Follow by Email

Sunday, July 26, 2015

වට වංදනාව නොහොත් Circle Pilgrimage 8



පංදම පත්තුවෙච්චි වෙලේ වටේම ගිනිතියන්න හිතාගෙන මං සාලාවෙ එහා කොනේ ඉඳං මෙහා කොනටම බලාගෙන ආවත් පුංචම්ම නෑ. ඒ ගමන කොයි ගියාද මෙයා?. සාලාවෙං එළියෙ යාංතං ලැයිට් එළිය වැටෙන සීමාවෙ අඹ ගහක් යට බැම්ම උඩ ඉඳගෙන ඔලුව ඔඩොක්කුවෙ ගහං ඉන්න ගෑනු කෙනෙක් විතරක් ඉන්නව. කිට්ටු කරල බලද්දි ඒ අපේ පුංචම්ම තමයි. දවල් ඇඳං ආපු ඇදුං දැං වෙනකොට මාරු කරල හිංද අපේ නඩේ අය අඳුරගන්න ආයිත් අමාරුයි.

මං පුංචම්ම ළඟට කිට්ටු කරනව.

“පුංචී... පුංචී....“

“ඒ ගවල වෝට්ටාවඩ....  වට ඉල්ලලීල වලෙයග් හිග්... හිග්...“

ඔඩොක්කුවෙං ඔලුව උස්සපු පුංචම්ම අමුතු බාසාවක් කියනව. ලැයිට් එලිය වැදිල උන්දැගෙ මූනෙ ඇහේ ඉඳල පහලට හංගොල්ලො ගියා වගේ දිලිසෙනව. එතකොටයි මං දකින්නෙ උංදැ හොටු පෙරාගෙන අඩනව. අක්ක දන්නෙ නැතුව ඇති. නැත්තං එයත් මේවගේ අවස්ථාවල සමූහ ගායනයට එක්කාසු වෙනව.

“මොකද පුංචියෙ අඬන්නෙ“

“කිහිග් කිහිග්...... ඊඊඊඊඊඊඊඊඊ . වලාග් ගාජ්ජව්ව ගලවු වැලේ“

පුංචම්මගෙ නහයෙං කටෙං කෙල පෙරාගෙන ආයි සද්දෙ වැඩි කරනව. එතකොට මුංදැ මේ අඬන්නෙ ආච්චම්මගෙ ආරක්සක වැඩ පිලිවෙල පටංගැනිල්ල හිංද වෙන්නැති.

“වලාග් වග්ගෝවඩ අල විලිස්සුඩ්ඩ වූලලෙල්ලෙ“

ආයි පුංචම්මට කාටවත් මූන දෙන්නැති වෙන්න වැඩක් අරෙහෙ වෙනව කියල නොදැනයි මේ තරං අඩන්නෙ. හවස එක මිනිහෙක්ට අරෝවට කතා කොරල කරපු හරියට මෙහෙමනං මේකත් කියපුහාම කොහොම හිටීද?

“ආං ඒකෙ ඉතුරු හරිය ආච්චම්ම අතන දිගාරිනව. පුංචියි බාප්පයි පැල්ල ගිය හැටි හිටං ආච්චම්ම දෙසා බානව. ජෝකෙ බාප්ප ඉස්සර ටිකැට් කඩපු හිංද ආත පුංචිගෙ මගුලට කැමති උනේ නැති එකයි, පුංචි පැනල ගියෙ ඉස්කොලෙ යද්දි කියලයි විතරයි තාමනං කිව්වෙ“

  පුංචම්මට ඇඬිල්ල හිරවෙනව. මගෙ මූන දිහා බලල කතාකරගන්න බැරුව ඉන්නව.

හලේ... අව්වලං වට ඉල්ල ලියල්ලෑ.......“

කට ඇරිච්ච ගමං අඳෝනාවක් තියපු පුංචම්ම නැට්ට පෑගිච්ච බලලෙක් වගේ සාලාව ඇතුලට දුවනව. ටෙලිනාට්ටියක වාදනේ ඇහෙද්දි ගෙට දුවන බාල පුංචම්ම වගේ මාත් අවසන් ජවනිකාව බලන්න ඒ පස්සෙං දුවනව. ඒ යන අතරෙ ආච්චම්මගෙ ශ්‍රාවක පිරිස තවත් කිහිප දෙනෙක්ගෙන් වැඩිවෙලා. ආච්චම්ම බිම ඉඳගෙන බිත්තියට හේත්තුවෙලා නව පරිච්ඡේදයකුත් ආරම්භ කරල.

“ චූටිව බල්ලෙක් කාපු වෙලාවෙ අපිනං හිතුවෙ මැරෙයිම කියල. මුංගෙ තාත්ත තමයි යංතං කොහෙද වෙද මහත්තෙක් ගාවට ගිහිල්ල හොඳ කෙරෙව්වෙ. නැහ්නං අංතිමට අංතිමට කටේ කෙළ පෙරාගෙන හපන්නත් පයිනව. ලෙඩේනං කොහොම හරි හොඳ උනා. ඒ ලෙඩෙං පස්සෙ තමා ඔයහැටි කොච්චොරොවත් අඩන්නෙ. දැං අපේ චූටි නිකං නිස්කාරනෙත් අඬනවනෙ.“

පුංචම්ම කාමරේ දොර ගාවට ගිහිං ආච්චම්මට කතා කරනව.

“අම්මෙ මෙහෙට එන්නකො ඩිංගකට“

“මොකටෙයි. මං මේ ඩිංගක් ඉඳගන්න බැලුව විතරයි. ළමයි දෙන්න නැද්ද? මං ඩිංගකට එහෙට මෙහෙට උන අල්ල පනල්ලෙ බොට බැරි උනාද ඔය ළමයි දෙන්න දිහා ඇහැ ගහගෙන ඉන්න?“

ආච්චම්ම වියහැකි දෙයක් හිතේ මවාගෙන දොස් තියනව. උංදැ කැමති නෑ උංදැගෙ දේසනාවෙං ලේසියෙං නැකිටින්න.

“හිටහං මං එන්න. ...... ආ ඉතිං ඔන්න ඔහොමයි අපෙ චූටිගෙ පිස්සු බලු අමාරුව සනීප උනේ. මං මේ ලමයි දෙන්නට මොකද උනේ කියල බලල එන්නංකො. අපි ඉතිං දැන හැඳින ගන්නත් එපායැ නැද්ද?“

ආච්චම්ම නැකිටල රෙද්ද ආයිපාරක් ඇඳගෙන දොරෙං එළියට එනව.

“මොකෝ. කෝ ජුවයි පුචයි“

“අනේ අම්මෙ පිංසිද්දවෙයි. ඔය එක එක එව්ව නොකිය කට පියාගෙන පාඩුවෙ ඉන්නකො. අපේ පවුලෙ එව්ව ඒ මිනිස්සුන්ට කියන්න එපා. ජෝකෙටනෙ රස්සාවට යන්න බැරිවෙන්නෙ“

පුංචම්ම ආච්චම්මට නොවඳිනා වැඳුං වඳිනව.

“මං මොකක්කක් කිව්වෙ නෑ.. ඇයි බං ගල්බිල්ලො වගේ මනුස්සයෙග්ගෙ මූණක් කටක් නොබල හිටියෑකැ. අන්තිමට ඒ මිනිස්සු කියයි ආනාදිකම කියල. අනික මිනිස්සු දැන ඇඳින ගත්තැයි කියල උං අපේ ගෙදර එනවෑ.“

“නෑ.. නෑ අම්මෙ කතා කෙරුවට කමහ්නෑ. අපේ පවුලෙ විස්තර කියන්නෙපා. එව්ව මිනිස්සු දැනගත්තහං ජෝකෙට හරිනෑනෙ.“

“අනෙ උඹ කට වහපං. අපේ පවුලෙ විස්තර කිව්ව කියල ජෝකපාලට නිංගිරාවක් වෙන්නෑ. මං සෝංපාල බොන එකවක්, ලොකු ජූ නහත්ති කොන්න එකවක්, සු**ය ගෙ ජඩ වැඩවක් කියන්න ගියෙ නෑනෙ. මොකෑ මල්ලි ඉස්කෝලෙ මහත්තෙක කියන එකවක්, මැණිකෙගෙ කඩේ ගැනවක් කියන එක බොට මහ නිංගිරාවද්ද?“

ආච්චම්මත් ලේසියෙං අරින්නෑ.

“අනේ නෑ අම්මෙ එව්ව නෙමෙයි. අම්ම මොටද ඒ මිනිස්සුංට ජෝකෙයි මායි පැල්ල ගිය ඒව එහෙම කියන්න ගියෙ? මං කියන්නෙ ආං එව්ව කියන්නෙපා කියල ජෝකෙට හරිනෑනෙ අම්මෙ“

පුංචි කාරනේ මුලටම හගිස්සනව.

“මං කී එකක් නෑ. කවුද උඹට ඔය කේලං කියාපු එකා කියහං බලන්න.“

“මේ සුරංගෙයට ඇහිල තියෙන්නෙ. ඌ ඇහිල්ල මට කිව්වගෙං පස්සෙ තමා මාත් ඇහිල්ල බැලුවෙ. එතකොට අම්ම මට පිස්සු බලු රෝගෙ හැදිච්චි හැටි කියනව“

“ආ...... මූධ එතෝට කේලම කිව්වෙ. ගක් කට කල්ල විසිවෙන්න. මූව වංදනා ගමං ගිනියන්න නෙමෙයි පාරක ගිනියන්න වටිංනෑ“

පුංචම්මගෙ පාවා දීම හමුවෙ ආච්චම්ම සේරම වැහෙන්න මගෙ පිටිං වරදක් අරින්න හදනව.

“උට බයින්න නෙමෙයි අම්මෙ. අම්ම අනික් මිනිස්සු එක්ක මොනවක් වැඩිය කියවන් නැතුව ඉන්නකො“

“මූව අල්ල ගස් බඳින්නෝනෙ. මුගෙ කටේ තියෙන බලු ගති අරින්න බෑ කොච්චර ඉස්කෝලෙ ඇරියත්“

එතනිං එහාට තමුංගෙ වරද නෑසූ කන්ව ආච්චම්ම මට බයිනව. උන්දැටත් ඕනි කරල තියෙන්නෙ කතාව වෙනිං අතකට හරව ගන්න. දැං හරි. ආයි මුල් මාතෘකාවට උංදැව ගන්න බෑ කොහොමටවත්. අන්තිමට ආච්චම්මගෙ කටට දිනුම දීල පුංචියි මායි පහු බහිනව. ආච්චම්ම ආපහු රෙද්ද ගලෝල ඇඳගෙන ගිහිං සිය ප්‍රේක්ෂක නඩේ ළගිං ඉඳගන්නව.

ඒත් එක්කම නාගෙන ආ අය කොණ්ඩ පීරල සැං පවුඩර දාල කතරගම දේවාලෙත්, කිරි වෙහෙරත් වඳින්න යනව. ඒ ටික යන්නෙ පයිං. උයන අයත් තව පිරිමි දෙතුන් දෙනෙකුත් ඉඳිද්දි අනික් අය ඔක්කොම ඒ ගමනට එකතු වෙනව. කීප දෙනෙක් ඉතුරු වෙන්නෙ “බෑක් මලු බලාගන්න“

සාලාවෙං එලියට බහිනකොටම ආච්චම්ම අයියවයි අක්කවයි අල්ලගන්නව. උංදෙන්නට දෙන්නව අල්ල ගන්න කියල එකට ඈඳනව.  ඉං පස්සෙ ආච්චම්ම ට ඉස්සරහිං ඒ දෙන්නට යන්න කියල නියම කරනව. ආච්චම්ම එක්ක එක පෙළට පුංචම්මව තියා ගන්නව. දැං ආච්චම්මට අයියවයි අක්කවයි දක්කන ගමන්ම පුංචිව ඇදගෙන යන්නත් පුලුවං.

“ළමයි නෙමෙයි මහ එවුවොත් අතරමං වෙන රටක් මේක“

ආච්චම්ම තමං ළඟ ඉන්න එක් ශ්‍රාවිකාවකට කියනව. උංදැ තමයි ආච්චම්මගෙ කතා සේරටම ‘ඇත්තද, එහෙමද‘ කිය කිය කටඋඩ බලං හිටියෙ. නඩේ ඉන්න අයගෙං දුරට පේන තද තැඹිලිපාට කමිසෙයක් ඇඳං හිටපු එක්කෙනෙක්ව මගෙ මග සලකුන විදිහට තියාගෙන මාත් නඩෙත් එක්ක ඇදෙනව.

කිරි වෙහෙරට යන පාර දෙපැත්තෙ මල් විකුණන අය සියගාණක් ඉන්නව. ඒ හැමෝම ගිරිය පුප්පල යටිගිරියෙං කෑගහනව.
“අනේ අපෙනුග්ගන්නකෝ.“
“එන්න එන්න.. සුදු මාල්, රතු මාල්, කහමාල්.. හැම ජාතියකම මාල් තියෙනවා“

මට හිතෙන්නෙ ඒ අයට අද දවසටම එකම මලක්වත් විකුනගන්න බැරිවෙන්නැති කියල. පව් ඒගොල්ලං එක්කොම බඩගින්නෙ ඉඳියි අද රෑට.

සමන්දේවාලෙ හිටිය වෙලෙංදො  “මල්ලට්ටියග් ගන්නෙන් නපෙනුග්ගන්“ කියල සැරෙං කිව්වට මේ අය හරි අහිංසක විදිහට කෑගහන්නෙ. මං සිස්සත්වෙ පාස් හිංද හොඳට ඉගෙනගෙන දොස්තරෙක් උනහම කාර් එකෙං ඇහිල්ල මේ හැමෝටම රුපියල් පංදාහ ගානෙ දෙනව. පංදාහ නෙමෙයි දහ දාහක්ම දෙනව. එතකොට ඒගොල්ලන්ට ගෙදෙට්ට වෙලා කාල බීල ඉන්න පුලුවං. මං එහෙම හිතාගෙන නඩෙත් එක්ක ඉස්සරහටම ඇදිල යනව.


දෙන්න තුංදෙනා වසයෙං හැදිල ඉන්න අපේ නඩේ පහුකරගෙන සීඝ්‍රගාමී නඩයක් යද්දි ආච්චම්ම සිය දරු මුණුබුරු තුංදෙනාව ඇති වීරියෙං අල්ලගන්නව. ඒ අතිං මං නිදහස්. ඔය විදිහට අපි කිරිවෙහෙරෙ මලුවට සේංදු වෙනව. දකුණු අත ඇතුලට හිටින්න චයිත්තිය වටේ යන ගමං තැනිං තැන පිහිටල තියෙන මල් තියන තැං වලට වඳිනව. එහෙම එක වටයක් සම්පූර්ණ කලාට පස්සෙ කට්ටිය එක තැනක ‘පාත්වෙලා‘ බුදුං බඳිනව. වටේට ලොකු කොරොස් වගෙ විසිල ලයිට් හයිකරල ඒවගෙං සැර එලියක් පිටවෙලා ගිහිං චයිත්තියෙ වදිනව. ඒ ලයිට් එලියට චයිත්තිය කහ සුදු පාටට බබලනව. බිම හයිකරල තියෙන ඒ ලයිට්ටෙකක් ගාවට ගිහිං හිටගත්තම මගෙ හෙවනැල්ල දිගට දිගේ චයිත්තිය ගාවට වෙනකම්ම තියෙනව.


මං වටපිට බලද්දි අපේ නඩේ එහෙට මෙහෙට වෙලා. මං ආයිත් තැඹිලි කමිසෙ හොයාගෙන එයා පස්සෙං යනව. ඒ ගමන අපි යන්නෙ කතරගම දේවාලෙට. එතනත් කඩවල්වල එක පොරයයි. මිනිස්සු පූජාවට්ටි විකුණගන්න තරඟෙට කෑගහනව. උක්ගස් කෑලි දෙකතුනක්, කොමඩු කෑලි දෙකක්, දොඩං කෑල්ලක්, අඹකෑල්ලක් ආදී ලාබ පලතුරු කීපයක් දාපු වට්ටි තියෙන කඩවල්වල මිනිස්සු එව්ව පෙන්නල “පූජාවට්ටි ගන්න එන්න“ කියල අඬගහනව. අපි ඒව මොනවක් දැක්කෙ නෑ වගේ පහුකරගෙන යනව.

දේවාලෙ ඉස්සරහ ලොකු තොරණක “රුහුණු මහා කතරගම දේවාලය “ කියල බෝඩ්ඩෙකක් තියෙනව. ඒකෙං ඇතුලට ගියහම දේවාලෙ. සුවඳ කුඩු, හදුංකූරු ආදියෙ සුවඳත්, ඝන්ටාර සද්දෙත්, සීනු සද්දෙත්, යාතිකා කියන සද්දෙත් අතරෙං තෙරපිල ඇතුලට ගිහිල්ල යංතං වැඳගෙන නලලෙ මොට්ටුවකුත් තියාගෙන අපි එළියට බහිනව.


ආපහු එන ගමනෙදි අපේ නඩේ ළමයි හා ගෑනු අය ඒ අවට තියෙන තොරොම්බල් කඩ ලැලි බලන්න යනව.  ඉටි රෙදි වලිං වට කරල ඉහලිනුත් හෙවිල්ලල හදපු මඩු වගේ කඩවල බඩු තියල තියෙන්නෙ පොලවෙ ඉඳං අඩි දෙකක් විතර උසට හදපු තට්ටුවක. කඩේ පිටිපස්ස පැත්ත ආවරණය වෙන ලැල්ලෙත් ඉදිරිපැත්තට පේන්න බඩු එල්ලල තියෙනව.


ඒවයෙ තියෙන සෙල්ලං බඩු ටියුබ් ලැයිට් එළියට දිලිසෙනව. වතුර විදින තුවක්කු, වතුර විදින කැමරා, බෝනික්කො, බැට්ටි කෑලි දාන සෙල්ලං වාහන, වයිං කරන වාහන, පෙති තුනක් තියෙන රවුමක් මුදුනෙං තියල නූලෙං ඇද්දහම ඒ රවුම කරකැවිල උඩ යන සෙල්ලං බඩුව (මං ඒකෙ නම දන්නෑ), නැට්ටෙං අල්ලල හරහට අල්ලං හිටියහම දෙපැත්තට වැනෙන සෙල්ලං නයි, නූලක් දාල ඇදගෙන යන සෙල්ලං කාර්, හයියෙං පොලවෙ අතුල්ලල අතුල්ලල බිමිං තියපු ගමං දුවන සෙල්ලං කාර්, ටකරං පාට තහඩුවෙං හදපු මූණත් තහඩුවත්, පිටිපස්සත්, දෙපැත්තෙ වටේත් රතු පාට ගාපු සෙල්ලං ලංගම බෙලෙක් බස් ආදී වාහනද,


බඩ මිරිකුවහම “චා“ කියල අතෑරියහම “කූහ්“ කියන සෙල්ලං වලස්සු, ඇස් අරින වහන බොනික්කො, සෙල්ලං පිඟං කෝප්ප සැට්, ආදී සෙල්ලං ගෙවල්වලට ගන්න භාණ්ඩද,

අගට රබර් රවුමක් හයිකරපු ප්ලාස්ටික් කූරු දාල වෙඩි තියන තුවක්කු (එව්ව එක්ක කූරු දෙකක් දෙනව), කැප් රෝල් දාල වෙඩි තියන ගින්දර විසිවෙන පිස්තෝල (එව්වට දාන කැප් රෝලක් දෙකයි පනහක් වෙනව) බැට්ටි කෑලි වලිං වැඩ කරන වෙඩි තියන සද්දෙත් එක්ක රතු ලැයිට් පත්තුවෙන සෙල්ලං තුවක්කු ආදි තුවක්කුද,


 නූලක් දාල බෙල්ලෙ එල්ලං යන්න පුලුවං නලා තුනක් එකට හයි කරපු නලා, පනාව වගේ හරහට අල්ලං තොල් දිගේ දෙපැත්තට ඇද ඇද පිඹින හිල් හිල් ගොඩක් තියෙන දිගැටි  නලා, බටනලා, හොරනෑව වගේ දිග මැදිං තියෙන හිල් ඇඟිල්ලෙං වහල පිඹින නලා, නලාව මැදිං එලියට ඇවිත් තියෙන කූරට අමුනපු මුද්දෙං ඒ කූර ඉස්සරහට පස්සට කරන ගමන් පිඹින නලා (ඒ ආකාරෙට නලාව පිඹිනකොට “වියෝ වියෝ“ කියල සද්දෙයක් එනව), අපේ ආත වායු පිටකරනව වගේ සද්දෙ එන ලාබ නලා,  ආදී කොට ඇති සියලුම නලා සහ සෙල්ලං දුරදක්නද,


කොන්ඩ බෑං, කොන්ඩ කටු, කොන්ඩ බූල්, මොට්ටු, සාරිකටු , වළලු, පාට නූල්, ඉමිටේසන් මාල වලලු මුදු කරාබු ආදී ආදී සියලුම කාන්තා ආයිත්තම්ද,


රිදී චේන්, මිනී ඔලුවත් ඇටකටු සැට්ටෙකත් එක්ක තියෙන රිදී චේන්, රත්තරං ගාපු චේන්, ඇත්දත් මුදු, අතේ බඳින පටි, කලු නූළක් හා කතරගම දෙයියන්ගෙ කුඩා කාලෙ දැක්වෙන පිංතූරෙ සහිත පෙන්ඩන්ට් එකකින් යුතු මාල, ඇත්දල දෙකේ පෙන්ඩන්ටෙක සහිත නූල්, කහ සහ රතු නූල්, නවගුනවැල් ආදී සියලුම පිරිමි ආයිත්තම් ද,


කැප්තොප්පි, ඉඳිකොල තොප්පි, සිංහය සහ කඩුව සහිත Sri Lanka කියල සඳහන් රවුං ගෑනු තොප්පි, සංග්ලාස්,  ඔලුවෙ බඳින ලේංසු, ආදී ඔලුවෙ දාන දේවල් වලිංද ඒ කඩ පේලිය සම්පූර්ණ වෙනව.


ඒ හැම දේකම ගාන රුපියල් සීයට එහා හිංදත්, “එව්ව අස්ප ගනං“ කියල නඩේ කීප දෙනෙක් කියපු හිංදත් මං මොනවත් ගන්නෙ නෑ.  පස්සෙ කාලෙක සල්ලි හම්බකරල ගන්න මං ඒවා මතක තියා ගන්නව.


සැයු : මේ දිනවල කංතෝරුවේ ඉතා අධික වැඩ හේතුවෙං ලියා ගැනීමට කල් මදිවූ නිසා මෙම කොටස දැමීමට රෑ වූ බව සලකන්න.



Saturday, July 18, 2015

වට වංදනාව නොහොත් Circle Pilgrimage 7

ආයිත් බස්සෙක නවත්තන්නෙ දවාලට කන්න කියල. අතරමග තියෙන පංසලක් හොයාගෙන පංසල් මිදුලෙං බස්සෙක ගාල්කරල බාප්ප යනව පංසලේ හාමුදුරුවො මුනගැහෙන්න. පංසල් වත්තෙ ඉඳං දවල් කෑම ගන්න අවසර ඉල්ලන්න. කොයි පංසලේවත් ඒකට එපා තියන්නෑ. හතලිහක් විතර ඉන්න බස්සෙහෙක එකා රුපියල් පහ ගානෙ පිං කැටේට දැම්මත් කීයක්ද පිංවත්නි. දෙසීයක්

බිමට බැස්ස ගමං කොටසක් අතපය හිරි ඇරල වටේ පිටේ ඇවිදිනව. තව කොටසත් පන කඩාගෙන වැසිකිලි හොයං යනව. ඒ ඔක්කොම අතරෙ බඩගින්න ඉවසං ඉන්න බැරි අය පෙරටුව අනික් අය කන්න පටං ගන්නව. ඉතිං රෝංදෙ ගිය අය එනකොට කට්ටියෙං සමහරක් කාල ඉවරයි. ආච්චම්මත් පුංචියි, අක්කයි, අයියයි එක්ක “කක්කුස්සියක්“ හොයාගෙන ගිය හිංද මට ඒ අය එනකං ඉන්න වෙනව. මගෙ බත්මුල තියෙන්නෙත් ආච්චම්මගෙ බෑක්කෙකේ. මං එතකං බස්සෙකේ පිට පැත්තෙ දූවිලි වැදිල අඳුරුවෙලා තියෙන තහඩුවෙ මගෙ නම ලියනව. ඊට යටිං ‘අනේ මාව හෝදන්න‘ කියලත් ලියනව. බස්සෙක වටේ යනව.

“එන්න අපේ පංගු ඔලිං කන්න පුලුවං“

සමහර අය නයාට අඳුකොල පෙන්නන්න හදනව.

“බෑ... පස්සෙ කංනං ආච්චම්ම එක්ක“

ආච්චම්මට සෙනෙහෙවංත මුනුබුරු වන මං කියනව. ඔය අතරෙ එකාට එකා පේලියට ඉඟටියෙං බදාගෙන එහෙට මෙහෙට විසිවෙවී එන පුංචම්මත්, අයියත්, අක්කත් ඒ පිටිපස්සෙං වට පිට බල බලා කියෝ කියෝ එන ආච්චම්මත් මං දකිනව. අපේ පුංචම්මත්, අයියත්, අක්කත් නිතරම එකළඟ ඉන්නකොට තුරුල්වෙලාමයි ඉන්නෙ. ඒගොල්ලං ගිය ආත්මෙ කුරුල්ලොද කොහෙද. දැනුත් ඒ අය එන්නෙ මැද්දෙ ඉන්න එකා දෙපැත්තට අත්දෙක දාල දෙපැත්තෙ දෙන්නව තුරුල් කරං සහ දෙපැත්තෙ දෙන්න මැද එකාව තුරුල් කරං. ඉතිං සමහර වෙලාවට තුංදෙනාගෙ ගමං වේගෙ වෙනස් වීමෙං කකුල පැටලිල වැටෙන්නත් යනව. ඒ කාංඩෙ එද්දි පලමුව බත්ක කාපු අය බත්කොලත් අතේ උංඩි කරගෙන බස්සෙකෙං බිමට බැහැල වතුර බොනව.

“උඹ රෙ** වත් හු** කරන්නවත් යන්නැද්ද? ආයි මග තැං නෑ... බොට මගදි කලිසමේ **නොත් ඕං අපි එහෙම නෑ. ආනාදිකම නැතුව ගිහිං වරෙං ආං අර මුල්ලකටවත්“

බඩපනුවො පිනුංගහන ඒ මනරම් අවස්තාවෙ ආච්චම්ම මරු කියෝනව. ඒ අතරෙ මං බෑක්කෙකෙං බත් මුල් දෙක එලියටත් අරං ඉවරයි.

“මොකදැ බොට ඔච්චර හදිස්සියක්. හිටහං අර ඩිමුටු පුටා ඉන්න වගේ කලබොල නැතුව. බොට ඔහෑටි බඩකිනිනං ගෙදර ඉන්න තිබ්බනෙ“

ගහන්න ඇහ්නං අම්ප මේ අම්මන්ඩිගෙ හොස්සෙ මේ බත්මුල. මට බඩකිනි උනහම යකා නගින විත්තිය උන්දැ දංනැද්ද මංද. මං සද්ද නැතුව බත්මුලත් අරං ටිකක් දුරිං තියෙන සීට්ටෙහෙකට ගිහිං දිගෑරගන්නව. නැත්නං මටත් ඒගොල්ලංගෙ ‘කුරුලු කෑම‘ කන්න වෙනව.

“මේ කිට්ටුවෙං හිටහං. ඔය අනුංගෙ සීට්ටොල බච්චිහිරෝල බැනුං අහන්නැතුව. ඇයි බොට අපි ඉන්න තැංඔල ඉන්න නාකද? අපේ ඇඟේ හොරිද?“

උංදැ ආයිමත් හිරිකිත ජාතියක් මතක් කරනව. මං සද්දෙ නැතුව කන්න පටං ගන්නව. මට මොකෝ උංදැ මොනව කිව්වත්. අයියත්, අක්කත් හිචි හිචි ගගා මොනවද කියල හිනාවෙනව මට ඇහෙනව. මට මොකද උං ඕනි එකක් කියපුවාවෙ. බත් කටවල් හතරක් විතර කද්දි ඒ කාංඩෙ ‘කුරුලු කෑම‘ පටං ඇරං කියල මං දකිනව. අනේ අප්පේ අරුං ආච්චම්මගෙ ලොඹු කටේ උලල කන හැටි. බත් කටවල් දෙකක් කටට දාගෙන ආච්චම්ම කියවිල්ල පටං ගන්නව.

මේ පංසලේ හරිහමං කක්කුසියක් නෑනෙ. හාමුදුරුගොල්ලංටවත් හරිහමං තැනක් නැතුවද කොහෙද? අර මංගිය එකේ කොයිකෙක්ද අලි **** දාල වතුර ගහං නැතුව ගිහිං. හිරිකිචේ බෑ“

ඉදකිං මුංදැ කියන හිරිකිත කතා. කන්න ගත්ත බත් කටත් පංගුවට දාල ඒක එහෙම්මම ගුලි කරගෙන මං බස්සෙකෙං බහිද්දි ආච්චම්මගෙ ගෝරනාඩුව ඇහෙනව.

“තෝ කන්නැද්ද ඕක. අපසාදෙ බච්ටික. ඔව්ව බොගෙ මහඑකා හම්බුකොරපුව නෙමෙයි. ඔය විදිහෙං අහක දාන්න. හිටපංකො බොට සෑටත් හුලං බිබී ඉන්න අරින්න“

මං ගනං ගනී ඕව. මං දැනටමත් ඩිපෝ එකේ ඩැයිබරල කීප දෙනෙක්ගෙ හොඳ යාලුවෙක්. ඒ අයට කියල මං දවසක ආච්චම්ම කොහෙ හරි ගමනක් යන්න බස්සෙකට නගින්න ඉන්නකොට උංදැට නගින්න නොදී බස්සෙක අද්දෝනොව. අනික අද උනත් උංදැව බස්සෙක පල්ලෙ දාන්න මට බැරිකමක් නෑ.

එයිං පස්සෙ ගෙවල් වලිං ගෙනා කෑම ඉවරයි. එදා ඉඳං රෑට, උදේට , දවල්ට තුං වේලම උයං කන්නෙ. ඒකත් වෙනම කෝස් එකක් කියල බාප්ප කියනව මම අහගෙන. මුලිංම කාපු අය ඔක්කොම ඉවර කරල තැංපත්ව ඉඳං යන්න හදිස්සි කරද්දි අපෙ ආච්චම්ම වතුර බොනව. කාල බීල සියල්ල සංසුං උනාම පිටත්වෙන්න කලින් නඩේ එක්කෙනෙක් එයාගෙ තොප්පිය අරං නඩේ අයගෙං සම්මාදං එකතු කරනව. කවුරුත් ආයිමත් ලේංසු ගැට ලිහමින්, පොකට් අරිමින්, මාරු සල්ලි නැත්තනම් අනික් අයගෙන් ණයට ගනිමින්, රුපියල් පහ, දහය දෙනව. බාප්පයි, තව කෙනෙකුයි ගිහිං ඒ සල්ලිටික පංසලේ හාමුදුරුවන්ට දීල වැඳල එනව. ඒක රජ්ජුරු කෙනෙක් හදපු පංසලක් නොවන හිංද ඒ පංසලට වඳින්නෙ නෑ. වංදනා ගමං ගියහම වඳින්නෙ ලොකු පංසල් විතරයි. ආයිමත් ගමන පටං ගන්නව. අඩු අය හෙවීම, ඒ අය හොයන්න යාම, හොයන්න ගිය අය හොයන්න යාම සහ අවසානයේදී බාප්පා විසින් “ඔක්කොම ඉන්නවද“ බැලීමත්, ආච්චම්මගේ “ඩිමුටුපුටා සහ ජුව“ හෙවීමත් මේ හැම අවස්ථාවකම සිදුවන බව මතක තබා ගන්න.

අපේ ඊළඟ ගමනාංතය කතරගම. රෑට නවතින්නෙ එහෙ. කෑමෙං පස්සෙ කටට ටිකක් පණ ආපු හිංද ආයෙත් කට්ටිය සිංදුව පටං ගන්නව.

ඉස්සං මගුරං ලොකුවැලි ගොව්වං
මේදැං අල්ලපු මා..ලූ...
ලාබයි ගන්නකො යාලු..
ආ..... අ..අ .....ආ.......
ආ..... අ..අ .....ආ.......
අලපොතු මාලුව ඇගලේ වඩවයි
මමනෑ කියන්නෙ බේ ගල්
කේබල් කරකර ඉන්නෙ ඇයි තව ඔතාල දෙන්නද මේබල්
සිංලිංදු නයිවැල එහාගෙ දර මැගියක්කටමේ දැං වික්කේ
සතදහයක්කඩු කරලා දෙන්නං ගන්නවාද මැගියක්කේ...

සිලිංදු නයිවැල කියන කොටසනං මට ටිකක් හිතට හරි නෑ. සිනිදු උනත් නැති උනත් නයි, ගැරඬි ආදී උරගයො මට හිරිම හිරිකිතයි. පස්සෙ කාලෙක ඒක සිනිදු නයි වැලක් නොව සිලිං තුනයි වැල බව මං දැනගන්නව.

ඔය විදිහට හැංදැ වෙනකොට අපි කතරගමට එනව. ඒ ගමං මගදි උයන කලමනා ගන්නත් තැං කීපෙක නවතිනව. හාල් මිටියෙ පටං හැම දේම ගන්නව. ඔය අතරෙ ආයිමත් කලු කවරවල පුරෝපුවත් ගේනව. ඒ එක්කොමත් අරගෙන ඇඳිරි වැටෙද්දි අපි නවාතැං ගන්න “විස්රාම සාලාවට“ එනව. වංදනා ගමනක් ගියහම නවතින්නෙ විස්රාම සාලා නැත්නං පංසල් වල. ඒක හරිම අපූරු අද්දැකීමක්.

කතරගම ‘සීටීබියෙකේ‘ විස්රාම සාලාව කලිංම ටැලිපෝං එකෙං කියල වෙංකරල තියෙන හිංද ගානක් නැති වගත්, නැහ්නං විස්රාම සාලා හොයනෙක පනයන වැඩක් බවත් කට්ටිය කතාවෙනව.

විස්රාම සාලාවෙ ඉස්සරහම රතු පාට ගාපු කොංක්‍රිට් බෝඩ්ඩෙකක් තියෙනව.

“ලංකා ගමනා ගමන මණ්ඩලය කතරගම විශ්‍රාම ශාලාව“

ඒක ඉස්කෝලයක් වගේ විසාල ගොඩනැගිල්ලි කීපයක් මිදුලෙ අඹගස් වවල එව්ව වටේට අඩියක් විතර උසට බැම්මකුත් බැඳල. බස්සෙක නවත්තපු ගමං බාප්ප බස්සෙකෙං බැහැල ගොඩනැගිල්ල ඇතුලට යනව. පැයගානක් ඉඳගෙන පැතලි වුන පස්සවල් උස්සගෙන අපිත් නැකිටිනව. නිදං හිටපු අය ඇහැරෙනව. අනික් අය හිරි අරිනව. වටපිට බලනව.

“එහෙනං බහිමු බිමට. බඩු මුට්ටු මොනවත් තියන්නෙපා බස්සෙකේ. ඒ ඔක්කොම ගන්න. නැත්නං නැතිවෙයි“

ආපහු ආපු බාප්ප කියද්දි අපි රාක්කවල, සීට් යට, තියෙන බෑක් පෙට්ටි ආදියත් අයිනෙ කොකුවල, සීට් පොලුවල එල්ලල තියෙන වතුර බෝතල් හා සොපිං කවරත් අරං බහින්න පටං ගන්නව.

“අයියෙ මේං මේ බෑක්කෙක අරං දෙන්නකො“
“කෝ දියං ඔය පෙට්ටිය මං අරගන්න“
“ආ පුතාගෙ අනික් සෙරෙප්පුව මගෙ සීට්ටෙක යට තිබුනෙ“
“මේ ටික තියල එන්නං බඩු ටික බාගන්න“

හැමෝම කාට කාටත් සහයෝගෙං උදව් කරනව.

“සුරංග... සුරංග.... මේ බෑක්කෙක ගං බිමට“
“හා.. කලබල නැතුව ඉන්න නැංදෙ මං අරං දෙන්නං. හීංසැරේ බයිමු“

මට පැවරෙන වැඩෙත් ලඟ හිටපු කෙනෙක් කරල දෙන්න හදනව.

“චූටී.. ඔය ළමයි දෙංන අල්ලගනිං හයියෙං. නැහ්නං බැහැල එහෙමෙහෙ දුවයි. කොයි දීපංකරේ කියල හොයන්නද නැතිඋනොත්“
ආච්චම්ම අයියවයි, අක්කවයි මොංටිසෝරි යන එවුං ගාන්ට සලකල කතා කරනව. උංදැ හිතං ඉන්නව ඇත්තෙ අයියයි අක්කයි බලං ඉන්නෙ ‘බිමට බැහැපු ගමං කොහෙට හරි දුවල අතරමං වෙන්නං‘ කියල හිතාගෙනයි කියල.

“ඒ ලමයි කොහෙ යන්නද නැංදෙ. ඒ ගොල්ලං ලොකුනෙ. අනික දැනුං තේරුං තියෙනවනෙ“

අපෙ ආච්චම්මගෙ හැටි නොදන්න කෙනෙක් උංදැ කෙරෙහි පතල කරුණාවෙං කියනව.

“අනෙ කෑනෙගහ හිටිං. කොයිකෙක්වක් මේ ලමයි දෙන්න අරං ගියොත් එහෙම මොකද උඹ එනවෑ හොයන්න. අනික හොඳට ඉගෙනගංන පුලුවං ලමයි.“

ඉගෙන ගන්න පුලුවං කියල උංගෙ පිටේ ගහල තියෙනව වගේ ආච්චම්මගෙ කතාව. ආච්චම්මගෙ සැර කෙරිල්ලට වටේ හිටපු හතරපස් දෙනෙක්ටම හිනා යනව. සමහරු කුටු කුටු ගාල කතාවෙලා ආයි හිනාවෙනව.

“අනේ අම්මෙ කෑනොගහ ඉන්න අම්මෙ. මං ලමයි දෙන්න බලාගන්නං. ආයි මොකවත් කියන්නෙපා අම්මෙ“

පුංචම්ම ආච්චම්මට නොවඳිනා වැඳුං වැඳල ආච්චම්මව ඇදං විගහට බිමට බහිනව.

“අනෙ කෑනොගහ හිටිං චූටියෙ. ඌ නං කියයි කොයියන්නද කියල. මේ.. මෙහෙට වරෙල්ල උඹල දෙන්නම“

ආච්චම්ම අයියවයි අක්කවයි ඇදල ගන්නව ලඟට.

“අර මිනිහ එහෙම කතා කොලාට එහෙම කොහෙවක් යන්නෙපා. හොඳද?. ඌ මහ එක ජාතියක මිනිහෙක් මට පේන්නෙ. ඇහුනද? තේරුනද බොලට? ආයි කරෝල වාඩියකට ගිහිං දැම්මොත් එහෙම උඹල එන්න නෙමෙයි ගෙදර. ඒක හිංද කියන එක අහල දඟ කරන්නැතුව ඉන්න ඕනි තේරුනාද? ඈ? දෙන්නටම කියන්නෙ“

ආච්චම්ම උං දෙන්න “හා“ හෝ “ඔව්“ කියනකංම හොල්ලනව. ආච්චම්ම කියාපු හරිය නඩෙං බාගෙකට ඇහෙද්දි බාප්පගෙ සායම හේදිල ගිහිං පොලවට උරා ගන්නව. අක්කයි, අයියයි, පුංචම්මයි හතර අතට ඇඹරෙනව. හැමදා නියං එකදා වැහි වලාවේ.

උයා පිහාගන්න ලිග්ගල් දෙකතුනක් සහිත මඩුවක්, වැසිකිලි කීපයක් සහ වතුර ටැප්පෙකක් යන මූලික පහසුකම් සහිත විසාල සාලාවක් විශ්‍රාම ශාලාව නමින් හැඳින්වෙනව. ඒ සාලාව ඉස්කෝලවල පංති කාමර වගේ කෑලි කීපෙකට බෙදල තියෙනව. ඇඳං, මේස, පුටු ආදී කිසිම බඩු බාන්ඩෙයක් නැතුව සිමෙන්ති පොලව සහ එලිය දෙන්න බලුප් කීපයක් ඇරුනම වෙන කිසිම දෙයක් ඒකෙ නෑ. නිදාගැනීම, බඩු බාන්ඩ තැංපත් කිරීම ආදිය සඳහා බිමට ඉටි රෙද්දක් එලා ගත්තම හොඳටම ඇති. කොට්ට වෙනුවට ඇඳුං කීපයක් නවල තියාගන්නත් පුලුවං, නැත්තං බෑක්කෙක් තියාගන්නත් පුලුවං.

බඩු භාණ්ඩ තැංපත් කලායිං පස්සෙ කට්ටිය කාන්ඩ කීපෙකට බෙදිල වරිං වර ගිහිං “මූන අතපය“ හෝදගෙන එනව. හැමෝම එකපාර ගියොත් බඩු මුට්ටු පරිස්සං කරගන්න බැරි හිංදයි එහෙම කොටසිං කොටස යන්නෙ.

ඒ අතරෙ බාප්ප ඇතුලු කීප දෙනෙක් බස් එකේ තියෙන උයන පිහන කලමනා, විසාල සාස්පාං, තාච්චි ආදිය අරං ඇවිත් උයන මඩුවෙං තියනව. තව දෙන්නෙක් බස් එකේ වහලෙං අවශ්‍ය දරමිටි ප්‍රමාණෙ බානව. සේරම බඩු ගෙනාවට පස්සෙ ලොකු සාස්පානකට වතුර එකක් පුරවල ලිපෙං තියනව. ඒ වතුර එක රත් උනහම නාගෙන, මූන හෝදගෙන හෝ කරෙං පාත නාගෙන එන කාටත් පුලුවං තේ බොන්න. ඒක තම තමං හදාගන්න ඕනි. උනුවතුර විතරයි දෙන්නෙ.

ඔය අතරෙම දෙන්නෙක් පොල් ගානව. තව දෙන්නෙක් හාල් ගරනව. තව කෙනෙක් අල ගෝනියක් දිගෑරගෙන ගෙඩියෙං ගෙඩිය පෙරං ගානව. තවත් අය වෙන වෙන වැඩ. ඒ අතරෙ ‘නාගෙන‘ එන අය එතන තියෙන වැඩ බාර අරං වැඩ කරන අයව නාන්න යවනව.

“ඔය අල ගෝනිය මට දීල ගිහිං නාගෙන වරෙං“

“හා උඹ පලෙයං මං පොල් ගාන්නං“

“මෙතියෙස් අයියෙ, මං නාගෙන එනකං මේ සාස්පානට වතුර එකක් තියහං බත්තුයන්න“

“අතුල උඹ සාලාවෙං හිටහං කට්ටිය නාගෙන එනකං. එතන බඩු මුට්ටු තියෙනවනෙ“

ඒ කවුරු ගියත් බාප්පත් තව දෙන්නෙකුත් එතන ඉතුරු වෙනව. ඒ අය නාන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම අන්තිමට.

බස්සෙකෙං බැස්ස වෙලේ පටං අක්කවයි අයියවයි ආච්චම්මගේ අත්තඩංගුවට පත්වෙනව. තමුං නැතුව මේ ළමයි දෙන්න ආංබං කරන්න අමාරු බව අනික් අයට පෙන්නන්න ආච්චම්ම කටයුතු කරනව.

“ඩිමුටුපුටේ, සුදු මහත්තෙයා, ජුවේ, හිමිං යං හිමිං.. වැටෙයි නැහ්නං ඔය ගල්ගෙඩිඔල පැටලිල“

උං දෙන්න ඇවිදින කොට ආච්චම්ම වේග සීමා දානව.

“දෙන්නත් එක්ක මෙන්න මෙහෙට වෙලා ඉඳහල්ල. ඔය කරුවලේ අහරෙ මෙහෙ යන්නැතුව“

ගමනාගමනය පාලනය කරනව.

“ඔය එක එකා දෙන එව්ව කන්නෙපා“

ආහාර පාලනය කරනව.

“ඔය එක එකා එක්ක කියොවන්නෙපා. ගෙදර සල්ලි තියෙනවද? තාත්තගෙ පොතේ සල්ලි තියෙනවද? අම්මගෙ රත්තරං බඩු කොහෙද? කියල චාටුවෙං අහගෙන අංතිමට ගෙට පැනල බෙලි මිරිකයි“

සංනිවේදනය පාලනය කරනව.

මේ ගමන මං ආච්චම්මගෙ කිසිදු සේවාවක් නොකරන හිංද උංදැට මං ගැන කිසිම ගානක් නෑ. අයියවයි අක්කවයි පාලනය කරන එකෙං උංදැ සංතෝසෙට පත්වෙනව.

“නෑ. මංමේ කිව්වෙ මේ ජූටයි පුටාටයි එක තැනකට වෙලා ඉන්න කියල. දැං කාලෙ කිසිමෙකෙක් විස්සාස නෑ“

ආච්චම්ම අහල හිටිය ගෑනු කෙනෙක්ට බලෙංම කියනව. ටික වෙලාවක් යනකොට අහල පහල හිටපු ගෑනු කීප දෙනෙක් බලෙංම අල්ලගෙන ආච්චම්ම කියවිල්ල පටං ගන්නව.

“අපෙ චූටිට මේ ලමයි දෙන්න පරිස්සං කරගන්න කිසියාම්ම කිසි තේරුමක් නෑ. දැංකාලෙ ළමයි පරිස්සං කිරිල්ල ලේසි නෑ. අනික මේ ලමයි දෙන්න රතෙං රතට ඉන්නකොට ඕනි එකෙට්ට ගිනියන්න හිතෙනව. ඉගෙනගන්න පුලුවං ලමයිනෙ. කවදහරි වයසට ගියහං කන්න හම්බුකොල්ල දෙන විත්තිය දන්න හිංද ඕනි කෙනෙක් චාටුවෙං ඇරං යන්න බලනව. නැද්ද මං අහන්නෙ?“

“එහෙනං.. ඔව් ඔව්“
එක් ශ්‍රාවිකාවක් කියනව.

“මං නං කිසිම ලමයෙක් ඔහොම ආලපාලුවට යන්න ඇරියෙ නෑ. ඔය අපේ චූටි උනත් හිතුවක්කාරෙට ජෝකපාල එක්ක පැනල ගියාට ඕකුංට මං පොඩි කාලෙ කිසියංම කිසි අඩුවක් දැක්කුවෙ නෑ. ඉස්කෝලෙට ඇරෙන්න ආයි කිසිම දිහාක තනියෙං ඇරියෙ නෑ. ඔය ඉස්කෝලෙ යද්දිනෙ ජෝකපාල එක්ක ලැහැත්ති වෙලා පැල්ල ගියෙ. නැහ්නං මුංගෙ මහ මිනිහනං කිසිම කැමැත්තක් තිවුන්නෑ ජෝකපාලට. ඒ දාස්සොල ටිකැට් කඩන එකනෙ කොලේ. චූටිත් තව ඩිංගක් එහාට ඉගෙන ගත්තනං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්.“

ආච්චම්මගෙ කටෙං ගලා බහින ඕපදූප ගංගාවට අහුවෙලා බාප්පගෙ ඉතුරු සායං ඩිංගත් හේදිලා යද්දි පුංචම්මට ඔත්තුව දෙන්න හිතාගෙන මං එතනිං විගහට මාරු වෙනව.