Follow by Email

Sunday, May 31, 2015

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma - 5



ටෝච්චෙකෙං එළිය බලාගෙන  මං වෙලාව කිව්ව.

“දැං වෙලාව...... එකොළහයි හතලිස් පහක් වෙනව. “

“හරියටම හරිද? බොට පේනවෑ දැංවත්“

“හරියටම හරි ආච්චම්මෙ“

“හා එහෙනං බුදියගං ඇහැරං ඉන්නැතුව“

කරේ තිවිච්ච කුරුඳු තෙල් කුප්පියෙං කුරුඳු තෙල් ටිකක් කණ දෙපැත්තෙ ගාගෙන අපි සියලු දෙනාම නැවතත් ඇඳුම් රෙදි, පෙරෙදි අස්සට රිංගල නිදියන්න පටං ගත්ත. යංතං නින්ද යාගෙන එනකොට ආයිත් උන්දැ මට කියනව. 

“ආයි පාංදර දෙකට දෙකහමාරටවත් ඇහැරින්න ඕනි කරුණා කොරන්න“

“හාච්චම්මෙ“

මං තනිවචනයෙන් උත්තර දුන්න. ආයි බැරියැ ටෝච් හොයන්න.
කොහොමිං හරි ආච්චම්ම ගාන්ට වෙලාවට අපිට ඇහැරෙව්ව. රංඔල ආච්චම්මගෙ එක දුවෙක් නැගිටින්න ගිහිං බාගෙට නැගිටල “අදිසි හස්තයකින් ඔසවන ලද්දාක් මෙන් (ජී.බී.සේනානායකගෙ යොවුන් පරිවර්තනවල තියෙන්නෙ එහෙමයි) දඩිස් ගාල බිම වැටුන. එයා ඇද වැටීමෙන් නැගූ ශබ්දය අහල පහල නඩවල සිටි ගැටයන්ගේ නින්ද බිඳ දමා ශරීර කෙලින් සිටවීමට උපකාර උනා.

“ආ.......වූ........“

“තොට මක්කෙලාද බොල මගෙ ඇඟ උට්ට ඇදං වැහ්නෙ“

පසුව හොයල බලද්දි ආච්චම්මගෙ නියෝග අකුරටම පිළිපැදපු අපේ නඩේ රංඔල ආච්චම්ම සිය දියනියන් දෙන්නා තමංගෙ වස්තරේට තියල හැට්ටකටු වලින් අමුණගෙන තිබුණ. හැට්ට කටුවකින් ඇමිනී සිටි දියණිය සිය මව හැරදා නැගී සිටීමේදී ඉහත අකර තැබ්බයට මුහුන පෑවා.
අපි නැගිටල දත් හැලෙන තරං හීතල වතුර කටේ පුරෝගෙන දත් මැදල මූණ ගල්වෙන සීතල වතුරෙං මූණ හේදුව. වැසිකිලිය පැත්තෙ පලාතෙ යන්න බැරි තරං සුපිරිසිදු, සුගන්ධවත්, මන පිනවන, බඩ කලඹන, සිත් පොපියන බැවින් මම එදෙස යාමෙන් වැලකුණා. ඉං පස්සෙ ආච්චම්ම අපේ සේරගෙම අතේ ගිනියන ගමං මලු විතරක් තියාගෙන අනික් එව්ව එකට එක්කාසු කොරල එතැන තියෙන කඩෙං තියන්න නියම කොලා. මගෙ ගමං මල්ලත් එතැනම තිව්ව. ආච්චම්මගෙ ‘සැහැල්ලුව‘ විතරක් ගෙනිච්චාම ඇති. අපි නඩේ ආයිමත් ‘කරුණා කරන්න‘ පටං ගත්තා. එතැං පටං මගෙ කරේ තිබුණ බෑක්කෙක වෙනුවට ආච්චම්මගෙ උරෙස්සෙ එල්ලං යන ‘ගෑනු බෑක්කෙක‘ කරේ එල්ලං යන්න මට සිදුවුනා. ‘කවුරුවත් දැකල හිනාවුනොත්‘ කියල පෙරවං හිටපු රෙද්දට ඇතුල් පැත්තෙං ඒක එල්ලගත්තත් වැඩි දුර යන්න ලැබුන්නෑ.

“කෝ, බෑක්කෙක?උඹ ඒක නැති කරාද?“

ආච්චම්මා සිය බෑක්එක නැති වී ඇති බවට සැකකරමින් ම ගෙන් විමසුවා.

“නෑ, මේ තියෙන්නෙ“

මං රෙද්ද අස්සෙං බෑක්කෙක අරං පෙන්නුවා.

“ඕක පේන්න තියා ගනිං. නැත්තං මං දන්නෙ කොහොමද බෑක්කෙක නැතිවෙලාද කියල“

ආච්චම්මාගේ නියෝගය හමුවේ මෙතෙක් වෙලා රෙද්ද අස්සේ තිබුණ බෑගය රෙද්දට පිටිං හැමෝටම පෙනෙන්න එල්ලං යන්න මට සිද්ද වූනා. හිමිදිරි පාන්දර සීතල මැදිං මකර තොරණ පහුකලාට පස්සෙ තමයි ඇත්තටම සමනල කන්ද නැගීම ආරම්භ වෙන්නෙ. එතන ඉඳං යකඩ වැටවල් හිටෝල, පඩි බැඳල, පාර දෙකට බෙදල පිලිවෙලක් කරල තියෙයි. අත්වාරුවට යකඩ වැට අල්ලා ගන්නා ලෙස ලද උපදේසයෙන් මම යකඩ වැඩ ඇල්ලුවා.  සීතලට යි හුළඟටයි අහුවෙලා යකඩ වැට රුපියල් දෙකේ අයිස් පැකැට්ටෙකක් වගේ හීතලයි. වැටට තියපු අත මං හිතන්නත් කලිං වැට අතෑරියා. පස්සෙ ආච්චම්මට  ඉස්සර වෙන්න කියල එයා පෙරවං ඉන්න බෙස්සීට් එකෙං පස්සෙං නැට්ට වගේ ඇදීගෙන යන කොටහ අරං, ඒකෙං වැට අල්ලන්න පුළුවං වුනා. ටික දුරක් යනකොට රෝස පාට බෙස්සීට් එකේ මං පාවිච්චි කළ කොන වෙනත් පැහැයකින් දිදුලන්නට වූ නිසා අති අලංකාර රෙද්දක් ලැබීමේ භාග්‍ය ආච්චම්මට ලැබුනා. වන්දනාවෙ ගිහිං ආ පසුව හිරු පායා ඇති මනරම් දහවලක  රෙදි හෝදන ආච්චම්මා ඒ පිළිබඳ සිය සන්තෝෂය මුළු දොළටම ඇහෙන්න පවසා සිටියා.

“කොයි අසමජ්ජාති එකෙද්ද මංද මයෙ අලුහ්ම බෙස්සීට්ටෙකේ ලාටුවක් උලල. බලපංකො ලාම්පුතෙල් දාලවත් යන්නෑ. මේක මං පහුගිය වංගියෙ කරුංක විකුණල ගත්තෙ ගමනක් ගියං පොරෝජං වෙන හංද. දැං ඉතිං මේක හොඳා බල්ලට“

ඕං ඔය වෙලාවෙ තමයි පඩිපෙලේ හිටු හිටු ගමං තැං තැංවල ගිමං අරින නඩ හින්ද අපිට ඉදිරියට යන්න ඉඩ නැතිඋනේ. ඒ වෙලාවට තමයි ආච්චම්ම මේං මෙහම ගායනා කරන්නෙ.

“දෙන්න අපට සංහිඳේ - දුන්න අයට පිං ලැබේ“

මෙතන “සංහිඳේ“ කියන්නෙ ඉඩ, නැත්තං අවකාශය. “ඉඩ දෙන්න“ කියන එක අකැප වචනෙයක්ලු.  එහෙම කිව්වහම පිරිස එහාට මෙහාට වෙලා ඉඩ දෙනව. තවත් සමහරු තමුං කකා බිබී ඉන්න දේ ආච්චම්මට දුන්නෙ, ‘මෙයා ඉල්ලන්නෙ අපි කන දේ වෙන්නැති‘ කියල හිතාගෙනයි. ඒ වගේ වෙලාවට එතැන නැවතිලා තමුං කීවෙ ‘මෙන්න මේකයි‘ කියන එක තේරුං කරදීමට පැය ගානක් ගත කිරීමට ආච්චම්මා ක්‍රියා කරන බැවිං අපේ නඩේ වරිංවර කෑලි දෙකට තුනට කැඩුනා. ආයෙත් හඬනගා කෑ ගැසීම්, මාව උඩ පහල යැවීම් මගින් නඩේ අමුනා ගන්න ආච්චම්මා සමත් වෙනවා.

ඇහැල කනුව කියන හරියට ඩිංගක් එහාට මෙහාට වෙන්න වෑං එහෙක රෝදෙයක් විතර රෝදෙයක් තියෙනව. ඉස්සර සිරිපා මලුවට උඩිං ගිහිං කන්දෙ වැදිල කඩා වැටිච්චි ආස්යන්තරාවක රෝදෙලු ඒක. එතැනදි ඔය කතාව කියල සිරීපාදෙ තියෙන අනුහස් ගැන කියන්නත් ආච්චම්ම සැලකියයුතු වෙලාවක් ගන්නා අතර එතැනදි ආයිත් පංසිල් ගන්නත් ඕනි.  ඉං පස්සෙ ආයි දනිස් කටේ වදින ගානට මහගිරිදඹේ නැගල මලුවට ඇතුල් වෙනව. ආං එතකොටම ආච්චම්මගෙ මූණට ඉර පායනව. උංදැට එවරස් කන්ද නැගපු ටෙංසිංට හෝ හඳට ගිය ආම්ස්ටෝංට දැනුන වගේ සතුටක් ඇති වෙනව. මලුවට ගොඩවූ සැනිං සිය නඩේ මුල්ලකට කරගන්න උන්දැ අපිට මේං මෙහෙම අවවාද කරනව.

උඹල කවුරුවත් නැතිවෙන්නෙහෙම එපා. බැරිවෙලාවත් අතරමං උනොත් අර පිකරේ බැඳල තියෙන ආදාර ගන්න කාරියාලෙ ලඟට ගිහිං එතන නං කියන මනුස්සයට කියල අපට අඬගස්සන්න ඕනි. එහෙමත් බැරි උනොත් ආපහු මකර තොරණ ගාවට කරුණා කොරල අපි එනකං ඉන්න ඕනි. එක එකා අඬගැහුවට යන්නෙහෙම එපා.“

අපි ‘හා කියල ඔලුව වනනව.

“අනික හැටං පාරෙ එහෙම කරුණා කොරන්න එපා. පලාබජ්ගල පාරෙම මිසක්“

ඒකටත් අපි ‘හා‘ වක් කියනව.

එයිං පස්සෙ ආරම්භ වන්නේ මහා සෙනග ගොඩේ තෙරපෙමින් සිය නඩේ මගෑරෙන්න නොදී සිරිපා වැඳ ගැනීමයි. ඕං ඔය අවස්ථාවෙ අපේ ආච්චම්ම නියම ක්‍රමයක් භාවිතා කරනව. ඒ තමයි එකාට එකා අල්ලගෙන සිය නඩය එකට ඈඳීම. ආච්චම්ම මාව අල්ලගෙන අනික් අතිං රංඔල ආචිචම්මගෙ ලොකු කෙල්ලට ආච්චම්මගෙ රෙද්දෙං අල්ලගන්න කියනව. එතකොට තවකෙනෙක් මාව අල්ලගන්නව. එයාව තව කෙනෙක් අල්ලගන්නව. අනික් පැත්තත් එහෙමයි. අංතිමට අපේ නඩේ ආච්චම්ම වෙත ඇමුණූ වැල් දෙකක් වෙනව. ඉතිං අපි ශ්‍රී පාද පත්මෙ වඳින්න සෙනග ගොඩට එකතුවෙනව. උදේට කොහොමත් සෙනග වැඩි නිසා එතන තෙරපෙනව වැඩියි.

“වරෙං ඉස්සරහට වරෙං....

ආච්චම්ම මාව අදිනව. මට යන්න බෑ කවුරුහරි මගෙ කකුල උඩ නැගල. කකුල තියෙන්නෙත් මං ඉන්න තැන නෙවෙයි.
“වරෙං ඔතන ටැක්ගැගෙන්නැතුව“

ආයිත් ආච්චම්ම මාව අදිනව. මං ඇති වීරියෙං කකුල ඇද්ද. මට පඩි දෙකක් විතර පහලිං හිටිය එකෙක් බැලන්ස් නැතුව එහෙට මෙහෙට වැනුන. මිනිහ වෙන්නැති මගෙ කකුල උඩ ඉන්නැත්තෙ. අවසානයේ මං මගෙ කකුල අරගෙන ඉස්සරහට ඇදුන. ඔය විදිහට අපේ නඩේ ශ්‍රී පාද පත්මය වෙතට සේන්දු වුනා. ඒකට මං හිතන්නෙ සෑහෙන වෙලාවක් ගියා. ශ්‍රී පාද පත්මය ලඟ කපු මහත්තෙක් ඉන්නව. එයාගෙ රාජකාරිය තමයි එතැන්ට එන අයව වැන්දැයිං නොවැංදැයින් එතනිං අයිං කොරන එක. ඒත් එව්ව කොහෙද අපේ ආච්චි අම්ම එක්ක. උන්දැ පළමුව ගිහිං එතැන හිටගත්ත. ඊළඟට බෑක්කෙකට අතදාල අර දොඩං ගෙඩ්ඩක් විතර විසාල කාසි පොදිය හෙව්ව. ඒ අතරෙ කපු මහත්තෙය.

“අම්මෙ විගහට වැඳල අහට්ට වෙන්න අනික් අයටත් වැඳගන්න“

ඒ කිව්වට ආච්චම්ම සැලෙයි. බීරී අලින්ට හෙඩ් පෝන් දැම්ම වගේ. දෙනෝ දාහක් මැද උන්දැ අර පඬුරු මල්ල ලිහන්න බැලුව. උන්දැට ලිහන්න බෑ සොපිං කවරෙ තදට ගැටගැහිල. ඉතිං ඒක ලිහන්න මට සිද්දඋනා. ඉං පස්සෙ උන්දැගෙ අතට කාසි ටික දාගෙන සොපිං කවරෙ බෑක්කෙකට දාල ආයිත් පඬුරුටික අතට අරං ශ්‍රී පාද පත්මය උඩට එළල තියෙන සුදු රෙද්ද උඩට දැම්ම. ඊළඟට දහ ගමනකට වැඩිය නළල එතැන ඇනල ඇනල වැංද. මේ සියල්ල කරන්න ගත වෙච්ච කාලෙට දහ දෙනෙක්ට වඩා එතැන වඳින්න තිබ්බ. ඒවන විට කපු මහත්තෙයට එතැන ඉන්න බැරි වෙන විදිහට ආච්චම්ම අරක්ගෙන ඉවරයි. ඉතිං එතඅං පටං ආච්චම්ම අපිව වන්දන්න පටංගත්ත. ඒ කියන්නෙ අපි වඳිනකොට උන්දැ අපේ ඔලුව තල්ලු කරනව. ඉතිං අපේ ඔලුව ‘දිඩිස්‘ ගාල අර සුදු රෙද්දට යටින් තියෙන ශ්‍රී පාද ලාංඡනේ වදිනව. සමහර වෙලාවට එතැන තියෙන කාසිවල ලාංඡනේ අපේ නළලෙ හිටිනව. රංඔල ආච්චම්මගෙ දුවගෙ ඔලුව අනින හැට බලං ඉඳපු මට නියම කල්පනාවක් ආව.  ආච්චම්ම මගෙ ඔලුව අනිද්දි මං නලලට අත්දෙක තියාගත්ත. එතකොට මගෙ නලල අතේ අතේ වදිනව අත සුදු  රෙද්දෙ වදිනව. ගැටුම අඩුවෙලා මං බේරෙනව. තමුංගෙ මුළු නඩේම වන්දගන්නකං ආච්චම්ම නෙමෙයි එතනිං අඩියක් හෙල්ලුනේ. ඒ අතරෙ අතර මැදිං පැනල අනේ නඩේ අස්සට රිංගපු එකෙක් දෙන්නෙක්ගෙ ඔලුත් හයියෙං අනින්න ආච්චම්ම සමත් උනා.

ශ්‍රීපාද පත්මෙ වැන්දයිං පස්සෙ ආයිත් යනව සමන් දෙයියන්ගෙ දේවාලෙට. එතන යාතිකාව කියනකං ඉඳල නළලෙ මොට්ටු තියාගන්නව. ඒ කහපාට මොට්ටුව මං අතිං පිහදා ගන්නව. නැත්තං මගෙ නළල නලියනව. ඉං පස්සෙ ආයි ආච්චම්ම තමංගෙ නඩේ අරං දොලොස්මහේ පහන ලඟට යනව. ඒක මහ විසාල පහනක්. පූජාවක් වසයෙං දැල්ලුවට මොකද හුඟක් දෙනා කරන්නෙ ඒක වටේ ඉඳං ගිනි තපින එක. ඔය අතරෙ සමහර අය තමුං ගෙනාපු පොල්තෙල් බෝතල් වලිං ඒ පහනට තෙල් දාන්න හදනව. මොන, ගල් වගේ මිදිල තියෙන පොල්තෙල් ආයි හෙල්ලෙන්නෙවත් නෑ. ගසල, පිඹල, වන මොනව කලත් පොල්තෙල් නෙවෙයි මෙල්ල වුනේ. ඉතිං සද්දාවන්ත උපාසක ඇත්තො අර තෙල් බෝතල එහෙං පිටිංම අර පහනට දානව. ටිකකින් රත් වෙලා ගිනියම් වෙන බෝතල්  ටිල්“ යන හඬින් පුපුරල බෝතල් කටු විසිවෙද්දි අදාල අයගේ හත්මුතු පරංපරාවටම පිං අනුමෝදං වෙනව.

ඔය හැම අවස්ථාවක් මාරුවෙන වෙලාවෙම සිය නඩේ නං ලැයිස්තුව කියල ගනං හදල සැකහැර දැනගන්න ආච්චම්ම පෙළඹෙනව. ඒ වගේම හදිසියෙ එක් එක් පුද්ගලයා වෙනමම විගණනය කරන්නත් වෙනව. ඊටත් පස්සෙ තමයි උත්කර්ශවත්ම මොහොත.   
ඝණ්ටාරෙ නාද කිරීම.
ඔය ඝන්ටාරෙ නාද කරන්න පුළුවං අවස්ථා තුනක් සිරිපාදෙ කරුණා කරපු අයට විතරයි. ඒක නොදන්න එවුවො පලවෙනි පාර ගිහිං හැටවරක් විතර ඝන්ටාරෙ ගැහුවත් අපෙ ආච්චම්ම ගන්ටාරෙ ගහන්නෙ අදාල වාර ගනන විතරයි. අපේ ආච්චම්ම වාර තිස් ගණනක් ගිහිං තියෙන හිංද උන්දැ ඒ තිස් ගානම නාද කරනව. මං අදාල වාර ගණන ගනං කරන්න ඕනි. ඒක මගෙ රාජකාරි ලැයිස්තුවෙ එක කොටහක්. උන්දැ ඝන්ටාරෙ ගහනකං බලා ඉන්න බැරි එවුං ඒ අතරෙ පිංසෙන්ඩු වෙනව. ඝන්ටාර නාදෙ රතු පාටිං අනික් වචන නිල් පාටිං
ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................
ටාං.......................... ටකං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................

“අනේ ආච්චියේ අපිටත් දෙන්නකෝ...........“

ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................

“ආච්චි ඕක අද දවසෙම ගහනවද?“

ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................

“ආච්චියේ අනේ අපිටත් ඉතුරු කරන්න.“

ටාං.......................... ටාං.......................... ටකං.......................... ටාං.......................... ටකං..........................

ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං.......................... ටාං..........................
ටාං.......................... ටාං.......................... ටාං..........................ං  ..........ං...........ං............ං.......

ආච්චම්ම ගන්ටාරෙ ගහල ඉවරයි. ඉං පස්සෙ අනික් අයත් තමුං ගිය වාර ගණන අනුව ගන්ටාරෙ ගහන්න ඕන. ඝන්ටාරෙ ගහල  ඉවර උනහම තමයි අප මෙතෙක් පුල පුලා බලා සිටි අවස්තාව. ආච්චම්ම ආධාර දෙන වෙලාව. ආධාර දෙනව කියන්නෙ අර පීකරේ බැඳල තියෙන කාර්යාලෙට ගිහිං සල්ලි දීල පීකරෙං නම කියවන එක.

“ආ. මේක දීල මගෙ නම කියල වරෙං“

ආච්චම්ම රුපියල් පනහක් මගෙ අතට දීල කියනව. විස්සෙ කොළ දෙකයි දහයෙ කොල එකයි. මං සල්ලිත් අරං කාර්යාලෙට යනව‍. එතනිං දෙනව සල්ලි අරං රිසිට් එකක්. ඒකට කියන්නෙ‘ පිං පත්තරේ‘ කියල. අපේ ආච්චම්ම ඔය ‘පිං පත්තරේ‘ පණ වගේ රකිනව. ලංකාවෙ කොයි සිද්දස්ථානෙං වුනත් ගත්ත‘ පිං පත්තර‘ උන්දැගෙ අල්මාරියෙ සාරි අට්ටිය අස්සෙ තියෙනව. ඒ රිසිට් ටික තමයි ආච්චම්ම පිනට දුන්න කියල දිවිය ලෝකෙට යන්න ඔප්පු කරන්න තියෙන එකම සාක්කිය (පහු කාලෙක 2002 අවුරුද්දෙ ගං වතුරෙං ආච්චම්මගේ අල්මාරියත් පිං පත්තර ටිකත් ගංවතුරෙං විනාස උනා). ටිකකිං පීකරෙං ආච්චම්මගෙ නම කියවෙනව.

“කලවානේ සිට පැමිණි ඇම්.ජී. මැගිනෝනා මාතාව ශ්‍රී පාදස්ථාන අරමුදලට රුපියල් තිහක ආදාර මුදලක් පරිත්‍යාග කරනවා. ඇයටත් නඩේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වාසනාව චිර ජිවනය සමන් දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා“

රුපියල් විස්සක් මගෙ උඩ සාක්කුවෙ ඉදං දෙකේ ඉලක්කමේ කට ඇරගෙන මට හිනා වෙනව. ඒ අතරෙ අපි ඉර සේවෙ බලන්න කියල ලෑස්ති වෙනව. මං උස නැති හංද තාප්පෙ දිහා බලං ඉන්නව. ටිකකින් මෙහෙම ඇහෙනව.

“කාලගුණ තත්වය අයහපත් වීම නිසා අදදින ඉර සේවය දක්නට නොලැබෙන බව කාරුනිකව දන්වා සිටිමු“

අපරාදෙ බලං හිටියෙ“ කියමින් අපි ආපසු කරුණා කරනව. ඒ එන අතරෙ මග දිගට කඩවල තියපු බඩුත් ආපහු අරං එනව. ඔය අතරෙ ඉහළට කරුණා කරන නඩ හම්බ උනහම ආච්චම්ම රතු පාටිනුත් අපි නිල් පාටිනුත් මෙහෙම කියනව.

“වඳින්න යන මේ නඩේට“

“සම්මා සම්බුදු සරණයි“

එතකොට ඒ නඩෙං මෙහෙම කියනව
“වැඳල බහින මේ නඩේට“

“තිසරණ සරණේ සරණයි“

ඒ අනුව තවත් නඩේකට අපි එහෙම කියනව. ආච්චම්ම රතු පාටින්

“වඳින්න යන මේ නඩේට“

රංවල ආච්චම්මගෙ දුව ඇතුළු අපි

“සුමන සමාං... දෙවි පිහිටයි“

අනික් නඩේ කොලු රැල

“එහෙම කිව්ව ඒ නංගිව“

“අරං යන්නෙ මමම තමයි“

ආච්චම්මට ඇහිල සිහි එලවාගන සිය වකුටු පිහිය බෑගයෙන් සොයා ගන්නා විට කොලු නඩය දුන්නෙං විද අල්ලන්නට වත් බැරි තරං දුර ගොසිනි. ඒ අතර මගදි හමුවූ සමහර කාන්තාවෝ

“තව දුරට ආන්ටී.....ඊ...“
යැයි ආච්චම්මාගෙන් ඇසූවිට

“කට. කට. කට. කට කරුණාවයි“
කියා සැර කිරීමටද ආච්චම්මා කටයුතු කලාය.
සමහර අයගේ කකුල රත්තවාතෙට පැලීමෙන් රිදුම් දීමත්, තවත් සමහර අයගේ කකුල් රිදීමත් ආදී අමාරුකං බැරිකං අතරේ අපි හවස එක පමණ වන විට පලාබද්ගලට බහිනව. ඉං පස්සෙ පෙර කී පන්සලට ගිහිං අපේ පඬුරු ඔරලෝසු ගලවල පිං කැටේට දානව. ඉං පස්සෙ අපි බෑක් තියපු කඩෙන් බතුත් කාල පිටත් වෙනව. ඔය අතරෙ ගෙවල්වල ඉන්න අය කට ඇරං බලං ඉන්න බව දන්න හිංද රසකැවිලි කීපයක් ගන්නත් සිද්ද වෙනව. මං වතුර විදින කැමරාවකුයි, මස්කට් පැකැට්ටෙකකුයි, තල කැරලි පැකැට්ටෙකකුයි ගන්නව. ආච්චම්ම දූල හැමෝටමත් එක්ක ගන්නව.

එයිං පස්සෙ තියෙන්නෙ ගිලීමලෙං රත්තපුරටත්, එතනිං මානානටත් එන එක. සමහර දවස් වලට මානානෙං අපේ ගමට එන්න බස් නැති උනහම අපේ ආච්චම්මගෙ තුංවැනි දූගෙ ගෙදර නැවතිලා ඉඳල පහුවදා තමයි ගමට එන්නෙ. කවුරුත් ගෙදර යන්නෙ ආච්චම්මට වැඳල අවසර අරං.

ඔය ගමන ගිහිං ආවයිං පස්සෙ දවස් දෙකක් විතර යනකොට ගමනට සහබාගි වෙච්ච අය කැවුං, අලුව ආදී දෙයක් හදාගෙන ආච්චම්ම බලන්න එන්න ඕනි. නැත්තං  විසුං හමාරයි. හදිසියෙං වත් එහෙම එකෙක් ආවෙ නැතොත් ආච්චම්ම මෙහෙම කියනව.

“ආයිනං ඕකුංට ගමනක් යන්න කතා කොරන්නෑ

ටික දොහකිං මගෙ වතුර විදින කැමරාව කැඩිල හෙල පල්ලට විසිවෙනව.








ප.ලි:- “ඔය කතාව දැංවත් ඉවර කෙරුවනං නේ හොඳ. නැත්තං ඕක මෙගා ටෙලි නාට්‍යක් වගේ වෙනව.“යැයි කියා අවවාද අනුශාසනා කළ චූටි මැණිකෙගේ අවවාදය පරිදි මෙම නාටකය මෙතෙකිං නිමියේය. තවත් කථාංගයකින් හමුවෙමු.




Monday, May 25, 2015

වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma - 4

නානාප්‍රකාර වන්දනා නඩ සිරීපාදෙ වඳින්න යනව. මං ඒ අය දිහා බලං ඉන්නව. ගංවලිං ආපු මැදිවයසෙ අය කණ්ඩායම්වල ‘ගුරා‘ ඔලුවෙ තලප්පාවක් බැඳගෙන අතේ හැරමිට්ටක් තියාගෙන සිය නඩේ මෙහෙයවනව. ඒ අතරෙ ළමා ළපටි, දෙමාපිය ආදීන්ගෙන් සැදුම්ලත් ගාලගෝට්ටිත් තියෙනව. ඒ නඩවල ඉන්න පුංචි එවුංව සෙල්ලම් බඩු කඩවලින් මුදවා ගැනීමේ මහා මෙහෙයුමේ අම්මලා යෙදෙන අතරෙ බිම අඩි හප්පමින්, පොළවෙ පස්කන පුංචි එවුං මරහඬ දෙමින් අඬනව. ඒ පස්සෙං තාත්තල අතිං කටිං බඩු මලු එල්ලගෙන යනව. තව තරුණ, තරුණියං විතරක් ඉන්න කණ්ඩායනුත් ඉන්නව. කලිසං ඇඳල පංකොල තොප්පි දාගත්ත තරුණියො සංග්ලාස් දාගෙන ඉන්න තරුණයංගෙ අතේ, උරෙස්සෙ, බෙල්ලෙ, කමිසෙ හෝ අතට අහුවෙන වෙනයං තැනකිං අල්ලගෙන යනව. ඒගොල්ලං තමයි නිස්සද්දම කණ්ඩායම්. ඒ නඩවලිං ඇහෙන්නෙ හීං ‘මුනු මුනු‘ සද්දෙකුයි යංතං හිනාවෙන ‘හිචිස්‘ සද්දෙකුයි විතරයි. ආයි එනව තරුණයං විතරක් ඉන්න කණ්ඩායං. ඒ ගොල්ලංගෙ කරේ ලොකු ‘රේඩිවේකක්‘ හරි ‘කැසට් පීස්‘ දාන පීකර දෙකේ ‘කැටස්‘ එකක් හරි තියෙනවමයි. ඒ වගේම පැත්තක් වහුං ඇරපු බෙර, ඩොල්කි, තප්පු වගේම ‘සිලිං බිලිං‘ ගාන වාදන බාන්ඩ එහෙමත් තියෙනව. ඒගොල්ලො තමයි සද්දෙ වැඩිම කණ්ඩායං. ඒ අය සිංදු, හූ වගේම දෙපිට කැපෙන කතාත් තියනව. ඔය අතරෙ වයසට ගිහිං හොඳටම අමාරු අයත් අරං දවස් ගණනක් ගමනේ යෙදෙන අයත් ඉන්නව. සමහර අයව පුටුවල තියල උස්සගෙනත් යනව.
ඉතිං අපිත් ගමන පිටත් වෙනව. සේරටම ඉස්සර වෙන්න කියල ආච්චම්ම පහු වෙනව.

“හා, එහෙනං සමං දෙයිහාන්දුරුවංගෙ පිහිටෙං කරුණාවයි, කරුණාවයි“

එතැන් සිට බාසාව මදක් මාරුවෙනව. ඉං පස්සෙ ‘යනව‘ කියන්නෑ ‘කරුණා කොන්නොව‘ කියල කියනව. ‘එපා‘ කියන්නෙත් නෑ ‘කරුණාවයි‘ කියනව. මොනවත් දෙන්න ඇහුවත් ඕනිනං ‘කරුණාවයි‘ කියනව . එපානං ඒත් ‘කරුණාවයි‘ කියනව. යන්න කියනව නං ‘කරුණා කරන්න‘ කියනව. නවතින්න නං ඒත් ‘කරුණා කරන්න‘ කියනව. ඉතිං අපිත් ඒකට හැඩ ගැහෙනව. නැත්තං ආච්චම්ම කට වරද්දගත්ත එකාගෙ ‘හොක්ක තලන්න‘ ඉදිරිපත් වෙනව. ඉතිං ඔය වැඩෙං තවත් සෑහෙන වැඩ අවුල් වෙනව.
හැමෝම ‘සාදු සාදු සා....දු‘ කියල ගමන පිටත් වෙනව. පළාබද්දලින් පටං ගත්ත ගමන කඳු අතරින්, අතරින් පතර ඇති ගල්පඩි, ගල්මුල්, උඩින් ඇදීගෙන යනව. මාත් දිග බෑක්කෙකත් එල්ලගෙන ආච්චම්මගෙ උපදෙස් අනුව ඉස්සර වෙලා යනව. ‘ලීහිණිහෙළ, ආඬයම්බලම, ආදී වශයෙන් එක එක තැංවල අම්බලම් පහු කරගෙන ඉදිරියටම යනව. ඔය අතරෙ ඉක්මනින් යන වෙනත් නඩෙයක පිරිමි ටිකක් අපිව ඉක්මනින්ම පහු කරනව. ඕං ආච්චම්මට සැක හිතෙනව.

“රංඔල නංගියේ, පොඩ්ඩියේ, රංඔල නංගියේ, රංඔල නංගියේ, පොඩ්ඩක් කරුණාවයි (මේ කියන්නෙ ටිකක් ඉන්න කියනෙක) කෝ බලහං ඔය කෙල්ලෝ දෙන්න ඉන්නවද? නැත්තං ඔය යන එකෙක් එක්ක අතිං අල්ලං යයි“

ආච්චම්ම බෙරිහං දෙනව. උන්දැ හිතන විදිහට ඒ කෙල්ලො දෙන්න බලං ඉන්නෙම කවුරුහරි අතිං අල්ලගන්නකං. අල්ලපු සැනිං ඒ දෙන්න රොබෝවරු බවට පත්වෙනව. ඉංපස්සෙ අල්ලගත්ත එකා එක්ක යනව. මාත් ලොකු වෙලා ‘බත් උයන්න‘ ගෑනියෙක් ගන්න ඕන උනදාට කාගෙ හරි අතිං අල්ලගන එක්කං යනව (ඒ දවස්වල මං හිතං හිටියෙ කසාද බඳින්නෙ බත් උයාගන්නයි රෙදි හෝදගන්නයි කියල)

“මේ ඉන්නෙ අක්කෙ, උං දෙන්න ඉන්නව“

රංඔල ආච්චි අම්මත් ආපහු කෑ ගහනව. ඉං පස්සෙ නවතිනව.

“හා. හා. එහෙනං කරුණාවයි. මං ගැන බලං ඉන්න ඕන්නෑ. උඹල කරුණාවයි“

ආච්චම්ම කියනව. ඉතිං ආයිත් අපි ගමන පටං ගන්නව. ටික දුරක් යනකොට පිරිමි කාණ්ඩෙ ඉස්සර වෙනව. ආච්චම්ම ටිකක් පහු වෙනව ගෑනු ටිකත් එක්ක. උන්දැ පටං ගන්නව කයිවාරුව. සමහර වෙලාවට වෙනිං නඩේක එකෙක් හරි අල්ලගන්නව කතාවට. මදකින් සිහිය එලවාගෙන බැලූ කොට නඩේ බාගෙයක් අඩුයි. උන්දැ ආයි බෙරිහං දෙනව.

“විජේසේනෝ, රාජෝ, සු**යෝ, ඩිංගක් කරුණාවයි“

ඉතිං අපි නවතිනව. ආච්චම්ම සිය ඕපදූප මල්ල වපුරමින්ම අප අසලට කිට්ටුවෙනව.

“බොලට කිව්වෙ අස්ප රේස් තියන්න කියලද මෙතන, නඩේ එක්කොම එකට කරුණා කොරපල්ල“

උන්දැ අපිට ගොරෝනව.

“ඉතිං, අපිට කිව්වෙ ඉස්සර වෙයල්ල කියල. ඒකනෙ අපි ඉස්සර උනේ“

මං කියනව.

“කට. කට. තොගෙ කට කඩන්න. දෙනව තොගෙ කට කල්ල විසිවෙන්න. ආ..නාදිකම මුගෙ“

ආච්චම්ම මගෙ කට මිරිකනව. මගෙ ඇහෙං කඳුළු දොට්ට පයිනව කේංතියට. රංඔල ආච්චම්ම මැද්දට පැනල බේරනව.

“නිකා ඉන්නකො අක්කෙ. ළමයට ඉන්න දීල“

අපි ආයිත් ගමන පිටත් වෙනව. අතර මග තියෙනව අම්බලං වල නැවති නැවති ගිමං අරිනව. ඒ ළඟ තියෙන කඩවල බඩු ගනං අහනව. රුපියල් තුනේ පේන්ටිය ඒ කඩවල රුපියල් පහලොවයි. ආච්චම්ම එක එක විස්කෝතු පෙට්ටිවල ගනං අහල ‘ඔව්ව අපේ මැණිකෙගෙ කඩේ ඔයිට සෑහෙන අඩුවට තියෙන‘ බව කියල එළියට බහිනව.
ඔය අතරෙ ‘මහන්සිය නිවෙන්න‘ තුං සරණේ කවි කියන්න පටං ගන්නව. අපේ ආච්චම්මට අකුරු බැරි හිංද උන්දැ කියන්නෙ කට පාඩමිං. ඒක කියන්නෙ නඩේ දෙකට බෙදිල. ගුරුන්නාන්සෙ තනියෙනුත් අනික් රැළ වෙනමත් වශයෙං. ඕං දැං ආච්චම්ම නිල් පාටිනුත් අපි රතු පාටිනුත් කියනව.
බුද්ධං සරණේ.........ඒ...
සිරස දරාගෙන
ධම්මං සරණේ ........ ඒ...
සිත පහදාගෙන.....
සංඝං සරණේ..... ඒ..
සිවුරු දරාගෙන........
ගන්නයි තුං සර.......
ණේ අදහාගෙන.........
ඔය ආදී වශයෙං කවි බරගාණක් කියල ඉවර වෙනව. ඉං පස්සෙ ආච්චම්ම ‘බීට්‘ එක මාරු කරල අලුත් තනුවකට අලුත් කවි කියනව. ආච්චම්ම නිල් පාටිං, අපි ඔක්කොම රතුපාටිං.
අග්ගල කං
ඩෝං පුතා
 හෙලේ නගිං
 ඩෝං පුතා
 මෙන්න මෙතන
තැනිතලාව
අලුව කන්න
හොඳ වෙලාව
ඉතිං අපි එක එක තැන නැවතිල ගිමං හරිනව. බෑක්වල තියෙන කැවිලි පෙවිලි ඇදල ගන්නව. ආයිත් ‘බෙදා හදාගෙන‘ කනව. අනුංගෙ නඩේක කෙනෙක් වුනත් දෙන දෙයක් අරං කන එකත්, අපේ තියෙන දෙයක් අනික් නඩවල අයට දෙන එකත් නීතියක්. ඉතිං අපේ ආච්චම්මත් තමුං කකා ඉන්න අලුව කෑල්ල, කැවුං බාගෙ අනික් නඩවල ඉන්න එවුන්ට කවන්නත්, පුංචි එවුන්ගෙ නං ගිරියෙම ඔබන්නත් පසුබට වුනේ නෑ. උන්දැගෙ ලොඹු කටේ ගහල දෙන ආහාර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කළ දරුවෝ බෑඟිරි ගහමින් අඬද්දි, මහ එවුං එව්ව අතට අරං ආච්චම්මට නොපෙනෙන්න කැලේට විසික් කරනව මම දැක්ක. ඒක හිංද හැම වෙලේම කටේ චුයිංගං එකක් තියාගෙන ඉන්න මම කටයුතු කලා. දැං කාටවත් මයෙ කටේ මොනවක් ඔබන්න බෑ.
ඔය අතරෙ නඩේ ඉන්න පිරිමි සමහර අය ගල් පරුවත, බට පඳුරු ආදියට මුවා වෙමින් ‘කහපාට මූඩිය තියෙන තේ වතුර බෝතල්‘ වලිං උගුර දෙක කටේ හලාගෙන ‘ක්‍රාක් තුහ්ක්‘ කියල කෙළ ගහල ‘ආච්චම්මට කියන්න එපා‘ කියල මට කිව්ව. ඉං පස්සෙ අපේ නඩේ තුංසරණෙ කවි පෙරටත් වඩා ගාම්භීර උනා. ආච්චම්මටත් බොහොම සංතෝසයි.
එක් එක් අම්බලම පහු කරල ‘ගෙත්තම්පාන‘ කියන හරියට එනව. එතන ලොකු ගල් තලාවක්. විසාල දොළ පාරකුත් තියෙනව. ඒකෙං නාල ගෙත්තං කරන්න ඕනි. අපෝ ඒ හීතලට නාන්නෙ මොකාද? නඩේ කට්ටියම වටේට හිටෝල නූල් බෝලෙට ඉඳිකටුව අමුනල අපිව නූල්වලිං අමුනනව. ඒ කියන්නෙ අපේ ඇඳුං වලට නූල ඉඳි කට්ටෙං අමුනනව. ඒ වැඩේ කරද්දි අපේ ඇගේ කොහේ හරි ඉඳිකට්ට ඇනල නියමිත පරිදි ඇමිනී ඇති බව තහවුරු කරගන්නත් උන්දැට පුලුවං උනා.
“ආ.....යි“

“උහ්“

“අම්මෝ“

“හුක්“

“උයීයා“

“අහුක්“

ආදී වශයෙන් ප්‍රතිචාර ලබමින් හැමෝවම එක නූලට ඇමුණුවයිං පස්සෙ අපි ඒ නූල් ටික කඩාගෙන රවුමෙං පිටට පනින්න ඕනි. ඉං පස්සෙ ආච්චම්ම ඒ නූල්ටික එතන තියෙන මහ විසාල නූල වැටේ පටලෝනොව. එතකොට කලුවර වැටිල. හීතලත් වැඩියි. ආච්චම්ම මගෙ පිටේ තියෙන බෑක්කෙක ඇරෝල ඒකෙං උණුවතුර බෝතලේ ගන්නව. ඉං පස්සෙ ඒකෙං කහට ටිකක් කෝප්පෙට වක්කොරගෙන බොනව. ආයි මටත් ටිකක් දෙනව. උන්දැ කට තියපු එකේ මට බොන්න බෑ. ආච්චම්ම අහක බලනකං ඉඳල මං ඒ ටික විසි කරනව.
අපි ආයිත් පිටත්වෙනව. ‘හැරමිටි පාන‘ කියන හරියට එනකොට රෑ අට විතර වෙලා. අපි එතෙන අම්බලමෙ නවතිනව. එතන එක යුද්දෙයයි. මිනිස්සු සිංදු කියනව. තව කොටසක් නිදියනව. සමහර අය කනව. තව සමහර පිරිමි දෙතුං දෙනා වටේට ඇවිදිනව. මේ සියලු දෙනම පැමිණ ඇත්තේ සිය නඩයේ සේසතම මංකොල්ලකෑමට සහ ඉන්න කෙල්ලො දෙන්නව පැහැර ගැනීමට බවත් සිතන ආච්චම්මා අප සියලු දෙනාවම එක පොදියකට තියනව. අපිට හෙල්ලෙන්නවත් දෙන්නෑ. අපි බිමට ඉටිකොළ එලාගෙන ඒව උඩ අපේ බෑක් තියනව. ඉං පස්සෙ බෙස්සීට්, බූල් ඇඳුං ආදී සියලු උණුසුම්කාරක ඇඳගන්නව. දැං අපිට අපේ නඩේ අයවත් හොයාගන්න බෑ. ඔක්කොම තදිං උණ හැදිල බෙහෙත් ගේන්න යන අය වගේ. ඒක හිංද මං අපේ කාණ්ඩෙ අය හොයාගන්නෙ පෙරවං ඉන්න බෙස්සීට් වලිං හා බූල් ඇඳුං වලිං.  ආච්චම්ම ඇඳං ඉන්නෙ මාමගෙ බයිසිකලේට හම්බු වෙච්ච රේංකෝට්ටෙක. ඉතිං ආච්චම්මව හොයාගන්න ලේසිම ක්‍රමේ තමයි ඒක.
ඉංපස්සෙ අපේ බත්මුල් ගන්නව එලියට. කට්ටිය එක ඉටිකොලේ වටේට ඉඳගෙන කන්න කියල ආච්චම්ම නියෝග කරනව. කවුරුහරි මගෙ බත් මුලට ‘බෙදාගදාගන්න‘ හැදුවොත් කියල මං රවුමෙං පිටට වෙලා හැංගෙන්න හදනව.

“මෙහෙ වර. ආනාදිකම නැතුව. තෝ අතරමං වෙන්නද හදන්නෙ?“

ආච්චම්ම මගෙ කණෙං ඇදල රවුමට ගන්නව. ඉතිං අපි අයිස් වගේ හීතල බත් කන්න පටං ගන්නව. ටිකකිං මගෙ බත්මුලට නොයෙක් කෑම ජාති වඩිනව. අලුකෙහෙල්, මුංඇට, පරිප්පු, අල, ආයිත් පරිප්පු, සම්බෝල, පිපිඤ්ඤ, ආයි මුංඇට, ගහ්ලබු හොදි, ආයිත් අල බැදුං, කරවිල........... ආදී වශයෙං එක එක ජාති එනව. මං බත්මුල අකුලනව.

“පින්නිවෙලා කන්න බැහ්“

මං බත්මුල අකුලනව. රෑට ආච්චම්මට නිංද ගියහම බෑක්කෙකෙං පොල් ගහ ඇඳපු ඉස්කෝතු ඇරං කනව. එයිං එකක් බෑක්කෙකේ අඩියෙ තිවුන. මං ඒක පිට සාක්කුවට දැම්ම ගන්න ලේසි වෙන්න.

ආයි උදේ වෙනකං ටික වෙලාවක් නිදාගන්න කියල අපි නඩේම එක යාවට ඉටි කොළ උඩ අඩුක් වෙනව. කොං දෙකේ පිරිමි දෙන්නෙක් ඊළඟට වයස අඩුවෙන පිලිවෙළට මැදට එනව. මැදම ඉන්නෙ අංඔල ආච්චිගෙ කෙල්ලො දෙන්න. ඒ දෙන්නගෙ ඇඳුං කෙළවරවල් දෙකක් අරං තමුංගෙ චීත්තෙ ගැටගහගන්න කියල ආච්චම්ම රංඔල ආච්චිට නියෝග කලා. එතකොට උඩිං එන එකෙට්ටවත් කෙල්ලො දෙන්නව උස්සන්න බෑ. ඉස්සුවොත් උන්ට නොමිලෙම නැංදම්මත් හම්බුවෙනව. ඔය සේරම අතරිං මාත් ආච්චම්මත් එක ලඟ. මං දිග බෑක්කෙක ලඟට අරං ඒකෙ ඉස්කෝතු පැකැට්ටෙක තියෙන කොන මං පෙරවං ඉන්න බෙස්සීට් එක අස්සට ගත්ත. දැං හරි. කට්ටියට නින්ද යනකං ඉඳල හෙමීට ඉස්කෝතු කන්න ඕනි. කවුරුහරි අනික් පැත්ත හැරෙනකොට ඉටිකොලේ ‘සර බර‘ ගාන වෙලාවට ඉස්කෝතුව හපන්න ඕනි. එතකොට සද්දෙ ඇහෙන්නෙ නෑනෙ.

ඉතිං යංතං නින්ද යාගෙන එනකොට ආච්චම්ම ආයිත් පටං ගත්ත අලුත් සෙල්ලමක්. ඕං කවුරුහරි අපි ඉන්න තැනිං යනව. ඒ මිනිහ ටිකක් ජයකොඩි මාම වගේ. ඉතිං ආච්චම්මට ඔය හොඳටම ඇත.

“බලහං අර ජෑකොඩිය නේද? ඌ කොහෙද යන්නෙ?“

මං ඇහැරල බලනව. ඒ වෙනිං කෙනෙක්. ජයකොඩි මාම අපිට හතර දෙනෙක් එහායිං තියෙන බෙස්සීට් ටික අස්සෙ තමයි ඉන්නෙ. එයා එහෙමම ඉන්නව මං දකිනව.

“මෑ. ආංඥව්වෙ, ඒ ජාකොචි වාව ඤෙවෙව්“

කටේ ඉස්කෝතු පුරෝගෙන හිංද මට කියවෙන්නෙ වෙනිං වචන.

නැත්තෙ, බලහං ඌ තමයි ඒ. ජෑකොඩී,....., ජෑකොඩි ළමෙයෝ...........“

ආච්චම්ම ආයිත් නං අඩගහනව. මං විගහට ඉස්කෝත්ත ගිලිනව.

“ඇයි නැංදම්මෙ එළිවෙලාද“

අපිට එහායිං තියෙන බෙස්සීට් ගොඩකිං ජයකොඩි මාමගෙ ඔලුව එලියට එනව.

“ආ.. උඹ ඉන්නවද? මං හිතුව අර ගියෙ උඹ තමයි කියල“. හෝදිසියෙං ඉන්නෙපෑ. උඹල මේවයෙ ඇවිදින්න දන්නෙකක්යැ“

ඉතිං ආයිත් පිරිස සිය පොරෝනා අස්සට වී නිදන්න පටං ගන්නව.

“සු**යෝ, සු**යෝ, නැකිටහං නැකිටහං“

ආයිත් ආච්චම්ම කෑ ගහනව ඇහිල මං ඇහැරෙනව. මගෙ ඇඟට යටවෙලා ඉස්කෝත්තක් පොඩි වෙනව. රෙදි, පොරෝනා, බාච්චු, කම්බිලි, බෙස්සීට්, ආදී රෙදි ගොඩකින් ඔතන ලද පොදියක් අස්සෙං අතක් එළියට ඇවිත් ඒ අතේ අගිං ගෑනු ඔරලෝසුවක් මගෙ දිහාට දික්කරගෙන ඉන්නව. ඒ රෙදි ගොඩ අස්සෙං ආච්චම්මගෙ ඔලුව මගෙ දිහාට එබීගෙන මට මෙහෙම කියනව.

“බලහං වෙළාව කීයද කියල මේකෙං. මට මේකෙ කටු පේන්නෑ“

සත විසිපහේ කාසියක් විතර මූනක් තියෙන ඒ ඔරලෝසුව ඉස්සර අපේ පුංචම්මට බයිසිකල් රේස් පැදල තෑගි හම්බුවෙච්චි එකක්. ඒකෙ කටු ඇහේ ඇනුනත් පේන්නෑ. මං ඇහැ හොඳටම කිට්ටු කොරල බැලුව. ඒත් පේනව මදි. අම්බලමට තියෙන ලැයිට් දෙකෙං එකකුත් නිමල. ඒක දාන සුයිච්චෙකක්වත් පේන්න නෑ.

“පේන්නෑ ආච්චම්මෙ, මේ එළියක් නැද්ද? කාගෙං හරි චෝට්ටෙකක් ඉල්ලගන්න වෙයි“

“අනේ මංද බොගෙ ඇස් පේන්නෑනෙ මට තරංවත්, හිටහං බලන්න“

ඒ ගමන උන්දැ බෑක්කෙක ඇදල බැලුව ගිනිපෙට්ටියක් හොයන්න. ඒ අතරෙ ‘හදිස්සියට ගන්න‘ ගිනිපෙට්ටියක්, චෝට්ටෙකක් බෑක්කෙකට දැම්මෙ නැති එකට පුංචිටත්, මාමටත් බනින්නත් ඒ වගේම ආතනං කොයි වෙලෙත් චෝට්ටෙක ‘පු‘යන්න අස්සෙ ගහගෙන ඉන්න බව කියා දෙස්දෙවොල් තැබීමටත් අමතක නොකලාය. අන්තිමේදි සිය නඩය විමසා බැලීමට තීරණය කළ ඇය එකින් එකා ඇහැරවමින් ‘එළියක් ගන්න තියෙද?‘ යි විමසීමට පටං ගත්තාය. අවසානයේ එක් අයෙක් ලඟ තිබී විදුලි පන්දමක් සොයා ගැනීමට සමත් විමු. ඉතිං ආච්චම්මා එය මගෙ අතට දී මෙසේ කීවා ය.
“ඉඳා, දැං බලල කියහං, හුහ්. දැං ඉන්න එවුන්ට වෙලාව බලන්න ටෝච් එව්ව හිටං ඕනි“