Follow by Email

Monday, September 28, 2015

තෙල් නාට්ටි නොහොත් ටෙලි නාට්‍ය


ටෙලි නාට්‍ය. මේ වචනෙ දකින කොටත් සමහරුන්ට “ඔවෑක්“ කියා වමනෙ යන්න එනවා ඇත. තවත් සමහර අය “අලුත්තෙකක් දැ“ යි සිතෙන්නට පුළුවන. ඒ කෙසේ උවත් ටෙලිනාට්‍ය අපේ ජන ජීවිතයට මිරිස් තුනපහ තරම්ම සමිපයි.


එකදාස් නවසිය අනූ එක වසරේ දිනක හැන්දෑවක මහගෙදර මිදුලේ තිබූ හොඳ රඹුටං ගහේ මුදුනට වෙන්නට ගැටගැසූ උණ ගහක කරටියේ රැඳවූ දෙපැත්තටම උල් තියෙන රේක්කයක් වගේ එකක් සහ ගේ ඇතුලේ තැබූ සුදුපාට බුබුලු පේන පෙට්ටියක් අතර රෙදි වැලක් වගේ පටියකිං සම්බන්ධයක් ඇති කිරීමෙන් අපේ පවුලට ‘තෙල්නාට්ටි‘ කියන වර්ගය කඩාපාත් වුනා. එවකට කරන්ටෙක කියා දෙයක් නොතිබූ අපේ ගමේ මේ අරුම පුදුම පෙට්ටියෙං රූප (වැඩිහරියක්ම බුබුලු) බලන්ට බැට්ටියක් තිබුනා. ඒ බැට්ටියේ සාරය උරාගන්ට වෑර් දෙකකිං ටීවියෙකට සම්බන්ධ කිඹුල් කටවල් දෙකක් සිය දත්වලිං බැට්ටියේ දෙකොන තනපුඩු දෙක විකාගෙන හිටියා.  


ඒ කාලෙ එතැනට පෙනුනෙ ජාතික රූපවාහිනිය විතරයි. ඒකත් යාන්තමට. සතියකට වතාවක් අලුත් උණ ගහක් කපාගෙන ඇවිත් ඇන්ටනාව වඩා උස තැනක බැඳල අලුතිං චැනල් ඇල්ලීමේ නාඩගම නැටීමට මාමත්, පුංචම්මත්, අප පියානෝත් ක්‍රියා කලා.


“ආං හරි සෝම්පාලයියෙ තව ඩිංගක් එහාට ගිනියන්න“

“නෑ නෑ. අනික් අතට“

“ආ...ආං යංතං මොකද්ද පේනව. අයිටියෙන්නෙක වගේ.. තව පෝඩ්ඩක් කරකවන්න. ආං නැති උනා“

ඔය ආදී වසයෙං එපා වෙනකං ඇවිදල ඇවිදල අන්තිමට එක තැනක ඇන්ටනාව හිටවනව. ඒ කොහොම කරත් කඳුවලිං වටවෙච්චි එතැනට හැමදාම අහුවෙන්නෙ ජාතිකේ විතරයි. ඒකත් සුදුරුදු පරිදි සුළඟේ ලෙලදෙන කොඩි වාගේ නැත්තං පසෙං උඩට ආපු ගැඩවිල්ලු වගේ සර්වාංගෙම ලෙලදෙන පින්තූර, පෝලිමට උඩයන පිංතූර එක්ක. ඒවත් පේන්නෙ බුබුලු ගොඩක් මැද යාංතං ඉස්මතුවෙලා. ඉතිං සමහර වෙලාවට ගෙදර කට්ටිය වාද විවාද පවා කරගන්නව කවුද ඒ චරිතෙ කියල හොයාගන්න.

“ඒ දීප්ති නෙ අම්මෙ“


“මොන ජීප්පියද්ද. අර නාකි ගෑනිනෙ. සරුවාලෙයක් වගෙ ගවුමක් ඇඳං ඉන්නෙ“


“ඒ අම්මට පේන හැටි“


“බොල කටවහගෙන බලහල්ලකො. කියන එකක්වත් ඇහෙන්නෑ“


බොහෝ වෙලාවට කටහඬිං ඒ කවුද කියල අඳුරගන්න පුළුවං හිංද වැඩේ ගොඩිං බේරෙනව. ඒ වුනාට මනුස්සයෙක් අඳුරගන්නවත්, වාහනේ කාර්රෙකද්ද බස්සෙකද්ද කියල හිතාගන්නවත්. අමාරුයි. වාහනේක සද්දෙත් එක්ක හතරැස් හෝ වලාකුලක් වගේ පැල්ලමක් තිරේ හරහ යනවනං ඒක වාහනයක්. ඒ පැල්ලම නැවතිල තවත් උස ඉටිපන්දමක් වගේ පැල්ලමක් ඒකෙං වෙංවෙලා ඒත් එක්කම “ටිං ටිං“ කියල බෙල් සද්දෙයක් හෝ “හරියං හරි“ කිව්වොත් ආන්න ඒ පෙරකී පැල්ලම බස්සෙකක්. අර ඉටිපංදම වගේ එක මිනිහෙක්. එහෙම නැතුව “එහෙනං මං ගිහිං එන්නං“ කියල “දොක්“ කියල දොරක් වහන සද්දෙයක් ආවොත් ඒක කාර්රෙකක්. “දොක්“ සද්දෙ වෙනුවට “රාආආස් දොක්“ කියල සද්දෙයක් ආවොත් ඒක වෑන්එකක්. ආං එහෙමයි නිරීක්ෂණයෙං නිගමනයට එළබෙන්නෙ.


ඒ දවස්වල හැමදාම ටෙලිනාට්ටි නෑ. දවසගානෙ පත්තරේ අග පිටුවට පිටු දෙකක් මෙහා පිටුවක රූපවාහිනියෙ වැඩසටහන් විස්තරේ තියෙනවනෙ. එක නාට්ටියක් සතියට එක පාරයි තියෙන්නෙ. දවසට එක ටෙලිනාට්ටියක් විතරයි තියෙන්නෙත්. ඒ හිංද හැමෝටම අනිවාර්යෙංම ටෙලිනාට්ටිය තියෙන වෙලාවට ඒක බලන්න පුළුවං. හැබැයි වෙළඳ දැන්නීම් දාන වෙලාවට ඇරෙන්න අනික් වෙලාවට ‘මීක්‘ සද්දෙයක් කරන්න තහනං. ආතා පිටකරන වායු නාදෙට පිළිතුරු වායු නාදය පිට කරන්න ආච්චම්මට ඒක බාදාවක් වුනේ නැ.


ඒ කාලෙ තිවුන ටෙලි නාට්ටි වලිං මට මතක ‘දූ දරුවො‘ නාට්ටිය. ඊළඟට ‘දඬුබස්නාමානය‘. දූ දරුවො එකේනං මොනව තිවුනද මතක නැතත් දඬුබස්නාමානය නම් මතකයි. ඒකෙ තියෙන අංගම්පොර සටං කලාවට මං හරිම ආසාවෙං හිටියෙ. ඒ වගේ උඩිං පිනුමක් ගහල ගිහිං අනික් එකාට පයිං පාරක් දෙන්න.


පස්සෙං පහු කාලෙක ගමට ලැයිට් ආවත් එක්කම අපේ ආච්චම්මත් ‘කලර් ටීවී‘ එකක් ගෙනාව. ඒ වෙනකොට චැනල් දෙක තුනක් දක්වා බලන්න පුලුවං තරමට වටේ පිටේ කලඑලි වෙලා තිවුන. ඒ කාලෙත් රෑට ටීවී බලද්දි අපේ ආත ටීවීයෙක කෙලිංම අඩි තුනක් විතර දුරිං පුටුවක් තියල ඉඳගන්නව. ඉං පස්සෙ තව ටිකක් ඉස්සරහට නැමිල ටීවියෙක දිහා බලනව. හරියට දැන්වීමක් දිහා බලනව වගේ. එතකොට අනික් අයට ඒක බලන්න වෙන්නෙ එබිකං කරල. ඔය ප්‍රශ්ණෙට විසඳුමක් විදිහට දෙයියෙක් වගේ දොස්තර කෙනෙක් දවසක් ටීවි එකේ වැඩසටහනකදි කිව්ව ටීවියෙකේ තිරේ වගේ හත් ගුණයක් දුරිං ඉඳ මිසක ඒක බලන්න එපාය කියල. මං ඒක ආතට පෙන්නල අනුමැතිය අරං  අඟල් එකසිය හතලිස් හතක් ටීවී එකේ ඉඳං දුර මැනල බිම සිමෙංතිය යකඩ ඇනේකිං හූරල ලකුණු කරල දුන්න. එයිං පස්සෙ ආත ටීවී බලන්න එනකොට ප්ලාස්ටික් පුටුව පස්සට තියල අල්ලගෙන බිම බලාගෙන එනව අර ලකුණ හොයාගන්න හරියට බිම වැට්චි කරාබුවක පස්ස බෝලෙ හොයන්න වගේ. හරියටම අර ලකුණ හොයාගත්තට පස්සෙ පුටුව එතනිං තියල ඉඳගන්නව. ඒ ප්‍රශ්ණෙ විසඳුව කියමුකො. තව ප්‍රශ්ණයක් නිකම්ම ඇතිවෙනව. හරියටම අඟල් එකසිය හතලිස් හත එන්නෙ සාලෙට ඇතුල්වෙන දොරකොඩට. ආත දොරකොඩිං පුටුව තියාගත්තම එතනිං යන අයට යන්න වෙන්නෙ හරහට.


ඔය කාලෙදි තමයි ටෙලි නාට්ටි වැහිවහින්න පටං ගත්තෙ. “ආදර වැස්ස, සෙනේ වැස්ස, මුරුගසං වැස්ස“ ආදී වැසි, යායවල්, පිනි සංයෝගයෙන් ඇතිවුනු සල්ලි ඇති හා එදාවේල හොයං කන පවුල්වල ගාලගෝට්ටිවලිං පිරීගිය ඒ නාට්ටි දිරවාගන්න අපේ ආතගෙත් ආච්චිගෙත් මොළකැටි සිත්වලට බැරිවුනා. එකම නලුවා, නිලිය එකවර ටෙලිනාට්ටි දෙකතුනක රඟපාද්දි ඒ දෙන්න මංඥං වෙලා ගියා. එක දවසක් චතුරිකා පීරිස් ඉන්න මොකද්දෝ ටෙලිනාට්ටියක් බලන ගමං ආච්චම්ම චතුරිකාට පලුවිසිවෙන්න බයිනව.


“නිද්දකිං විතරක් මේ දැං හැදෙන පට්ට වේ* ගෑනුංගෙ හැටි. මේ ගෑනි ඊයෙ අර ටීවිලියක් එලෝන එකා එක්ක පවුල්කෑව. අද බලහංකො තට්ටං දෙක හිරවෙන්න කලිසමකුං ගහං මේ කාරකාරයෙකුත් එක්ක රෝංදෙ යනව. ඕං අදකාලෙ ගෑනු.“


එකම නිලිය හිටියට ඒ ටෙලිනාට්ටි දෙකක් කියල කියා දෙන්න කතාවෙ කොටස් දෙකක්ම කැප කරන්න ගෙදර අයට සිද්දවුනා.


ඔය කාලෙදි හුඟක්ම ටෙලිනාට්ටිවල දුප්පත්, පෝසත් පවුල් අතර ආදර අන්දර මගිං නාලන් මෙන්ඩිස් ඇතුළු තවත් පිරිසක් සෑහෙන හම්බකෙරුමක් කරගන්න ඇති. ඒ අතරෙම මට මතක තවත් එක් පරන නිලියක් ටෙලිනාට්ටි කරන්න පටං ගත්තා. එයාගෙ ටෙලිනාට්ටි පිටරට රූගත කරපු ඒව. එහෙමයි දැන්වීමෙ දාන්නෙ. “අසුවල් නිලිය විසින් සීතල ඉතියෝපියාවේ දී රූගත කළ නවතම ටෙලි අන්දරය“ කියල. බොහෝ වෙලාවට කාමර අස්සෙ, ගෙවල් අස්සෙ කතා කරන එව්ව විතරයි ඒවගෙ තියෙන්නෙ. සමහර වෙලාවට ඒ ලංකාවෙම වෙන්නත් පුලුවං කියල මට හිතෙනව. කලාතුරකිං පිටරටක ගෙයක් වගේ පේන ගෙයක් ඉස්සරහ තියෙන වාහනයක් පිටත්වෙලා යනව වගේ දර්ශනයක් පෙන්නල ඒ නාට්ටිය ‘පිටරටක කරපු එකක්ම තමා‘ කියල පෙන්වන්න උත්සාහ කරනව.


කොහොම කලත් ලංකාවෙ ටෙලිනාට්ටිවලට ආවේනික ලක්ෂණ කීපයක් තියෙනව. මටනං එව්ව අස්වාභාවිකයි. මුල්ම දේ තමයි බොහෝ වෙලාවට දෙන්නෙක් කතාකරනව නං ඒ දෙන්නම කතා කරන්නෙ ඉස්සරහ කැමරාව දිහා බලාගෙන. මූනට මූන බලාගෙන කතා කරනව අඩුයි. හරියට නිකං වේදිකා නාට්ටිවල වගෙයි. ගොඩක් වෙලාවට එහෙම කතා කරන්නෙ ගෙදර සාලෙ, නැත්තං ඉස්තෝප්පුවෙ. තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි වචනෙං වචනෙ බොහොම හෙමීට කියන්නෙ. සාමාන්‍ය මිනිස්සු කතා කරන තරං වේගෙං කතා කරන්නෙම නෑ. ඒ වගේම තමයි ඒ කියන දේවල් හරියටම ගලපල කියනව, ප්‍රශ්ණ පත්තරේකට උත්තර ලියනව වගේ හරියටම. පොඩ්ඩක්කත් වරදින්නෑ. ඒකත් හෙනම අස්වාභාවිකයි. අනික් අස්වාභාවිකම දේ වලියකදි උනත් එකෙක් කියල ඉවරවෙනකං අනික් එක්කෙනා කටවහගෙන බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්න එක. ඒ ඔක්කොමත් අතරෙ අස්වාභාවිකම ලකුණ හෙවත් හලානොගත් වල්ගය තමයි කාන්තාවො ගෙදරට ඔසරි ඇඳීම. මගෙ ජීවිතේට හැබැහිං දැකල නෑ ලංකාවෙ කාන්තාවො කවුරුවත් ගෙදර ඉන්නකොට සාරි අඳිනව. ඒ නැට්ටනං හලන්නම ඕන.


මේ සේරටම වඩා එපාවෙන දේ තමයි ඉංදියාවෙන් ගෙනාපු වහුකුනු නාට්ටි. එව්වයෙ ඉන්න එවුන්ට වචනයක් කියාගන්න සෑහෙන වෙලාවක් යනව. එව්වයෙ දෙබස් කියන්නෙ මේං මේ ආකාරයට. අතරමැදි කාලය තත්පර වලිං දක්වන්නං


“ඔයා..(තත්පර 2).. මගේ ..(තත්පර 2).. දරුවෙක් කියල ..(තත්පර 4).. කියන්නත් ලැජ්ජයි ..(තත්පර 4).. සායිල් ..(තත්පර 2).. ගොයිං කා.“


මේක කියන ගමං වචනයක් ගානෙ ඒ සීන් එකේ ඉන්න හැමෝගෙම මූනු පෙන්නනව. එකෙක් හැරුනොත් ඒකටත් තප්පර තුනක් විතර ගන්නව. කතාවෙ මොකක්හරි තීරනාත්මක දෙයක් ගැන කියනවනං එහෙම “චාල් චාල් චාල් චාල්“ කියල මහා විනාසකාරී සංගීතයක් එක්ක වටේපිටේ ඉන්න සේරගෙම මූනු, අතපය, ඇඳුං පැළඳුං ආදී සේරම පෙන්නනව. අන්තිමට කියන්න තියෙන දේ ඊළඟ දවසෙ තමයි කියන්නෙ.


ඒව කොපි කරල හදන ලංකාවෙ ටෙලිනාට්ටි ඔක්කොටම එහා. එව්වයෙත් ඔය ඉහතකී අංග ලක්ෂණ සේරම තියෙනව. ඒ අතරෙ කතාව ඇදගෙන යන්න ඕනෑවට චරිත සේරම වටේ යනව. එව්වයෙ තියෙන සිංදුත් ඒවගේ මට හොඳටම මතක සිංදුවක් තියෙනව. ඒකෙ එක පදයක් මට ඇහෙන්නෙ “සුළැඟිලි පවා හැ**ය හැකී“ කියලයි. බලන්නකො බොරුද කියල.






දැං ඔය සූරියවාහිනියෙ තියෙනව එක ගම්බද මන්තර ගුරුකං තියෙන කතාවක් ඒකෙ තියෙන්නෙ තනිකර හැංගිමුත්තං සෙල්ලමක්. ඕං ඒකෙ එකෙක් බෝම අමාරුවෙං හොයල ගෙනත් තියාගෙන අනික් පැත්ත බලනකොට අනික් එකී කැලේ පැනල. ඉතිං ඒ කැලේ පැනපු එකී හොයන්න යනකොට මේ ගෙනාපු එකාව වෙනිං එකෙක් උස්සල. ඔය අතරෙ සමහර චරිත ඉන්නව උං මහ මෝඩ මැටි හරක් විදිහට හැසිරෙන. සමහර ප්‍රශ්ණ විසඳන්න තමුං දන්න දේ එක වචන දහයෙං කියල ඉවර කරන්න පුලුවංකම තියෙද්දි උං පැය ගනං වෙන වැල්වටාරං කියෝනව. සමහර ටෙලිනාට්ටි තවත් ඇදගෙන යන්න බැරුව අවසං කරන්නම ඕන තැනට වැඩ යෙදෙනව. ඒ කියන්නෙ මෙතෙක් කල් හොයපු තමුංට හොයාගන්න බැරිව නැතිවෙලා හිටපු ආදරවන්ති දැං මේ මූනට හම්බු වෙන්නයි යන්නෙ. එතකොට තව එක කොටසිං දෙන්න බැන්ද වැඩේ ඉවරයි. ආං ඒ වගේ වෙලාවට උං දෙන්න අඳ, ගොලු, බීරො වගේ හැසිරිල දෙන්නට දෙන්න නොපෙනෙන්න ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට පත්තරේකටවත් මුවාවෙලා දෙපැත්තට මාරුවෙලා ආයිත් හම්බ නොවෙන්නම දුරස් වෙනව. තව කොටස් ගානකට වැඩේ ඇදෙන්න.


මේ කොයික උනත් මේ නාට්ටි බලන්න කොටසක් හැදිල ඉවරයි. ඒ අය මෙව්ව බලනවමයි. එහෙව් අයට ගානක් අතට දීල “අහුවල් එක බැලුවත් සල්ලි තමයි“ කියල කියෝල තවත් ටිකක් ගොඩ වැඩිකරගන්න හරිම ලේසියි.


ඒ වගේ අය චැනල් තුනක විතර ටෙලිනාට්ටි නවයක් විතර දවසකට බලනව. එකක වෙළඳ දැන්වීම් යද්දි අනිකට ආදී වසයෙං දුරස්ථ පාලකයට දැඩි දඬුවං දෙමින් කොහොමහරි එක කොටසක්වත් අතනෑරි බලන්න ඒ අය තනි අතිං බත්පංගුව අල්ලගෙන හෙන ගේමක් දෙනව. එක කොටසක් හරි මගහැරුනොත් පහුවදාට ඔෆීසියට ගිහිං ඒ කොටස අන්තර්ජාලෙං බලාගන්නත් පුළුවං.


ඇත්තටම මිනිස්සුංගෙ කේන්ති අවුස්සන එක ඇරෙන්න වෙනිං වැඩක් නොකරන මේ ටෙලිනාට්ටි වලට වඩා බලන්න හොඳ දේවල් නැද්ද? මට එහෙම හිතිල තියෙනව. ආං ඒකට මං හොඳ දෙයක් හොයාගත්තා බලන්ඩ. මොනවද? මොනවත් නෙමෙයි වෙළඳ දැන්නීම්? ආං බලන්නකො නිර්මාණශීලීත්වය උපරිමයි. නංගිට ක්‍රීම් කැකර් ගන්න බස්සෙක ආපහු ගාල්ලට ගෙනියන සී.ටී.බී කොන්දොස්තර,  සුපර් ක්‍රීම්කැකර් ගැන කියන සුපර් මෑන් ආදී නිර්මාණශීලී  දැන්වීම් එයිං කීපයක් විතරයි. ඔය අතර ඩෙල්මා හැපිබෝයි කැටේ දැං තිස්පායි කියල තුං පාරක් කියෝල කටපාඩං කරවන එක ආදී එපාකරපු ඒවත් තියෙනව. ඒ කොයිහැටි වෙතත් බත්කන වෙලාවට හාපික් ඇඩ්ඩෙක නොපෙන්නා ඉන්නවනං හොඳයි කියල විතරයි මට කියන්න තියෙන්නෙ.

Thursday, September 10, 2015

සා






 
එක්තරා ගහක් ගැනයි අද කියන්න හදන්නෙ. මේ ගහට පුළුවන් ඕනෑම තරාතිරමක ලොක්කෙක්, සල්ලිකාරයෙක් තමුංගෙ පාමුලට, වන ලැහැබකට, කටුමැටි පැළකට ගෙන්නන්න. එහෙනං දන්න අය කියමු බලන්න මොකද්ද මේ ගහා....ආ..


ආ. දන්නෑ නේද. මේ තමයි කිතුල් ගහ. මේක තාල වර්ගයට අයිති ගහක්. තාල වර්ගයට කියන්නෙ ‘තාල ඇල්ලීමට‘ උදව් උපකාර කරන ද්‍රව්‍ය ලබාදෙන ගස්. කිතුල්, තල්, පොල් ආදී කොයි ගහෙනුත් ඔය විදිහට තාල විතරක් නෙවෙයි අඩව් කස්තිරං උනත් අල්ලන්න වරං දෙන ජාති දෙනව කියල දන්නවනෙ. ආ. ඔව් තාල වර්ගයෙ ගහක් උනාට පුවක් ගහෙං එහෙම එව්ව එන්නෑ තමා. ඒකට කමක් නෑ. ඒකත් තාල වර්ගෙ තමයි.


අපේ ගමෙත් කිතුල් කර්මාන්තෙ කරන්න දන්න කීප දෙනාගෙං කෙනෙක් තමයි මගෙ පියා කියල සාඩම්බරයෙං කියන්න පුළුවං. කිතුල් මලක් දැකල නැති අයට කිතුල් මලක් පෙන්නන්න නං හැටියක් නෑ තමයි. ඒ උනාට හිතාගන්නකො පොල්මලේ එක්ස්ට්‍රා ලාජ් එක කියල. හොඳා, දැං මං විස්තර කරන්නෙ කිතුල් ගහේ මලක් පීදීමෙ ඉඳල එයිං අග්‍ර ඵලය ලබාගන්නා තෙක් ක්‍රියාවලිය මං දැකල තියෙන ආකාරයට.


තමුන්ට අයිති කිතුල් ගහක මලක් පීදිල තිවුනොත් මුලිංම කරන්න ඕනි ඒක ඇස්වහකාරයන්ගෙන වහං කරන එක. ඒ පැත්තට කාටවත් යන්න ඕනැ නොවෙන විදිහට වැඩ සිද්ද කරන්න ඕන. ඉං පස්සෙ ගෙදර ඇවිත් තමුංගෙ ඇඹේනියට විතරක් මේ ගැන කියන්න ඕන.


“තමිසෙ දැක්කද අර දොලෙං එගොඩහ පිල්ලෑවෙ ගහේ මලක් පීදිල තියෙනව“


“ඥෑ මං දැක්කෙ නෑ“


“ආ එහෙනං කමහ්නෑ. තමිසෙ ඔය ගෑනු එක්ක කයිවාරුගහනකොට කියවනව එහෙම නෙමෙයි ඒ ගැන“


“අනෙ මං කියන එකහ්නෑ. තමුසෙට ඕනි බම්බුවක් ගහගන්නව“


“බම්බුවක් නෙමෙයි. තමිසෙ දොලෙං නාල ඒ පැත්ත බලං කොණ්ඩෙ එහෙම ගසනව නෙමෙයි තේරුනාද“


ආං ඒ ආදී වසයෙං සුහද කතා බහක යෙදුනයිං පස්සෙ, කම්මලේ වැඩිය පිරිසක් නැති වෙලාවක් බලල කම්මලට යන්න ඕන. ඒ ගිහිං කම්මලේ බාස්ව පැත්තකට අඬගහල රහසිං මෙන්න මෙහෙම කියන්න ඕනා.


“පොඩි වැඩක් තියෙනව. එකක් හරිගිහිල්ල තියෙන්නෙ. මල් පිහියා පොඩ්ඩක් හදල දෙනවකො.“


“හා..රි හරි හරි හරි. මං වැඩේ කල්ල තියන්නං. තමුසෙ අනිද්ද හවස ඇඳිරි වැටෙනකොට එනවකො“


ආන්න එහෙමයි කම්මලෙං රහසිගත ආවුද වන මල්පිහි, උල්පිහි, කඩු, තුවක්කු ආදිය හදවගන්නෙ සහ ගනුදෙනු කරන්නෙ. ඔය විදිහට පලවෙනි ගැනුං කාරය විදිහට කම්මල් බාස් එකතුවෙනව. අදාල දවසෙ හැන්දෑවෙ කම්මලට ගියහම මල්පිහිය නොමිලෙ ලැබෙනව. මල හරිගියහම කම්මල් බාස්ට රා නොමිලෙ ලැබෙනව.


ඒ එක්කම හැර බඳින්න ඕනි. හැර බඳින ක්‍රම දෙකක් තියෙනව. එකක් තමයි උණ ගහක් අරගෙන ඒකෙ පුරුක් වෙන්වෙන තැන්වලින් ලියලලා තියෙන අතුවල අඟල දෙකක විතර කොටසක් ඉතුරුවෙන්න කපල හදාගන්න උණ ලීයක් භාවිත කිරීම. සමහර වෙලාවට ඔය විදිහෙ උණගහක් කර තියාගෙන එනව දැක්කොත් ඉව තියෙන කෙනෙක් කෙලිංම අහනව


“මලක්කත් හදන්නද?“


කියල. ඒ වෙලාවට


“නැහ් මේ ගෙයි පිලිකන්නෙං මඩුවක් හදන්න“


වගේ බොරුවක් කියල අර පුද්ගලයට නොපෙනෙන්න තුහ් තුහ් තුහ් කියල කෙල ගහන්න ඕන.


ඔය කියන උණගහ කිතුල් ගහට හේත්තුවෙන්න තියල අඩි දෙකෙං දෙකට විතර පරතරේකිං වැල් වලිං ගහට තියල බඳිනව. එතෙනදි ඒ උනගහ දිග මදිනං ඒකටම තියල තව උනගහක් ගැටගහනව. ඒ උණගහේ ඉතුරු කරපු අතු රිකිලි කෑලි වලට අඩිය තියල තමයි ගහට නගින්නෙ. ඒ විදිහටම වෙනත් ලීයක් වුනත් ගහට තියල බැඳල හැර හදාගන්න පුලුවං. එතෙනදි අඩිය තියන්නෙ ගහට ලීය තියල බඳින වැල්පටට. සමහර අය හොරෙං රා මුට්ටිය බෑම වැලැක්වීමට තමුං ගහෙං බැස්සට පස්සෙ හැරේ පහලට තියෙන උණලීය ගලවල හංගනව.


ආ. ඔව් මුට්ටියකුත් ඕනි. ඒ මුට්ටියෙ ගැට්ට වටේටත්, ගැට්ටෙ එක කොනක ඉඳල මුට්ටියෙ යටි පැත්ත ඔස්සේ අනෙක් කොනටත් ආදී වසයෙනුත් වැල් වලිං වැර ගන්වල ඒ වැල් වලින්ම මුට්ටිය එල්ලන්න අණ්ඩකුත් හදනව. ඔය විදිහට මුට්ටි දෙකක් නැත්තං තුනක් හදාගන්න ඕන.


ඉං පස්සෙ එළඹෙන්නෙ මල හදන කාලෙ. ඒ කාලෙටත් අර වගේමයි. රහසිගතව තමයි හැමදේම කරන්නෙ. කිතුල ගාවට යන පාරවත් පාදන්නෙ නෑ. කැලේටම තියෙන්න අරිනව. මල හදනව කියන්නෙ මල වටේට තියෙන කොලපත අයිං කරල,මල තලල ඒකට බෙහෙත් තියල අව්ව වැටෙන්න තියන එකටයි. අවාසනාවකට ඔය කෙරුවාව මට දකින්නවත්, දැනගන්නවත් විදිහක් උනේ නෑ. ඒ හිංදා වැඩි විස්තර කියන්න හැටියක් නෑ. කිතුල් මලක් ඇරවන්න කෙම්ක්‍රම ගණනාවක් තියෙනව. ඒ උනාට එව්ව කරන්න නාකයිලු. එහෙම කරල මලක් ඇරෙව්වොත් මතු ආත්මෙක දෙයියෙක් උනත් පැණිරහ කන්න වාසනාව නැතිවෙනවලු.


කොහොමිං හරි මල හදල ඉවර වෙලා මල කපන්න දවස් කීපයක් යනව. ඒ කාලෙ ඇතුලත දර ටිකක් පලල දාගන්න එක, ලොකු තාච්චියක් හොයාගන්න එක, පොල්කටු ටිකක් සුද්ද කරගන්න එක ආදිය වටිනව.


ඔය විදිහට මල කපන්න පටං ගන්නව කියමුකො. ඒත් එක පාරටම මලෙං මොකුත් ලැබෙන්නෑ. දවස් කීපයක් මල කපනකොට තමයි යංතං කඳුල වැටෙන්න පටං ගන්නෙ. සමහර මල් හරියට හදාගන්න බැරි උනොත් මල ඇරෙනව. එහෙම උනොත් වැඩේ අහවරයි. අපරාදෙ මහන්සිය. මල හරිගියොත් දවස් කීපෙකිං බෝතලේ දෙක වැඩිවෙලා මුට්ටිය පිරෙන්න බඩු හම්බෙනව. සමහර මල් දවසට තුංවේල කපනව. තවත් සමහර එව්ව දෙවේල කපනව. ඒක මලේ හැටි හැටියට තමයි. හැබැයි මේක කොටි වලිගෙ වගේ තමයි. වේලක් දෙවේලක් වැඩේ අමතක වුනොත් ආයි කඳුල අඩුවෙනව සුරුස් ගාල. ඒ හිංද මල කපන කෙනාට දවස් ගනං ගමෙං පිට ගිහිං ඉන්න, හුඟක් දුර ගමං බිමං යන්න එහෙම බැරි වෙනව. සමහර වෙලාවටනං වෙනිං කෙනෙක්ට වැඩේ බාර දීල යනව. ඒක සමහර විට මල ඇරීයාමට අතවැනීමක් වෙන්න පුලුවං.


මලෙං පැණි හකුරු හදනවනං ගන්නෙ ‘තෙල්දිය‘ විතරයි. ඒකට තමයි තාච්චි, පොල්කටු, හැඳි ආදිය ඕන වෙන්නෙ. මුලිංම රාහුකාලෙ පන්නල හොඳ වෙලාවක් බලල තමයි තාච්චිය ලිප තියන්නෙ. තෙල්දිය උණු කරල එයිං පැණි හැදෙන්න පැය හය හතක් යනව. ඒකට ලොකු දර කොටං එහෙමත් ඕනැ වෙනව. ඔය හිංද තමයි කලින්ම කිව්වෙ මල හරියනකං දර ටිකක් එහෙම පලාගන්න කියල. තෙල්දිය උණු කිරීම සහ හකුරු හැඳිගෑම ආදී කටයුතු ගෙදර වනිතාවට තමයි අයිති. තෙල්දිය හැලිය විසාල තාච්චියකට වක්කරල ලිපේ තියල තදින් ගින්දර දාල හැඳිගාන්න ඕන. පැයගානක් තිස්සේ ඒක හැඳිගාල පන යන්න කිට්ටු වෙනකොට පැණි ටික හැදෙනව. ඒ පැණි බෝතල් වල දාල තියාගන්නව. හැබැයි ගොඩක් කල් තියාගත්තොත් බෝතලේ පතුලෙ ‘වැලි හකුරු‘ හැදෙනව. ඒක සූකිරි කැට වගේ දෙයක්.


පැණි හරියි කියමුකො. එතකොට හකුරු? හකුරු හදන්නෙ පැණි උණුකරල. අර තෙල්දිය උනු කරාපු හැටියටම තව ටිකක් ඝණකම් වෙනකං උණුකරල ඒක දියර තත්වයෙන් උණුවෙන්ම කලිං සුද්ද කරල තියා ගත්තු පොල්කටු වලට වක්කරනව. ඒ ද්‍රාවණය නිවුනම හකුරු ඇස්සක් හැදෙනව. එහෙම හදාගත්තු හකුරු ඇසි දෙක ගානෙ මූනට මූනලා තියල කෙහෙල් කොළ හෝ කැන්දකොල වල එතුවහම ඇසුරුම් කිරීම සම්පූර්ණයි.


හැබැයි, මෙහෙම කොහෙවත් හකුරු හැදීමක් දැං කාලෙ කෙරෙන්නෙ නෑ. මං දන්න හැම එකාම කරන්නෙ සීනි පැණිවලට අනුපානෙට වගේ පැණි බෝතලා දෙක තුනක් කලවං කරල ‘කිතුල් හකුරු‘ කියන නාමය ඒවට ගාගන්න එක විතරයි. අනික නියම කිතුල් හකුරු ටිකක් තිත්ත රහයි. මට හිතෙන හැටියට නං නියම කිතුල් හකුරු මුලක් රුපියල් දාහටවත් දෙන්න වෙනව ලාබෙයක් ගන්නනං.


ඔය කොයික කලත් ‘මල් පැං පොදක්‘ හදා ගන්න එක අමතක කරන්න නාකයි. ඒකට ගෙදර උන්දැගෙං අවසර ගන්නෙ මෙහෙමයි.


“කම්මල්කාරෙයට සා ටිකක් දෙන්න හදාගන්න ඕන. ඒ යකා පිහියත් නිකංනෙ හදා දුන්නෙ.“


“ආ. ඒක පටං ගත්තොත් නං කෙරිල තියෙයි.“


“තමිසෙ කෑ නොගහ ඉන්නව. මං ඒක බලාගන්නං“


“මොකබ්බලාගන්නද? මෙතන හැතිකරේ පිරුනහං හවසට“


ඒ මොනව උනත් ‘සා‘ හදනවමයි. ඒකට ඕනැ මණ්ඩි ටිකක්. ඒක ඉල්ලගන්නෙ තවත් හිතවත් ‘මල් කපන්නෙක්ගෙං‘ ඒ මණ්ඩි ටික මුට්ටියට දාල උදේට මල කපල ගහෙං එල්ලුවනං හවස් වෙනකං බිංදුවෙං බිංදුව පැහෙනව. හැන්දෑවට නියම ගාන. හවසට එල්ලන මුට්ටියෙ මණ්ඩි දාන්නෑ. ඒකෙං පැණි හදන්න විතරයි ගන්නෙ. අනික උදේට රා බොන්නෙ මොකාද?


පළවෙනි දවසෙ එන්නෙ කම්මලේ බාස් විතරක් උනාට කම්මලට එන අයත්, ඒ අයගෙ අඳුරන අයත්, ආරංචිය අහපු අයත්, සුවඳ දැනිච්චි අයත්, සෙනග මේ තරං හවහට මෙහෙට ඇදෙන්නෙ මොකටදැයි හොයාගෙන ආපු රහස් පරීක්ෂකයොත් ආදී වසයෙං දිනෙං දින ‘තනි අකුරට‘ ඇදෙන්නො වැඩි වෙනව. ඒ අතරෙ සමහරු වෙනදට මගදි දැක්කත් කතා නොකරන අය. තවත් සමහරු පරණ දැන ඇඳුනුංකං හිටං කියාගෙන එනව. අන්තිමට හැන්දෑවට ගේ ගාව වාහන පෝලිං හැදෙනව. ගෙදර ළමයින්ට ටොපි චොකලට් වැහි වහිනව. විස්කෝතු පෙට්ටි, කේක් පෙට්ටි ගෙදර අට්ටි ගැහෙනව. ‘සා‘ සල්ලිවලට නොදීම සිරිතක් වුනත් සමහරු සල්ලි දීලත් යනව.


‘සා‘ බීමේ සිරිතක් තියෙනව. ඒ තමයි කිතුල් මලේ අයිතිකාරය මුලිංම ඩිංගක් බීම. ඒකට හේතුව තමයි තරහකාරයන්ට ‘සා‘ වලට දමා වහ දීමේ ඇති අවදානම. ඒ විදිහට ‘සා‘ වලට නයි පෙන හෝ කබර තෙල් දාලා දීලා මැරිච්ච මිනිස්සු ගැන කතන්දර ගංගොඩවල තවමත් තියෙනව. ඉතිං අයිතිකාරය ‘සා‘ පොල්කට්ටක් බීල “තුක්“ කියල අනික් අයටත් බොන්න දෙනව. බල්ලන්ට ගහන එව්ව වගේ නෙමෙයි එක හුස්මට බීගන්න පුලුවං හිංද ‘සා‘ බොන්නෙ ලොකු වතුර වීදුරු හරි පොල්කටු වල හරි විතරයි. සමහරු නං උම්බලකඩ හෝ ලුණු කැටයක් අනුපානෙට ගන්නව. ‘සා‘ බිව්වට පස්සෙ එතන ‘ටැග්ගැහිගැහි‘ කයිවාරු ගහන්න තහනං. ඒ පොලිසිය පැනීමේ අවදානම හිංදයි. එහෙම පිටත්වෙලා යන අය සුළඟට වැනෙන සුළු තාල වර්ගයේ මිනිසුන් බවට පත්වෙන්නෙ ටික දුරක් ගියාට පස්සෙයි. ඒ අතරිං කලාතුරකිං කෙනෙක් නිවසේදී සිය අතුපතර වැනීම නිසා ඒ අයගේ නිවෙස්වල බඩුමුට්ටු කැඩියාමක්, කාන්තාවන්ගේ කම්මුල් ඉදිමීමක් වාර්තා වෙනව.


උගුඩුවො රා බොන්න කෑදර සත්තු ජාතියක්. උංට අහුවුනොත් මුට්ටිය විතරයි ඉතුරු වෙන්නෙ. සමහර වෙලාවට සූටික්කො වගේ කුරුල්ලොත් මලෙං ‘සා‘ බීල පදං වෙලා ගහ පල්ලෙ වැටිල ඉන්නව. ඒත් ලොකුම හතුරුකම කරන්නෙ ලේන්නු. සමහර ලේන්නු මලේ දණ්ඩ කපල මල ඉවර කරනව. මල් රස්සාවෙ අවදානම තමයි ගහ පල්ලෙ වැටිල එකතැංවීම. හැර බැඳල තියෙන වැල්පොටවල් ලේනෙක් හරි හතුරෙක් හරි කපලදාල තිවුනොත් ගහ පල්ලෙ වැටෙන එක සිකුරුයි. එහෙම වැටිල අතපය කඩාගත්තු අය, එකතැං වෙච්චි අය වගේම යටිගම්පිටි ගිය අයත් අනංතයි.


අපේ ගෙදරත් මල් කපන කාලෙට ‘සා‘ මිත්‍රයො බොහොමයි. නංගිටත් මටත් ‘සටකජු‘, ‘බුංදි‘ එපා වෙනව ඒ කාලෙට. ‘සා‘ බොන්න කවුරු ආවත් මිදුලෙ ගල්වැටිය උඩට වෙලා ඉන්න ඕනි. ඒ වගේම තමයි අම්මටත් දුරිං නෑදෑ වෙන අය හිටං එනව. ගොඩක්ම ගෑනු අය තමයි.


“උඹලව කාලෙකිං බලන්න එන්නත් බැරි උනා“


කියාගෙන දහයෙ මාරි පැකැට්ටෙකක් අරං එන අය යන්නෙ


“මට පැණි බෝතලෙයක් දියංකො. සල්ලි හම්බෙච්ච ගමං සල්ලියි බෝතලෙයි දෙකම ගෙනැත් දෙන්නං“


කියල පැණි බෝතලේකුත් කිහිල්ලෙ ගහගෙනයි. අංතිමට අපිට යන්න වෙනව සල්ලි කෙසේ වෙතත් හිස් බෝතලේ ගේන්නත්.


මාව ගෙදරිං එලෝල අවුරුදු තුනේ සංවත්සරේ යෙදෙන කොට විතර අපේ පියානෝ ඔය විදිහෙං මලක් හැදුව. ඒ කාලෙ මං ගෙදරිං පිට හිටියත් ගෙදර යන එන එක කලා. මං හරියටම හවස හතර වෙද්දි ගෙදෙට්ට යනව. එතකොට පලවෙනි මල කපල ‘සා‘ මුට්ටිය කුස්සිය මුල්ලෙං ගෙනත් තියල කොලපතෙං වහල ඉවරයි. පියානෝ යනව දෙවෙනි මල කපන්න. ඕං ඔය අනගි මොහොතෙදි අම්ම කොහෙට හරි යනකං මං රැකගෙන ඉන්නව. නංගි කුස්සියෙ හිටියොත්


“මගෙ සාක්කුවෙ තිවිච්චි රුපියල් පහ හැලිල. බලහංකො පාරෙ වැහ්ලද කියල. තිවුනොත් බොට රුපියල් දෙකක් දෙනව“


කියල ඒකිවත් පිටමං කරනව.


ඉං පස්සෙ ගන්නව කලේ වහල තියෙන බෙලෙක් කෝප්පෙ. ඉස්සුව කොලපත. එබුව මුට්ටියට. ගත්ත පුරෝල එකක්.


“ගෘග්.. ගෘග්.. ගෘග්.. ගෘග්.. ගෘග්..“


ඉවරයි. ගත්ත තව එකක් පුරෝල. පෙරසේමයි.


ඊළඟට ගන්නව කෝප්පෙට කලෙං වතුර එකක් පුරෝල. දැම්ම මුට්ටියට. නැවත වරක් ගන්නව කෝප්පෙට කලෙං වතුර එකක් පුරෝල. දැම්ම මුට්ටියට. දැං කාටවත් හොයන්න බෑ. පරිමාව සමානයි. මං කනව බුලත් විටක්. රුපියල් පහ හොයන්න ගිය එකා ආපිට එනව.


“ඒක නෑ බං. ලොකු චූටිය කඩේ යනගමං අහුලං යන්නැති. ඕකිට මං හොඳවෑං දෙකක් කියන්නංකො“


“හා හා උඹ ඕකුං එක් පටලැවෙන්නැතුව හිටාං. ඉඳා... මේක තියා ගං“


‘සා‘ භාවිතයෙං තාල වර්ගයේ ළමයෙක් බවට පත්වූ මම සාක්කුවෙං රුපියල් දෙකක් අරං උට දෙනව.


මේ විදිහට දවස් ගාන වැඩිවත්ම මගේ ‘සා‘ රුචිය වැඩි වෙනව කෝප්ප ගාන තුන, හතර, පහ වෙනව. මුට්ටියෙ සාන්ද්‍රණයත් එන්න එන්නම තනුක වෙනව. එක දවසක් මං ගෙදර යනකොටම පියානෝ ‘සා‘ මුට්ටිය ගෙනත් කුස්සියෙං තියනව. මාවත් නිකංම කුස්සියට ඇදෙනව. මං බොරුවට වතුර කෝප්පෙයක් ඇරං බොනව. එදා ‘සා‘ මුට්ටිය කොළපතෙං වහන්නෑ. එයා මගෙ දිහා බලල මෙහෙම කියනව.


“ළමෙයො. උඹ ‘සා‘ බිව්වට කමහ්නෑ. වතුර කලවං කොරන්නෙපා. මට මිනිස්සුගෙං කතන්දර අහන්න බෑ. අබේසේකර මල්ලිත් කිව්ව ‘සා‘ නිකං වතුර වගේ කියල.“


එවකට මගේ වයස අවුරුදු දාසයයි.