Follow by Email

Saturday, June 27, 2015

වට වංදනාව නොහොත් Circle Pilgrimage 4








සිංදුව නවත්තන්න කියල මට වම් පැත්තෙං තියෙන හාංසි පුටුවෙ ඉඳං ඉන්න බාප්පගෙං වදින අප්පුඩිය වෙනුවට  දකුණු පැත්තෙ කනට වැදිච්ච හෙන ගෙඩිය මොකද්දැයි කියල බලන්නවත් සිහියක් එන්න කලිං ‘ආර්ටිඇස්‘ එකේ දළු ලොරිය කන්ද අදින්නා වාගෙ ඇහිච්ච මහා ගෝරනාඩුව මගෙ අනික් කනෙත් අගුලු දානව.

“පෙනේද මුගෙ වයසට කියන කතාද මේව. තාම දැලි රැවුල ඇදිලත් නෑ. කියන්නෙ තිත්ත කුණුහරුප. ආයි හැදෙන්න දෙයක් නෑ. මූව හෙට උදේට පොලිසියට අල්ලල දෙන්න ඕනි. “

මගෙ කනට දුන්න පාරට හේතුව විග්‍රහ කරමින් ගෙදර ඉන්න බාල පුංචම්ම බැනවැදුනත් ඒකෙ අගක් මුලක් තේරුං ගන්න බැරුව මං වටේ බලනව. වටේම ඉන්න අයගෙ ඇස් මයෙ දිහාට යොමුවෙලා තියෙනව. ඒ අයගෙ ඇස්වල කුප්පි ලාංපුවෙ දැල්ල පුංචියට දිලිසෙනව. ඔය සද්දෙ ඇහිල ආච්චම්මත් කුප්පි ලාංපුවක් දික්කරං එතැන්ට එනව.

“මොකෝ මැණිකෙ උනේ. මූ සුදු මාත්තෙයට ගැහුවද? ලාංපු කුප්පිය පෙල්ලුවද? “

මගෙං වෙන්න පුලුවං යැයි එවෙලෙට සිතෙන චෝදනා දෙකක් ඉදිරිපත් කරමින් ආච්චම්ම අහනව. මං කරපු වැරැද්ද මොකද්ද කියල කියන්න කාගෙවත් කට ඇරුන්නෑ. ඒ වුනාට බැනිල්ල නං අඩුඋනේ නෑ.

“අච්චර බොන්න යන මුගෙ තාත්තවත් ඔහොම එව්ව කියන්නෑ“

“ඉස්කෝලෙ යනව කියල හොහෙ යනවද දංනෑ. මූ මේව ඉගෙන ගන්නෙ කොහෙංද නැහ්නං“

“පොලිස්සියට අල්ල දුන්නනං මූව අරියි පරිවාසෙට හැදිල එන්න“

පේන විදිහට මං කරල තියෙන වැරැද්ද ‘කසිප්පු පෙරිල්ල‘, ‘හොරෙං දලු කැඩිල්ල‘, ‘රණ්ඩු කර ගැනිල්ල‘ වගේ දේවල් වලටත් එහාගිය වරදක් වගේ.

“හරි හරි මැනිකෙ. දැං ඔය කතාව නවත්තමු. මට පේන්නෙ සුරංග දැනගෙන කියපු එකක් නෙමෙයි ඒක.“

මං තක්කුමුක්කු වෙලා වටේ බලද්දිම මට වෙච්ච දේ මංවත් නොදන්න බව බාප්පට වැටහෙන්න ඇති. අනික් අයටත් ඒ බව තේරිලද කොහෙද බැනිල්ල හිමීට නැවතුනා. මං කියපු සිංදුව කැසප්පීස්සෙහෙක තිවුන එකක්. ඉතිං ඒක කිව්ව එක වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළඟට සිංදුව කියන්න තිවුනෙ මට නොවෙයි වත්ද? මට ඒ ගැන කිසි කල්පනාවක් ඔලුවට එන්නෑ. මං ඔය විදිහට හිතද්දි මං වටේ ඉන්න අයගෙං මා කෙරෙහි අනුකම්පාවක් ඇතිවීගෙන එන බව මට දැනෙනව. ආං එතකොට මට මං ගැන දුක හිතෙනව. එතකොටම ‘මුහුහ්‘ ගාල එක පාරටම ඇඬුමක් පයිනව. මං එතනිං නැකිටල ගිහිං සාලෙ වී ගෝනි ගොඩගහල තියෙන අතරෙ ඉඩක බිම ඉඳගෙන, දනිස්ස අස්සෙ ඔලුව ගහගෙන අඩනව. වී ගෝනි ටික මාව වටකරගෙන හිංද මට එතන අමුතු ආරක්සාවක් දැනෙනව. ඒ අස්සෙං විඩිං විඩේ එකිං එක්කෙනා ඇහිල්ල මට කතා කරනව.

“සු**යෝ, නැකිටාං. බොට ඔතන බුදියන්න බෑනෙ. ආං අර පැදුට්ට ගිහිං බුදිය ගං“ 

ආච්චම්ම මගෙ මූනට කුප්පි ලාංපුව කිට්ටු කොල්ල අල්ලගෙන කියනව. මං අඬන සද්දෙ පිටට ඇහෙංන ඩිංගක් වැඩි කරනව.

“බොට බැයිනං නිකා හිටහං. අනෙ අපිට මොටද“ ආච්චම්ම කුප්පියත් අරං යනව.

“හූ.. හූ.. සු*** අඬනවෝ“ අක්කයි අයියයි මාරුවෙං මාරුවට ඇහිල්ල මං මූන වහං ඉන්න එක අතක් ඇදල දාල දුවනව. මං උංට පයිං ගහනව. ඔය කාටත් මාව වී ගෝනි ටික අස්සෙං එළියට ගංන බැරි වෙනව.
අංතිමේදී බාප්ප පුටුවෙං නැකිටල මං ගාවට එනව.

ස්‍රංග... ඕක ගනං ගන්නෙපා.. ඇහුනද? ආ... මං කියනදේ ආලා නැකිල්ලා ගිහිං අර පැදුරෙං නිදාගන්න. හෙට ඉඳං ලැහැත්ති වෙන්න අපිත්තෙක්ක ටිප්පෙක යන්න.

මට අනික් මොනවත් නොතේරුනත් බාප්ප කහපාටිං මතුකරල කියපු ටික මට හොඳටම වැටහෙනව. ඒකෙං මගෙ මූන වහගෙන ඉන්න අත් දෙකම පහලට වැටෙනව. කට ඇරෙනව. ඇඬුම වැහෙනව. බාප්ප නං දෙයියෙක්. ඇස් ඇරල බලනකොට මහා විසාල බඩ ගෙඩියක් තියෙන බාප්ප මං ඉස්සරහ හිටගෙන හිනහවෙනව.

ඕං ඔය විදිහට මටත් ඔය ගමන යන්න අවස්තාව ලැබෙනව. ආච්චම්ම මේ ගැ න එච්චර කැමැත්තක් නෑ. මොකද එයාට මේ ගමනට නාට්ටාමියෙක් ඕනි නෑනෙ. ඒ හිංද මට ඕනි අඩුමකුඩුම එක්කොම මං හොයාගන්න ඕනි. හීතලට අහුවෙන්නැති හිංද ආයි ‘බූල් ඇඳුං‘ හොයන්න ඕනිත් නෑ. දවස් පහක් හිංද ඇඳුං විතරක් යහමිං ඕනි. ඒ හිංද මං අහල පහල ගෙවල් ගානෙ අම්මව යවල ‘පස්සෙ ගෙනත් දෙන්නං‘ කියල ඇඳුං සූට් දෙකක් ගෙන්න ගන්නව. ඔය අතරට මගෙ ඉස්කෝලෙ අඳින කලිසමි කමිස දෙකත් ගත්තහම ඇඳුං සූට් හතරක් හරි. ඒ ටික දවස් පහට මාරුවෙං මාරුවට ඇංදැහැකි. ඔය අතරෙ මගෙ සිස්සත්තෙ සල්ලිත් ලැබෙනව. ඒක ගන්න අම්ම ඉස්කෝලෙට යන්න ඕනි. අම්ම අස්සං කලැයිං පස්සෙ සල්ලි හම්බෙන්නෙ අම්මගෙ අතට. මං ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපු ගමං අම්මගෙං ඒ සල්ලි ටික ඉල්ලනව. ඉස්කෝලෙං රුපියල් පංසිය ගානක් දුන්න බව මට මතකයි. එයිං තුංසීසක් අම්මගාව තිවිල මට හම්බුවෙනව. අනික් ටික ඉල්ලුවහම.

“ඒව ඉවරයි“

අම්ම කියනව. ඒ කියන්නෙ එයා ඒ ටික කොහෙ හරි කඩේකට ‘පූජ කල්ල‘.

ඔය අතරෙ ආච්චම්මට තියෙනව ලොකු රාජකාරියක්. ඒ තමයි දර පැලීම. අපි ගෙනාපුවයිං ලොකු කොට ටික හීං වෙන්න පලාගන්න ඕනි. ඒක ආච්චම්මගෙ රාජකාරිය. අපෙ ආච්චම්ම හිතන හැටියට දර නැතුව ඔය ටිප්පෙක යන්න තියා හිතන්නවත් නාකයි. දර කියන්නෙ ටිප්පෙකේ ප්‍රාණ වායුව හැටියට පෙන්නා දෙන්න උණ්දැ හැමවිඩේම උත්සහ කරනව.

මහතට තියෙන ගහේ මුලම හරියෙ කොට ටික පළාගන්න ආච්චම්මට අපෙ පියානංගෙ උදව් ඕනිවෙනව. එයා හවසට දෙකක් දාගන්න කලිං ‘සිහියෙං ඉන්න‘ වෙලාවක් බලල ආච්චම්ම ඒ පිළිබඳව කියනව.

“සෝංපාල, අර මුල කුට්ටි දෙක තුන මට ඩිංගක් හීං කොරල දෙන්නකො“

තමුංගෙ බෑනලට දුවේ, පුතේ කියල කතා කරන පුරුද්දක් අපේ ආච්චම්මලට නෑ. ඒක හිංද සිය බෑනාවරුං වූ සියලුම ‘පාල‘ලාට නමිං තමයි ආතයි, ආච්චම්මයි ඇමතුවේ. “ගුණපාල, ජෝකපාල, සෝමපාල“ ආදී  ‘පාල‘වරුංගෙං කෙනෙක් බැඳගංන බැරිවුනේ බාල පුංචම්මට විතරයි.  

“බැරියැ“

ආං එහෙමයි අපේ පියානෝ වැඩක් ‘හා‘ කියල බාරගන්නෙ. නොබී ඉන්න වෙලාවට වැඩි කතාවක් නෑ. එහෙම බාරගත්ත වැඩේ පහුවදා ඉඳං එයා කරල දෙනව. පොරවෙං පලන්න බැරි ලොකු කොටවලට මැදිං යකඩ උලක් තියල කුලු ගෙඩියෙං ගැහුවහම කොටේ දෙකට පැලීගෙන යනව. ඒ විදිහට කොටේ යංතං හතරට පලාගන්නකොටම ආච්චම්ම කෑ ගහනව.


“හා. ඔයෑති ඔයෑති. මං ඉතුරු ටික පලාගංනං. ඔය හැටි හීං කරන්නෝන්නෑ“


ආච්චම්ම කැමති නෑ දර පැලීමේ තියෙන අයිතිවාසිකමෙං ටිකක්වත් තමුංගෙං අහක යනවට. සම්පූරණෙංම දර කොටේ පලල දුන්නොත් ‘ඒක සෝංපාල පලපු කොටේ‘ බවට පත්වෙනව. එතකොට ආච්චම්මට “මේ දර සේරම මං සංපූරණෙං පළාදුන්නෙ“ කියල කියන්න බැරි වෙනවනෙ. ඔය විදිහට ආච්චම්ම කරදර කරනකොට ඒ වගේ දෙකට පලාපු එක දර පලුවක් ආච්චම්මට හම්බුවෙනව. එයා ඒක අරං එක පැත්තක් කොටෙයක් උඩ තියල අනික් පැත්ත බිමට හිටින්න තියල කොටේ උඩිං තියපු කොනට දෑත බදල පාරක් දෙනව පොරවෙං. ඒ පාර කොටේ කාගෙන ගිහිං  හිරවෙනව. ආච්චම්ම පොරවෙ මිටෙං අදිනව. දෙපැත්තට හොලවන්න බලනව. කොටේ පාගගෙන පොරව ගලවගන්න බලනව. පොරව නෙමෙයි හෙල්ලෙන්නෙවත්. උංදැ වටපිට බලනව. කියංදෝ නොකියංදෝ කියල හිතල අංතිමට කට අරිනව.


“සෝංපාල, මේ පොරොව හිරඋනානෙ. මේ කම්මලෙ බාස මේක පනපෝල නැද්ද කොහෙද හරියට නැත්තං මේක මෙයාකාර හිරවේයැ“


මීට මාස ගානකට කලිං පොරව පනපෝල දීපු කම්මලේ බාසුන්නැහැගෙ පිට වැරැද්ද තියල ආච්චම්ම තමුංගෙ මෝඩ වැඩේ වහගන්නව. කීප විටක් ඔය විදිහට කියවන්න ඇරල පොරව ගලෝල දෙන්න අපේ පියානං කටයුතු කරනව.


“ඕක තමා මං කිව්වෙ. ඔය පොරෝකෙටි ඔලිං මේක පලන්න බෑ“


ඔය ආදීකොට ඇති අලකලංචි රැසක් මැදිං දර පැලීම කෙරීගෙන යනව. අවසානයේ දවස් තුනක් විතර ගිහිං ආච්චම්ම දර පැලීම කරල ඉවර කරනව. ඉං පස්සෙ ඒව වේලන්න ඕනි. උදෙංම පලාපු දරටික මිදුලෙ පේලියට අහුරල අව්වෙං තියල හැන්දෑවට බිත්තිය අයිනෙං අඩුක්කරන එක ආච්චම්මගෙ චාරිත්‍රයක් බවට පත්වෙනව. ඒ අතරෙ වටේ පිටේ කවුරුහරි හිටියොත් කලිං ගමං වලදි වැඳගත්ත ‘සිද්දස්තාන‘ සහ එව්වයෙ පිං කැට වලට දාපු ගනං සහ ‘පිං පත්තර‘ වලට දීපු ගනං එහෙම උජාරුවෙං කියනව. අංතිමට එක් එක් සිද්දස්තානෙට දීපු ගනං හිලව් එක්කහු කරල මේං මෙහෙම කියනව.


“ගිය වලියෙ මං ඔය කවටයමුනෙ විහාරෙ පිංකැටේට දැංම සුපියල් අටක් - දෙකේ කට්ට තුනයි සුපියලේ එව්ව දෙකයි, එතකොට පිං පත්තරේට සුපියල් විස්සක්. බලහං එතකොට සුපියල් විසියටක් නේද? ඔය විදිහට හැම තැනටම මං දීල තියෙනව. ආයි උඹලෑ ආත වගේ (මෙතන ආත කියන්නෙ ආච්චම්මගෙ හස්බන්ඩ්) සිල් රෙද්ද *කේ ඔතාගෙන හතර පෝයටම රිංගන්න නොගියට මං ඒ අතිං යන තැනට වැඩ කොරගෙන තියෙන්නෙ. ම්චප්“


මෙහිදී ආච්චම්ම තලු මරල රෙද්ද ආයි පාරක් ලිහල අඳිනව. ආයිත් කරමින් හිටපු වැඩේම යෙදෙමින් කතාව පටං ගන්නව.

“උඹලෑ ආත දුන්නට මං ඔය මෙහෙ පංසලේ ඉන්න ගනෙයටනං සත පහක් දෙන්නෑ. උන්නාංසෙ දන්නෑ ආදාරෙයක් ගන්න. පෝය දාසටවත් පීකරෙයක් බැඳල, පිං පත්තරෙයක් අච්චු ගහල ගෙනත් තියල පිලිවෙලකට යමක් කරන්න එපායැ. උංනාංසෙ දන්නෑ එහෙම වැඩක්වක් කරන්න“


ආච්චම්ම කියන විදිහට පිනක් සම්පූර්ණ වෙන්නනං ආදාරෙයක් දුන්න කියල ගානත් එක්ක තමුංගෙ නම සද්දෙට කියවන්න ඕනි පීකරෙං. උංදැ හිතන්නෙ එතකොට දිවිය ලෝකෙට ඇහිල පිං පොතේ නමයි ගානයි ලියාගන්නව කියල වෙන්නැති. ඊට අමතරව ආදාරෙයක් දුන්න බව පස්සෙං පහු හරි ඔප්පු කරන්න ඕනි උනොත් කියල පිං පත්තරේකුත් ගන්න ඕනි. නැත්තං එවෙලෙ ලියාගන්න අමතක වෙලා බැරිවෙලාවත් මලායිං පස්සෙ දිවියලෝකෙට වැද්ද නොගත්තොත් ඉදිරිපත් කරන්න හරි අර පිංපත්තර ටික තියෙන්න එපායැ. එව්ව තියෙන්නෙ ආච්චම්මගෙ අල්මාරියෙ.


ඔය අතරෙ ගේ ඉස්සරහ හංදියෙ සෙනග ටිකක් යහමිං හිටියොත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමේ අරමුනිං මහන්සි නොබලා දර ටිකක් ගෙනැත් පාර අයිනෙ තියෙන පුංචම්මගෙ කඩේ මිදුලෙත් අඩුක් කරනව. එතකොට කවුරුහරි අවාසනාවංතයෙක්


“මොකටෙයි නැංදම්මෙ මෙයාකාර දර?“


කියල අහනව. අහපු සැනිං ඉතාමත් තෘප්තියට පත්වෙන ආච්චම්ම අතේ තියෙන දර ටිකත් බිමට අතෑරල රෙද්දත් ආයි පාරක් ලිහල ඇඳල “ම්චප්“ කියල තලුමරල, වංදනා ගමනෙ වංහුං කියන්න පටං ගන්නව. ගමන ලැහැත්ති කොරන්නෙ ‘ජෝකපාල‘ බවත්, ඩිපෝකෙ අසුවල් අසුවල් මහත්තුරු ගමන යන බවත්, ඒ ගමනට ‘මෙහෙං යන්නෙ මං‘ විතර බවත්, තවත් ගමේ කීප දෙනෙක්ම එන්න අහල ‘පොරකෑ‘ බවත් (මේකනං පට්ට බේගලයකි), ඒ උනාට ඒක එහෙම එක එකාලව එක්ක යන ගමනක් නොවන බවත්, ජෝකපාලට ‘පව්‘ කියල හිතිච්ච හිංද ‘චූටි මහත්තෙයව‘ බලාගන්නත් එක්කල ‘මූවත්‘ එක්ක යන බවත්, ‘මූ‘ පහුගියදාක රෑ කුණුහරපෙයක් කියල මැණිකෙගෙං ‘කට සැල්වෙන්න‘ ගුටිකෑ බවත් කියනව.


ඔය වගපල විස්තරේ අහගෙන ඉන්න බැරිම තැන අදාල අසන්නා, “හරක් බඳින්න යන්න තියෙන“ බව, “දං සීට්ටුව ඉල්ලං එන්න යමිං ගමං“ බව, “බෙහෙත් බඩුවක් හොයන්න යන්න තියෙන“ බව හෝ වෙනිං මොකක් හරි ‘තියෙන බව‘ කියල “ගිහිං එන්න“ හදනකොටම


“ආ.. උඹ ඇහුවට මට ඒක කියන්න බැරි උනානෙ. උඹ ඇහුවෙ මේ දර මක්කරන්නද කියලනෙ“


කියල ආයිත් කතාවට බහින ආච්චම්ම, මේ දර ගහ ‘සංපූරනෙංම පැලුවෙ‘ තමුං බවත්, හරියටම දවස් තුනකුත් ටිකක් මේ වැඩේට ගතවුන බවත්, ඒකට තමංගෙ ‘හොඳ පන‘ ගියබවත්, වෙනිං එකෙක්වත් ‘මෙහෙම කියල ඩිංගක් (මෙතනදි ආච්චම්මා සිය අතේ ඇඟිල්ලක අග පුරුකෙං අංතිම ප්‍රමාණය දක්වයි)‘ උදව්වක් නොකල බවත්, කියනව. උන්දැ කියන විදිහට එතකොට බාප්පත්, අපේ පියානනුත්, මමත් දර කෑල්ලක් අල්ලලාවත් නැත.


ඉතිං අසන්නත් ආයිත් විඩෙයක් “ගිහිං එන්න“ හදද්දි,


“කෝ ඉතිං තාම මට උඹ අහපු එකට උත්තරේ දීගන්න බැරි උනානෙ. මේ වැල්වටාරං හිංද“


කියල, මේ දර තියෙන්නෙ ඉහතිං විස්තර කළ ‘වංදනාවෙ‘ යන දවස් ටිකට උයාගෙන කන්න බවත්, මෙම ගමනේ මූලිකම අවශ්‍යතාව වන දර සපයන්නෙ තමුං බවත්, ඒ ටිප්පෙකට දර සපයන්නෙ තමුං වීම නිසා “ජෝකපාලට“ ඩිපෝකෙ සෑහෙන්ට සැලකිලි තියෙන බවත්, තමුං සපයන දර ටික නැත්තං ‘වන්දනා ගමං‘ ගිහිං හමාර බවත්, යන්න හැරෙන අසන්නාගෙ පස්සෙං එලවං ගිහිං කියනව. 


ආච්චම්ම කියන විදිහට උන්දැගෙ දර නැත්තං මිනිස්සු වංදනා ගමං යන්න විදිහක් නැතිව හාමතේ මහ මග හාමතේ මියැදෙනු ඇත.


ඔය විදිහට පනවගේ රැකගෙන තියෙන දර ගොඩෙං දිනපතා දර කෑලි දෙක තුන බැගිං අඩුවී සතියක් පමණ යත්දී ඇස ගැටෙනා පමන වෙනසක් ඇතිවන බැවිං ආච්චම්ම “දර කෑලි ටික හොරකං කොරන එකා“ හොයන්නත් කටයුතු කරනව. ඒ වෙන කවුරුවක් නොව ගෙදර ඉන්නා සිය ‘බාල දෝනියැංදා‘ දර කෑල්ලක් හොයාගන්න තියෙන කම්මැලි කමට කරන වැඩක් බව ලිපේ පත්තුවෙලා ඉතුරු වෙච්ච දර කෑල්ලකිං ආච්චම්ම හොයා ගන්නව.


සතියකටත් දවස් දෙක තුනක් වැඩියෙං කල් අව්වෙ වේලිලා, කරකුට්ටං වෙලා, ආච්චම්ම අතින් වර්ණනාවට ලක්වෙලා පදං වෙන දර ටික ‘වංදනා ගමනට‘ දවස් දෙකකට විතර කලිං, දලු ගෝනි වලිං ගලෝගත්ත කොහු ලනුවලිං අපේ පියානං අතින් මිටි බැඳිල ‘දර මිටි‘ බවට පත්වෙනව. ඒ දරමිටි වංදනාවෙ යන බස්සෙකට නගින්න බලාපොරොත්තුවෙං පුංචම්මගෙ කඩේ අගුවෙ කොනක තැංපත්වෙලා ඉටිරෙද්දකිං මුවා වෙලා බලං ඉන්නව.

Sunday, June 21, 2015

වට වංදනාව නොහොත් Circle Pilgrimage 3




මේ තියෙන්නෙ අපි ගමං කල පාර. මීට අවුරුදු 6 කට විතර කලිං ගත්ත එකක්.
කඩා වැටී හිර වුන සබර(මේක රබර් හෙවත් rubber නමින් හැඳින්වුනත් අපේ ගමට ඒක ඒ ගහ ‘සබර‘ බවට පත්වුනා) ගහ ඒ වේගෙට තමංව රඳවා ගත් පුවක් ගහේ ඉදිච්චි පුවක් ගෙඩි හත අටකුත් බිම දානව. ඒක දැක්ක ගමං ආච්චම්ම ‘කුප්පමේනිය මුලක් දැකපු බලලෙක් වගේ‘  වැටිච්චි පුවක් ගෙඩි ටික අහුලන්න පනිනව. බැරි වෙලාවක් ගහ ගැස්සිල වැහ්නොත් ආච්චම්ම කෙනෙක් ගේන්න වෙන්නෙ කාටුන් එහෙකිං තමයි. ඉතිං මං ආයිමත්


“ආච්චම්මෙ අර සරුපය කොතන ඉංනවද දන්නෑ. ඔය ටික අපි අහුල දෙන්නං“


කියල වැඩේ බේරුව. ආච්චම්ම අතට අහුවෙච්චි පුවක් ගෙඩි ටික අහුලගෙන අහකට වෙනව.


“තවක් ගෙඩි හතරක් වැහ්න ආං අර ලවල අස්සට. මතක්කොරහං ඒක අහුලගන්න“


මං ආච්චම්මගෙ පුද්ගලික ලේකම් හැටියට ඒක මතක් කිරීමෙ වගකීම බාරගන්න ඕනි.


ටිකෙං ටික බය ඇරිච්චි අයියත් අක්කත් මොට්ටු මල් ගහෙං මොට්ටු කඩල නලලෙ ගහ ගනිද්දි, ආච්චම්මත් පුංචිත් දෙන්න ආයිමත් කයිවාරුව පටං ගෙන ඇවිදින්න පටං ගත්ත හිංද බාප්පටත් මටත් තනියම ‘සබර‘ ගහ බාගන්න වැඩේ කරගන්න සිද්ද වෙනව. පලමුවෙංම ගහේ අත පොවන මානෙං තියෙන කොටහ පොරවෙං කපනව. එතකොට ගස් තුනක් අතරෙ හිරවෙලා තියෙන ගහ කොටස් දෙකට බෙදිල එක කොටහක් නිදහස් වෙනව. ඉං පසුසෙ ඉතුරු අගිස් කොටහ හිමීට එහාට මෙහාට කරල පටලැවිල්ලෙං බේරගන්න පුලුවං වෙනව. ඒත් වැල් ගාල නිදහස් කරගන්න අපිට ටිකක් කරදර වෙනව. මං තේ කපන මන්නෙ අරං වැල් ගාල කපල සුද්ද කරල ගහේ අගිස්සත් බේරල ගන්නව. ඒ කටයුත්ත අවසං වෙනකොට ආච්චම්මගෙ ‘සාරෙට හැදිල තිවුන‘ කෝපි ගස් දෙකක් ඌරො තලපු ‘හබරල ගහ‘ වගේ ආසනාසි වෙලා තියෙනව. සබර ගහේ කඳේ ඉතුරු අතු දෙක තුනත් මන්නෙං කපල එව්වත් වෙනම තියනව. කඳ කුට්ටි කිරීමට අඩවලට ගන්නත්, එයිං පස්සෙ දරට ගන්නත් ඒ කෝටු පොරෝජං වෙනව. පොරෝජං කියන්නෙ ‘ප්‍රයෝජන‘ කියන එකටයි.


බාප්පගෙ බඩ ගෙඩිය දිගේ වතුර වගේ දාඩිය ගලල ටෙනිස් බෝලෙයක් වගේ බුරියට පිරෙනකොට එයා ටිකක් ඉඳගන්නව. මගෙත් කමිසෙ පිටට ඇලිල, අතේ ‘සබර කිරි‘ ගෑවිල කලුපාට වෙනකොට ඕං ආයිමත් ආච්චමත්, පුංචිත්, අයියත්, අක්කත් ‘චරෝ බරෝ‘ ගාගෙන එතැංට එනව. ආච්චම්ම ‘කොලපොතක්‘ කිහිල්ලෙ ගහගෙන එනව. ඒක පුරෝල පුවක්. ආච්චම්ම සුවර් එකටම මද්දුම්මහත්තෙ ආතගෙ පුවක් අරඹත් සුද්ද කොරන්න ඇති. පුංචම්මගෙ අතේ කොළ මිටියකුත් තියෙනව. ගඟට බහින ඇල අද්දර තියෙන ‘මියන කොල‘ ගාලෙ රිංගල එව්ව කඩාගෙන ඇහිල්ලද කොහෙද?


“බොල දෙන්න තාම ඕක කුට්ටි කොලේ නැද්ද? මං හිතුව දැං කුට්ටි කපල පලලත් වියර ඇති කියල“


ආච්චම්ම වැඩ පරීක්සක වසයෙං කියනව.  ආච්චම්ම හිතන විදිහට ‘සබර‘ ගහක් කපන එකත් හරියට පොල් අත්තක කොල ටික පෑහැල පොල් පිති කෑලි තුන හතරකට කපල අව්වට දානව වගේ වැඩක්. ඕං ඔය වෙලාවට තමා සේරම දමා ගහල යන්න හිතෙංනෙ. ඒ වෙලේ බාප්ප ඉදිරිපත් වෙලා වැඩේ බේරනව.


“හෙහ්, ඒක ලේසි නෑ. අපි දෙන්නට හොඳ ගනං. තනියෙං පුලුවං වැඩක් නෙමෙයි. සුරංග හිටියයිං තමයි මෙහෙමවත් ඉවර උනේ. කෝ මේ අපේ ‘සුදු මහත්තෙය‘ එහෙම හිටියට මේවට උදව් කරනවයැ“


බාප්ප සිය පුත්‍ර රත්නයට ඇනුං පදයක් සමගිං වැඩේ බරපතලකම කියා හිටිනව. ඕං ඔය අවස්තාවෙ නැවත වතාවක් සියලු දෙනාම සිය මතය ප්‍රකාස කරනව. එකවර එකවිට.


අයියා :-  “ඉතිං තාත්තට පුලුවං හිංදනෙ මට කිව්වෙ නැත්තෙ. නැත්තං මං මේ රබර් ගස් සේරම උනත් එක පැයට කපල දෙනව“


ආච්චම්ම :- “ඒකට තමයි සු***ව  එක්ක ආවෙ. නැත්තං මුට නිකං බත් ගිල්ල ගිල්ල තියං ඉඳල වැඩක් තියෙනවයැ. සුදු මහත්තෙයට පුලුවනෑ මඩ ගාගෙන ඔය වැඩ කරන්න.“


පුංචම්ම:- “අනේ අපේ තුදු මාච්චෙයට බෑ නේද මයෙ අම්මො ඔය වැඩ. ඇයි ජෝකේ ඔයා ඒම කියන්නෙ අපේ දරුවට“


අක්ක:- “අනි අනී.. මගෙ තුදු මල්ලි පැටියට කුණු ගාගන්න දෙන්න බෑ“


ඔය ආදී වසයෙං අයියව බදාගෙන සිය දාඩිය මූණූ වලිං උට උම්ම දෙක තුනකුත් දෙන්න ඒ අම්මල දූල කටයුතු කරනව. අවසානෙදි බාප්පයි මායි කට පියා ගන්නව. ඒකට අපෙ ආතනං කියන්නෙ “කටයි පු** පියාගෙන පැත්තකට වෙනව“ කියලයි.


“මැණිකේ. අර ගෙනාපු කහට ඩිංගක්වත් ගමුකො බොන්න. හරිම මාංසියි“


මේං මේ අනභිබවනීය අවස්තාව එනකං තමයි මාත් බලං ඉන්නෙ. කහට ඩිංගක් එක්ක සීනි ටිකක් තරං අපේ පරානෙට හයියක් දෙන්ට පුලුවං දෙයක් තවත් නෑ. පුංචම්ම උදේ එද්දි ගෙනාපු කෑම ජාතිත් මොනවහරි මේ මල්ලෙ තියෙන්න පුලුවං. ඔය එක්කොම තියෙන ‘බෑක් මල්ල‘ ආච්චම්ම දං ගහක බලට්ටක එල්ලල තියෙනව. අපි සියලු දෙනාමත් කනාමුට්ටිය ගහන්න යන ක්‍රීඩකයො වගේ ඒ ‘බෑක් මල්ල‘ දිහාම බලාගෙන එතැංට යනව. ගහකිං වැල ගෙඩියක් බාන්නාක් මෙන්ද, දුමෙං කරෝල මල්ල ගන්නාක් මෙන්ද, අටුවෙං වී කවරෙයක් ගන්නාක් මෙන්ද ඉතා පරිස්සමින් ආච්චම්ම සිය අඩුම කුඩුම මල්ල ගහෙං බිමට ගන්නව. ඊළඟට ඒක කලිං සදහං කල පරන ගස් කොටේ (අයියයි අක්කයි සෙල්ලං කරන්න යොදාගත්) උඩිං තියනව. ඉං පස්සෙ මල්ල ඇතුලට අතදාල තවත් ‘සිලි සිලි‘ මල්ලක් අතට ගන්නව. ඔය ‘සිලි සිලි මල්ල‘ කියන්නෙ ‘සිලික්කවරෙට‘ නැත්තං ‘සිලි කවරෙ‘ නැත්තං ‘සොපිං බෑක්‘ . එහෙමත් වැටහුන් නැත්තං ‘ෂොපින් බෑග්‘. ඔන්න ඔය ‘සිලි කවරෙ‘ අස්සෙ පත්තර පිටුවක ඔතල තමයි අදාල කෑම ජාතිය තියෙන්නෙ. ආච්චම්ම පලමුව සිලිකවරෙ ලිහල ඒක කොටේ උඩ දිගාරිනව. ඉං පස්සෙ ඒක උඩිං තියල කඩදහිය දිගාරිනව. ආං බඩු.


“ඇවරියා“


ඒවට කියන්නෙ ‘ලැවරිය‘ කියල පස්සෙ කාලෙ දැනගත්තට ඒ කාලෙ මං ඒවට කිව්වෙ ‘ඇවරියා‘ කියල. ඒ වචනෙ මං දන්න කියන කෙහෙල් ඇවරියත් එක්ක ටක්කෙටම ගැලපුනා. පුංචම්ම ගෙදෙරිං අරං ආපු එව්වයිං පහක් ඉතර එතන තියෙනව.


“ආ ජෝකපාල,“


ආච්චම්ම පින්න කොලෙයක් උඩ තියල එක ‘ඇවරියක්‘ බාප්පට දෙනව. පින්න කොලේ දන්නව නෙ. කැංද කොලේ වගේමයි. බුලත් නැති කාලෙට මිනිස්සු කන්නෙ පින්න දලු. ඉං පස්සෙ උණුවතුර බෝතලේ කෝප්පෙට කහට ටිකක් වක්කරනව. ඒකත් බාප්පට දෙනව. නිකං නෙමෙයි දෝතිං. ඉං පස්සෙ තවත් ‘ඇවරියක්‘ අතට අරං ඒකත් පින්න කොලෙයක් උඩ තියල අයියට දෙනව.


“ආ. සුදු මාත්තෙයටත්“


ඉං පස්සෙ අනික් අයටත් ආරාදනා කරනව.

“චූටි, ඔය දූටත් දීල කාහං කො.“


හරියටම ඔන්න ඔය අවස්තාවෙ පටං ගන්නව කවුඩංගෙ, කපුටංගෙ, කිරලුංගෙ, පිළිහුඩුවංගෙ වගේ කුරුල්ලං වගේ හිරිකිත ආහාර රටාව. බාප්ප එක කෑල්ලක් කාල ඉවර වෙලා ‘ඇවරියෙ‘ ඉතුරු කෑල්ල වං අතේ උඩු අතට හරෝල තියාගෙන අනික් අතිං කහට ඩිංගක් බොද්දි


“තාත්ති පැටීගෙ එකෙං මචච් කෑල්ලක් ඕඥි“


කියාගෙන බාප්ප ලඟට එන අක්ක බාප්පගෙ අතේ තියෙන ‘ඇවරිය‘ එක මනාකොට තමංගෙ කට ඇතුලට දාගෙන ඉං ඩිංගක් කාල ඉතුරු ටික ඉතුරු වෙන්න ආයිත් කට අහකට ගන්නව. ඒ අතරෙ අයියගෙ අතේ තියෙන ‘ඇවරිය‘ට පුංචම්ම වැඩේ දෙනව.


“මචච් ජෙඤ්ඤකො මගෙ චූචි මහච්චෙයගෙං ජිංගක්“


ඉතිං පුංචම්මත් අර විදිහටම මුලු ඇවරියම කට අස්සෙ දාගෙන එයිං “ජිංගක්“ කඩාගෙන ඉතුරු ටික ආයිත් මුදාහරිනව. මේ බඩ දඟලන වැඩේ බලං ඉන්න බැරි තැන මං අහකට යනව. මටත් ‘ඇවරි‘ බාගෙයක් හම්බු වෙනව. ඒ උනාට ඒක කන්න ගන්නකොටම මට මතක් වෙන්නෙ පුංචම්මල, අක්කල, ‘ඇවරිවල‘ කෙල හලාගෙන කෑලි කඩාගන්න විදිහ. ඉතිං මං මගෙ පංගුව ලවලකට විසික් කරනව කාටවත් නොපෙනෙන්න.


ඔය පුංචම්මලගෙ ගෙදර ආහාර පුරුදුත් හරි අමුතුයි. ඒ ගෙදෙට්ට ඉස්කෝතු පැකට්ටෙකක් ගිනිච්චහම ඒක මාසෙයක් කනව. ඒ කියන්නෙ ඉස්සෙල්ලම පැකැට්ටෙක කඩල කට්ටිය එක්කෙනා එක ගානෙ කනව. ඉං පස්සෙ ඉතුරු ටික ඔතල ටිං එහෙක දාල තියනව. ආයි කහට බොන වෙලාවට ටිං එක ඇරල ඉස්කෝතු ගාන බලනව. ඉස්කෝතු පහක් ඉතුරුනං ගනං බලනව, ආයි ගෙදෙට්ට ඉස්කෝතු පැකැට්ටෙකක් කවද ලැබෙයිද කියල. එහෙම නැත්නං බාප්පට පඩි හම්බු වෙන්න දවස් කීයක් තියෙද කියල. තව සති තුනක් තියේනං කට්ටියත් එක්ක ගනං හදනව. පහ තුනෙං බෙදුහම සතියට ලැබෙනව ඉස්කෝතු එකයි තුං කාලක් ඉතර. ඉතිං කට්ටිය සතියෙ දවසක තේ බොද්දි අර ඉස්කෝතු එකයි තුංකාල හතෙං බෙදල දවසට ලැබෙන ඉස්කෝතු කාල හතර දෙනාට බෙදා ගන්නව. එතකොට එක්කෙනාට ඉස්කෝතු 1/16 ක ප්‍රමාණයක් ලැබෙනව. ඔය විදිහට කූඹි වගේ ඉස්කෝතු ලෙවකනව. ඒ අතරෙ අයියට ලැබෙන ඉස්කෝතු 1/16න්  “ජිංගක්“ අක්කටත් ඕනි. එහෙම නියපොත්තෙං කොනහන තරං ප්‍රමාණෙයක් අනික් අයට දීල කන එක එයාල කියන්නෙ “බෙදාගෙන කෑම“ කියලයි. ඔය රංචුව මහගෙදර ආ දාට අපිත් බත්පංගු පරිස්සං කරගන්න ඕනි. එයාල බත් කනකොටත් එහෙමයි. එක්කෙනාට එක්කෙනා “ජිංග, ජිංග“ කවාගන්නව. ආයි බත් පංගුවට අතදාලත් කනව. දවසක් පුංචම්ම මගෙං “බජ්ජිංගක්“ ඉල්ලල මං බත් පිඟානම දුන්න කියල මගෙත් එක්ක තරහත් වෙනව. ඒකට එයාල කියන්නෙ “මූ බෙදාහදාගෙන කන්න ඉගෙනගෙන නැති එකෙක් කියලයි“


ඉතිං ඔය ආකාරෙට කට්ටිය “බෙදා හදාගෙන“ කාල තේ කෝප්පෙත් “බෙදා හදාගෙන“ බොනව. මාත් සීනි ටිකක් කාල ‘ගොඩපර‘ කොලේකිං ගොට්ටක් හදාගෙන ඒකට දාගෙන කහට ටිකක් බොනව.  ඔය විදිහට එදාට යංතං බේරිල ඉන්න පුළුවං වෙනව. එයිං පස්සෙ අපි නැකිටල, පස්සවල් වල අත් පිහලද අල්ලෙ ඇලිල තියෙන සීනි ටික බිමට හලල ආපහු වැඩ පටං ගන්නව.


බාප්පයි මමයි පෙරලගත්තු ගහ කොට කෑලි දෙකක් උඩ තියල ‘බංඩි කියතෙං‘ අඩි දෙකක් ඉතර දිග කුට්ටි වලට කපනව. බාප්ප කියත අදිනකොට මං කියතට යන්න ඇරල යංතං අල්ලං ඉන්නව. ඉං පස්සෙ මං කියත අදිනකොට බාප්ප කියතට මගෙ පැත්තට යන්න අරිනව. ඔය විදිහට කියත හරි කෙලිං දෙපැත්තට අදින එකෙං ටිකෙං ටික කඳ කුට්ටි වලට කැපෙනව. අපි කපන ලී කුට්ටි වල මහත අඩු එව්ව විතරක් ආච්චම්ම පොරවෙං පලනව.

“චාං. චස්“
“චාං. චස්“
“චාං. චස්“
“චාං. චස්“

සමහර වෙලාවට මගෙ අතිං කියත ඇදේට ඇල්ලිල හිරවෙනව. ඒ වෙලාවට “චඃ“ කියල කියත නවතිනව. එතකොට ආච්චම්ම පොරව අතෑරල අපි දිහා බලනව.


“ඔය කියතෙහෙමෙ කඩන්නෙපා.  ඕක ඉස්සර සබර කිරි කපල සොටි විකුණල සුපියල් හැත්තපහකට ගෙනාවෙ මතුගමිං. දැං අවුරුදු විසිපහකට වැඩී ඕකට. දැං ඒ ගාන්ට කියතක් ගන්නබ්බෑ“


ආච්චම්ම මට සැර කරනව. උන්දැ ඒක ඒරොප්පෙං ගෙනාවත් මට මොටද? හැබැයි මං ඒකෙං යමක් ඉගෙන ගන්නව. මගෙ අත රිදෙනකොට වැඩේ පොඩ්ඩකට නවත්තගන්න නං කියත පොඩ්ඩක් ඇදට අල්ලන්න ඕනි. එතකොට කියත “චඃ“ කියල හිරවෙනව. බාප්ප ඒක ගලෝගන්න දඟලන අතරෙ මට ඩිංගක් මාන්සි අරින්න පුලුවං. ඉතිං ඔය විදිහට කීපවලියක් කරන්න මට සිද්දවෙනව.

කොහොමිං හරි කපාපු ගහ කුට්ටි කිරීමෙං පස්සෙ ගෙදෙට්ට ගෙන ඒමත් කරන්න ඕන. ඒ වැඩේට අවශ්‍ය රථවාහන ආදියත් අපි ගෙනත් තියෙනව. ඉස්සරෝම කරන්නෙ බාප්ප ගෙනාපු විල්බැරැක්කෙට ලනුවක් ඈඳන එක විල්බැරැක්කෙ රෝදෙ හයිවෙන යකඩ බටේ ඉස්සරහට ඇහිල්ල නැමෙන තැනිං ලනුව ගැට ගන්න ඕනි. ඉං පස්සෙ බාප්ප කොට පහක් ඉතර විල්බැරැක්කෙට පටෝනව. පටෝල ඉවරවෙලා එයා විල්බැරැක්කෙ හැඬල් දෙකිං අල්ලල උස්සගන්නව. එතකොට මම ලනුව අල්ලගෙන ඉස්සර වෙනව. මං ලනුවෙං ඇදං යද්දි ඒ පස්සෙං විල්බැරැක්කෙ ඇදිල එනව. ඊට පස්සෙ බාප්ප ඇදිල එනව. අයියත් බයිසිකලේ ලැකිජ්ජෙකේ පටවං එන්න පුලුවං කොට තෝරනව. එයා කියන විදිහට එයාට ගේන්න සයිස් කොට එතන නෑ. ඉතිං එයා නිකම්ම බයිසිකලේ පැදං එනව. ආච්චම්මත් පලාපු දර එක්කහු කරල මදුවැලකිං දර මිටියක් බැඳගෙන යටිං කොලපතක් තියල ඔලුවට තියා ගන්නව. අක්කත් පුංචම්මත් ඉතුරු බෑක්, පෝච්චි එහෙම අරගෙන ආච්චම්ම පස්සෙං අඬ අඬා එනව. ඒගමන පුංචම්ම අඬන්නෙ ආච්චම්ම දර මිටිය උස්සං එන හිංද.  ඔහොම වාර කීපයක් ගමං කරල අපි දර ටික ගෙදෙට්ට ඇදගන්නව. අංතිම පාර මං කියත අරං එන්න ඕනි හිංද “නොවඳිනා වැඳුං වැඳල“ අයියව ලනුව අදින්න එක්ක යන්න බාප්පට පුලුවං වෙනව. ඔන්න ඔය විදිහට දර ගෙනඒම අවසං වෙනව.


එදා දවසෙම වැඩකරල “හොඳටම හානි වෙලා“ හිංද බාප්පත්, පුංචිත්, ළමයි දෙන්නත් එහෙ නවතිනව. හානි වෙනව කියන්නෙ හොඳටම මහංසි වෙනවට අපේ ගම් මණ්ඩියෙ කියන වචනෙයක්. එදා රෑට “සාඩිං ටිං එකක්“ උයල හොඳට කන්න දෙන බව දන්න හිංද මමත් මහගෙදර නවතිනව. එදා රෑට අක්කත්, අයියත්, බාල පුංචම්මත්, මමත් ඇතුලු පිරිස “ගීතයෙං ගීතය“ සෙල්ලම කරනව. ඒක කරන්නෙ මෙහෙමයි. ඔන්න අපි රවුමට ඉඳගන්නව. එක්කෙනෙක් සිංදුවක් කියනව. ටිකක් කියාගෙන යනකොට තරඟෙ මෙහෙයවන බාප්ප අප්පුඩියක් ගහනව. එතකොට සිංදුව නවත්තන්න ඕනි. නවත්තපු වෙලාවෙ අංතිමට කියවෙන අකුරෙං පටං ගන්න සිංදුවක් රවුමෙ ඊළඟට ඉන්න කෙනා කියන්න ඕනි. ඔන්න අක්ක මුලිංම සිංදුව කියනව.


සුරාංගනී.... සුරාංගනී.... සුරංගනීට මාලුගෙනාවා..
මාලු මාලු මාලු මේ දැං ගෙනාපු මාලු...
සුරංගනීට ටහ්.
‘ටහ්‘ කිව්වෙ අප්පුඩියෙ සද්දෙ. එතකොට අවසං අකුර ‘සුරංගනීට‘ කියන වචනෙ අවසං අකුර වන ‘ට‘ යන්න. රවුමෙ ඊළඟට ඉන්න අයිය ‘ට‘ යන්නෙං පටං ගන්නව.

“ටික්කි ටිකිරි ටිකිරි සිනා පා....ලා“

ඔය විදිහට රවුං කීපයක් යද්දි මට කියන්න වෙනව ‘බ‘ යන්නෙං සිංදුවක්. බයන්නෙං සිංදුවක් මට මතකෙට එන්නෙම නෑ. අවුට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මතක් වෙනව ඒ දවස්වල “කෝපි කඩේ අප්පුව“ කියල කෙනෙක් සිංදු කියපු කැසට් පීස්සෙහෙක තිවුන සිංදුවක්. ඒක කවුරුවත් දන්නැතුව ඇති. මටත් කියාදුන්නෙ ‘ගල්කොටුවෙ ගෙදර ආනංදෙය‘ . මං ඒක කියනව.

අපේ ගෙදර ඔරලෝසුවෙ බට්ට වැනෙයි..
බට්ට නටන තාලයටයි පුතා නටන්නේ...
පුතා නටන තාලයටයි බට්ට නටන්නේ...
ඒ දෙන්නා මැද්දට වී මාත් නටන්නේ “

“සටාස්“ **********
කීඊං