Follow by Email

Saturday, October 24, 2015

කඩ කෙරුවාව හා ළමයි බැලීම (The shop doing and Children watching) - 1


කඩෙයක්



මගෙ පොලේ ගමන ගැන මං කියල ඇතිනෙ. ඒ වග ආයි මොටද? අද කියන්න යන්නෙ කඩ කෙරුවාව හා ළමයි බලාගැනීම ගැන. ඒකත් බලන්නකො.


මං ඉස්කෝලෙ අට වසරට විතර එනකං කරපු පොලේ යාමට කණකොකා ඇඬුවෙ පුංචිගෙ නාස්තියත් එක්ක සිදුවෙච්චි බාප්පගෙ පිරිහීමත් සමගයි. ඒ කාලෙ වෙනකොට අතපය ටිකක් උස මහත වෙලා කටහඬත් අමුතුම ආකාරෙක එකක් වෙලා තිවුනු මට පොලේ යාම මදිකමක් වෙලයි තිවුනෙ. ඉස්කෝලෙ එවුං පොලේ එනකොට මං හැංගෙන තැනට වැඩේ සිද්දවෙලා තිවුන. මගෙ කියවීමේ පිපාසාව හිංද හාල්මැස්සො ගොටු ගහන පත්තර එකක් නෑර කියවීමෙං මගෙ කාර්යක්ෂමතාව පහල බැහැල බාප්පගෙං ටොකු කන්න වෙලා තිවුන. එයිට අමතරව මං පොලේ බඩු ගන්න එන ගෑනු දිහා බලං ඉන්නව කියල අසත්තක කතාවකුත් පුංචම්ම ගොතෝල තිවුන. ඒ ඔක්කොම එකතුවෙලා මගෙ පොලේ යාම කැපිල ඒ රස්සාව පුංචම්ම කරන්නත් ඒ වෙනුවට මං පුංචම්මගෙ කඩේ ඉන්නත් වැඩ කටයුතු යෙදුනා. ඉබ්බ දියේ දැම්මට ඇන්නෑවෙ කිව්වලු. මාත් එක පයිං වැඩේට කැමති වුනා.


පහුවදා උදේට පුංචි පොලේ යන හිංද සිකුරාදා රෑට මං ඉන්නෙ මහගෙදර. එදා රෑට හොඳට කන්නත්, සාලෙ පැදුරක දිගෑරිල කනක් ඇහිල නිදාගන්නත් චාන්සෙක ලැබෙනව. පහුවදා උදේට තියෙන ගාලගෝට්ටිය විඳින්න ඉතිං කන්න බොන්න නිදන්න එහෙම එපායැ හොඳට. කොහොමටත් පහුවදාටත් එක්ක එදා රෑට කන්න ඕන.


ඒ දවස්වල පුංචිගෙ ලමයගෙ වයස අවුරුදු තුනක් විතර ඇති. සෙනසුරාද උදේ පහට වෙද්දි පුංචම්ම ළමයව ඇහැරෙන්නෙ නැති වෙන්න ඇඳ උඩ තියල නැකිටිනව. ඉං පස්සෙ දඩබඩ ගාල ලැහැත්ති වෙනව. පුංචම්මගෙ බාසාවෙං ලැහැත්ති වෙන්නෙ එහෙමයි. එතකොට මාත් නැකිටින්න ඕන. ඒ එදා දවසෙ වැඩ සටහන අහගන්න. පුංචම්ම ලැහැත්තිවෙන ගමංම මට උපදෙස් දෙනව.


“සුරංගෝ“


“ඇයී. මේ එනෝ“


“කෑගහන්නෙපා බොල. ලමෙය ඇහැරෙයි“


මං පිලිකන්නෙ ටැප්පෙක ගාව ඉන්න පුංචි ලඟට යනව


“උලේල ආං එලි හාක් අලිං. අඔක්.    අඹ්ඹ්ක්“


පුංචම්ම දත් මදින ගමං බුරුසුව ගිරිය අස්සෙ ගහගෙන දත් මදින ගමං කියල වාක්‍ය අවසානෙට දෙපාරක් කාරනව.


“මොකද්ද කිව්වෙ පුංචියේ.“


“පාං හයක් ගනිං“


“හා“


“සල්ලි තිවුනොත් හවසට දීහං. නැත්තං හෙට දෙන්නං කියාං“


“හා“



පුංචි ගෙට ඇවිත් ඇඳුං අඳිනව.


“නාලවත්තෙ නැංද හරි, වෙනිං කවුරුවක් හරි සල්ලි ඉල්ලං ආවොත් නෑ කියහං. පුංචිගෙං ඉල්ලගන්න කියහං“


“හා“


 “නංගි ඇහැරුනාට පස්සෙ බලාගනිං. අරහෙ මෙහෙ යන්න දෙන්නෙපා. අර මගෙ කහපාට හැට්ටෙ සාලෙ රෙදි ගොඩෙං ගෙත් දියං“


“හා“


මං උංදැගෙ හැට්ටෙ හොයල ගෙනත් දෙනව. අංතිමට එයා ඇඳල ඉවරවෙනව. ඉං පස්සෙ බෑක්කෙකයි කුඩෙයි අතට අරං ආච්චම්ම නිදං ඉන්න ඇඳ ළඟට ගිහිං කතා කරනව.


“අම්මෙ මං යනවා.“


“ඈ.... මොකද්ද? පාංකාරෙය ඇහිල්ලද“


ආච්චම්ම මෙලෝ විකාරෙං එලෝ ඉඳං අහනව.


“නෑ. නෑ මං යනව“


“උඹ කොහෙද යන්නෙ“


ඇයි අම්මෙ. අද සෙනසුරාදනෙ. පොලේ යන්න එපෑ“


“ආ.... ඒක මිසක්ක.“


“අම්ම එහෙනං මැනික් බලා ගන්න. මං යනව.“


“කෝ කෙල්ල“


“තාම නිදි. ඇහැරුනාම මොනවහරි දෙන්නකො. දැම්ම ඇහැරවන්න එපා හොඳේ.“


පුංචිගෙ ළමය ඇහැරුනොත් පුංචිට දොට්ට බහින්න නොදී මරහඬ දෙන විත්තිය ආයෙ කියන්න දෙයක්යැ. තමුංගෙ අම්ම ගමනක් යනව කියපු ගමං උංදැගෙ බෙල්ල බලාගෙන බිමට නොබැහැ ඉන්න එකත් බැරිවෙලාවත් තමුංව අම්මගෙං ඇදල අරං තියාගත්තොත් එහෙම ගත්ත එකාගෙ ඉහේ කෙස්ටික හිඳින ගමං ලතෝනි දීමත් ඒ ළමය උප්පත්තියෙංම ගෙනා සහජ හැකියාවක්.


“උඹ පලෙයං. මං බලාගන්නං ළමෙය. උඹ භයවෙන්නෙපා“


ආච්චම්ම ඇඳෙං නැකිටල “හාආආආක්“ කියල ඈනුමක් ඇරල උඩු ඇංදෙ දත් කුට්ටමත් හරියට හදාගෙන වැනි වැනී එනව. එතකොට පුංචම්ම ගෙයිං එළියට බහින්න දොරකඩ. ළමය ඇහැරවන්න එපා කියන්න පුංචම්ම කට අරින්න කලිං ආච්චම්ම නිදං ඉන්න ළමෙයව වදෙං පොරෙං උස්සගෙන කිහිල්ලෙ ගහගන්නව. ආච්චම්මගෙ කිහිල්ලෙදි නිංදෙන ඇහැරෙන ළමෙය ආතබූත නැතුව වටපිට බලනව. තමුං මේ ඉන්නෙ කොහෙද යන්නවත්, තමුංට එකපාරටම වඩාගත්තෙ මොන කෙහෙල්මලකටද යන්නවත්, තවම රෑද දවල්ද කියන එකවත් නොදැනගෙන හෝන්දුමාන්දුවෙං ඉන්න ළමයට අවස්ථාව වටහා ගන්න උපකාර පිනිස ආච්චම්ම පැහැදිලි කිරීමක් කරනව.


“උඹ නාඩ හිටිං. අම්ම පොලේ ගියාට හවහට එනවනෙ. මං බෝ බලාගන්නං. අම්ම එක දාසක් නැතිවුනහං මොකදැ“


තමුං ළමෙයව හරියටම බලාගන්නා බවට ඇස්පනාපිටම සාක්කි වසයෙං පුංචම්මට පෙන්නීමට ආච්චම්ම එහෙම කරද්දි තමුංගෙ අම්මා පොලේ යන වගත්, උංදෑ අද දවසටම ගෙදර නැති වගත් දැං තමුංගේ යුතුකම වන්නේ මරහඬ දී මෙතන දෙකක් කිරීම වගත් දැනගන්නා ළමෙයා සංගුව පිඹින්න පටං ගන්නව.


“බුහප් බුහුප් බුහුප් පූඌඌඌඌආආආහ් ....ආක්..ආක්................... බ්‍රෑඈඈඈඈඈඈඈග්.......... මච අව්ව එග්ග යල්ල ලීවාආආආආආග්..........“


මේ අවසං ‘ආග්‘ එකත් සමගම ළමයා හුස්ම හිර උනා වගේ කට ඇරිල සද්ද නැතිව කකුල් අතපය සේරම ගසමින් දඟලනව. මේ වෙලාවට ළමයත් එක්ක ආච්චම්මත් වැටෙන්න පුළුවං හිංද මං ඒ ළඟම ඉන්නව.


“ඔය ඉතිං නාඩ හිටිංකො. බොගෙ දැඟලිල්ලට මගෙ සෙද්දත් කැන්න“


ඒ එක්කම ළමය ආයිත් ඇඬිල්ල පටං ගෙන “උඹ. තෝ“ ආදියෙන් බැනවදින්න පටං ගන්නව. මේ සියල්ල විඳ දරාගනිමින් කුටු කුටු ගගා මොනවද කියමින් පුංචම්මා බස්සෙකට නගිනවා. උංදැ බස්සෙකට නගිනවිට ළමයා සිය ජවනිකාවේ උච්චතම අගය පෙන්වමින් ආච්චම්මගෙ ඔලුවට දෑත බදා ගුටි අනිමින් “ගෑනියේ මට යන්න දීපාං“ කියා බනිනව.


පුංචම්මා නැග්ග බස්සෙක පිටත් වෙනවත් සමගම සිය ඇඬීම පලක් නැති බව දැනගන්නා ළමයා ඇඬීම නවත්තනව. ඒත්තෙක්කම සිය සංදර්ශනයේ පළමු කොටහ නිමා කරන ආච්චම්මා තමුං සෑහෙන්න මහංසි වෙලා මේ ළමයා බලා ගන්නා බව සිය දියණියට පෙන්වූයේ යැයි සෑහීමකට පත්ව


“බැහැපං බිමට මට සෙද්ද ඇඳගන්න“


කියා ළමයාව බිමිං තියනවා. තමුංගෙ කැඩිච්චි ‘සෙද්ද‘  ඇඳගෙන ‘කහඩ්ඩිංගක්‘ බොන්න කේතලේ ලිපෙං තියන්න කුස්සියට යනව. වැස්සක් වැහැල පෑව්වා වගේ නිසලතාව බිඳෙන්නෙ ආත ඉඳහිට පිටකරන නලා නාදෙං විතරයි. ආච්චම්ම කේතලේ ලිපෙං තියල ලිප ළඟ තනි රකින අතරෙ මං සාලෙට වෙලා පාර බලන්නෙ පාංකාරය එනකං. වැඩිවෙලා නොගිහිං පාං කාරය එනව. දෙපාර හෝන්නෙක ගහනකොට මං බයිසිකලේ ගාව.


“පාං කියද්ද “


“හයක්“


පාං පෙට්ටිය වහපු ඉටිරෙද්ද පාං පෙට්ටියට තදවෙන්න දාපු ටියුප්පටිය පන්නල ඉටි රෙද්දෙ පැත්තක් උස්සල පාං හයක් අරං ගඩොල් අහුරනව වගේ දෙකක් එක පැත්තටත් අනික් දෙක ඊට උඩිං හරස් අතටත් වසයෙං හිටින්න අහුරල මගෙ අතට දීල එයා යනව. මං පාංටික අරං ගෙට යනකොට ආච්චම්ම ගෙයි ඉඳං කෑ ගහනව.


“සු***, බලහං අන්න පාංකාරය බීග්ගහනව“


“හරිහරි මං ගත්තා“


“විගහට පලෙයං. නැත්තං යයි“


“මං ගත්තෝ.“


“ආ එහෙනං කමහ්නෑ. මං හිතුව බොගෙ කන ඇහෙන්නෑනෙ“


මං පොතක් පත්තරයක් කියවනකොට කවුරුවත් කතා කලත් දැනෙන්නෙ නැති හිංද මගෙ කන ඇහෙන්නෑ කියල කතාවකුත් ආච්චම්මයි පුංචියි ගොතල  තිවුන.


තව වැඩිවෙලා නොගිහිං කඩේට මිනිස්සු එන බව දන්න හිංද මං මල් හතරක් කඩං ඇවිල්ල පොල්තෙල් ගැලුමෙං තෙල් ඩිංගක් පානට දාල පාන පත්තු කරල හඳුංකූරු දෙකක් පත්තු කරල බුදුං වැඳල කඩේ ලැලි ටික අරිනව. තවත් හඳුංකූරක් පත්තු කරල හාල් ගෝනියෙ හිටෝනව. ඒ ටික ඉවර වෙනකං පුංචිගෙ ලමෙය මගෙ පස්සෙං කැරකෙනව. උගෙං කඩේ තියෙන බඩුමුට්ටු බේරගන්න අමාරුයි. වෙනදට ආච්චම්ම මට කඩේ ලැලි එකකට වඩා අරින්න දෙන්නෑ. උංදැ හිතන විදිහට පුංචම්මවත්, බාප්පවත් කඩේ නැතිවෙච්ච ගමං මේ කඩේට පනින්න හොරු රංචුවක්ම ඉන්නව. ඒ වුනාට ඇඳිරි නීතිය දවසට හොරෙං බඩු විකුණනව වගේ යංතං එක ලැල්ලක් අස්සෙං බඩු දෙන්න බැරි හිංද මං පුංචිට කියල ඒ නීතිය අයිං කරගත්ත.


ඒ ටික ඉවර වෙනකොටම ආච්චම්ම කඩේට එනව.


“මොටදැ දැම්ම කඩේ ඇරියෙ. දැම්ම මිනිස්සු එන්නෑ“


එතකොටත් මං පළවෙනි පාංගෙඩිය නාලවත්තෙ බාල ලමයට විකුණල ඉවරයි.


“පුංචි කියල ගියෙ උදෙංම කඩේ ඇරහං කියල“


“එහෙනං ඕනැ එකක්.         අද පාං කරවෙලා නෑ. ඊයෙනං අඟුරු වෙලා තිවුන“


ආච්චම්ම පාං ගෙඩියක් ගානෙ මිරිකල ඒකෙ වහල්ල “කරස්“ ගානවද බලනව. ඊළඟට හාල් අහුරක් කටේ දාගෙන යනව. ආච්චම්මට පාණ්ඩුව හැදිලයි කියල පුංචි කියන්නෙ මේ හාල් කෑම නිසා. උදේ අට විතර වෙනකොට කඩේ ගාව සෙනග එකතු වෙනව. වැඩි දෙනෙක් පොලේ යන අය. ආං එතකොට ආච්චම්මගෙ ස්වර්ණමය කාල සීමාව උදාවෙනව. උංදැ රෙද්ද වරක් තද කරල ඇඳගෙන පාරට බහිනව.


“ආ. හුනුවොල ලමෙයො. මොකෝ බෝ අද පාංදරම පොලේ යන්නෙ?“


“අද දලු කඩන්න දෙමලු දෙන්නෙක් ආව. උංට දවල්ට බතුද්දෙන්නෙපෑ. වියන්න පරක්කු වෙන හිංද කලිං යනව“


“ආ... ඒක මිසක්ක. ඉතිං බොලෑ ලොකු එකීට පුලුවන්නෙ උයාතියන්න“


“ඒකිට අද පන්තිනෙ. ඔය ආවෙ මා එක්කම. අර ඉන්නෙ“


හුනුවල නැංද, මැංගුස් ගහ යට හෙවනෙ ඉන්න තමුංගෙ දෝනියැංදව පෙන්නනව. ආච්චම්ම ඇස් කරකෝල ඒ දිහා බලනව.


“බොගෙ තව මොකක් කලු වෙන්නද? ඔය ඉන්නෙ මහඑකා වගේම කලුවට. අව්වෙ හිටියහං ටිකක් මක් වෙනවද?“


ආච්චම්ම සඳමාලි අක්කට ආඩපාලි කියනව. මා එක්කවත් වැඩිය කතා නොකරන එයා ලේංසුවෙන් මූණ පිහදාගෙන විරිත්තනව. කලුපාට මූනෙ සුදුපාට දට්ටික පැහැදිලිව පේනව.


“ඕනැ එහෙකට විරිත්තන්නෙපා දන්නවද? බොගෙ ඔය විරිත්තිල්ල විනාසෙකට මුල වෙන්න පුලුවං“


සඳමාලි අක්කාගේ හිනාව බෝම්බෙයක් ගැහුව හා සමාන බවට පෙන්වමින් ආච්චම්ම එයාට දොස් පවරනව. ඒ කියන විදිහට පවුලක ගෑනු ලමයෙක්ගෙ හිනාව හිංද ඒ ළමයගෙ පවුලෙ දෙමව්පියං කවිකොල ගහන්න දරං දරුනු විදිහෙ සාහසික විදිහට මැරෙන්න පුලුවං.


 ඒ අතරෙ කඩේට සැරිං සැරේ එන සෙනගට බඩු දෙන්නත්, ඒ ගමංම පුංචිගෙ ලමෙය කොහෙද ගියේ කියල බලන්නත්, විඩිං විඩේ ආච්චම්ම, “ළමෙය කොහෙද බලපං“ කියනකොට ළමයා අසුවල් තැන අසුවල් වැඩේ කරමින් ඉන්න බව කියන්නත් යාම නිසා මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙනව. පුංචිගෙ ළමයත් විටින් විට ටැප්පෙක ලඟ ‘වතුරෙ නැටීම‘, පිහියක් අරං ‘ගස්වලට කෙටීම‘, ගෙයි බඩුමුට්ටු පෙරලීම, පාර දිහාවට යාම ආදී නොයෙක් ‘ඇට්ටර වැඩ‘  කරමින් මාව ඒ තැංවලට ගෙන්වා තමුංව ආපහු ගෙට ඇදගෙන ගෙන්වාගනු ලබනව.


පැය බාගෙයක් තරම ගත වෙද්දි ආච්චම්මගෙ වාග් ප්‍රහාර වලිං බැටකෑ මිනිස්සු රැල බස්සෙහෙකට නැගල පිටත්වෙනව. ආච්චම්මත් පාරෙ දෙපැත්තමත් බලල තවත් කිසිදු මනුස්ස පුලුටක් නැති බව සැකහැර දැනගෙන කනගාටුවෙන් ආයිත් රෙද්ද ලිහල ඇඳං ගෙට එන්න පිටත් වෙනකොටම තවත් දෙතුං දෙනෙක් පාරට එනව.


“බොලා ටිකක් පය ඉක්මං කල්ල ආවනං යන්න තිවුන. බස්සෙක දැං ගියෙ. තාම ඇති නිකෝඩ හංදියටත් පල්ලෙ. ආයි වරුවකටත් බස්සෙකක් තියෙයිද විස්සාස නෑ“


“යේකනෙ මෙනිකේ. සීසේන මාතිය අම්බෙලා කානු කපන්න යෙන්න කීල විත්තරැව්වනෙ. නැත්තං යෙන්න තිවුන“



පෝරකවරෙයක් කිහිල්ලෙ ගහගෙන පොලේ යන්න ඇහිල්ල හිටපු සුප්පරමනියං පාරෙ අයිනට බුලත් කෙල පාරක් එහෙම ගහල ආච්චම්මට කියනව.


“උඹෙ ගෑනි නේද අර සංකරෙයත් එක්ක පැල්ල ගියෙ“


“නේ මෙනිකේ. ඒ පෙනියගෙ පවුල“


“එහෙනං අර කනක්කපුල්ලෙගෙ ගෑනි කිව්වෙ උඹේ ගෑනියි පැල්ල ගියෙ කියල“


“නේ මැනිකෙ. ඒ පොරු. පෙනියගෙ පවුල තමා පැල්ල ගියෙ. දෙං දෙෂියපනා වත්තෙ යින්නෙ“


ඒ දවස්වල අපේ ගමේ වතු දෙමල මිනිස්සුංගෙ පුද්ගලිකත්වයට තිවුනෙ ඒ වගේ තැනක්. සිංහල හැම මිනිහටම මාත්තියා, මෙනිකේ, නෝනා කියන්නත් පෙරලා තමුන් විසිං උඹ, තෝ ආදියෙන් ඇමතුම් ලබන්නත් ඔවුන්ට සිදුවුනා.


ඔය විදිහට ආච්චම්මගෙ අධීක්ෂණය යටතේ නඩ හතරක් පහක් බස්සෙකේ නැගල, ආතත් ඇඳෙං නැකිටල ඇවිල්ල බුලත්විටක් කද්දි, ඔරලෝසුවෙත් වෙලාව දහය විතර වෙනව. මගෙ බඩේ බඩවැල් එකට ගැටගැහිල ඇඹරෙද්දි පුංචිගෙ ළමය විටිං විට ඇවිල්ල ඉස්කෝතු පැකට්, චොකලට්, බනිස් ආදිය අරං යන්න හදනව. ඔව්ව අරං කැඩුවට කන්න බැරුව විසිකරන විත්තිය මම දන්න හිංද මං ඒවත් වලක්වනව. ඒකිටනං උදේට කිරි බෝතලෙයක්ම පොවනවනෙ. අන්තිමට ආච්චම්මට තවදුරටත් ‘පොලේ යන ගොදුරු‘ නැතුව උන්දැ ගෙට එනව. පොඩි ඒකී බඩගිනියි කියල මරහඬ දෙද්දි ආච්චම්ම


“ටිකක් හිටහං. තාම උදේට කිරි බීපු ගමංනෙ. ඔයහැටි මොකද්ද බඩකින්නක්. මේ කහට ඩිංගක් ඉතරක් බීල මං යසට ඉන්නෙ“


කියල ඒකිගෙ කට වහනව. අන්තිමට ආච්චම්ම උදේට උයන්න ලිප ලඟිං ඉඳගන්නකොට උදේ එකොලහට විතර ඇති. 

Saturday, October 17, 2015

පොලේ යාම 02

පොලක්



“දැන වෙළඳං නොදැන ගොයිතැං“

ආං එහෙමයි අපේ ආත වෙළඳං ගැන කියන්නෙ. වෙළඳාම හැමෝටම කරන්න පුලුවං දෙයක් නෙවෙයිනෙ. එහෙම බැරි  එවුන්ට කියන්නෙ ගොයිතැනක් කරන්න කියල. මේ කියන්න යන්නෙ මං කළ වෙළඳං ගැන.

මං පොඩිකාලේ ඉඳංම එක එක රස්සාවල් කලා කියල ඔය කවුරුවත් දන්නෑනෙ. ආ. ඒකට කමක් නෑ. ඒ අතරිං වෙළඳාං අතේ වැඩ කරන්න වුනේ කඩේ සහ පොලේ. කඩේ පසුවට තියල දැං කියන්නං පොලේ වෙළඳාං කළ විදිහ.


අපෙ අම්මගෙ බාලම නගා කසාද බැංදෙ පොලේ වෙළඳං කරන කෙනෙක්ව. එයා එතකොට මයෙ බාප්පනෙ. ඉතිං බාප්පගෙ ගෝලය හැටියට පොලේ යන්න මට අවස්ථාව ලැබුනා. ඒ කාලේ මට වයස අවුරුදු දොලහක් විතර ඇති. ඒ රස්සාවෙ හැටියට මං සිකුරාද හවස සහ සෙනසුරාද වැඩ කරන්න ඕන. ඒ කියන්නෙ මානාන පොලට විතරයි මං යන්න ඕන. ඒ වුනාට අවුරුදු කාලෙට එහෙම සිකුරාද, සෙනසුරාද, ඉරිද, සංදා දවස් හතරම වැඩ. තවත් පොලවල් දෙහෙක යන්න ඕන.


සිකුරාද හවසට ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇහිල්ල හවස් වරුවෙ මං පුබ්බයිසිකලේ අරං මානාන පොලට යනව. ඒ ගිහිං ටික වෙලාවකිං අපේ ගමේ තිවුනු සෙනග අදින ලොරිය වන හිච්චි මාමගෙ ලොරිය ටවුමට එනව. ඒකෙ දාල පුංචම්ම එවාපු පහුගිය සතියෙ ඉතුරු අල, ලූණු, පරිප්පු ගෝනි ටික ලොරියෙං බාගෙන කරේ තියං පොලේ බාප්පට අයිති මඩුවෙං ගිහිං දාන්න ඕන. ඔය වැඩේ ටිකක් අමාරු වෙන්නෙ අපේ ඉස්කෝලෙ මං අඳුරන අය බස් ඉස්ටෑන්ඩෙකේ හිටියොත්. ඒත් මේ වැඩේ නොකලොත් මගෙ ජොබ්බෙකට කෙලවෙනව. ඒ හිංද ඒ වගෙ වෙලාවට මං සෙනගට, වාහන වලට මුවාවෙවී අඩියට දෙකට පොල පැත්තට පනිනව. ඔක්කොම මලු ටික ගෙනිහිං දාල එතන ඉන්න වෙනිං වෙලෙංදෙක්ට අර මලුටික පෙන්නල ‘එහෙනං බාප්ප එනකං බලාගන්න‘ කියල මං එනව ආපහු. ඒ එනකොට බාප්පත් කොළඹ ගිහිං ගෙදර ඇවිල්ල. එයා කොළඹ ගිහිං බඩු අරං එව්ව පොලේ එන ලොරියකට පටෝල බස්සෙකේම එනව.


හවස් වෙනකොට පොලට යන ලොරි පෝලිමට මානාන ටවුම බලා යනව. ඒ සේරම බදුරලිය, පොල්ගම්පොල ආදී පැතිවල එව්ව.

ඩී.පී. ජයසිංහ සහ සහෝදරයෝ
තොග සහ සිල්ලර වෙලෙංදෝ
පොල්ගම්පොල


ඩී.සී.වික්‍රමාරච්චි සහ පුත්‍රයා
සාමාන්‍ය වෙලෙංදෝ
ලත්පඳුර - බදුරලිය


ආදී වසයෙං නං ගහපු ලොරි පුංචම්මගෙ කඩේ ගාවිං යද්දි මහ හයියෙං හෝන්නෙක ගහගෙන, බාප්ප පේන්න හිටියොත් එයාට මොකක් හරි විහිලුවකුත් කරගෙන යනව. එදා හවසට බාප්ප පුංචිව කුස්සියෙ පිලිකන්න පැත්තට එක්ක ගිහිං පුංචිගෙ මූණ දෙපැත්තම ඉඹිනව මං දැකල තියෙනව. ඉං පස්සෙ බාප්ප එයාගෙ තරාදි පඩි තියෙන ලී පෙට්ටියත් ඉටිකොල පොට්ටනියත් පුබ්බයිසිකලේ බැඳගෙන පොලට යනව. එයා රෑට ඉන්නෙ පොලේ. බඩු හොරු ගනියි කියල බයට.


පහුවදා උදේට යංතං එලිය වැටීගෙන එනකොට බාප්පගෙ උදේ බත්මුල ඇරගෙන මං යනව පොලට. ඒ වෙනකොට පොලේ වෙලෙංදො සමහරක් අය නිදි. බාප්පනං ඇහැරල දත මදිනව. එයා මූන හෝදං ඇහිල්ල කොනක ඉඳං පටං ගන්නව ඉටිකොල එලන්න. මුලිංම මඩුවෙ පිටිපස්ස පැත්තෙං බිත්තියක් වගේ හිටින්න ඉටි කොලයක් ඇදල ගැටගහනව. නැත්තං ඒ පැත්තෙ තියෙන මඩ සහ ජරාව එක්ක මිනිස්සුන්ට බඩු එපා වෙනවනෙ. එයිං පස්සෙ මඩුවෙ පොලවට එලනව කලුපාට ගනකම ඉටි රෙද්දක්. ඒකෙ තියෙන මඩ තට්ටුව ඇති කුඹුරක ලියද්දකට. එයිං පස්සෙ ගන්නව ගෝනි මිටිය. අරං එයිං එක එක වෙන වෙනම දිග අතට පොල්ලක් වගේ වෙන්න රෝල් කරනව. ඒ ගෝනි රෝල් අඩි දෙකක් විතර පරතරයෙං ගැටි විදිහට අර කලු ඉටි රෙද්ද උඩිං මඩුවෙ ඉස්සරහිං පේලියට තියනව. එතකොට ඉටිකොලේ සමානව කොටස් වලට බෙදෙනව පාත්ති වගේ. ඒවටත් උඩිං එලනව පලාපු ගෝනි පලු වෙන වෙනම. ඒවට තමයි අල, ළූණු, රතුළූණු ආදිය දාන්නෙ. මං ඔය ගෝනි ටික එලල දුන්නහම බාප්ප පලමුවෙංම කිලෝ දහයෙ අල ‘කෑල්ලක්‘ ඒකට හලනව. ඉං පස්සෙ වෙන වෙනම අනික්වත් දානව. පරිප්පු ජාති දාන්නෙ රතු ඉටි රෙද්දකටයි, කහ ඉටි රෙද්දකටයි. රතු මයිසූර් පරිප්පු රතු ඉටි රෙද්දෙ, කහ මයිසූර් සහ වටාන පරිප්පු කහ ඉටි රෙද්දෙ. තවත් ඉටි රෙද්දකට උඩිං පත්තර එළල ඒකට හාල්මැස්සං කවරෙත් හලනව. වෙන වෙනම ඉටි කවර වල මිරිස්, තුනපහ, කහකුඩු එහෙමත් දාල එව්වට වෙන වෙනම හැඳිත් තියනව. ඒ වැඩේ ඉවර උනහම මඩුවට ඉස්සරහිං මිනිස්සු යන එන හරියට උඩිං රතුම රතු පාට ඉටිකොලයක් ඇදල ගැටගහනව. ඒක අපේ මඩුව ඉස්සරහ වියනක් වගේ තියෙනව. වැස්සෙං අව්වවෙං ආරක්ෂාවට කියලයි ඒක ගැට ගහන්නෙ. ඒ ඉටිකොලේ හරහ එන ඉර එලිය වැදිල මයිසූර් පරිප්පුයි, මිරිස් කුඩුයි, ළූණුයි රතෙං රතට දිලිසෙනව. ඒ එක්කම බාප්ප ලී පෙට්ටියෙං ගත්ත තරාදිය මඩුවෙ වහලෙං එල්ලෙන ලණුවක ගැටගහල එයාගෙ උසට හදා ගන්නව. ලෑලි පෙට්ටිය එයාට ඉඳගන්න විදිහට තියා ගන්නව. සොපිං කවර රුපියල් දෙකේ, රුපියලේ, සතපනහෙ සහ චිකන් කවර වසයෙං වෙන වෙනම කණුවක එල්ලනව. පරිප්පු, මිරිස් තුනපහ දාන ගොසරි කවර ටික වෙනම තියාගන්නව.


ඒ එක්කොම ඉවර කරල ලෑලි පෙට්ටිය අස්සෙං ගත්ත හොඳ ගෝනිය දෙකට නමල තමුං ඉන්න තැනම ඉස්සරහිං තියා ගන්නව. ඒක අස්පංසසට තමයි සල්ලි දාන්නෙ. ඒ ගෝනියට උඩිං කාසි ටිකක් දාල තියනව. ලොකු කොල තියෙන්නෙ ගෝනියෙ කටිං අස්සෙ. සාමාන්‍ය කොල තියෙන්නෙ ගෝනියෙ දෙකට නැවිච්ච පලු දෙක අතර. බාප්ප හඳුංකූරු දෙකක් පත්තු කරල අල, ලූණු, පරිප්පු, මිරිස්, තුනපහ හාල්මැස්සො සේරටම දුං අල්ලනව. සල්ලි ගෝනියටත් අල්ලනව. අන්තිමට තරාදියටත් අල්ලල එකක් මඩුවෙ කණුවක ගහල අනික රටළූණු ගොඩේ එක ගෙඩියක ගහනව. ඒ ටික කරල ඉවර වෙනවත් එක්කම මං කොලෙයක් අරං අද දවසෙ බඩුමිල ලියාගන්නව. ඒක පාඩං කරගන්න ඕන.


පලවෙනි ගනුදෙනුකාරය ඇහිල්ල බඩු ගත්තයිං පස්සෙ බාප්පට දෙන සල්ලි එයා අතේ මිට මොලවල ‘කරස්‘ කියල ඇඟිලිගැට කඩනව. ආයෙත් ඒ සල්ලිය ‘හුම්හ්‘ කියල ඉඹිනව. එයිං පස්සෙ තමයි ඉතුරු සල්ලි දෙන්නෙ.


පලවෙනි වෙළඳාමෙං පස්සෙ බාප්ප බත්මුල අරං තේ කඩේට යනව කන්න. එයා ගියහම මම රතු පරිප්පු රතු ගොසරි කවර වලටත්, කහ පරිප්පු කහ ගොසරි කවර වලටත් දාල පන්සීයෙ, දෙසිය පනහෙ පැකැට් විදිහට ගැටගහනව. මිරිස් කුඩු හා කෑලි මිරිස් රතු ගොසරි කවර වලටත්, තුනපහ කුඩු ලා කොලපාට කවර වලටත්, කහකුඩු කහපාට කවර වලටත් දාල සීයෙ සහ පනහෙ කවරත් කිරනව. මනුස්සයෙක් ඉල්ලපු ගමන් දෙන්න පුලුවං හිංද ඒක ලේසියි.


බාප්ප කෑම කාල එනකොට මං වෙළඳං දෙක තුනක් කරල අහවරයි. තව පැයක් දෙකක් යනකොට පොලේ සෙනග පිරෙනව. ඒ එක්කම පොල මහා ගාලගෝට්ටියක් බවට පත්වෙනව. හැමෝම මංතරෙයක් වගේ ලාබයි ලාබයි කියනව. මලු, කූඩ ආදිය එල්ලගෙන එන ගෑනු අය අපෙං ගනං අහනව.


අල කීයද?


රටාල පංසිය තියයි ලංකාල පංසියතලියයි


බාප්ප ගනං කියනව. සමහරු ගනං අහල “ස්ඌ“ කියල විස්මය පලකරල යනව. තව සමහරු තෝරල බලල “හරිනැහ්“ කියල යනව. තවත් සමහරු තෝරල දෙසිය පනහක් ගන්නව. ඒ වුනාට බාප්පටම ඇලිච්ච පාරිබෝගික සෙට්ටෙකක් ඉන්නව. ඒ අය ගනං ඇහිල්ලක් බැලිල්ලක් නෑ ආ ගමං


මට අල පන්සීයයි ලූනු පංසියයි .............................................. දාල තියන්න මං එන්නං


කියල යනව. එතකොට මං ඒ සේරම කොලේක ලියාගෙන බාප්පට කියල කිරෝල ගනං හදල බඩුටිකත් සොපිං කවරෙක දාල තියනව. ඒ අය ඇවිල්ල


ගාන කීයද?


අහපු ගමං බාප්ප එයා ඉල්ලපු බඩු මල්ලට දාල තියෙන තුණ්ඩුව අතට අරං


එකසිය අනූ පහයි. එකසිය අනූවක් දෙන්නකො


කියනව.


සමහර වෙලාවට අපේ ඉස්කෝලෙ යන ළමයි හොඳ ඇඳුං ඇඳල සැං පවුඩර් එහෙම දාල අම්මල එක්ක පොලේ එනව. ඒ වෙලාවට මං මූන හංගගන්නව. නැත්තං ඒ අය හිනහ වෙන්න පුලුවං. දවසක් අපේ පංතියට එහා පංතියෙ කෙල්ලෙක් තව කෙල්ලෙක්ට මාව පෙන්නල.


අර ලමෙය පොලේ මුදලාලි කෙනෙක් ගාව බඩු කරගහනව


කිව්ව එක මට හොඳට මතකයි.


සමහර වෙලාවට මට ගනං මතක නැතිවෙනව. ඒ වෙලාවට බාප්පගෙං රැවුමක් ගෙරවුමක් වරදින්නෙත් නෑ. දවල් වෙනකොට සමහර බඩු භාණ්ඩ විකිනෙන්නැති හැඩක් පේන්න තිවුනොත් බාප්ප මාව ක්‍ෂේත්‍ර චාරිකාවක යවනව.


ගිහිං ලංකාල කීයද කියල බලං වරෙං


මං බාප්පගෙ ගෝලය කියල දන්න හිංද පොලේ වෙලෙංදො මට ගනං කියන්නෑ. ඒ හිංද මං කරන්නෙ පාරිභෝගිකයො වෙලෙංදංගෙං ගනං අහනකං ඉඳල ඒව මතක තියාගන්න එකයි. තැං කීපෙක රස්තියාදු ගහල ගනං අහගෙන ඇවිල්ල මං බාප්පට කේලම කියනව.


රංසිය ගාව තිස්පායි, සුමතියයි කලුවයි දෙන්න ජරාවක් ගෙනැත් තිහට දෙනව. ඒකට තමා සේරම සෙනග යන්නෙ. උං තෝරන්න දෙනව.


බාප්ප මිල සංශෝධනය කරනව. ඒ අනුව නවමිල රුපියල් තිස්පහයි. මං මගෙ මිල දර්ශනයත් සංශෝධනය තරල සාක්කුවට දාගන්නව. මිනිස්සු තෝරල ආසනාසි කරපු අල, ලූණු ගොඩවල් එක්කහු කරල ආයි ගොඩවල් ගහනව. ඔය අතරෙ තියෙන පැත්තක් නරක් වෙච්චි අලයි ලූනුයි මං වෙනම කවරෙකට එක්කහු කරනව. ඒවගෙ නරක් වෙච්චි පැත්ත කපල දාල හොඳටික කන්න ගන්න පුලුවං. මං ඒ ටික ගෙදර ගෙනත් අම්මට දෙනව මට බැදල දෙන්න කියල.


ඔය අතරෙ සමහර වෙලාවට සල්ලි මාරු කරගන්න වෙනව. ඒවගෙ වෙලාවට බාප්ප මට රුපියල් පන්සීයක් දෙනව.


මාරු කරං වරෙං


කියල. එතකොට මං ගිහිං වෙලෙංදො කීප දෙනෙක්ට වැඳල යංතං ඒක මාරුකරං එනව.


දවල් එක විතර වෙනකොට පුංචම්ම අපි දෙන්නට බත් අරං පොලට එනව. බාප්ප මුලිංම ගිහිං කාල එනකං පුංචම්ම ලොකු මුදලාලි වෙලා පෙට්ටිය උඩිං ඉඳගන්නව. බාප්ප මාසෙකටම සැර කරන ටික ඒ පැය බාගෙට පුංචි ගොරෝනව. පුංචිගෙ කටේ සැර හිංද වෙලඳං බහින්න පුලුවං බව දන්න හිංද බාප්ප ඉක්මනට කාල එනව. එයිං පස්සෙ තමයි මං කන්න යන්නෙ. මාත් කාල ආවට පස්සෙ බාප්පගෙං රුපියල් දාහක් විතර ඉල්ලගෙන පුංචි යනව යන්න.


හවස වෙනකොට බඩු ගේන ලොරියෙ මුදලාලි ඇවිල්ල කොළඹ ඉඳං බඩු ගෙනාවට සල්ලි ඉල්ලගන්නව. එයා ගනං හදල බලල කිලෝ එකට රුපියල ගානෙ අය කරගන්නව.


හැන්දෑ වෙනකොට සෙනග ඇහිල්ල ඉවරයි. සෙනග එකා දෙන්න යන එන අතරෙ මං බාප්පගෙං අවසර අරං හඳුංකූරු විකුණන වෙලෙංද හම්බෙන්න යනව. එයා ගාව තියෙන ‘පංචාවතී‘ හඳුංකූරු පැකැට්ටෙකක් රුපියල් පහක් දීල ගන්නව. ඒ හඳුංකූරු අඟල් දෙකකට වඩා දිග නැති උනාට සුවඳයි. ඒව පත්තු කරල පැකැට්ටෙකේම තියෙන සිදුරක ගහන්න ඕන. සමහර වෙලාවට පරණ රෙදි හෝදල ගෙනත් විකුණන ආච්චිගාවට ගිහිං මගෙ සයිස්සෙකට හරියන සුදු කලිසං තියෙනවද බලනව. මං මගෙ මුල්ම සුදු කලිසම ගත්තෙත් එතනිං රුපියල් හැත්ත පහකට. ඉස්කෝලෙං දෙන සුදු රෙද්දෙං මහන්න පුලුවං එක සූට්ටෙකක් විතරයි. ඒක හිංද මං මගෙ සති තුනක පඩි එකතු කරලයි ඒ කලිසම ගත්තෙ.


හැන්දෑවෙ පහමාර හය වෙද්දි පොලේ එන සෙනග ඇවිල්ල ඉවරයි. ඒ වෙනකොට පොළ අකුලන්න පටං අරං. පැකැට් බඩු සේරම වෙන වෙනම කවරවල දාල අහුරන්න ඕන. ගොඩවල් ගහල තියෙන බඩු වෙන වෙනම ගෝනි වලට අහුරන්න ඕන. පත්තර, සොලිං කවර ආදිය ලැලි පෙට්ටියට දාන්න ඕන. තරාදියත් දාන්නෙ ඒ පෙට්ටියටමයි. තෙමිච්ච ඉටිකොල තියේනම් ඒව වෙනමම මිටියක් බඳින්න ඕන. බඩු ගෝනිවලට දාන වැඩ තනියෙං පුලුවං උනාට බාග, කාල වගේ පිරිච්ච ගෝනි දෙක තුනක් එක්කහු කරල එක කවරෙට දානව වගේ වැඩ තනියෙං බෑ. බාප්පත් ඒ වැඩ වලිං ටිකකට උදව් වෙලා ඉං පස්සෙ සල්ලි ගනං කරනව.


ගෝනි වලට දමාපු බඩු වෙන වෙනම ගැට ගහල ඒව මාරුවෙනවට මාකර් පෑනෙං බාප්පගෙ නමේ කෑලි දෙකේ මුල් අකුරු දෙක ලියනව. ඒ අකුරු දෙක දැක්ක ගමං නාට්ටාමි දන්නව කාගෙද මේව කියල. ලොකු බඩු මලු නැත්තං අපි දෙන්නම බඩුටික ලොරියට පටෝනව. එතන එකම යුද්දෙයයි.


“මොක හු** කරන්නෙ. දිය ඔය ප** උඩට ටිකක් උස්සල“


“ඒකනං දෙන්න බෑ මෙතන. වර ආං අර මුල්ලට“


“ගං මේක විගහට බි** කහ කහ ඉන්නෙ“


“හූ.... හීං ඇටේ හූ“


ඔය අතරෙ එනව පොල අතුගාන අය. ඒගොල්ලං බිම බලාගෙන බොහොම පරිස්සමට ඇවිදිනව පරන ගෝනියක් අතිං අරං කරේ එල්ලගෙන. එකෙක් ලීස් සුද්දකරපු තැනක බිම ඉඳගෙන ඒ කොල ගොඩ තෝරනව. තව එකෙක් ගෝව සුද්ද කරල අහක දාපු කොල ගොඩක් ළඟ ඉඳං ඒකෙ කොල තෝරනව. ඉඳල හිටල එතෙන්ට එන හරකෙක්ට කෙහෙල් ආරෙකිං ගහල එලෝල ඒ අය දිගටම තමුංගෙ වැඩේ කරගෙන යනව. අපි ඉන්න මඩුව හරියෙ උංට එන්න දෙන්නෑ. උං “ලෝක හොරු“ හැටියට බාප්ප මට හඳුන්වා දීල තියෙන්නෙ. මං දවල් දවසෙ එකතු කරපු බාගෙට නරක් වෙච්චි අල ලූණු මල්ල මඩුවෙ වහලෙං එල්ලනව. බඩු පටෝල අහවර වෙලා සල්ලි මල්ලෙං ටෝච්චෙක අරං මඩුවෙ බිම හැමතැනම පරික්සා කරනව. ඔය විදිහට ඉස්සර දවසක් බාප්පට බිම තිවිල රුපියල් පනහක් හමුබවුනාලු. බිම අස්සක් මුල්ලක් ගානෙ බැලුවහම අතට අහු නොවිච්ච අලෙයක්, ලූණු ගෙඩ්ඩක් එහෙම සමහර වෙලාවට හම්බුවෙනව. එව්වත් මගෙ බාගෙට කුණු මල්ලට යනව. අහක දාපු සොපිං කවර පවා ගසල බලල සැකහැර දැනගෙන අපි යන්න යනව.


මඩුවෙ පිටිපස්සෙ තියෙන පුබ්බයිසිකලේ අරං බාප්පයි මායි ටවුමෙ හෝටලේකට යනව. බාප්ප ගොඩක් දවසට යන්නෙ ගීතිකාලගෙ හෝටලේට. ආං එදාට බොක්ක ගැහි ගැහි මං ඉන්නෙ හොස්ස බිමට පාත් කරගෙන. සමහර දවස්වලට ගීතිකා කඩේ හිටියොත් මං මුල්ලකිංම ගිහිං වාඩිවෙනව. තමුංගෙ පංතියෙ හතරවෙනිය වෙච්චි එකා කුණු නාගෙන, ලූණු හාල්මැස්සං සුගන්ධයෙන් යුතුව තමුංගෙ කඩේ ඉන්නව දැක්කොත් පහුවදාට පංතියෙ හැටහුටාමාරක් ඉදිරියෙ ඕකි මගෙ සායම අරින බව මං හොඳටම දන්නව. දෙපැත්තෙං වේපස් තට්ටු දෙකක් තියෙන පාට තුනේ කේක් කෑල්ලක් කාල සීනි දාපු පේන්ටියක් බීල බාප්පයි මායි පාරට බහිනව. එතකොට පොලේ අහකදාපු ලීස්, ගෝව කොල අහුලපු අය ඒව පුරෝපු ගෝනි අරං හෝටලේ පස්ස දොරෙං කුස්සියට රිංගනව.


බාප්ප බයිසිකලේ පාගද්දි එක අතකිං සල්ලි බෑක්කෙකත් අල්ලගෙන අනික් අතිං ටෝච්චෙකත් අල්ලගෙන ඒ අතේම මගෙ සාගත මල්ලත් එල්ලගෙන මං බයිසිකලේ පොල්ලෙ ඉඳං ඉන්නව. ඉස්සරහට එන වාහනවල එලිය ඩිම් කෙරුවෙ නැතොත් ටෝච්චෙක ඒ වාහනේ මූනට අල්ලල පත්තු කරල නිමන්න ඕන දෙපාරක්. එතකොට ඒ වාහනවල එලිය පාතට කරනව. එහෙම නොකරපු වාහනයක් අපිව පහුකරද්දි බාප්ප


“බොගෙ අම්මට හැ**** වේ* බල්ල“


කියල ඒ රථයෙ රියදුරාට සුභාසිංශන පතනව.


අපේ ගේ ගාවිං මාව බස්සල සල්ලි බෑක්කෙක ඇදල රුපියල් තිහක් ඇරං බාප්ප මගෙ අතට දෙනව. ඒ තමයි මගෙ පඩිය. මං කරුවලේම පල්ලම බහිනව. වෙනද වගේම අම්ම දොරකඩ බලං හිටල මං එනකොට ගෙට යනව. අදත් තාත්ත බීල. එයා ඇස් කරකෝල මගෙං අහනව


“තෝ කොහෙද බල ගියෙ?“


“පොලේ ගියා. බාප්ප එක්ක“


තාත්ත තොරතෝංචියක් නැතුව මට බයින්න පටං ගන්නව. නාගෙන ඇහිල්ල බත් කාල නිදාගන්නකනුත් බනිනව.


“තොට මේ ගෙදර එක වැඩක් කොරන්න බෑ. එක එක වේ** පුතාල එක්ක අවලමේ යන්න පුලුවං. තෝ දැං මහලොකු එකෙද්ද බොල? ඇහ් ක්හ්ං.......................................“


ඇඟේ මහංසියට මට නිංද යනව. මට සංතෝසයි . මාත් හම්බුකොරන මිනිහෙක්. හෙට උදේට අල, ලූණූ එකට දාල බැදුමක් කෑහැකි.