Follow by Email

Monday, August 31, 2015

පොළ



හැන්දෑවට වැඩ ඇරිල යන ගමං අද රෑටයි හෙට උදේටයි කන්න තරමට උයාගන්න මොනව හරි දෙකක් මාකට් එකෙං හරි ............සිටියකිං හරි අරං යන අද දවසේ දෙමාපියන්ගේ දරුවො පොළක් දෑහැට දැකල නැතුව ඇති. එහෙව් අයටත් එක්ක දැන කියාගන්න ලියන්නං පොළ ගැන. මේ මට අවුරුදු හත අට කාලෙ විස්තරයක්. මං පොලේ වෙළඳං කල හැටි හා පොළේ ගිය පුංචම්මගෙ ළමයි බලාගත් හැටි පස්සෙං පහු කියන්නං.


අපේ ගමේ අයට සෙනසුරාදට තියෙන අනිවාර්ය වැඩක් තමයි පොලේ යාම. අපේ ගමේ ඉඳං හැතැක්ම හතරක් තරමෙ දුරිං පිහිටි ‘මානාන‘ ටවුම තමයි පොළ පැවැත්වෙන තැන. එහෙම නැතිනම් හැතැක්ම පහලොවක් විතර දුරිං තියෙන ‘බදුරලියෙ‘ පොලට යන්න ඕනි. හාල්, සීනි, පරිප්පු, ලාංපුතෙල්, පොල්තෙල්, ආදී නරක් නොවන දේවල් ඇරෙන්න සතියෙං දෙකෙං විකුණගන්න බැරි උනොත් අහක විසික් කරන්න වෙන ජාති අපේ ගමේ කඩවලිං ගන්න තිවුනෙ නෑ. ආං ඒ වගෙ දේවල් ගන්න නං එකම තැන පොළ තමයි. ඒ හිංදම සෙනසුරාදා දවසෙ අපේ ගමේ මිනිහෙක් කෙසේ වෙතත් ගෑනු අයනං මොනම වැඩේ කරත් කරන්නෙ වරුවයි. අපෙ අම්මත් එහෙමයි. උදේට තාත්ත එක්ක ‘දළු කඩන්න‘ ගියහම ඉර මුදුනක් වේගෙන එනකං බලං ඉන්නෙ දෙසිය පනහෙ වත්තෙ ‘මනිය‘ ගහනව ඇහෙනකං. ඕං හරියට එකොලහට විතර ඇහෙනව මනිය ගහන සද්දෙ.


ටංටංටංටංටංටංටංටං....ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං... ටං...


ඔය මනියෙ සද්දෙං තමයි ගොඩක් අය දැනගන්නෙ වෙලාව. ඒ කාලේ ඔරලෝසුවක්, හෑන්පෝන් එකක් එහෙම තිවුන කාලෙයක් නෙමෙයිනෙ.


ඔය මනියෙ සද්දෙ ඇහෙනවත් එක්කම අම්ම කඩ කඩා හිටපු පේලිය විජහට ඉවරෙයක් කරනව. ඉවර කරල දලු කවරෙ පැලට ගෙනත් ඉටි කොලේට හලල දලු කඩාපු කවරෙ නමල අකුලගන්නව. ඉං පස්සෙ පියාණං අමතනව.


“මේ බොලේ. ඒයි. තමිසෙට ඇහුණද?“


“මොකෝ“


“අද පොලේ යන්න කීයක්හරි දෙනවකො“


“ඈ.....“


“පොලේ යන්න කීයක්හරි“


“ආං අර ගෙදර අල්මාරිය උඩ තියෙන ලැයිට්ටෙකේ පෙට්ටිය යට ඇති සුපියල් තුංසිය පනහක්. ඇරං යනව“


එච්චර වෙලා කඩපු දලු ටිකත් ගෝනියට දාගෙන අම්ම මාවත් අරං ගෙදර එනව.

අද වගේ විනාඩි පාලොහකට සැරෙයක් බස් නොතිබිච්ච ඒ කාලෙ අපේ ගම මැදිං ගියෙ මතුගම ඉඳං එන බස් දෙක තුනකුත්, අපේ ගමට එහා ගමට යන බස් එකත්, රත්නායක මාමගෙ වෑං එකත්, තව ලොරියකුත් විතරයි. තව ඩිංගක් පාර දිගේ ටවුම පැත්තට ගියාම තියෙන නිකගොඩ හංදියට යතොත් අයගම පාරෙං එන බස් එහෙක යාමේ පහසුවකුත් තියෙනව. ඒ කොයිහැටි වෙතත් අපිට හැමදාම පැයක් ඉතර පාරෙ බලං ඉන්න වෙනවම තමයි. ඒ හිංදම ගෙදර ආ වෙලේ ඉඳං අම්ම මාව ඉක්මන් කරවනව. හරිම වචනෙ තමයි ‘දක්කනව‘.


ඔය ඇති ඉක්මනට නාහං...


ඉක්කන්ට කාහං..


ඉක්කන්ට ලැහැත්තිවෙයං....


අම්මත් ලැහැත්ති වෙලා ඔලුවෙ පොල්තෙල් ඩිංගක් ගාල, මූනෙත් පවුඩර් තලියක් ගාගන්නව. ඉං පස්සෙ මග දිගට පවුඩර් පිහිනව. මං ඉස්කෝලෙ අඳින නිල් කලිසමයි සුදු කමිසෙයි ඇඳගෙන ලැහැත්ති වෙනව. මගෙ මූනෙත් හුස්ම හිරවෙන ගාන්ට පවුඩර් තලියක් උලනව. බඩු දාගෙන එන්න පෝර කවර වගේ රෙද්දකිං මහල වටේට රතුපාට ඉටිකොලේකිං දාරයක් අල්ලපු බෑක්කෙකත් අරං අපි දෙන්න පිටත් වෙනව. වැඩි හොඳට නිකගොඩ හංදියටම පයිං ගාටනව. අම්ම යන වේගෙට යන්න මට දුවන්නත් වෙනව.


“ රට වෙනුවෙන් දිවිපිදූ සුනිල් විජේසිරි සීලවංශ තරුණ මහතාට නිවන් සැප ලැබේවා“ කියල ලියපු බස් හෝල්ටෙකේ අපි වගේම පොලේ යන අය රැළක්ම බස්සෙකක් එනකං ඉන්නව. එතන ඉන්න සෙනග දැකල අම්ම


“බුදු අප්පේ මෙතන ඉන්න සෙනග.... ඊළඟට එන බස්සෙකෙත් යන්න බැරිවෙයි වගේ“


කියල හූල්ලනව. හෝල්ටෙකේ හිටපු අයත් අපිව දැකල.

“තවත් කට්ටිය එනව. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැතිවෙයි“


කියල හූල්ලනව මට ඇහෙනව. එතන අපි අඳුරන හුඟක් අය ඉන්නව. ඉතිං හැමෝම “චරබර චරබර. චව් චව්“ ගාල කියෝනව. වරිං වර අපි යන්න ඕනි දිහාවට විරුද්ධ දිහාව බලල.


“තාම බස්සෙක නෑ.“


“දැං පැය දෙහෙකට වැඩියි මාහිතේ“


“මේ හුචක්කු මොලකැටි සේරම කැඩිලද මංද.“


ආදී ආඩපාලි කියමිං බස්වලට බනිනව. ආයිමත් කියෝනව. සමහර වෙලාවට බර පටෝගෙන කංද අදින වාහනේක සද්දෙ ඇහිල පාරට පැනල බලනව. ටිකකිං වංගුවෙං මතුවෙනව ලොරියක් දුං දාගෙන.


“ඉද්දකිං. මේ කොහෙද යන ලොරි දංඩක්නෙ“


පාරට පැනපු අය බනිනව. ඔය විදිහට එපාවෙනකං කල් මැරීමෙං පස්සෙ මී වදයක් බැන්ද වගේ දොරේ සෙනග එල්ලගත්තු වම්පැත්තට බරවෙච්ච ‘සීටීබී හුංඩුවක්‘ දුං දාගෙන හෙමීට එතනට ඇවිල්ල නවත්තනව. දොරේ හිටපු සෙනග පනහක් විතර බිමට බහිනව. එයාල සේරම බැහැල එක්කෙනෙක්ට බිමට බහින්න ඉඩ දෙනව. ඔය අතරෙ කොන්දොස්තර කෑගහනව.


“ආ.. බයින්න බයින්න බයින්න..... බෑ... බෑ... බෑ..... නගින්න බෑ. කොහොමටවක් නගින්න බෑ අයිං වෙන්න.“


ඒ උනාට අපෙ අම්ම මං බෑඟිරිගහද්දි මාව බස්සෙක ඇතුලට ඔබනව. ඊළඟට උන්දැත් නගිනව. පුළු පුළුවං අය නැගගන්නව. ආයිමත් දොරේ මී වදේ බඳිනව. කවුද මගෙ කකුල උඩ නැගල. වටේ ඉන්න සෙනග හිංද මාව හිරවෙලා මිරිකෙනව. ඒ මදිවට දාඩිය. මාව කවුදෝ සීට් දෙකක් අතරට තල්ලු කරනව. මං අම්මව හොයනව. එයා ඈත ඉඳං “ඔතන හිටහං“ කියනව.


පැයක් විතර තැන තැන නවත්තල අංතිමට බස්සෙක මානානට එනව. සෙනග සේරම බහින්න පොරකනව. අම්ම මාව අදිනව. මගෙ කකුල උඩ කවුද නැගල මට එන්න බෑ. අත ගැලවෙයි වගේ. අම්ම පුලුවං වෙර දාල අදිනව.


“අතෑරල වරෙං වරෙං“

“මගෙ කකුල නෑ“

“තොගෙ කකුල මොකා ගන්නද? වර විගහට“


වටේ ඉන්න සෙනග එකෙක් දෙන්නෙක් හෙලවිච්ච ගමං මාව හුළඟිං ගහගෙන ගියා වගේ ඇදිල ගිහිං දොරෙං දොට්ට විසිවෙනව. මගෙ කමිසෙ බොත්තං දෙකකුත් ගැලවෙල. මං ආයි එව්ව දාගන්නව. එකම ගාල ගෝට්ටියයි. මිනිස්සු එහෙ මෙහෙ යනව. වෙලෙංදො කෑ ගහනව. අම්ම මාවත් ඇදගෙන සෙනග මැද්දෙං පොලට යනව. මාත් ඒ පස්සෙං ඇදිල යනව. මුලු ටවුම පුරාම පාරවල් දෙපැත්තෙ හිටං සෙල්ලං ගෙවල් වගේ ඉටි රෙදි හෙවිල්ලපු කඩ ලැලි. පාර දෙපැත්තෙ තියෙන ඒවයෙ තියෙන්නෙ සෙල්ලං බඩු, රෙදි, පොත්, සුකුරුත්තං බඩු. පාර දිගේ ඇවිදින වෙලෙන්දොත් ඉන්නව.


“කපුරු පෑට්ටෙයක්, ආයකටුකෑල්ලක්, රිබන්නිලාස්ටීක්“


එයිං කොටසක් විකුණන්නෙ බැලුං බෝල, හැට්ටකටු, කපුරුබෝල, කොන්ඩෙ බඳින කලුපාට රිබන් පටි, සායවල් වලට දාන ඉලස්ටික් පටි ආදිය.


සැමං ටිං පියන් දෙකක් රෝද දෙකට දාල, බැලුං බෝල පටලයකිං වහපු මැටිපානක් වියගහ මැද හයිකරල, රෝදෙ කරකැවෙනකොට බැලුං පටලෙට ඉරට්ටකිං ‘ටක ටක‘ ගාල වදින්න හදපු කරත්ත විකුනන මිනිහෙක් එයිං එකක් ඇදගෙන යනව. තව ගොඩක් ලැල්ලක හයිකරල අතේ තියාගෙන යනව.


“ලිතායි... පොතායි.... දෙකම පහායි... ඈපා..ලිතෑඈ“


තව එක්කෙනෙක් කැලැන්ඩර්, ලිත්, එලාඑල පොත් විකුණනව.

“මාජන සම්පතක් ගන්. අද්දවසේ වාස්නාවන්ත ජයි මල්ල රුපියල් පන්ලක්සනූඑක්දාස් හත්සිය විසිතුනයි. මේ ජයමල්ල දිනාගන්න පුංචි රුපියල් දහයකින් ලස්සපතියෙක්වන්න“


ලොතරයි කාරයෙක් ලොතරයි විකුණනව. තව වෙනම වෑන්නෙකක හූරන ලොතරයි විකුණනව. එතන සෙනග පිරිල.


“පහේ කාසි මුදු මාල පෙන්දං කරාබුක්. ......... පහේ කාසි මුදු මාල පෙන්දං කරාබුක්“


පොළට හැරෙන තැන ඉමිටේසන් මාල, වලලු, මුදු, කරාබු ආදිය විකුණන මිනිහෙක් ඉන්නව. ඇත්තම වගේ රත්තරං පාට ආබරණ එයා විකුණනව. ඒ වුනාට එව්ව ටික දවසකිං පාට ගිහිං කලු වෙනව. එයා කියන විදිහට එව්ව හදන්නෙ පහේ කාසි වලිං.


“දෙකප්පායි.. දෙකප්පායි... දෙකප්පායි“


ඊළඟට පොළට ඇතුල්වෙන තැනම ඉන්නෙ හඳුංකූරුයි පපඩමුයි විකුණන  කැරලි කොන්ඩෙ බෙල්ල ගාවට වවපු මිනිහ. එයා ළඟ තියෙන ලාම්පුතෙල් ලිප උඩ තියෙන තාච්චියෙ පපඩම් රවුමක් සම්පූරනෙංම බැදල තියල තියෙනව. මං ඒක දිහා බලාගෙනම අම්ම පස්සෙං ඇදිල යනව. මේ වටපිට බලන ගමන හිංද මගෙ කකුල් එහෙ මෙහෙ වැදිල පටලැවිල වැටෙන්න යනව. මිනිස්සුංගෙ ඇඟේ හොස්ස වදිනව. ඒ වගෙ වෙලාවට අම්ම ආපහු හැරිල මගෙ අත කැඩෙන තරං හයියෙං මිරිකල මට බනිනව.


“උඩ බලං එන්නැතුව බිම්බලාගෙන සිහිකල්පනාවෙං වර“


එතකොටම අපි එකාට එකා හයියෙං බෙරිහං දෙන. වෙලෙංදං ගොඩක් ඉන්න, පොල් අතු සහ ටකරං හෙවිල්ලපු දිග මඩු ගොඩක් තියෙන පොළට ඇතුල්වෙනව. ඒ මඩු අතර පොලවෙ මිනිස්සු ඇවිදින හරිය වැහි වතුරත්, පොලවෙ පසුත් මිනිස්සුන්ගෙ නිරන්තර පෑගීමත් නිසා මඩවෙලා තියෙන්නෙ. අපි ඒ මඩ වලවල් උඩින් ‘චක් චක්‘ කියල අඩි තිය තිය යනව. ඒ හරියෙ පොලවට උඩින් වියන් වගේ ඉටිකොල ගැටගහල ආවරණය කරල තියෙන්නෙ. ළූණු, පරිප්පු, මිරිස් ආදිය විකුණන තැන්වල ඉස්සරහ උඩට දාල තියෙන්නෙ රතු පාට ඉටිකොළ. එතකොට ඉර එලිය අර බඩු ජාති උඩට වැටෙන්නෙ රතු පාටට. කුණු වෙන්න ඉතාමත් කිට්ටු ළූණු ගෙඩියක් උනත් ඒ හිංද රතු පාටයි. ඔය විදිහට කොළපාට එළවලු විකුණන අයත් කොළපාට ඉටිරෙද්දෙ පිහිට ගන්නව. වැස්ස වෙලාවට ඒ ඉටිකොලවලට මැදට වතුර පිරිල ගෙඩ්ඩක් වගේ හැදෙනව. පාතිං තියෙන ඒ වගේ වතුර ගෙඩිවල ඔලුව වැදුනොත් නාන්න වෙනව. සමහර එව්ව බර වැඩිවෙලා ලණුව කැඩිල අර වතුර සේරම එකපාර බිමට වැටිල හත් අට දෙනාට නාන්න වෙනව.


බඩු කිරණ ගමන්ම සේරම වෙලෙන්දො තමුං ලඟ තියෙන බඩුවල මිල ගණන් කියනව.


“අල තියයි. ළූණු විස්සයි. අල තියයි. ළූණු විස්සයි.“


මෙතන මේ ගාන කියන්නෙ පන්සීයටද, කිලෝ එකටද කියල දන්නෙ එයාම විතරයි. සමහරු මේ ගාන කිලෝ එකක කියල හිතල අරගෙන සල්ලි දෙන්න යනකොටයි දන්නෙ ගාන කියල තියෙන්නෙ ග්‍රෑම් පන්සීයක බව. ඒ වුනාට ඒ වගෙ වංචා නොකරන අයත් ඉන්නව.


“ගෝව පන්සීයද්දායයි. බීට් පන්සීයප්පාලවයි“


තවත් සමහරු බඩුවල ගනං කියන්න අකමැතියි. ඒ අය කියන්නෙ


“අල්ලාබයි, ලූල්ලාබයි, තක්කාල්ලාබයි, වැටකොල්ලාබයි, පතෝල්ලාබයීඊඊ“


කියල විතරයි. එයා කියන විදිහට ඒ බඩු ගන්න එක ලාබ උනත්, ලාබ කාටද කියල අපි දන්නෑ. මේ විදිහට කෑ ගහන්නෙ ගොඩක් වෙලාවට එළවළු, පළතුරු ආදී දේවල් විකුණන අයයි. මේ විදිහට පොල ඇතුලෙ ඇවිදින ගමන් වෙළඳං කරන අයත් ඉන්නව. ඒ අතරිං මොකද්දෝ ආලේපයක් විකුණන මිනිහෙක් මට මතකයි. එයා


“කොන්දෙයැක්කුම්ට, සීතල්ට, අතේපයේරුදාවට, දක්කැක්කුංට, බෙල්ලෙකැක්කුංට, මේ බාම්මෙකෙං ටියග්ගාන්න“


කියල ගොරහැඬි විදිහට කියන ගමන් එයා අතේ තියෙන එයිං කුප්පියකිං ඩිංග ඩිංග තමන්ට ඉස්සරහට හම්බෙන අයගෙ අතේ පයේ කොහේ හරි ඇසිල්ලකිං උලනව.


තවත් පිරිසක් වෙළඳාමෙ යෙදෙනව. ඒ අයගෙ බඩු භාණ්ඩ කවදාවත් නරක් වෙන්නෙ නැති හිංද ඒ අය කෑගහන්නෙ නෑ. අපෙ ආච්චම්මගෙ මල්ලි කෙනෙක් වන මිරිස් තුනපහ විකුණන ‘සිරිපාල ආත‘ත්, දුංකල විකුණන ‘සුදු මාම‘ත් එහෙම කෑ ගහන්නෙ නෑ.


අම්මයි මමයිත් පොලේ තැනින් තැන ඇවිද ඇවිද බඩුවල ගනං අහ අහ බඩු ගන්නව. බඩු ගන්නකොට පිළිවෙලක් තියෙනව. මුලින්ම ගන්න ඕනි පොල්. නැත්තං හවස් වෙනකොට පොල්වලින් හොඳටික තෝරල ඉතුරු වෙන්නෙ කලටි. පොල් අරන් මල්ලකට දාල පොල් වෙලෙන්ද ගාවම තියනව ඒක අපි ගෙදර යනකොට තමයි ඉල්ල ගන්නෙ. එයිට පස්සෙ අල, ලූණු වගේ නොතැලෙන ජාති. අන්තිමට තමයි තක්කාලි වගේ තැලෙන ජාති ගන්නෙ.  ඔය විදිහට බඩු ගනිද්දි ඉතුරු සල්ලි විදිහට හම්බවෙන මාරු කාසි සේරම මං ගන්නව. බඩු අරං ඉවරවෙලා පොල් ටිකත් ඉල්ලගෙන පොලෙන් පිටවෙන තැනට එනව. එතන තියෙන්නෙ මාලු, මස් කඩ. කරේ තඩි රත්තරං චේන්නෙකං දාං ඉන්න මයිල් පිරිච්චි මිනිහ තමයි මුදලාලි. ඒගොල්ල විසාල පිහි වලිං මාලු කපනව. අපෙ අම්මත් මාලු පන්සීයක් අරං වැඩිපුර සොපිං කවරෙකත් දාලයි බෑක්කෙකට දාගන්නෙ. හරක් මස් කඩේ නං මස් ඔතල දෙන්නෙ හබරල කොලේ. ඒකට යන්නෙ පිරිමි අය විතරයි. හරක් මස් කෑවම පවු පිරෙන හිංද අපේ ගෙදරට හරක්මස් ගේන්නෑ.


එතනිං පිටවෙනකොට තියෙන්නෙ බුන්දි, මොටැයි, සුයිට්, ඇඟිලි විස්කෝතු වගේ කෑම විකුණන තැං. මගෙ ගාව තියෙන මාරු සල්ලි වලිං එව්වයිං මොනව හරි ගන්නව. ඒ හවසට කහට බොන්න. ඔය එක්කොම අරං අපි එනව බස් ඉස්ටෑන්ඩෙකට. එතන ඉන්නව හිඟාකන අය බිම පෝරකවර එලල ඉඳගෙන. සමහරු ගාව බෙලෙක්ක වල කාසි කීපයක් තියෙනව. අනික් අය ගාව අතේ තියං ඉන්නව. සමහරුට කකුල් නෑ. සමහරුන්ට ඇස් පේන්නෑ. සමහරුං වයසයි.


“පිංකල නෝන මහතුනි මගෙ දුක දැකලා......
හැකිනං යමක් දෙනවද මට පිං සලකා..“


මගෙගාව තියෙන කාසි වලිං ඒ අයට කීයක් හරි “දීහං“ කියල අම්ම කියනව. මගෙ සාක්කුවෙං රුපියල ගානෙ ඒ අයට දෙනව.  එතනම “ටිලි ටිලි“ ගාන සද්දෙට සීනුවක් හොලවන බොම්බයි මොටයිකාරය රැවුල් වගේ රෝසපාට බොම්බයි මොටයි විකුණනව. මාත් එයිං රුපියල් පහක ගන්නව.


“දැං ඇති ඔය යමං. ඔය මදෑ.“


අම්ම මාව ඇදං යනව. පාරෙං එහාපැත්තෙ තියෙන පිටවේල්ලට බැහැල කකුලෙ මඩ හෝදගන්න. නැත්තං කකුල දියමිටියො කනවලු. අපි බඩු මලු අරං ඇවිල්ල සෙනග බාගෙට පිරිල  ඉන්න බස්සෙකට නගිනව. එතකොට සීට්වල සෙනග. අපි හිටගෙන. අම්ම බඩුමලු ටික සීට් අස්සට දානව. මාව සීට් දෙකක් අතරෙං තියනව. ඒ අතරෙ කවිකොල කාරයෙක් ඇවිත් කවිකොල විකුණනව. අම්මත් කවිකොලයක් ගන්නව. රටකජු, වඩේ, සූකිරි, කඩල ආදිය විකුණන අයත් ඇවිල්ල බස්සෙකේ තෙරපෙන මිනිස්සු අතර ඇවිද ඇවිද එව්ව විකුණනව. සෙනග පිරිල, දාඩිය දාල, මිනිස්සුන්ව තැම්බුණාට පස්සෙ බස්සෙක යන්න පටං ගන්නව. පැයක් විතර තැනිං තැන නවත්ත නවත්ත ඇවිල්ල අපේ ගෙවල්ගාවත් බස්සෙක නවත්තනව. අපි මිනිස්සුංගෙං බැනුං අහගෙන බඩුමලු හොයල අරං, තව දහදොලොස් දෙනෙක් පාගගන බිමට බහිනව. අපිව වමාරල එලියට දාපු බස්සෙක දුං දාගෙන යන්න යද්දි. අපි සුලිසුළඟකට අහුවුනා වගේ හේබාගෙන ගෙදර යනව.


එදාට රෑට උයල කාල ඉවරවෙලා අම්ම ගෙනාපු කවිකොලේ කුප්පි ලාම්පු එලියෙං කියවනව.










Tuesday, August 25, 2015

මොකවත් කිරීම, සූටි ඇඟිලි පාට කිරීම නොහොත් ඡන්ද විමසීම



ඕං බලන්න අපි ඡංදෙයක් තියල එව්වයෙ රාජකාරිත් අකුරටම ඉටු කරල අන්තිමට ප්‍රතිපලෙත් දුන්න. ඊයෙ උදේ මැතිවරණ කොමසාරිස් තුමා රාජකාරිවලට ගිය අයට ගතමනාව දෙන්න ඕන මේ මේ ආකාරයටය ආදී වසයෙං දක්වා තියෙන චක්‍රලේඛයත් එව්ව. ඒ උනාට තාම ඇමති මණ්ඩලේ එක්කාසු කරගෙන ආණ්ඩුවක් පිහිටුවගන්න මේ කට්ටියට බැරි උනානෙ.


එව්වයෙං කාරි නෑ. මැතිවරණෙ ගැන කිව්වට මැතිවරණෙ කෙරෙන හැටිය කියන්ට බැරි උනානෙ. සතියක්ම ගෙවුනත් ඒ ගැනත් කියල හිටින්නං. අනේ හැබැයි මෙතනත් අරවාදීන්, මේ වාදීන් කුලල් කාගන්නව එහෙම නෙමෙයි.


මැතිවරණ රාජකාරිය කියන්නෙ සමහරුන්ට මරණව වගේ වැඩක් උනාට බහුතරයක් අය මැතිවරණ වැඩට යන්නෙ හරිම ආසාවෙං. හරියට කුළුඳුලේම තමංගෙ හිත ගත්තු ගැටිස්සි බලන්න යනවා හා සමාන චීත්ත ප්‍රීතියෙං. ගෙදර උන්දැගෙං වහං වෙලා “මල් පැං පොදක්“ පාවිච්චි කරන්න ලැබෙන්නෙ මේ වෙලාවෙ විතරනෙ. මැතිවරණ රාජකාරි වලට නාවොත් නඩුත් දාල දඩත් ගහනව කියල මැතිවරණ කොමසාරිස් තුමා නිවේදනය කරල තියෙන හිංද කවුරුත් මැතිවරණ රාජකාරි අයදුං කරනව. ඔය විදිහට මමත් අයදුම්පත්‍රයක් දානව. ඡංදෙට සතියකට විතර කලිං ඒකට උත්තර එනව එනව ලියුමකිං ඔබව මෙවර මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට තෝරාගෙන ඇති බව සතුටින් දන්වමි කියල. සතුටු නැත්තෙ කාටද.


එදා ඉඳං ඡන්ද ස්ථානාධිපති සහ ඉහළ තනතුරු ලැබිච්චි අය පන්ති යනව ඡන්දෙ කරන්න ඉගෙන ගන්න. ඊට පහල තනතුරු ලැබිච්ච මං වගේ අයට තමුන්ට වැඩ කරන්න තියෙන මධ්‍යස්ථානෙ අහවල් තැන බවත් එතැනට මේං මේ මග සලකුණු අනුව අසුවල් දින මේ වෙලාවට පෙර වාර්තා කරන ලෙසත් එතැංදි බොලාට කියාදෙන්න ඕනි හරිය කියාදෙනු ඇති බවත් පෙර කී ලිවුමෙම තියෙනව.


ඡංදෙ දවසට කලිං දවසටත් කලිං දවසෙ ටවුමෙ පිට්ටනි දෙහෙක වාහන සියගානක් වෑං, ජිප් ආදිය ගාල් කරල තියෙනව. ඒ පහුවදා උදේම ඡංද පෙට්ටිත් අරං ඡන්ද මධ්‍යස්ථානෙට යන්න. පහුවදාට ඡංද වැඩට යන්න නියමිත අය ඒ තැංවලට ඇවිල්ල තමන්ට යන්න නියමිත මධ්‍යස්ථානෙට යන වාහනේ හොයනව. පහුවදාට ඒකෙම යන්න ගමං පහසුව සලසා ගන්න. එදා රෑට මැතිවරණ කොමසාරිස්තුමා බොහොම ඉහලිං කතාවකුත් පවත්තනව ටීවියෙකේ. ආයි මොකා ආවත් බය වෙන්ඩ හොඳනැති බවත්. ඒ වෙලාවට කොරන්ඩ ඕනැ මේං මේ දේ බවත් කියල එතුමා අපේ ඉළඇට කූඩුව අස්සෙ තියෙන එක උද්දාමෙං පුරවනව


එයිට පසුදා, ඒ කියන්නෙ ඡංදෙට පෙරදා උදේ දහය විතර වෙනකොට මාත් පිටත්වෙනව. ඡංද මධ්‍යස්ථානෙට යන වාහනේ ඉඩ මදි වෙයි කියන සැකේත්, බස් ගමනාගමනය විස්වාසයක් නැති හිංදත් මං යන්නෙ මගේ බයිසිකලේ. පහුවදා අඳින සූට්ටෙක, බෙස්සීට්, දවල් බත් මුල, ප්‍රථමාධාර පෙට්ටියකට තරං බෙහෙත්, ඉස්තිරික්කෙ ආදී සියල්ල දාපු මහා බෑග්ගෙකකුත් බැඳගෙන මං පිටත්වෙද්දි චූටි මැණිකෙ මට අවවාද දෙනව.


“අතරමග එහෙ මෙහෙ නොයා කෙලිංම යන තැනට යන්න.“

“වතුර හීතලනං නාන්නෙපා.“

“රෑ වෙලා ඇවිදින්නෙපා“

“හෙමීට යන්න. වැස්සට තෙමෙන්නෙපා“

මං ඒ කීම අහල අතරමග නොරැඳි දිගටම ඡන්ද මධ්‍යස්ථානෙට යනව. වතුර සීතල හිංද රත් වෙන්න “ධූමකේතු“ කීපයක් මගිං ගන්න විතරක් නවතිනව. ඒකත් අත්‍යවශ්‍ය හිංද. පත්වීම් ලියුමෙ කොයි තරං මග විස්තර කියල තිවුනත් මග දිගේ එක එක්කෙනාගෙං අහගෙන තමයි යන්න තියෙන්නෙ. මිනිස්සුංගෙං පාර ඇහුවාම ඒ අය අහන එව්වට වෙනම උත්තර දෙන්න ඕනි.

“අයියෙ මේ බල්ලපැන්න හංදිය තව ඉස්සරහද“

“ඇයි මල්ලි කොහෙටද යන්න ඕනි.“

“ඒ හංදියට තමයි යන්න ඕනි“

“එතැන කොහෙටද“

“ආ... මේ එතනිං දකුණට යන්න ඕනි.“

“දකුණට කොහෙද. කිඹුලනැටුවගමද?“

“එච්චරනං දන්නෑ අයියෙ. මේ ලියුමෙ මට කියල තිවුනෙ ඒ හංදියෙං හැරිල එන්න කියල“

“කොහෙද මළ ගෙයක්ද? හොයන්නෙ“

“නෑ.. මේ ඡංද වැඩට එන්න කියල තියෙනව“

“ආ... මේ ඡංද වැඩට. ඔය පැත්තෙ ඡංදෙ ඉල්ලන අයනං කවුරුවත් නෑ. මල්ලි මොන පස්සෙද?“

“නෑ. අයියෙ මේ ඡංද මද්යස්තානෙ චංද වැඩට.“

“ආ... එහෙම කියන්නෙපෑ. මොකද්ද හරියටම තැන කියන්නකො“

එයා නැට්ට උඩිං කකුල අහකට ගන්නව.

“මේ............  බා ඉඩම්පහුව සිරි ගජබා ප්‍රාථමික විද්‍යාලය“

“ආ..... ඒකනෙ. කලිං කියන්න එපායැ. හරි ඔහොම්මම යන්න තව කිලෝමීටර හතරක් ඉතර. එතකොට හම්බෙනව බල්ලපැන්න හංදිය. එතනිං උඩට යන්න.“

“උඩට කිව්වෙ අයියෙ දකුණටද වමටද?“

“වං අත පැත්තට“

“මේ ලිවුමෙ තියෙන්නෙ දකුණට කියලනෙ“

“ආ.. හරි ඔයා යන පැත්ත ගත්තං පස්සෙ ඒක හරි. මං කිව්වෙ මයෙ වං අත“

“එහෙම හැරිල ?“

“එහෙංම කෙලීඊඊඊංම යන්න කිලෝමීටර තුනක් ඉතර. ඉං පස්සෙ කාගෙං හරි අහන්නකො“

“හා. හරි අයියෙ හොඳයි. ඉස්තූතියි මං යන්නං“

ඒ අයියගෙ මව ප්‍රමුඛ කොට හතර වරිගෙට පිං දීල මං පිටත් වෙනව. අන්තිමට හතර වටේ ඇවිදල. අහල පහල ගං වලටත් ගිහිල්ල අදාල තැන හොයාගන්න පුළුවං වෙනව. එයිං පස්සෙ තියෙන්නෙ අදාල කොළවල අස්සං කිරීම. හැටහුටාමාරක් කඩදාසිවල එකම දේ ලිවීම වගේ වැඩ. ගෑනු, පිරිමි දෙකොට්ටාසෙම නිලධාරීං හැමෝම ආවයිං පස්සෙ “පෙරහුරුව“ පැවැත්වෙනව. එතෙංදි ඡන්ද මධ්‍යස්ථානාධිපති විසිං අපිට කළ යුතු වැඩ පිළිබඳ දේසනාවක් දෙනව. ඉං පස්සෙ ඡංද වැඩට ආපු කාන්තාවො ටික ආපහු යනව. ඒ අය එන්නෙ පහුවදා උදේ. ඊට පස්සෙ හැමෝම දවල් කෑම කාල වටපිටේ ඇවිද ඇවිද කල්මරනව. වග විස්තර කතා කරනව. දැනහැඳුනුංකං කියනව. සමහරු කතන්දරත් කියනව. ඒ ඔක්කොම ඡන්දපොල නිරීක්ෂණය කරන නිලධාරිය එනකං. ඕං ටිකකිං එතුමත් ඇහිල්ල. හැමෝම ආවද? කවුරුත් අඩුද? කෑමබීම හරිද? ආදී වසයෙං විස්තර අහල කොලයක් පුරවගෙන එයත් යනව.

ඉං පස්සෙ ඡන්ද මධ්‍යස්ථානාධිපති මෙහෙම අහනව.

“කට්ටිය මොනවත් කරනව එහෙම නේද? හිමීට“

“ආ.. ඔව් සර් දැංම මොනවත් ඕනි ජාති ගේන්න වෙයි නේද? තවටිකකිං වහයිද දන්නෑ“

“මමනං එනකොට බල්ලන්ට ගහන එව්වයෙං එකක් ගෙනාව. මදිපාඩු බලල දැංම ගිහිං ගේන්න“

“ආ.. හරි සර්. “

වැඩේ අකුරටම ඉස්ට සිද්ද කරන්න බාරගත්ත අපේ ටිකක් වැඩිමහල් එකෙක් එක එකා ගාවට ගිහිං කනට කිට්ටු කරල රහසෙං වගේ මේං මෙහෙම කියනව.

“මේ මොනවත් ගේන්න කියල බැලුවෙ. එනව නේද“

“ආ. ඔව්. ඔව් ගේනවද එහෙනං.“

කන අයිතිකාරය සාක්කුවෙං පසුම්බිය අදිනව

“ඔව්. පංසීයක් දියං“

පසුම්බිවල හිටපු නැට්ටුවො, බෙරකාරයො සේරම පිළිවෙලිං සම්මාදංකරන කෙනාගෙ අතට එකතු වෙනව සැඳෑ පෙරහරට එකතු වෙන්න. තව මොහොතකිං හිස් බෑග්ගෙකක් ගත්ත දෙන්නෙක් බයිසිකලේක නැගල ඡංද මධ්‍යස්ථානෙං පිට වෙනව. ඒ අතරෙ ග්‍රාමසේවකගෙ ගෝලය ඇවිල්ල තුංවේලට අවශ්‍ය කෑම බීම ප්‍රමාණ අහගෙන යනව. සංමාදංකාරය එයාව පැත්තකට අඬගහල කනට කරල යමක් කිව්වහම

“හොඳා සර් හයාමාට්ට කලිං ගේන්නං“

කියනව. මැතිවරණ කොමසාරිස් තුමා නිකුත් කරපු පොතෙත් තියෙනවනෙ “අවශ්‍ය අමතර වෙනත් ආහාර වර්ග වෙතොත් ග්‍රාම නිලධාරී වෙතින් පමණක් විමසා ලබාගත යුතුය“ කියල. ඉතිං පිටතැංවලිං අරං කොහොමද?

හිස් බෑග්ගෙක අරංගිය දෙන්න ඒක පුරෝල අරං එනකං අපිත් නාගෙන එහෙම ඇවිල්ල ඩෙස් බංකු ටිකක් එකට යා කරල ඉඩක් හදාගෙන පරණ කයි කතන්දර කියව කියවා මග බලමින් ඉන්නව. විටිං විට

“මුං දෙන්න කොයි ගියාද“

“මෙහෙ හතරැස් නැතුව වද්ද“

“අපිට කියන්න තිබ්බෙ තියෙන එකක් ගේන්න කියල“
ආදී වසයෙං කතාවෙනව. ඉවසීමක් නැති අය එහෙ මෙහෙ සක්මන් කරනව. අංතිමේදී ඒ දෙන්න එනව

“බඩු නැතුව ...........වත්තටම යන්න උනා“

කියාගෙන.

සැඳෑ අඳුර ගලාගෙන එනකොට අපි කලිං ඩෙස් බංකුවලිං හදාගත් රඟ මඩල වටේට රැස්වෙනව ඒ මැද්දෙං බෑග්ගෙකේ තියෙන දේවල් පරිස්සමට තියනව. ග්‍රාම සේවකගෙ ගෝලයත් ලොකු පළඟානක් ඒ අතරෙං තියනව. ඒක දැකල මට කවි පදයක් මතක් වෙනව. ‘මින් රල වුත් පළඟානට රැස්වූ ‘. එක් එක් අය තම තමංගෙ තරාතිරමට ගැලපෙන කුසලාන වන පීරිසි කෝප්ප, වතුර බොන වීදුරු, ඉවත දමන ඉටි කෝප්ප, ආදියත් ප්ලාස්ටික් වතුර බෝතල් මැදින් කැපීමෙන් හදාගත් තාවකාලික භාජන ආදියත් භාවිතා කරමින් “මොනවත් කරන්න“ පටං ගන්නව.


ද්‍රව භාජනවල පරිමාව පහල වැටෙද්දි ඒ හා සමානුපාතිකව අපේ අයගෙ භාෂාඥානය, සාමූහිකත්වය, සහෝදරත්වය, එඩිතරබව, කථිකත්වය, සමාජ විද්‍යාත්මක දැනුම, දේශපාලන දැනුම, භෞමික අඛණ්ඩතාවය ආදිය ඉහල නගින්න පටං ගන්නව. ඒ මොහොත වඩාත් සුන්දර කරමින් මිහිදුම් වලාකුළක් මෙන් රැළි නංවන “ධූමකේතු“ අතරිං පතර දැල්වෙනව. එක් එක් අය තම තමංගෙ ගෙදර, කාර්යාලෙ, මගතොටේ සිදුවෙච්ච සිදුවීම්, කවුරුත් දන්න ඉහළ කෙනෙක්ගෙ කෙරුවාවල් ආදිය කියවනව. ඒ අතරෙ ක්‍රීඩාශීලීත්වය ඔප මට්ටම් කරගැනීමට මෙය කදිම අවස්ථාවක් කරගත් එක් අයෙක් සිය ගමං මල්ලෙං Donkey pair එකක් අරගන්නව. මද වෙලාවක්  Donkey Game ක්‍රීඩා කිරීමෙන් පසු සංගීතලෝලීන් සුවහසක් පිනවීම සඳහා “ඔක්කොම ගායක ඔක්කොම වාදක“ ආකාරයේ සංගීත සැඳෑවක් ආරම්භ වෙනව.


රෑ එකොළහ පහුවෙද්දී “කෑම හීතල වෙන“ බවට ග්‍රාමනිලධාරීගේ ගෝලයාගේ අඬවැඩියාව හමුවේ සියලු දෙනාම රෑ කෑම ගන්නව. සමහර අය කටත් කණත් මාරුකරගෙන කනව. අන්තිමට ඩෙස් බංකු කීපයක් එකතු කරල හදාගත්තු “තාවකාලික ඇඳේ“ පැදුරු එලාගෙන මදුරුවන්ගේ ප්‍රචණඩ ක්‍රියාවන්ට හැකි විදිහෙං ප්‍රති ප්‍රහාර දක්වමින් අපි අඩ නිංදට වැටෙනව. නිංදෙං “ලී ඉරන“ අය යංතං පිටපලු කෑලි හතර ඉරල ඉවර වෙනකොට පාන්දර හතර වෙලා ඉවරයි. ආයිමත් වැසිකිලි, මූණ හේදිලි, තේ, රෙදි මැදිලි, ආදී පෝලිං පටං ගන්නව. පාන්දර පහයි තිහ වෙද්දි සේරම රාජකාරියට ලැහැත්තියි. කොටසක් අය ඡන්ද විමසන තැන පිලියෙල කරද්දි අනෙක් කට්ටිය අවට ප්‍රදර්ශනය කලයුතු දැන්වීම් ආදිය අලවනව. ඒ අතරෙ කාන්තා නිලධාරිනියො ටිකත් එනව. පක්ෂවලිං යොදවපු ඡංදපොල නියෝජිතයො, නිරීක්ෂකයො සියලු දෙනාමත් එනව. පාන්දරම මුලිංම තමුංගෙ පක්සෙට ඡන්දෙ දාන්න හිතාගෙන පෝලිමට එකට එන අය දොරකඩ තෙරපෙනව.

සේරම අහවර කරල හරියටම හතට ඡංදෙ පටං ගන්නව. පෝලිං දෙකයි. දොරකඩ ඉන්න පොලිසියෙ රාලහාමි එක එක්කෙනාව ඇතුළට එවනව. මුලිංම ඉන්න නිලධාරියට තියෙන්නෙ ඡංද දායකයගෙ හැඳුනුංපතයි, ඡංද කාඩ්ඩෙකයි අරං “මේ ඉන්නෙ ඇත්තටම මූමදැයි“බැලීමයි. අපරාදෙ කියන්න බෑ ගොඩක් අය එහෙම මූන බලාපු ගමං කටපුරා ‘හායි‘ ගාල හිනාවෙනව. ඉතිං කොරහංකො. මේ උන්නැහැ හිනා උනහම කොහොමෙයි පොටෝ එකෙයි මේකෙයි සමානකං බලන්නෙ. වසර හතලිස් ගානක් තිස්සෙ නිකුත් වෙච්ච අයිඩෙන්ටි කාඩ්වල පොටෝ බලන එකම එක්තරා ආකාරෙක ජොලියක්. හැත්තෑවෙ දසකෙ විතර දීපු බොහොමයක් අයිඩිං කාඩ්වල ඉන්න පිරිමි අය රැවුල වවල, කොන්ඩෙ දෙපැත්තෙං සපත්තු කට්ටෙක තියල මල් කමිස ඇඳං ඉන්න අයියල. ඒ කාලෙයි දැනට හැබෑවටම මං ඉස්සරහ ඉන්න අංකලුයි අහසට පොලව වගේ. ඒ උනාට හිතෙං ඒ පොටෝ එකේ රැවුල කපල, කොන්ඩෙත් ටිකක් අඩු කලහම මේ අංකල් සහ ඒ අයිය ටිකක් සමානයි වගේ. කාන්තාවොත් ඔලුව මුදුනෙං යගුලියක් විතර කොන්ඩෙයක් බැඳල බටු ගෙඩි විතර ඇට තියෙන මාලෙයක් දාල, අත් නැති හෝ අත් බොඩි බිල්ඩර්ලගෙ වගේ පුංබපු සාරි හැට්ට ඇඳල හිනාවකුත් දාගෙනයි පොටෝ එකේ ඉන්නෙ. ඒ අක්කත් මා ඉදිරියෙ හැබැහිං හිටං ඉන්න ඇන්ටිත් මනසිං සමාන කරල ගත්තම එක වගේ. සමහර අයගෙ කටේ ඇදයක්, නහයෙ හැඩේ අනුව සමාන කං හොයන්නත් පුලුවං. එක එක අය එක එක විදිහට තමයි පොටෝ එකට ඉඳල තියෙන්නෙත්. සමහරු උඩ බලං. සමහරු හිනා වේගෙනත් ඉන්නව.


එතනිං තවත් දෙයක් පේනව. නවසිය හතලිස් ගනංවල අග පනහෙ දසකෙ මුල වගේ උපං අය ඔන්න මලා මෙන්න මලා සයිස් එකෙං ඉන්නකොට තිහේ දසකෙ වගේ උපං අය තවම යසට හිටං ඉන්නව. ඒකටනං හේතුව තවමත් මට හිතාගන්න බෑ.


එයිං පස්සෙ ඡන්දදායකයව යවන්නෙ ඊළඟ නිලධාරියා වන නම කියවන තැනැත්තා ගාවට. එයාට තියෙන්නෙ ඡංදදායකයගෙ නම හයියෙං කියවන එක.


“පිටියග්ගල විදානෙ අප්පුහාමි රාළහාමිලාගේ දොන් පැට්‍රික් සිරිවර්ධන මුදියන්සේ “


එහෙම කිව්වම ඡංදපොල නියෝජිතයො තමුංගෙ විරුද්ධත්වයක් තියෙනං කියන්න ඕනි. නැත්තං ‘හරි‘ කියන්න ඕන. මෙහෙම නම කියද්දි සමහරු කැමතිත් නෑ. අඩු කුලේ කියල සම්මත අයගෙ නමිං ඒක අහුවෙන හිංද වෙන්නැති. සමහර වෙලාවට දෙමළ, මුස්ලිම් අයගෙ නං කියද්දි නිකං කියන්න බෑ බෑ වගේ. “කරුපයියා නන්දකුමාර්“ වගේ නමක් කොහොමෙයි මනුස්සයෙක්ගෙ මූණ බලාගෙන කියන්නෙ. ආයි ගෑනු කෙනෙක් දිහා බලං “පාතිමා උම්මා“ කියල කියන්න බයයි වගේ නැද්ද මං අහන්නෙ.


මෙන්න මේක තමයි පාට කරන්නෙ
එයිං පස්සෙ  ඇඟිලි පාට කිරීම. කාගෙ උනත් වං අතේ සුළැඟිල්ල තීන්තෙන් පාට කරන්න ඕනි. වයස යංතං දහඅට සම්පූර්ණ කරාපු කුළුඳුල් ඡංදෙ දාන්න එන සුට්ටිම සුට්ටි සාය කොටං ඇඳපු, සබං සුවඳ, ක්‍රීම් සුවඳ, පවුඩර් සුවඳ, සෙන්ට් සුවඳ හා කිරි සුවඳ යන පංචවිධ සුගන්ධයන්ගෙන් යුතු ළලනාවියංගෙ පැංසල් කූරු වගේ සිහිං, හීතලම හීතල, කහම කහපාට ඇඟිලිවල කියුටෙක්ස් තට්ටුවලට උඩිං තිංත ගාන්න සිද්දවෙන එක හරිම ශෝචනීයයි. ඒ වෙලාවට එයාල කට උල්කරල ‘අනීඊඊඊ“ කියද්දි අක්මාව කිලිපොලා යනව. මක් කොරන්නද ඉතිං ගාන්නම එපායැ. හරියට ඇඟිල්ල හරවල ඩෙස්සෙක උඩිං තියාගන්න එයාල දන්නැති හංද අතිං අල්ලල හරවල අනික් ඇඟිලි වලිං අල්ලගෙන ඉන්නත් වෙනව. සාමාන්‍යයෙං මේ වැඩේ බාරදෙන්නෙ හිරිමල් යොවුන් වියේ ගැටයෙක්ට තමා හිරි ඇරගං කියල.


එයිං පස්සෙ දෙන ඡංද කොලේ අරං කාඩ්බෝඩ් කූඩුව ඇතුලට ගිහිල්ල තමුං කැමති සතෙක්, කොළයක්, වාහනයක් මොකක් හරි එකකට ඡංදෙ ලකුණු කරල ඡංද පෙට්ටියට දාන්න ඕනි. සමහරු ඡංද කොලේ පෙට්ටියට දාල වඳිනව. කලාතුරකින් කෙනෙක් ඡන්දෙ දාල ඉවරවෙලා


“................................ පක්ෂයට ජයවේවා“


කියල කෑගහල විකාරත් නටනව.


 පෙට්ටිය ගාව ඉන්න තවත් නිලදාරියෙක් අඩිරූලකිං ඇනල ඡංද කොලේ පෙට්ටිය ඇතුලටම ඔබනව. ඔය විදිහට උදේ වරුවට සෑහෙන පිරිසක් ඡන්දෙ දානව. හවස් වරුවටත් විටිං විට කෙනා දෙන්න ඇවිල්ල ඡන්දෙ දානව. සමහර අය හරියටම හවස හතරට ඡංදෙ දාන්න එනව. එයිං බොහෝ අය මල් පැන් පොදක් තොලගාගෙන එන්නෙ ‘ඡංදෙ දාන්න නොදුන්නොත් බලාගමු‘ කියන සයිස් එකෙං.


අවසානෙට හරියටම හවස හතරට ඡංද පෙට්ටිය වහනව. ඒ එක්කම කඩිගුල ඇවිස්සෙනව. පෝම් පුරවන්න, මලු ගැට ගහන්න, එකතු හදන්න ආදී වැඩ ගොඩයි. ඒ සේරටමත් විනාඩි විස්සක් විතර යනව. අංතිමට ඡන්ද ස්ථානාධිපති අපිට පැමිණිමේ සහතික දෙනව. ස්තූති කතාවකුත් කරනව. අවසානෙට ඡංද පෙට්ටියත් අනෙක් ලිපි ලේඛණත් වාහනේට පටවනව.


ඒ එක්කම අපිත් අපේ බඩු මුට්ටු, බෑක් ආදිය අරං ආපහු එන්න පිටත් වෙනව. ඡන්ද පෙට්ටිය පටවාපු ගමන් වාහනේ ඩැයිවරට අමුතුම දෙයක් වෙනව. එයා ගුවන් නියමුවෙක් බවට පත්වෙනව. වාහනේ තියෙන තරමක් සේරම ලයිට් පත්තු කරගන්නව. හෝන් එක උඩට නැගගන්නව. ඇංජිම ‘මරෝඕඕ‘ කියල හඬදෙන විදිහට ලැල්ලටම පාගනව. අසාධ්‍ය ලෙඩෙක් ගෙනියන ගිලන් රථයක්, බැංකුවක් මංකොල්ලකාල පැනල යන හොරුංගෙ වාහනයක්, මිනිහෙක් යට කරල පලායන වාහනයක්, ආදී ඕනෑම වාහනයක් යැයි සිතෙන ආකාරයට දුම්දාගෙන වංගු, පල්ලං, කඳු, වාහන, මිනිස්සු කිසිවක් නොතකමින් එයාට යන්න ඇරල අපි පහුවෙනව. ඔය අතරෙ උග්‍ර දේසපාලනයෙහි යෙදී සිටින ගම්වැසියන් මග දිගට මේ වාහනේ එන පෙරමගට රතිඤ්ඤ පත්තු කරල දානව.  මං ඉස්සර උනොත් රතිඤ්ඤෙ වැටෙන්නෙ මගෙ ඉස්සරහට. ඒ හිංද කෝකටත් හොඳා පහුවෙන එක. ඒ උනත් මගට එද්දි එකතු වෙන මැතිවරණ වාහන පෝලිමට මැදට වැටිල මමත් ඉබේම හැටට හැටපහට වේගෙ වැඩිකරගන්නව. බිං කරුවල වැටෙද්දි මං ගෙදර.


මේකෙ හොඳම හරිය එන්නෙ ගමං වියදම් ඉල්ලුම්පත්‍රය ලිවීමෙදි. වැඩේට ගතවුනේ දවස් දෙක වුනත් ගිය වියදම පියවගන්න දවස් හතරකවත් සංයුක්ත දීමනාව ගන්න වෙනව. ඒ හිංද ගමං වියදම් පෝරමේ පුරවන්නෙ මෙහෙමයි.


15 වැනි දින - ඡංද මධ්‍යස්ථානය පිහිටි ............ ගමෙහි තාවකාලික නවාතැනට යාම
16 වැනි දින - ඡංද මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම සහ රාත්‍රිය එහි රැඳී සිටීම
17 වැනි දින - ඡංද විමසීමේ රාජකාරිවල යෙදීම සහ එම ගමේ පිහිටි තාවකාලික නවාතැනෙහි ලැගුම් ගැනීම
18 වැනි දින - ආපසු නිවස බලා පිටත්වීම.


මේ ආකාරයට ගමන් කරන බස් ගණන වැඩි කිරීම, බසයේ වේගය අඩු කිරීම, ඊළඟ බසය එනතෙක් බස් නැවතුමේ රැඳී සිටින කාලය වැඩිකිරීම මගින් පැය ගණන වැඩිකරල මේ දවස් ගාන හදාගන්න පුළුවං බව පැරණි දක්ෂ ගමන් වියදම් සකස් කරන්නෝ අපිට කියාදීල තියෙනව. තව සතියකිං විතර මෙයිං කැපිල කෙටිල ඉතුරුවෙන ගාන මගෙ අතට ලැබෙයි.