“


කියා සල්ලි ප්‍රතික්ෂේප කර පස්සෙ වෙලාවක මේවටත් හරියන්න බොගෙං අල්ලන්නං යයි සිතීමත් චාරිත්‍රයක්.


ඔය විදිහට කෙහෙල්කැං හයක් හතක් හොයාගත යුතුයි. මෙයිං එක කැනක් ආනමාලු හෝ ඇම්බුං ආදී දිග විසාල කෙහෙල් වර්ගයක එකක් වෙන්න ඕනැ. සමහර කෙහෙල් කැං නිකං තිවුනත් මගුල දාට ඉදෙතත් සමහර ඒවා වලේ දමා ඉදවන්න ඕනෑය. ඒකට කෙහෙල් කැං ගාන අනුව සුදුසු දිග පලලිං යුතු වලක් කපන්න ඕනෑ. ඉං පස්සෙ කෙහෙල් පරඬැල්, පොල් අතු ආදිය ඒ වලට දමා ‘වල පුච්චන්න‘ ඕනැ. එහෙම පුච්චපු වලේ අඩියට කැප්පෙට්ටිය අතු දාල එයිට උඩිං කෙහෙල් කැංපිටිං හෝ ඇවරි විදිහට අහුරන්න ඕනැ. ආයි ඒ සේරම වැහෙන්න කැප්පෙට්ටිය අතු දාලා වල ආවරණය වෙන්න ලැලි අහුරලා ඊට උඩිං පස් දානව. හැබැයි ඒ අතරිං හීං සිදුරක් ඉතුරුකරල එතැන්ට කට පිටට හිටින්න හිල් පොල්කට්ටක් තියනව. ආං එතනිං තමයි උදේ හවස වලට දුං පොවන්නෙ. ඒ පොල්කට්ට ඇතුලට පොල්මුඩු ටිකක් දාල ගිනි අඟුරක් දාල කුල්ලක් හෝ කොලපතක් ඇරං පවං ගහනව. එතකොට එන දුංටික සේරම අර පොල්කට්ටෙ හිලෙං වලට යනව. දුං පොවල ඉවරවෙලා අර පොල්කට්ට තව හිල්නැති පොල්කට්ටකිං වහනව. නැත්තං දුං පිටවෙනව. මෙයිට අමතරව ඇවරිකපල දුමෙං තැබීම, ආරෙ හාරල මිරිස් කරල් දාල පිච්චීම, රත් වෙච්චි යකඩෙකිං ආරෙ හිල්කිරීම, ගෝනියකිං වහල හඳුංකූරු පත්තු කිරීම, කැප්පෙට්ටිය අතුවලිං වහල පෝරකවරෙක දාලා තැබීම ආදී කෙහෙල් ඉදවීමේ ක්‍රම රැසක් තියෙනව.


කේටරිං සේවා නොතිබිච්චි හිංද මගුලකට ඕනැ පිඟං කෝප්ප ආදියත් හොයාගන්න ඕනැ ගමෙංම තමයි. ඒ දවස්වල අපේ ගමේ ගෙවල්වල ටීවියෙකක්, රේඩිවේකක් ඇරුනහම තිවිච්චි වටිනාම දේ තමයි පිඟං, පීරිසි කුට්ටං, පළඟාං ආදී භාජන. සාලෙ කැබිනට්ටෙහෙක අහුරල හැමෝටම පේන්න පිඟං, වීදුරුබඩු තියන්න ඕනැ. ඒ කාලෙ ගෙදරකට හොරෙක් පැන්නත් උස්සන්නෙ අල්මාරියෙ තියෙන සල්ලියි, රේඩිවේක නැත්තං ටීවියෙකයි, වීදුරු පිඟං බඩුයි. කොහොමත් ඒ දවස්වල වීදුරු, පිඟං බඩු කියන්නෙ ගෙදර කාන්තාවගේ බූදලයක්.


ඉතිං වීදුරු පිඟං බඩු ඉල්ලා ගැනීම ටිකක් අමාරු වැඩක්. දන්න හැටියෙ කනිපිංදං කියල තමයි ඉල්ලගන්න ඕනැ. සමහර වෙලාවට ඉස්කෝතු පෙට්ටියකුත් අරං යන්න වෙනව මේ වැඩේට.

“මේ මෝස්තරේ පිඟං දැං කොහෙවත් නෑ. මෙව්ව එකක් හැත්තැ පහක් වෙනව“

“මේ පලංගම හම්බඋනේ අපෙ කොල්ලට. ඌ ගියාවුරුද්දෙ කැටගහල දිනුවං හම්බුවෙච්චෙක“

“මේං මේ සත්තරං පාට ඉර ගහපු පිඟංටිකනං දෙන්න හැටියක් නෑ. මෙව්ව මේ පෙරහැර පොලෙං ගෙනාවෙ. මේව රට පිඟං ජාතියක්. රත්තපුරේවත් නෑ මේවනං“

ආදී වසයෙං කියන පූචානං සේරමත් අහල

“මං මෙව්ව පරිස්සං කොල්ල ගෙනත් දෙන්නං“

“ආයි කවුරුවක් මොටදැ මංම ගෙනැත් දෙන්නංකො“

“ඕං මෙතන එක්කොම ජාති පහකිං හය ගානෙ පිඟං තිහක් තියෙනව නැංදම්මෙ“

“නෑ. නෑ පද්දො, රදවු එහෙම එකෙට්ටවත් මේව දෙන්නෑ, කොහොමටත් ගොයිගම ඈයිංට ඇරෙන්න අනික් උංට දෙන්න පරණ පිඟං වෙනම තියෙනව.“


ආදී පොරොන්දු ගානකුත් දීල තමයි ඔය පිඟං වීදුරු බඩු ඉල්ලං එන්නෙ. සමහර වෙලාවට ගෙවල් කීපෙකිං එකම මෝස්තරේ පිඟං බඩු ගෙනාවහං මාරුවෙන හිංද ලැකර් ටිං එකක් අරං ඒවයෙ යටි පැත්තෙ අයිතිකාරයගෙ නමේ අකුරු ලියනව.

අපේ ආච්චම්මගෙ පිඟං බඩුවල ලියන්නෙ මාමගෙ නමේ මුල් අකුර වන  ‘උ‘යන්න. කරුණාරත්නල කීප දෙනෙක් ඉන්න හිංද වංගුවෙ කරුනාරත්නගෙ පිඟං බඩුවල ‘වක‘ කියලත් මඩුගෙයි කරුනාරත්නගෙ පිඟං බඩුවල ‘මක‘ කියලත් ලියනව. හොඳ වෙලාවට පහලගෙදර කලුවගෙ ගෙදර උංටවත් කන්න බොන්න හරිහමං පිඟානක්, කෝප්පයක් තරම නැත. ඩබ්ලිව්. මේරිනෝනා උපාසිකා මාතාවට පිං පිනිස දරුවං විසිං පරිත්‍යාග කරන ලදී  ආදී වසයෙං කියල ඇතුල් පැත්තෙ ලියාපු තසිං ආදිය පංසලේ ඕනැහැටියට තියෙන්නේ දානවලට ගන්නට උනත් සමහර වෙලාවට පංසලේ හාමුදුරුවංගෙං ඒවා උනත් ඉල්ලා ගන්නට පුලුවනි. පිඟාන පිරෙන්න කැවිලි දැමූවිට අකුරු පේන්නේ නැත. අර විදිහට අකුරු ගහන්නේ හාමුදුරුවෝ වළඳා අහවර වී භාජනේ අඩිය පෑදුනු විට අඩිය දිහා බලාගෙන පිංදීම පිණිස විය හැකිය. මේ සේරම පිඟං බඩු ගෙනැත් හයිය තියෙන මේසයක් යට හෝ ඇඳක් යට තැබිය යුතුය. නැත්තං කොයිකෙක් හෝ පයිං ඇනගෙන යාමෙන් හෝ මොකක් හරි ඒවා උඩට ඇදං වැටීමෙන් විනාස වෙන්නට පුලුවන.