Follow by Email

Monday, November 30, 2015

ගංවතුර හෙවත් The Village Water 3







ආත අත දික්කලේ මේසෙ උඩ තිවිච්ච පාර්සල් ගොඩට. බත් පාර්සල් විස්සකට එහා එතන. තමුංගෙ පිඟාන මේසෙ උඩිං තියල ආත එක බත්මුලක් ලිහල බැලුව.


“මේකෙ කරෝල කෑල්ලක්කහ් නෑ. වට්ටක්කයි, පරිප්පුයි කන්න බැහ්“


ආත ඒක පැත්තකිං ගුලි කරල දාල වෙනිං එකක් දිගෑරිය.


“ඒකෙනං මොනවද තියෙනව. බලහං මේ මොනොවද කියල. ඊයෙත් මං කුකුලුමස් කියල කන්න බැලිංනං ගැටපොලොස්. මේකත් ගැටපොලොස්ද දන්නෑ.“


මේ විදිහට ආත බත්මුල් විසි කරන එකට මට යකා වැහුන. මිනිස්සුන්ට කන්න නැතුව ඉඳිද්දි මෙයා මගුල් නටනව.


“ආතෙ. ඔය සේරම ලිහන්නෙපා. අනිත් ඈයත් කන්නපොයැ.“


ආත බත් මුල් ලිහිල්ල නවත්තල මගෙ මූන දිහා බැලුව.


“අනික් එවුං කියන්නෙ තව මොකා කන්නද? මේ මට හම්බෙච්ච බත් පාර්සල් ටික.“


මගෙ කට ආතගෙ මේස ලාච්චුව වගේ ඇරුන.


“මං මේ උඹ එන්න පැයකට හමාරකට කලිං ඇහැරිල ඉස්තෝප්පුවෙ ඉඳං හිටිය ටිකට මට පාරෙ යන ආදහර කංඩායං ගෙනත් දීපු ටික මේ. ඕං ඔය එව්වයෙං මසක් මාලුවක් තියෙන එකක් තෝරල මටද්දීල බෝත් කාහං. ඕන්නං බල්ල අනික් එව්වගෙං හොදි මාලුපිනි එහෙම ගනිං.“


මගෙ සිහිය හරියාගෙන එනකොට මට මතක ආතයි මායි ඒ බත් පාර්සල් සේරම ලිහල මේසෙ පුරා පිලිවෙලට තියාගෙන දිලිසෙන අලුත්ම අලුත් හැංදකිං තමුං කැමති කැමති ජාතිවල කෑම පිඟං වලට බෙදාගනිමිං සිටීම විතරයි.


“බලහං ඔය අනික් එව්වගෙ කරෝල බැදුං එහෙම තියෙයිද කියල.“


“මේ මේකෙ තියෙන්නෙ ආතෙ. ආ“


“සම්බ හාල්නං කටේ තියන්න බෑ. ඔය බෙරි වෙච්චි නැති කැකුලු හාලක් ඇර වෙනිං එව්වනං ඕනම නෑ. පහුගිය ටිකේම කැවෙ සම්බයි, නාඩුයි සුදු හාලුයි.“


“බලහං අර ඉපිටහ ලාම්පුව ගාව තියෙන බත්මුලේ තියෙන්නෙ මාලුද කියල“


“මේ තියෙන්නෙ ආතෙ සෝක් පරිප්පු හොද්දක් මේකෙ.“


“බොට ඕන්නං කාහං. මේ ටිකේම පරිප්පු කෑව. මුං එව්වට තෙල් ඩිංගක්කද්දාල නෑ“


“මේං මේකෙනං තියෙනව සැමැං බැදුමක්“


“චැහ්. අද උදේ දීපු මාලුපාං සේරගෙමත් තිවුනෙ සැමැං. බෝ කාහං“



“මේ ඉතුරුවෙන කරෝල කෑලි ටික එහෙම අනල පැටියට දෙන්නද ආතෙ?“



යංතං සිහිය ආපු ගමං මං ආතගෙං ඇහුව.


“නිකං මිදුලෙ බත් ගොඩගහන්නැතුව හිටහං. ඌත් දැං මසක් මාලුවක් උනත් කන්නෙ හිතුනොත් ඉතරයි. දැං ඩිංගකට කලිනුත් ඔය බඩත් උස්සගන්න බැරුව නගුටත් වන වනා වෙනිං බලු දංඩෙක් පස්සෙ එලවං ගියෙ. පුලුවං හරියක් කාල ඔය ඉතුරු කෑම බීම සේරම අර ලැට්ටෙක් ගාවිං පල්ලෙ ලංදට දාපං. ආදහර බෙදන අයට පේන්න තියන්න නාකයිනෙ. ආයි තුන හමාර වෙනකොට එනවනෙ හවසට කහට බොන ජාති එහෙම අරං.“



“ඈ ආතෙ. එතකොට මේ මිනිස්සුංට කිසි අහේනියක් නැද්ද?“


මං බත් පිඟාන අතේ තියාගෙන ආතගෙං ඇහුව.


“කාල හිටහංකො විස්තර කතා කොරන්න. බඩකින්නෙ මොනයම්ම දෙයක්වක් පුලුවනෑ“


මං බඩේ පොත්ත හීං සිවියක් තරමට ඇදෙනකං කාල පිඟාන හෝදල තියද්දි ආත වෙනදට වඩා ඩිංගක් අඩුවෙං කාල වතුරත් බීල ඉවරයි.


“මොකෝ ආතෙ අඩුවෙං කෑවෙ“


“දැං හවසට බනිස්, වංඩු, ජෑංපාස් ආ.... තව එතනිං ගියහං රෝස්. ආ.. හිටහං බලන්න කල්පනා කොල්ල. ආ. තව ජෑං ගාපු පාං පෙති කපාපුව එහෙම හම්බෙනවනෙ. ඉතිං ඒවත් කන්නෙපායැ.


පේන විදිහටනං අපේ අයට කෑම බීමනං අඩුවක් නැතුව වගේ.එතැං පටං ආත ආයිමත් වංගියක් ගංවතුර ගැන විස්තරේ මට කිව්ව.


“මේක උනේ ඔය සමං දේවාලෙ කරඬුව හරියාකාරව තැංපත් කොරාපු නැති එකෙංනෙ. බලහංකො පහුගිය කාලවල් ඔල ඔය විදිහෙ දෙයක් උන්නෑනෙ. ආ. හිටාංකො බොට මුලහිටම කියන්න.“


ආත ඉස්තෝප්පුවෙ කොට බිත්තිය අයිනෙං ඉටි පුටුව තියාගෙන ඉඳගෙන ආයිමත් විටකට පුවක් ලියන ගමං කතාව පටං ගත්ත.


“මේ ගමන වැස්ස පටංගත්ත විඩේ එක දිගට දවස් තුනකට වැඩිය ඇදහැලුන එක දිගටෝම. මිනිහෙට්ට රෙද්දක්, බැනියමක් හෝදගන්න, දරකෑල්ලක් පලාගන්න තියා  දොට්ට පිලට යන්න තරමටවත් විදිහක් නැතිඋනා. ආයි ඉතිං දවස් තුනක් වැස්සහං ගන්න දෙයක් තියෙයියැ. අපි ගෙදර බඩුමුට්ටු පුලුවං හරියක් රත්නෙලෑ අගුවට ඇද්ද. කොහෙද..... ඒ ගමන උංගෙ ගේත් යටඋනා. අංතිමට ආච්චම්මයි මායි ගුනොවර්දනලෑ ගෙදෙට්ට ගියා. පුංචි එහෙමනං ඔය මහතුංලෑ සුමනෙගෙ ගෙදර හිටියෙ. දවස් ගානක් තිවිල බැහැල යනකොට සේරොම රොම්මඩ වැහිල. ගේ අස්සෙ හැම තැනම පල්ගංදස්සාරෙ බෑ.“


ඕං ඔය විදිහට ආත පැය ගානකට කතාව අදිද්දි ලොරියක් ගේ ඉස්සරහ නැවතුනා. ඒකෙං බැහැපු කෙනෙක් පත්තරේක ඔතපු මෙනවද පොදියක් ගෙනත් ආතගෙ අතට දුන්න.


“ආ හොඳා.. බොහොම්පිං“


කියල ආත ඒ ටික අතට අරං මට දුන්නා.


“ගෙං තියහං මේක. පුලුවන්නං වතුර ඩිංගක් ලිපේ තියහංකො කහඩ්ඩිංගක් බොන්න“


වතුර කේතලේ ලිපේ තියල පොල්කට්ටකුත් තලල ලිපට දාල ලිප අවුලෝල මං ආයිමත් ආතගෙ කතාවට කන තිබ්බ. ගංවතුර නිසා වෙච්චි විනාසෙ ගැන තවත් විස්තර කියන්න ගිය කතාව අංතිමට ‘ඩීයැස් සේනානායක, දඩ්ඩි හාමු‘ ආදීන් ගැන දක්වා ගලාගෙන යද්දි වතුරත් උණුවෙලා ඉවරයි.


“ආතෙ වතුර නටනව“


“ආ එහෙනං අර උණුවතුර බෝතලේට වක්කොරං වරෙංකො“


මං කොතලේ වතුර ටික උණුවතුර බෝතලේට දාල කෑම කාමරේ මේසෙ උඩිං ගෙනත් තිබ්බ. වතුරට අහුවෙච්චි ඒ මේසෙ පෝමිකා කෑල්ල කුල්ල වගේ උඩට නැමිල ඒක උඩිං තියන හැම දේම පෙරලල දානව.


“ආං අර කහපාට පෙට්ටියෙ තියෙනව කහට මුල්. බොට ඕන්නං ඒකෙං කහට මුලක් ඇරං කහට හදාගනිං. ආයි මේං මේ බාස්කැට්ටෙකේ තියෙනව පිටි. පිටි ඕන්නං ඒකෙං ඇරං හදාගනිං. ආයි ආං අර බෙලෙක්කෙ ඇති කෝපි ඕන්නැං. බොට පුලුවංනං අර මගෙ කාඹරේ තියෙන අනික් මලු එහෙම අවුස්සල බලහං එව්වයෙ නැස්ටොමෝල්, මයිලො, හෝරලිස් පැකැට්ටෙහෙමත් ඇති. ඉස්කෝතුත් ඇති ඕන්නැං. මං නං කහඩ්ඩිංගක්ම බොනොව“


එහෙම කියල ආත LIPTON කියල ලියාපු කහපාට පැකැට්ටෙකේ තියෙනකහට මුලක්‘ (මේ තමයි ටී බෑග් එකට අපෙ ආත දීපු නම) අරං ඒක කඩල තේ කොල ටික තේ ගොට්ටට දාල කහට වක්කරගත්ත. මාත් ඒකෙංම කහට ටිකක් හදාගන්නව.


ආතයි මායි අර පාර්සලේ දිගෑරල ඒකෙ තිවුන එව්වත් එක්ක කහට බොද්දි විසාල පෝර මලු දෙක බැගින් පටවගත්තු මොටෝසයිකල් දෙකක නැගපු මාමයි බාප්පයි පෙරටු කරගෙන තම තමන්ට උහුලන්න පුලුවං බරින් යුතු මලු, පෙට්ටි ආදිය කර තියාගෙන මහා ‘චරෝ බරෝ‘ නාදෙකුත් එක්ක අපේ පරම්පරාවෙ සේරම සෙනග එතනට එනව. ගංවතුරෙං කිසිම හානියක් නොවිච්ච අපේ ‘අඬන පුංචම්මත්‘ බාප්පත්, අපෙ අම්මට බාල පුංචම්මත් ඒ අතර ඉන්නව. ඒ හැමෝමත් බඩුමලු කර තියාගෙන.


“හප්පච්චියේ හොඳ ගනං“

“අනෙ අම්මෙහ් “

ආදී වශයෙන් කියමින් ඒ අය තම තමං ගෙනා මලු බිමිං තිව්වා.


“ඔව්ව ගෙං ගිහිං තියහල්ල. කාටවක් පේන්න තියන්න නාකයි.“


ආච්චම්මගෙ අවවාද හමුවේ අපේ අම්ම තමුංගෙ මල්ල ගෙයි කාමරේකිං තිව්ව.


“ලොකුවක්කෙ මගෙ කවරෙත් ගෙං තියහංකො“


ඒ අනික් කවර ටිකත් ගෙනයාමෙ වගකීම අම්මටම පැවරුනා.


ටික වෙලාවකිං කිරි ඕනැ අයට ඒවාද, කහට ඕනැ අයට ඒවාද, කෝපි ඕන්නං එහෙමද, විස්කෝතු, බේකරි කෑම ආදී දේවල් වලිං සමන්විත මගුල් මේසෙයක් හා සමාන තේ පැන් සාදයක් පැවැත්වුනා. මොනව කලත් පාර දිහාවෙන් ඇහෙන වාහන සද්ද වලට කවුරුත් ඇහුංකන් දුන්නා. ඒත් එක්කම කට්ටියත් එක්ක තම තමං බඩු මුට්ටු උපයා ගත් හැටි කයිවාරුවත් පටංගත්තා.


“මට හම්බුනා සෝක් ගවුං වාගෙයක්. අලුත්ම එවුව. උඹ ගත්තෙ නැද්ද චූටියෙ?“


“කොහෙංද බොට දුන්නෙ?“


“ඇයි බං අර පාලම ගාව රතුපාට ඩබොල්කැබ්බෙහෙකිං ඇහිල්ල හිටපු නෝන කෙනෙක් දුන්නෙ.“


“ආ. මං හිතුව ඒ නිකං ආපු එකක් කියල. මං හිටියෙ අර ඉස්කෝල ලමයිංගෙ බඩු බෙදන තැන.“


“ඉතිං මාත් එතන හිටියනෙ“


“මමනං සාය හැට්ට විතරයි ගත්තෙ. අංන සිසිරට හොඳ කමිස වගේකුත් හම්බුවුනා.“


“මංනං වැඩිය සෙනග අස්සෙ ගියෙනෑ. අපේ ඉස්කෝලෙ ලමයිත් ඉන්නකොට. මං එතන යන එක හරිනෑනෙ. ඇත්ත වසයෙංම නැත්තං ලොක්කමකට එහෙම නෙමෙයි. නමුත් ඒක හරිනෑනෙ.“


මාමත් ඒ විදිහට ගෝනියක් පිරෙන්න තරම ගෙනත් ඇත.


අංතිමට කතාව ඉවර වීමත් රෑ බෝවීමත් සමගම තවත් ආදහර නොලැබෙන බව දැනගත් හැමෝටම මා ගැනත් මතක්විය.

“බොටත් තිවුනෙ ගංවතුර ගලාපු ගමං එන්න. ඉස්කෝලෙ යන ලමින්ට සෙදි, කුඩ. සෙරෙප්පු සපත්තු හිටං හම්බුනා. පෙලක් ලමින්ට සල්ලි හිටං හම්බෙලා තියෙනව“


සියලු දෙනාගෙම ඒකමතික තීරණය උනේ මං කලිංම ආවනං මට වැඩිමනක් දේවල් ආදහර විදිහට ගන්න තිවිච්ච වගත්, කලිං නාපු එක අපරාදෙ වගත් කියන එකයි. ඒ උනත් තමුන්ට තව ලමෙක් ඉන්න වගත්, ඉගෙන ගන්න දස්ස බවත්, ඒ ලමයා ලබන අවුරුද්දෙ උසස්පෙල ලියන්න ඉන්න බවත් කියලා හැකි විදිහෙං මා වෙනුවෙනුත් යමක් කමක් උපයාගන්න අපෙ අම්මා සමත්වෙලා තිවුනා.


ඇඳිරි වැටීගෙන එන අතරෙ තම තමං උපයාගත් ‘ආදහර‘ මලු පෙට්ටි ආදිය කරතියාගෙන කඳු මුදුන්වල තියෙන තම තමුංගෙ ගෙවල් බලායන උදවිය මහන්සිය නිවෙන්නත් එක්ක තම තමුං ආදහර ලබාගත් හැටි, ගංවතුරෙං බේරිච්චි හැටි එකිනෙකාට කියමින් පාර පුරා වචන හලාදැම්මා.


“අපේ මිනිහ යංතං මොලේ පාවිච්චි කොල්ල කංදක් උඩිං ගේ හදාපු හිංද හොඳා. නැත්තං අපිටත් ගංවතුරට අහුවෙන්නයි වෙන්නෙ.


ඒ නඩේ එක කාන්තාවක් කියාපු ඒ උදාන වාක්‍ය මගේ කනේ තාමත් කැරකෙනව.


පහුවදාම මං මගේ අතිජාත පාසල් මිත්‍ර රෑන බලන්නත් එක්ක පුබ්බයිසිකලේ කකුල්දෙක අස්සෙ ගහගෙන ගමේ සංචාරයක යෙදුනා. පාරෙ අඩි දහයක් යන්න කලිං හම්බ වෙච්චි ජෑකොඩියා සුපුරුදු විදිහට මාව ආමන්ත්‍රණය කලා.


“ඈ බොල *&^&$%@ %@$&*% %#*$ *($^උ% ^ ගිහිං හිටියෙ“


මේ වාක්‍යය ලිඛිත සිංහලට පෙරලූ කල එන්නේ ස්ත්‍රී ලිංගික අවයවයක් ඇති තැනැත්තියගේ පුත්‍රය තොප කුමන පුරුෂ ලිංගයක් වෙත ගොස් සිටියේද යන ආකාරයේ තේරුමක්. ඒ කාලෙ අපේ හිතවත්කමේ සංකේතය තමා ශාරීරික අංගවලින් සාදාගත් නාමපද හා ශාරීරික ක්‍රියාකාරකම්වලින් සාදාගත් ක්‍රියාපද සහිත වාක්‍යවලිං එකිනෙකා අමතාගැනීම.


ඒකට උත්තර ලෙස මං කොළඹ පැත්තෙ රස්සාවක ඉන්න බව කියා ගංවතුරෙන් වෙච්චි දේ බලන්න ගෙදර ආබව කිව්වා.


“වෙච්චි ලොකුම විනාසෙ තමා බං සිකරැට්ටෙයක් නැති එක. බලහං එක්කොම දෙන්නෙ රෙදි, කෑම ජාති, වලංපිඟං ඉතරයි. කඩවලුත් වහලනෙ. හිටහං චොකලට්ටෙයක්කත් දෙන්න බොට.“


යංතං අවුරුදු හතක් විතර වයස ජෑකොඩියගෙ මල්ලිත් එතනම අපේ කටදිහා බලං හිටියා. උගෙ සාක්කුවෙ තිවිච්චි පාටපෙට්ටියක් ඉතර චොකලට් පෙට්ටිය සුරුස් ගාල ඇදල ගත්ත ජයකොඩිය තමුංගෙ මල්ලිට තර්ජනේ කලා.


“තෝ මෙතන හොරනෑව ගහන්න පටංගන්නව නෙමෙයි බොගෙ චොකලට් පෙට්ටියගත්ත කියල. හොංද. ආයි තෝව ගෙදරිං දොට්ට ගන්නෑ මං.“


ඉං පස්සෙ මගෙ අතට ඒක දුන්න


“උඹ කාහං. මටනං ඕව එපාවෙලා. දැං කන්න බැයිනං ඇරං පලෙයං. බොට සිකරැට්ටෙකක් හම්බුනොත් මට ගෙනැත් දියං. මාත් යනොව බං උඩහ පැත්තෙ.“


තව විස්තර ටිකක් කියෝ කියෝ ඉඳල ඌයි මායි දෙපැත්තට ගියා. ආයිමත් මග දිගේ හම්බෙන අය එක්කත් කතා කරල දන්න අයගෙ ගෙවල් වලටත් ගියා. මගදි හම්බෙන මගෙ යාලුවොත් යම් යම් ශාරීරික අවයව වල නම්වලින් මාව පිළි අරං තමුංගෙ ගෙවල්වලට අරං ගියා. හැම ගෙදරකිංම වගේ අවුරුදු දාට ලැබෙන සැලකිලි ලැබෙනව. වෙනද කහට දෙන තැංවලිං කේක් විස්කෝතු සමග කිරි තේ. මිනිස්සුංට එකම අඩුව සල්ලි විතරයි. අංතිමට හවස ගෙදර එනකොට එක එක ජාති පුරෝපු බඩකුත්, කතංදර පුරෝපු ඔලුවකුත් මට ඉතුරුවෙලා තිවුනා.


ඒ වග විස්තර අනුව ගංවතුරට අහුවුනු නොවුනු කවුරුත් ගමට එන ආදහර ලොරි වලට වගකියල තියෙනව. මහ රෑට පාර අයිනෙ තියෙන ගෙවල්වල අය තමුංගෙ ගෙවල්ගාව ‘ගංවතුර ආධාර බාරගන්නා කාර්යාලය‘, ‘ග්‍රාම නිලධාරි කාර්යාලය‘ ආදී වසයෙං බෝට් හිටෝගෙන රෑ තිස්සෙ එන ආධාර ලොරි පිටිං බාගෙන තිවුනා.


ගංවතුර ආධාර විදිහට රටිං හම්බෙච්චි ආදාර පෙට්ටිවල අඩිය කපල ඒවයෙ තිවිච්චි පොඩි ජෙනරේටරේ ‘ඒජියෝපිස්‘ එකේ නිලදහරිං අරං තිවුනා. එක පෙට්ටියකිං විතරක් ඒක ගන්න බැරිවෙලා හොරකම අහුවුනත් කරන්න දෙයක් නැතිලු.


අනුංගෙ වතුවල තිවුන තමුංගෙ බඩුමුට්ටු ගේන්න ගිය සමහරුංට ඒව නොදී පොලිසි යන්නත් වෙලා තිවුනලු.


අපේ ගෙදර මාස ගානකට සියලුම ආහාර ද්‍රව්‍ය ගොඩගැහිලා තිවුනා. තාත්තට හිතේ හැටියට බීල පොලවෙ ගහන්න ටෝච් බරගානක් ලැබිල තිවුනා. පෝරකවර ගානක් පුරෝල රෙදි. අම්මටත් අලුත් සාස්පාං, හැඳි වලං, කෝප්ප, ආදියත් ඉටි පිඟං ලංදකුත් හම්බුවෙලා තිවුනා. වෙනදට නිකං කඩදාසියකට බත්දාල දෙන බිංදුවටත් බත් කන්න අලුත් බේසමක් දීලා. අම්මා මං ගැන කියලා ආදහර කන්ඩායං වලිං ඉල්ලගත්තු ‘කාකටු පෙට්ටි‘, ‘පොත් බෑක්‘, ‘කුඩ‘, ‘පොත් මිටිගනං‘, ‘සුදු ඇඳුං රෙදි‘, ‘සපත්තු කුට්ටං‘ වෙනම පෙට්ටියක දාල තිවුනා.


ඔය විදිහට අපේ ගමට කිසිම අඩුවක් කාලෙකට ඇති නොවෙන්න වැඩේ සිද්ධවෙලා තිබුනා. ඒ හිංද දවස් දෙකතුනකිං මං කොළඹ එන්න ලැහැත්තිවුනා. මගෙ සේවා සගයින්ටත් ඇති තරං ඉස්කෝතු පෙට්ටි, කිරිපිටි, හොඳ ඇඳුං ආදිය දාපු ලොකු බෑක්කෙකකුත් මා එක්ක එන්න ලැහැත්තිවුනා. අතේ තිවිච්ච සල්ලි වලිං රුපියල් දෙදහක් අම්මගෙ අතට දීල මං බස්සෙකට නැග්ගා.


දුංකල, සුරුට්ටු, සිකරැට්, හුනු ආදිය ඇරෙන්න වෙනයම් මෙලෝ දෙයක් විකුනගන්න බැරි හිංද තව හත්මාසෙකට ඇරෙන්නැති කඩත්, රොම්මඩිං මායිං සලකුනු වෙච්චි ගෙවල් දොරවල් වතුපිටි ආදියත් පහුකරගෙන මං ආපහු කොළඹ ආවත් අපේ ගමටවත් මටවත් ගංවතුර අමතක වෙන්නෙ නෑ.


ආදහර විදිහට ලැබිච්ච කොළඹ පැත්තෙ නෝනල පාටිවලට අඳින පාට පාට ගවුං, සාය හැට්ට ආදිය ඇඳපු අපේ ගමේ ගෑනු කුලී වැඩට ගියා. මහත්තුරු පාටිවලට මගුල්වලට ඇඳපු කෝට් කුඹුරු නියරවල්වල හිටපු පඹයන්ට අගේට ගැලපුනා. මහත්තුරු කාර්යාලවල වැඩට අඳින අත්දිග කමිස ගමේ පිරිමින්ට මහෝපකාරි උනේ තමුංගෙ සල්ලි හංගගන්න. කමිස අතට තියල කොටවෙන්න නැමුවම සල්ලි වලට ආරස්සාවයි.


බොහෝ කාලයක් යනකං අපේ ගමේ කුඹුරුවල ගොයං කපන කාලෙට ගොයං පාගද්දි පාවිච්චියට ගත්තු ගංවතුර කාලෙ ආදහර හම්බුවෙච්චි UNHCR කියල නිල්පාට අකුරෙං ලියපු රිදී පාට කූඩාරං රෙදි හිංද අපේ ගමේ අයට ගංවතුර මතක් වෙනව.






2002 හෝ 2003 අවුරුද්දෙ ගනිපු මේ පිංතූරෙ මං ඇඳං ඉන්න මේං මේ කලු සුදු කොටු තියෙන ගංවතුර ආදහර විදිහට හම්බුවුන කමිසෙ හිංද මටත් ගංවතුර මතක් වෙනව. අදටත් මේ කමිසෙ මයෙ ගාව තියෙනව.

Friday, November 20, 2015

ගංවතුර හෙවත් The Village Water 2




වසංතය ඇතුලු නඩේ මාසෙකට සෑහෙන්න පොල් එකතු කරද්දි තවත් නඩයක් ගංවතුරෙං වාසි ගන්නව. ඒ තමයි කාලයක් තිස්සෙ ගහක් කපල ලී ටිකක් ඉරාගන්න බලා හිටපු අය. මේකට එච්චර බයවෙන්න ඕන නෑ. ගංවතුර හිංද පොලිසියටවත් ග්‍රාමසේවකටවත් මේ තැනට කිට්ටු කරන්න බෑ. සැකයිනං කවුරුහරි ලවා ග්‍රාමසේවකට එදා දවසෙ යහමිං ටිකක් බොන්න දෙන්නයි තිමෙන්නෙ. දැං තියෙන්නෙ හැකි ඉක්මනිං ගංවතුර බහිනන කලිං ගහ කපල ඉරාගන්න එක. ඕනිනං ගහ කපල කුට්ටිකරල ගංවතුරෙ පාකරගෙන හරි ඔරුවක බැඳගෙන හරි පහසු තැනකට අරං ගිහිං ඉරාගන්නත් පුලුවනි.


මේ ගංවතුර හිංද කසිප්පු වඩි බැරල්ලෙක පිටිං ගහගෙන ගිහිං කසිප්පු නිෂ්පාදකයො වගේම පාරිභෝගිකයොත් අසරණ වෙනව. ඒ හිංද ‘ඩිංගක් නැතුව බැරි‘ අයට ටවුමටම යන්න වෙනව. තේ ගහෙං ජීවත්වෙන ගමේ බහුතරයකට දවස් ගානක් යනකං රස්සාව නැතිවෙනව. අපේ ගමේ බහුතරයක් තේ වවාපු ඉඩං තියෙන්නෙ තැනිතලාවෙ හිංද ඒව සේරම ගංවතුරට යටවෙනව. කුඹුරුවල ගොයං පෙරලිල මඩ යට යනව. තවත් කොටසක වැලි පිරෙනව. අංතිමට ඒකෙං හරිහැටි අස්වැන්නක් නැතුව යනව.


වැස්ස නැවතුනත් ගංවතුර තව දවස් දෙකතුනක් තියෙනව. ටිකෙං ටික බැහැල ගිහිං පොලව මතුවෙනව. ඒ උනත් අඟලක් විතර ඝනකමට මඩ තට්ටුවක් පොලොවෙ හැමතැනම ඉතුරුවෙනව. ඒ මඩ ගොඩේ ඇවිදිනව බොරු. තේ ගස්වල කොල කුණුවෙලා හැලෙනව. ඒ පිටටම වැස්සක් වැස්සොත් ඒ ගස්වල කොළ හේදිල යතත් බොහෝවෙලාවට රොම්මඩ වලිං වැහිච්ච හිංද තේ ගහේ කොළ ටික හැලෙනවම තමයි.


ගංවතුර කාලෙ පැදපු ඔරු සමහර වෙලාවට ගංවතුර බහින්න කලිං ආපහු තමුං හිටපු පිලිකනු වලට යාගන්න බැරුව කුඹුරු ලියදි, පාරවල් අයිංවල රැඳෙනව. ඒ වගෙ වෙලාවට කීපදෙනෙක් ඔරු කඳං කර තියාගෙන ගිහිං අදාල තැන තැංපත් කරනව.


තේ ගස්වල කොළ ලියලල ආයිත් දලු හැදෙත්දි, රොම්මඩ තට්ටුව පොලවට දූවිලි වෙද්දි, ගෙවල්වල බිත්ති, ගහකොල ආදියෙ ලකුණු වෙලා තිබුන ගංවතුර මට්ටම මැකිල යද්දි ආයිමත් පුංචම්මගෙ කඩෙං සාමාන්‍ය මිලට කාටත් බඩුගන්න පුලුවං වෙනව.


ඒ උණාට මට අමතක නොවෙන විදිහට විසාලම ගංවතුර ගැලුවේ දෙදාස් තුනේ අවුරුද්දෙ. ඒ කාලෙ මං සාමාන්‍ය පෙල ලියල සංක්‍රාන්ති සමය ගෙවමිං හිටියෙ. ඒ කියන්නෙ උසස්පෙල කරන්න ඉස්කෝලෙ යන්න වෙනකං සල්ලි හොයමිං. කොට්ටාව මාළඹේ පාරෙ විද්‍යාල හංදිය කියන තැන තිවිච්චි පොටෝ සාප්පුවක රස්සාවක් කරන ගමං.


ඒ අතරතුරේදි එකදිගට දවස් ගානක් වැස්ස නිසා අපේ ගමත් ඇතුලු සමංදෙයියන්ට අයිති සබරගමුව මුළුවසංම යටකරගෙන ගංවතුර ගලල තිවුනා. ඒ කාලෙ ගමේ නොහිටිය හිංද මං ගංවතුර ගැන දැනගත්තෙ අනික් අය කියාපු කතාවලිං. ඒ කිව්වෙ ‘ලු‘යන්නක් දාල.


ගංවතුර ගලාගෙන එනකොට අපේ ගුණසිංහ ආතත් ආච්චම්මත් දෙන්න ගෙදර බඩුමුට්ටු අටුවට දාල බලං හිටියලු. ගෙට වතුර දානකොට මේසෙ උඩට නැග්ගලු. තවත් ටිකක් එනකොට අර මහ විසාල අල්මාරිය උඩට නැග්ගලු. ඔය විදිහෙං අටුවට, වහලෙට, මුදුං උලු පේලියට, නාරං ගහට, මාරුවෙලා අංතිමට හිටියෙ අඹ ගහේ කරටිල්ලෙලු.


සමහර අයගෙ ගෙවල්වල තිවිච්ච බඩුමුට්ටු ගහගෙන ගිහිං අනුංගෙ වතුවල තිවුනලු. ඇඳං, අල්මාරි, පිරිජ් ආදිය ගස්වල කරටිල්ලෙ, උනකොට වක්කලමෙ ආදී තැංවල තිවුනලු. කුකුලෙඟග වංගු දිගෑරල අංතිමට ගම මැද්දෙං රදාගොඩේ ගෙවල් ටිකත් ගලෝගෙනම ගිහිං තිවුනලු,


වීමෝලෙ වතුර පුරෝපු තඩි බැරල් දෙකත් බට ටිකත් එක්කම ගැලවිල ගිහිං ලවල් අස්සෙ හංගල තිවිච්ච කසිප්පු බැරල් එක්ක පටලැවිල අයිතිකාරයො අංතිමට එව්වගෙ අයිතිය හොයාගෙන තියෙන්නෙ වීමෝලෙ තිවිච්ච බැරල් බට දාන්න යටිං හිල්කරල තිවිච්චි හිංදලු.


මං ගමේ නොහිටියත් ටීවියෙකේ කඩිං කඩ පුවත් වලට පාලං ඇඹරිච්ච, බෝක්කු ගැලවිච්ච, ගෙවල් පිටිං ගහගෙන ගිහිං අත්තිවාරම විතරක් ඉතුරුවෙච්ච, පාරවල් කැඩිච්ච ආදී වසයෙං ගංවතුරෙ හානි වරිංවර පෙන්නුවා. අවතැංවූ ජනයා යනුවෙං හැඳින්වූ හිස් පෝරකවර අතිං ගත් කමිසෙ උඩ බොත්තං නොදාපු පිරිමි සහ, ලමයිං කිහිල්ලෙ ගහගත් කටහැකර ගෑනු ආදීන් ටීවියෙකේ පෙනී හිටිමිං ‘අපිට හරිහමං ඉන්න හිටින්න තැනක්, අඳිංන වස්තරෙයක්, කන්න කෑමක් නෑ. ආයි පාරක් චංදෙ ඉල්ලන්න ආවොත් දේසපාලකයංට@#%%^^ ‘ කියමින් බෙරිහං දුන්නා.


ටීවීවලට නොදෙවෙනි විදිහට පත්තරත් තමුංගෙ මුල් පිටුව පුරාම ඇඹරිච්ච පාලං, කැඩිච්චි ගෙවල්, වැරහැලි ඇඳපු මිනිස්සු ආදීංගෙ පිංතූර දාල ඒ සේරටම හෙවන වැටෙන්න පිටුවෙ ඉහලිංම තඩි අකුරෙන්


මහ වැස්සක් කල හදියක්


කියල මාතෘකාව දාල තිවුන. ඒ පැත්ත පලාතක විදුලිය, ජලය, ආදී පොදු පහසුකං නොමැති බවත්, ප්‍රවාහන පහසුකං ගැන අහලවත් වැඩක් නැති බවත් පත්තරේ තිවුනා. ඒ එක්කම එක් එක් දිහාවල් වල ගෙවල් කැඩීම්, මියයාම්, අතුරුදහන් වීම්, ආදියේ ගනං මිනුං ආදිය පත්තරේ පුරා අරක්ගෙන තිවුනා. කොටිම්ම කියතොත් ඇහූ බැලූ සෑම අතකම ගංවතුර ගැනම තමයි.


මේ විදිහට රටට වෙච්චි විපත්තිය හමුවේ ‘තුංහුලස්‘ රේඩියෝ චැනල් එකෙං ගංවතුරෙන් විපතට පත් අයට ආදාර එකතු කරන්න පටං ගත්තා. ඒත් එක්කම හැම තැනකම තියෙන්නා වූ සංවිධාන, පුන්‍යායතන, සමිති, සමාගං, කොම්පැනි, පැට්ටේරි, කාර්යාල, කඩ සාප්පු, රථ සංගම් විතරක් නෙමෙයි ඒ කාලෙ වෙනකොට ලෝකෙ අංක එකේ අවි හිංසාවාදී සංවිධානය වෙච්චි පෙබහකරං (ආං එහෙමයි අපේ ආච්චම්ම කියන්නෙ) අංකල්ගෙ ඇල්ටීටී (ඒක ආත කියන විදිහ) සංවිධානෙත් ආධාර එකතු කලා. හැමතැනම ඇහුනෙ ආධාර ඉල්ලන අඳෝනාව. පාරට බැස්සොත් ආධාර ඉල්ලන අය. කඩේකට ගියොත් ආධාර එකතුකරන කැට. පාරෙ ගියොත් ආධාර එකතුකරන වාහන. මිනිස්සු තමුංගෙ ගෙවල්වල තියෙන සබ්බ සකලමනාවම ඒ ඒ තැංවලට ආධාර වසයෙං දීපු කාලයක් මට ආයි ජීවිතේට මතක නෑ.


ඔය අතරෙ අපෙ අම්මගෙං ලියමනකුත් මට හම්බුවුනා. මේං මේ විදිහට ලියල.


අද ....වැනි දා
ගෙදරදී


පුතේ
මේ ගමන ගංවතුරට ආතලගෙ ගෙදර වහලෙටත් උඩිං ගංවතුර ගැලුවා. මාමලගෙ ගේත් යටවුනා. මිනිස්සුංගෙ ගෙවල් එහෙම සේරම වියරයි. පේම නැංදලෑ ගේත් කැන්නා. අපේ තේ කෑලි සේරම වියරයි. අපිටත් ආදාර හම්බ උනා. අපි කන්නේ බත් පාර්සල්. උඹට දෙවි පිහිටයි.

මං
අම්මා
**වතී


ඕං ඔය ලියුම මොකද්දෝ හේතුවකිං හරියටම දවස් දෙකිං මගෙ අතට හම්බවුනා. මේ කියන ආකාරයට අපේ ගෙදර අයටත් අඳින්න හරි හමං වස්තරයක් නැතුව ඇති. උයං පිහං කන වලං මුට්ටි ටිකත් වතුරටම ගහගෙන යන්න ඇති. අපේ ගෙදර අය අඳින්න ඇඳුමක් නැතුව කොළ අතු ඇඳගෙන පාර අයිනට වෙලා එන එන වාහන දිහාවට අත දික්කරගෙන කන්න ඉල්ලනව ඇති. ඇස් ගෙඩි දෙකෙං දොට්ට පැනපු කඳුළු බිංදු හොස්ස අගිං බිම වැටෙද්දි මගෙ සේවා සගයො මාව අස්වැසුව.


“ගනං ගන්නෙපා බං. උඹලයි ගෙදෙර අඩුපාඩු ඇහ්නං කියහං. අපි එව්ව කෝම හරි විසඳමු. අපේ පඩිය හරි දෙන්නං. අපි කවුරුත් මිනිස්සුනෙ බං.“


හවසට බොස් ආ ගමං මං එයාට කතා කෙරුවා.


“මහත්තෙයා, මේ මට හෙට ගෙදර යන්න ඕනැ. අපේ ගෙදරෑට හරිහමං කෑමක්වත් නැතුව ඇති“


ආයිමත් ඇහෙං වැටෙන කඳුලු බිංදු හොස්ස දිගේ බිමට පැන්නා.


“ආ... ඒක ගනං ගන්න එපා. ඉන්නකො සුරංගට මෙන්න පඩිය. මේ දෙදහත් මගෙ ගානෙ. ගෙදර අයට මොනව හරි අඩුපාඩුනං මට කෝල් එකක් දෙන්න. හෙට උදේම යන්න.“


බොස්ට වැඳල පඩිය අරගත්තු මම අනික් එවුංගෙ දිරිගැන්වීම් එක්ක ඕනැ දේකට මූන දෙන්න විස්වාසෙං පහුවදා උදේම මහරගමට ඇවිල්ල ගෙදර එන්න පිටත්වුනා. හයිලෙවල් පාරෙ බස්සෙහෙක රත්නපුරේට ඇවිල්ල කලවානට යන බස්සෙකට නැගල ජනේලෙ අයිනෙං වාඩිවෙලා මං කල්පනාවට වැටුන. දැං ඉතිං මොනව කරන්නද. අපෙ පවුලෙ තුංදෙනාවම නඩත්තු කරන්න මේ පඩිය මදි. ආපහු කොළඹ ගිය ගමං පරන බදාම අනන රස්සාවටම යනව. ඒකෙං මේ වගේ තුංගුනේක විතර පඩියක් ගත්තැකි.



පාර දෙපැත්තෙ ගස්, වැල්, ගෙවල්, කඩ, පාලං ආදී සෑම දෙයකම එක මට්ටමකට රොම්මඩ පාර වැදිලා. මුලු පලාතම පිලී ගඳයි. පාර අයිනෙ තියෙන සමහර ගෙවල්වල කොටසක් නෑ. පාලං සමහර එව්ව ගලවං ගිහිල්ල. දෑළ අලුත් පාලමටත් උඩිං වතුර ගියා කියල බස්සෙකේ සමහර අය කියනව. පාර අයිනෙ තැං තැංවල සෙනග පෝර කවර ආදිය අතේ තියාගෙන පාරදිහා බලං ඉන්නව. ළමයි කිහිල්ලෙ ගහගෙන ඉරිච්චි රෙදි හැට්ට ඇඳපු ගෑනුත් ළමයි කිහිල්ලෙ ගහගෙන වාහන සද්දෙයක් ඇහිච්ච ගමං පාරට පනිනව. අපේ ගෙදර අයත් මේ වගේම අසරණ වෙලා ඇති. මගෙ ඔලුවෙ පන තියෙනකං මං ඒ කාටවත් අනුන්ට අතපාන්න දෙන්නෙ නෑ. මහා දහිරියවංතකමක් මගේ හිතේ ඇතිවුනා.



කලවාන ටවුමෙ කඩවල් බාගෙට බාගයක් වහල. හෝටල් සේරම වහල. දුරාවාරෙ ඇරපු කඩ දෙකතුනෙත් හරිහමං ගන්න දෙයක් නෑ. යංතං කඩේක තිවිච්චි ඉස්කෝතු පෙට්ටියකුයි අපේ නංගිත්, පුංචම්මගෙ ළමෙයත්, මාමගෙ ළමෙයත් යන තුංදෙනාට චොකලට් තුනකුයි අරං මොනව උනත් අඬන්නෙ නෑ කියන කාරනේ හිතට අරං මං බස්සෙකට නැග්ගෙ ගෙදර යන්න.



පුරුදු විදිහට මාමලගෙ ගෙදර ගාවිං බැහැල මං මාමලගෙ ගෙදරට ගියා.  අවුරුදු දාහතරෙදි තාත්ත මාව ගෙදරිං දොට්ට දැම්මට පස්සෙ එහෙ තමයි මගෙ නිත්‍ය නිවහන. ගෙදර කවුරුවත් පේන්න නෑ. රොම්මඩ ගඳ නාහෙ පලාගෙන යනව. දොරත් වහල. මං හිතන්නෙ අනතුරු දායකයි කියල ගෙවල්වලිං අයිං කරල ඇති. ඒත් කෝකටත් කියල මං දොර තල්ලු කරා අඟලකට වඩා දොර ඇරෙන්නෑ. මොනව හරි හිරවෙනව. අන්තිමට යංතං මගෙ සරීරෙ රිංගවගන්න තරං කපොල්ලක් හැදෙන තරමට දොර ඇරගෙන මං ගෙට ඇතුල්වුනා.


දොර ඇරෙන්න බැරි තරමට සාලෙ පුරාම ලොකු, කුඩා, ගෝනි, පෙට්ටි, සොපිං කවර, පොදි ගොඩගහල. මං හිතන්නෙ ගෙවල් කැඩිච්චි අයගෙ බඩු මුට්ටු මෙහෙ ගෙනත් දාල වෙන්න ඇති. අතරිං පතර පෙට්ටි වලිං එලියට පැනපු රෙදි, පොත් ආදියේ අහු කොං එයට සාධක සැපයුවා. මෙතන ඉඳීමෙං වැඩක් නෑ. මං එහෙම්මම මහගෙදරට ගියා.


එහෙ ගෙදර ඉස්තෝප්පු මඩුවෙ ඉටි පුටුවක් තියාගෙන ආතා ඉඳගෙන හිටියා. ඇති යංතං කවුරුහරි ඉන්නව. මං ඉස්තෝප්පුවට ගොඩඋනා.


“ආ.. උඹත් ආවද?“


“ඔව් ආතෙ. පඩිය අතට ගත්තු ගමං ආවෙ. කෝ අපේ ගෙදර අය එහෙම. මාම එහෙමත් නෑ නේද?“


“ආ. එහෙනං ඔය ආදාර ගන්න යන්නැති. සේරමත් එක්ක.“


“කොහෙටද දන්නෑ ගියෙ. මං ගිහිං එක්කං එන්නං“


“ඕන්නෑ. ටිකකිං එන්නෙ නැතෑ“


ආතගෙ කීම හමුවේ ඉස්තෝප්පුවෙං ඉඳගෙන ගංවතුර ගැන මං විස්තර ඇහුවා. ඒ අතරෙ කොපි පොතක් අරගෙන ආපු ටවුමෙ රස්තියාදු ගහන කොල්ලෙක් තමුං ‘රාවනා‘ කියන පත්තරෙං බවත් ගංවතුර ගැන විස්තර දැනගන්න ඕනැ බවත් ආතට කිව්වා.


“මොකක් කියන්නදැ. මේ වෙලා තියෙන හරිය පේන්නැතෑ“


ආත ඌව සැරකරල එලෝගත්තා.


ටික වෙලාවකිං පුංචම්මව කසාද බැඳල හිටපු පොලේ යන බාප්පා මොටෝ බයිසිකලෙං විසාල ගෝනියක් ගෙනැත් ඉස්තෝප්පුවෙං දාල


“ඔය මල්ල විගහට ගිහිං කුස්සියෙං තියහං. ඕක වෙනම තියන්න ඕන හොංද“


කියල ආපහු ඉගිලුනා. මේ මොකක්දැ කියල අහන්නවත් වෙලාවක් නෑ. මං ඒ මල්ලත් අරං කුස්සියට ගියා කුස්සියෙ හැම තැනමත් ඒවගේ මලු, පෙට්ටි, ඉටි බේසං, ඇලමේනියං වලං ආදියත් තිවුන. බාප්ප එහෙම තාමත් අවතැං වෙච්චි අයගෙ බඩු මුට්ටු ආරක්සා කරන්න ගේනවද කොහෙද. මං සෝකයෙං බරවෙච්චි මූන බිමට පාත් කරගෙන ඉස්තෝප්පුවට ආව.


“උඹ කෑවද?“


“කොහෙ කන්නද ආතෙ. මේ වෙච්චි දේවල්වල හැටියට මට කෑමක් කන්න සිහියක් පතක් තිවුන්නෑ“


“යමං එහෙනං බඩ්ඩිංගක් කන්න. මාත් තාම දවල්ට කෑවෙනෑ. බඩ පිරිල හිංද“


මුංදැගෙ මොලේ නරක් වෙලාද කොහෙද. හුලං බීලද දන්නෑ බඩ පිරුනෙ. ආත කුස්සියෙං අලුත්ම ඉටි පිඟානකුයි ආතගෙ බෙලෙක් පිඟානයි අරං ආව. ආතගෙ බෙලෙක් පිඟාන ගංවතුරට ගිහිං නෑ. ඉං පස්සෙ ආතගෙ කාමරේට මාව කැඳෙව්ව.


“ඉඳා. මේං පිඟාන. මේං මෙව්වයිං ඕනැ එකක් බලල හොඳ එකක් කාහං“